“ගජග්ගමෙඝෙහි” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි පලා ගිය පිරිවැජියෙකු (පලායිත පරිබ්බාජක) අරබයා වදාළ සේක. ඔහු වාද කිරීම සඳහා මුළු දඹදිව පුරා ඇවිද කිසිම ප්‍රතිවාදියෙකු නොලැබ පිළිවෙලින් සැවැත් නුවරට ගොස් “මා හා වාද කිරීමට සමත් කෙනෙකු ඇද්දැයි?” මිනිසුන්ගෙන් විමසුවේය. මිනිස්සු, “ඔබ වැනි දහසක් දෙනා සමඟ වුවද වාද කරන්නට සමත් වූ, දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ, මහා ගෞතම නම් ධර්මයට අධිපති වූ, පරවාද මඩින්නා වූ සර්වඥයන් වහන්සේ වැඩසිටිති. මුළු දඹදිව උපන්නා වූ කිසිදු ප්‍රතිවාදියෙකුට ඒ භාග්‍යවතුන් වහන්සේ අභිබවා යන්නට නොහැකිය. වෙරළට පැමිණ රළ බිඳෙන්නාක් මෙන් සියලු වාද උන්වහන්සේගේ පාමුලට පැමිණ සුණු විසුණු වෙති” යි බුදුගුණ කීවාහුය. පිරිවැජියා “දැන් උන්වහන්සේ කොහිදැ?” යි විචාරා, “දෙව්රම් වෙහෙරේ” යැයි අසා, “දැන් උන්වහන්සේ හා වාද කරමි” යි සිතා මහජනයා පිරිවරාගෙන දෙව්රම් වෙහෙරට ගියේය. ජේත රාජ කුමාරයා විසින් නව කෝටියක් ධනය වියදම් කොට කරවන ලද ජේතවනාරාම දොරකොටුව දැක, “මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වාසය කරන ප්‍රාසාදය දැ?” යි විචාරා, “මේ දොරටුව ළඟ කොටුව යැයි” අසා, “දොරකොටුව මෙසේ නම් වාසය කරන ගෙය කෙසේ විය හැකි වන්නේ දැ?” යි විමසීය. ගන්ධ කුටිය ප්‍රමාණ කළ නොහැකි යැයි කී කල්හි, “මෙබඳු වූ ශ්‍රමණයන් වහන්සේ කෙනෙකු සමඟ කවරෙක් වාද කරත් ද?” යි සිතා එතැනින්ම පලා ගියේය. මිනිස්සු ඝෝෂා කරන්නෝ වී ජේතවනාරාමයට පිවිසි විට බුදුරජාණන් වහන්සේ “උපාසකවරුනි! අකාලේ ආවේ ඇයි දැ?” යි විමසූ සේක. ඔවුහු ඒ ප්‍රවෘත්තිය සැළකළහ. බුදුරජාණන් වහන්සේ “උපාසකවරුනි! මොහු දැන් පමණක් නොව පෙරත් මගේ වාසස්ථානයෙහි දොරකොටුව දැක පලා ගියේය” යි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලදුව අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස ගන්‍ධාර රටෙහි තක්සලා නුවරෙහි බෝධිසත්ත්වයන් වහන්සේ රාජ්‍යය කළ සේක. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ තෙමේ රජකම් කරවීය. ඔහු “තක්සලා නුවර ගන්නෙමි” යි මහත් බලසේනාවක් සමඟ ගොස් නගරයට නුදුරෙහි සිට, “මේ ක්‍රමයට ඇතුන් යවව්, අශ්වයන් මේ විදියට යවව්, රථ මෙසේ යවව්, පාබල හමුදාව මෙසේ යවව්, මෙසේ දුවගොස් ආයුධවලින් පහර දෙව්. මේ අයුරින් ඝන වැසි වලාවක් මෙන් ඊතල වර්ෂාවක් වස්සවව්” යැයි කියමින් සේනාවට අණ දෙමින් මෙම ගාථා දෙක වදාළේය.
“උතුම් ඇතුන් නමැති වලාකුළින් ද, උතුම් අශ්වයන් නමැති මල්මාලාවන්ගෙන් ද, ඊතල වැසි වස්සවන රථ නමැති රළ පෙළින් ද, කඩු මිටි ගෙන වේගයෙන් හැසිරෙන දැඩි පහර දෙන යෝධයන්ගෙන් ද තක්සලා නුවර හාත්පසින් වට කරන ලදී.”
“නොයෙක් ආකාරයෙන් මහා නාද කරමින් ඇතුන් සමඟ දුවව්, පනිව්. අද මහත් වූ ඝෝෂාවක් පවතීවා! ගර්ජනා කරන මේඝයකින් නික්මෙන විදුලියක් මෙන් දුවමින් වහා නුවර වට කරව්.”
යනුවෙන් මෙම ගාථා දෙක වදාළේය.
එහි පදරුත් විස්තරය මෙසේය:
- ගජග්ගමෙඝෙහි: කුඤ්චනාදයෙන් ගර්ජනා කරන මත් වූ උතුම් හස්තීන් (ඇතුන්) නමැති මේඝයෙන් (වලාකුළින්).
- හයග්ගමාලිභි: උතුම් වූ සෛන්ධව අශ්වයන් නමැති මල්මාලාවලින් ගැවසීගත් අශ්ව බලඇණිවලින්.
- රථූමිජාතෙහි: රළ වේගයෙන් උඩට මතුවන සාගර ජලය මෙන් හටගත් රථ නමැති රළ සමූහයෙන් හෙවත් රථ හමුදා ඛණ්ඩවලින්.
- සරාභිවස්සෙහි: ඝන වැහිවළාවක් මහවැසි වස්සන්නාක් මෙන් ඊතල නමැති වැසි වස්සන්නා වූ රිය ඇණිවලින්.
- ථරුග්ගහාවට්ටදළ්හප්පහාරිභි: කඩු ආදී ආයුධවල මිටවල් අල්ලා ගෙන, ඔබමොබ පෙරළෙමින් දැඩි සේ පහරදෙන පාබල හමුදා භටයන් විසින්.
- පරිවාරිතා තක්කසිලා සමන්තතො: මේ තක්ෂිලා නුවර යම් සේ වටකරන ලද්දේ ද, ඉතා ඉක්මණින් එසේ කරව්.
- අභිධාවථ චූපධාවථ ච: වේගයෙන් දුවව්, උඩපනිව්.
- විවිධා විනාදිතා වදන්තිභි: උතුම් ඇතුන් සමඟ එක්ව යෝධයන්ගේ හඬ, කෑගැසීම් සහ වාදනය කිරීම් ආදියෙන් විවිධ ශබ්ද ඝෝෂා නගන්නෝ වව්.
- වත්තතජ්ජ තුමුලො ඝොසො: අද විශාල වූ හෙණහඬ සමාන මහත් ඝෝෂාවක් පවතීවා.
- යථා විජ්ජුලතා ජලධරස්ස ගජ්ජතො: ගොරවන වැහිවළාවෙන් නික්මෙන විදුලියක් මෙන් හැසිරෙමින් නුවර පිරිවරා රාජ්‍යය ගනිව් යැයි කියයි.
මෙසේ ඒ රජතුමා ගර්ජනා කොට සේනාවට විධාන කොට නුවර දොරටුව සමීපයට ගොස් දොරකොටුව දැක, “මේ රජතුමා වසන ගෙය දැ?” යි විමසා, “මේ නුවර දොරකොටුව” යයි කී කල්හි, “නුවර දොරකොටුව මෙසේ නම්, රජුගේ මාලිගාව කෙබඳු වන්නේ දැ?” යි ඇසීය. එය වෛජයන්ත ප්‍රාසාදය වැනි යයි අසා, “මෙබඳු යසස් ඇති රජු සමඟ යුද කරන්නට මට නොහැකි වනු ඇතැ” යි සිතා දොරකොටුව දුටු පමණින්ම නැවතී බරණැසටම පලා ගියේය.
බ්‍රහ්මදත්ත රජු සත්වන දොරටුවේ විශාලත්වය දැක මවිත වී බලා සිටීම.
බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල බරණැස් රජු වූයේ මේ පලාගිය පිරිවැජියා ය. තක්සලා නුවර රජු වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.
නව වැනි වූ පලායිත ජාතක වර්ණනාව නිමාවිය.