තවද එක් කලෙක, දෙවියන්ගේ සහ බ්‍රහ්මයන්ගේ හිස් මුදුනෙහි ස්පර්ෂ වන්නා වූ පා පද්ම ඇති, ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ ජනපදයන්හි චාරිකාවේ හැසිරෙන සේක්, ‘නළපාන’ නම් ගමට පැමිණ, නළපාන පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වැඩවසන සේක්, බටදඬු අරභයා මේ ජාතකය වදාළ සේක.
එකල භික්ෂූන් වහන්සේලා නළපාන නම් පොකුණෙන් පැන් නහා, ඉදිකටු කුළා (ඉදිකටු අසුරන) තබා ගැනීම පිණිස සාමණේරයන් වහන්සේලා ලවා බටදඬු කප්පවා ගෙන්වාගෙන, ඒ සියලු බටදඬු ඇතුළත ගැට නැතිව, තනි සිදුරක් ඇතිව දිගටම කුහර වී ඇති බව දැක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මෙසේ විචාලෝය.
“ස්වාමීනි, අපි ඉදිකටු කුළා තැනීම පිණිස බටදඬු ගෙන්වූයෙමු. ඒ බටදඬු මුල පටන් අග දක්වා දිගටම සිදුරු සහිතය. මේ කුමක් හෙයින්ද?”
සර්වඥයන් වහන්සේ ඒ බස අසා, “මහණෙනි, මේ මාගේ පුරාතන අධිෂ්ඨානයකි” යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස ඒ වන ලැහැබ මහත් වනයක්ව තිබුණේය. ඒ පොකුණෙහි වසන එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන්ව ආහාරයට ගන්නේය. එකල බෝධිසත්ත්වයෝත් තිත්මුවෙකු තරම් ශරීර ප්‍රමාණයක් ඇති මහත් වූ වඳුරු රජව, අසූ දහසක් පමණ වඳුරන් විසින් පිරිවරා ගන්නා ලදුව, වඳුරු සමූහයා පරිහරණය කරමින් ඒ වනයෙහි වාසය කළහ.
ඒ මහ බෝසතාණෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු මෙසේ කීහ.
“දරුවෙනි, මේ වනයෙහි විෂ වෘක්ෂයෝත්, අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද පොකුණුත් ඇත්තාහ. එසේ හෙයින් තොපි සියල්ලන් මින් පෙර නොකෑ විරූ පලාවල කන්නේ නම් හෝ, මින් පෙර නොබී විරූ පැන් බොන්නේ නම් හෝ වේවා, මා විචාරාම (මාගෙන් අසාම) කනු බොනු යයි” විධාන කළෝය.
ඒ වානරයෝත් ඒ බස “යහපතැ” යි පිළිගෙන, එක් දවසක් පෙර නොගිය විරූ තැනකට ගොස්, එතැන්හි දහවල් දෙවරුවක් පුරා ඇවිද පැන් සොයන්නාහු එක් පොකුණක් දැක, පැන් නොබී බෝධිසත්ත්වයන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියෝය.
එකල්හි බෝධිසත්ත්වයෝ අවුත්, “කුමක්ද දරුවෙනි, පැන් නොබොව්දැ?” යි ඇසූහ.
වානරයෝ කියන්නාහු, “නුඹ වහන්සේ එනතෙක් බලා සිටියෙමු” යි කීහ.
බෝධිසත්ත්වයෝ, “දරුවෙනි, තොප කළ දෙය යහපතැ” යි කියා පොකුණ වටා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු, දියට බැස ගිය පියවරම දැක, දියෙන් ගොඩනැගුනු පියවරක් නොදැක මෙසේ සිතූහ.
“ඒකාන්තයෙන් මේ අමනුෂ්‍යයකු විසින් අරක් ගන්නා ලද පොකුණක් විය යුතුය” යි දැන, “පැන් නොබී සිටියාවූ තොප විසින් කළ දෙය ඉතා යහපත් වන්නේය. මේ අමනුෂ්‍යයකු විසින් අරක් ගත් පොකුණකි” යයි කීහ.
උදක රාක්ෂසයා ද ඒ වඳුරන් දියට නොබසින්නවුන් බව දැක, නිල් පාට බඩක් සහ සුදු පාට මුහුණක් ඇතිව, රතු පාට අත්ල සහ පතුල් ඇතිව, භයංකර වෙශයෙන් දිය දෙබෑ කොට මතු වී මෙසේ කීය.
“කුමක් නිසා සිටින්නෙහිද? පොකුණට බැස පැන් බොව්” යයි කීය.
එකල මහ බෝසතාණෝ ඔහුට කතා කොට, “මේ පොකුණෙහි උපන් උදක රාක්ෂසයා නම් තෝදැ?” යි විචාලෝය.
“එසේය, මමය” යි කී කල්හි,
“පොකුණට බැස ගත්තවුන් කන්නට ලැබෙන්නේදැ?” යි ඇසූහ.
දිය රකුසා කියනුයේ, “එසේය, ලබමි. මම මීට බැස ගත් යටත් පිරිසෙයින් පක්ෂීන් පටන් කිසි කෙනෙකුන් අත් නොහරිමි. තොප හැමදෙනාත් කන්නෙම් වෙමි” යයි කීය.
ඒ බස් ඇසූ බෝධිසත්ත්වයෝ, “අපි තොප විසින් අප හැමදෙනා කෑමට ඉඩ නොදෙමු” යි කීහ.
“එසේ නම් පැන් බොන්නේදැ?” යි දිය රකුසා ඇසීය.
“එසේය, පැන් බොමු. එහෙත් තොපගේ වසඟයට නොපැමිණෙමු” යි බෝධිසත්ත්වයෝ කීහ.
“එසේ නම් කෙසේ පැන් බොව්දැ?” යි උදක රාක්ෂසයා කී කල්හි,
“කුමක්ද? තෝ අප දියට බැස පැන් බොතියි සිතන්නෙහිද?” යි බෝධිසත්ත්වයෝ කියා, “අපි සියලු අසූ දහසක් පමණ වඳුරෝ පොකුණට නොබැසම, එකෙක් බට දණ්ඩක් බැගින් ගෙන නෙළුම් දඬු වලින් මෙන් තාගේ පොකුණෙන් පැන් බොමු. එසේ කළ කල්හි තොපට අප හැමදෙනා කන්නට නොහැකි වන්නෙහි වේදැ” යි කීහ.
මෙසේ කියා මහ බෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා ගෙන, පාරමී ධර්මයන් ආවර්ජනා (සිහිපත්) කරමින් සත්‍ය ක්‍රියා කොට මුඛයෙන් පිඹ පූහ. එවිට බට දණ්ඩ ඇතුළෙන් කිසිම ගැටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැනම සිදුරු විය. මෙම ක්‍රමයෙන් තවත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේය.
තවද මෙසේ කරන කල්හි පිඹ නිම කරන්නට නොහැකිය යයි සිතා බෝධිසත්ත්වයෝ, “මේ පොකුණ වටකොට හටගත් සියලු බට දඬු එක් සිදුරක් ඇත්තක් (එකච්ඡිද්‍ර) වේවා!” යයි කියා අධිෂ්ඨාන කළෝය.
බෝධිසත්ත්වවරයන්ගේ කුසල් මහත් බැවින් සිතූ දෙය සමෘද්ධ වන්නේය. එසේ හෙයින් එතැන් පටන් ඒ පොකුණ වටකොට සිටි සියළුම බටදඬු එක් සිදුරක් සහිත විය.
එය එසේම විය. මේ කල්පයෙහි කල්පය පවතින තුරු පවත්නා වූ ප්‍රාතිහාර්යය සතරක් වන්නේය. ඒ සතර කවරේද යත්?
චන්ද්‍රයාගේ ශශලාඤ්ජනය (හාවාගේ සලකුණ) මේ කල්පය මුළුල්ලෙහි පවතින්නේය. වට්ටක ජාතකයෙහි ගිනි නිවී ගිය තැන මේ කප මුළුල්ලෙහි ගින්නෙන් නොදැවෙන්නේය. ඝටීකාර නම් කුම්භකාරයාගේ ගෙය පිහිටි තැන මේ මුළු කපෙහි නොතෙමී තිබෙන්නේය. මේ පොකුණ පිරිවරා සිටි සියලු බට දඬු මේ කප මුළුල්ලෙහි එක් කුහරයක් ඇතිව (ගැට නැතිව) තිබෙන්නේය යයි මෙසේ කල්පස්ථායි වූ ප්‍රාතිහාර්යය සතරක් වන්නේය.
බෝධිසත්ත්වයෝ මෙසේ අධිෂ්ඨාන කොට එක බට දණ්ඩක් ගෙන සිටියහ. ඒ අසූ දහසක් පමණ වානරයෝත් එකී එකී බට දණ්ඩක් ගෙන පොකුණ පිරිවරා උන්නාහුය. ඔවුන් හැමදෙනාම බෝධිසත්ත්වයන් බට දණ්ඩෙන් උරා පැන් බොන්ට පටන්ගත් කල්හි, සියලුදෙනාම ගොඩ හිඳ බට දණ්ඩෙන් උරා පැන් බිව්වෝය.
බෝධිසත්ත්ව වඳුරු රජු ප්‍රමුඛ වානර සේනාව බට දඬු මගින් දිය රකුසාට හසු නොවී පැන් බොන අයුරු.
මෙසේ ඔවුන් හැමදෙනා පැන් බීූ කල්හි උදක රාක්ෂසයා කිසිවක් නොලැබ, නොසතුටු වූ සිත් ඇතිව තමා වසන්නා වූ ස්ථානයටම ගියේය. බෝධිසත්ත්වයෝත් පිරිවර සමග වනයටම වැදුනාහුය.
ශාස්තෘ වූ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ, “මහණෙනි, මේ බට දඬු සිදුරු වීම මාගේම පුරාතන අධිෂ්ඨානයෙකැ” යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා, පූර්වාපර සන්ධි ගළපා මේ නළපාන ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි උදක රාක්ෂසයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. අසූ දහසක් වානරයෝ නම් දැන් මේ බුදු පිරිසය. උපායෙහි දක්ෂ වූ වානර රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.