තවද, එක් සමයෙක්හි තුන්ලෝවාසීන්ට ගෞරවණීය වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි සතර ඉරියව්වෙන් යුක්තව වැඩ වාසය කරන සේක්, දෙවිවරුන්ට යාච්ඤා කොට බිලි පූජා පැවැත්වීමක් අරමුණු කොට ගෙන මෙම ජාතකය දේශනා කළ සේක.
ඒ කාලයෙහි වනාහි මිනිස්සු වෙළඳ කටයුතු පිණිස යන්නාහු, මුවන් හා ඌරන් ආදී සතුන් මරා දෙවිවරුන්ට බිලි පූජා පවත්වා, “අපි අන්තරායක් නැතිව තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගෙන (අර්ථ සිද්ධියට) පැමිණ, නැවත ඔබ වහන්සේලාට බිලි පූජා කරන්නෙමු” යැයි කියා ආරාධනා කර යන්නාහුය.
එසේ ගිය තැන්වලින් අනතුරක් නැතිව අර්ථ සිද්ධියට පැමිණ ආ පිරිස, “මේ අර්ථ සිද්ධිය වූයේ දේවතානුභාවයෙනි” යැයි සිතමින්, භාරහාරවලින් නිදහස් වීම පිණිස ඌරන්, මුවන් ආදී බොහෝ සතුන් මරා බිලි පූජා කරන්නාහුය.
එසේ කරන්නා වූ බිලි පූජා දැක භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ බව දන්වමින්, “ස්වාමීනි, මේ ප්‍රාණඝාත කිරීමෙහි යම් යහපතක් (වැඩක්) ඇද්ද? නැද්ද?” යි විචාලහ. එවිට භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසී තිබුණු කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.
යටගිය දවස කසීරට එක් ගමක සිටි කෙළෙඹි පුත්‍රයෙක්, ගම් දොරකඩ පිහිටියා වූ නුග වෘක්ෂයක වාසය කරන දෙවියාට “බිලි පූජා කරන්නෙමි” යි පොරොන්දු වී ගියේය. ඔහු තමන් සිතූ පරිදි අර්ථ සිද්ධියට පැමිණ අනතුරක් නැතිව ආපසු අවුත්, “එළුවන්, තිරෙළුවන් ආදී වූ බොහෝ සතුන් මරා බිලි දී භාරයෙන් නිදහස් වෙමි” යි සිතා නුග ගස මුලට ගියේය.
රුක් දෙවියා ගස් දෙබලක සිට ධර්මය දේශනා කිරීම.
නුග වෘක්ෂයෙහි අධිගෘහිත වූ දිව්‍ය පුත්‍ර තෙම ගසේ කඳ දෙබලක සිට මෙසේ කීවේය:
“පින්වත් පුරුෂය, තෝ ඉදින් මින් මිදෙනු කැමැත්තෙහි නම් පරලොව මිදෙන පරිද්දෙන් මිදෙව. ප්‍රාණවධාදී වූ දුශ්චරිත කොට දැන් මිදෙන්නේ ද? එසේ කිරීමෙන් මතු පාප පාශයෙන් බැඳෙන්නේය. ඒ කාරණය දැන, මෙසේ නුවණැත්තා වූ පණ්ඩිත පුරුෂයෝ මතු පාප පාශයෙන් නොබැඳෙන පරිද්දෙන් මිදෙත්. ඊට කාරණා කවරේ ද? මෙබඳු මිදීම අඥානයා හට බන්ධනයට කාරණය වේ. මෙසේ ප්‍රාණඝාත කොට මිදීම නම් අඥානයා හට බැඳීමට කාරණා වන්නේය” යැයි කියා ධර්ම දේශනා කළ සේක.
එතැන් පටන් මනුෂ්‍යයෝ මෙබඳු වූ “ප්‍රාණඝාත කිරීම” යැයි කියන ලද අකුසල කර්මයෙන් වැළකී, දාන ශීලාදී වූ සුචරිත ක්‍රියාවෙහි හැසිර දිව්‍ය ලෝකයෙහි උපන්හ.
ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා මේ ආයාචිතභක්ත ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි වෘක්ෂ දේවතාවව උපන්නේ දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැ” යි තමන් වහන්සේ ගෙනහැර දක්වා වදාළ සේක.