තවද එක් සමයක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, ‘මතකභක්ත’ නම් දානයක් අරබයා මේ ජාතකය වදාළ සේක.
එකල්හි මිනිස්සු එළුවන් ආදී වූ බොහෝ සතුන් මරා, කළුරිය කළා වූ තමන්ගේ නෑයන් උදෙසා ‘මතකභක්ත’ නම් වූ දානමය පරිත්‍යාගයක් කෙරෙති. භික්ෂූන් වහන්සේලා ඒ මිනිසුන් මෙලෙස කරන්නා දැක, සර්වඥයන් වහන්සේගෙන් මෙසේ විමසූහ: “ස්වාමීනි, දැන් මනුෂ්‍යයෝ බොහෝ ප්‍රාණීන් ජීවිතක්ෂයට පමුණුවා ‘මතකභක්ත’ නම් වූ දානයක් දෙති. ස්වාමීනි, මෙහි යම් යහපතක් තිබේද?”
සර්වඥයන් වහන්සේ, “මහණෙනි, ‘මතකභක්ත’ දෙමු යැයි කියා කරන ලද ප්‍රාණඝාතයෙහි කිසිඳු යහපතක් නම් නැත. පෙරත් නුවණැත්තෝ අහසෙහි සිට ධර්ම දේශනා කොට, මේ මතකභක්තයෙහි ආදීනව කියා, සියලු දඹදිවවාසී සත්වයන් මේ ක්‍රියාවෙන් ඉවත් කළහ. දැන් වනාහි භවය වැසී ගිය හෙයින් එම අකුසලය නැවත පහළ වී යැ” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකු රාජ්‍යය කරන සමයෙහි, ත්‍රිවේදයෙහි කෙළ පැමිණි දිසාපාමොක් එක් ආචාර්ය බ්‍රාහ්මණෙයක්, “මතකභක්ත දානයක් දෙමි” යි සිතා එක් එළුවකු අල්වාගෙන තමාගේ අතවැස්සන්ට මෙසේ කීවේය: “දරුවෙනි, මේ එළුවා ගඟට ගෙන ගොස් නාවා, කරෙහි මල්මාලා බැඳ, පස් ඇඟිලි සලකුණු තබා සරසා ගෙනෙව” යි විධාන කළේය.
මිනිස්සු ද “යහපතැ” යි බමුණාට පොරොන්දු වී, එළුවා රැගෙන ගඟට ගොස් නාවා, කී පරිද්දෙන්ම සරසා ගං ඉවුරේ සිටවූහ.
ඒ එළුවා තමා පෙර කරන ලද අකුසල කර්මය ජාතිස්මරණ ඥානයෙන් (පෙර භවය දැකීමේ නුවණින්) දැක, “මෙබඳු වූ දුකකින් අද දවසේ මිදෙමි” යි සතුටට පැමිණියේ, මැටි කළයක් බිඳින කලක් මෙන් මහත් හඬින් සිනාසී, නැවත “මේ බමුණා මා මරා, මා විසින් මෙතෙක් කල් මුළුල්ලෙහි විඳි දුක් ලබන්නේ ය” යි බමුණා කෙරෙහි කරුණාව උපදවා මහත් වූ ශබ්දයෙන් හැඬුවේය.
ඉක්බිති ඒ තරුණ පුරුෂයෝ ඔහුගෙන් මෙසේ විමසූහ: “සබඳ එළුවානෙනි, තොපි මහත් හඬින් සිනාසුණාහුය; මහත් හඬින් හැඬුවාහුය. කවර කාරණයක් නිසා සිනාසුණේද? කවර කාරණයක් නිසා හැඬුවාහුද?”
එවිට එළුවා, “තොපි සියලු දෙනා මේ කාරණය තොපගේ ආචාරීන් සමීපයේදී මාගෙන් විමසව” යි කීවේය. මිනිස්සු ඒ එළුවා රැගෙන ගොස් මේ කාරණය ආචාර්ය බ්‍රාහ්මණයා හට කීහ. ඒ ආචාර්යයා ද මිනිසුන් කී බස් අසා එළුවාගෙන්, “එළුවානෙනි, තොපි කවර කාරණයක් නිසා සිනාසුණේද? කවර කාරණයක් නිසා හැඬුවාහුදැ” යි විමසුවේය.
ඒ එළුවා ද තමා පෙර කළ අකුසල කර්මය ජාතිස්මරණ ඥානයෙන් සිහි කොට බමුණාට කීවේය: “බ්‍රාහ්මණයානෙනි, මම පෙර තොප සේම ත්‍රිවේදය හදාරන ලද බමුණකුව ඉපිද ‘මතකභක්තයක් දෙමි’ යි සිතා එළුවකු මරා දුන්නෙමි. ඒ මම, එම එළුවා මැරූ අකුසල කර්මයෙන්, එකකින් අඩු පන්සියයක් (499) ජාතිවලදී හිස කැපීම් දුකට පැමිණියෙමි. මේ මාගේ කෝටිප්‍රාප්තිය වූ (අවසාන වූ) පිරුණු පන්සිය වන ජාති ඇති ආත්ම භාවයයි. ඒ මම අද දවසේ මෙබඳු වූ දුකෙන් මිදෙමියි සොම්නසට පැමිණියෙමි; මේ කාරණයෙන් සිනාසුණෙමි.”
“අඬන්නෙම් වනාහි, මම එක් එළුවකු මරා ජාති පන්සියයක් මුළුල්ලෙහි හිස කැපීම් දුකට පැමිණ, අද ඒ දුකෙන් මිදෙමි. මේ බමුණා ද මා මරා මා සේම පන්සියයක් ජාතියෙහි හිස කැපීම් දුක ලබන්නේ යැයි තොප කෙරෙහි කරුණාවෙන් ඇඬිමි” යි කීවේය.
බමුණා එවිට, “එළුවානෙනි, බිය නොවව. මම තොප නොමරමි” යි කීය. “බමුණානෙනි, කුමක් කියවුද? තොප නොමැරුවත් මා විසින් අද මරණයෙන් මිදෙන්නට නොහැකිය” යි එළුවා කීවේය. බමුණා ද, “එළුවානෙනි, තොපි බිය නොවව. මම තොපට රැකවල් යොදා තොප හා සමඟ ඇවිදිමි” යි කීය. එවිට එළුවා, “බමුණානෙනි, තොපගේ ආරක්ෂාව ඉතා ස්වල්පය; මා විසින් කරන ලද අකුසල කර්මය මහත්ය, බලවත්ය” යි කීවේය.
බමුණා එළුවා නිදහස් කොට, “එළුවා කවර කෙනෙකුන් විසිනුත් මරන්නට ඉඩ නොදෙමු” යි කියා තමාගේ අතවැස්සන් රැගෙන ගොස් එළුවා සමඟම ඇවිදින්නේය. එළුවා බියෙන් නිදහස් කරන ලද්දේ, එක් ගල් තලාවක් මත හටගත් තණ කොළ කැලෑවක, කොළ කන්නට යැයි සිතා බෙල්ල ඔසවා පටන් ගත්තේය. එකෙණෙහිම ඒ ගල් තලාව මත අකුණක් ගැසුවේය. එයින් ගල් පතුරක් ගැලවී විසි වී ගොස්, එළුවා දිගු කළා වූ බෙල්ලෙහි වැදී හිස කැපී ගියේය. ඉක්බිති මහජනයා ද එතැනට රැස් වූහ.
එකල්හි මහා බෝධිසත්වයෝ ඒ ස්ථානයෙහි වෘක්ෂ දේවතාවාව උපන්හ. ඒ බෝධිසත්වයෝ ද මහජනයා බලා සිටියදීම දේවතානුභාවයෙන් කිසිදු ආධාරකයක් නොමැති අහසෙහි පලක් බැඳගෙන වැඩ හිඳ, “මේ සත්වයෝ මේ ආකාරයෙන් අකුසලයෙහි විපාක දැන ප්‍රාණඝාත නොකළෝ නම් යෙහෙකැ” යි සිතා, මිහිරි වූ කටහඬින් යුක්තව ධර්ම දේශනා කරන්නාහු මෙසේ කියති.
වෘක්ෂ දේවතාවා අහසෙහි හිඳ ධර්ම දේශනා කිරීම
“ඒ ඒ භවයෙහි සත්වයාගේ උත්පත්තියත්, ජරා ව්‍යාධි මරණ පැමිණීමත් දුක් වන්නේය” යි මෙසේ ලෝකයෙහි සත්වයෝ දන්නාහු වී නම්, සත්වයෙක් තවත් සත්වයකු නොමරන්නේය. ප්‍රාණඝාත කළා වූ පුද්ගලයා වනාහි අට මහ නරකයෙහිත්, සොළොස් ඔසුපත් නරකයෙහිත්, නොයෙක් ආකාර වූ තිරිසන් යෝනියෙහිත් ඉපිද මහ දුක් අනුභව කරමින් බොහෝ කලක් ශෝක කරන්නේය.
මෝහයෙන් මුළා වූ සත්වයෝ අවිද්‍යාවෙන් අන්ධව මේ ආදීනව නොදැක ප්‍රාණඝාත කරන්නාහු යැයි මෙසේ මහා බෝසතාණෝ නරක බියෙන් තැති ගන්වා ධර්ම දේශනා කළෝය. මනුෂ්‍යයෝ ධර්ම දේශනාව අසා නරක බියෙන් බියපත්ව ප්‍රාණඝාතයෙන් වැළකුණාහ. බෝධිසත්වයෝ ධර්ම දේශනා කොට මහජනයා ශීලයෙහි පිහිටුවා කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. මහජනයාත් බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා දානාදී වූ පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උපන්නාහ.
ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ‘මතකභක්ත’ ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි වෘක්ෂ දේවතාවාව ඉපිද ධර්ම දේශනා කළේ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මමම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.