16. තිපල්ලත්ථ මිග ජාතකය

star_outline
රාහුල තෙරුන්ගේ ශික්ෂාකාමී බව

තවද, තුන් ලොවට ගුරුවූ බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඇසුරු කොට බදිරිකාරාමයෙහි වැඩ වසන සේක්, ශික්ෂාකාමී වූ (හික්මීම ප්‍රිය කළ) රාහුල ස්ථවිරයන් වහන්සේ අරභයා මෙම ජාතකය වදාළ සේක.

එක් සමයක සර්වඥයන් වහන්සේ අලව් නුවර ඇසුරු කොට ‘අග්ගලව’ නම් දේවාලයෙහි වැඩ වසන කල්හි, බොහෝ උපාසකවරු ද භික්ෂුණීහු ද විහාරයට බණ ඇසීම පිණිස පැමිණෙති. දවල් දවස පුරා බණ අසති. කල් ගිය ගිය සේ උපාසකවරු ද භික්ෂුණීහු ද බණ අසා ආපසු නොගොස් එහිම රැඳී සිටියහ. භික්ෂූන් වහන්සේලා ද, උපාසකවරු ද ඒ පිරිසෙහි වූහ. එතැන් පටන් රාත්‍රියෙහි බණ ඇසීම සැලසුණේය.

බණ අසා අවසානයෙහි වැඩිමහළු භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා වැඩ වසන්නා වූ ස්ථානවලට ගොස් සැතපෙන සේක. බාල භික්ෂූන් වහන්සේලා, උපාසකවරුන් හා සමග භෝජන ශාලාවෙහි සැතපෙන සේක. ඒ උපාසකවරුන් හා පොඩි හාමුදුරුවරුන් නින්දට පැමිණි කල්හි, ඉන් සමහර කෙනෙක් “සුරු සුරු” යන ශබ්දය නගමින් හුස්ම ගන්නාහුය. දත් කමින් නිදන්නාහ. සමහර කෙනෙක් මද වෙලාවක් නිදා නැගී සිටිනාහ.

මේ විකාර ස්වභාවය දැක භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේට දැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ, “යම්කිසි මහණෙක් උපසම්පදා නොවූවන් (ගිහියන් හෝ සාමණේරයන්) හා එකම සෙනසුනෙහි එකට නිදාගත්තේ නම් පාචිත්තිය ආපත්තිය සිදුවන්නේය” යි ශික්ෂාපද පණවා කොසඹෑ නුවර බලා වැඩම කළ සේක.

වර්චස් කුටියෙහි ගත කළ රාත්‍රිය

ඒ විහාරයෙහි භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වූ රාහුල ස්ථවිරයන් වහන්සේට, “ඇවැත් වූ රාහුල ස්ථවිරයෙනි, සර්වඥයන් වහන්සේ විසින් උපසම්පදා නොවූවන් හා එක සෙනසුනේ නොසැතපෙන්නට ශික්ෂාපද පණවන ලදී. දැන් ඔබ, ඔබ වසන්නා වූ ස්ථානයක් දැනගන්න” යැයි කී සේක.

පළමුව ඒ භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවයෙන් ද, ඒ ආයුෂ්මතුන් වහන්සේගේ (රාහුල හිමියන්ගේ) ශික්ෂාකාමී බව නිසා ද, තමන් වහන්සේලා වසන්නා වූ ස්ථානයට පැමිණියා වූ ඒ රාහුල ස්ථවිරයන් වහන්සේට අතිශයින් සංග්‍රහ කරන සේක. මිටි ඇඳක් පණවා, හිස තබන්නට සිවුරක් ද දෙන සේක. එදින වනාහි ශික්ෂාපදයට ඇති බිය නිසා වසන්නා වූ ස්ථානයකුත් නොදුන් සේක.

රාහුලෝත්තමයාණෝ ද, “මාගේ පියාණන් වහන්සේය” යි සර්වඥයන් වහන්සේගේ ද, “මාගේ උපාධ්‍යායයන් වහන්සේය” යි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ද, “මාගේ ආචාරීන් වහන්සේය” යි මුගලන් මහතෙරුන් වහන්සේගේ ද, “මාගේ සුළුපියාණන් වහන්සේය” යි ආනන්ද මහතෙරුන් වහන්සේගේ ද සමීපයට නොගොස්, සර්වඥයන් වහන්සේ පරිහරණය කරන්නා වූ ‘වර්චස් කුටියට’ (වැසිකිළියට), බ්‍රහ්ම විමානයකට ඇතුළු වන්නාක් මෙන් ඇතුළු වී රාත්‍රියෙහි වාසය කළ සේක.

සර්වඥයන් වහන්සේ පරිහරණය කරන්නා වූ කුටියෙහි දොර අගුළු මැනවින් වසා තිබුණි. බිම සුවඳින් පිරිබඩ ගා පිරිසිදු කර තිබුණි. සුවඳ දුම් හා මල් දම් එල්ලා තිබුණි. මුළු රාත්‍රියෙහි පහන් දැල්වෙන්නේය. රාහුලෝත්තමයාණන් වහන්සේ ඒ කුටියෙහි ඉහත කී සැප සම්පත් තිබූ නිසා ඒ රාත්‍රියේ එහි වාසය කළා නොවෙයි. භික්ෂූන් වහන්සේ විසින් “ඔබ වසන්නා වූ ස්ථානයක් දැනගන්න” යැයි කියන ලද හෙයින් ද, අවවාදයෙහි ඇති ගෞරවයෙන් ද, ශික්ෂාකාමී බැවින් ද ඒ වර්චස් කුටියෙහි රාත්‍රිය වාසය කළ සේක.

මේ අතරතුරෙහි භික්ෂූන් වහන්සේලා ද ඒ රාහුල ස්ථවිරයන් වහන්සේ දුරදීම එනු දැක, උන්වහන්සේගේ වත්පිළිවෙත් රකින බව පරීක්ෂා කරන පිණිස මිටි මුස්න (කොස්ස) හෝ කසල පෙට්ටිය හෝ පිටතට දමා, “ඇවැත්නි, මේ කවුරුන් විසින් දමන ලද්දක් දැයි” අසන්නාහ. “කිසි කෙනෙකුන් විසින් රාහුල ස්ථවිරයෝ මේ මගින් ගියෝ දැ” යි කී කල්හි, රාහුල හිමියෝ “ස්වාමීනි, මේ මම නොදනිමි” යි නොකියා, ඒ නොතැන්පත්ව තිබූ මුස්න හා කසල පෙට්ටිය තැන්පත් කොට තබා, “මට ක්ෂමා කොට වදාළ මැනව ස්වාමීනි” යි භික්ෂූන් වහන්සේගෙන් සමාව ගෙන යන සේක. ඒ ආකාරයෙන් ශික්ෂාකාමී වූ රාහුල ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේගේ ශික්ෂාකාමී බව නිසා ඒ වර්චස් කුටියෙහි රාත්‍රිය වාසය කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ විමසීම

ඉක්බිති බුදුරජාණන් වහන්සේ අරුණ නැගෙන්නට පෙරාතුව වර්චස් කුටි ද්වාරයෙහි වැඩසිට කෑරූ සේක (උගුර පෑදූ සේක). ඒ රාහුල ස්ථවිරයන් වහන්සේ ද ඇතුළේ හිඳ කෑරූ සේක.

“මේ කවරෙක් දැ” යි බුදුහු විචාළ සේක.

“මම රාහුලය” යි පවසා උන්වහන්සේ දොරින් මෑත්ව වැඩම කළ සේක.

“රාහුලය, කවර හෙයකින් තොප මෙතැන වැදහොත්තෙහිදැ” යි විචාළ සේක.

“ලගිනා තැනක් නැති හෙයිනැ” යි කියා, “ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පළමුව මා ආ කල්හි සංග්‍රහ කළ සේක. දැන් තමන් වහන්සේලාට ආපත්ති වෙයි යන බියෙන් වසන තැන් නොදෙන සේක. ඒ මම මේ ස්ථානය අනික් කෙනෙකුන් විසින් ගැටීමක් නොකරන්නා වූ ස්ථානයක් වේදැයි සිතා මේ කාරණයෙන් මෙතැන සැතපුණෙමි” යි රාහුල හිමියෝ දැන්වූ සේක.

ඉක්බිති, “භික්ෂූහු දැන්ම රාහුලයා අත්හරින්නාහු, සෙසු කුලදරුවන් මහණ කරවා කුමක් කෙරෙත් දැ” යි සිතා සර්වඥයන් වහන්සේට ධර්ම සංවේගය උපන්නේය. ඉක්බිති උදෑසනම භික්ෂූන් වහන්සේලා රැස් කරවා දම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ අතින්, “ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, අද රාහුලයා කොතැනක ලැග්ගේද? තොපි දනු දැ” යි විචාරා වදාළ සේක.

“ස්වාමීනි, මම නොදනිමි” යි සැරියුත් හිමියෝ දැන්වූ සේක.

“ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, අද රාහුලයා වර්චස් කුටියෙහි ලැග්ගේය. මේ ආකාරයෙන් රාහුලයා අත්හරින්නා වූ තොපි හැම, සෙසු කුලදරුවන් මහණ කරවා කුමක් කරව් ද? මෙසේ කළ කල්හි මේ බුද්ධ ශාසනයෙහි පැවිද්දෝ පිහිටක් නොලබන්නාහු වේදැ” යි ධර්ම සංවේගයට පැමිණ, මෙතැන් පටන් උපසම්පදා නොවූවන් දින දෙකක් තමා සමීපයෙහි රඳවාගෙන, තුන්වැනි දවස ඔවුන් වසන තැනක් දැන පිටත නවාතැන් ගත යුතුයැයි කියා මේ අනුප්‍රඥප්තිය වදාරා නැවත ශික්ෂාපද පැනවූ සේක.

එකල්හි දම්සභා මණ්ඩපයෙහි වැඩ උන් භික්ෂූන් වහන්සේලා රාහුල ස්ථවිරයන් වහන්සේගේ ගුණ කථා කියන සේක්, “ඇවැත්නි, බලව, රාහුල ස්ථවිරයෝ යම්තාක් ශික්ෂාකාමීහුය. ඒ භික්ෂූන් විසින් ‘තොප වසන තැනක් දැනගන්න’ යැයි කියන ලද්දාහු, ‘මම සර්වඥ පුත්‍රයෙමි, තොපි හැම මේ සස්නට කවුරුදැයි තොපිම නික්මෙව’ යි කියා එකදු වචනයක්වත් හෝ ප්‍රතිචාරයක් නොකොට වර්චස් කුටියෙහි වාසය කළෝ දැ” යි කියා ඒ භික්ෂූන් වහන්සේ කථා කරන කල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළ සේක. සරසන ලද බුද්ධ ආසනයෙහි වැඩ හිඳ, “මහණෙනි, දැන් මා එන්නට පෙර කවර නම් කථාවකින් යුක්තව උනුදැ” යි විචාළ සේක.

“ස්වාමීනි රාහුල ස්ථවිරයන්ගේ ශික්ෂාකාමී බව කථා කොට කොට උන්නෙමු” යි දැන්වූ කල්හි සර්වඥයන් වහන්සේ ද, “මහණෙනි, රාහුල ස්ථවිරයෝ දැන් මතු ශික්ෂාකාමී නොවෙති, පෙර ආත්මයේත් තිරිසන් යෝනියෙහි උපන්නෝ ද ශික්ෂාකාමීව විසුවෝ වේදැ” යි වදාරා අතීත කතාව ගෙන හැර දක්වා වදාළ සේක.

අතීත කතාව: මෘග මායම් ඉගෙනීම

යටගිය දවස රජගහ නුවර එක් මගධ රජ කෙනෙක් රාජ්‍යය කරති. එකල්හි මහ බෝසතාණෝ මුව යෝනියෙක්හි ඉපිද මුව සමූහයා විසින් පිරිවරන ලදුව වනයෙහි වාසය කරන්නාහ. ඉක්බිති ඒ බෝධිසත්වයන්ගේ නැගණියෝ තමන්ගේ පුතණුවන් එතැනට කැඳවාගෙන අවුත්, “බෑයන් වහන්ස, නුඹ වහන්සේගේ බෑණනුවන්ට මෘග මායම් ඉගැන්නුව මැනවැ” යි කීවුය.

මහා බෝධිසත්වයෝ, “යහපතැ” යි නැගණියන්ට පිළිතුරු දී ඇයව යවා, “දරුව, අසවල් වෙලාවට ඇවිත් ඉගෙනගන්න” යි කීහ. ඒ මුව පැටවා ද මාමා විසින් නියම කොට කී වෙලාව නො ඉක්මවා බෝධිසත්වයන් කරා පැමිණ මෘග මායම් ඉගෙන ගත්තේය.

එක් දවසක් මුව පැටවා ද වනයෙහි ඇවිදින විට මලපුඩුවක (උගුලක) බැඳුනේ, තමා බැඳුනු බව කියා ඇඬුවේය. මුව සමූහයා ද පලා ගොස්, “තොපගේ පුතණුවෝ මලෙක බැඳුනෝ ය” යි ඒ මුව පැටවාගේ මවට කීහ. ඒ මුව දෙන ද තම සොහොයුරා සමීපයට ගොස්, “බෑයන් වහන්ස, නුඹ වහන්සේගේ බෑණනුවෝ මෘග මායම් ඉගෙන ගත්තේදැ” යි විචාළීය.

මහ බෝසතාණෝ ද, “තොපගේ පුතණුවන් ගැන තොපි කිසි සැකයක් නොකරව. ඔහු විසින් මෘග මායම් යහපත් කොට ඉගෙන ගන්නා ලදැයි ද, කිසිත් පීඩාවක් නැත, තොප සතුටු කරමින් දැන් එති” යි කියන්නා වූ බෝධිසත්වයෝ මෙසේ කීවාහුය:

“එම්බා පින්වත, තණකොළ කා නිදන්නා වූ, අට කුරයකින් යුක්ත වූ, මධ්‍යම රාත්‍රී වේලෙහි පැන් බොන සුලු වූ මට බෑනා වූ මුව පැටියාණන්ට නොයෙක් මෘග මායම් ඉගැන්වීමි. එසේ හෙයින් එක් නාසා පුටයකින් හුලං රඳවා භූමියෙහි වැතිරී හුස්ම ගනිමින්, කලා සයකින් යුක්ත වූ මෘග මායමින් වැද්දා රවටා, තොපගේ පුත්‍රයාණෝ තොප සතුටු කරමින් නොබෝ කලකින් එන්නාහ” යි ඒ බෝධිසත්වයෝ කීවාහුය.

මෙසේ මහා බෝධිසත්වයෝ තමන්ගේ බෑණනුවන්ට මෘග මායම් යහපත් කොට ඉගැන්වූ බව දක්වන්නාහු නැගණියන්ට “ශෝක නොකරව” යි අස්වැසූහ.

උපාය සහ ජයග්‍රහණය

ඒ මුව පැටවා ද මල බැඳුනු තැනැත්තෝ නොසෙල්වී භූමියෙහි වැතිරී, ඉල ඇට පෙනෙන ආකාරයෙන් කකුල් දිගුකොට, එක ඇලයකින් වැදහොත් තැනට ආසන්නයෙහි කුර අගින් ගසා පස් ද තණ ද උපුල්වා දැමුවේය. මල මුත්‍ර පිටත් කොට, හිස එල්ලා දමා, දිව දික්කොට, මුළු ශරීරය කෙළින් කිළිටු කොට ගත්තේය. හුළං ගැනීමෙන් බඩ පුම්බාගෙන, ඇස පෙරළාගෙන, යට වූ නාසා පුටයෙන් වාතය හිර කරගනිමින්, උඩ ඇති නාසා පුටයෙන් පිටත නික්මෙන්නා වූ වාතය රඳවා, සියලු ශරීරයෙහි තද බව ගන්වා මළා වූ ආකාර දැක්වූයේය. නිලමැස්සෝ ද ඔහු වටකොට ගත්හ. ඒ ඒ ස්ථානයෙහි කපුටොත් සැඟවී සිටියහ.

Story Illustration මුවා මළාක් මෙන් රඟපාමින් වැද්දා රවටන අයුරු

මේ ආකාරයෙන් වැදහොත් තැනට මලලු වැදි අවුත්, මුවාගේ බඩට අත ගසා, “උදෑසනම බැඳුනේය, දැන් වන කුණු වී ගියේ ය” යි සිතා, ඌ බැඳුනු වරපට මුදා, “මෙතැනදීම මොහු මස් කොට ගෙන යෙමි” යි සැකයක් නැතිව කොළ අතු කඩන්නට පටන් ගත්තේය.

මුව පැටවා ද වැදහොත් තැනින් නැගී, සතර පයින් ශරීරයේ සිට කිළි පොළා, කර දික්කොට, මහවාතයෙන් ගසාගෙන යන වලාකුළක් මෙන් යුහුව දුවගෙන ගොස් මෑණියන් සමීපයට ගියේය.

සර්වඥයන් වහන්සේ ද, “මහණෙනි, රාහුලයා දැන් මතු ශික්ෂාකාමී නොවෙයි, පූර්වයෙහිත් ශික්ෂාකාමී ය” යි වදාරා මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සන්ධි ගළපා ‘තිපල්ලත්ථමිග’ ජාතකය නිමවා වදාළ සේක.

“එකල්හි බෑනා වූ මුව පැටියාණෝ නම් දැන් රාහුල ස්ථවිරයෝය. ඒ මුව පැටියාණන්ගේ මෑණියෝ නම් උපුල්වන් මහා ස්ථවිරියය. මුව පැටියාණන්ට මාමා වූ මුවාණෝ නම් ලොවුතුරා බුදු වූ මම්මය” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.