තවද එක් සමයක සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.
ශාස්තෘන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරන කල්හි, ‘තිස්ස’ කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටුකුලයක පුත්‍රයෙක් විය. ඒ සිටු පුත්‍ර තෙම එක් දිනක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා, පැවිදි වනු කැමතිව පැවිදි වීමට යාච්ඤා කළේය. එහෙත් දෙමව්පියන් විසින් අවසර නොදුන් හෙයින් එය ප්‍රතික්ෂේප කරන ලද්දේය. එවිට හෙතෙම සත් දවසක් නිරාහාරව සිට, රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම මව්පියන් දෙදෙනා ලවා අවසර ගෙන සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක.
සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩි සේක. එතැන්හිදී මේ කුල පුත්‍රයන් වහන්සේ තෙළෙස් ධුතාංගයන් සමාදන්ව, සැවැත් නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙමින් කල් යවන සේක. ‘චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ’ යැයි කී කල්හි ආකාශයෙහි චන්ද්‍රයා මෙන් සර්වඥ ශාසනයෙහි ප්‍රකාශව ප්‍රසිද්ධ වූ සේක.
එසමයෙහි රජගහ නුවර නැකැත් කෙළි පවත්වන කල්හි, ස්ථවිරයන් වහන්සේගේ මව්පිය දෙදෙනා උන්වහන්සේ ගිහි කල පරිහරණය කළ යම් ආභරණ භාණ්ඩයක් ඇද්ද, ඒ ආභරණ බඩු රෙදි කරඬුවක බහා තමන් ඉදිරිපිට තබාගෙන මෙසේ හඬන්නාහුය: “අනිකුත් නැකැත් කෙළි වලදී අපගේ පුත්‍රයා මෙන්න මේ මේ අලංකාරයෙන් සැරසී නැකැත්කෙළි පවත්වන්නේය. අපගේ ඒ එකම පුත්‍රයා රැගෙන ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ සැවැත් නුවරට වැඩි සේක. අපගේ පුත්‍රයා දැන් කොතැනක උන්නාහුද? කොතැනක සිටි සේක්ද?”
ඉක්බිත්තෙන් එක් වර්ණදාසියක් ඒ සිටු කුලයට ගොස්, හඬන්නා වූ සිටු භාර්යාව දැක, “ආර්යාවෙනි, කවර හෙයකින් අඬන්නීදැ?” යි විචාළාය. සිටු භාර්යාවෝ ඒ කාරණාව පැවසුවාහුය. එවිට ඈ, “ආර්යාවෙනි, ස්වාමි පුත්‍රයාණෝ කවර දෙයකට කැමතිවන්නාහුදැ?” යි ඇසුවාය. සිටු දේවිය “අසවල් අසවල් දෙයටය” යි කීවාය. එවිට වර්ණදාසිය, “ඉදින් නුඹ වහන්සේ මේ ගෙයි සියලු ඓශ්චර්යය මට දෙන්නහු නම් මම තොපගේ පුත්‍රයා රැගෙන එන්නෙමි” යි කීවාය. සිටු භාර්යාව ඒ වචනය “යහපතැ” යි පිළිගෙන, ඈට වැටුප් දී පිරිවර ලබා දී ඒ වර්ණදාසිය පිටත් කළාය. “යව, තමාගේ බලයෙන් මාගේ පුත්‍රයා ගෙන්වාගෙන එව” යි කීවාය.
ඒ වේශ්‍යාංගනාව පියසි සහිත යානාවක නැගී සැවැත් නුවරට ගොස්, තෙරුන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන වීථියෙහි නවාතැන් ගෙන, සිටු කුලයෙන් පැමිණි මනුෂ්‍යයන් තෙරුන් වහන්සේට නොපෙනෙන සේ තබා, තමාගේම පිරිවරින් පිරිවරා ගන්නා ලද්දීය. පිඬු පිණිස හැසිරෙන්නා වූ තෙරුන් වහන්සේට පළමුකොට බත් සැන්දක් පිළිගන්වා, ක්‍රමයෙන් බත් මළාවක් පිළිගන්වා, තෘෂ්ණාවෙහි බැඳ, අනුක්‍රමයෙන් ගෙයි වැඩ හිඳිනට සලස්වා, ආහාරය දෙන්නී, උන්වහන්සේ තමාගේ වසඟයට පැමිණි බව දැන ගිලන් ආකාරයක් දක්වා ඇතුළු ගබඩාවෙහි ශයනය කළාය.
තෙරුන් වහන්සේ ද භික්ෂාචාර වේලෙහි ගෙපිළිවෙළින් හැසිරෙන සේක් ඇගේ ගෙයි දොරට පැමිණි සේක. පිරිවර ජනයෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන තෙරුන් වහන්සේට ගෙයි වැඩ හිඳිනට සැලැස්සුවාහුය. තෙරුන් වහන්සේ වැඩ හිඳගෙනම, “උපාසිකාව කොහිදැ?” යි විචාළ සේක. “ස්වාමීන් වහන්ස ඈ ගිලන් වූවාය, නුඹවහන්සේ දක්නට කැමැතිය” යි ඔවුහු කීහ. උන්වහන්සේ රස තෘෂ්ණාවෙහි බැඳුණ සේක්, තමාගේ ව්‍රතසමාදානය බිඳ, වේශ්‍යාංගනාව හුන් තැනට වැඩි සේක.
ඒ ස්ත්‍රී තමා ආ කාරණාව කියා උන්වහන්සේ පොළඹවා, රස තෘෂ්ණාවෙන් බැඳ, සිවුරු හරවා, තමාගේ වසඟයෙහි තබා, යානාවේ හිඳිනට සලස්වා මහත් වූ පිරිවරින් රජගහ නුවරටම රැගෙන ගියාය. ඒ ප්‍රවෘත්තිය හැම තැන්හිම ප්‍රසිද්ධ විය. භික්ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපයෙහි වට වී රැස්ව හුන්නාහු, “ඇවැත්නි, චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි එක් වර්ණදාසියක් විසින් රස තෘෂ්ණාවෙන් බැඳගෙන යන ලද්දාහ” යි කියා කථාවක් පහළ කළාහුය.
සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට එළඹ අලංකෘත වූ බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ, “මහණෙනි, මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උන්නාහුදැ?” යි වදාළ කල්හි ඒ භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරන සේක්, “මහණෙනි, මේ චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයෝ රස තෘෂ්ණාවෙහි බැඳී මේ ස්ත්‍රියට වසඟ වූයේ දැන් මතු නොවෙති. පෙරත් මේ ස්ථවිරයෝ මේ ස්ත්‍රියට වසඟ වූවාහුම යැ” යි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජජුරුවන්ගේ සංජය නම් උද්‍යාන පාලකයෙක් උයන රක්ෂා කරන්නේය. ඉක්බිත්තෙන් එක් ‘වාත මෘගයෙක්’ (සුළඟ මෙන් වේගයෙන් දුවන මුවෙක්) ඒ උයනට අවුත් සංජය නම් උද්‍යාන පාලකයා දැක දිව යන්නේය. සංජය නම් උද්‍යාන පාලකයාද ඔහු තැති ගන්වා පලවා නොහරින්නේය. ඒ මෘගයා නැවත නැවත අවුත් උයනෙහිම හැසිරෙන්නේය. උද්‍යාන පාලක තෙම උයනේ නොයෙක් මල් ඵල ආදිය ගෙන දවස් පතා රජහට දක්වන්නේය.
ඉක්බිත්තෙන් එක් දවසක් රජජුරුවෝ කියන සේක්, “යහළු උද්‍යාන පාලකය, උයනේ කිසි ආශ්චර්යවත් දෙයක් දුටුවා ඇත්තෙහි නම් කියව” යි කී සේක. “මහරජජුරුවන් වහන්ස, අනිකක් නුදුටුවෙමි. එක් වාත මෘගයෙක් වනාහී අවුත් උයනෙහි හැසිරෙන්නේය. ඔහු දුටුවෙමි” යි කීයේය. “ඔහු අල්වා ගන්නට හැකි වන්නෙහිදැ?” යි රජු විචාළ සේක. “මී පැණි මඳක් ලද්දේ නම් මෘගයා රජගෙයි ඇතුළටම පමුණුවන්නට හැකි වන්නෙමි” යි හෙතෙම කීවේය. රජජුරුවෝ ඔහුට මී පැණි දුන් සේක.
උද්‍යාන පාලකයා මී පැණි ගෙන උයනට ගොස්, වාතමෘගයා ගොදුරු කා ඇවිදින තන්හි තණපත් වල මීපැණි ගල්වා සැඟවී සිටියේය. මෘගයා අවුත් මීයෙන් ගල්වන ලද තණ අනුභව කොට රස තෘෂ්ණාවෙහි බැඳුණේය. අන් තැනකට නොගොස් උයනටම එන්නේය. උද්‍යාන පාලක තෙම ඔහු මී ගල්වන ලද තෘණයෙහි ඇළුණු බව දැන ක්‍රමයෙන් තමා පෙනුණේය. මෘග තෙම උද්‍යාන පාලකයා දැක කීප දවසක් දිව ගොස්, නැවත නැවත දකින විට විශ්වාස බවට පැමිණ, ක්‍රමයෙන් උද්‍යාන පාලකයාගේ හස්තයෙහි තිබෙන තණ අනුභව කරන්නේය.
සංජය නම් උද්‍යාන පාලක තෙම මෘගයා විශ්වාස බවට පැමිණියා දැන, රාජ වාස භවනය දක්වා වීථි මාර්ගය හණ පැදුරු වලින් වටකොට, ඒ ඒ තන්හි කොළ අතු කඩා හෙළා, මී පුරන ලද ලබු ගෙඩිය ඇකයෙහි (ඉණෙහි) එල්ලාගෙන, තණ මිටිය කිසිල්ලෙහි තබාගෙන, මී ගල්වන ලද තෘණයෙන් මෘගයාගේ අභිමුඛයෙහි විසුරුවමින් රජගෙයි ඇතුළටම ගෙන ගියේය. මෘගයා ඇතුළට වන් කල්හි දොර වැසුවේය.
සංජය නම් උද්‍යාන පාලකයා මී පැණි තැවරූ තණකොළ කවමින් වාතමෘගයා රජ මාලිගාව තුළට ගෙන යන අයුරු.
මෘගයා මනුෂ්‍යයින් දැක කම්පා වෙමින් මරණ බියෙන් බියපත් වූයේ, ඇතුළු රාජාංගනයෙහි ඔබමොබ ධාවනය කරන්නේය. රජජුරුවෝ මතු මහල් තලයෙන් බැස කම්පා වන්නා වූ මෘගයා දැක මෙසේ සිතූ සේක:
“වාත මෘගයා නම් මනුෂ්‍යයන් දුටු තැනට සත් දවසක් නොඑන්නේය. තැතිගත් තැනට ජීවිතාන්තය දක්වා නොඑන්නේය. ඒ වාතමෘගයා සංජය තෙමේ රස තෘෂ්ණාවෙන් බැඳ යටත් කොට ගත්තේය. මෙබඳු ගහණ නිශ්‍රිත වූ (වනය ඇසුරු කළ) වාත මෘග තෙම රස තෘෂ්ණාවෙහි බැඳී දැන් මෙබඳු තැනට ආයේය. ඒකාන්තයෙන් පින්වත්නි, මේ ලෝකයෙහි රස තෘෂ්ණාවට වැඩියෙන් ලාමක දෙයක් නැත්තේය” යි කියා ධර්ම දේශනාවට පටන්ගත් සේක.
“නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහි ද ඡන්දරාග ලාමකය,
මිත්‍රසන්ථවයෙහිද ඡන්දරාග ලාමකය.
මේ දෙතැන්හි ඇල්මට වඩා මධුරාම්ලාදී වූ ජිහ්වා විඥෙය වූ රසයෙහි ඇලීම පවිටු වන්නේය.
කුමක් හෙයින්ද? යත්,
ආරණ්‍යයෙහි ගහන නිශ්‍රිත වූ වාත මෘගයා සංජය නම් උද්‍යාන පාලයා මධුර රසයෙන් තමාගේ වසගයට පැමිණ වූයේය”
යැයි කියා රස තෘෂ්ණාවෙහි ආදීනව වදාරා ඒ මෘගයා ආරණ්‍යයට යැවූ සේක.
ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, ඒ වර්ණදාසිය මේ මහණ රස තෘෂ්ණාවෙන් බැඳ තමා වසඟ කළේ දැන් මතු නොවේ. පෙරත් වසඟ කළාය” යි වදාරා මේ දම් දෙසුම් ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ වාතමිග ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි සංජය නම් උද්‍යාන පාලකයා නම් මේ වර්ණදාසිය වූවාය. වාතමෘගයා නම් චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයෝය. බරණැස් රජව උපන්නෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වෙදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.