තවද එක් කාලයක අසරණ සරණ වූ, තුන් ලොවටම ගුරු වූ සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ඇසුරු කොට දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ මෑණියන් අරභයා මේ ජාතකය වදාළ සේක. එය කෙසේ ද යත්;
ඒ තෙරුන් වහන්සේගේ මෑණියෝ නම් රජගහ නුවර මහා සම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියකි. ඇය පෙර ජන්මයන්හි රැස් කරන ලද බොහෝ කුසල් මුල් ඇත්තියකි; අනිත්‍යාදී වශයෙන් පරීක්ෂා කරන ලද සංස්කාර ධර්මයන් ඇත්තියකි; මේ ඇයගේ අවසන් ආත්ම භාවය විය. කළයක් තුළ දැල්වූ පහනක් මෙන් ඇයගේ අර්හත් ඵලයට ඇති වාසනාව බබළන්නේය.
ඒ සිටු කුමාරිකාව තමා යමක් කමක් තේරුම් ගත් තැන් පටන් ගිහිගෙයි ඇල්මක් නැතිව, මහණ වනු කැමැතිව දෙමාපියන්ට මෙසේ කීවාය: “මෑණියනි, පියාණෙනි, මට ගිහිගෙයි විසීමෙහි සිත සතුටු නොවෙයි. මම සංසාරයෙන් එතෙර කරවන සර්වඥ ශාසනයෙහි මහණ වනු කැමැත්තෙමි. මා මහණ කරවන්න.”
ඒ බස් ඇසූ දෙමාපියෝ මෙසේ කීහ: “දියණියනි, කුමක් කියව් ද? අපගේ ගෙයි බොහෝ වස්තුව ඇත්තේය. නුඹ ද අපගේ එකම දියණියයි. එසේ හෙයින් නුඹට මහණ වීමට නොහැකිය.”
ඒ සිටු කුමාරිකාව නැවත නැවතත් ඉල්ලා සිටිය ද දෙමාපියන්ගෙන් මහණ වීමට අවසරයක් නොලැබූ හෙයින් මෙසේ සිතුවාය: “වන්නාට, පුරුෂයෙකුට පාවා දුන් කල ඒ පුරුෂයාගේ සිත දිනාගෙන මහණ වෙමි.”
ඉක්බිත්තෙන් ඒ සිටු දියණිය වැඩිවියට පැමිණි පසු, දෙමාපියන් විසින් පාවා දෙන ලද පුරුෂයාගේ ගෙට ගොස්, පති දෙවතාව ස්වාමි පුරුෂයා දෙවියකු මෙන් සිතින් සිතා, පංච සීලයෙන් හා ආචාර සීලයෙන් යුක්තව දානාදී වූ පින්කම් කෙරෙමින් ගිහිගෙයි විසුවාය. එකල ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් සිටු කුමාරිකාවගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. නමුත් ඇය තමාට දරු ගැබක් පිහිටි බව නොදත්තාය.
ඉක්බිත්තෙන් එක් දවසක් ඒ නුවර නැකැත් කෙළි පැවැත්වීම පිළිබඳ අණබෙරය ගසනු ලැබ, සියලු නුවර වැසියෝ නැකැත් ක්‍රීඩා කිරීමට පටන් ගත්තාහ. මුළු සැවැත් නුවරම ශක්‍ර පුරයක් මෙන් සරසා පිළියෙල කරන ලද්දේ විය. ඒ කුමාරිකාව ද, දැන් මහත් වූ නකත් ක්‍රීඩාව පවත්නා කල්හි, තමාගේ ශරීරය සුවඳ විලවුන් ආදිය ගල්වන්නේත් නැත; වස්ත්‍රාභරණාදියෙන් සැරසෙන්නේත් නැත; තමාගේ සාමාන්‍ය ස්වභාවයෙන්ම ඇවිදින්නීය.
ඇගේ සැමියා ඇයට මෙසේ කීවේය: “සොඳුර, මේ මුළු නුවරම නකත් කෙළි ඇසුරු කොට ඇත්තේය. නුඹ කුමක් නිසා ශරීරය අලංකාර නොකරව් ද?”
ඇය මෙසේ පිළිතුරු දුන්නාය: “ස්වාමි පුත්‍රය, දෙතිස් කුණප කොට්ඨාශයෙන් පිරුණා වූ මාගේ ශරීරය මේ වස්ත්‍රාභරණාදියෙන් සැරසීමෙන් ඇති ප්‍රයෝජනය කිම ද? මාගේ ශරීරය දෙවියන් විසින් මවන ලද්දේත් නොවෙයි; බ්‍රහ්මයන් විසින් මවන ලද්දේත් නොවෙයි; රන්වලින් කරන ලද්දේත් නොවෙයි; මැණික්වලින් කරන ලද්දේත් නොවෙයි; හෙළ සඳුන් ආදී වූ චන්දනයෙන් කරන ලද්දේත් නොවෙයි; රත් නෙළුම්, හෙළ නෙළුම්, රතු මහනෙල්, සුදු මහනෙල් ගර්භයෙන් උපන්නේත් නොවෙයි; දිව්‍ය ඖෂධයකින් කරන ලද්දේත් නොවෙයි.”
“එසේ නම් කෙසේ උපන්නේ ද යත්; කුණු කයෙහි හටගත්තේය. මව්පිය දෙදෙනාගේ එක්වීමෙන් උපන්නේය. අනිත්‍යය. ඉළීම්, මැඩීම්, බිඳීම්, නැසීම් ස්වභාව කොට ඇත්තේය. සොහොන වර්ධනය කරන්නේය. තෘෂ්ණා උපාදාන දෙකින් යුක්තය. ශෝකයට මුල් හේතුවය. ඇඬීමට වස්තුය. සියලු රෝගයට වාසස්ථානයය. දෙතිස් වධ බන්ධන කරන්නවුන්ට හසු වන්නකි. ඇතුළත කුණුය. පිටත නිරන්තරයෙන් වැහෙන්නා වූ කුණු ඇත්තේය. අසූ දහසක් ක්‍රිමි කුලයන්ට වාසස්ථානයකි. අමු සොහොනට ළංව සිටියේය. මරණය කෙළවර කොට ඇත්තේය.”
“සියලු ලෝකවාසීන්ගේ ඇස් හමුවෙහි පවත්නා වූ මේ ශරීරය තුන්සියයක් පමණ ඇටසැකිලිවලින් ද, නවසියයක් නහරින් ද යෙදුණේය. සමින් ද, නවසියයක් මස් වැදැල්ලෙන් ද, දළබුවෙන් ද යුක්තය. මේ කීවා වූ සියල්ලම මේ සමින් වැසී සිටියේය. එසේ හෙයින් ඇති තත්ත්වය පිටත සිටියවුන්ට නොපෙනෙන්නේය. ඇතුළතින් ද පිරී සිටියේය. උදරයෙන් පිරී සිටියේය. අක්මාවට ද, හෘදය මාංශයට ද, පපු කැනට ද, වකුගඩුවට ද, බඩදිවට ද, සොටුවට ද, කෙළට ද, සෙමට ද, ඩහදියට ද, මේද තෙලට ද, සඳමිදුලට ද, පිත්තයට ද වාසස්ථානය වේ.”
“තවද ඒ සත්ත්වයාගේ නව මහා දොරින් හැම වේලෙහිම අසූචි වහනය වන්නේය. දෑසින් ‘රිල්’ ව්‍යවහාරයෙන් අක්ෂි ගූථය (කබ) ද, දෙකන් සිදුරෙන් ‘කාරා’ ව්‍යවහාරයෙන් කන් ගූථය (කන් කූර) ද, දෙනාසා පුටයෙන් වෑහෙන්නා වූ සොටු ද, පිත්තය ද, සෙම ද සමහර වේලෙහි මුඛයෙන් වමනය කරන්නේය. ශරීරයෙන් ඩහදිය වහනය කරන්නේය. යළිදු ඒ සත්ත්වයාගේ සිදුරු හිස සහ හිස් මුලින් ද පිරුණේය. අවිද්‍යාව පෙරදැරි කොට ඇත්තා වූ අඥාන සත්ත්ව තෙම, ඉහත කියන ලද කුණප කොටස්වලින් යුක්ත වූ ඒ සත්ත්වයා ‘යහපතැ’ යි සිතන්නේය. මේ ශරීරය අපමණ වූ දෝෂයන්ගෙන් ද යුක්තය. විෂ වෘක්ෂයකට බඳු වූ උපමාත් ඇත්තේය. සියලු රෝගයන්ට වාසස්ථානයය. ඒකාන්තයෙන්ම සියලු දුක්වලට මුලයය.”
“ඉදින් මේ කුණු ශරීරයේ ඇතුළත, පිටත වූයේ වී නම් (එනම් ඇතුළත තිබෙන දේ පිටතට පෙනුණේ නම්), ඒකාන්තයෙන් දණ්ඩක් රැගෙන කෑමට පැමිණි කවුඩු බලු ආදීන් එය වළකන්නේය. මේ ශරීරය දුර්ගන්ධ වහනය කරන්නේය. එසේ හෙයින් අපවිත්‍රය. මළ සිරුරක් වැනිය. පට රෙදි කැබැල්ලකින් වසා තිබූ කසළ ගොඩකට බඳු වූ උපමා ඇත්තේය. ඇතුළ අසූචි පුරවා, පිටත සිතියම් කළ මැටි කළයකට බඳු උපමා ඇත්තේය. තවද මේ ශරීරය නුවණැස් ඇත්තවුන් විසින් නින්දා කරන ලදුව, අඥාන සත්ත්වයන් විසින් සතුටු වන ලද්දේය. ස්වාමි පුත්‍රය, මේ කුණු ශරීරය සරසා කුමක් කෙරෙම් ද? මේ ශරීරය සැරසීම අසූචි පිරුණා වූ කළයක පිටත සිතියම් කරන්නාක් වැනිය.”
සිටු පුත්‍රයාණෝ ඒ කුමාරිකාව මෙලෙසින් අනිත්‍යය සම්බන්ධව කියන්නා වූ බස අසා මෙසේ කීහ: “සොඳුර, නුඹ මේ ශරීරයෙහි මෙලෙසින් දෝෂ දකින්නේ නම්, කවර හෙයකින් මහණ නොවව් ද?”
ඇය කීවාය: “ස්වාමි පුත්‍රයාණෙනි, මහණ වීමට ඔබ විසින් කැමැත්ත ලැබුණේ නම් අදම මහණ වෙමි.”
සිටු පුත්‍රයාණෝ ද, “යහපත, මම නුඹ මහණ කරවමි” යි කියා මහ දන් පවත්වා, මහත් වූ සත්කාර සම්මාන කොට, මහත් වූ පෙරහැරින් භික්ෂුණී ආරාමයට ගෙන ගොස්, ඒ කුමාරිකාව මහණ කරවන්නාහු දේවදත්ත මහා තෙරුන් වහන්සේට පක්ෂව සිටිනා වූ භික්ෂුණීන් සමීපයෙහි මහණ කරවූහ.
ඒ කුමාරිකාව ද පැවිද්ද ලබා සම්පූර්ණ වූ චිත්ත සංකල්පනා ඇත්තී, සතුටු වූ සිත් ඇත්තී වූවාය. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාවගේ දරු ගැබ මුහුකුරා යෑමට පටන් ගත්තේය. ඇස් ආදී ඉන්ද්‍රියන්ගේ වෙනස් වීම ද, අත් පා පිටුපස ඉදිමුණු බව ද, උදර පටලයේ මහත් බව ද දැක භික්ෂුණීහු මෙසේ ඇසුවාය: “ආර්යාවෙනි, නුඹ දරුවෙකු ඇත්තාක් මෙන් පෙනෙයි. මේ කුමක් ද?”
ඇය පිළිතුරු දෙමින්, “ආර්යාවෙනි, මම මේ නම් කාරණයක් යැයි නොදනිමි; මාගේ සීලය සම්පූර්ණය” යි කීවාය.
ඉක්බිත්තෙන් ඒ භික්ෂුණිය ද, ඉතිරි භික්ෂුණීහු ද දේවදත්ත මහ තෙරුන් සමීපයට කැඳවාගෙන ගොස්, “ආර්යයන් වහන්ස, මේ කුල ස්ත්‍රිය දුක සේ සැමියාගේ සිත දිනාගෙන පැවිද්ද ලද්දීය. දැන් වනාහි මැයගේ දරු ගැබක් පෙනෙන්නේය. අප හැම මේ ගර්භය ගිහි කල ලත් බවත්, මහණ වූ කල ලත් බවත් නොදනිමු. දැන් මීට කුමක් කරමු දැ?” යි විචාළාහුය.
දේවදත්ත ස්ථවිරයෝ ද තමන් බුදු නොවන බැවින් ද, අනුන් කෙරෙහි ඉවසීමක්, මෛත්‍රියක්, දයාවක් නැති හෙයින් ද මෙසේ සිතූහ: “දේවදත්ත ස්ථවිරයන්ගේ පක්ෂයෙහි භික්ෂුණියක් කුසින් දරු ගැබක් පරිහරණය කරන්නීලු, දේවදත්ත ස්ථවිරයෝ ද ඒ බලා ඉඳිතියි මට නින්දා උපදින්නේය. එබැවින් මා විසින් මේ මෙහෙණින්න මෙතැනින් නෙරපා දැමීමට සුදුසුය.”
මෙසේ සිතා ඒ දේවදත්ත ස්ථවිරයෝ කිසිදු පරීක්ෂාවක් නොකොටම, “ගල් කැටයක් පෙරළෙන කලක් පරිද්දෙන් (ක්ෂණිකව) උඩට පැන නැගී යව, මැය මෙතැනින් නෙරපා දමව” යි කීහ. ඒ භික්ෂුණිය ද දේවදත්ත ස්ථවිරයන් කී බස් අසා, හුනස්නෙන් නැගී සිට වැඳලා, සර්වඥයන් වහන්සේගේ පක්ෂයෙහි භික්ෂුණීන් වසන්නා වූ ස්ථානයට ගියාය.
ඉක්බිත්තෙන් ඒ බාල වූ මෙහෙණින්න භික්ෂුණීන්ට කියන්නී: “ආර්යාවෙනි, දේවදත්ත ස්ථවිරයෝ බුදු නොවෙති. මට උන් සමීපයෙහි මහණව සිටීමෙන් ප්‍රයෝජන නැත. මේ ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ සර්වඥයන් වහන්සේ සමීපයෙහි මහණ වීමට බලාපොරොත්තු වී මා විසින් දුක සේ ලබා ගත්තා වූ මේ පැවිද්ද නැති නොකරව. මා කැඳවාගෙන සර්වඥයන් වහන්සේ වෙත ජේතවනාරාමයට යව” යි කීවාය.
ඒ භික්ෂුණීහු ද අලුත පැමිණියා වූ භික්ෂුණිය කැඳවාගෙන රජගහ නුවර සිට පන්සාළිස් යොදුනක් මග ගෙවා අනුක්‍රමයෙන් ජේතවනාරාමයට පැමිණ, සර්වඥයන් වහන්සේ වැඳ මේ කාරණය දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ ‘මැයගේ දරු ගැබ ගිහි කලම පිහිටියේය’ යි සිතූ සේක.
එසේ නියම කොට දැන සිටියත්, “ශ්‍රමණ භවත් ගෞතමයෝ දේවදත්ත ස්ථවිරයන් විසින් හරින ලද මෙහෙණින්නක බාරගෙන සිටිනාහ” යි තීර්ථකයන්ට කියන්නට අවස්ථාවක් පෙනෙන්නේය. එහෙයින් මේ උපන් කථාව විමසා තහවුරු කිරීමට ද, රජුන් සහිත පිරිස මැද විනිශ්චය කිරීමට ද සුදුසු වන්නේ යැයි සිතූ සේක.
දෙවෙනි දවස් පසේනදී කොසොල් රජ්ජුරුවන් ද, අනේපිඬු මහ සිටාණන් ද, චූල අනාථ පිණ්ඩිකයන් ද, විශාඛා මහා උපාසිකාව ද, අනිකුත් ප්‍රසිද්ධ වූ මහ කුලයන් ද කැඳවාලා මේ අධිකරණය (නඩුව) විමසා තහවුරු කිරීමට පාවා දුන් සේක. සවස් වේලෙහි සිව්වණක් පිරිස රැස්වූ කල්හි විනයට අග්‍ර කොට තබන ලද්දා වූ උපාලි ස්ථවිරයන් වහන්සේට, “යව, සිව්වණක් පිරිස මැද මේ බාල භික්ෂුණියගේ අධිකරණය විමසා නිර්දෝෂී බව හෙළි කරව” යි වදාළ සේක.
“යහපත ස්වාමීනි” යි තෙරුන් වහන්සේ පිරිස මැදට ගොස් තමන් වහන්සේට පැනවූ ආසනයෙහි වැඩ හිඳ, රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි දී විශාඛා මහා උපාසිකාවන් කැඳවා, “යව මහා උපාසිකාවෙනි, මේ ළදරු භික්ෂුණිය අසවල් මාසයේ අසවල් දවසේ මහණ වූවා යැයි නිවැරදිව දැන, මේ දරු ගැබ මහණ වන්නට පෙර හටගත්තක් දෝ හෝ, පසුව හටගත්තක් දෝ හෝ යැයි නියම වශයෙන් දැන කියව” යි විශාඛාවන් අතට පාවා දුන් සේක.
විශාඛා මහා උපාසිකාව ද “යහපත ස්වාමීනි” යි පිළිගෙන, වට කොට තිරයක් ඇද, තිරය ඇතුළේ දී බාල භික්ෂුණියගේ අත් පා ආදියත් බඩ කෙළවර කොටත් බලා, මාස දවස් එකතු කොට ගණන් පරීක්ෂා කරවා, ගිහි කල දරු ගැබ ලැබූ බව නිවැරදිව දැන, උපාලි ස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් මේ බව දැන්වූවාය. තෙරුන් වහන්සේ ද සිව්වණක් පිරිස මැද දී ඒ භික්ෂුණිය නිදොස් කළ සේක. ඒ භික්ෂුණිය ද උපන් කිලුටින් (අපවාදයෙන්) ශුද්ධව, භික්ෂු සංඝයා වහන්සේ ද සර්වඥයන් වහන්සේ ද වැඳ සෙසු භික්ෂුණීන් හා සමඟ මෙහෙණින්නන් වසන්නා වූ ස්ථානයට ගියාය.
ඇය දරු ගැබ මුහුකුරා ගිය කල්හි, පියුමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති මහානුභාව සම්පන්න වූ පුත්‍රයාණ කෙනෙකුන් වැදුවාය.
ඉක්බිත්තෙන් එක් දවසක් පසේනදී කොසොල් රජ්ජුරුවෝ භික්ෂුණී ආරාමය සමීපයෙන් යන්නෝ දරුවකු අඬන හඬ අසා අමාත්‍යයන් අතින්, “මේ කිමෙක් දැ?” යි විචාළාහ. අමාත්‍යයෝ ද ඒ කාරණය දැන, “රජ්ජුරුවන් වහන්ස, ඒ දවස් සිව්වණක් පිරිස මැද දී අධිකරණය විමසා තහවුරු කළ භික්ෂුණීන් වහන්සේ පුත්‍රයාණ කෙනෙකුන් වැදූ සේක. ඔවුන්ගේ මේ ශබ්දය” යි කීවාහුය.
“සගයෙනි, භික්ෂුණීන්ට දරුවන් පරිහරණය කිරීම නම් තපසට ඉතා බාධාවකි. අපි ඒ කුමාරයන් හදා වඩා ගනිමු” යි කියා ගෙන්වාගෙන, කිරි මව්වරුන්ට පාවා දී රාජ කුමාරයෙකු ලෙස පරිහරණය කරමින් වැඩූහ. ඒ කුමාරයන්ට නම් තබන දවස ‘කාශ්‍යපය’ යි කියා නම් තැබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාර පරිහරණයෙන් වැඩුණු බව හේතු කොටගෙන ‘කුමාර කාශ්‍යපය’ යි කියා නම් තැබුවාහුය.
ඒ කුමාරයෝ ද සත් හැවිරිදි අවස්ථාවෙහි සර්වඥයන් සමීපයෙහි මහණ ව, සම්පූර්ණ විසි වයස් ඇතිව උපසම්පදාව ලැබ, කල් ගිය පසු බණ කියන්නාවුන් අතරෙහි විචිත්‍ර කථික වූවාහුය. ඉක්බිත්තෙන් ඔහු සර්වඥයන් වහන්සේ ද, “මහණෙනි, මාගේ ශාසනයෙහි විසිතුරු කොට බණ කියන්නා වූ ශ්‍රාවකයන් අතුරෙන් යම් මේ කුමාර කාශ්‍යප ස්ථවිරයෙක් ඇත් ද? මේ තෙම අග්‍රය” යි එතදග්‍ර පාළියෙහි තබා වදාළ සේක. උන්වහන්සේ ද පසුව කල්යාමකින් ‘වම්මික සූත්‍ර’ දේශනාවේදී බණ අසා අර්හත්වයට පැමිණි සේක. ඒ කුමාරකශ්‍යප ස්ථවිරයන්ගේ මව් භික්ෂුණිය ද විදර්ශනා වඩා අර්හත් ඵලයට පැමිණියාය. ඒ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද සර්වඥ ශාසනයෙහි අහසෙහි චන්ද්‍රයා පරිද්දෙන් ප්‍රකාශ වූ සේක.
එක් දවසක් සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ පසුබත් කාලයෙහි ආහාර ගැනීමෙන් වැළකී, සැතපී, අවසානයෙහි භික්ෂූන් වහන්සේට අවවාද දී ගඳකිළියට පිවිසි සේක. භික්ෂූන් වහන්සේ අවවාද පිළිගෙන තම තමන් වහන්සේගේ රාත්‍රී ස්ථාන දිවා ස්ථානයෙහි දවල් කාලය ගතකොට, සවස් වේලෙහි දම්සභා මණ්ඩපයට රැස්ව මෙසේ සාකච්ඡා කළහ:
“ඇවැත්නි, දේවදත්ත ස්ථවිරයන් තමන් බුදු නොවන බැවින් ද, ක්ෂාන්ති මෛත්‍රියක් නැති බැවින් ද, ඔහු විසින් කුමාර කාශ්‍යප ස්ථවිරයෝ ද, උන්වහන්සේට මව් වූ භික්ෂුණිය ද නෙරපන ලදහ. සර්වඥයන් වහන්සේ වනාහි තමන් වහන්සේ ධර්ම රාජයන් බැවින් ද, සියලු සත්ත්වයන් කෙරෙහි පතළා වූ කරුණා මෛත්‍රී ආදිය ඇති බැවින් ද, ඔවුන් දෙදෙනාට පිහිට වූ සේකැ” යි සර්වඥයන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් සිටි සේක.
බුදුරජාණන් වහන්සේ ද සර්වඥ ලීලාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කොට, පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ, “මහණෙනි, මා එන්නාට පෙර කවර කථාවකින් යුක්තව සිටියහු දැ?” යි විචාරා වදාරා, “නුඹ වහන්සේ නොකියන්නට වදාළා වූ රාජ කථා, චෝර කථා ආදී වූ දෙතිස් කථාවෙන් යුක්තව සිටියෙමු නොවෙමු. දේවදත්ත ස්ථවිරයන්ගෙන් පිහිට නොලැබ පලා ආ කුමාර කාශ්‍යප ස්ථවිරයන් හා මව් ස්ථවිරාවන් දෙදෙනාට පිහිට වූ බව කියා කියා සිටියෙමු” යි මුල සිට සියලු තොරතුරු දැන්වූහ.
එවිට බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, සර්වඥයෝ මොවුන් දෙදෙනාට දැන් මතු පිහිට වූවෝ නොවෙති, පෙර ආත්මවලදීත් පිහිට වූවාහු වෙති” යි වදාළ සේක. භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස භාග්‍යවත් වූ බුදු රජුන්ට ආරාධනා කළ සේක. සර්වඥයන් වහන්සේ ද අන්‍ය භවයෙන් සැඟවුණා වූ අතීත පුවත ප්‍රකාශ කොට වදාළ සේක.
ඒ කෙසේ ද යත්;
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන සමයෙහි අප මහ බෝසතාණෝ මුව කුලයක පිළිසිඳ ගත්හ. බෝධිසත්ත්වයෝ ද මව් කුසින් බිහි වූවාහු රන්වන් වූ ශරීර වර්ණ ඇති වූහ. ඒ මුව පැටවාණන්ගේ ඇස් දෙක ඉන්ද්‍රනීල මාණික්‍යයකට බඳු වූ හැඩ සහ පැහැ ඇත්තාහ; අංකුර (අං) දෙක රිදී පාටය; මුහුණ රත් පලසක් බඳු වූ පැහැ ඇත්තේය; අත් පා කෙළවර ලාක්ෂා රසයෙන් පිරියම් කරන ලද්දාහු වැනිය; වලිගය සෙමර වලිගයක් වැනි වූයේය. ඒ මුව පැටවාණන්ගේ ශරීරය ද මහත් වූ අශ්ව පැටවෙකුගේ ප්‍රමාණය වූයේය.
ඒ මුව රජ්ජුරුවෝ ද පන්සියයක් පමණ මුවන් විසින් පිරිවරා ගත් පිරිසක් ඇතිව වනයෙහි වාසය කරන්නාහ. නමින් ‘නිග්‍රෝධ’ නම් මුව රජ්ජුරුවෝය. ඒ මුව රජ්ජුරුවන්ට නුදුරු වූ ස්ථානයෙහි පන්සියයක් මුවන් පිරිවරා ගත් ‘ශාඛ මෘග’ නම් වූ අනිකුත් මුව රජ්ජුරුවෝ කෙනෙක් ඒ වනයෙහි වසන්නාහ. ඒ මුව රජ්ජුරුවෝ ද රන්වන් වූ ශරීර වර්ණ ඇත්තාහ.
එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ ද මුවන් මැරීමෙහි යෙදී වෙසෙති. මස් නැතිව බත් අනුභව නොකෙරෙති. මනුෂ්‍යයන්ගේ කර්මාන්ත නැති කොට සියලු ගම් නියම්ගම් ජනපදවාසීන් රැස් කරවා දවස් පතා මුව දඩයමට යන්නාහ. මනුෂ්‍යයෝ මෙසේ සිතූහ: “රජ්ජුරුවන් වහන්සේ නිරන්තරයෙන් මුව දඩයමට යාමෙන් අප සැමගේ කර්මාන්ත පමා වන්නේය. අප සියලු දෙනා රාජධානියෙහි මුවන්ට ආහාරයට සුදුසු තණ ආදිය වවා, පැන් බොන්නා වූ ස්ථානයක් ද සකස් කරවා, බොහෝ මුවන් කැලයෙන් ගෙනැවිත් උයනෙහි දමා, දොරටු වැටවල් බැඳ රජ්ජුරුවන් වහන්සේට පාවා දුනිමු නම් හොඳය.”
මෙසේ සිතා ඒ සියලු මනුෂ්‍යයෝම එක්ව උද්‍යානයෙහි තණ පැන් සකස් කරවා, මුගුරු ආදී වූ නොයෙක් ආයුධ ගත් අත් ඇතිව කැලයට වැදී මුවන් සොයා ඇවිදින්නාහු, වන මැද සිටියා වූ මුවන් හා ශාඛ නම් මුව රජ්ජුරුවන් හා නිග්‍රෝධ නම් මුව රජ්ජුරුවන් වසන්නා වූ ස්ථානය මැදි කොට වට කළාහුය.
ඉක්බිති ඒ මෘග සමූහයා දැක ගස්වල ද, වල්පිට ද, බිම ද මුගුරුවලින් ද දඬු ආදියෙන් ද ගසමින් මුවන් භය ගන්වා, එළවා, කඩු, අඩයටි, දුනු ආදී වූ ආයුධයන් ඔසවා පා මහත් වූ ශබ්ද පවත්වමින් මෘග සමූහයා උයනට වද්දවා, දොරටු වැටවල් වසා රජ්ජුරුවන් වෙත ගොස්, “රජ්ජුරුවන් වහන්ස, දවසක් පාසා මුව දඩයමට ගොස් අප සැමගේ කර්මාන්ත නොනැසුව මැනව; අප විසින් කැලයෙන් මුවන් ගෙනැවිත් නුඹ වහන්සේගේ උයනෙහි දමන ලදී. මෙතැන් පටන් ඔවුන්ගේ මස් අනුභව කළ මැනව” යි රජ්ජුරුවන්ට කියා තමන්ගේ ගම්වලට ගියාහුය.
රජ්ජුරුවෝ ඔවුන් කී බස් අසා උයනට ගොස් මුවන් බලන්නාහු, රන්වන් මුව රජ්ජුරුවන් දෙදෙනා දැක ඔවුන් දෙදෙනාට අභය දානය දුන්නාහ. එවක් පටන් කිසි දවසක රජ්ජුරුවෝම ගොස් ඉන් එක මුවකු විද ගෙනෙන්නාහ. කිසි දවසක අරක්කැමියා ගොස් මුවකු විද ගෙනෙන්නේය. මුවෝ දුනු දැක මරණ බියෙන් තැති ගත්තාහු ඒ ඒ තැන සැඟවී දුවන්නාහ. විත් දෙක තුන ලබා බොහෝ දෙන පීඩා විඳින්නාහ. තණින් පැන් බොමින් දුක් විඳ ලෙඩ වන්නාහු ද වෙති; මරණයට ද පැමිණෙති.
මෘග සමූහයා මේ පුවත බෝධිසත්ත්වයන්ට දැන්වූහ. බෝධිසත්ත්වයෝ ද ශාඛ මෘග රජ්ජුරුවන් කැඳවාලා, “යහළුව, බොහෝ වූ මුවෝ වැනසෙති, නසිති. ඒකාන්තයෙන් මළ යුතු බව නියම වූ පසු මෙතැන් පටන් ඊතලවලින් මුවකු නොවිදිත්වා යි ද, දම් ගෙඩිය (හිස තබන කොටස) තිබූ ස්ථානයෙන් මුවන්ට මරණ වාරය පැමිණේවා යි ද, එක් දවසක් අපගේ පිරිසට වාරය පැමිණේවා යි ද, එක් දවසක් තොපගේ පිරිසට වාරය පැමිණේවා යි ද, වාරය පැමිණියා වූ මුවෝ ගොස් දම් ගෙඩියෙහි හිස තබලා වැදහොත්වා යි ද, එසේ කළ කල්හි අනෙක් මුවෝ ඒ වදයට නොපැමිණෙත්වා” යි තීරණය කොට, ඒ සියලු මෘගයෝම “යහපතැ” යි පිළිගත්හ.
එදවස් පටන් වාරය පැමිණියා වූ මුවා ගොස් දම් ගෙඩිය මත හිස තබා වැදහොවන්නේය. අරක්කැමියා අවුත් ඒ දම් ගෙඩිය මත වැදහොත්තා වූ මෘගයාම මරා රැගෙන යන්නේය.
ඉක්බිත්තෙන් එක් දවසක් ශාඛ මෘගයාණන්ගේ පිරිසෙහි දරුවකු කුස දැරූ එක් මුව දෙනකට වාරය පැමිණියේය. ඒ මුව දෙන ද ශාඛ මුව රජ්ජුරුවන් සමීපයට එළඹ, “ස්වාමීනි, මමත් ගර්භනී වෙමි. දරු කෙනෙකුන් වැදූ පසු අපි දෙදෙනාම දෙවාරයක් යමු; දැන් මාගේ වාරය ඉක්මවුව මැනව” යි කීවාය. ඒ ශාඛ මුවාණෝ, “තොපට පැමිණි වාරය අනෙක් කෙනෙකුන්ට පවරන්නට මට නොහැකිය. තෝම තීගේ පුත්‍රයා ගැන දන්නෙහිය (වගකිව යුතුය). මෙතැනින් පලා යව” යි කීවාහුය.
ඒ මුව දෙන ශාඛ මෘගයන්ගේ සමීපයෙන් පිහිටක් නොලබන්නී බෝධිසත්ත්වයන් කරා එළඹ මේ කාරණය දැන්වූවාය. බෝධිසත්ත්වයෝ ද ඒ මුව දෙනගේ බස් අසා, “වන්නාට, තෙපි යව, මම තොපගේ වාරය ඉක්මවමි” යි කියා තමන්ම ගොස් දම්ගෙඩිය මත හිස තබා වැදහොත්තාහ.
අරක්කැමියා ද ඒ බෝධිසත්ත්වයන් දැක, “ලබන ලද අභය ඇති මුව රජ්ජුරුවෝ ද ගෙඩිය මත හිස තබාගෙන වැදහොත්තාහ. මීට කාරණා කිම් දෝ හෝ?” යි සිතා වහා ගොස් ඒ පුවත රජ්ජුරුවන්ට කීවේය.
රජ්ජුරුවෝ ද එකෙණෙහි රථයකට පැන නැගී මහත් වූ පෙරහැරින් උයනට ගොස් දම් ගෙඩිය මත හිස තබා වැදහොත් බෝධිසත්ත්වයන් දැක, “යහළු වූ මුව රජ්ජුරුවෙනි, මා විසින් තොපට අභය දානය දෙන ලද්දේ නොවේ ද? කවර කාරණයකින් තෙපි මෙතැන වැදහොත්තාහු ද?” යි ඇසූහ.
“මහ රජ්ජුරුවෙනි, ගැබ්බර මුව දෙනක් මා සමීපයට අවුත් මට පැමිණි වාරය අනෙකෙක් හට පවරනු මැනවැ යි කීවාය. මා විසින් එකකුට පැමිණි මරණ දුක අනෙකකු හට පවරන්නට මට නොහැකිය. මම මාගේ ජීවිතය ඇයට දී ඇයට පැමිණි වාරය මම රැගෙන මෙතැන වැදහොත්තෙමි. අනෙක් සැකයක් නොකරව රජ්ජුරුවෙනි” යි කීවාහුය.
රජු බෝධිසත්ත්වයන්ගේ ත්‍යාගය දැක පුදුමයට පත්වන අවස්ථාව
“මාගේ ස්වාමී වූ මෘග රාජයාණෙනි, මා විසින් තොප වැනි වූ ක්ෂාන්තිය හා මෛත්‍රිය, අනුකම්පාව ඇති කෙනෙකු මනුෂ්‍යයන් කෙරෙහිදු නොදකින ලදී. ඒ කාරණයෙන් තොප කෙරෙහි පැහැදුණෙමි. නැගී සිටුව. තොපටත් ඒ මුවදෙනටත් අභය දානය දුනිමි” යි කීහ.
“අප දෙදෙනා විසින් අභය දානය ලත් කල්හි සෙසු මුවෝ කුමක් කෙරෙද්ද රජ්ජුරුවෙනි?” යි මුව රජු ඇසීය.
“සෙසු මුවන්ටත් අභය දානය දුනිමි ස්වාමීනි” යි රජු කීහ.
“මහරජ, උයන වසන මුවන්ට අභය දුන්නෙහිය. කැලයේ වසන සෙසු මුවෝ කුමක් කෙරෙද්ද?” යි ඇසූහ.
“ඔවුන්ටත් අභය දුනිමි” යි රජු කීහ.
“මහරජ, කැලයේ හා ගමේ වසන මුවෝ අභය දානය ලත්හ. ඉතිරි වූ සිව්පා සත්ත්වයෝ කුමක් කෙරෙද්ද රජ්ජුරුවෙනි?” යි ඇසූහ.
“ඒ ඒ සිව්පා සත්ත්වයන්ටත් අභය දානය දුනිමි” යි කීහ.
“සිව්පාවෝ ආදීහු අභය දානය ලත්හ. දියෙහි වසන්නා වූ මත්ස්‍ය ජාතීහු කුමක් කෙරෙද්දැ?” යි ඇසූහ.
“ඔවුන්ටත් අභය දානය දුනිමි” යි රජු කීහ.
මෙපරිද්දෙන් මහා බෝධිසත්ත්වයෝ රජ්ජුරුවන් අතින් මුවන් ආදී වූ සියලු සත්ත්වයන්ට අභය දානය ඉල්ලාගෙන වැදහොත් තැනින් නැගී සිට, රජ්ජුරුවන් පන්සිල්හි පිහිටුවා, “රජ්ජුරුවෙනි, දශ කුශල ධර්මයෙහි හැසිරෙව. මව්පියන් කෙරෙහි ද, දූ දරුවන් කෙරෙහි ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ද, සියලු ජනපදවාසීන් කෙරෙහි ද ධර්මයෙන් හැසිරෙව” යි රජ්ජුරුවන්ට අවවාද කොට, “මධ්‍යම ප්‍රතිපදාවෙහි හැසිරෙන්නා වූ සත්ත්ව තෙම ශරීරයේ බිඳීමෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත වූ ස්වර්ග ලෝකයට පැමිණේවා” යි රජ්ජුරුවන්ට සර්වඥ ලීලාවෙන් ධර්ම දේශනා කොට, කීප දවසක් ඒ උයනේ වාසය කොට රජ්ජුරුවන්ට අවවාද දී මෘග සමූහයා විසින් පිරිවරා ගන්නා ලදුව තමන් පෙර විසුවා වූ වනයට ගියාහුය.
ඒ මුව දෙන ද මල් පොහොට්ටුවක් බඳු ලස්සන පුතකු වැදුවාය. ඒ මුව පැටියාණෝ ද සෙල්ලම් කරන විට ශාඛ මෘග රාජයාණන් සමීපයට ගොස් සෙල්ලම් කරන්නාහ. ඉක්බිත්තෙන් ඒ මුව පැටවාණන්ගේ මෑණියෝ ඔහු ශාඛ මෘග රාජයන් සමීපයෙහි යනු දැක, “පුත, මෙතැන් පටන් ඔහු සමීපයට නොයව. නිග්‍රෝධ මෘග රාජයන් වහන්සේ සමීපයටම යව” යි පුතණුවන්ට අවවාද කරන්නා වූ මුව දෙන මෙසේ කීවාය:
“පුත්‍රය, තොප වේවායි අනෙක් කෙනෙක් වේවායි,
තමාට හිතයක් වැඩක් කැමැත්තේ වී නම්,
නිග්‍රෝධ මෘග රාජයාණන් වහන්සේම ඇසුරු කරන්නේය.
ශාඛ මෘග රාජයාණන් කරා නොඑළඹෙන්නේය.
ඇසුරු නොකරන්නේය. ඔහු නිසා ජීවිකාවත් නොකරන්නේය.
ශාඛ මෘග රාජයාණන්ගේ සමීපයෙහි යම් ජීවිකාවක් ඇත් ද?
ඒ ජීවිකාවටත් වඩා නිග්‍රෝධ මෘග රාජයාණන් වහන්සේගේ
පාද මූලයෙහි වැටී මිය යාම උතුම් වන්නේය.”
මෙසේ ශාඛ මෘග රාජයාණන් සමීපයට නොයන ලෙස අවවාද කළහ. රජ්ජුරුවන් විසින් අභය දානය දුන් තැන් පටන් අභය ලද්දා වූ මුවෝ මනුෂ්‍යයන්ගේ ගොයම් කා නසන්නාහ. මනුෂ්‍යයෝ “අභය දානය ලත් මුවෝය” යි ගසන්නට ද, එළවන්නට ද නොහැකි වූහ. ඒ සත්ත්වයෝ රජ මාලිගාවේ මිදුලේ රැස්ව රජ්ජුරුවන්ට මේ බව කීවාහ. රජ්ජුරුවෝ ප්‍රසන්න වූ සිත් ඇතිව, “මා විසින් නිග්‍රෝධ මෘග නම් උත්තමයාණන්ට වර දෙන ලදි. මම රාජ්‍යය හරින්නේ නමුත් එදවස් දුන් පොරොන්දුව නොහරිමි. පලා යව. මාගේ අණ පවත්නා ස්ථානයෙහි මුවන් මරන්නට කිසිත් සත්ත්වයෙක් නොලබන්නේය” යි කීවාහුය.
නිග්‍රෝධ මුව රජ්ජුරුවෝ ද ඒ පුවත අසා මෘග සමූහයා රැස් කරවා, “මෙතැන් පටන් අනුන්ගේ ගොයම් කන්නට නොහැකිය” යි මුවන් වළකා, “මෙතැන් පටන් ගොයම් කරන්නා වූ මනුෂ්‍යයෝ ගොයම් රකින පිණිස වැටක් නොකරත්වා, කුඹුරු වටකොට කොළ අතු බැඳ තබත්වා” යි මනුෂ්‍යයන්ට කියා යැවුවාහුය. එතැන් පටන් කුඹුරුවල කොළ අතු බැඳීමේ සංඥාව පහළ වීලු. එවක් පටන් කොළ අතු ඇඳි සලකුණ ඉක්මවන්නා වූ එකම මෘගයකුත් නැත. මේ වනාහි ඒ සත්ත්වයන්ට මහ බෝසතාණන්ගෙන් ලැබුණු අවවාදයයි. මෙපරිද්දෙන්ම මෘග සමූහයාට අවවාද කොට නිග්‍රෝධ බෝධිසත්ත්වයෝ ආයු ඇති තාක් කල් සිට, ඒ මුවන් හා සමග කම් වූ පරිද්දෙන් (කර්මානුරූපව) මිය පරලොව ගියාහුය. ඒ රජ්ජුරුවෝ ද බෝධිසත්ත්වයන්ගේ අවවාදයෙහි සිට දාන මානාදී වූ කුසල් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.
ලොව්තුරා සර්වඥයන් වහන්සේ ද, “මහණෙනි, භික්ෂුණී ස්ථවිරාවන්ට ද කුමාර කාශ්‍යප ස්ථවිරයන්ට ද මම දැන් මතු පිහිට වූයෙම් නොවෙමි. පළමුත් පිහිට වූයෙම් වෙමි” යි මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා, චතුස්සත්‍ය දේශනාව පෙරදැරි කොට අතීත කථාවත් වර්තමාන කථාවත් වදාරා, දෙක එක්කොට සන්ධි ගළපා මේ නිග්‍රෝධමිග ජාතකය නිමවා වදාළ සේක.
“එකල්හි ශාඛ මෘග රාජයාණෝ නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. ඔවුන්ගේ එදවස් මෘග පිරිස දැනුත් දේවදත්ත පිරිසය. ඒ මුව දෙන නම් දැන් මේ ස්ථවිරාවෝය. එදවස් ඒ මුව පැටවාණෝ නම් දැන් බණ කියන්නවුන් කෙරෙහි අග්‍ර වූ මේ කුමාර කාශ්‍යප ස්ථවිරයෝය. එදවස් බරණැස් රජ්ජුරුවෝ නම් දැන් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථවිරයෝය. නිග්‍රෝධ මුව රජ්ජුරුවෝ නම් ලොව්තුරා බුදු වූ මම ම වෙමි” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.