තවද එක් කලෙක සිතෙහි ඇති සියලු කෙලෙස් මල දුරු කළා වූ සර්වඥයන් වහන්සේ, රජගහ නුවර ඇසුරු කොට වෙළුවනාරාමයේ වැඩවසන සේක්, දෙවදත්ත ස්ථවිරයන් අරභයා මේ ජාතකය වදාළ සේක.
දෙවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව, දුනුවායන් යෙදවීමේ සිට ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය. ධනපාල නම් හස්ති රාජයා මෙහෙයවීමේ සිට චුල්ලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙනෙන්නේය. දෙවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙන ගිය තැන් දක්වා විස්තරය සොළොස්වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය.
එක් කලෙක දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ කරුණු පහක් ඉල්ලා යාච්ඤා කොට, එය නොලැබුණු බැවින් සංඝයා බිඳවා, පන්සියයක් භික්ෂූන් කැඳවාගෙන ගයා නම් ගං ඉවුරේ වාසය කරන සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රඥාව මෝරමින් පැවතුණේය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව මුහුකුරා ගිය බව දැන වදාරා, අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළ සේක.
“ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඔබව ආශ්‍රය කළා වූ පන්සියයක් භික්ෂූහු දෙවදත්ත ස්ථවිරයන්ගේ මතයට කැමති වී ඔහු හා සමඟ ගියාහුය. දැන්නම් ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව මෝරා ගියේය. ඔබ දෙපළ බොහෝ භික්ෂූන් හා සමග එතැනට ගොස්, භික්ෂූන්ට ධර්ම දේශනා කොට, ඒ භික්ෂූන් මාර්ගඵලයෙන් ප්‍රබෝධ කරවා නැවත කැඳවාගෙන එන්න.”
සැරියුත් මුගලන් දෙනම එලෙසින්ම ගොස් ඒ භික්ෂූන්ට ධර්ම දේශනා කොට, ඔවුන් මාර්ග ඵලයෙන් පුබුදුවා, දෙවැනි දිනයෙහි ඉර පායන වේලාවේ ඒ පන්සියයක් භික්ෂූන් කැඳවාගෙන වෙළුවනාරාමයට වැඩියාහුය.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙළුවනාරාමයට අවුත් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට සිටි කල්හි, සෙසු භික්ෂූහු සැරියුත් මහ තෙරුන් වහන්සේට ප්‍රශංසා කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්වුවාහ.
“ස්වාමීන් වහන්ස, අපගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරු වූ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ විසින් පිරිවරා ගනු ලැබ වඩිනා විට ඉතා හොබනා සේක. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ වනාහි පිරිහුණා වූ පිරිවර ඇති සේකැ” යි කීවාහුය.
සර්වඥයන් වහන්සේ වදාරන සේක්, “මහණෙනි, ශාරීපුත්‍ර ස්ථවිරයෝ නෑ සමූහයා විසින් පිරිවරා ගනු ලැබ එන විට බැබළෙන්නේ දැන් පමණක් නොවෙයි, පෙරත් එසේ ශෝභාවත් වූවාහුය. දෙවදත්ත ස්ථවිරයෝද පිරිවරින් පිරිහුණෝ දැන් පමණක් නොවෙයි, පෙරත් පිරිහුණෝමය” යි වදාළ සේක. එකල්හි භික්ෂූහු ඒ කාරණය ප්‍රකාශ කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළාහුය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසී තිබුණ කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.
යටගිය දවස මගධ රට රජගහ නුවර එක් මගධ රජෙක් රාජ්‍යය කරන සේක. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ මෘග යෝනියෙහි පිළිසිඳගෙන වැඩිවියට පැමිණ, මුවන් දහසක් පිරිවරා ගෙන වනයෙහි වසන සේක.
උන්වහන්සේට ‘ලක්ෂණ’ ය, ‘කාල’ යයි කියා පුත්‍රයෝ දෙදෙනෙක් වූවාහුය. අප මහ බෝසතාණන් වහන්සේ තමන් මහලු වයසට පැමිණි කල්හි දරුවන් ඇමතූහ.
“පුත්‍රයෙනි, මම දැන් මහලුයෙමි, ඔබලා මේ මෘග සමූහයා පරිහරණය කරව” යි කියා පන්සියය පන්සියය බැගින් එකී එකී පුත්‍රයාට මුවන් භාර කළ සේක. එතැන් පටන් ඔහු දෙදෙනා මෘග සමූහයා බලා කියා ගත්තාහුය.
මගධ රටෙහි ගොයම් පැසෙන කාලයෙහි ගොයම් කපා පාගා ගන්නා තෙක්, වනාන්තරයෙහි මෘගයන්ට උපද්‍රව වන්නේය. මනුෂ්‍යයෝ ගොයම් කන මෘගයන් මරනු පිණිස ඒ ඒ තන්හි වළවල් කනින්නාහුය, උල් සිටුවන්නාහුය, ගල් යන්ත්‍ර අටවන්නාහුය, මලපුඩු ආදිය අටවන්නාහුය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය.
බෝධිසත්ත්වයන් වහන්සේ ගොයම් කන්නට එන සතුන්ට කරදර සිදුවන කාලය දැන පුත්‍රයන් කැඳවා ගෙන්වා අවවාද දෙන සේක.
“පුත්‍රයෙනි, මේ කාලය ගොයම් සහිත කාලය වන්නේය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය. අපි වයස්ගත වූවෙමු. එබැවින් යම්කිසි උපායකින් එක් තැනක කල් යවන්නෙමු. ඔබලා ඔබගේ මෘග සමූහයා රැගෙන කැලෑවෙහි කඳු පාමුලකට වැද, ගොයම් කපා පාගා ගත් කල්හි නැවත එන්න” යැයි කී සේක. ඔහු ‘යහපතැ’ යි කියා පියාණන්ගේ වචනය අසා පිරිවර සහිතව නික්මුණාහුය.
ඔවුන් යන්නා වූ මාර්ගයෙහි මනුෂ්‍යයෝ, “මේ කාලයෙහි මෘගයෝ පර්වතයට නැගෙන්නාහුය, මේ කාලයෙහි පර්වතයෙන් බසින්නාහුය” යි දන්නාහුය. ඔහු ඒ ඒ තැන සැඟවී හිඳ බොහෝ මෘගයන් විද මරන්නාහුය.
‘කාල’ නම් මෘග රාජයාද තමාගේ අඥාන බැවින්, “මේ නම් වේලාවේ යා යුතුය, මේ නම් වේලාවේ නොයා යුතුය” යි නොදන්නේ, මෘග සමූහයා රැගෙන උදේ වරුවේද, සවස් වරුවේද, රෑ මුල් යාමයෙහිද, අලුයම් කාලයෙහිද ගම් දොරින් යන්නේය. මනුෂ්‍යයෝ ඒ ඒ තැන්හි එළිපිට සිටියාහුද, සැඟවී සිටියාහුද, බොහෝ මෘගයන් විනාශයට පත් කළාහුය. මෙසේ කාල නම් මෘග රාජ තෙම තමාගේ නුවණ මඳ බැවින් බොහෝ මෘගයන් විනාශයට පමුණුවා, ඉතිරි වූ ස්වල්ප වූ මෘගයන් පිරිවරා ගෙන වනාන්තරයට පිවිසියේය.
‘ලක්ෂණ’ නම් මෘග රාජ වනාහි පණ්ඩිතය; බුද්ධිමත්ය, උපායෙහි දක්ෂය. “මේ වේලාවෙහි යායුතුය, මේ වේලාවෙහි නොයා යුතුයි” යි දන්නේය. ඒ මෘග රාජ තෙම ගම් දොරින්ද නොයන්නේය, දාවල් ද නොයන්නේය, රෑ මුල් යාමයෙහිද නොයන්නේය, අලුයම්හිද නොයන්නේය. හෙතෙම මෘග සමූහයා රැගෙන මධ්‍යම රාත්‍රියෙහිම යන්නේය. ඒ කාරණයෙන් එකම මෘගයකුදු විනාශ නොකර වනාන්තරයට පිවිසියේය.
ඒ මෘගයෝ එහි මාස හතරක් වාසය කොට, ගොයම් කපා පාගා ගත් කල්හි පර්වතයෙන් බැස ආවාහුය. කාල නම් මෘග රාජ තෙම පසුව එන විටද, පෙර කී ආකාරයෙන්ම ඉතිරි වූ සෙසු මෘගයන්ද විනාශයට පමුණුවමින් හුදකලාවම ආයේය. ලක්ෂණ නම් මෘග රාජ වනාහි එකම මෘගයකුදු විනාශ වන්නට නොදී, පන්සියයක් මුවන් විසින් පිරිවරා ගන්නා ලදුව මව්පියන් දෙදෙනාගේ සමීපයට ආයේය.
බෝධිසත්වයන් වහන්සේ තම පුතුන් දෙදෙනාගේ පැමිණීම දෙස බලා සිටින අයුරු
බෝධිසත්ත්වයන් වහන්සේ එන්නා වූ පුත්‍රයන් දැක මෘග ධේනුව සමඟ සාකච්ඡා කරමින් මෙසේ කථාවක් පහළ කළ සේක.
“යහපත් චාරිත්‍ර ධර්මයෙන් හා ශීලයෙන් යුක්ත වූ, ධර්ම සංග්‍රහය සහ ආමිස සංග්‍රහය යන විවිධ වූ සංග්‍රහයන් පවත්වන්නා වූ අයට අභිවෘද්ධිය වන්නේය. ඥාති සමූහයා විසින් පිරිවරා ගෙන එන්නා වූ ලක්ෂණ නම් මෘග රාජයා බලව. ඊට පසුව නෑයන්ගෙන් විශේෂයෙන් පිරිහී එන්නා වූ මේ කාල නම් මෘග රාජයා බලව” යි කියා බෝධිසත්ත්වයෝ මෘග ධෙනුවට පෙන්වා දුන් සේක.
මෙසේ ලක්ෂණ නම් පුත්‍රයා ගැන සන්තෝෂ වූ බෝධිසත්ත්වයන් වහන්සේ, ජීවිතාන්තය දක්වා සිට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක.
ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වදාරන සේක්, “මහණෙනි, ශාරීපුත්‍ර ස්ථවිරයෝ ඥාති සමූහයා විසින් පිරිවරා ගනු ලැබ ශෝභාවත් වූවෝ දැන් මතු නොවෙති, පෙරත් ශෝභාවත් වූවාහුමය. දෙවදත්ත ස්ථවිරයෝ පිරිවර සමූහයා කෙරෙන් පිරිහුණෝ දැන් මතු නොවෙති, පෙරත් පිරිහුණෝමය” යි වදාරා ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා, අතීත කථාව හා වර්තමාන කථාව ගළපා පූර්වාපර සන්ධි යොදා මේ ලක්ෂණ මෘග ජාතකය නිමවා වදාළ සේක.
“එසමයෙහි කාල නම් මෘග තෙම දැන් දෙවදත්ත ස්ථවිර වූ සේක. එදා ඔහුගේ පිරිසම අද දෙවදත්ත ස්ථවිරයන්ගේ පිරිස වූවාය. ලක්ෂණ නම් මෘගරාජ තෙම දැන් ශාරීපුත්‍ර ස්ථවිර වූ සේක. ඔහුගේ පිරිසම දැන් බුදු පිරිස වූවාය. එකල්හි මව වූ මෘග ධෙනුව දැන් රාහුල මව වූවාය. පියා වූ මෘග රාජව උපන්නෙම් වනාහි දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වෙදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.