“ආයතිං දොසං නාඤ්ඤාය” (මතු ඇති වන දෝෂය නොදැන) යන මේ ධර්ම දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි, (සසුනෙහි) කලකිරුණු එක් භික්ෂුවක් අරබයා දේශනා කළහ. එක්තරා කුල පුත්‍රයෙක් බුදු සසුනෙහි දිවි පුදා පැවිදි වී, එක් දිනක් සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නේ, මනාව සරසන ලද ස්ත්‍රියක දැක (සසුනෙහි) උකටලී විය. ඉක්බිති ආචාර්ය උපාධ්‍යායවරු ඔහු රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගියහ. ශාස්තෘන් වහන්සේ, “මහණ, ඔබ උකටලී වූ බව සැබෑදැ?”යි විචාරා, “ස්වාමීනි, සත්‍යයැ”යි කී කල්හි, “මහණ, මේ පඤ්ච කාම ගුණයෝ නම් පරිභෝජනය කරන කාලයෙහි රමණීය වන්නාහ. එහෙත් ඒ විඳීම නිරය ආදියෙහි ප්‍රතිසන්ධිය ලබා දෙන බැවින් කිම්පක්ක ඵල අනුභව කිරීම හා සමාන වේ. කිම්පක්ක ඵල වනාහි පැහැයෙන්, සුවඳින් හා රසයෙන් යුක්තය. එහෙත් අනුභව කළ පසු බඩවැල් කඩ කඩ කොට ජීවිතක්ෂයට පමුණුවයි. පෙර බොහෝ බාල ජනයා මෙහි දොස් නොදැක පැහැයට, සුවඳට හා රසයට බැඳී ඒ ඵල අනුභව කොට මරණයට පැමිණියහ”යි වදාරා, ඔවුන් විසින් ඉල්ලා සිටින ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණන් වහන්සේ සාත්තු නායකයෙක් ව ඉපිද, ගැල් පන්සියයක් ගෙන පෙරදිගින් අපර දිගට යන්නාහු, වන දොරටුවට පැමිණ මිනිසුන් රැස් කරවා, “මේ වනයෙහි විෂ වෘක්ෂයෝ නම් ඇත. එබැවින් මගෙන් නොවිචාරා පෙර නොකෑ විරූ පලාවලක් නොකෑ යුතුය”යි අවවාද කළහ. මිනිස්සු වනය ඉක්මවා යද්දී වන දොරටුවෙහි ඵල බරින් නැමුණු අතු ඇති එක් කිම්පක්ක ගසක් දුටහ. එහි කඳ, අතු, කොළ හා ගෙඩි ආදිය හැඩයෙන්, වර්ණයෙන්, රසයෙන් හා ගඳින් අඹ ගෙඩි හා සමාන ම විය. ඔවුන්ගෙන් සමහරු පැහැය, සුවඳ හා රසය කෙරෙහි ඇලී අඹ ගෙඩි යැයි සිතා ඒ ගෙඩි කෑහ. සමහරු “සාත්තු නායකයාගෙන් විමසා කන්නෙමු”යි (ගෙඩි) අතට ගෙන සිටියහ. බෝසතාණන් වහන්සේ එතැනට පැමිණ, යමෙක් අතට ගෙන සිටියේ ද ඔවුන් ලවා ඒ ගෙඩි බැහැර කරවා, යමෙක් කමින් සිටියේ ද ඔවුන් වමනය කරවා ඔවුනට බෙහෙත් දුන්හ. ඔවුන්ගෙන් සමහරු නිරෝගී වූහ. පළමුව ම ගෙඩි කෑ අය ජීවිතක්ෂයට පත් වූහ. බෝසතාණන් වහන්සේ ද තමා කැමති ස්ථානයට සුවසේ ගොස් ලාභ ලබා නැවත තමන්ගේ ස්ථානයට ම පැමිණ දානාදී පින්කම් කොට කම් වූ පරිදි මිය ගියහ.
බෝසතාණන් වහන්සේ පිරිසට විෂ ඵල අනුභවය තහනම් කිරීම සහ අනුභව කළවුන්ට ප්‍රතිකාර
කිරීම.
ශාස්තෘන් වහන්සේ එම කථා පුවත ගෙනහැර දක්වා අභිසම්බුද්ධ වී මේ ගාථාව වදාළහ.
“මතු ඇති වන්නා වූ දෝෂය නොදැන යමෙක් කාමයන් සෙවනය කරන්නේ ද, අනුභව කරන ලද කිම්පක්ක නම් (විෂ) ඵලය මෙන්, (ඒ කාමයන් විසින්) ඒ පුරුෂයා විපාක දෙන අවසානයෙහි නසනු ලබයි.”
එහි, “ආයතිං දොසං නාඤ්ඤාය” යනු අනාගතයේ ඵල දෙන දෝෂය නොදැන, අවබෝධ කර නොගෙන යන්නයි. “යො කාමෙ පටිසෙවති” යනු යමෙක් වස්තු කාමයන් හා ක්ලේශ කාමයන් සේවනය කරයි ද (යන්නයි). “විපාකන්තෙ හනන්ති නං” යනු ඒ කාමයෝ ඒ පුරුෂයා තමන්ගේ විපාක සංඛ්‍යාත අවසානයෙහි නිරය ආදියෙහි උපදවමින්, නොයෙක් ආකාරයේ දුකින් යොදවමින් නසන්නාහ. කෙසේ ද? “කිංපක්කමිව භක්ඛිතං” යනු යම් සේ පරිභෝජනය කරන කාලයෙහි වර්ණ, ගන්ධ, රස සම්පත්තිය නිසා ප්‍රිය මනාප වූ කිම්පක්ක ඵලය, අනාගත දෝෂය නොදැක අනුභව කරන ලද්දේ, (බඩවැල් කඩා) අවසානයෙහි මරණයට පමුණුවයි ද; එසේම පරිභෝජනය කරන කාලයෙහි මනාප වූවත් කාමයෝ විපාක දෙන කාලයේ නසත් යැයි දේශනාව ගළපා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළහ. සත්‍ය දේශනාව කෙළවර (සසුන ගැන) කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයට පැමිණියේය. සෙසු පිරිසෙන් ද සමහරෙක් සෝවාන් වූහ, සමහරෙක් සකෘදාගාමී වූහ, සමහරෙක් අනාගාමී වූහ, සමහරෙක් රහත් වූහ.
ශාස්තෘන් වහන්සේ ද මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්ධි ගළපා වදාළහ. “එකල පිරිස බුදු පිරිස වූහ. සාත්තු නායකයා නම් මම ම වෙමි.”
පස්වන වූ කිංපක්ක ජාතක වර්ණනාව යි.