“නාච්චන්තං නිකතිප්පඤ්ඤො” යනාදී මේ ධර්ම දේශනාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වැඩ වාසය කරන සමයෙහි සිවුරු මසා ජීවත් වන (චීවරවඩ්ඪක) භික්ෂුවක් අරබයා වදාළ සේක. ජේතවනවාසී එක්තරා භික්ෂුවක් සිවුරුවල කළ යුතු කැපීම, මූට්ටු කිරීම, මැසීම ආදී කටයුතුවල අතිශය දක්ෂයෙකි. ඔහු ඒ දක්ෂතාවය නිසා සිවුරු වඩන්නා හෙවත් “චීවරවඩ්ඪක” යැයි ප්‍රසිද්ධ විය. ඔහු කුමක් කරන්නේ ද යත්; දිරාගිය කඩමලු ගෙන අතින් කළ යුතු වැඩ කොටස් නිමවා, මනා පහස ඇති දැකුම්කළු සිවුරක් කොට, පඬු පොවා, අවසානයේ පිටි දියෙන් සායම් පොවා, හක් ගෙඩියෙන් මැද ඔප දමා, බබළන මනෝඥ සිවුරක් කොට තබා ගනී. සිවුරු සකස් කිරීම නොදන්නා භික්ෂූහු අලුත් වස්ත්‍ර රැගෙන උන්වහන්සේ වෙත පැමිණ, “අපි සිවුරු සකසන්නට නොදනිමු, අපට සිවුරක් කරවා දෙනු මැනවැ”යි කියති. එවිට ඔහු “ඇවැත්නි, සිවුරක් කිරීමට බොහෝ කල් ගත වෙයි. මා විසින් කලින් නිම කළ සිවුරු ඇත. මේ වස්ත්‍ර තබා ඒ සිවුරු ගෙන යනු මැනවැ”යි පවසා ඒවා ගෙනහැර දක්වයි. ඒ භික්ෂූහු සිවුරුවල වර්ණ සම්පත්තිය පමණක් දැක, අභ්‍යන්තරය නොදැන, මෙය සවිමත් යැයි සිතා අලුත් වස්ත්‍ර ඒ චීවරවඩ්ඪකයාට දී ඒවා ගෙන යති. ඔවුන් මදක් කිලිටි වූ පසු ඒ සිවුරු උණු දියෙන් සෝදන කල්හි සිවුරේ නියම ස්වභාවය පෙනේ; තැන තැන දිරූ බව පෙනේ. එවිට ඔවුහු පසුතැවිල්ලට පත් වෙති. මෙසේ පැමිණි පැමිණි භික්ෂූන් කඩමලුවලින් රවටන ඒ භික්ෂුව සැම තැනම ප්‍රකට විය.
ජේතවනයෙහි මේ භික්ෂුව යම් සේ ප්‍රසිද්ධ වූයේ ද, එසේම එක්තරා ගමක වසන චීවරවඩ්ඪක භික්ෂුවක් ද ලෝකයා රවටයි. ඔහුගේ හිතවත් භික්ෂූහු, “ස්වාමීනි, ජේතවනයෙහි එක් චීවරවඩ්ඪක භික්ෂුවක් මෙසේ ලෝකයා රවටතැ”යි දැන්වූහ. එවිට මොහුට මෙබඳු අදහසක් ඇති විය: “කෙසේ හෝ මම ඒ නගරවාසී භික්ෂුව රවටන්නෙමි.” හෙතෙම දිරා ගිය සිවුරක් අතිශය මනහර ලෙස සකස් කොට, මනාව පඬු පොවා, එය පොරවා ගෙන ජේතවනයට ගියේය. අනෙක් භික්ෂුව එය දැක ලෝභය උපදවා, “ස්වාමීනි, මේ සිවුර ඔබ වහන්සේ විසින් කරන ලද්දක් දැ”යි විචාළේය. “එසේය ඇවැත්නි.” “ස්වාමීනි, මේ සිවුර මට දුන මැනව. ඔබ වහන්සේට වෙන සිවුරක් ලැබෙන්නේය.” “ඇවැත්නි, අපි ගම්වැසියෝ වෙමු; අපට සිව්පසය ලැබීම දුර්ලභය. මෙය මම ඔබට දී මම කුමක් පොරවන්නෙම් ද?” “ස්වාමීනි, මා ළඟ අලුත් වස්ත්‍ර ඇත. ඒවා ගෙන ඔබ වහන්සේ සිවුරක් කරවා ගනු මැනව.” “ඇවැත්නි, මා විසින් මෙහි අත් වැඩ (නිමාව) දක්වන ලදී. ඔබ මෙසේ කියන කල්හි කුමක් කළ හැකි ද? එසේ නම් මෙය ගත මැනවැ”යි ඔහුට දිරාගිය කඩමලු සිවුර දී අලුත් වස්ත්‍ර ගෙන ඔහු රවටා පිටත්ව ගියේය. ජේතවනවාසී භික්ෂුව ද ඒ සිවුර පොරවා දින කිහිපයකට පසු උණු දියෙන් සෝදන්නේ දිරාගිය කඩමලු ස්වභාවය දැක ලැජ්ජාවට පත් විය. “ගම්වාසී චීවරවඩ්ඪකයා විසින් ජේතවනවාසියා රවටන ලදැ”යි ඔහුගේ වංචනික බව සංඝයා මැද ප්‍රකට විය.
ඉක්බිති එක් දිනක් භික්ෂූහු දම් සභාවෙහි ඒ කථාව කියමින් හුන්හ. බුදුරජාණන් වහන්සේ පැමිණ, “මහණෙනි, කවර කථාවකින් යුතුව මේ වේලෙහි රැස්ව සිටියහු දැ”යි විචාළ සේක. උන්වහන්සේලා ඒ කරුණ සැලකළහ. බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, ජේතවනවාසී චීවරවඩ්ඪකයා අනුන් වංචා කළේ දැන් පමණක් නොවේ, පෙරත් වංචා කළේමය. ගම්වාසී භික්ෂුව විසින් ද ජේතවනවාසී චීවරවඩ්ඪකයා වංචා කරන ලද්දේ දැන් පමණක් නොව පෙරත් වංචා කරන ලද්දේයැ”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස එක් අරණ්‍ය සෙනසුනක බෝසතාණන් වහන්සේ එක්තරා පියුම් විලක් ඇසුරු කොට පිහිටි ලුනුවරණ ගසක රුක් දෙවියෙක් වී උපන්හ. එකල එතරම් විශාල නොවූ එක්තරා විලක ග්‍රීෂ්ම කාලයේ ජලය අඩුවිය. එහි බොහෝ මත්ස්‍යයෝ සිටියහ. ඉක්බිති එක් කොකෙක් ඒ මසුන් දැක, “එක් උපායකින් මේ මසුන් රවටා කන්නෙමි”යි සිතා දිය කෙළවර කල්පනා කරමින් වාඩි විය. එවිට මත්ස්‍යයෝ ඌ දැක, “ස්වාමීනි, කුමක් සිතමින් වාඩි වී සිටින්නෙහි දැ”යි විචාළහ. “නුඹලා ගැන සිතමින් සිටිමි.” “ස්වාමීනි, අප ගැන කුමක් සිතන්නෙහි ද?” “මේ විලෙහි ජලය ටිකය; ගොදුරු ද මදය; නියඟය ද දරුණුය. දැන් මේ මත්ස්‍යයන් කුමක් කරන්නේ දැයි නුඹලා ගැන සිතමින් සිටිමි.” “ස්වාමීනි, ඉතින් අපි කුමක් කරමු ද?” “ඉදින් නුඹලා මා කියන දෙය කරන්නේ නම්, මම නුඹලා එකිනෙකා මුව තුඩින් ගෙන ගොස් පස් පියුමෙන් ගැවසී ගත් මහ විලකට ඇරලවන්නෙමි.” “ස්වාමීනි, කල්පාරම්භයේ පටන් මසුන් ගැන සිතන (දුක්වන) කොකෙක් නම් නැත. නුඹ අප එකිනෙකා කනු කැමැත්තෙහි වේ ද?” “නුඹලා මා විශ්වාස කරන්නේ නම් මම නුඹලා නොකන්නෙමි. ඉදින් එබඳු විලක් ඇති බවට මාගේ වචනය විශ්වාස නැත්නම්, විල බලා ඒමට මා සමඟ එක් මත්ස්‍යයකු යවව්.” මත්ස්‍යයෝ ඔහුගේ වචනය විශ්වාස කොට, “මොහු දියෙහිත් ගොඩබිමෙත් යන දෙකෙහිම සමර්ථයෙකැ”යි සිතා එක් ඇසක් කණ වූ මහා මත්ස්‍යයකු “මොහු රැගෙන යව”යි පවසා ලබා දුන්හ. හෙතෙම ඒ මත්ස්‍යයා රැගෙන ගොස් විලට අතහැර, මුළු විලම පෙන්වා, නැවත ගෙනවුත් ඒ මසුන් ඉදිරියේ අතහැරියේය. ඌ ඔවුන්ට විලෙහි සම්පත් වර්ණනා කළේය. ඔවුහු උගේ කථාව අසා යනු කැමැති වී “යහපයි ස්වාමීනි, අප ගෙන යනු මැනවැ”යි කීවාහුය.
කොකා පළමුව ඒ මහා මත්ස්‍යයාම ගෙන විල් තෙරට පමුණුවා, විල පෙන්වා, විල් තෙර හටගත් ලුනුවරණ ගසෙහි හුදෙකලා තැනකට ගොස්, ඌ ගස් දෙබලක දමා, තුඩින් විදිමින් මරණයට පමුණුවා මස් අනුභව කොට කටු ගස මුල හෙළා නැවත ගියේය. “මා විසින් ඒ මත්ස්‍යයා මුදා හරින ලදී. වෙන කවරෙක් එන්නේ දැ”යි අසමින්, මේ උපායෙන් එකිනෙකා ගෙන ගොස් සියලු මසුන් අනුභව කොට නැවත ආවේය; එක මත්ස්‍යයකු හෝ නොදිටීය. එහි එක් කකුළුවකු පමණක් ඉතිරි විය. කොකා ඌ ද කනු කැමැති වී, “පින්වත් කකුළුව, මා විසින් ඒ සියලු මාළුවෝ ගෙන ගොස් නෙළුම්වලින් ගැවසී ගත් මහ විලෙහි මුදා හරින ලදහ. එව, නුඹ ද පමුණුවන්නෙමි”යි කීවේය. “මා ගෙන යන විට කෙසේ අල්ලා ගන්නෙහි ද?” “ඩැහැගෙන (තුඩින් අල්ලාගෙන) යන්නෙමි.” “නුඹ එසේ ගෙන යන විට මා බිම හෙළන්නෙහිය; නුඹ සමග නොයන්නෙමි.” “බිය නොවන්න; මම නුඹ ආරක්ෂා සහිතව ගෙන යන්නෙමි.” කකුළුවා මෙසේ සිතුවේය: “මොහු මසුන් ගෙන ගොස් විලෙහි මුදා හරීමක් නම් නැත. ඉදින් මා විලට මුදා හරින්නේ නම් එය යහපතකි. ඉදින් එසේ මුදා හරින්නේ නැති නම් මොහුගේ ගෙල සිඳ දිවි තොර කරන්නෙමි.”
ඉක්බිති කකුළුවා ඔහුට මෙසේ කීවේය: “යහළුව, ආරක්ෂා සහිතව මා ගෙන යන්නට ඔබට නොහැකි වනු ඇත. අපට අල්ලා ගැනීමට පහසු ක්‍රමයක් ඇත; ඉදින් මම අඬුවලින් ඔබේ ගෙල අල්ලා ගැනීමට ලබන්නෙම් නම්, ඔබේ ගෙල තදින් අල්ලාගෙන ඔබ සමග යන්නෙමි.” හෙතෙම “මොහු මා රවටනු කැමැත්තේය”යි නොදැන “යහපතැ”යි පිළිගත්තේය. කකුළුවා තමාගේ අඬු දෙකෙන් කතුරු අඬුවකින් මෙන් ඔහුගේ බෙල්ල තදින් අල්ලාගෙන “දැන් යමු”යි කීවේය. හෙතෙම ඔහු ගෙන ගොස් විල පෙන්වා ලුනුවරණ ගස දෙසට පියාසර කළේය. කකුළුවා, “මාමේ, විල ඇත්තේ මෙතනය; නුඹ මේ වෙන තැනකට මා ගෙන යන්නේ ඇයි දැ”යි ඇසීය. කොකා, “මම තාගේ මාමා නොවෙමි; නුඹ මගේ නැගණියගේ පුතා ද නොවේ. මා නුඹ ඔසවාගෙන හැසිරෙන්නේ මම තාගේ දාසයකු යැයි සිතාගෙන ද? මේ ලුනුවරණ ගස මුල ඇති කටු ගොඩ බලව. යම් සේ මා විසින් ඒ සියලු මාළුවෝ කන ලද්දේ ද, එසේම නුඹ ද කන්නෙමි”යි කීවේය. එවිට කකුළුවා, “ඒ මාළුවෝ තමන්ගේ මෝඩකම නිසා නුඹ විසින් කන ලද්දෝය. මම වනාහි නුඹට මා කන්නට ඉඩ නොදෙන්නෙමි; නුඹවම විනාශයට පමුණුවන්නෙමි. නුඹ ද මෝඩකම නිසා මා විසින් වංචා කරන ලද බව නොදන්නෙහි ද? මැරෙනවා නම් අපි දෙන්නාම මැරෙන්නෙමු; මා නුඹේ හිස සිඳ බිම දමන්නෙමි”යි කියා කම්මාර අඬුවකින් මෙන් අඬු දෙකෙන් කොකාගේ ගෙල තද කළේය. හෙතෙම අයාගත් මුවින් යුතුව, ඇස්වලින් කඳුළු පෙරා ගෙන මර බියෙන් තැතිගෙන, “ස්වාමීනි, මම නුඹ නොකන්නෙමි; මට ජීවිතය දුන මැනවැ”යි කීවේය. “ඉදින් එසේ නම් පහලට බැස මා විලට මුදා හරිනු.” කොකා ආපසු අවුත් විලට ම බැස කකුළුවා විල කෙළවර මඩ මත තැබුවේය. කකුළුවා කතුරෙන් කුමුදු නලයක් කපන්නාක් මෙන් උගේ ගෙල සිඳ දියට පිවිසියේය.
කකුළුවා විසින් කොකාගේ බොටුව සිඳීම සහ රුක් දෙවියන් එය බලා සිටීම.
ඒ ආශ්චර්යය දැක ලුනුවරණ ගසෙහි අධිගෘහිත දේවතාවා (බෝසතාණෝ) සාධුකාර දෙමින්, වනය නින්නාද කරමින් මිහිරි හඬින් මේ ගාථාව වදාළේය:
“කපටි නුවණ ඇත්තා හුදෙක් වංචාවෙන්ම අතිශය සැපයට පත් නොවේ. කකුළුවාගෙන් විපතට පත් කොකා මෙන්, වංචාකාරී ප්‍රඥාව ඇත්තා තමා කළ දෙයෙහි විපාකය ලබයි.”
“කපටි බුද්ධිය ඇත්තේ තමාගේ ම වංචාව හේතුවෙන් නිත්‍ය වශයෙන් සැපෙහි නොපිහිටයි. (තමන් කළ වැරදිවල) කටුක විපාක ලබයි. ඒ කෙසේ ද යත්; කකුළුවාගෙන් (ගෙල) සිඳගත් කොකා මෙනි.”
එහි “නාච්චන්තං නිකතිප්පඤ්ඤො, නිකත්‍යා සුඛමෙධති” යන්නෙහි “නිකති” නම් රැවටීමයි. “නිකතිප්පඤ්ඤො” යනු වංචනික නුවණින් යුක්ත පුද්ගලයාය. හෙතෙම එම වංචාව හේතුවෙන් ඒකාන්තයෙන් සැපයට පත් නොවේ; හැම කල්හි සැපයෙහි පිහිටීමට ඔහුට නොහැකි වේ; ඒකාන්තයෙන්ම විනාශයට පත්වේ යන අර්ථයයි. “ආරාධෙති” යනු ලබාගනී යන්නයි. “නිකතිප්පඤ්ඤො” යනු කපටි බව පුහුණු කළ ප්‍රඥාව ඇති පවිටු පුද්ගලයා තමා විසින් කරන ලද පාපයේ ඵලය ‘ආරාධෙති’ හෙවත් ලබාගනී, විඳියි යන අර්ථයයි. ඒ කෙසේ ද? “බකො කක්කටකාමිව” යනු යම් සේ කොකා කකුළුවාගෙන් ගෙල සිඳීමට පත් වූයේ ද, එලෙසින්ම පවිටු පුද්ගලයා තමා කළ පාප කර්මවලින් මෙලොව දී හෝ පරලොව දී භියට (දුකට) පත්වෙයි. මහබෝසත්හු මේ අර්ථය ප්‍රකාශ කරමින් වනය නින්නාද කොට ධර්මය දේශනා කළහ.
ශාස්තෘන් වහන්සේ, “මහණෙනි, ගම්වාසී චීවරවඩ්ඪකයා විසින් මේ නගරවාසී භික්ෂුව දැන් පමණක් රවටන ලද්දේ නොවේ, පෙරදීත් රවටන ලද්දේම යැ”යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. “එකල කොකා වූයේ ජේතවනවාසී චීවරවඩ්ඪක භික්ෂුවය; කකුළුවා වූයේ ගම්වාසී චීවරවඩ්ඪකයාය; රුක් දෙවියා වනාහි මම ම වීමි.”
අටවැනි වූ බක ජාතක වර්ණනාව නිමි.