ගච්ඡති (=යේ යන්න ක්‍රියාපදයකැයි මුලදී කියන ලදී.) ක්‍රියාවක් නැතිව වාක්‍යයක් සම්පාදනය කළහැකි නොවේ. එබැවින් මෙහිදී ක්‍රියා පිළිබඳ දතයුතු මූලික කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ.
10. පුරුෂයා දැන් යමින් සිටී නම් “යේ” හෝ “යයි” කියා ද, මින් පෙර ගියේ නම් “ගියේය” කියා ද, මතු කලෙක යන්නේ නම් “යන්නේය” කියා ද ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් ක්‍රියා පද
- වත්තමාන (=දැන් පවත්නා) කාලය
- අතීත (=ඉකුත්වගිය) කාලය
- අනාගත (=නොපැමිණි) කාලය
යි තුනකට බෙදනු ලැබේ.
11.“පුරුෂයා යේ” යයි කියහැකි නමුත් “මම යේ,” “තෝ යේ” යි
කියහැකි නො වේ. එබැවින් ක්‍රියාව කරන්නා කවරෙක් දැයි දැනගැන්මට
ක්‍රියා පදය වෙනස් කොට යෙදිය යුතු වේ. ඒ වෙනස් කිරීම පුරිස (=පුරුෂ)
යන්නෙන් හඳුන්වනු ලැබේ.
එනම්:-
- පඨම පුරිස(=අන්‍යකාරක)3rd person
- මජ්ඣිම පුරිස (=තශබ්දකාරක) 2nd person
- උත්තම පුරිස (=මශබ්දකාරක) 1st person
යන තුනයි. මජ්ඣිම පුරිස නම් තවං (=තෝ), තුම්හෙ (=තෙපි) යන දෙකයි. ඒ දෙක සම්බන්ධව කියවෙන ක්‍රියා මජ්ඣිම පුරිසයෙහි වේ. උත්තම පුරිසය නම් අහං (=මම); මයං, අම්හෙ (=අපි) යන මොහු යි. ඒවා පිළිබඳ ව යෙදෙන ක්‍රියා ද උත්තම පුරිසයෙහි වේ. සො (=හෙතෙම) අඤ්ඤො (=අනිකෙක්) මනුස්සො (=මිනිසා) ගොණො (=ගොනා) මේ ආදීවූ මජ්ඣිම උත්තම පුරිස දෙකට අයත් නොවූ සියලු ම කර්තෘ පද පඨම පුරිසයෙහි වැටේ.
12.එක් අයකු පිළිබඳව යෙදෙන ක්‍රියාව ඒක වචනයෙන් ද, ඊට වැඩි
දෙනෙකුන් පිළිබඳව යෙදෙන ක්‍රියාව බහු වචනයෙන්ද යෙදිය යුතු බැවින් ඒකවචන බහුවචන භෙදයත් ක්‍රියාවන්හි ඇතැයි දතයුතුයි.
සංලක්‍ෂ්‍යය:
ක්‍රියාවක් වරනැගීමේදී කාල ද, පුරුෂ ද, (ඒක, බහු වචන ද) යෙදිය යුතුය. ( කර්තෘකාරක කර්මකාරකාදි භේද පසුව විස්තර කරනු ලැබේ.) නාමයක් වරනැගෙන්ට පෙර ඊට “ශබ්ද” යයි කියනු ලැබේ. ක්‍රියාවක් වරනැඟෙන්ට පෙර (මුලින් සිටි ආකාරය) ධාතු යයි කියනු ලැබේ.