යක්‍ෂ ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි යක්ෂයෝ නම් වූ සත්වකෙනෙක් ඇද්ද?” යි විචාළෝ ය. එසේ ය, මහරජානෙනි, ලොකයෙහි යක්ෂයෝ නම් වූ සත්වකෙනෙක් ඇතැ” යි වදාළසේක. “ස්වාමීනි, ඒ යක්ෂයෝ (330) ඒ යක්ෂයෝනියෙන් චුත වෙද්දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, ඒ යක්ෂයෝ ඒ යක්ෂයොනියෙන් චුත වන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, කාලක්‍රියා කළා වූ ඒ යක්ෂයන්ගේ මෘතශරීර කුමක් පිණිස වනාහි නො දක්නා ලැබේ ද? දුර්ගන්ධය ද නො පැතිරෙන්නේ කිම් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මළා වූ යක්ෂයන්ගේ මෘතශරීරත් දක්නා ලැබෙයි. ඔවුන්ගේ කුණපගන්ධයත් හමන්නේ ය. මහරජානෙනි, මළා වූ යක්ෂයන්ගේ මෘතශරීර කටුසු වර්ණයෙන් හෝ දක්නා ලැබෙයි. නොයෙක් පණුවර්ණයකින් හෝ දක්නා ලැබෙයි. කුහුඹුවර්ණයකින් හෝ දක්නා ලැබෙයි. පළඟැටිවර්ණයකින් හේ දක්නා ලැබෙයි. නයි වර්ණයකින් හෝ දක්නා ලැබෙයි. ගෝනුසුවර්ණයකින් හෝ දක්නා ලැබෙයි. පත්තෑවර්ණයකින් හෝ දක්නා ලැබෙයි. පක්ෂිවර්ණයකින් හෝ දක්නා ලැබෙයි. මෘගසංඛ්‍යාත වූ සිවුපාවර්ණයකින් හෝ දක්නා ලැබෙ” යි කියා වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වැනි වූ ප්‍ර‍ඥාවත් කෙනෙකුන් වහන්සේ හැර මේ ප්‍ර‍ශ්නය විචාරණ ලද්දා වූ අනික් කවරෙක් නම් විසර්ජනය කරන්නේ දැ?” යි කියා ප්‍ර‍ශංසා කළහ.

යක්ෂප්‍ර‍ශ්නය නිමි.