“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි කර්මජයෝ කවුරු ද? හෙතුජ වූවෝ කවුරු ද? සෘතුජ වූවෝ කවුරු ද? අකර්මජ වූවෝ කවුරු ද? අහෙතුජ වූවෝ කවුරු ද? අනුතුජ වූවෝ කවුරු ද?” යි විචාළෝ ය.
“යෙ කෙචි මහාරාජ සත්තා සචෙතනා සබ්බෙ තෙ කම්මජා, අග්ගී ච සබ්බානි ච බීජජාතානි හෙතුජානි. පඨවි ච පබ්බතා ච උදකඤ්ච වාතො ච සබ්බෙ තෙ උතුජා. ආකාසො ච නිබ්බාණඤ්ච ඉමෙ අකම්මජා. අහෙතුජා. අනුතුජා” ති.
“මහරජානෙනි. චතුරපායපර්යාපන්නයන් හා මනුෂ්‍යයන් හා දිව්‍යබ්‍රහ්මයන් හා අරූපීන් හා ඇතුළු වූ යම්කිසි සත්වකාය පර්යාපන්න වූ සචෙතනික වූ සත්වකෙනෙක් ඇද්ද, ඒ සියලු සත්වයෝ ම කුශලාකුශල කර්මයෙන් උපන් හෙයින් කර්මජයෝ ය. වහ්නිය හා සියලු ම බීජ ජාතීහු හෙතුයෙන් උපන් හෙයින් හෙතුජයෝ ය. පෘථිවිය හා පර්වතයන් හා ජලය හා වාතය ද යන මේ සියල්ල සෘතුයෙන් උපන් බැවින් සෘතුජයෝ ය. ආකාශය ද නිර්වාණය ද යන මේ දෙදෙන අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ. මහරජානෙනි, නිර්වාණය වනාහි කර්මජ ය යි කියා හෝ හෙතුජ ය යි කියා හෝ සෘතුජ ය යි කියා හෝ උපන්නේ ය යි කියා හෝ නූපන්නේ ය යි කියා හෝ උපදනේ ය යි කියා හෝ අතීත ය යි කියා හෝ අනාගත ය යි කියා හෝ වර්තමාන ය යි කියා හෝ චක්ඛුවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ සොතවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ ඝාණවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ දිවට දැනෙන්නේ ය යි කියා හෝ කායවිඤ්ඤෙය්‍යය ය යි කියා හෝ, නො කිය යුත්තේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් ඒ අමෘතමහා නිර්වාණය සිතට දැනෙන්නා වූ මනොවිඤ්ඤෙය්‍ය ය නම් වන්නේ ය. මනා කොට පිළිපන්නා වූ ඒ ආර්යශ්‍රාවකයන් වහන්සේ යම් මේ අමෘත මහානිර්වාණය විසුද්ධ වූ ඤාණයෙන් දක්නාසේකැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නය අතිරමණීය වූයේ ය. විශෙෂයෙන් ම විනිශ්චයකරණ ලද්දේ ය. නිස්සංක කරණ ලද්දේ ය. ඒකාන්තයට පැමිණියේ ය. සර්වගණීන්ද්‍රවර ප්‍රවර වූ නුඹ වහන්සේ කරා පැමිණ මාගේ කාංක්ෂා සිඳී ගියේ ය” යි කීහ.
නිර්වාණාකාශොපමාප්‍රශ්නය නිමි.