බ්‍ර‍හ්මාරාධනා ප්‍ර‍ශ්නය.

star_outline

(278) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘තථාගතයන් වහන්සේ විසින් චතුරසංඛ්‍යකල්පලක්ෂයකින් හා මේ අතරතුරෙහි මහත් වූ ජන සමූහයාගේ ගොඩ නැඟීම පිණිස සර්වඥතාඥානය මුහු කරවන ලදැ’ යි කියා නුඹ වහන්සේ වදාරණසේක. නැවත ද ‘සර්වඥතාඥානයට පැමිණ වදාළා වූ බුදුරජානන් වහන්සේගේ සිත මන්දොත්සාහ බවට නැමුනේ ය. ධර්මදෙශනාවට සිත නො නැමුනේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ දුනුවායෙක් හෝ දුනුවායන්ගේ අන්තෙවාසිකයෙක් හෝ බොහෝ දවසක් මුළුල්ලෙහි යුද්ධ කරනු පිණිස විඳීම් ශික්ෂිත ව මහායුද්ධයක් සම්ප්‍රාප්ත කල්හි පසු බස්නේ වේ ද, එපරිද්දෙන් ම, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් සාරාසංඛෙය්‍යයකින් හා කල්ප ලක්ෂයකින් යුක්ත වූ මේ තාක් දීර්ඝකාලයක් මුළුල්ලෙහි මහත් වූ ජන සමූහයාගේ ගොඩ නැඟීම පිණිස සර්වඥතාඥානය මුහු කරවා ගෙණ සර්වඥතාඥානයට පැමිණ වදාළා වූ බුදුරජානන් වහන්සේ විසින් ධර්ම දෙශනා කිරීමෙහි පසු බස්නා ලද්දේ ය.

“තවද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ මල්ලවයෙක් හෝ මල්ලවයන්ගේ අන්තෙවාසිකයෙක් හෝ බොහෝ දවසක් මුළුල්ලෙහි මල්ලවයුද්ධ පුරුදු කොට මල්ලවයුද්ධයක් සම්ප්‍රාප්ත කල්හි පසු බස්නේ වේ ද, එපරිද්දෙන් ම ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ එයින් සාරාසංඛෙය්‍යයකින් හා කප්ලක්ෂයකින් යුක්ත වූ ඒ තාක් කල් මුළුල්ලෙහි මහත් වූ ජනසමූහයා ගොඩ නගාලීම පිණිස සර්වඥතාඥානය මුහු කරවා ගෙණ දැන් සර්වඥතාඥානයට පැමිණ වදාළා වූ බුදුරජානන් වහන්සේ විසින් ධර්මදෙශනා කිරීමෙහි පසු බස්නා ලද්දේ ය. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් තුන්ලෝවාසීන්ට බණ කියන්ට භයින් පසු බස්නා ලද්දේ ද? නොහොත් බණ කියන්ට නො දැනෙන බැවින් පසු බස්නා ලද්දේ ද? නැතහොත් අසමර්ථ බැවින් පසු බස්නා ලද්දේ ද? නොහොත් අසර්වඥ බැවින් පසු බස්නා ලද්දේ ද? ඒ බණ දෙශනා නො කිරීමෙහි මැළි වූ කාරණා කවරේ ද? මාගේත් ලෝකයාගේත් කාංක්ෂා දුරු වන පිණිස වහා නුඹ වහන්සේ මට කාරණයක් වදාළ මැනව. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් ‘චතුහි ච අසංඛෙය්‍යෙහි කප්පානං සතසහස්සෙන ච එත්ථන්තරෙ සබ්බඤ්ඤුතඤාණං පරිපාචිතං මහතො ජනකායස්ස සමුද්ධරණාය’ කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘සබ්බඤ්ඤුතං පත්තස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමි, නො ධම්මදෙසනාය’ කියා වදාළ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘සබ්බඤ්ඤුතං පත්තස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමි. නො ධම්මදෙසනාය’ කී වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘තථාගතෙන චතුහි ච අසංඛෙය්‍යෙහි කප්පානං සතසහස්සෙනෙ ච එත්ථන්තරෙ සබ්බඤ්ඤුතඤාණං පරිපාචිතං මහතො ජනකායස්ස සමුද්ධරණා ය’ කී වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය ද අතිගම්භීර වන්නේ ය. දුෂ්කර වූ නිර්වෙඨනය ඇත්තේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය’ යි කීහ.

“මහරජානෙනි, තථාගතයන් වහන්සේ විසින් චතුරසංඛෙය්‍යකල්ප ලක්ෂයකින් පාරමිතාධර්මය මුහු කරවන ලද්දේත් සැබෑ ම ය. ඒතාක් (279) දීර්ඝකාලයක් මුළුල්ලෙහි මහත් වූ ජනසමූහයා ගොඩ නඟාලීම පිණිස සර්වඥතාඥානයට පැමිණ වදාළා වූ බුදුරජානන් වහන්සේගේ සිත ධර්මදෙශනා කිරීමෙහි නො නැමුනේ ම ය. මන්දොත්සාහබව පැමිණ වදාළ කාරණය වනාහි නිර්වාණධර්මයාගේ ජලපොළොව සෙයින් අති ගම්භීර බව ද, සියක්වර පැලූ අස්ලොම්අගක් මෙන් අතිසූක්ෂ්මබව ද, මහත් වූ ඝනතරපර්වතයකින් ප්‍ර‍තිච්ඡන්න වූ වස්තුවක් මෙන් දැක්ක නො හැකි බව ද, සර්වඥයන් වහන්සේ හැර සෙසු ලොකයාගේ ඤාණයෙන් අවබොධ නො කට හැකි බව ද සර්වඥතාඥානය හැර ලෞකික ඥානයෙන් දැක්ක නො හැකි හෙයින් අතිසියුම්බව ද, චතුරාර්යසත්‍යඥාන දර්ශනීය වූ තථාගතයන් වහන්සේ හැර සෙසු ලෞකිකඥානවතුන් විසින් ප්‍ර‍තිවෙධය දුෂ්කරබව ද, සනරාමරසකලලොකවාසීසත්වයන්ගේ වස්තුකාමක්ලේශකාමයෙහි ආලයාරාමබව ද, කිඹුලා කටින් ඩැහැ ගත් දෙයක් ගලවා ගත නො හැක්කා සේ සත්කායදෘෂ්ටියගේ දැඩි කොට සුගෘහිත බව ද, දැක වදාරා ‘කිම දෝ හො යි? කෙසේ දෝ? හො’ යි කියා මන්දොත්සාහබවට සිත නැමූසේක. ධර්මදෙශනා කිරීමෙහි නො නැමූසේක. මේ මන්‍දොත්සාහ වූ බව ද, සනරාමරසකලලොකවාසීසත්වයන්ට චතුස්සත්‍ය ප්‍ර‍තිවෙධය සිතන සිත ම ය.

“මහරජානෙනි, යම් සේ ශල්‍යකත්තෘ වූ වෛද්‍යාචාරිතෙම නොයෙක් ව්‍යාධියෙන් පීඩිත වූ මනුෂ්‍යයකු කරා එළඹ ‘කවර නම් උපක්‍ර‍මයකින් කවර නම් බෙහෙතකින් මොහුගේ ව්‍යාධිය ව්‍යපශමනය වේ දෝ හො’ යි කියා මෙසේ සිතන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ ‘සියලු ම ක්ලේශව්‍යාධියෙන් පීඩිත වූ ජනයා ද නිර්වාණධර්මයාගේ ගම්භීර නිපුණ දුරදර්ශක දුරනුබොධ සියුම් දුෂ්ප්‍ර‍තිවෙධබව කිම් දෝ හො යි කෙසේ දෝ හො?’ යි කියා මන්දොත්සාහබවට සිත නැමූසේක. ධර්මදෙශනා කිරීමට නො නැමූසේක. මේ මන්දොත්සාහ වූ බව ද සනරාමරසකලලොකවාසීසත්වයන්ට චතුස්සත්‍යප්‍ර‍තිවෙධය සිතන මනස ම ය.[1] සිතම ය.

“තවද, මහරජානෙනි, යම් සේ ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂේක වූ ක්ෂත්‍රියමහරජහට තමාගේ දොරටුපාල අංගපාල පාරිෂද්‍ය නිගමයොධභට බලප්‍ර‍ධානික අමාත්‍යක්ෂත්‍රිය ප්‍ර‍භෘති වූ රාජූපජීවික ජනයන් දැක ‘කිම දෝ? හො යි කෙසේ දෝ?’ හො යි ‘කෙසේ නම් මොවුන්ට සංග්‍ර‍හ කෙරෙම් දැ?’ යි කියා මෙසේ සිත් උපදනේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ නිර්වාණධර්මයාගේ ගම්භීරාතිසූක්ෂ්ම දූරදර්ශක දුරනුබොධසුඛුමදුෂ්ප්‍ර‍තිවෙධ බව ද, සියලු සත්වයන්ගේ වස්තුකාමාදි ආලයාරාමබව ද, සත්කායදෘෂ්ටියගේ දෘඪසුගෘහීත බව ද දැක ‘කිමෙක් දෝ හො යි කෙසේ දෝ හො?’ යි කියා මන්දොත්සාහබවට සිත නැමූසේක. ධර්මදෙශනා කිරීමෙහි සිත නො නැමූසේක. ඒ මන්දොත්සාහ වූ බව ද සියලු සත්වයන්ට චතුස්සත්‍යප්‍ර‍තිවෙධය සිතන මනස ම ය. මහරජානෙනි, එතෙකුදු වුවත් ‘මහාබ්‍ර‍හ්මයා විසින් ආරාධනා කරන ලද්දා වූ තථාගතයෝ ධර්මදෙශනා කරන්නාහු ය’ යි යන මේ කාරණය තෙම සියලු ම තථාගතයන්ගේ ධර්මතාවෙක. එහි වනාහි කාරණා කවරේ ද? යත්:- ඒ බුදුන් ධර්මදෙශනා කිරීමට පූර්වකාලයෙහි යම් මනුෂ්‍යකෙකේ ඇද් ද, තපස්වී කෙනෙක් ඇද් ද, පරිබ්‍රාජකකෙනෙක් ඇද් ද, ශ්‍ර‍මණබ්‍රාහ්මණ කෙනෙක් ඇද් ද, ඒ සියල්ලෝ ම බ්‍ර‍හ්මයා දෙවතා කොට ඇත්තාහු ය. බ්‍ර‍හ්මයා ම ගරු කොට ඇත්තාහු ය. බ්‍ර‍හ්මයා ම පිළිසරණ කොට ඇත්තාහු ය. එහෙයින් මහත් බව ඇත්තා වූ මුළු ලෝ (280) පතළ යශස් ඇත්තා වූ ප්‍ර‍සිද්ධ වූ අග්‍ර‍ වූ ඉතිරී සිටියා වූ ඉතා උස් ව සිටියා වූ මහාබ්‍ර‍හ්මයන් වැඳීමෙන් දෙවියන් සහිත වූ ලෝවැසිතෙම නමස්කාරය කරන්නේ ය. සිතන්නේ ය, සනිටුහන් කරන්නේ ය, මහරජානෙනි, මේ කාරණයෙන් ද බ්‍ර‍හ්මරාජයා විසින් යාච්ඤා කර සිටින ලද්දා වූ තථාගතයන් වහන්සේලා ධර්මය දෙශනා කරණසේක්ලා ය.

“තවද, මහරජානෙනි, යම් සේ කිසියම් මහාරාජොත්තමකෙනෙක් හෝ රාමහාමාත්‍යයෙක් හෝ ශ්‍ර‍මණාදි යම් කිසිවකුට නමස්කාරය කෙරෙත් ද[2], ඉතා මහත් වූ රාජබලයෙන් යුක්ත වූ ඒ රජ්ජුරුවන්ගේ වැඳීමෙන් අවශෙෂ වූ ජනසමූහයාත් නමස්කාරය කරන්නේ ය, පූජාසත්කාර කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මහාබ්‍ර‍හ්මයා ප්‍ර‍ණාමය කළ කල්හි තථාගතයන් වහන්සේලාට දෙවියන් සහිත වූ ලෝවැසිතෙම ද නමස්කාර කරන්නේ ය. මහරජානෙනි, ලොකවාසීසත්වතෙම පූජිත පූජා ඇත්තේ ය. පුදන්නවුන් දැක පුදන්නේ ය. එහෙයින් ඒ මහාබ්‍ර‍හ්මරාජයා සියලු ම තථාගතයන් වහ්නසේලාට ධර්මදෙශනා කිරීම පිණිස යාච්ඤා කර සිටින්නේ ය. ඒ කාරණයෙන් ද මහාබ්‍ර‍හ්මරාජයා විසින් ආරාධනා කරණ ලද්දා වූ තථාගතයන් වහන්සේලා ධර්මදෙශනා කර වදාරණසේක්ලා ය.

“මහරජානෙනි, අප තිලෝගුරු සර්වඥරාජොත්තමයන් වහන්සේ ලොවුතුරා බුදු ව අටවනසතියෙහි අජපාල නම් නිග්‍රොධමූලයෙහි වැඩ සිට අනන්තාපරිමෙය්‍ය වූ බුදුවරයන් වහන්සේලාගේ සිතිවිලික්‍ර‍මයෙන් ම සිතා වදාරණසේක් ‘මාගේ නිර්වාණධර්මය අතිගම්භීර වන්නේ ය, සත්වයන්ගේ නුවණ ලාමක ය. රාගද්වෙෂාදි ක්ලේශයෝ ද ඉතා උත්සන්නයෝ ය. මා බුදු වු බව මුත් ධර්මදෙශනා කිරීමට අල්පරජස්ක කලෙක් නො වෙයි. ධර්මදෙශනා නො කෙරෙමි දේ හො?’ යි ධර්මගම්භීරත්වයෙන් පසු බටසේක. එකෙණෙහි ම සහම්පතී නම් මහාබ්‍ර‍හ්මරාජයා ‘නස්සති වත හො ලොකො, විනස්සති වත හො ලොකො’ යනාදීන් දස දහසක් සක්වළට ඇසෙන සේ කියකියා දසදහසක් සක්වළ දිව්‍යබ්‍ර‍හ්ම නාග සුපර්ණ ගරුඬ ගාන්ධර්ව යක්ෂ රාක්ෂස උෂ්ණවලාහක අභ්‍ර‍වලාහක සීතවලාහක වස්සවලාහක සිද්ධවිද්‍යාධරාදී දිව්‍යසේනාව වෙවුල්වා මහ හඬින් ගුගුරුවා දසදහසක්සක්වළ දෙවියන් රැස් කොට එක්ලක්ෂපණස් දහසක් බ්‍ර‍හ්මරාජයන් පිරිවරා දසදහසක්සක්වළ අනූදහසක් දිව්‍යරාජයන් හා සමග මේ මගුල් සක්වළ රැස් ව තමාගේ අටසාළිස්ගවු උස ශරීරයෙහි සත්ගවුසමාර බැගින් දිග ඇති දෙපතුලින් හා දොළොස්ගවු දිග රියන් හා සගවු දිග වියත් හා අඩගවු තැන් වසාල ඇඟිලින් හා ඇතුළු වූ දොළොස් යොදුන් දිවසළු පැලඳ දොළොස්යොදුන් සළු එකාංශ කොට සොළොස් ගවු උස මැණික්ඔටුනු පැලඳ තමාගේ දසැඟිල්ලෙන් දිවු රැස්කඳින් දසදහසක්සක්වළ හිරුදහස් සඳුදහස් නැංගා සේ එකාලොක කෙරෙමින් දසදහසක්සක්වළ දිව්‍යබ්‍ර‍හ්මයන් ගෙණ අපගේ සද්ධර්මචරචක්‍ර‍වර්ති වූ බුදුරජානන් වහන්සේ කරා ඒ අජපාලන්‍යග්‍රොධ මූලයට දිව තමාගේ දොළොස්ගවු උස දකුණු දණමඬල නමා හිඳ තමාගේ සගවු පළල් විශාල වූ දොහොත් මුදුනෙහි තබා ගෙණ පුන්සඳ වන් මුහුණ බලබලා ‘ස්වාමීනි, බුදුකෙනෙකුන් ඉපදීම කප්අසංඛ්‍යයකිනුත් ඉතා දුර්ලභ වන්නේ ය. නුඹ වහන්සේ මේ සාරාසංඛෙය්‍ය කප්ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතාධර්මයන් (281) පුරා මහත් වූ දුක් ගත්තේ ධර්මදෙශනා කොට සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩ නඟමි’ යි කියා නො වේ ද? එසේ වූ නුඹ වහන්සේ දැන් සද්ධර්මචරචක්‍ර‍වර්තිරජ ව ධර්මචක්‍ර‍ය නො පවත්වමි යි සිතූ සේ නො යෙදෙයි. නුඹ වහන්සේගේ දෙශනා නමැති රශ්මියෙන් ප්‍රබොධය බලා හිඳිනා මේ විනෙයජනපද්මයෝ අසංඛෙය්‍ය ගණනෙක. නුඹ වහන්සේගේ ධර්මචක්‍ර‍ය ඉක්ම පවත්නේ වී නම්, මම මාගේ ආඥා චක්‍රයෙන් හික්මවා දෙන්නෙමි. ‘දෙසෙතු සුගතො ධම්මං. දෙසෙතු භගවා ධම්මං’ යනාදීන් ධර්මදෙශනාවට ආරාධනා කෙළේ ය. ඒ සර්වලොකෙශ්වර වූ බ්‍ර‍හ්මාරාධනාව පිළිගෙණ ධර්ම දෙශනා කළසේකැ” යි කී සේක. “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ විසින් ප්‍ර‍ශ්නය සුනිර්වෙඨනය කරණ ලද්දේ ය. නුඹ වහන්සේගේ ප්‍ර‍ශ්නය ප්‍ර‍කාශ කිරීම අතිමනොඥ ය. මෙසේ මේ ප්‍ර‍ශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.

බ්‍ර‍හ්මාරාධනාප්‍ර‍ශ්නය නිමි.

සකලජනමනොනන්දනීය වූ මෙණ්ඩකප්‍ර‍ශ්න

නම් වූ මේ ශ්‍රී සද්ධර්මාදාසයෙහි

පස්වැනි වර්ගය නිමියේ ය.

  1. ප්‍ර‍තිවෙධ කරණ සිත නමන සමය

  2. කෙරේ