“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹගේ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේ විසින්:-
‘ගාථාභිගීතම්මෙ අභොජනීයං
සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො
ගාථාභිගීතං පනුදන්ති බුද්ධා
ධම්මෙ සති බ්‍රාහ්මණ වුත්තිරෙසා.’
(269) යන ගාථාවෙන් ‘බ්‍රාහ්මණය, මා විසින් ගාථා කියා මේ කිරි බත ලබන ලද්දේ ය. එහෙයින් වළඳන්ට නිසි නො වෙයි. හැම ලෙසින් ම ආජීවසුද්ධිය බලන්නා වූ බුදුවරයන්ගේ ගාථා කියා ලද දෙය වැළඳීම නම් චාරිත්‍රධර්මයෙක් නො වන්නේ ය. එහෙයින්, බ්‍රාහ්මණය, ගාථා කියා ලත් භොජනය බුදුවරයෝ නො වළඳා ප්‍රතික්ෂෙප කෙරෙති. බුදුන්ගේ ආජීවපාරිශුද්ධි සුචරිතචාරිත්‍රධර්මය නො නැසී විද්‍යමාන ව පවත්නා කල්හි මේ පැවතීම තෙම බුදුන්ගේ එකාන්ත නිර්මල විශුද්ධ වූ ජීවිකා වෘත්තියෙකැ’ යි කියා මෙම අර්ථයක් වදාරණ ලද්දේ ය. නැවත ද බුදුරජානන් වහන්සේ පිරිසට ධර්මදෙශනා කෙරෙමින් අනුපූර්වකථාව කෙරෙමින් පළමු කොට ම දානකථාව වදාරණසේක. සර්වලොකෙශ්වර වූ ඒ භාග්‍යවතුන් වහ්නසේගේ භාෂිතය අසා දිව්‍යමනුෂ්‍යයෝ විශෙෂ කොට සරහා දන් දෙන්නාහු ය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් උපදවන ලද්දා වූ ඒ දානය සුගතශ්‍රාවකයන් වහන්සේලා වළඳා වදාරණසේක් ලා ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ගාථාභි ගීතම්මෙ අභොජනීයං’ යනාදීන් වදාරණ ලද්දේ සැබෑ වී නම්, ඒ කාරණයෙන් ස්වාමීනි, ‘භාග්‍යවතුන් වහන්සේ පළමු කොට දානකථාව වදාරණසේකැ’ යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් ‘දානකථං පඨමං කථෙති’ කී වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘ගාථාභි ගීතම්මෙ අභොජනීයං’ කී වචනය හෝ බොරු වන්නේ ය. මේ දෙක ම සැබෑ වන්ට කාරණා නැත, එකක් බොරු වෙයි, එකක් සැබෑ වෙයි. ඊට කාරණා කවරේ ද? යත හොත්:- ස්වාමීනි, යම් ඒ අග්‍රදක්ෂිණීය වූ භික්ෂුනමක් ගිහින්ට පිණ්ඩපාතදානයාගේ ආනිසංසය කියන්නේ ය. ඒ භික්ෂූන් වහන්සේගේ ධර්මකථාව අසා ප්‍රසන්නසිත් ඇත්තා වූ ඒ ගෘහස්ථයෝ නැවත නැවතත් දන් දෙති. යම් සුගතශ්‍රාවක කෙනෙක් ඒ දානය වළඳිත් නම්, ඒ සියලු සුගතශ්‍රාවකයෝ ම ගාථා කියා ලත් භොජනය වළඳන්නාහු නම් වෙති. මේ සර්වඥගොචර වූ උභතොකොටිකප්‍රශ්නය ද සියක්වර පැලූ අස්ලොම්අගක් මෙන් අතිසියුම් වන්නේ ය. ජලපොළෝ සෙයින් අතිගම්භීර වන්නේ ය. ඒ ප්‍රශ්නය නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය. නුඹගේ සමර්ථතාව බලමි” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-
‘ගාථාභිගීතම්මෙ අභොජනීයං
සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො,
ගාථාභිගීතං පනුදන්ති බුද්ධා
ධම්මෙ සති බ්‍රාහ්මණ වුත්තිරෙසා’
යන මේ ගාථාඅර්ථයත් වදාරණ ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ පළමු කොට ම දානකථාව ද වදාරණසේක. ඒ කාරණය වනාහි සියලු ම තථාගතයන්ගේ චාරිත්‍රක්‍රියාවෙක. පළමු කොට ම දානකථාවෙන් එහි සිත අභිරමණය කරවා පසු ව ශීලයෙහි යොදා වදාරණසේක් ලා ය. මහරජානෙනි, යම් සේ මනුෂ්‍යයෝ තරුණ දරුවන් නළවනු පිණිස පළමු කොට ක්‍රීඩාභාණ්ඩයක් දෙන්නාහු ය. හේ කවරේ ද යත්:- කුඩා නගුල ය, ඝටික නම් කල්ලික්‍රීඩාභාණ්ඩය, චිංගුලික නම් තල්කොළඇඹරුම ය, කෙළිනැළිය, (270) කුඩා රථය, කුඩා දුන්න ය මේ ආදි කෙළිභාණ්ඩය, පසු ව ඒ ලදරුවන් ස්වකීය කර්මාන්තයෙහි යොදවන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අප තථාගතයන් වහන්සේ පළමු කොට ම දාන කථාවෙන් එහි සිත අභිරමණය කරවා පසු ව ශීලයෙහි යොදා වදාරණසේක.
“තව ද, මහරජානෙනි, යම් සේ වෛද්‍යාචාර්යතෙමේ රොගාතුරයන්ට පළමු කොට ඖෂධබලය පිහිටන පිණිස ශරීරය මොළොක් වන පිණිස සතර පස්දවසක් තෙල් පොවා ලන්නේ ය. පසු ව විරෙක කර වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ පළමු කොට ම දානකථාවෙන් සිත අභිරමණය කරවා පසු ව ශීලයෙහි යෙදා වදාරණසේක. මහරජානෙනි, දානපති වූ දායකයන්ගේ සිත මෘදු වන්නේ ය. මර්දනය වන්නේ ය. සිනිද්ධ වන්නේ ය. ඒ දායකයෝ ඒ දානසෙතු සංක්‍රමණයෙන් දාන නමැති මහනැවින් සංසාරමහාසාගරයාගේ පරතෙරට පැමිණෙන්නාහු ය. එහෙයින් ඒ ගෘහස්ථයන්ට පළමු කොට කටයුතු භූමිය අනුශාසනා කර වදාරණසේක. ඒ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ විඤ්ඤත්තියට නො පැමිණෙනසේකැ” යි වදාළසේක.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘විඤ්ඤත්තියයි’ කියා යමක් වදාළ සේක් ද, ඒ විඤ්ඤත්තීහු කොපමණෙක් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, විඤ්ඤත්තීහු ‘කායවිඤ්ඤත්තිය, වචීවිඤ්ඤත්තිය’ යි කියා මේ දෙකෙක් වෙති. එහි සාවද්‍ය වූ කායවිඤ්ඤත්තියකු දු ඇත. අනවද්‍ය වූ කායවිඤ්ඤත්තියකු දු ඇත. සාවද්‍ය වූ වචීවිඤ්ඤත්තියකු දු අනවද්‍ය වූ වචීවිඤ්ඤත්තියකු දු ඇත.
“සාවද්‍ය වූ කායවිඤ්ඤත්තිය කවරේ ද? යත්:- මහරජානෙනි, මේ ශාසනයෙහි මහණ වූ ඇතැම් භික්ෂුනමක් උපාසකකුලයට එළඹ පිණ්ඩපාතයෙන් සිටීමට නිසි නො වන අනවකාශස්ථානයෙහි සිට භික්ෂාචාරයට නිසි ස්ථානයෙහි නො ඉඳ, පිණ්ඩපාත වත බිඳින්නේ ය. මේ කායවිඤ්ඤත්තිය සාවද්‍ය වන්නේ ය. ඒ කායවිඤ්ඤත්තියෙන් විනවන ලද්දා වූ භොජනය බුද්ධාදී ආර්යයෝ නො වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙමේ ද ආර්යයන්ගේ ලබ්ධියෙහි ලාමක වන්නේ ය, නින්දා වන්නේ ය. බිඳීම වන්නේ ය, ගර්හිත වන්නේ ය, පිළිකුල් වන්නේ ය, අචිත්තීකෘත වන්නේ ය, භින්නාජීවක සංඛ්‍යාවට යන්නේ ය. නැවත ද, මහරජානෙනි, අනික ද ඇතැම් භික්ෂුනමක් උපාසකකුලයට එළඹ අනවකාශස්ථානයෙහි සිට ග්‍රීවය නමා ‘මෙසේ ඇති කල, මොවුහු බලති’ යි සිතා මයූර බැල්මෙන් බලන්නේ ය. ඒ ග්‍රීවය නමා බැලීම කරණ කොට ගෙණ ඒ උපාසකවරු ද ඒ මහණහු දකිති. මේ කායවිඤ්ඤාත්තිය ද සාවද්‍ය වන්නේ ය. ඒ කාය විඤ්ඤත්තියෙන් විනවන ලද භොජනය බුද්ධාදී ආර්යයෝ නො වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙමේ ද ආර්යයන්ගේ ලබ්ධියෙහි ලාමක වන්නේ ය. නින්දා වන්නේ ය, බිඳීම වන්නේ ය, බිඳීම වන්නේ ය, ගර්හිත වන්නේ ය, පිළිකුල් වන්නේ ය, අචිත්තීකෘත වන්නේ ය, භින්නාජීවිකසංඛ්‍යාවට යන්නේ ය, නැවත ද, මහරජානෙනි, මේ ශාසනයෙහි අනිකු දු සමහර භික්ෂුනමක් හනුවෙන් හෝ බැමින් හෝ ඇඟිල්ලෙන් හෝ අඟවන්නේ ය. මේ කාය විඤ්ඤත්තිය ද සාවද්‍ය වන්නේ ය, ඒ කායවිකාරයෙන් විනවන ලද භොජනය බුද්ධාදී ආර්යයෝ නො වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙමේ ද ආර්යයන්ගේ සම්‍යක්දෘෂ්ටි වූ ශාසනයෙහි ලාමක වන්නේ ය. නින්දා වන්නේ ය. ගර්හිත වන්නේ ය, පිළිකුල් වන්නේ ය, අචිත්තීකෘත වන්නේ ය, ‘භින්නාජීවය ඇත්තේ ය’ යි කියා සංඛ්‍යාවට යන්නේ ය.
“අනවද්‍ය වූ (271) කායවිඤ්ඤත්තිය කවරේ ද? යත්:- මේ ශාසනයෙහි සිල්වත් මහණතෙම සෙඛියායෙහි කී සෙයින් උපාසකකුලයට එළඹ සිහිනුවණින් යෙදී සංහිඳී ස්ථානයෙහිත් අස්ථානයෙහිත් බුදුන් වදාළ අනුශාසනා පරිද්දෙන් ගොස් නිසි ස්ථානයෙහි සිටින්නේ ය. කිසිවක් දෙනු කැමැති කල්හි සිටින්නේ ය, නො දෙනු කැමැති කල්හි නො ඉඳ යන්නේ ය, මේ කායවිඤ්ඤත්තිය අනවද්‍ය වන්නේ ය, ඒ අනවද්‍ය වූ කායවිඤ්ඤත්තියෙන් විනවන ලද භොජනය බුද්ධාදි ආර්යයෝ වළඳන්නාහු ය. ඒ ආර්යාජීවශුද්ධිකපුද්ගලතෙම ආර්යයන්ගේ ලබ්ධියෙහි වර්ණිත කරණ ලද වන්නේ ය, ප්‍රශස්ත කරණ ලද්දේ ය, සල්ලෙඛිකාචාර ඇත්තේ ය, සුපරිසුද්ධාජීවය ඇති සංඛ්‍යාවට යන්නේ ය, මහරජානෙනි, දෙවාතිදෙව වූ අප භාග්‍යවත් වූ සර්වඥරාජොත්තමයානන් වහන්සේ විසින් ද:-
‘න වෙ යාචන්ති සප්පඤ්ඤා-අරිය ගරහන්ති යාචනං,
උද්දිස්ස අරියා තිට්ඨන්ති-එසා අරියාන යාචනා.’
යන මේ ගාථාවෙන් ‘සප්‍රාඥ වූ ආර්යයෝ කිසිවක් නො ඉල්වති. ඉල්වීමට ගර්හා කෙරෙති, උවමනා දෙයක් උදෙසා ආර්යයෝ සිටිති. මෝතොමෝ ආර්යයන්ගේ ඉල්වීම ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. සාවද්‍ය වූ වචීවිඤ්ඤත්තිය කවරේ ද? යත්:- මහරජානෙනි, මේ ශාසනයෙහි මහණතෙම වචනයෙන් බොහෝ වූ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර ඉල්වන්නේ ය, මේ වචීවිඤ්ඤත්තිතොම සාවද්‍ය වන්නේ ය. ඒ වචීවිඤ්ඤත්තියෙන් ඉපද වූ සිවුපසය ආර්යයෝ නො වළඳති. ඒ පුද්ගලතෙමේ ද ආර්යයන්ගේ ලබ්ධියෙහි ලාමක වන්නේ ය, හීලිත වන්නේ ය, ඛිලිත වන්නේ ය, ගර්හිත වන්නේ ය, පරිභූත වන්නේ ය, අචිත්තීකෘත වන්නේ ය, ‘බිඳුනා වූ ආජීවය ඇත්තේම ය’ යි කියා සංඛ්‍යාවට යන්නේ ය. නැවත ද, මහරජානෙනි, මේ ශාසනයෙහි අනිකුදු ඇතැම් භික්ෂුනමක් අනුන්ගේ යමක් ඉල්වමින් ‘මේ දෙයින් මට ප්‍රයොජන ඇතැ’ යි මෙසේ කියන්නේ ය. කයින් වචනයෙන් අනුන්ට අස්වා ලීමෙන් ඒ මහණහට ලාභය උපදනේ ය. මේ වචීවිඤ්ඤත්තිය ද සාවද්‍ය වන්නේ ය. ඒ වචීවිඤ්ඤත්තියෙන් උපදවන ලද ලාභය ආර්යයෝ නො වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙමේ ද ආර්යයන්ගේ සම්‍යක් ලබ්ධියෙහි ලාමක වන්නේ ය, හීලිත වන්නේ ය, ඛිලිත වන්නේ ය, අවමාන වන්නේ ය, අචිත්තීකෘත වන්නේ ය, භින්නාජීවය ඇත්තේ ය” යි කියා සංඛ්‍යාවට යන්නේ ය.
“නැවත ද, මහරජානෙනි, අනිකුදු සමහර භික්ෂුනමෙක් මේ ශාසනයෙහි වචන පැතිරවීමෙන්[1] ‘මෙපරිද්දෙන් භික්ෂූන්ට දිය යුත්තේ ය’ යි කියා පිරිසට අස්වාලන්නේ ය. ඒ පිරිස ඒ වචනය අසා ගුණ කී ප්‍රත්‍යය ගෙණවුත් දෙති. මේ වචීවිඤ්ඤත්තිය ද සාවද්‍ය වන්නේ ය. ඒ වචීවිඤ්ඤත්තියෙන් විනවන ලද්දා වූ පසය ආර්යයෝ නො වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙම ද ආර්යයන්ගේ ලබ්ධියෙහි ලාමක වන්නේ ය, හීලිත වන්නේ ය, ඛිලිත වන්නේ ය, ගර්හිත වන්නේ ය, පරිභූත වන්නේ ය, අචිත්තීකෘත වන්න් ය, භින්නාජීවික සංඛ්‍යාවට යන්නේ ය.
“මහරජානෙනි, ශාරීපුත්‍රමහතෙරුන් වහන්සේ ද හිරු අස්තංගත කල්හි රාත්‍රිභාගයෙහි බලවත් වූ බඩරුජාවෙක් ඇති ව මහත් වූ දුක්ඛ වෙදනාවෙන් පෙළෙමින් ගිලන් වුසේක.[2] මහමුගලන් තෙරුන් වහ්නසේ (272) විසින් ඒ දැක ‘වහන්ස, පෙර මේ රුජාව ගත් කල වැළඳූ බෙහෙත් කවරේ දැ?’ යි විචාරණ ලද්දෝ ‘ඇවැත්නි, මා ගිහි කාලයෙහි අපගේ මෑනියෝ හෙලඟිතෙල් මී සකුරු එක් කොට යොදා දිය නුමුසු කොට පිසූ කිරිබතක් දෙති. ඒ කිරිබතින් මේ රුජාව සන්හිඳෙන්නේ ය’ යි කියා වාග්භෙදය කර වදාළසේක. මුගලන් මහතෙරුන් වහන්සේ ද ‘වහන්ස, නුඹවහන්සේගේ හේ මාගේ හෝ පිණෙක් ඇත්තේ වී නම්, බෙහෙත් කිරිබත ලබම්හ’ යි කීදෑ ය. එකල එබස් අසා සක්මන් කෙළවර වෘක්ෂයෙහි හුන් දෙවතාවා මුගලන් මහතෙරුන් වහන්සේගේ උපාසකකුලයට එළඹ වැඩිමහලු පුත්‍රයාගේ ශරීරයෙහි ආවෙශ වෙමින් වෙහෙස කෙළේ ය. එකල ඕහට පිළියම් කරන්නට රැස් වූ නෑයන්ට ‘කොල, තෙපි කුමක් කරව් ද? සැරියුත්මහතෙරුන් වහන්සේට ගිතෙල් මී සකුරු එක් කොට කිරිබතක් උයා යවුව හොත් යක්ෂලෙඩ හරිමි’ යි වෙවුලා කීයේ ය. ඒ අසා උපාසකවරු ‘මහායක්ෂයානෙනි, තොප නො කීවත් අපි තෙරුන් වහන්සේට නිරන්තරයෙන් ම දන් දෙම්හ’ යි කියා දෙවෙනි දවස් එබඳු කිරිබතක් පිස ගෙණ මග බලබලා උන්හ. මුගලන් මහතෙරුන් වහන්සේ ද එදවස් උදය ම නැඟී සිට පෙර පුරුදු වූ ඒ උපාසකකුලයට වැඩ වදාළසේක. ඒ දැක සතුටින් උපාසකවරු පාත්‍රය ලබා ගෙණ කිරිබත් පුරවා දුන්හ. තෙරුන් වහන්සේ කිරිබත් ගෙණ වඩනාකාර දැක්වූසේක. ඒ දැක උපාසකවරු ‘වහන්ස, මේ බත වළඳා මැනැව. අනික් කිරිබත්පාත්‍රයක් දෙම්හ’ යි කියා ඒ බත වැළඳූ නැවත පාත්‍රය පුරවා කිරිබත් දුන්හ. තෙරුන්වහන්සේ ඒ කිරිබත ගෙණ ගොස් ‘වහන්ස, මේ කිරිබත වළඳා වදාළ මැනැවැ’ යි කියා සැරියුත් මහතෙරුන් වහන්සේට පිරිනැමූ සේක. ඒ සැරියුත්මහතෙරුන් වහන්සේට වාග්භෙදයෙන් ඒ බෙහෙත් කිරිබත උපන්නේ ය. එවිට සැරියුත් මහතෙරුන් වහන්සේ යහපත් වූ ඒ කිරිබත දැක ‘මේ කිරිබත කෙසේ උපන්නේ දෝ හො?’ යි දිවැසින් බලා දෙවතාවා උපාසකකුලයට එළඹ දුක් දී ඉපද වූ බව දැක ‘වාග්භෙදයෙන් මට මේ බෙහෙත්කිරිබත උපන්නේ ය. මාගේ සම්‍යග්ආජීවය නො බිඳේව’ යි සිතා ආජීවභෙදභයින් ඇවැත්නි, මේ බෙහෙත් ආහාරය අනුභවයට සුදුසු නො වෙයි. පහ කරව’ යි කියා ඒ බෙහෙත හැර වදාළ සේක. ඒ කිරිබතින් ජීවිකා නො කළසේක. මුගලන් මහතෙරුන් වහන්සේ ද ‘මා වැනි සෘද්ධිමත් මහාශ්‍රාවක කෙනෙකුන් ගෙණ ආ බත නො වළඳනසේකැ’ යි නො සිතා එක වචනයෙන් ම පාත්‍රමුවවිට අල්වා ගෙණ එක් පසෙක්හි මුණින් නැමූසේක. එකෙණෙහි ම සැරියුත් මහතෙරුන් වහන්සේගේ බඩරුජාවත් සන්හිඳින. එතැන්පටන් පිරිනිවන් පාන තැන් දක්වා පන්සාළිස්හවුරුද්දක් මුළුල්ලෙහි ඒ රුජාව හට ගත්තේ නො වේ. මෙබඳු වූ වචීවිඤ්ඤත්තිය ද සාවද්‍ය වන්නේ ය. ඒ වචීවිඤ්ඤත්තියෙන් විනවන ලද්දා වූ ආහාරය බුද්ධාදී ආර්යයෝ නො වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙම ද ආර්යයන්ගේ ලබ්ධියෙහි ඔඤාත වන්නේ ය. හීලිත වන්නේ ය, ඛිලිත වන්නේ ය, ගර්හිත වන්නේ ය, පරිභූත වන්නේ ය, අචිත්තීකෘත වන්නේ ය, භින්නාජීවික සංඛ්‍යාවට යන්නේ ය.
“අනවද්‍ය වූ වචීවිඤ්ඤත්තිය කවරේ ද? යත්:- මහරජානෙනි, මේ ශාසනයෙහි මහණතෙම කරුණක් ඇති කල්හි නෑ පැවරු කුලයෙන් බෙහෙත් ඉල්වන්නේ ය. ඒ වචීවිඤ්ඤත්තිය අනවද්‍ය වන්නේ ය. ඒ වචීවිඤ්ඤත්තියෙන් (273) විනවන ලද පසය බුද්ධාදී ආර්යයෝ වළඳන්නාහු ය. ඒ පුද්ගලතෙම ද ආර්යයන්ගේ සම්‍යක්ලබ්ධියෙහි වර්ණනා කරණ ලද වන්නේ ය. ස්තුති කරණ ලද වන්නේ ය, ප්‍රශස්ත කරණ ලද වන්නේ ය, පරිශුද්ධාජීවය ඇති සංඛ්‍යාවට යන්නේ ය. තථාගත වූ අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේලා විසින් පරිසුද්ධාජීවය ඇත්තේ ය” යි අනුදන්නා ලද්දේ ය.
“මහරජානෙනි, තථාගතයන් වහන්සේ කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ යම් භොජනයක් නො ගෙණ දුරු කළසේක් ද, ඒ භොජනය තද අර්ථයන්ගේ වෙළීම් දඟ හැරීම් ඇදීම් නිග්‍රහ කිරීම් ප්‍රතිකර්මයෙන් උපදනා ලද්දේ ය. එහෙයින් තථාගතයන් වහන්සේ ඒ පිණ්ඩපාතය පිළිනොගෙණ ප්‍රතික්ෂෙපය කළසේක. එයින් ජීවිකාව නො කළසේක.
“මහරජානෙනි, සකලසුරනරවන්දනීය වූ අප තථාතයන් වහන්සේ එක්සමයෙක්හි මගධරට රජගහනුවර වටා පිහිටි පර්වතයට දකුණු භාගයෙහි වූ හෙයින් දක්ෂිණගිරි නම් විහාරයෙහි එකනාලක නම් බ්‍රාහ්මණ ග්‍රාමය නිසා වැඩ වාසය කරණසේක. එසමයෙහි එම එකනාලක නම් බ්‍රාහ්මණග්‍රාමයට ජ්‍යෙෂ්ඨ වූ කෘෂිකර්මයෙන් ජීවත් වන හෙයින් ද භාරද්වාජගොත්‍රවශයෙන් ද කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ කැකුලම් සා වපුරන්නා වූ වප්මඟුලෙක් විය. ඒ වප්මඟුලෙහි රක්තශ්වෙතාදී වර්ණ ඇත්තා වූ දහසක් පමණ හීගොනුන්ගේ සතරපා රිදීකුර ගසා සියලු අං රන්කොපුයෙන් වසා සර්වාංගය සුවඳ පසඟුල් දෙමින් සුදුමල් පලඳවන ලද්දේ ය. පන්සියයක් නඟුල් හිස් වීය. කෙවිටි ස්වර්ණයෙන් බහා කරණ ලද්දේ ය. පන්සියයක් පමණ කෘෂිකාර්මිකයෝ නවවස්ත්‍රාභරණයෙන් සැරහී සමන්මල් උර පැලඳ සිරියල්මනෝසීලකල්කයෙන් වෙර ආලේප ගෙණ දස දස දෙන පෙළ සැදී පන්සියයක් නඟුල් ගෙණ ගොන් යොදා සාමින් යෙති. එතෙක් දෙන ගැලින් වී ඉසිමින් යෙති. පන්සියයක් ගොන් විඩා හරිති. බ්‍රාහ්මණතෙම ද උදය ම නාපියා රැවුළ අන්දම් ගෙණ සුවඳ විලවුන් ආලෙප කොට පන්සියයක් අගේ ඇති සළුවක් හැඳ දහසක් අගේ ඇති සළුවක් පෙරවගෙණ, දසැඟිල්ලෙහි විසිමුන්දෙක් බහා ගෙණ, කර්ණයුගලයෙහි කුණ්ඩලාභරණ පැලඳ ගෙණ, දසදහසක් අගේ ඇති මුණ්ඩාසනයක් හිස බහා ගෙණ, රන්මාලයක් කර ලා ගෙණ, බ්‍රාහ්මණ ජනයා පිරිවරා ගෙණ වැපිරීම් බලමින් ඒ ඒ තන්හි උස්සිතධජපතාකායෙන් බබලන ක්ෂේත්‍රභූමියෙහි ඇවිදින්නේ ය. එකල කසීභාරද්වාජයාගේ බැමිණිය නොයෙක් සියගණන් භාජනයන්හි කිරිබත් පිසවා මහගැලක නගා ගෙණ දෙවඟනක සේ සැරහී බැමිණියන් පිරිවරා ගෙණ කර්මාන්ත භූමියට අවු ය. බ්‍රාහ්මණතෙමේ ද තමන් අනුභව කරණ තලියෙහි කිරිබත පුරවා මධුශර්කරා ගිතෙලින් සරහා නංගලබලිකර්මය කොට නිමවා පන්සියයක් පමණ කසීපුරුෂයන් හා දොළොස්දහස්පන්සියයක් සෙනග වඩා හිඳුවා රන්මිරිවැඩි පය ලා ගෙණ රක්තවර්ණ රන්සෝලුලීයක් අතින් ගෙණ ‘මොහුට කිරිබත් දෙව, මොහුට ගිතෙල් දෙව, මොහුට ශර්කරා දෙව’ යි කියකියා විධාන කෙරෙමින් යෙයි. බැමිණි ස්වර්ණරජතලොහතාම්‍රමය භාජනයන් ගෙන්වා ගෙණ රන්සැන්දෙන් කිරිබත් ආදිය බෙදමින් යෙයි. එදවස් අප තිලෝගුරු සර්වඥරාජොත්තමයානන් වහන්සේ අලුයම්හි නැඟී සිට මහාකරුණාසමාපත්තියට සමවැදී අද (274) කෙසේ නම් ලෝවැඩක් කෙරෙම් දො හො?” යි බුදුඇසින් සියලු ලෝකය බලා වදාරණසේක් තීක්ෂ්ණ වූ ප්‍රඥාගති ඇති කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයා රහත් වීමට කුසල් මෝරා බිජු වපුරමින් සිටි බව දැක මහත් වූ කරුණාවෙන් ඔහු විනයනය කර වදාරණ පිණිස උදය කාලයෙහ ම පාසිවුරු ගෙණ වදාරමින් ක්ෂණයකින් බත් නිමවන තැනට වැඩ බ්‍රාහ්මණයාට පෙණෙන සේ උස් තැනෙක වැඩ සිටිසේක. එසේ වැඩසිට සහස්‍රගණන් චන්ද්‍රසූර්යයන්ගේ ප්‍රභාවට අපහාස කරන්නාක් මෙන් සශ්‍රීක වූ ස්වර්ණවර්ණශ්‍රී ශරීරයෙන් නික්මුනා වූ ස්වර්ණවර්ණ වූ බුද්ධරශ්මිමණ්ඩලය කරණ කොට ගෙණ රන්වන් මයූරපිඤ්ජයක් විදාපී කලක් මෙන් හාත්පසින් උඩින් යටින් සරසින් අසූරියනක් පමණ තන්හි බුදුරැස් පතුරුවා වදාළසේක. බ්‍රාහ්මණයාගේ කර්මාන්තශාලා භිත්තිවෘක්ෂ සා වැසූ පස්පිඬු ආදි වූ සියල්ල ම රන්වන්මය වූවාක් මෙන් විය. එකල කිරිබත් කකා හුන් මනුෂ්‍යයෝ වට්ටංගුල්‍යාදී අශීත්‍යනුව්‍යංජනලක්ෂණයෙන් පිරිවරා සිටි ද්වාත්‍රිංශද්වරමහාපුරුෂලක්ෂණයෙන් ප්‍රතිමණ්ඩිත වූ ශරීරයක් ඇත්තා වූ බ්‍යාමප්‍රභාපරික්ෂෙපයෙන් විභූසිත වූ බාහුයුගලයක් ඇත්තා වූ ශිරොධාතු මස්තකයෙන් රියනක් පමණ තැන් අහසට නැඟී නිරන්තරයෙන් බබලන්නා වූ කෙතුමාලාලංකාරයෙන් සශ්‍රීකතර දර්ශනයක් ඇති, ෂඩ්වර්ණඝනබුද්ධරශ්මිමාලාවෙන් බබළන්නා වූ අනන්තතාරකාසමූහයෙන් බබළන ගගනතලය හා සදෘශ වූ කප්ගිනි ගත් රුවන් මෙරක් මෙන් අනන්තශ්‍රීයෙන් දිලිසෙන්නා වූ එකත් පසෙක සිටි ඒ සර්වඥරාජොත්තමයානන් වහන්සේ දැක සතුටින් පිණා ගොස් අත් පා ධොවනය කොට දොහොස් මුදුනෙහි තබා ගෙණ බුදුන් පිරිවරා සිට ගත්හ. කසීභාරද්වාජ බ්‍රාහ්මණතෙම ද එපවත් දැක ‘අහෝ! මේ මහාශ්‍රමණතෙම මාගේ කර්මාන්තය භංග කරණු පිණිස ආයේ ය’ යි සිතා නො සතුටු ව බුදුන්ගේ රූපසම්පත්තිය දැක ‘ඉදින් මේ තෙම අප සේ ම කෘෂිකර්මාන්තයෙහි නියුක්ත වී නම් මුළුමහත් දඹදිවට අග්‍ර වෙයි. තමාගේ අලසතාවෙන් කර්මාන්තයක් නො කොට වප්මඟුල ආදියෙහි පිඬු සිඟා වළඳමින් කාය කුසීත ව වාසය කරන්නේ’ යි සිතා ද ‘සුද්ධොදන’ නම් රජහට පුත්‍ර ව ශාක්‍යරාජකුලයෙහි කුමාරයෙක් උපන්නේ ය’ යි පෙර ඇසූයේ ඇත. ඒ මේ තෙම චක්‍රවර්තිරාජ්‍යය හැර ගෙණ මහණ ව දැන් ක්ලාන්ත වී ය’ යි පරිභව කරණු පිණිස තමන් මහත් නුවණැති බැවින් කථා උපදවනු පිණිස ද ‘ශ්‍රමණය, මම සී සාන්නෙමි, වපුරන්නෙමි, සී සාමින් වපුරමින් ධාන්‍යයන් ගෙණ අනුභව කෙරෙමි. මහණ, තෙපිදු සී සාව, වී වපුරව, සීසාමින් වී වපුට ධාන්‍යයන් ගෙණ අනුභව කරව’ යි කීය.
“එකල බුදුරජානන් වහන්සේ ද කතාවට නිසි කල් හෙයින් ‘බ්‍රාහ්මණය, මම ද සාන්නෙමි, වපුරන්නෙමි, සාමින් වපුරමින් අමෘතඵල අනුභව කරමි’ යි වදාළසේක. එකල බ්‍රාහ්මණතෙම ‘මේ ශ්‍රමණයන් වහන්සේ ‘සා වපුට වළඳමි’ යි කියනසේක. එතෙකුත් වියනංගලාදියක් දක්නට නැත. ‘බොරු කීසේක් දෝ හො’ යි සිතා බුදුන්ගේ පාදාන්තයෙහි පටන් කෙශාන්තය දක්වා බලමින් ද්වාත්‍රිංශද්වරමහාපුරුෂලක්ෂණයන් දැක විස්මය පත් ව ‘මෙබඳු වූ උත්තමශ්‍රීධරපුරුෂයේ බොරු නො කියති’ යි කියා සිත්හි උපන් මහත් බුහුමන් ඇති ව ශ්‍රමණවාදය හැර ගෞතමගොත්‍රයෙන් කථා කෙරෙමින් ‘භවත් ගෞතමයන් වහන්ස, නුඹවහන්සේගේ සී සාන වියනඟුල් (275) සීවැල් කෙවිටි ගොන් අපි නො දකුම්හ. නුඹ වහන්සේගේ කෘෂිභාණ්ඩය වදාළ මැනැවැ’ යි කී ය. එකල ලොකොත්තර වූ කෘෂිභාණ්ඩය දක්වා වදාරණ බුදුරජානන් වහන්සේ:-
‘සද්ධා බීජං තපො වුට්ඨි-පඤ්ඤා මෙ යුගනඞ්ගලං,
හීරි ඊසා මනො යොත්තං-සති මෙ ඵාලපාචනං.
කායගුත්තො වචීගුත්තො-ආහාරෙ උදරෙ යතො,
සච්චං කරොමි නිද්දානං-සොරච්චං මෙ පමොචනං.
-
විරියම්මෙ ධුරධොරය්හං-යොගක්ඛෙමාදිවාහනං,
ගච්ඡති අනිවත්තන්තං-යත්‍ථ ගන්ත්‍වා න සොචති.
එවමෙසා කසී කට්ඨා-සා හොති අමතප්ඵලා,
එතං කසිං කසිත්‍වාන-සබ්බදුක්ඛා පමුච්චති.’
යන මෙයින් ‘කසීභාරද්වාජයෙනි, මාගේ සර්වඥශාසනය නමැති ක්ෂේත්‍රයෙහි රොපණයට බොරදිය පහදන උදකප්‍රසාදක මැණික් සෙයින් ද ආදාසතල ජලතලාදීන්ගේ ප්‍රසාදය වැනි ව චිත්තයාගේ පැහැදීම කරන්නා වූ සම්ප්‍රසාදකාදී ශ්‍රද්ධාතොමෝ යට සිල්මුලින් පිහිටා මත්තෙහි සමථ විදර්ශනා අංකුර නැඟීමෙන් විරූහණාර්ථයෙන් බිජුවට නම් වෙයි. අකුශලධර්මයන් හා ශරීරය තවන අර්ථයෙන් තප නම් වූ ඉන්ද්‍රියසංවර ධුතාංග දුෂ්කරක්‍රියාතොමෝ වර්ෂාව ය. විදර්ශනාමාර්ග ප්‍රඥාතොමෝ ලොවුතුරාධර්ම සීයට විය හා නඟුල් ය. සියලු අකුශලධර්මයෙහි ලජ්ජා භයාකාරයෙන් පවත්නා හිරිතොමෝ මාගේ ලොකොත්තරසීයට නඟුලිස ය. චිත්තසම්ප්‍රයුක්ත වූ සමාධිය වියනඟුල් බඳින යොත් ලනු ය. සරණ ලක්ෂණ වූ විදර්ශනාමාර්ගය හා සම්ප්‍රයුක්ත වූ ස්මෘතිතොමෝ මාගේ ලොකොත්තරසීයෙහි පදින අර්ථයෙන් සීවැල් කෙවිටි ය. මාගේ ශ්‍රද්ධාබීජයෙන් උපන් නොයෙක් කුසල්ගොයම් ත්‍රිවිධ වූ කාය සුචරිතයෙන් රක්නා ලද්දේ ය. චතුර්විධ වූ වාක්සුචරිතයෙන් රක්නා ලද්දේ ය. උදරාබ්‍ය වූ බඩට කන ඛාද්‍යභොජ්‍යාදි චතුර්විධාහාරයෙහි පස් විකා වැළඳීමෙන් පමණ දන්නා ලද බොජුන් ඇත්තෙමි. මේ ත්‍රිවිධ වූ වැටින් රැක මාගේ කුසල්ගොයම් නසන වඤ්චාදීතෘණයන් සත්‍යයෙන් නෙළීම කෙරෙමි. සුන්දරතර නිර්වාණයෙහි ඇලුනු හෙයින් සොරච්ච නම් වූ අර්හත් ඵලවිමුක්තිය මාගේ වීර්ය බලිවර්දයන්ගේ මිදීම නම් වන්නේ ය. ප්‍රඥාවියනඟුල් සංඛ්‍යාත වූ ධුරය උසුලන්නා වූ මාගේ චතුර්විධ සම්‍යක් ප්‍රධාන වූ වීර්යතෙම නිර්වාණයට අභිමුඛ ව උසුලන්නේ නැවැත්මක් නැත්තේ ප්‍රථමාදිමගින් කෙලෙසුන් සිඳිමින් යන්නේ ය. එසේ යන්නා වූ ඒ මාගේ වීර්යධුරධොරය්හය යම් තැනකට ගොස් ශොක නො කෙරේ ද, ඒ අමෘතමහානිර්වාණස්ථානයට යන්නේ යි. මෙසේ ශ්‍රද්ධාබීජාදී මේ සිතොමෝ සාන ලද්දී ය. ඕ තොමෝ අමෘතඵල ඇත්තී වෙයි. යම් කිසිවෙක් මේ සීය සා සංස්කාරවිපරිණාම සංඛ්‍යාත වූ සියලු ම දුකින් මිදෙනු ලබන්නේ ය.
“එම්බා, කසීභාරද්වාජය, මේ ශ්‍රද්ධාබීජ තපොවෘෂ්ටියෙන් අනුග්‍රහ කරණ ලද සීතොමෝ ප්‍රඥාමයවියනඟුල් ද, හිරීමය නඟුලිස ද (276) චිත්තසමාධිය යොත්බානින් එකාබද්ධ කොට ප්‍රඥා නමැති නඟුලෙහි සිහි නමැති සීවැල ගසා ගෙණ සිහි නමැති කැවිට ගෙණ කායවාචා ආහාර ගුත්තියෙන් ගොපනය කොට සත්‍යයෙන් නෙළීම කොට රහත්ඵල විඳීම වූ වීර්ය සංඛ්‍යාත වූ ධුරොද්වාහකයා චතුර්විධෞඝයෙන් ක්ෂෙම වූ නිර්වාණාභිමුඛ කොට නො නවත්නා කොට උසුලන්නාහු විසින් සාන ලද්දේ සීකම් කෙළවර වූ සතර ශ්‍රාමණ්‍යඵලසංඛ්‍යාත සතරඵලයට පමුණුවන ලද්දී ය. ‘ඒ මාගේ සී තොමෝ නිර්වාණාමෘතඵල ඇත්තී ය’ යි කියා මෙසේ භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ බ්‍රාහ්මණයාහට අර්හත්ඵලය කුළු ගෙණ නිර්වාණය අවසාන කොට ධර්මදේශනා කර වදාළසේක. එකල බ්‍රාහ්මණතෙම ගම්භීරාර්ථයෙන් යුක්ත වූ ධර්මදෙශනාව අසා අති ප්‍රසන්න ව මහත් වූ ප්‍රීතියෙන් ලක්ෂයක් අගනා මහත් වූ ස්වර්ණථාලියෙහි කිරිබත් පුරවා මධුඵාණිතාදියෙන් විචිත්‍ර කොට සරහා දුහුල්වියනකින් වසා දෙඅතින් ඔසවා ගෙණවුත් ආදරයෙන් නැමී. ‘භවත් ගෞතමයානන් වහන්සේ කිරිබත් වළඳා වදාළ මැනැව. උතුම් කස්සක වූ භවත් ගෞතමයානන් වහන්සේ නිවන් අනුසස් කොට ඇති සීසා වදාරණසේකැ’ යි කීය.[3] බුදුරජානන් වහන්සේට පිරිනමා ලී ය. එකල බුදුරජානන් වහන්සේ ‘උදයකාලයෙහි පටන් කෙත සමීපයෙහි සිට බත්සැන්දකුත් නො ලැබ සියලු බුදුගුණ ප්‍රකාශ කොට ලත් භොජනය නෘත්‍යගීතකාරාදීන් විසින් නටා ගී කියා ලත් දෙයක් සදෘශ ය’ යි සිතා ‘ගාථාභි ගීතං මෙ අභොජනීයං’ යනාදීන් ඒ භොජනය ප්‍රතික්ෂෙප කර වදාළසේක. එකල්හි බ්‍රාහ්මණ තෙම ‘මාගේ කිරිබත් ප්‍රතික්ෂෙප කරණසේක. මේ භොජනය මහණුන් වහන්සේලාට කැප නො වී ය. දන් දී ගත නුහුනු හෙයින් මම නිර්ධනික වීමි’ යි දොම්නස් උපදවා ‘අනික් දනක් පිළිගත්සේක් නම් යෙහෙකැ’ යි සිතී ය. එකල පරසිත් දන්නා මාගේ සර්වඥරාජොත්තමයන් වහන්සේ ඒ සිත දැක ‘දොම්නස් පහ කරවා නිර්වාණධර්මය අවබොධ කරවමි’ යි සිතා:-
‘අඤ්ඤෙන ච කෙවලීනං මහෙසිං
ඛීණාසවා කුක්කුච්ච වූපසන්තං,
අත්තෙන පානෙන උපට්ඨහස්සු
ඛෙත්තං හි තං පුඤ්ඤපෙඛස්ස හොති.’
යන ගාථාවෙන් ‘එම්බා, කසීභාරද්වාජයෙනි, සියලු ම ලෞකික ලොකොත්තරගුණය ඇති මහත් වූ ශීලස්කන්ධාදිගුණය සෙවීමෙන් මහෙසී වූ සන්හුන් හස්තපාද කුකුස් හා විනය පිළිබඳ වූ සියලු කුකුස් ඇති ක්ෂය කරණ ලද සකලාශ්‍රවයන් ඇති රහත්හු මේ පායාසයෙන් අන්‍ය වූ ඛාද්‍යභොජ්‍යාදි ත්‍රිවිධාහාරයෙන් ද අෂ්ටවිධ වූ පානවර්ගයෙන් ද උපස්ථාන කරව. පින් කැමැත්තාහට උභයලොකයට හිත වූ පින්කෙත් වන්නේ ය’ යි මෙසේ බුදුරජානන් වහන්සේ බ්‍රාහ්මණයාගේ දොම්නස් හරවා සෙසු බත් පිළිගන්නා බව පරියායෙන් වදාළ කල බ්‍රාහ්මණතෙම ‘අනික් දනක් පිළිගන්නේ ඇතැ’ යි සිතා සතුටු ව ‘බුදුන්ට පිරි නැමූ මේ පායාසයත් මාගේ කැමැත්තෙන් අන් කිසිවක්හට දෙන්නට නුසුදුස්සේ ය’ යි සිතා ‘භවත් ගෞතම ස්වාමීන් වහන්ස, මේ කිරිබත මම කවරක්හට දෙම් දැ’ යි විචාළේ ය.
(277) එවිට බුදුරජානන් වහන්සේ සුජාතාවගේ ක්ෂීරභොජනයෙහි මෙන් චුන්දයාගේ ඌරුමාංසයෙහි මෙන් වෙරඤ්ජායෙහි දී බුදුන් ගන්නා ආලොපයෙහි මෙන් භෙසජ්ජක්ඛන්ධකයෙහි ගුණපිණ්ඩයෙහි මෙන් බුදුන්ට කිරිබත පිරිනමනා වේලෙහි දෙවතාවන් දිව්‍යමයරසඔජස් බහා ලූ හෙයින් අනන්තරසවත් කිරිබත බුදුන් රහතුන් මිස සමස්තලොකයෙහි කිසිවක්හට දිරවා ගත නො හැකිබව දැන ‘බ්‍රාහ්මණය, පඤ්චකාමාවචර දෙවියන් සහිත වූ දෙවපුත්‍රාදීපස්මරුන් සහිත වූ රූපාවචරබ්‍රහ්මයන් සහිත වූ අවකාශලොකයෙහි ශාසනප්‍රතිපක්ෂ මහණබමුණන් සහිත වූ සම්මුති දෙවියන් හා අවශෙෂ මනුෂ්‍යයන් සහිත වූ සත්වලොකයා අතුරෙන් තථාගතයන් වහන්සේ හෝ තථාගතශ්‍රාවක වූ ක්ෂීණාශ්‍රවනමක් හෝ හැර යම් කෙනෙකුන් විසින් මේ කිරිබත වළඳන ලද්දේ මනා කොට දිරීමට යේ නම්, එසේ වූ කෙනෙකුන් මම නො දක්නෙමි. එහෙයින්, බ්‍රාහ්මණය, තෙපි මේ කිරිබත ගෙණ ගොස් තෘණ නැති ගල්තලෙක හෝ දමාපියව. පණුවන් නැති මහත්දියකඳෙක හෝ උපුල්වාපියව’ යි වදාළ කල්හි බ්‍රාහ්මණතෙම කිරිබත් ගෙණ ගොස් පණුවන් නැති මහදියකඳෙක දමාපී ය. එකල ඒ කිරිබත බුද්ධානුභාවයෙන් දවසක් මුළුල්ලෙහි උෂ්ණයෙහි ලා රත් කළ සීවැලක් දියෙහි බහා ලූ කලක් මෙන් ‘විච්චිටායන විටිචිටායන’ ශබ්ද කෙරෙමින් හාත්පසින් දුම්කඳ නැංගේ ය. ඒ දැක බ්‍රාහ්මණතෙම සිත්හි වන් භයට පැමිණ සකලශරීරය ලොමුදැහැ ගෙණ බුදුන් කරා ගොස් වැඳ වැතිර ‘අභික්කන්තං භන්තෙ’ යනාදීන් ස්තුති පූජා කොට බුදුසසුන් වැඳ මහණ ව රහත් වී ය” යි වදාළසේක.
“යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ වළඳා වදාරණ කල්හි හැම කාලයෙහි ම දෙවතාවෝ දිව්‍යඔජස් පාත්‍රයෙහි බහා ලන්නාහු ද? නොහොත් ශූකරමර්දවයෙහි ද මධුපායාසයෙහි ද යන පිණ්ඩපාතද්වයෙහි ම දිව්‍යඔජස් බහාලුවාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, තථාගතයන් වහන්සේ වළඳා වදාරන්නා වූ සියලු කාලයෙහි ම දෙවතාවෝ දිව්‍යමයරසඔජස් ගෙණ ලඟ සිට නැඟූ නැඟූ ආලොපයෙහි බහාලති. මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන්ගේ රසකාරකපුරුෂතෙම රජ්ජුරුවන් මේ නිමවන වේලෙහි ව්‍යංජන ගෙණ ලඟ සිට පිණ්ඩපිණ්ඩයෙහි සූපයෙහි රසය බහන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම බුදුරජානන් වහන්සේ වළඳා වදාරන්නා වූ සියලු කාලයෙහි ම දෙවතාවෝ දිව්‍යඔජස් ගෙණ ලඟ සිට නැඟු නැඟූ ආලොපයෙහි දිව්‍යඔජස් බහාලති. මහරජානෙනි, වෙරඤ්ජායෙහි දී ද තථාගතයන් වහන්සේ විසින් වියලි යවපෙති වළඳා වදාරණ වේලෙහි දෙවතාවෝ දිව්‍යඔජසින් තෙමතෙමා ලං කළාහු ය. ඒ කාරණයෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය සම්පූර්ණ වී ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් දෙවතාකෙනෙක් තථාගතයන් වහන්සේගේ ශරීරපටිජග්ගනයෙහි නිරන්තරයෙන් යම් උත්සාහයකට පැමිණියාහු ද, ඒ දෙවතාවන්ට එකාන්තයෙන් ම මහත් ලාභයෙක. සාධු, සාධු, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍රශ්නය එසේ ම පිළිගන්නෙමි” යි කීහ.
සර්වඥගොචරප්‍රශ්නය නිමි.