101. ශ්‍රී රාජාධිරාජසිංහ හා ශ්‍රී වික්‍රමරාජසිංහ රාජ්‍ය සමය

star_outline

ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අභාවයෙන් පසුව ඔහුගේ බාල සහෝදරයා වූ ශ්‍රී රාජාධිරාජසිංහ තෙමේ ලක්දිව රාජාභිෂේකයට පත් විය. තෙරුවන් කෙරෙහි පහන් වූ, අප්‍රමාදී වූ, නුවණැති හෙතෙම සද්ධර්මය ශ්‍රවණය කිරීමෙහි යෙදුණු අයෙකි. නරශ්‍රේෂ්ඨ වූ හෙතෙම රාජාභිෂේකයට පැමිණි විගසම, තම වැඩිමහල් සොහොයුරා විසින් ඇති කර තිබූ ලෝක ශාසන ආරක්ෂාවන් කිසිවක් විනාශ නොකොට පෙර පරිදිම පවත්වාගෙන ගියේය.

මහත් කීර්ති ඇති එතුමා දළදා වහන්සේට පුදනු ලබන ආහාර පානාදිය කිසිදු අඩුවකින් තොරව පෙර සේම පූජා කළේය. පෙර රජු විසින් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙනුවෙන් ඇති කර තිබූ දාන ක්‍රමය එලෙසින්ම පවත්වාගෙන යාමට නියෝග කළේය. වැඩිමහල් සොහොයුරු රජුගේ කාලයේදී සියම් දේශයෙන් වැඩි උපාලි මහා තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ශ්‍රී වර්ධන පුරයට පැමිණ සිටියහ. පසුව උපාලි ස්ථවිරයන් ඇතුළු ඒ භික්ෂූන් වහන්සේලා නුවරින් දකුණු දෙස පිහිටි පුෂ්පාරාම නම් වූ විහාරයෙහි ඥප්ති ද්විතීය කර්මයෙන් සීමාවක් බන්ධනය කළහ.

වෙහෙර විහාර අලුත්වැඩියාව සහ සාහිත්‍ය සේවාව

එකල කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලදුව දිරාපත් වී තිබූ එම පෝයගෙය මෙම රජතුමා දුටුවේය. පින් කැමති ඒ නරපතියා සීමා අන්තයේ පටන් හාත්පසින් උස් කොට, බොහෝ කල් පවතින පරිදි සීමාව ඇතුළත බිත්ති ඔසවා එම පෝයගෙය කරවීය. ඉන්පසු ඒ රජතුමා එහි ටැම් සිටුවා, පෝයගෙය නිමවා චාතුද්දිසික භික්ෂු සංඝයාට පූජා කළේය. මාගධී සහ සංස්කෘත ආදී නොයෙක් ශාස්ත්‍රයන්හි දක්ෂ වූ, නිති දන් දීමෙහි ඇලුනු, රූපයෙන් අනංගයා බඳු වූ හෙතෙම ශබ්ද ශාස්ත්‍රයෙහි විශාරද විය.

හෙතෙම ‘අසදෘශ ජාතකය’ සිංහල භාෂාවෙන් කවියට නගා ලියවීය. පිරිසිදු සිත් ඇති එතුමා එක් රාත්‍රියක පහන් ලක්ෂයක් දල්වා මුළු පෙදෙසම ආලෝකවත් කර ශ්‍රද්ධාවෙන් දළදා වහන්සේ පිදුවේය. සියලු දානයන් අතරින් කඨින දානයෙහි මහා ආනිශංස අසා දැනගත් එතුමා, සෑම වසරක් පාසාම සංඝයා විෂයෙහි කඨින චීවර දන් දුන්නේය. බුදු බව පතමින් ඒ රජතුමා තම ශරීර ප්‍රමාණයට සමාන වන සේ ලෝහයෙන් බුදු පිළිමයක් කරවීය. ඉතා යහපත් යැයි සම්මත වූ ගංගාරාම විහාරයෙහි මනහර වූ දැකුම්කලු දාගැබක් කරවීය. ඒ නරපතියා දහඅට වසරක් මුළුල්ලේ මේ ආදී පින් රැස් කොට කම් වූ පරිද්දෙන් මරණයට පත් විය.

ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සහ රාජධානියේ අවසානය

ඉන් අනතුරුව රාජාධි රාජසිංහ රජුගේ බෑනා වූ ජන නායක තෙමේ ශ්‍රී වික්‍රමරාජසිංහ යන නමින් ධෛර්ය සම්පන්නව රජ වූයේ, බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය අසා සතුටට පත් විය. ඒ නරපතියා දළදා වහන්සේට මැණික්, මුතු ආදිය ද එසේම නොයෙක් ගම් සහ කුඹුරු ද පූජා කළේය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට බොහෝ වාරයක් ප්‍රණීත ආහාර දන් දී අනන්ත සම්පත් පැතුවේය. මේ ආදී වූ බොහෝ කුසල් ඒ රජතුමා විසින් රැස් කරන ලදී.

පසුව අසත්පුරුෂයන් ඇසුරු කිරීමට පැමිණ හෙතෙම විපරීත භාවයට පත් විය. මන්ත්‍රීශ්වර මහාමාත්‍යවරුන් ද, එයින් අන්‍ය වූ බොහෝ ඇමතිවරුන් ද ගෙන්වා ගෙන, රාක්ෂසයෙකු මෙන් කිසිදු කරුණාවක් නැතිව ඒ ජනයා විනාශ කළේය. එකල මාරයා මෙන් දයාවක් නැති ඔහු, නොයෙක් සිය ගණන් මිනිසුන් ගෙන්වා ඒ ඒ තැන්වල උල තැබුවේය. ගම් පහරන සොරුන් මෙන් ඒ රජතෙමේ එම මිනිසුන්ගේ පරම්පරාවෙන් පැවත ආ බොහෝ සම්පත් ද කොල්ල කෑවේය.

රජතුමා මෙසේ නොයෙක් අධාර්මික ක්‍රියාවන්හි හැසිරෙන විට, තදින් කිපුණා වූ උඩරට වැසියෝ ද, කොළොම්පුර වැසියෝ ද යන සියල්ලෝම මෙහි පැමිණියහ. ඔවුහු දුෂ්ට ස්වභාව ඇති ඒ රජුව ඔහුගේ රාජාභිෂේකයෙන් දහඅට වන වර්ෂය පැමිණි කල්හි පණපිටින් අල්ලාගෙන මුහුදෙන් එතෙරට යැවූහ. ලෝකයා පෙළූ රජු මුහුදින් එතෙර යැවූ ඉංග්‍රීසි නම් ඇත්තෝ මුළු රාජ්‍යයම තමන්ගේ අතට ගත්හ. සිද්ධිරස්තු!