ශ්‍රේෂ්ඨ ගුණ ඇති විජය රාජසිංහ රජතුමාගේ ඇවෑමෙන් පසු, ඍජු වූ ද, අවංක වූ ද, ජනයාගේ නෙත් සිත් ඇදගන්නාසුලු වූ ද, රූප ශෝභාවෙන් අග්‍ර වූ ද, සකල ලංකාද්වීපයට පහනක් බඳු වූ ද, දෙවැනි උතුම් සිරියක් ඇත්තා වූ ද ඒ කුමාරයා ‘කීර්ති ශ්‍රී රාජසිංහ’ නමින් රජ විය 2. ලක්දිව වැසියන්ගේ දියුණුවෙහි ඇලුනා වූ ඒ නරේන්ද්‍ර තෙමේ, බුදුන් පිරිනිවී වර්ෂ දෙදහස් දෙසිය අනූවක් (2290) පැමිණි කල්හි රජකමට පත් විය 3. මනරම් ලක්දිවෙහි මහ රජුගේ වියෝවෙන් ශෝකයට පත්ව සිටි ජනයා එකල්හි මොහුගෙන් අස්වැසීම ලැබූහ. සියලු දිශාවන් බබළවා හිරු බැස ගිය කල්හි ඇතිවන අඳුර සේ ශෝකයෙන් පිරී සිටි සියලු ජනයාගේ ශෝකය දුරු කොට, මහත් යසස් ඇති ඒ රජතුමා සියලු දිශාවන් බබළවමින් උදාවන හිරු මෙන් ලංකා රාජ්‍යයට පැමිණ සියල්ලන් මැනවින් සතුටු කළේය 4-5.
බුදුන් ආදී තෙරුවන් කෙරෙහි පැහැදුනා වූ, රාජ්‍ය අභිෂේකය ලැබූ, පින් කැමති ඒ රජතුමා අප්‍රමාදීව මුළු නුවර පිරිසිදු කරවා, වස්ත්‍ර සහ තොරණ ආදියෙන් අලංකාර කරවීය 6-7. උතුම් වූ ද හොබනා වූ ද ඒ නුවරට සියලු ලක්දිව වැසි ජනයා මැනවින් රැස්වූ කල්හි, මහා යසස් ඇති පිනින් පහළ වූ මහ රජතුමා රාජකීය තේජසින් යුතුව ගමන් කරමින් නුවර පැදකුණු කොට, රජෙක් නැතිව තිබූ ලංකා රාජ්‍යය නැවත රජෙක් සහිත රාජ්‍යයක් බවට පත් වූ බව ඔවුන්ට හැඟවීය 8-9. මහ පිනින් යුත් ඒ රජතුමා ශ්‍රී වර්ධන (මහනුවර) පුරයෙහි වෙසෙමින්, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ප්‍රාර්ථනා කොට ආවා වූ පින් ඇති ශ්‍රේෂ්ඨ කීර්ති ශ්‍රී රාජසිංහ නමින්, මේ කාලයට පැමිණ ලංකා රාජ්‍ය ශ්‍රීයෙන් බබළමින් මනා ප්‍රඥාවෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව, ලෝකයේ සාර අසාර බව මෙනෙහි කොට බුදුන් ආදී වස්තූන් උදෙසා පූජා පැවැත්වීම ආරම්භ කළේය 10-11.
ශ්‍රද්ධාවන්ත වූ ඒ නරාධිපති තෙමේ පවිටු මිතුරන් බැහැර කරමින් ද, පණ්ඩිත ජනයන් සොයමින් ද, සත්පුරුෂයන් ඇසුරු කරමින් ද, උතුම් දහම් අසමින් ද, නුවණින් යුතුව කටයුතු සහ නොකටයුතු දේ හඳුනාගෙන, නොකළ යුතු දේ අත්හරිමින් කළ යුතු දෙයෙහි ඇලුනේය 12-13. ඔහු සියලු ජනයන් ‘සිව් සඟරා වතින්’ (දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව) සතුටු කරමින්, පණ්ඩිත මිනිසුන් විසින් ප්‍රශංසා කටයුතු වූයේය. දහම් දානයෙහි විපාකය ද, සද්ධර්මය ඇසීමෙහි ඵලය ද, දහම් පොත් ලියවීමෙහි හා දහම් පූජාවෙහි පින් ද යන මේ ධර්ම කරුණු දැන, ‘මේවා මා විසින් කළ යුතු දේ ය’යි සිතා නොයෙක් තැන්හි ධර්ම මණ්ඩප කරවීය 14-16.
ඔහු නන් විසිතුරු වස්ත්‍රවලින් වියන් බඳවා, තොරණ ආදී නොයෙක් දෙයින් හා විවිධ කොටස්වලින් සරසා, පහන් දල්වා, අසුන් පනවා, සත්කාර හා ගෞරවයෙන් යුතුව සද්ධර්මය දේශනා කරන්නා වූ භික්ෂූන් වහන්සේලා වඩා ගෙනවිත්, ඉතා ආදර සහිතවම ආරාධනා කොට, මැනවින් පැනවූ ඒ අසුන්හි වඩා හිඳුවා, ඒ දහම් දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලවා දම්සක් (ධම්මචක්ක සූත්‍රය) ආදී බොහෝ සූත්‍රාන්තයන් දේශනා කරවා ගත්තේය 17-20. ගෞරව සහිතව මුළු රාත්‍රිය පුරා ධර්මය අසා, සිරුරේත් ජීවිතයේත් සම්පත්වලත් අසාර බව අසාර ලෙස ද, සාර බව සාර ලෙස ද ධර්ම ශ්‍රවණයෙන් දැනගෙන, ශ්‍රද්ධාවන්ත වූ ඒ රජතුමා පැහැදී ඇමතිවරුන් සහ සේනාව සහිතව පූජා වස්තුවෙන් මහත් පූජාවන් නොයෙක් ආකාරයෙන් පවත්වමින්, ඇතුළු නුවර වැසි වූ ද පිට නුවර වැසි වූ ද සියලු ජන සමූහයාගේ අභිවෘද්ධිය පිණිසත් සැප පිණිසත් නොයෙක් වාරයන්හි ධර්ම දානය දෙවා, ඒ නරාධිපති තෙමේ ධර්මමය පින්කම් සිදු කළේය 21-23.
රක්කගු දේශයෙන් (අරකන් දේශයෙන්) වැඩම කළ භික්ෂූන් කෙරෙහි ද, නැවත ලක්දිව භික්ෂූන් කෙරෙහි ද, පැවිදි වූ නොයෙක් සාමණේර වහන්සේලා විෂයෙහි ද ආදර සහිත වූයේම සිවුරු ආදී පසයෙන් ඒ වහන්සේලාට සංග්‍රහ කොට, නරශ්‍රේෂ්ඨ තෙමේ පිරිත් හා මංගල ධර්ම ආදිය කියවීය 24-25. මෙසේ නොයෙක් වර සදහම් පවත්වා පසය ද දී පින් රැස වැඩුයේ ය 26. නවදහස් හයසියයක් මුදලක් ශ්‍රද්ධාවෙන් වියදම් කොට උතුම් රන් පොතක් කරවා, ඒ රන් පොතෙහි දම්සක් ආදී බොහෝ සූත්‍රයන් ලියවා, ඒ රජතෙමේ ධර්ම කථිකයන් ලවා මුළු රාත්‍රිය පුරා එය කියවා, නොයෙක් වස්තුවෙන් පුදා නොයෙක් වර උතුම් දහම් ඇසුවේය 27-29.
නරශ්‍රේෂ්ඨ තෙමේ ලියන්නන් රැස් කරවා, එක දවසකින්ම දීඝ නිකාය (දික් සඟිය) ලියවා, බොහෝ සංග්‍රහ කොට එයින් මුළු රැය පුරා මැනවින් සදහම් කියවා, මහ පූජා පවත්වා තෙමේත් ධර්මය අසා අනුන්ට ද ඇස්වීය 30-31. සංයුක්ත නිකාය (සංයුත් සඟි) ආදී අනික් බොහෝ පොත් ද ශ්‍රද්ධාවෙන් ලියවා ලියන්නන්ට වස්තු දුන්නේය 32-33. අනික් ගිහි පැවිද්දෝ ද මනාකොට දහම් පොත් ලියවා රජුට දක්වති. එසේ කළ කල්හි, සතුටු සිත් ඇති රජතුමා ඔවුන්ට ධනය ආදිය දීමෙන් බොහෝ සංග්‍රහ කොට, ආදර ඇති හේ තෙමේ ලක්වැසි අන්‍යයන්ගෙන් ද පින් ලබා ගත්තේය 34-36.
පින් කැමති නරශ්‍රේෂ්ඨ වූ ඒ රජතුමා පිරිවර සහිතව අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ චෛත්‍යයන්ට ඇත් අස් ආදියෙන් ද, රන් රිදී ආදියෙන් ද පුදා නොයෙක් ආකාරයෙන් පින් රැස් කළේය 37-38. මහා යසස් ඇති ඒ ජනේන්ද්‍ර තෙමේ මහියංගන සෑයට (මියුගුනු සෑයට) හා නිකා සෑයට ද ගොස් රාජ තේජසින් මහ පූජා පවත්වමින් වැඳ පින් රැස් කළේය 39. පැරකුම්බා රජුන් විසින් පොළොන්නරු නගරයෙහි කරවන ලද, මනා දැකුම් ඇති සෑම වෙහෙරක්ම පිදීමටත් වැඳීමටත් මහත් සැදැහැ සහ මහ යසස් ඇති රජ තෙමේ මහ පිරිස සමඟ ගොස් මැනවින් පූජා කළේය 40-42. ශ්‍රද්ධාදී ගුණ සම්පන්න රජ තෙමේ රිදී විහාරය ද වැඳ පින් රැස් අත්පත් කර ගත්තේය 43.
පෙර ලක්දිව රජුන් මෙන් ලෝකයෙහි මංගල්‍යයැයි සම්මත වූ නාථ, උපුල්වන් (විෂ්ණු) යනාදී දේව පූජා පෙරටු කොට, සෙනග දක්නා පිණිස මුළු නුවර දිව්‍ය පුරයක් මෙන් සර්වප්‍රකාරයෙන් සරසවා, ලක්දිව වැසි සියලු ජනයන් රැස් කරවා, එපුරෙහි ඔවුන් අතුරෙන් එකෙකී රටින් ද තනතුරෙන් ද ජනයන් වෙන් වෙන් කොට, ඔසවන ලද කොඩි සලකුණු ඇති කොට ඒ ඒ තැන රඳවා, දේවාලවලට අයත් ආයුධයන් ද ඇතුන් පිට තබ්බවා පෙරහැර පැවැත්වීය 44-47. නොයෙක් නැට්ටුවන්ගෙන් පිරී ගිය, බෙර හා මද්දල වාදනයෙන් ද, නොයෙක් ඇත් සමූහයෙන් හා නොයෙක් අස් සමූහයෙන් ද, නොයෙක් ඡත්‍ර දරන්නවුන් විසින් ද, නොයෙක් ගැහැණු සමූහයා විසින් හා නොයෙක් පිරිමි සමූහයා විසින් ද, නන් පළිහ දරන්නවුන් විසින් හා නානා කඩු ගත්තවුන් විසින් ද, නොයෙක් කුන්තායුධ දරන්නවුන් හා නොයෙක් අවි ගත්තවුන් විසින් ද, නන් වස්ත්‍ර දරන්නවුන් හා නන් කොඩි උසුලන්නවුන් විසින් ද, නන් දෙසින් ආවුන් විසින් හා නානා භාෂා දන්නවුන් විසින් ද, නොයෙක් ශිල්පීන් විසින් හා නොයෙක් කම්කරුවන් විසින් ද යන මේ ආදී නොයෙක් දෙනා විසින් නොයෙක් පරිද්දෙන් ඇතුන් පිරිවරා ඉදිරියෙන් ද පස්සෙන් ද යන ලෙස මෙහෙයවීය. ඊට ඉක්බිතිව රජ තෙමේ දෙව් රජු මෙන් මහත් රාජ ඍද්ධියෙන් පිටත් ව මුළු නුවර මොනවට පැදකුණු කොට නිම කළේය 48-53.
ශ්‍රද්ධාව සහ ප්‍රඥා ගුණයෙන් උසස් වූ අපගේ අගරජ තෙම, අවුරුදු පතා පවත්වන්නා වූ ඒ ඇසළ මහ පෙරහැර බුදු පුද පෙරටු කොට පවත්වනුවට (දේවාල පෙරහැරට පෙර බුදුන් උදෙසා කරන පෙරහැර ගමන් කරවීමට) සිතා, මංගල ඇතා පිට රන් කර්මාන්තයෙන් මනා කොට නිමවන ලද සිවිගෙය සකසා බැඳ, මද වෑහෙන දළ දෙකක් ඇති ඇතා ආභරණවලින් සරසවා, රිදී කුඩ හා චාමරයන් ද, මල් ගත්තවුන් විසින් නැගි ඇතුන්ගෙන් ද, අනේකාකාරයෙන් පූජා වස්තූන් ගත්තවුන් විසින් ද, මල් වියන් ඔසවන්නවුන් විසින් ද, නොයෙක් රජ ඇමතියන් විසින් ද, නන් දෙසින් පැමිණියන් විසින් ද ඇතා පිරිවරා සකස් කළේය. නරශ්‍රේෂ්ඨ තෙමේ බුදුරදුන්ගේ ශාරීරික ධාතු වැඩූ බබළන උතුම් රන් කරඬුව සකසා සිවිගෙයි වඩා, මල් ඉසින්නවුන් ලවා මල් වැසි ද වැස්වීය 54-60.
සාධුකාර හඬින් හා සක්, තාලම්, පටහ හඬින් ද, නානා භේරීන්ගේ (බෙර) හඬින් ද මහොත්සවය කරවන්නේ, ආශ්චර්ය අද්භූත සිත් ඇති යම් යහපත් සත්පුරුෂ ජන කෙනෙක් වෙත් නම්, දෑත් එක්කොට කරන ලද ඇඳිලි බැඳීමෙන් ඔවුහු නිරන්තරයෙන් පුදති 61-62. දඬුවැට පහන් ගත්තවුන් ලවා ද, මංගල වෙස් ගත්තවුන් ලවා ද අනේකවිධ පූජාවෙන් නරශ්‍රේෂ්ඨ තෙමේ පුදවමින්, සුරාසුර නරාදීන් විසින් පූජනීයයන් අතුරෙන් අගතැන් පැමිණි ජින ධාතුව (දළදාව) පෙරටු කරවා, දෙව් මිනිස් ආදී සියල්ලන් ඊට පසුපසින් යන්නට යොදා, තෙමේත් මංගල ස්තුති ඝෝෂාදී වූ මහත් රාජ ඍද්ධියෙන්, මහත් රාජානුභාවයෙන්, මහත් පෙළහරින් දෙව් රජකු සේ යයි 63-66. ‘දෙව්ලොවෙහිත් මේ අයුරින්ම ධාතු පෙරහැර කරන්නේය’ යැයි මිනිසුන්ට දක්වමින් (ඔහු ගමන් කරයි) 67.
ශ්‍රද්ධා ආදී අනේක ගුණයෙන් යුක්ත වූයේ, බුදුන් දහම් සංඝයා සෙව්මින්, සාරයත් අසාරයත් සිහි කරමින් සතුටු වූයේ, දන් ආදී පින් නිරන්තරයෙන් කරමින්, සැදැහැ, නුවණ හා කුළුණු (කරුණාව) බහුල වූ, අතිශයින් උතුම් ගුණ ඇති, ලක්දිවට පහනක් බඳු වූයේ, බුදුන් කෙරෙහි මැනවින් පැහැදුනේ, දසබලධාරී බුදුහුගේ දහමෙහි මොනවට හැසිරෙමින්, සතතයෙන් අප්‍රමාද වූයේ, ආදර සහිතව ඒ රජ තෙමේ දානාදී පින්කම් කරමින් සාරාසාරය මෙනෙහි කරමින් සියලු ජනයාට හිත වූයේ මෙසේ ම කටයුතු කළේ ය 68-69.
තුනුරුවන්හි ආදර සහිත වූයේ දවසක් දවසක් පාසා මහ පෙරහැරින් දළදා වහන්සේට මහ පුද පවත්වමින්, තමන්ගේ කාලයෙහි හටගත් සියලු සංඝයාට හැම කල්හි ආදර ඇත්තේ, තමන් අයත් සිවුපසයෙන් උපස්ථාන කොට, සදහම් හි ඉතා පැහැදුනු ඒ තෙමේ නැවත නැවත දහම් අසා, හැම කල්හි ආදර ඇත්තේ, අල්ප නොවන පින් රැස් කරමින්, ජීවමාන බුදුන් කල මෙන් බුදු සසුන පවත්වන්නේ, ලක්වැසි මිනිසුන්ට බොහෝ කොට පින් වඩවමින්, පැරකුම්බා ආදී පෙර රජුන්ගේ කටයුතු අසා ‘එය මැනවැ’යි දැන ඔවුන්ගේ කටයුතු අනුගමනය කළේය 70-75. රජ දහම් අසා එහිදු මහා ආදර ඇත්තේ, පාපයට (අගතියට) බිය ඇති ව, සිවුසඟරා වත්හි තමා යෙහෙන් යොදමින්, සිය බෑයා (සහෝදරයා) ආදී සියල්ලන්ට සුදුසු පරිද්දෙන් ඒ තෙමේ සංග්‍රහයෙන් සතුටු කොට, විචාරා ඔවුන්ගේ සිත් මනාකොට ගත්තේය 76.
මෙසේ පරහිතකාමී ජනේන්ද්‍ර වූ ලංකාධිනාථ තෙමේ බුදු සසුන ද එසේම ලෝකය ද අනලස් වූයේ මැනවින් පාලනය කරමින්, පෙර ලක්දිව අධිපති වූ නරපාල සමූහයන්ගේ පුවත් අසා, ඔවුන් කළ කටයුතු මෙනෙහි කරමින්, ‘මම ද උතුම් රාජධර්මයෙහි හැසිරෙමි’ යි මෙසේ නිශ්චය කොට ඒ නරේන්ද්‍ර තෙමේ සිතුවේය. මහාවංශ රජුන්ගේ ද, චූලවංශ රජුන්ගේ ද, මහාසම්මත රජු පටන් හස්තිශෛල පුරය (කුරුණෑගල/ඇතුගල්පුර) දක්වා ඒ ප්‍රවෘත්තිය පූර්වයෙහි ගාථා බන්ධනයෙන් පුරාතන ආචාර්යවරයෝ ‘මහාවංශ’ නම් ඇති ග්‍රන්ථයක් පවත්වා තිබුණ ද (එතැන් සිට අඩුවක් විය). ලක්දිව පැවති හෙද (වංශකතා පොත් ද), සියම් රටින් ගෙන ආ ලක් රජුන්ගේ එම වංශකථා පොත ද යන දෙක පිළිවෙළින් වෙන වෙන ම විචාළ ලංකේන්ද්‍ර තෙමේ, එහි අඩුපාඩු ඇතැයි අසා, පරාක්‍රමබාහු ආදී වූ මෙකල දක්වා රජුන්ගේ මෑත භාගයෙහි අප්‍රකට වූ ප්‍රවෘත්තිය ද ලියවා රාජ වංශය පවත්වා ගෙන ගියේය 77-83.
මෙසේ ඒ රජ තෙමේ රාජනීතිය ද ධර්මනීතිය ද නො ඉක්මවමින්, දැහැමෙන් සෙමෙන් රාජ්‍ය අනුශාසනා කරන්නේ, රජ දහමට එකඟ වූයේම දානාදී බොහෝ කුසල් දවසක් දවසක් පාසා කරමින්, උතුම් දහම් මෙනෙහි කරමින්, සිවුසඟරාවන්හි එනම් දාන, ප්‍රියවචන, අර්ථචර්යා, සමානාත්මතා යන මෙහි නරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ තමා සියමල් (බෝධිසත්ව) රජුන්ට සමාන බව ලෝකයා හට දක්වමින් සිටියේය 84-88. ඔහු යාන වාහන හා නො අඩු සම්පත් දී විශේෂයෙන් ම යුවරජුන් (උප රජවරුන්) දෙදෙනා සතුටු කරවා, සතර ආකාරයකින් වස්තු සංග්‍රහයෙහි මැනවින් පිහිටුවීය 89.
මෙසේ ලබන ලද යසස් ඇති ඒ දෙදෙනා ද (යුවරජවරු) දළදා මහ පුද වෙන් වෙන් ම කරන්නෝ, බණ පොත් ලියවා ලියන්නන්ට වස්තු දෙති. භික්ෂු සංඝයාට ආරාධනා කොට නිතර බත් ආදී දන් දෙමින්, බණ ඇසීමෙන් ම කටයුතු නොකටයුතු දැන පව්කම්හි පිළිකුල් කරන්නෝ, පින්කම්හි මහත් ආදර ඇත්තෝ, දක්ෂ වූ ඉතා යහපත් මනා හෙරණ පැවිදි වහන්සේලා ගැන විචාරා, ඒ සාමණේර වහන්සේලාට රාජාර්හ අටපිරිකර දීමෙන් උපසම්පදා කරවා, විනය ධර්මයෙහි සහ සූත්‍රාන්තයෙහි මනාකොට හික්මවා, මහ පිරිකර ඇති ආවාසයක් කරවා එහි භික්ෂූන් වස්වා සකස් කොට ආදර ඇතිව උපස්ථාන කළහ 90-95. ලෝක ශාසන කටයුතු නොයෙක් පරිද්දෙන් විචාරන්නෝ, සත්පුරුෂයන්ට සංග්‍රහ කිරීම ද දුර්ජනයන්ට නිග්‍රහ කිරීම ද මහරජාණන්ගේ සිතට එකඟව ම සුදුසු පරිද්දෙන් කරති. මේ ආදී නොයෙක් නයින් පින් කැමැති වූ ද, රජුගේ චිත්තයට එකඟව වැටෙන්නා වූ ද ඔවුන්, ලෝක ශාසනය ‘මාගේ ම ය’ යි සිතන්නාහු වූහ 96-97.
සමහර පෙර රජදරුවෝ රාජ්‍ය ලාභාදිය හේතු කොට ගෙන සොහොයුරු ආදීන් නොතකා එකිනෙකා පෙළූහ. ඔවුන්ගේ විවාදයෙන් ම මිනිස්සු ද එසේ ම (භේද) වූහ. නමුත් මේ තුන්දෙනා ඒසා රාජ්‍ය සම්පත්තියක් ලැබත්, විවාදය පැත්තක තබා, ඔවුනොවුන්ගේ අඩුපාඩු ද නොදක්වා, එම නුවර වසන්නෝ ඡායා (සෙවනැල්ල) සේ හැමකල් ප්‍රිය වූහ 98-100. මෙසේ රාජ්‍යය නිසා කෝප මාත්‍රයකුදු ඇති කර නොගෙන, සීලව ජාතකයෙහි බෝසතුන්ගේ ගුණ හා සමාන හැසිරීම් කළහ. විශාලා මහනුවර ලිච්ඡවි රජවරුන් මෙන් සමගිව, විරුද්ධ නොවී රජ කළහ. එහෙයින් ම ඔවුහු ජයලාභ ද ලැබූහ 101. ලංකාංගනාවගේ (ලක්බිමේ) ශ්‍රීයෙන් උමතු වූ මඳ ප්‍රඥා ඇති කිසි මිහිපල් කෙනෙක් නොකටයුතු කොට නොයෙක් ව්‍යසනයට පැමිණියෝ ය. ලකඟනගේ සිරි සැපත් ලත් නුවණැති නරපතියෝ කටයුතු දෑ කොට මහා යසස් හිමි වූහ. එබඳු ලකඟනට හිමි වූ මේ නරපතියෝ තිදෙනා සමගි බවට පැමිණියහ. ඒ ආශ්චර්යය යැයි මම කියමි. මහ ගුණ ඇති මහරජ තෙමේ කුඩ ආදී සම්පත් දී, රජ පිරිස් ගෙන ඇවිදිනා සිය මලණුවන්ලා දැක සතුටු බවට පැමිණ, නැවත නැවත බලා මෙසේ ඒ තෙමේ හුදු බ්‍රහ්ම භාවනාව (මුදිතාව) ම වැඩුයේ ය 102-106.
රාජ කුල නමැති පර්වතයට ද, බුදු සසුනට ද පිටිවහල් වූ, අපමණ ගුණ දරන්නා වූ ඔවුහු මැනවින් දහමෙහි හැසිරෙන්නෝ, අගති ගමන් හරිමින්, මනා මිතුරන් ඇසුරු කරමින් සුගති ගමන් මගම සාදනු කැමැත්තෝ ය 107. මෙබඳු මනා ගුණයෙන් යුත් වූ, සැදැහැය ධනය කොට ඇති රජවරු, සැදැහැයෙන් ශ්‍රීමත් සම්බුදුන්ගේ මේ දළදාව ද, ධර්මය ද, උතුම් සංඝයා ද පූජා කොට, සියලු සම්පත් දායක බොහෝ පින් රැස් කොට ගෙන, නිර්මල බුදු සසුන ද මේ ලක ද මැනවින් පාලනය කළෝ ය 108. ලොවට අසහාය නායක වූ බුදුන්ගේ ගුණසාර භාරය මනා කොට මෙනෙහි කරගෙන, නිතියෙන් සිහි කරන්නා වූ, එසේ ම ඒ බුදුන්ගේ ධර්මය හා සංඝයාත් මෙනෙහි කරන්නා වූ උතුම් ගුණ ඇති ලංකාධිපතියා නිරන්තරයෙන් භජනය කෙරෙත්වා. මෙසේ රජුන්ට අධිපති මහරජ වූ රාජ බලයෙන් යුක්ත මිහිපල් තෙමේ, නිර්මල මුනි සසුන ද මේ ලක්දිව ද සකස් කොට රකිමින්, මහ සම්පත් දී සියලු රටවැසි මිනිසුන් සතොස්වා, දෙවි මිනිසුන් සතුටු කරමින් මහ නුවණැති, පුණ්‍ය ඍද්ධි සහ ආඥා බල ඇත්තේ විය 109-110.
මහ තෙද ඇති මහ පැණවත් මහ යසසින් යුක්ත රජු ලෝක ශාසනය රකිමින් මහනුවර වසන කල, රාජසිංහ රජුගේ (කීර්ති ශ්‍රී රාජසිංහ) කාලයෙහි ලංකා ආරක්ෂාව පිණිස යොදන ලද්දා වූ මහත් බල ඇති ‘ඕලන්දෝ’ (ලන්දේසීන්) යයි නම් වූ ඒ මුහුදු වෙළෙන්දෝ ලක්දිව් හිමි රජුන්ගේ දූත කෘත්‍යයෙහි යෙදුනෝ වූහ 111-113. ඔවුහු නොයෙක් රටවල උපන්, නොයෙක් වස්ත්‍රාදී බොහෝ රාජ පාරිභෝගයට සුදුසු මාහැඟි බඩු මැනවින් සොයා බලා, මහත් ගෞරවයෙන් මහ පෙරහැරින් ගෙනැවිත් පඬුරු කොට අවුරුදු පතා දෙති 114-116.
එකල්හි ලක් වැසි මිනිසුන්ගේ පෙර කළ කර්මයෙන් හෝ, ලෝක ශාසන ආරක්ෂාවෙහි නියුක්ත දේවතාදීන්ගේ ප්‍රමාදයකින් දෝ, විශේෂයෙන් කිපුණු ඉතා රළු ගති ඇති ඔවුහු (ලන්දේසීහු) ලක්වැසි මිනිසුන් නොයෙක් ආකාරයෙන් පෙළූහ. මහා යසස් ඇති මහ රජ තෙමේ ඒ පුවත අසා ඒ නුසුදුසු යයි සිතා එකල්හි ඇමතියන් යැවීය 117-119. එසේ ඒ ඇමතියෝ ද ලක්වැසි ජනයන් හා ගොස් ඕලන්දයන් හා බිහිසුණු යුද කරන්නෝ, පිළිසතුරන් නසන්නෝ, ගෙවල් හා කොටු ගිනිලන්නෝ නානා උපායෙන් ඔවුන්ට භය ඇති කළහ 120. බියෙන් පෙළුන සතුරන් අතුරෙන් දුර්වල, කර්කශ, අධම, ආයු ගෙවුනා වූ පවිටු එකෙක් (ඕලන්ද නායකයා) ප්‍රධාන බැව්හි සිටියේ, තෙමේ ‘ජාවුන්’ (ජා ජාතික භටයින්) ආදී නානා ප්‍රකාර මහ පිරිස් ගෙන ඒ ඒ රට හා ගම් ද, විහාර දේවාල ද, ඒදඬු අම්බලම් ආදිය ද නොයෙක් පරිද්දෙන් විනාශ කළේ ය 121-123.
ලක් හිමියා විසින් අණවන ලද ඇමතියෝ වූ කලී යුද්ධයෙහි දක්ෂ ශූරයන් හා ඉදිරියට ගොස් ඒ ඒ තැන අනේකාකාරයෙන් යුද කරන්නෝ ම, සතුරන් ඒ ඒ තැන්හිදී මැරීමෙනුත් සර්වප්‍රකාරයෙන් ඒ තෙමේ වළකාලිය නොහැකි වූයේ නුවර බලා ආවේය 124-126. යුද පිණිස සැදුනා මහ ඇමතියෝ නානා ප්‍රකාරයෙන් මාර්ගයන් අවුරා වෛරීන්ගේ ඉදිරියෙන් සිට වහා පැමිණීම වැළකූහ. කල් දක්නා ලක්හිමි මහ නුවණැති මහ රජ තෙමේ ලැව්ගිනි සම වූ වෛරීන්ගේ ආගමනය වළකන්ට නොහැක්කේ යයි සිතා, දළදා වහන්සේ ද, බිසව ද, නැගණියන් ද, සාර වස්තුව ද, යුව රජුන් දෙදෙනා ද මැනවින් ආරක්ෂා කරනු පිණිස භාරකොට පර්වත සහ වනාන්තරවලින් දුර්ගම වූ රටට යැවීය 127-129.
පසුව සියලු වෛරී සමූහයෝ කර්කශ දක්ෂ සේනා සේ නුවරට පැමිණ දහම් පොත් ආදිය විනාශ කළහ 130. සෙනෙවිරත් ආදී නොයෙක් මහ ඇමතියන් හා යුද දක්ෂ වූ, තැන් නොතැන් දන්නා වීරයන් විසින් පිරිවරණ ලද මහරජ තෙමේ, මහා සේනාවන් පෙරටු කරවා මහනුවරට නුදුරු වූ ‘අතු නුවර’වල (උප නගරවල) ඒ ඒ තැන්හි වෙසෙමින් නුවර වට කළේය (ඇහිර වූයේ ය) 131-133. ලක් වැසි බුදු සසුන් කෙරෙහි සැදැහැති මිනිස්සු ද රජුගේ සිතට අනුව කටයුතු කරන්නෝ, සතුරු පක්ෂයට අයත් වූවන් අතුරෙන් දුටු දුටු බොහෝ මිනිසුන් ඒ ඒ තැන දී මැරූහ 134. ඔවුහු රාජ දූතාදී මිනිසුන් හා භික්ෂු සංඝයා ද ආරක්ෂා කළහ. රජුහට පක්ෂපාත වූ වීර ගුණ ඇති බලවත් කිසි ධීරයෝ රණ කෙළියෙන් ක්‍රීඩා කොට, බුදු සසුන රක්නා කැමැත්තෝ, යුද්ධයෙහි සූර යෝධයන් විසින් පිරිවරණ ලද්දෝ, මහ ඒ ඒ තැන වසන්නවුන් හා නොයෙක් පරිද්දෙන් යුද කොට පලවා හැර, ඇතුළු නුවර වැදී හුන් වෛරීන් හා යුද කරනු පිණිස ඔවුන් නැවත නැවත මැරූහ 135-138.
මනුෂ්‍ය වූවෝ අපගේ රජහුගේ සිතැඟි අනුව ක්‍රියා කළහ යනු ආශ්චර්යය යැයි නො සිතමු; දෙවියෝ ද එසේ වූහ 139. එහෙයින් එකෙණෙහි වෛරීන් අතුරෙන් මහා ප්‍රධානයාට (ලන්දේසි ආණ්ඩුකාරයාට) එකල්හි පැමිණි නොබෝ කලකින් ම දේවනුභාවයෙන් ද, රජුගේ පුණ්‍යානුභාවයෙන් ද භය සහ ත්‍රාසයෙන් බිහිසුණු උමතු බව පැමිණ, ඒ මනා නුවර හැර නිශ්ශ්‍රීකව ම ගොස් මරණ ගින්නට පැමිණියේ ය 140-141. අඥානයාට වසඟව ආවා වූ සියලු ඒ සතුරු සමූහයා අනාථ අසරණ ව ව්‍යසනයට පැමිණියහ. කිසිවෙක් රෝගාතුර වූහ. කිසිවෙක් සාගින්නෙන් පීඩිත වූහ. කිසිවෙක් යුද්ධයේ දී මරන ලදහ. කිසිවෙක් පර්වත දුර්ගයට වන්හ. මෙසේ වෛරී පක්ෂ නරාධමයෝ මරන ලද්දෝ ද පලා ගියෝ ද වූහ. මෙසේ දෙවි මිනිසුන් ආදීන් විසින් මේ රජතෙමේ රක්නා ලද්දේ විය 142-144.
මෙසේ මොහු මහානුභාව ඇත්තේ ය, අතිශයින් මහ පින් ඇත්තේ යයි ද ලෝවැස්සෝ කීවෝය. මෙබඳු ආනුභාව හා මහ පින් ඇති ඒ රජුගේ අණ ඉක්මවන්නට ලෝකයෙහි කවර සමර්ථයෙක් වන්නේ ද? 145-146. දුරු කරන ලද වෛරී සමූහ ඇති මහ යසස් ඇති නර නායක මහරජ තෙමේ, සතුරු බලය නොදන්නේ (නොතකන්නේ) පෙර සෙයින් මුළු නුවර පිරිසිදු කරවා දළදා මැදුර ආදිය සකසා විශේෂයෙන් අලංකාර ද කරවීය 147. උතුම් බුදු සසුනෙහි පිවිතුරු ආදර ඇති ඒ තෙමේ උතුම් බුදු වදන් නිතියෙන් මෙනෙහි කරමින්, බුදු පියාණන්ගේ ගුණ මෙනෙහි කිරීමෙන් යුක්ත වූයේ සම්බුදු රජුගේ දන්ත ධාතුව නිත්‍යයෙන් පුදමින්, තෙරුවන් හි මෙසේ මොනවට කටයුතු කරමින් සිටියදී, නරශ්‍රේෂ්ඨ ඒ තෙමේ දළදා වියොවින් තමාට උපන් දුක නො ඉවසන්නේ, එකල පිරිස් සහිතව මහ දුර්ග වූ රටට (කඳුකරයට) ගොස් මහත් සැදැහැතියේ ධාතු කරඬුව දැක, ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ ම සකසා වැඳ හිස බිම තබා භික්ෂු සංඝයා ද වැඳ තමාගේ සිතේ දුක නිවූයේ ය 148-152.
හොබනා වූ අස්වැසිල්ලක් ලද්දා වූ ඒ තෙමේ දළදාව සහිතව ඒ කරඬුව හිස මත තබාගෙන, මහ පෙරහැර පවත්වමින් සාධුකාර රාවයෙන් හා පංච තූර්ය නාදයෙන් ද මහ සැණකෙළි කොට තමාගේ පුරයට පිවිසියේය 153-154. එකල ලක්දිව් වැසි මිනිසුන් ද දළදාව සහිත මිහිපලාණන් දැක සතුටුව සාධු නාද කළහ. පෙර පරිදි දළදා ගෙයි දන්ත ධාතුව වඩා සියලු පෙර පූජා විධි වඩ වඩාත් පැවැත්වීය 155. සියලු නුවර ආරාමයන්හි සිටි සංඝරාජ හිමියන් ආදී බොහෝ බුද්ධ පුත්‍රයෝ ද, සතුරු භයට වඩා වැඩි වූ මහත් සසර භය දක්නාහු පැවිදි බව නො හැර, පොත් හා ධාතු හා පිරිකර ගෙන එයින් ගියෝ පිට රට (දුර ප්‍රදේශවල) වෙසෙමින් ද සසුන රැස් කළෝය (ආරක්ෂා කළහ) 156-157. නැවත අගරජ තෙමේ ද ඒ සියල්ලන් නුවරට වඩා ගෙනවිත්, නුවර අරම් පිරිසිදු කරවා එහි භික්ෂූන් වස්වා, දහම්හි හා පිළිවෙත්හි හික්මෙන්නට යෙදූ කල්හි, සමර්ථ ධර්ම කථිකයන් විචාරා ආරාධනා කොට රාජෝවාද ආදී සදහම් නැවත අසමින් ඒ තෙමේ විසීය 158-161.
සතුරු වූ නොයෙක් ඕලන්දවාසීන් අතුරෙන් යමෙක් දේශාචාරය සලකන්නාහු නම්, ඒ සියල්ලෝ රැස්ව සාකච්ඡා කොට, ”මේ ලංකාව මුළුමනින්ම ගන්නට නොපුළුවනැ”යි නිශ්චය කොට දැන, ”මෙහි යමෙක් ලක් නා රජු කෙරෙහි විරුද්ධ වූ නම් ඒ සියලු ජනයෝ විනාශ භාවයට පැමිණියෝ ය. එසේ ම අපට ද වන්නේ ය. ඒ හෙයින් අපිදු ලංකේන්ද්‍රයා කෙරෙහි භක්ති ප්‍රේම හා ඉතා ගෞරව පෙරටු කොට (අපේ) පුරයෙහිම (කොළඹ) වසමු නම් ඒ සුදුසුය” යි සිතා නැවත නැවතත් මන්ත්‍රණය කළහ. රජුට දෙන පඬුරු හා, ‘මහා මෝහ’ යා (මහා මෝඩකමින් හෝ මුළාවෙන් යුත් තැනැත්තා) විසින් ගෙන්වාගෙන ගිය යහපත් චෛත්‍යයක් සේ බබළන්නා වූ ධාතු ශූන්‍ය රිදී කරඬුව ද, රන් සිවිගෙය ද ගෞරවයෙන් ගෙන්වාගෙනවුත් භාරකොට, ”සිය නෑයන් කළ දොස් ක්ෂමා කරවාගෙන මින් මතු වසන්නෙමුය” යි සිතා ආවා වූ ඔවුහු, රජතුමාට නොයෙක් පරිද්දෙන් පුදා වැඳ ඔහු සමඟ සතුටු වූහ 162-167.
ඉක්බිති ලකේශ්වර රජ තෙමේ ඔවුන්ගේ අනල්ප (සුළු නොවන) දෝෂය ඉවසා ඔවුන්ට නොයෙක් පරිද්දෙන් සම්මාන ද දුන්නේ ය. එසේම අපගේ රජතෙමේ ද මිත්‍ර සන්ථවයෙහි කරුණු තරයේ කොට ඔවුන් හා මිත්‍ර භාවයට පැමිණියේ යි 168-169. ඕලන්ද ජනයෝ ද ලංකේශ්වර නරේන්ද්‍රයා කෙරෙහි මොනවට පැහැද නොයෙක් රටවල උපන් මාහැඟි පඬුරු ද, රාජ සන්දේශ (ලිපි) ද ගෙන අවුරුදු පතා දෙති 170-171. මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ තෙමේ මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ හස්තයට ගියා වූ මහත් ඒ කරඬුව රනින් ගිල්වා, මැණික් බැඳ හිරු රැස් පිඩක් සේ ශෝභාමත් කරවා දන්ත ධාතුව වඩා ශක්‍රයා සෙයින් පිදූයේ ය 172-173. මෙසේ දුෂ්ට මිථ්‍යාදෘෂ්ටි වෛරී සමූහයෝ දුරු කළ උඩඟු බව ඇති වූහ (ඔවුන්ගේ උඩඟු බව නැති විය). සම්‍යක්දෘෂ්ටික සිංහල අධිපතිහුගේ කුසලානුභාවය ආශ්චර්යයි 174. සත්වයෝ ආශ්චර්ය අද්භූත මේ කාරණය ද සලකා ආදර සහිත වූවෝ, සත්පුරුෂයන් විසින් පසසන ලද අසදෘශ වූ ප්‍රවර සම්‍යක්දෘෂ්ටි ගුණය මොනවට ඇසුරු කෙරෙත්වා 175.
මනරම් ලක්දිව්හි එක් භික්ෂූ කෙනෙකුන් නැති කල රාජ්‍ය භාරය ලැබ, ශ්‍රීවර්ධන පුරයෙහි වෙසෙමින් බොහෝ සාමණේර වහන්සේලා ද එසේම කුලපුත්‍රයන් ද පැවිදි උපසම්පදාවට පමුණුවාලීය 176-177. ඒ භික්ෂූන් අතුරෙහි කිසිවක්හු දහම් දෙසන්නෝ ද, විනයෙහි දක්ෂ වූවෝ ද, විදර්ශනා වඩන්නෝ ද වූහ. එසේම කිසිවෙක් ආරණ්‍යක (වනයේ වසන්නෝ) ද වූහ. ශ්‍රමණ ශූන්‍ය වූ මේ මුළු ලක්දිව මේ ආදී ගුණයෙහි යෙදුනා වූ නොයෙක් සිය ගණන් භික්ෂූන් ඇති කරවමින් බබළවා, ඒ රජ තෙමේ දවස් පතා පින් කරමින් සංඝයාට නිතර බත් හා ගිලන් බත් ද ආරාධනා කොට දෙමින් විසීය 178-180.
භික්ෂු සංඝයා කෙරෙහි වැඩ කැමැති ඒ තෙමේ භික්ෂූන් සහ සාමණේරයන් වහන්සේලාට කායික රෝග සහ චිත්ත රෝග වශයෙන් මෙහි රෝගයෝ දෙදෙනෙක් වෙති යි සිතා, උන් අතුරෙහි සිතෙහි රෝගයන්ට පිළියම් පිණිස දීපදෝත්තම (දූපතට උතුම් පහනක් බඳු) තෙමේ විනය දහම් ද සූත්‍රාන්තයන් ද දෙසූ සේක 181-183. චිත්ත රෝගයන්හි රාගාදී රෝග නසන හේතු වූ ඒ විනය සූත්‍රාන්තයෙහි, භික්ෂූන්ට සිරුර රෝගයෙන් පෙළීම ඇති කළ පර්යාප්ති ප්‍රතිපත්තියෙහි මැනවින් හික්මීම දුෂ්කර ය. එහෙයින් මිහිපල් තෙමේ ජ්වරාදී (උණ ආදී) රෝගයන් ද ශමනය පිණිස සංඝයාට ආරාධනා කොට, වෙදකම්හි මොනවට හික්මවා වෙදුන් දෙදෙනකු හා පරිවාරක මිනිසුන් ද නියම කොට, උන්ටත් ගම් කුඹුරු ද, වස්ත්‍රාභරණ ආදී සම්පත් ද දී, බෙහෙත් මිල පිණිස අවුරුදු පතා රිදී (කාසි) සිය ගණන් රජ ගෙයින් දෙමින්, ඒ රජ තෙමේ ඒ ඒ අරම්හි භික්ෂු සාමණේරයන්ගේ සුව දුක් විචාරා උන්වහන්සේලාට කටයුතු උපස්ථාන කරවීය 184-187. මෙසේ රාජාධිරාජ වූ හේ තෙමේ සංඝ ලාභය ද, ඒ සියලු ලාභයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ආරෝග්‍ය ලාභය ද දුන්නේ ය.
බුදුරජාණන් වහන්සේ යමක් ශ්‍රේෂ්ඨ යයි දෙසූ සේක් නම්, එයින් ද පූජා කොට සම්බුදු සසුන මොනවට බබළවා පැවැත්වීය. සාසනාධාර (සසුනට ආධාර වූ) නරවර ප්‍රවර වූ ඒ පූර්වික ලංකාධිපතීහු මිථ්‍යාදෘෂ්ටිය හා සතුරු ජන සමූහයාත් දුරු කොට රාජ්‍ය භාරය ඉසුලූහ. රජ තෙමේ එය ද අසා අපමණ යසස් දායක වූ තමා විසින් පසක් කරන ලද ධර්මය ද දකිමින්, ශාසනෝපකාරක වූයේ ම අලස නොව නිරන්තරයෙන් පින් කළේ ය 188-189.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය සහ සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘අභිෂේක මංගලාදි දීපන’ නම් වූ එකුත් සිය වෙනි (99 වෙනි) අදියර නිම විය.