1 ඉක්බිති ඒ නරේන්ද්‍රසිංහ රජුගේ මෙහෙසියගේ බාල සොහොයුරු වූ, 2 ගුණයෙන් හා ආභරණයෙන් සැරසුණු කුමාරයෙක් රජ බවට පත් විය. ශ්‍රී විජය රාජසිංහ යන නාමයෙන් ප්‍රසිද්ධ වූ හෙතෙම, රාජ්‍යාභිෂේකය ලැබූ වහාම තෙරුවන් කෙරෙහි පැහැදුණු සිත ඇත්තෙක් විය. 3 හෙතෙම සද්ධර්මය ඇසීමෙහි යෙදුණු, 4 පමා නොවන නුවණැති අයෙකු වූ අතර, යහපත් ආචාර ධර්ම ඇති ජනයා ඇසුරු කිරීමෙහි නිරන්තරයෙන්ම ආදරය ඇත්තෙක් විය.
5 තමාගේ රාජ වංශය ආරක්ෂා කරගනු පිණිස මදුරාපුරයෙන් රාජ කන්‍යාවක් ගෙන්වා අගමෙහෙසි තනතුරේ තබා, සියලු ලක්දිව වැසි ජනයා සිව් සඟරා වතින් මනාව සතුටු කරමින් ඒ යහපත් පුරවරයෙහි වාසය කළේය. 6 ඒ රජුගේ බිසෝවරුද බොහෝ කාලයක් තිස්සේ පැවත ආ මිථ්‍යා දෘෂ්ටිය 7 අතහැර, නිර්වාණ සැපය ලබා දෙන සම්‍යග් දෘෂ්ටිය ඉතා හොඳින් සමාදන් වී, ලෝකයට එකම නායක වූ සර්වඥයන් වහන්සේගේ උතුම් වූ සද්ධර්මය අසා, නිරන්තරයෙන් ආදරය සහිතව බුද්ධාදී රත්නයන් පිදූහ.
8 ඒ බිසෝවරු ශ්‍රද්ධාවෙන් යුතුව සකස් කොට, සර්වඥ දන්ත ධාතූන් වහන්සේට දිනපතා සමන් මල් ආදී නානා විධ පුෂ්ප පූජාවන්ද, කපුරු 9 ආදියෙන් සුවඳවත් කළ මිහිරි බුලත්ද, සුවඳ තෙල් යෙදූ පහන් පූජාවන්ද, සුවඳ සඳුන් ආදියද, නොයෙක් වර්ගයේ සුවඳ දුම්ද පූජා කළහ. 10 එසේම සීනි සහ මී පැණිද, 11 වෙනත් බෙහෙත් ද්‍රව්‍යද, වස්ත්‍රාභරණ ආදියද, කෑ යුතු බී යුතු හා ලෙවකෑ යුතු රසවත් දෙයින් 12 මනාව පුරවන ලද රිදී හා රන් පාත්‍රද, තිර සහ ඇතිරිලිද, නානා විධ පිරිකරද, ඉතා වටිනා සිවුරුද යනාදිය පූජා කරමින් මහත් වූ පින් රැස් කළහ.
13 නිරන්තරයෙන් පන්සිල් රැකීමෙහිද, පෝය දිනවල පෙහෙවස් සමාදන් වී බණ ඇසීමෙහිද යෙදුණු ඔවුහු, සෙමර මුවා තම වලිගය රකින්නා සේ සීලය ආරක්ෂා කරමින්, 14 බුද්ධානුස්මෘති ආදී භාවනා වැඩූහ. ධර්ම පුස්තක ලියවා දන් දීමේ අනුසස් කැමති වූ ඔවුහු, 15 නිතිපතා දෙන බත්ද, ගම්වල ගිලන් බත් 16 ආදියේ විපාක මනාව දැනගෙන, ලැබූ සම්පත්තියෙහි නොඇලී නිතර දන් දුන්හ. කුඩා දරුවන් පැවිදි කරවා, ඔවුන්ට බොහෝ සංග්‍රහ කරමින්, පරියප්ති සහ ප්‍රතිපත්තියෙහි මනාව හික්මවා, කැමති කැමති දේ දීමෙන් කල්ප වෘක්ෂයන් මෙන් වූහ.
17 ලංකාද්වීපයෙහි වසන්නා වූ සියලු ජනතාව කෙරෙහි හිතවත් වූ 18 කරුණාව ඇත්තෝ වූහ. රටවැසියන් තමන්ගේ දරුවන් යැයි සිතමින්, ගුණධර්මයන්ට උපත් ස්ථානයක් බඳු වූ ඔවුහු දයාවෙන් පිරුණු අය වූහ. පිළිම සහ කරඬු මනාව කරවා, 19 සියලු පව්කම්හි බිය ඇතිව, සෑම කල්හිම සියලු පින්කම්හි ඇලුනාහුය. 20 මේ ආදී වූ නොයෙක් කාරණයෙන් සහ ගුණාභරණයෙන් සැරසුණු ඔවුහු මුළු ලංකාද්වීපයෙහි අතිශයින් ප්‍රසිද්ධ වූහ.
21 ශ්‍රද්ධාවන්ත වූ ඒ නරේන්ද්‍ර තෙමේ ඒ ඒ තැන්හි ආවාස ගෙවල් කරවා, සාමණේරයන් වහන්සේලා එහි වාසය කරවා, ඔවුන්ට මහත් ආදරයෙන් සිවුරු 22 ආදී වූ පිරිකරවලින් බොහෝ සේ සංග්‍රහ කොට උතුම් සද්ධර්මය ශ්‍රවණය කළේය. 23 ඒ සාමණේර වරයන් අතුරෙන් උපෝසථාරාමයෙහි වාසය කරන්නා වූ, 24 ශ්‍රද්ධාව ඇති ගුණයන්ට ආකරයක් බඳු වූ ‘සරණංකර’ නම් සාමණේරයන් වහන්සේවද පිදුවේය. ඒ හෙරණපාණන් වහන්සේට ආරාධනා කර, සතර බණවර සන්නයක් (පිරිත් පොතේ අර්ථ විවරණයක්) සිංහල 25 භාෂාවෙන් කරවා, ඒ රජතෙමේ පර්යාප්ති ධර්මයද (ධර්ම ග්‍රන්ථ) ආරක්ෂා කළේය.
26 ඒ නරේන්ද්‍රයා, අභිනව ධාතු මන්දිරයෙහි ධාතූන් වහන්සේ වඩා හිඳුවීමෙන් මහත් දෝෂයක් සිදුවන්නේ යැයි බුද්ධ ශාසනයෙන් බාහිර වූ, කුරිරු අදහස් ඇති 27 අයගේ බස් පිළිගෙන, එය වෙනත් අය ලවා කරවීමට නියෝග කොට, එතැනින් වෙනත් නුවරකට ගොස් වාසය කළේය. එකල්හි ඇමතිවරු 28 එක්ව වත්කරු ආදීන් සමඟ මහත් බල ඇති සියල්ලෝ කරඬුව විවෘත 29 කිරීමට උත්සාහ කළහ. මුළු රැය පුරා නොයෙක් අයුරින් වෑයම් කළද එය විවෘත කිරීමට නොහැකි විය. එවිට ඇමතිවරු ගොස් ඒ පුවත 30 මහරජුට දැන්වූහ.
මිහිපති වූ රජතෙමේ ඒ අසා වේගයෙන් 31 ඒ පුරවරයට අවුත්, නානා විධ සුවඳ මල්වලින්ද, පහන් දුම් ආදියෙන් 32 ද පුදා වැඳ, යතුරු මුදුව ගෙන එම මොහොතේම කරඬුව මනාව විවෘත කළේය. පිළිවෙළින් තිබූ ඇතුළු කරඬුද හැර සර්වඥයන් වහන්සේගේ 33 දළදා ධාතුව දැක, “ලැබූ ආත්මය සඵලය” යැයි ප්‍රීති වදන් පහළ 34 කොට, නුවර වැසියන් රැස් කරවා මහත් වූ උත්සවද පවත්වා එදින පුද පූජා පැවැත්වූයේය. ඒ ආශ්චර්යය දැක ප්‍රීති ප්‍රමෝදයෙන් බර වූ රජු, ඇතුන් අශ්වයන් හා මිණි මුතු ආදියෙන් පූජා කොට, උතුම් වූ මුනීන්ද්‍ර දන්ත ධාතුව හස්ත නමැති පියුමට ගෙන ප්‍රදර්ශනය කරවා, ඒ පෘථිවිපාල තෙමේ සියල්ලන්ව මනාව සතුටු කළේය.
35 පෙර රජවරුන්ගේ කාලයේ කරවන ලද ධාතු මන්දිරය රත්රන්වලින් සහ ධාතු විසිතුරු කරන ලද්දා වූ නානා විධ වස්ත්‍රයෙන් සරසා, නානා විධ සුවඳ තෙලින් පහන් දල්වා, පුන් කළස් තබ්බවා, දේව මන්දිරයක් 36 මෙන් විචිත්‍ර වූ ඒ මැදුරෙහි, රිදී ආසනයක් මත්තෙහි සර්වඥයන් වහන්සේගේ 37 දළදාව වඩා හිඳුවා ධාතු පූජා කරන්නා වූ හෙතෙම, මුළු නුවර කිසිදු ඉතිරියක් නැතිව 38 පිරිසිදු කරවා, සකස් කොට, වැලි ඉස, ඒ දන්ත ධාතු පූජාවෙහි 39 නිරත විය. ධාතු මන්දිරය හාත්පස ඒ ඇතුළු මළුවෙහිද, පිටත ආලින්දයෙහිද, 40 මහරජ මළුවෙහිද, ඒ සියලු වීථිවලද දෙපස උස් වූ ඇද නැති ලී යොදා 41 තොරණ නිරතුරු කොට සදවා, කෙසෙල් ගස් බැඳ, පුවක් මල් පොල් මල් 42 ආදියෙන් මනාව සැරසූයේය.
එකල ඒ ලී මුදුන්හි බඳින ලද නා නා 43 වර්ණයෙන් බබළන්නා වූ වස්ත්‍ර කැබලි හේතුවෙන් නගරයේ අහස කොකා වැලින් 44 ගැවසුනා සේ දර්ශනීය විය. ඒ ඒ තැන මනාව පුන් කළස් තබ්බවා, 45 හාත්පස මන්දිරයේ ආලින්ද ඉදිරියෙහි මණ්ඩපයන්හිද රන් රිදී ආදියෙන් නිමවන ලද, නා නා කර්මාන්තයෙන් බබළන්නා වූ වියන් බඳවා, නානා විධ කාන්තිමත් 46 වූ තිර රෙදිවලින් වට කොට, විවිධ නිර්මාණවලින් බබළන්නා වූ 47 බුමුතුරුණු ද එහි මනා කොට අතුරුවා, පස් මල්ද හාත්පස ඉස 48 සියලු පුරය සරසන ලද්දේය. “දෙව්ලොව දේවේන්ද්‍ර තෙමේත් මෙසේ පුද කරන්නේය, පැරණි ලංකේශ්වර වූ මහීපතිවරයෝද මෙසේ පුද කළෝය” 49 යි දක්වන්නා සේ ඒ මහීපති තෙමේ රාජාභරණයෙන් සැරසුණේය.
ඒ පුරයෙහි 50 ලක්දිව වැසි සාමණේරවරයන්ද, උපාසක උපාසිකා ජනයාද, 51 සියලු නුවර වැසියන්ද, පිටරට වැසි ජනයාද රැස් කරවා, ඔවුන්ට දයාවෙන් සහ කරුණාවෙන් තත්පර වූ පෘථිවිපති තෙමේ පෘථිවියෙහි පසඟ පිහිටුවා මුනීන්ද්‍රයන් වහන්සේගේ දංෂ්ට්‍රා ධාතුව වැඳ, හස්ත පද්ම මස්තකයෙහි 52 වඩාගෙන, අතිශයින් සතුටු සිත් ඇත්තා වූ ඒ නරේන්ද්‍ර තෙමේ දාගෙයින් 53 නික්ම ගියේය. රිදී කුඩවලින්ද, රන් කරඬුවලින්ද, මනා සෙමර පෙළින්ද, රන් 54 රිදී මල් ආදී වූ නානා විධ පුෂ්ප ජාතියෙන්ද, නොයෙක් මිණි මුතු ආදිය 55 හා වස්ත්‍රාභරණ ආදී වූ පූජා වස්තුවෙන්ද, නොයෙක් පංචාංග තූර්ය නාදයෙන්ද, 56 විචිත්‍ර වූ අලංකාර ඇති පීඨිකා මණ්ඩපයට ගොස් සිටියේය. ලංකාධිපති වූ ඒ නරේන්ද්‍ර තෙමේ උතුම් දන්ත ධාතුව ප්‍රදර්ශනය කරමින් අවට සිටි අති විශාල ජන සමූහයා විශේෂයෙන් සතුටු කොට, එය යථා ස්ථානයෙහිම වැඩමවූයේය.
57 එකල මෙසේ ජීවමාන බුදුන් දකිනාක් මෙන්, සර්ව ප්‍රකාරයෙන් 58 සියල්ලන් සතුටු කොට බොහෝ කුසල් රැස් කළේය. රන්, මැණික්, 59 මුතු ඇට ආදියෙන් හා නානා විධ ආභරණයෙන්ද, ඇතුන්, අශ්වයන් හා දාසයන් ආදී 60 පූජා වස්තුවෙන්ද නොයෙක් පරිද්දෙන් පුදා, උතුම් වූ අදහස් ඇත්තා වූ ඒ මහීපති තෙමේ සමන්, සපු ආදී මලින් සහ සුවඳ සඳුන් ආදියෙන්ද පූජා කළේය. පහන් පූජාවේ ආනිසංස මහත් යැයි සිතා, “තමන්ගේ නුවරද, රටවලද, ඒ ඒ 61 තැන චෛත්‍යයන්හි එක දවසින්ම පහන් පූජා කෙරෙත්වා” යි ආඥා කොට, එක රැයකදීම ජන සමූහයා රැස් කරවා සත් ලක්ෂ අනූදහස් සත්සියයක් (790,700) 62 වූ පහනින් පූජාවක්ද කළේය. මෙසේ එකල්හි ලංකාධිපති රජ තෙමේ 63 ලංකාද්වීප භූමිය උසස්ව බබළන පහන්වලින්, තාරකාවන් විසින් ගැවසුණු අහස මෙන් කළේය. තිස්තුන් දහස් අට සියයක් අධික කොට ඇත්තා 64 වූ තුන් කෙළක් (30,033,800) පුෂ්ප පූජාවෙන්ද පුණ්‍යස්කන්ධය රැස් කළේය.
65 බුදු පිළිම කරවීමෙහි පැහැදුණු මහත් ගුණ ඇති රජ තෙමේ, මාතලේ රටේ ආලෝක ලෙන (අළු විහාරය) ආදියේද, ඒ ඒ රටවල ගිරි ලෙන්හි ජනයාට 66 සැප දෙන්නා වූ බුද්ධ ශරීර ප්‍රමාණ වූ සැතපෙන සහ වැඩසිටින අභිනව 67 බුද්ධ රූපද, චෛත්‍යයන්ද කරවීය. කැඩුණු බිඳුණු ප්‍රතිමා මන්දිරයන්හි 68 බොහෝ වූ ප්‍රතිසංස්කරණ කර්මාන්තයන්ද කරවා, ඊට සංග්‍රහද කොට පුණ්‍ය රාශිය තර කළේය. නරේෂ්වර තෙමේ ඒ ශ්‍රී වර්ධන පුරයෙහි 69 පෙර කරන ලද, දිරා ගොස් තිබූ බොහෝ රාජ මන්දිර ආදිය ඉවත් කොට, 70 ශෛල කර්ම ආදියෙන් බබළන්නා වූ සිත්කළු මන්දිරයන් කරවා, යදොර සහිත 71 වූ මනෝඥ දොරටු යොදා, නානා විධ රූප හා ලියකම් ඇත්තා වූ, දෙමහල් මනහර වූ දොරටු ගෙයද කරවූයේය.
ඒ නුවර වසන්නා වූ, ධර්ම 72 ශ්‍රවණයෙහි මහත් ආදර ඇත්තා වූ ඒ මහීපති තෙමේ, රජ මළුව මැද 73 මණ්ඩප කරවා, විසිතුරු තොරණ ආදියෙන් නිරතුරු කොට සරසවා, වියන් බඳවා, අසුන්ද පනවා, මහෝත්සවයෙන් බොහෝ සද්ධර්ම කථිකයන් 74 වඩා ගෙන්වා, විචිත්‍ර වූ විජිනිපත් (වටාපත්) ගෙන්වා දී ඒ ධර්ම කථිකයන් වැඩ හිඳුවූයේය. මනා කොට අර්ථ දැන්වීම් ආදී ආකාරයෙන් කියන ලද 75 හෘදයංගම වූ සද්ධර්මයද අසා පැහැදුණේ, රන් රිදීයෙන් හා පහන් දුම් ආදියෙන්ද, නානා විධ විචිත්‍ර වස්ත්‍රයෙන්ද, පූජා වස්තුවෙන්ද 76 නොයෙක් පරිද්දෙන් ඇමතියන් සහිත වූ රජ තෙම පූජා කොට, සේනාව 77 සමඟ බොහෝ වූ කුසල් රැස් කළේය. ධර්ම දානය මහත් යැයි 78 සද්ධර්මයෙන් අසා, ඒ ඒ පරිද්දෙන් පින් කරනු කැමැත්තේ, රජයට අයත් නොයෙක් 79 රටවල සුදුසු වූ ඒ ඒ තන්හි මනාව සෙනසුන් හා ධර්ම ශාලා ආදියද කරවූයේය. ඒ 80 ජනේන්ද්‍ර තෙමේ බොහෝ වූ ධර්ම කථික ආදීන් ඒ ඒ තන්හි යවා මනුෂ්‍යයන් 81 රැස් කරවා සද්ධර්මය කියවා ධර්ම දානයද දෙවූයේය.
පෙර කාලයෙහි රාජසිංහ 82 නරේන්ද්‍රයන්ගේ කාලයෙහි ඉතිරි වූ, ඒ මිථ්‍යාදෘෂ්ටික අධාර්මික වූ පරංගි දුර්ජනයෝ, එකල්හි ඒ ඒ තැන වැස, ඔවුන්ගේ දෘෂ්ටිය මුදල් දීම ආදියෙන් අනුන් ලවාද ග්‍රහණය කරවීමට උත්සාහ කරන්නාහු, ශාසනයට අගෞරව 83 ඇතිව උපායෙන් යුක්තව වාසය කළහ. 84 නරේන්ද්‍ර තෙමේ ඒ පුවත අසා වේගයෙන් කිපී, ඇමතියන්ට ආඥා කොට, ඔවුන්ගේ ගෙවල් හා පොත් විනාශ කරවා, ඒ මිථ්‍යා දෘෂ්ටිය 85 අත් නොහරින්නන් රටින් නෙරපූයේය.
ඒ මිහිපති තෙමේ සමන්තකූට 86 පර්වතයෙහි උතුම් සර්වඥ පාද ලාංඡනයෙහි පහන් පූජා ආදී සියල්ල 87 කරවූයේය. අනුරාධපුරයෙහිද, මහියංගන ආදී ඒ ඒ ස්ථානයන්හිද මහ පුද පැවැත්වූයේය. පූර්ව දිශාවෙහි හා පශ්චිම දිශා භාගයෙහිද, දුක 88 සේ යා යුතු ජලය සහිත මාර්ගයෙහි යන එන්නන්ගේ ප්‍රයෝජනය පිණිස ගල් අම්බලම 89 ද කරවීය. ලංකාද්වීපයෙහි වූ බුද්ධ ශාසනය භික්ෂූ සංඝයා නොලැබීමෙන් 90 පිරිහී ගිය බව දැන කම්පා වූ රජතෙමේ, භික්ෂූ සංඝයාට ආරාධනා කිරීමට 91 සිතා, “බුද්ධ ශාසනය කොයි කොයි තන්හි පවතීදැයි” නොයෙක් පරිද්දෙන් 92 විමසා බැලීය. ‘පේගුව, රක්ඛගය, ස්‍යාමය’ යන ඒ ඒ දේශයන්හි පවතින්නේය යන ඕලන්දයන්ගේ (ලන්දේසීන්ගේ) ශුභ වචනය අසා, ඒ ඒ රටවල බුද්ධ ශාසනයෙහි පුවත් විමසා බැලීමට මූල භාෂාවෙන් (පාලි) මනා කොට සන්දේශ ලියවා දුන්නේය.
93 රජතෙමේ ඇමති ආදීන් වෙන් වෙන් වශයෙන් පිටත් කළ අතර, “ඒ අයෝධ්‍ය රාෂ්ට්‍රයෙහි ශාසනය අති නිර්මලය, අතිශයින් යහපත් භාවයෙන් 94 පවතින්නේය” යන කථාව ඇසුවේය. නරේෂ්වර තෙමේ ඒ අයෝධ්‍යයෙන්ම 95 බුද්ධ පුත්‍රයන් ලංකාවට ගෙන එන්නැයි පූජා උපකරණ ආදී වූ නොයෙක් පඬුරු හා සමඟ හසුන්පත්ද දී එකල්හි ඇමතියන් යැවූයේය. මිහිපති තෙමේ මුනීන්ද්‍රයන් වහන්සේගේ දංෂ්ට්‍රා ධාතුව වැඩමවීමට එක් රියන් 96 හමාරක් උස වූ රන් මුවා කරඬුවක්ද කරවා, ධාතුන් වහන්සේ උදෙසා මහඟු මිණි මුතු ආදියෙන් එය බඳවමින් සිටියදී, එය නිම වීමට පෙර කළ පින් ගෙවී ගොස් අට අවුරුද්දක් රජකම් කර මිය ගියේය.
97 ශ්‍රද්ධාදී නොයෙක් ගුණ නමැති ආභරණයෙන් සැරසුනා වූ, සර්වඥයන් වහන්සේගේ උතුම් ශාසනයෙහි අතිශය පිරිසිදු බව කැමති වූ ඒ නරේන්ද්‍ර තෙමේ, අනන්ත සැප දෙන්නා වූ මහත් කුසල් කොට පසුව මරුවා සමීපයට ගියේය. 98 මෙසේ ලංකාධිපති වූ, පරාර්ථයෙහි නිරන්තරයෙන් ඇලුනා වූ, පින් කැමති වූ, ජනේන්ද්‍ර වූ ඒ උතුම් රජතෙමේ ආත්මාර්ථය හා පරාර්ථය සිද්ධ කරමින් රාජ්‍යය කළේය. ලෝකයෙහි සැපයද, ලෝකෝත්තර වර මහත් සැපයද ප්‍රාර්ථනා කරන්නා වූ, පමා නොවන, කුසීත බව හැර දැමූ හෙතෙම නානා ප්‍රකාර සුඛ දායක වූ පුණ්‍ය රාශිය මනාව කරවීය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ ‘සිරි විජය රාජසිංහ දීපන’ නම් වූ අනූ අට වන පරිච්ඡේදය නිමි.