89. අභිෂේක මංගල්‍යය සහ උපසම්පදා පුණ්‍යෝත්සවය

star_outline
පුලස්ති පුරය අලංකාර කිරීම සහ පිය රජුට ඇරයුම් කිරීම

1 ඉක්බිති ඒ නරේන්ද්‍රයා (විජයබාහු), “පුලස්ති (පොළොන්නරුව) නම් වූ මේ පුරය අතීතයේ යම් සේ විරාජමාන වී ද, එලෙසම දැන් සියලු නගරාංගයන්ගෙන් යුක්තව කරවන ලද්දේය. 2 දැන් මේ පුරය තෙමේ ඓශ්චර්යයෙන් ද සෞභාග්‍යයෙන් හා ශ්‍රී කාන්තාවගෙන් ද බබළයි; ජේතුත්තර නම් නුවර ද පරයයි. 3 සාගල පුරය පැහැර ගැනීමට ඊර්ෂ්‍යා කරයි; සුංසුමාරගිරි නම් පුරය ද පැහැරගෙන සාකේත පුරය ගැන කුමන කතා ද? අහෝ! රජගහ නුවර ද ජීවග්‍රාහයෙන් ගැනීමට 4-5 ඊර්ෂ්‍යා කෙරේ; සකස් පුරය (සැවැත් නුවර) ද විද්වංසනය කොට ඉඳුපත් (ඉන්ද්‍රප්‍රස්ථ) නුවරට ගර්හා කරයි; කිඹුල්වත් පුරය හා මිත්‍රභාවය ඇති කරගැනීමට උත්සාහ කරයි. 6 එහෙයින් ශක්‍ර පුරයෙහි දෙවියන්ට අධිපති වූ ශක්‍රයා යම් සේ ද, එසේම රජුන්ට අධිපති වූ මහත් සෘධි ඇති රජතුමා මේ පුරයෙහි දැන් අභිෂේක මංගල්‍යය සිදු කිරීමට වැඩම කරන සේක්වා!” යැයි පවසා පිය රජාණන් වෙත දූතයෙකු යැවුවේ ය.

7-8 ඉක්බිති ඒ රජ තෙමේ (පරාක්‍රමබාහු) ඒ ප්‍රවෘත්ති ක්‍රමය අසා, සතුටු වූ සිත් ඇත්තේ, සේනාව පෙරටු කරගෙන රජෙකුට සුදුසු වූ මහත් උත්සවශ්‍රීයෙන් යුක්තව දඹදෙණි නුවර සිට ඒ මූල රාජධානිය (පොළොන්නරුව) වෙත පැමිණියේ ය. 9 එකල්හි විජයබාහු රජ තෙමේ ද ගව්වක් පමණ දුර පෙරගමන් කොට, ඒ මහ රජාණන් ව ඒ රාජධානියට කැඳවාගෙන ගියේ ය. 10-11 අනතුරුව ඒ පුරයෙහි රජුගේ අභිෂේක මහා උත්සවය සත් දිනක් මුළුල්ලේ පවත්වා පිළිවෙළින් නිම කරන ලදී.

දළදා වහන්සේ වැඩමවීමේ මහා පෙරහැර

ඉක්බිති හෙතෙම වීරබාහු යුවරජු හට ඒ උතුම් රට (පොළොන්නරු රාජ්‍යය) පවරා දී, ඒ සමෘද්ධිමත් වූ රාජධානියෙහි ම ඔහු නවත්වා, “සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා මේ රාජධානියට රැගෙන එමි” යි සිතා, 12-13 පිය රජාණන් සමඟ දඹදෙණි පුරයට ගියේ ය. ඉක්බිති ඒ රජ තෙමේ ලක්දිව වාසය කරන මහජනයා රැස් කරවා, පස් යොදුන් පමණ මහා මාර්ගය සමතලා කොට, 14-15 එහි අතරින් පතර අඩ යොදුනෙන් අඩ යොදුනට මංගල කොඩි සහ කෙසෙල් තොරණ ආදියෙන් මනරම් වූ වටිනා නවාතැන් පොළවල් එකක් පාසා කරවූයේ ය. 16 (දඹදෙණි පුරය පටන් පොළොන්නරුව දක්වා මාර්ගය පස් යොදුනකට ඉතා අධික ය; එබැවින් එය සොළොස් යොදුනක් හෝ විසිපස් යොදුනක් කියා තිබී පසුව පිටපත් ලිවීමේදී මෙසේ ”පස් යොදුන්” වූයේ යැයි සිතමු. එසේ වුවත් අපට ලැබුණු පමණ පොත්වල “පංච යෝජනා” යැයි පමණක් කියා තිබෙන බැවින් එසේම තැබුවෙමු.)

17 ඉක්බිති ඒ දිව්‍ය රථ සෞභාග්‍යයෙන් අලංකාර වූ මහා රථයක සර්වඥයන් වහන්සේගේ පාත්‍රා ධාතුව සහ දළදා වහන්සේ යන දෙනම වඩා හිඳුවන ලදී. බ්‍රහ්ම සමූහයන් විසින් බ්‍රහ්ම රථය පිරිවරා ගන්නාක් මෙන්, ඒ මහා ධාතූන් පිහිටි උතුම් මංගල රථය හාත්පසින් සේවනය කරන්නා වූ 18 නොයෙක් භික්ෂු සංඝ සමූහයා සමඟ ඒ රජ තෙම ඒ මහත් වූ දඹදෙණි පුරවරයෙන් නික්මුණේ ය. 19-23 රන් මුතු කුඩ ය, රන් මුතු සෙමර වලිග ය, රන් මුතු කෙඩි (කොඩි/සීනු) ය, රන් මුතු මාල ය, රන් රිදී කළස් හා රන් රිදී විජිනි (පවන් අතු) ය, රන් රිදී කෙණ්ඩි ය, රන් රිදී සක් ය, රන් රිදී ආධාරක ඇති රන් රිදී කරඬු ය, රන් රිදී තලි ය, රන් රිදී කැඩපත් ය, රන් රිදී කෙසෙල් කඳන් හා රන් රිදියෙන් කරන ලද ශංඛ වලයාකාර අලංකාර ජාතීන් ය, රන් රිදී අසුන් ය, රන් රිදී ඇතුන් ය, නානාවිධ වූ රිදී රන් ආදියෙන් කළ පහන් දඬු ආදිය ය, යන මේ දෑ ධාතු පූජා පිණිස යොදා ගැනිණි.

24 පෙරහැරෙහි ඉදිරියෙන් හා පස්පසින් අතුරු නැතිව සාධුකාර පවත්වමින් යන්නා වූ ඒ ඒ ධූරයන්හි නියුක්ත මිනිසුන්ගෙන් ද, 25 සිත්කළු වූ හස්ත්‍යාභරණයෙන් සරසන ලද ප්‍රශස්ත වූ හස්ති පංක්තීන් විසින් ද, 26 සියලු අශ්වාලංකාර සමූහයෙන් දර්ශනීය වූ අශ්ව පංක්තීන් විසින් ද, 27 යෝධ ක්‍රීඩා කරන්නා වූ යෝධාභරණ පැළඳි නානාවිධ ආයුධ අතින් ගත් වීර භට පංක්තීන් විසින් ද, 28 මංගල වෙස් දැරූ නානාවිධ ආභරණයෙන් බබළන නරේන්ද්‍ර රාජ පුත්‍ර සහ මන්ත්‍රී පංක්තීන් විසින් ද හාත්පසින් සෙවන ලදුව පෙරහැර ගමන් ගත්තේය.

29 “අහෝ! යහපත, අහෝ! යහපත, අහෝ! යහපතැ” යි කියන්නා වූ පින් කැමති මිනිසුන්ගේ සාධු නාදයෙන් හෙබියා වූ ද, 30 “මම පළමුව යමි, මම පළමුව යමි” යි කියන ‘අහංපූර්විකා’ වචනයෙන් බාධාවක් නැතිව නික්මෙන්නා වූ ද, නොයෙක් නිර්මල වූ ආචාර ධර්මයන්ගෙන් යහපත් වූ පුද මල් ආදිය ගත්තා වූ උපාසිකා ජනයන් හා උපාසක ජනයන් විසින් පෙළින් පෙළ පිරිවරන ලද්දා වූ ද පෙරහැර ඉදිරියට ගියේය. 31-32 ඔවුනොවුන් පරයා අධික කොට මහා වාදනයන් කරන්නන් මෙන් වූ බොහෝ බලවත් තූර්ය වාදකයන් විසින් ද, නැවත නැවත ක්‍රීඩා කරන්නන් විසින් ද, නැවත නැවත විශේෂයෙන් තලනු ලබන්නා වූ මහත් බල ඇති බෙර ආදියේ ඝෝෂණයෙන් හාත්පස ගිඟුම් දෙන්නා වූ ද, 33-34 දිසාන්තරයෙහි පැතිර යන්නා වූ අතිශයින් ශ්‍රවණීය වූ යහපත් පංචාංග තූර්ය නාදය පවත්වන්නා වූ මංගල ගී කියන්නන් හා වන්දිභට්ටයන් විසින් පසස්නා ලද්දා වූ ද, 35 ස්තුති පාඨක මාගධයන් විසින් නැවත නැවත ස්තුති කරන ලද්දා වූ ද, දර්ශනයට හා ශ්‍රවණයට ප්‍රිය වූ නැටුම් ගැයුම් කරන්නන් විසින් ද, නැටුම් හි හැසිරෙන පිරිස් විසින් ද භක්තියෙන් හාත්පසින් සෙවන ලද්දේ ය.

36 මහත් පුද පවත්වමින් නිරවුල් පරිද්දෙන් පවත්නා වූ, අලංකාර ලෙස සරසන ලද්දා වූ ඒ මාර්ගයෙන් ගොස්, කලින් සූදානම් කරන ලද ඒ ඒ නිවාසස්ථානයට පැමිණ, 37-38 ඒ ඒ තැන්හි ද ධාතූන් වහන්සේලා තබා මහා පුද පූජා පවත්වා, ඒ ඒ තැනින් නික්ම නැවත නැවත අනුක්‍රමයෙන් ම ඒ මුනීන්ද්‍ර ධාතූන් වහන්සේලා ඒ මූල රාජධානියට (පොළොන්නරුවට) ම වැඩම කරවූයේ ය.

ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සහ පූජා පැවැත්වීම

39 ඉක්බිත්තෙන් නරේන්ද්‍ර තෙමේ මුළු නුවර එක් සැණකෙළියක් කොට, යහපත් නැකැත් හා තිථි යෝගයෙන් යුක්ත වූ සුබ දිනයක, සුබ මොහොතක, 40 එකල්හි දිව්‍ය රාජ මන්දිරයක් මෙන් සරසන ලද යහපත් වූ මන්දිරෝත්තම වූ ඒ පුරාතන ධාතු මන්දිරයෙහි, 41 නොයෙක් රත්නයෙන් බබළන මහා රත්න පර්යංකයෙහි (ආසනයෙහි) ඒ ධාතූන් වහන්සේලා දෙනම ආදර සහිතව මනා කොට පිහිටුවූයේ ය.

42 ඒ තැන් පටන් පණ්ඩිත ක්ෂත්‍රිය තෙමේ දිනෙන් දින අධික කොට සිව් වර්ගයක සුවඳින් ද, මනෝඥ වූ සුවඳ දුමින් ද, 43 දොඹ, නා, පුවක් ආදී නන් කුසුම් වර්ගයන්ගෙන් ද, උතුම් එළිය ඇති ගණන් ඉක්මවූ මැණික් හා කපුරු පහන්වලින් ද, 44 සුවඳ තෙලින් දල්වන ලද දඬුවැට පහන් මාලාවෙන් ද, මිහිරි කිරින් පිසූ සියුම් බත් තලියෙන් ද, කෛලාස කූටය මෙන් ගොඩගසන ලද සුවඳ හැල් බත් රැසින් ද, 45-46 සකල ඛාද්‍ය, භෝජ්‍ය, ලෙය්‍ය, පෙය්‍ය ආදියෙන් ද, තුන් මසක් මුළුල්ලෙහි ලෝකයාගේ සිත් ගන්නා වූ මහා ධාතු පූජා සහ සංඛ පූජා සමග පවත්වා නිම කළේ ය.

දහස්තොට උපසම්පදා මංගල්‍යය

47 ඉක්බිත්තෙන් මිහිපල් තෙමේ “දහස්තොට දී උපසම්පදා මංගල්‍යය නිර්මල කොට කරවන්නෙමු” යි කියා, එහි පළමු කොට වීරබාහු මහීපාලයන් ව යැවුවේ ය. 48-49 ඔහු විසින් මනෝඥ වූ නොයෙක් දහස් ගණන් සංඝාරාමයන් සහ නානාවිධ අලංකාරයෙන් බබළන්නා වූ, පාට තොරණින් යුක්ත, උස් වූ, කණු හැටකින් යුතු මහා මණ්ඩපයක් කරවූ කල්හි ද, 50 ඒ ඒ උපසම්පදා පූජා වස්තූන් ද, සියලු සිව්පස ද, සර්වප්‍රකාරයෙන් සම්පාදනය කළ කල්හි ද, 51-52 පිහිටිරට සහ රුහුණු ආදී ඒ ඒ රටවල වසන්නා වූ සියලු වන්නි රජවරුන් විසින් ආදර සහිතව නොයෙක් මත්ස්‍ය මාංසාදී විවිධ ව්‍යංජනයෙන් යුක්ත වූ මහත් සහල් බර (තොග) හා දීකිරි, ගිතෙල් ද, මීපැණි, උක් සකුරු, හකුරු ආදිය ද යන මහා සංඝයාට දානය සඳහා යෝග්‍ය වූ උපකරණයන් ගෙන ආ කල්හි ද, 53 විජයබා රජ තෙමේ ද එකල එහි ගොස් “අපි උපසම්පදා මංගල්‍යය කරවීමට පටන් ගන්නෙමු” යි ප්‍රකාශ කළේය.

54-55 “අප කෙරෙහි වනාහි අතිශයින් සුප්‍රසන්න වූ සිත් ඇත්තා වූ යම් ස්ථවිරාදී වහන්සේලා කෙනෙක් වෙත් ද, ඒ සියලු මහා ස්ථවිරයන් වහන්සේලා ද, 56 මධ්‍යම වූ ද නවක වූ ද යතීශ්වරයන් වහන්සේලා දහස්තොටට එනු පිණිස උත්සාහ කෙරෙත්වා” යි ආරාධනා කොට සෑම තැනටම දූතයන් යැවුවේ ය. 57-58 තාම්‍රපර්ණි ද්වීපවාසී වූ (ලක්දිව වැසි) සියලුම යතිවරයෝ ඒ ප්‍රවෘත්තිය අස අසා මහත් සන්තෝෂයට පැමිණ, තම තමන්ගේ භාණ්ඩාගාරික භික්ෂූන්ට නමුදු එහි රැඳී සිටීමට අවකාශ නොදී ඒ ඒ තැනින් නික්මුණාහ. 59 ඉක්බිති සූදානම් වූ ඒ සියලු යතිශ්‍රේෂ්ඨයෝ පිළිවෙළින් ශීඝ්‍රව දහස් ගණනින් අවුත් රැස් වූහ.

60 එකල්හි යතීන් විසින් පිරිවරන ලද ඒ දහස්තොට නැවත නැවත බලන්නා වූ නරේන්ද්‍ර තෙම සුලභ (මහත්) වූ ප්‍රීතිය ලැබූයේ ය. 61 ඉක්බිත්තෙන් ඒ මිහිපල් තෙම ප්‍රණීත වූ ආහාර පානයෙන් ඒ මහා භික්ෂු සංඝයාට සකස් කොට ඉතා මනා කොට උපස්ථාන කළේ ය. 62-63 එකල ඒ දහස්තොට දී දවසක් දවසක් පාසා මහ පුද පවත්වමින්, ඒ කාරක භික්ෂූන් ලවා උපසම්පදා අපේක්ෂකයන්ට උපසම්පදා ලබා දෙමින් අඩ මසක් පුරා උපසම්පදා මංගල්‍යය පැවැත්වූයේ ය.

ගෞරව නාම පිරිනැමීම සහ පිය රජුගේ අභාවය

64-65 ඉන්පසුව මාහිමි පදවිය, එසේම මුල් පදවිය, මහතෙර පදවි, තෙර පදවි, පිරිවෙන් ආදී පදවි ද, එය ලැබීමට යෝග්‍ය වූ ශාසනය බබළවන්නා වූ යතීන්ට ලබා දී, 66 ඒ නරේන්ද්‍ර තෙම රජුන්ට ගැළපෙන යහපත් වූ දහසක් වටිනා අටපිරිකර ද පූජා කළේය. 67-68 එයින් අන්‍ය වූ ද සියලුම භික්ෂූන්ට පිළිවෙළින් මහාර්ඝ පිරිකර ද නැවත නැවත දී, ඉතිරි වූ බොහෝ පිරිකර පඬි රට සහ සොළී රට වැසි භික්ෂූන් වහන්සේලාට ද යවා, පිරුණු මනදොළ ඇත්තේ විය. 69 “නුවණ පෙරටු කොට යම් පිනක් මා විසින් කරන ලද් දේ ද ඒ සියල්ල පිය රජාණන් නමින් ම කරන ලද්දේය” යි දන්වා පිය රජාණන් වෙත දූතයෙකු යැවුවේ ය. 70 මෙසේ හෙතෙම මහවැලි ගඟ අසබඩ දහස්තොට පුළුල් තැනෙහි උපසම්පදා දානය කරවා, එයින් භාග්‍යවත් සර්වඥයන් වහන්සේගේ මේ නවාංගික ශාසනය බැබළවූයේ ය.

71 රජුන්ට උතුම් වූ ඒ පරාක්‍රමබාහු නරේන්ද්‍ර තෙමේ ලෝකයෙහි ප්‍රකට වූ ස්වකීය පුත්‍රයා කෙරෙහි රාජ්‍ය භාරය තබා, මේ මේ පරිද්දෙන් නොයෙක් පුණ්‍ය සම්පත්තිය ඔහු ලවා ම කරවා, තමන්ගේ තිස් පස් වන වර්ෂය පැමිණි කල්හි ස්වර්ගස්ථ වූයේ ය.

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේග පිණිස කළ මහවංශයේ ‘අභිෂේක මංගලා දී දීපන’ නම් වූ එකුන් අනූවන අධියර නිමි.