1 එකල්හි නිර්භය සිත් ඇති ඒ විජයබාහු රජතෙමේ ද “එසේ ය” යි 2 පිළිවදන් දී රාජ්‍යය භාරගත්තේ ය. ඉක්බිති ඒ තෙමේ, “මා 3 අතිජාත පුත්‍රයෙකු බව ජීවත්ව සිටින මාගේ පිය රජුට දක්වන්නෙමි” යි සිතී ය. 4 “ස්වාමී වූ සහ අමාත්‍ය වූ සුභාත් ආදී වූ මේ සප්ත රාජ්‍යාංගයන් අතුරෙන්, මිත්‍ර අංගයට යෝග්‍ය වූ, විශ්වාසවන්ත වූ, සාකච්ඡා මන්ත්‍රණයේදී විශාරද වූ, විපතේදී එක්ව 5 පවතින, සත්‍යවාදී වූ, ප්‍රියංකර වූ කවරෙක් නම් දැන් මට ඇත්තේ දෝහෝ?” යි ඔහු නැවත නැවතත් විමසා බැලුවේ ය. “පියාණන්ගේ නැගණියගේ පුත්‍ර වූ වීරබාහු ආදිපාද තෙමේ පණ්ඩිත ය; ගුණයෙන් ද හෙබියේ ය; සියලු කටයුතු 6 කිරීමෙහි දක්ෂ ය; විද්‍යාමාන ය. ඒ මේ තෙමේ වැලි කෙළිනා ළමා අවධියේ පටන් 7 අද වන තෙක්ම මා කෙරෙහි ද, සත්පුරුෂයන් කෙරෙහි ද ඒකාන්ත විශ්වාසය 8 තබයි. ඔහු ද මා නොදකින තාක් කිසි තැනක සිටීමට නොහැක්කේ ය; 9 මම ද ඔහු නොදකින තාක් සිටීමට නොහැක්කෙමි. ඒ තෙමේ ද ඥාණ බලයෙන් හා කාය බලයෙන් අධික වූයේ, ලෝකය හා ශාසනය වැඩීමට මා මෙන්ම උත්සාහ කරයි; එහෙයින් ඒ තෙමේ මිත්‍ර අංගයට යෝග්‍ය ය” යි දැන, එකල්හි ඔහු කැඳවා ළඟම හිතවත් මිත්‍ර ස්ථානයෙහි යෙදවුයේ ය.
10 ඉක්බිති “මා විසින් අතිශයින් උසස් වූ මනහර පින්කම් කළ යුත්තේම ය; 11 දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව යන ඒ ධාතූන් වහන්සේලා දෙනම මට පවරා දෙන ලද්දාහ; එහෙයින් ඒ ධාතූන් වහන්සේලා උදෙසා ප්‍රාසාදය මා විසින් අලුතින් කළ යුත්තේ ය” යි රජු සිතුවේ ය. 12 “තවද පිය රජුන් විසින් කරවන ලද පුරාණ දළදා මන්දිරය ද 13 එහෙයින් එයම අලුත් කොට කරවන්නෙමි” යි සිතා, සියලු ශිල්පයන්හි නුවණැති බොහෝ ශිල්පී සමූහයා ද, අන්‍ය වූ බොහෝ කම්කරුවන් ද ඒ ඒ තැනින් රැස් කොට, පෙර කර්මාන්තයටත් වඩා දෙගුණයක් වූ දැකුම්කලු 14 නවකම් කරවා, දිව්‍ය විමානයක් සේ සොඳුරු වූ සියලු දළදා 15 මැදුර නිම කරවා, ඒ තෙමේ එහි සම්බුදුන්ගේ ධාතූන් වහන්සේලා දෙනම පිහිටුවී ය. ඉක්බිති 16 පෙරටත් වඩා ධාතූන් වහන්සේලා පිළිබඳ මහ පූජා දිනපතා පවත්වන්නටත්, එහි ආරක්ෂාව සලසන්නටත් නියෝග කළේ ය.
17 එතැන් පටන් ඒ රජ තෙමේ සිය පියරජුගේ ප්‍රේමය දෙගුණ තෙගුණ කොට නිරතුරු වැඩුවේ ය. “තමාගේ පිය රජුට පුත්‍ර වියෝගයෙන් 18 හටගත් ශෝකයක් ඇති නොවේවා” යි සිතා, පැරකුම්බා ය, එසේම 19 ජයබා ය යන සිය මලණුවන් දෙදෙනා ද, මහීපාල තෙමේ සැම කල්හි පියාණන් 20 සමීපයෙහිම නැවැත්වී ය.
ඉක්බිති ඒ තෙමේ ත්‍රිලෝකමල්ල නම් වූ සිය මලණුවන් 21 කැඳවා, දඹදෙණි පුර පටන් දකුණු මුහුද දක්වා වූ ප්‍රදේශය අතරෙහි 22 විද්‍යාමාන වූ සිංහල සේනාව ඔහුට පවරා දී, පිය රජු හට දකුණු දිශාව ආරක්ෂා කිරීම පිණිස එකල්හි ඔහු මහවත්තල 23 ගමෙහි නතර කරවී ය. මහීපාල තෙමේ උතුරු දිශාභාගයෙහි, “කුඩා වැලිගම් හි ඒ 24 සතුරෝ එතෙරින් බොහෝ සේ බසිති; සංග්‍රාම උපායන්ගෙන් බිහිසුණු වූ ඒ 25 දිශාව පාලනය කිරීමට භුවනෙකබාහු නම් වූ මාගේ මලණුවන් හැර කවරෙක් හෝ ඇත්තේද?” යි සිතා, ඔහු කැඳවා ඔහුට උතුරු දිග පවත්නා බොහෝ 26 සේනා දී, පියරජු හට ඒ දිශාමුඛයෙහි ආරක්ෂාව සලසනු පිණිස යාපහුවෙහි සිටීමට නියෝග කළේ ය.
27 ඉක්බිති ඒ රජ තෙමේ (විජයබාහු) තමා ම වීර කුමරු හා එක්ව සූදානම් වී, “ඒ ඒ තැන හැසිර සියලු දුර්ජනයන් මැඩ පැවැත්ව ලක්දිව නිකෙලෙස් (නිෂ්කණ්ටක) කොට, පසුව 28 පියාණන්ගේ අනුමැතිය ලබා පොළොන්නරු නුවර කරවන්නෙමි” යි නික්මුණේ ය. 29 එකල්හි ඒ පරාක්‍රමබාහු මහරජ තෙමේ ද පුත්‍ර ප්‍රේමය නැමැති මහා වතුරෙන් 30 ගෙනයනු ලබන්නෙකු සේ, පිය රජු තමා අනුව පැමිණීමට පුත්‍රයා අකමැති වුවද, 31 සාදර සිතින් යුක්තව දයාවට යටත් වූයේ ඔහු පසුපස යන්නට පටන් ගත්තේ ය. 32 පසුව ඒ පුත් කුමර තෙමේ පිය රජුට නැවත නැවතත් වැඳ, බලහත්කාරයෙන් නවත්වා යන්නට ම පිටත් විය.
33 නැවත රජ තෙමේ (පරාක්‍රමබාහු), “මාගේ පුතු කෙරෙහි යම් ජන කෙනෙක් ප්‍රේම 34 කෙරෙත් නම්, ඔහු සියල්ලෝ ඒ අනුව යෙත්වා” යි නියෝග කළේ ය. 35 එකල්හි රජුගේ ඒ බස අසා ප්‍රමෝදය බහුල වූ සියලු රාජාමාත්‍යයෝ ද, සියලු සෙන්පතියෝ ද, එසේම සියලු මහා වීර යෝධයෝ ද, එසේම සියලු ඇතුන් පිට යන්නෝ ද, සියලු අසුන් පිට යන්නෝ ද, එසේම 36 සියලු රියෙහි යන්නෝ ද, “අප බෝසත් විජයබා රජු පොළොන්නරු නම් රාජධානිය කරවන්නට දැන් යන්නේ ය; ඉදින් ඒ තෙමේ යේ නම් අපි ද වහා යන්නෙමු” යි කියා රජු කැටුව යාමට ඔහු සූදානම් වී නික්මුණාහ. 37 එකල්හි කම්මැලිකම නිසා අමාත්‍ය භටයින් ආදීන් අතුරෙන් සමහරෙක් යන්නට අකමැති වූ කල්හි, ඔවුන්ගේ භාර්යාවෝ, “පින්වත් ස්වාමිවරුනි, අප 38 සමග යෙත්වා, නොහොත් නොයෙත්වා; අපි දැන්ම ගුණ සලකන්නා වූ 39 උන්වහන්සේ කැටුව යන්නෙමු; උන්වහන්සේ විසින් කරන ලද උතුම් නුවර වසන්නෙමු” යි කියා පෙරටුව ඔවුහු නික්මුණාහ. 40 එකල්හි එසේම යාමට අකමැති වූ සිය සිය පියවරුන් පවා හැර දමා බාල දරුවෝ පවා 41 ඔහු (විජයබාහු) අනුවම ගියෝ ය. තම තමන්ගේ ගම් හා ගෙවල් ද, භෝග සම්පත් 42 ද දමා නික්මෙන්නා වූ ඒ මහා ජනයා දකිමින්, රජ තෙමේ මහා කරුණාවෙන් නැවත නැවත අවවාද කරමින්, නැවැත්විය යුත්තා වූ සියලු ම මිනිසුන් නැවැත්වී ය.
43 ඉක්බිති ඒ තෙමේ කැමැති පමණක් සිවුරඟ සේනා ගෙන දුර්ගම 44 වූ ද උස් වූ ද වාගිරිගලට (වාකිරිගලට) ගියේ ය. ඒ තෙමේ ඒ පර්වතය මුදුනෙහි ඉතා වටිනා, ඉතා 45 උස් වූ පවුරෙන් වට කරන ලද අගනා රජ ගෙයක් කරවා, තමාගේ පිය රජු 46 විසින් දුන් මහා ධනය සියල්ල ම ආපදාවක් පැමිණි විට ප්‍රයෝජනය පිණිස එහිම සුරක්ෂිතව තැබුවේ ය. ඒ මහා පර්වතයෙහි ම යහපත් සංඝාරාමයකුත් කරවා, මහානේත්‍ර ප්‍රාසාද විහාරයෙහි නායක වූ මහා තෙරුන් වඩා ගෙනවුත්, ඒ ආරාමය 47 උන්වහන්සේට දී මහා පූජාව කරවා දන්වැට ද තැබූයේ ය.
48 පසුව ඒ රජතෙමේ සමනොළ කන්දට ගොස් මුනිඳුන්ගේ ශ්‍රී පාදය වැඳ, 49 එයින් ගඟසිරිපුරට ගියේ ය. ඒ තෙමේ එහි නියම්ගම් නම් වූ පුරාතන විහාරයෙහි කැඩුම් බිඳුම් ප්‍රතිසංස්කරණය කරවා, එකල්හි එහි වැසි භික්ෂූන්ට දන්වැට 50 ද වෙන් කොට තබා, සිඳුරුවානට පැමිණියේ ය. ඒ රජ තෙමේ එහි 51 වල්ගම්පා විහාරය කරවා, පසුව එහි පිය රජුගේ නමින් ‘අභයරාජ පිරිවෙණ’ 52 ද කරවා, ඊට නන් වැදෑරුම් පිරිකර සහ ගම් කුඹුරු ආදිය දුන්නේ ය.
53 ඉක්බිති මහීපාල තෙමේ හස්තිගිරි (කුරුණෑගල) පුරවරයට ගොස්, එහි ද තමාගේ 54 සුළු පියාණන් (බාප්පා) විසින් කරවන ලද සිත්කළු වූ මහා විහාරයෙහි, ඔහුගේ ම 55 නිරතුරුව පිදිය යුතු ශරීරය තැන්පත් කළ ස්ථානය (සොහොන) ද නැවත නැවත බලමින්, වීරබාහු නරේන්ද්‍රයා ද සේනාව ද සමග කනස්සලු වූයේ, එහිදී අනිත්‍ය 56 ලක්ෂණය නැවත නැවත මෙනෙහි කළේ ය. ඉක්බිති එහි තුන් මහල් උතුම් පිළිම 57 ගෙයක් කරවා, එහි මහත් බුදු පිළිමයක් කරවීය; අනතුරුව සුළුපියාණන්ගේ රූපය ද සර්වාභරණයෙන් සරසන ලද්දක් සේ මැනවින් කරවා එහිම තැන්පත් කරවී ය. 58 මහීපාල තෙමේ පිළිම ගෙයට ද, සුළු පියුහුගේ ඒ රුවට ද මනහර වූ කැප 59 පස ගම් හා බොහෝ පිරිවර මිනිසුන් ද දී, ඔහුගේ නමින් ’භුවනෙකබාහු 60 පිරිවෙණය’ යි නාමය ද තැබූයේ ය. ඊට ඉක්බිති ඒ නුවර නරනාරි ජනයාගෙන් ගැවසුණු තැනක් කොට පවුරු අගල් ආදියෙන් ප්‍රාකාර ද කරවී ය.
61 සූර වූ ඒ රජ තෙමේ සිවුරඟ මහා සේනාව ගෙන ඒ හස්තිශෛල පුරයෙන් 62 නික්ම යාපව් නුවරට ගියේ ය. ඒ කාලයෙහි දී සොළී ආදී රටින් මහත් බල ඇත්තේ, මහා දෙමළ යෝධයනු ද කැටි කොට ගෙන, ජාවක 63 සේනා සමග (චන්ද්‍රභානු) මාතොටට ගොඩ බැස්සේ ය. ඊට අනතුරුව ඒ (ජාවක) රජ තෙමේ 64 පදී රට, කුරුන්දිරට ආදියෙහි වැසි සිංහලයන් ද වසඟ කොට ගෙන, 65 යාපව් නුවරට ගොස් කඳවුරු බැඳ ගෙන, “ත්‍රි සිංහලය ගන්නෙමි; ඔවුන් නොහරින්නෙමි; එහෙයින් බුදුහුගේ දළදාව හා පාත්‍ර ධාතුවත්, ඒ රාජ්‍යයත් මට 66 දෙව; ඉදින් නොදෙයි නම් යුද්ධ කරමි” යි කියා දූතයන් ද මෙහෙයවී ය.
67 එකල්හි විජයබාහු රජ තෙමේ ත් වීරබාහු මහීපාලයන් කැඳවා මන්ත්‍රණය කොට, මහා බල සෙන් සරසවා, “ආශ්චර්යයකි! මේ කල් වූ 68 කලී අප දෙදෙනාගේ බාහු වික්‍රමය දකින්නෙමු” යි කියා, ඒ දෙදෙනාම පිටත්ව ගොස් චන්ද්‍රභාණු රජුගේ මහා සේනාව හාත්පසින් වටලා, රාම - රාවණා යුද්ධය 69 සෙයින් දරුණු වූ මහා යුද්ධයක් කළහ. එකල්හි යුද්ධයෙහි පරදිනා ලද්දා වූ සතුරු යෝධයෝ ආයුධ රහිතව මුළාව ඇවිද්දහ; ස්තුති කළහ; භයින් 70 පෙළී වැන්දාහ; තැති ගත්හ; වෙවුලූහ; යුද්ධයෙහි සරණ ඉල්ලූහ; 71 ඇඬූහ; වැළපුනහ. එකල්හි භය වූ සතුරු භටයෝ කිසිවෙක් වනය බලා ද, 72 කිසිවෙක් මුහුද බලා ද, තවත් කිසිවෙක් කඳු බලා ද භය නිමිත්තෙන් හාත්පස දිව ගියහ. 73 හේ තෙමේ මෙසේම යුද්ධ කොට බොහෝ 74 භටයන් මරවා, ඒ චන්ද්‍රභාණු නරනිඳු නිරායුධ කොට පලවා හැරියේ ය. ඉක්බිති ඔහුගේ උතුම් අන්තඃපුර ස්ත්‍රීන් ද, සියලු ඇතුන් ද, අසුන් ද, කඩු ආදී වූ බොහෝ ආයුධයන් ද, මහත් වස්තුව ද, ජයසක්, ජයසත්, ජයබෙර, 75 ජයකොඩි යන මේ සියල්ල පියරජු වෙත යැවූයේ ය. මෙසේ හෙතෙමේ 76 මහත් වූ යුද්ධ කොට මිහිමඬල ජයගෙන විජය ශ්‍රීයට පැමිණ ලක්දිව එක්සේසත් කළේ ය.
77 පසුව උස් වූ පවුරු අගල්වලින් ආරක්ෂිත වූ ඒ නගරය (යාපහුව) ද කරවා, 78 ඉක්බිති එහි ඉතා වටිනා රජ ගෙයක් ද කොට නිමවා, නැවත එකල්හි ඒ 79 නුවර ඇසුරු කළ මහත් භික්ෂු සංඝයාට දන්වැට ද තැබී ය. ඉක්බිති ඒ තෙමේ භුවනෙකබාහු නම් මලණුවන් රජු අස්වසා, පෙර සේ යාපහුවෙහි 80 රඳවා තැබුවේ ය. අනතුරුව රජ තෙමේ අනුරාධපුරයට ගොස්, එහි ථූපාරාමාදී සියලු සිද්ධස්ථානයන් හාත්පසින් මාරයා විසින් එවන ලද බලකොටු 81 වැනි වූ මහා වනය කප්පවා, ආකාශ නදියෙහි (ක්ෂීර සාගරයෙහි) හේදඬු බඳු වූ පවුරු ද කරවී ය. 82 ඒ දිසානායක තෙමේ නවකමින් සිත්කළු වූ මේ සිද්ධස්ථානයන් කරවා මහා පූජා පැවැත්වී ය.
83 ඉක්බිති ඒ මහීපාල තෙමේ පිය රජු විසින් ආරම්භ කොට නොනිමියා වූ රුවන්වැලිසෑයෙහි නව කර්මාන්තය නිමවනු කැමැත්තේ, 84 පුරවැසි සියලු මහා ජනයා ඒ පුරයෙන් ගිය ගිය තැනින් වහා වහා එක් කොට, 85 විශාරද වූ බොහෝ වූ ශිල්ප සමූහයා මේ නවකම්හි යොදවා, සේනානාථ 86 පිරිවෙණේ මහා තෙරුන් ප්‍රධාන කොට ඇති සංඝයාට දන්වැට ද නිමවා, 87 නවකම් කරවන්නට ඒ සංඝයා එහි වැස්වී ය. පසුව පිහිටි රට වැසි වන්නි 88 රජදරුවෝ බොහෝ පඬුරු දී මහීපාලයන් දැක ගැනීමට පැමිණියහ. 89 එකල්හි හේ තෙමේ කිරුළු, සේසත්, සෙමර ආදී වූ මහා වන්නි රාජයන්ගේ රාජකීය භාණ්ඩ (කකුධ භාණ්ඩ) ද ඔවුන්ට දී, සියල්ලන් සතුටු කරවා ඒ නුවර රකින්නට නියෝග කොට, ඉක්බිති එයින් පොළොන්නරු නුවරට ගියේ ය.
90 වැලි (තවද) නරනා තෙමේ එහි දී වීරබාහු මහීපාලයන් කැඳවා, “අපි මේ යහපත් මුල් රාජධානිය කරවමු; යශෝරාශියෙන් කපිපුරයෙන් (කිඳුරු පුරයෙන්) දිශාමුඛය 91 පුරවමු” යි ඔහු හා මන්ත්‍රණය කොට මෙසේ කීවේ ය: “දැන් පුලස්ති නම් පුර ප්‍රාසාදය, 92 පිළිමගෙය, විහාරය, පිරිවෙණ, චෛත්‍යය, දාගෙය, පවුරු ය, දොරටු ය, 93 ගුරුළුවං පහය, සඳලු සහිත පහය, මණ්ඩපය, ධර්මශාලා ය, එසේම 94 දේවාල ආදිය යන මොවුහු කිසිවෙක් පැලව ගිය තෘණ වෘක්ෂාදියෙන් වැසී සිටිති. දිරා ගිය ටැම් සමූහ ඇති අනික් සමහරක් ආධාර 95 නැතිව වැටෙති. අනික් සමහරක් මුල පටන් අග දක්වා බිඳුණු මහා බිත්ති 96 බරින් බිම බලා නැමුණා වූ අන්‍ය ආධාර ඇත්තෝ වැටෙනු කැමැත්තෝ ය. ඛේදයකි! අනික් කිසිවෙක් හාත්පසින් දිරූ බැවින් ද, දුබල බැවින් 97 ද සිටිය නොහැක්කෝ මහල්ලන් සේ දිනෙන් දින නැමෙති. අඳෝමැයි! තවත් සමහරක් බිඳුනා වූ ලී දඬු (තුලායෂ්ටි) හා නැතුවා වූ කොබෝ ගෙඩි වළලු ඇති වෙති. අනික් කිසිවෙක් විනාශ වූ මස්තක (වහල මුදුන්) ඇති වෙති; 98 බිඳුණු උළු ඇති වෙති; එසේම අනික් කිසිවක් දිරා ගිය ගෝනැස් ඇතිව, කැඩුණු තැනින් වැගුරුණු සෙවිලි උළු ඇති වෙති. අනික් කිසිවක් 99 වනාහි බිත්ති හා ටැම් ඉතිරිව සිටිති. අනික් කිසිවක් ගිළිහුණු දොර ඇතිව, නැතුවා වූ දොර බැමි ඇතිව, අනික් කිසිවක් ලිහිල් වූ පියගැට ඇතිව 100 නැතුවා වූ පිළිකඩ (පිල්කඩ) ඇති වෙති. කිසි ගෙයක්හුගේ ගෙපල් පමණක් ඇති බව පෙනෙයි; 101 එසේම අනික් කිසිවක්හුගේ ගෙය පිහිටි තැන් පමණක් නොපෙනේ. නොයෙක් බසින් කීමෙන් කවර ඵල ද? 102 ශ්‍රී විභූතියෙන් තොර වූ (නිඃශ්‍රීත) මේ පුරය කරවන්නට යන්නෙමු. රජ තෙමේ අනුමත කෙරේවා. පසුව මේ උතුම් නුවර දී අභිෂේක මංගල්‍යය කෙරේවා!” මෙසේ කියා පිය රජු වෙත ඒ තෙමේ දූතයෙක් මෙහෙයවී ය.
103 ඉක්බිති රජ තෙමේ ද (පරාක්‍රමබාහු) ඒ පුවත අසා සතුටු සිත් ඇත්තේ, එකල්හි තෙමේ මූල රාජධානිය කරවන සිත් ඇත්තේ, මහා ඇමති මණ්ඩලය 104 කැඳවා ලංකා රාජ්‍යවාසී සියල්ලන් ඒ ඒ ක්‍රියාවෙහි යොදවා; 105 යකඩකරුවන් (අයංකාරයන්), එසේම ලියන වඩුවන්, නළාකරුවන්, කම්බුරන්, කුඹලුන්, 106 හණකරුවන් (එන්කරුවන්), සිත්තරුන්, බර අදින්නන්, බැළයන්, දාසයන්, සැඩොලුන්, 107 කම්හි සමත් වූ උළු වඩුවන්, සුණු වඩුවන්, ලී වඩුවන්, ගල් වඩු වර්ග යන 108 මෙතෙක් දෙනා එක්කොට; ඉන්පසු පිඹිනා හම, මිටිය, අඬුව (හඩුය), යකුල, කිණිහිර යනාදී සියලු කම්මල් බඩු ය; තියුණු වූ බොහෝ කියත්, වෑය, 109 කැට බිඳිනා මුගුරු ය, උදලු ය, කලාල පැස යන මේ ආදී වූ මහා ධනය ද 110 සාදරයෙන් දී, පුත් රජු වෙත සේනා හා යැවී ය.
111 එකල විජයබාහු රජ තෙමේ ද සතුටු සිත් ඇත්තේ, බොහෝ කලක් 112 වල් වූ, නටුවා වූ ඒ ඒ රටෙහි සුන්බුන් මහා ඉවුරු ඇති, ගැඹුරු දිය නැති වැව් පොකුණු වේලි හා ගැඹුරු විල් ආදී ජලාධාරයන් පෙර සෙයින් 113 බඳවා; යම් සේ ගැඹුරු දිය පිරුණු, නොයෙක් පියුමෙන් ගහණ වූ, නන් 114 මත්ස්‍ය සමූහයා විසින් ආකූල වූ ජලාශය වෙත් නම් එසේ කරවා; සියලු ශෂ්‍යයන්ගේ උත්පත්ති ස්ථාන වූ, බොහෝ හැම කල් සරු වූ කෙත් තනවා; 115 ඉන්පසු ඒ ඒ තන්හි සියලු ධාන්‍ය වර්ග සම්පාදනය කරවා, ඒ සියලු රට මනෝහර කොට සමෘද්ධ කරවී ය.
116 ඉක්බිති රජ තෙමේ සයුර සේ ගැඹුරු දිය අගලින් (පරිඛායෙන්) පිරිවරන ලද; 117 සක්වළ ගල බඳු වූ සිත්කළු පවුරු වළලු ඇති; නොයෙක් 118 විහාර සම්බන්ධ ඇති; නොයෙක් සෑයෙන් ගහණ වූ; නොයෙක් ගුරුළුවන් 119 ගෙයින් මිශ්‍ර වූ; නන් පහයෙන් හෙබියා වූ; නොයෙක් මුදුන් සෙවණි කම් 120 ඇති; නොයෙක් මණ්ඩපයන්ගෙන් මණ්ඩිත වූ; නොයෙක් දේවාලයන් ඇත්තා වූ; නානා ගෝපුරයෙන් බබලන්නා වූ; නානා ගෙවල් පෙළින් සිත්කළු වූ; නානා වීථියෙන් විරාජිත වූ; මැනවින් බෙදන ලද සතර දොර ඇති; යහපත් තුන් මං සතර මං සන්ධි ඇති උතුම් වූ පුලස්ති පුරය පෙර සෙයින්ම කරවී ය.
121 මෙසේ කාන්තියෙන් ඒ පුරය, යම්සේ මිථිලාව දිනා ද, කාංචිපුරය බිඳී ද, සැවැත් නුවරට සිනාසේ ද, මදුරාව දිනා ද, බරණැස කිලිටි කෙරේ ද (කෙලෙසා ද), විශාලා නුවරත් කොල්ලකාවී ද, චම්පා නුවර කම්පා කෙරේ ද; එසේ ඒ තෙමේ ඉන්ද්‍ර නගරය හා සමාන කොට පොළොන්නරු පුරය කරවී ය.
මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි පුලත්ථිපුර කරවීම නම් වූ අට අසූවන පරිච්ඡේදය නිමි.