1 ඒ විජයබාහු රජුගේ අභාවයෙන් පසු, මුළු ලක්දිව රාජ්‍ය පාලනය කරන්නා වූ 2 විජයබාහු රජතුමාගේ (හතරවන විජයබාහුගේ) පාලන සමයේ දෙවන වර්ෂයේදී, එම රජුගේ නපුරු මිතුරෙකු වූ 3 මිත්‍ර නම් වූ එක් පවිටු සෙන්පතියෙක් රාජ්‍ය ලෝභයෙන් පෙළෙන්නට විය. ඔහු රජ මාලිගාව ඇතුළත සිටි එක් සේවකයෙකු කුලප්පු කරවා, අල්ලස් දී රවටන ලද සිත් ඇති ඔහු ලවා, එක් දිනක් රාත්‍රියේ 4 රාජ්‍යයට ඇති කෑදරකම නිසා ඒ නරේන්ද්‍රයා මැරවූයේ ය.
එකල්හි ඒ රජුගේ මල් වූ (බාල සොහොයුරු) භුවනෙකබාහු රජතුමා ඒ පුවත 5 අසා, දඹදෙණි පුරයෙන් නික්ම, බියට පත්ව ආවරණය සහිත යානයකට (දෝලාවකට) නැගී යාපව්ව දුර්ගය වෙත යාමට පිටත් විය. 6 එකල්හි ඒ දුෂ්ට වූ මිත්‍ර නම් සේනාධිපතියා අතින් කලින්ම අල්ලස් ගෙන සිටි යම් පිරිසක් එහි යෙදී සිටියෝ ද, 7 ඔවුහු යම් සේ දෝලාවේ සියලු රැහැන් පටි ආදිය සිඳී යයි ද, එලෙසටම ඒ භූපාලයාණන් ගමන් කළ යානයට කරුණා රහිතව තියුණු ආයුධවලින් බෙහෙවින් පහර දුන්හ.
8 එකල ඒ රජතුමා ඒ යානයෙන් බිමට පැන, බිය රහිත වූයේ, වේගයෙන් කළුගල නම් ගමට පැමිණියේ ය. 9 එහි ඇතුන් බඳිනා ඇත්හලෙන් උතුම් වූ ඇතෙකු ගෙන, ඒ ඇතා පිට නැඟී ගොස්, ඉන්පසු 10 ජලයෙන් පිරුණා වූ කොළබුන් නම් මහා ඔය තරණය කොට 11 යාපව්වට ම ගියේ ය.
12 එකල ඒ මිත්‍ර නම් සෙන්පතියා ද දඹදෙණි පුරයෙහි මහා රජ මාලිගයට පිවිස, එහි වූ යහපත් සිංහාසනයෙහි හිඳ, දුෂ්ට අදහස් ඇත්තේ රාජාභරණයෙන් සැරසී තමන්ව සියලු 13 සේනාවට ප්‍රදර්ශනය කළේ ය. ඉක්බිති ඔහු කෙරෙහි ස්නේහ ඇති යම් ඇමතිවරු වූවාහු ද, 14 එකල ඒ සියල්ලෝ ම රැස්ව ඔවුනොවුන් හා සාකච්ඡා කොට, “ස්වදේශික වූ ද 15 විදේශික වූ ද යන සියලු සේනා කොටස් දෙක ම මනා කොට වැටුප් දීමෙන් 16 සියලු ආකාරයෙන් සංග්‍රහ කරමු” යැයි සිතා, සියල්ලන්ට පළමුව “ඨකූරක” 17 ආදී වූ ආර්ය ක්ෂත්‍රිය යෝධයන්ට වැටුප් දීමට පටන් ගත්හ.
“සෑම 18 කල්හි අපි සියල්ලෝම (රජුන් විසින්) සංග්‍රහ කටයුතු බවට පත් වූවෙමු. එහෙත් නුඹලා 19 විසින් සියලු ආකාරයෙන් සිංහල යෝධයන් නම් වූ කුලී සේනාවන්ම සංග්‍රහ කටයුතු ය; නැවත නැවත සතුටු කටයුතු ය” යැයි පවසා, ඒ ආර්ය ක්ෂත්‍රිය යෝධයෝ සියල්ලෝ 20 එකල වැටුප් භාර නොගත්හ.
“එසේ වේවා” යැයි කියා එකල එහි විසූ සියලු 21 සිංහල යෝධයන්ට වැටුප් දී, ඉන්පසුව ඔවුන්ට (ආර්ය යෝධයන්ට) වැටුප් ගන්නා ලෙස කීහ. ඉන්පසුත් ඒ සියල්ලෝ, “අපට වැටුප් පසුව දෙනු ලැබේවා, මෙවර නොගන්නෙමු” යැයි කියා එය ප්‍රතික්ෂේප කළහ. ඒ සියලු ඇමතිවරුන් විසින් සියලු ආකාරයෙන් නැවත නැවත පඩි ගැනීම සඳහා බලවත් ලෙස පෙරැත්ත කළ කල්හි, 22 ආයුධයෙන් සැදුම් ලත් ඒ සියලු ආර්ය ක්ෂත්‍රියයෝ සත්සියයක් දෙනා, “අපි 23 සියල්ලෝ ම රජු ඉදිරියෙහි කියන්නෙමු ය” යැයි පවසා රජ මාලිගයට ගොස්, එහි සිංහාසනයෙහි හුන් මිත්‍ර සේනාධිපතියා දැක ගෞරව සහිතව 24 මොහොතක් සිටියෝ ය.
ඉක්බිති බිය රහිත සිත් ඇති ඨකූරක නම් යෝධ තෙමේ එකල්හි තම යහළුවන්ට සංඥා දී, තමන්ගේ තියුණු වූ කඩුව 25 ගෙන එකෙණෙහි වහාම ඒ සෙනෙවියාගේ හිස කපා පොළෝ තලෙහි 26 හෙළීය. එකල ඉක්බිති ඒ නගරයෙහි මහා කෝලාහලයක් හටගත් කල්හි, 27 මහත් බල ඇති සියලුම සිංහල යෝධයෝ එක්ව, “කුමක් හෙයින් මේ නොකටයුත්ත නුඹලා 28 විසින් කරන ලද්දේ ද?” යැයි ඨකූරකයා ප්‍රමුඛ වූ ආර්ය යෝධයන්ගෙන් විමසුවෝ ය.
නැවත ඔවුහු, “යාපව්වේ වසන භුවනෙකබාහු රජතුමාගේ 29 නියෝගයෙන් මෙය කරන ලද්දේ ය” යි කීහ. “එසේ වේවා” යැයි කියා ආර්ය සහ සිංහල යන උභය පක්ෂයට අයත් සියලු යෝධයෝ 30 සමගිව, භුවනෙකබාහු නරේන්ද්‍රයන්ව එකල ඒ ශුභාචල පුරයෙන් (යාපව්වෙන්) 31 දඹදෙණි පුරයට වඩා ගෙනැවිත්, ආදර සහිතව ඒ කුමරුව අභිෂේක කළහ.
32 එතැන් පටන් ඒ රජතුමා සියලු ම උභය සේනාව වෙත ධාන්‍ය ආදිය දීමෙන් තමන්ට පක්ෂපාතී කරගෙන, කාලිංගරායරය, චෝඩගංගදේව යනාදී 33 වූ මුහුදු කදලීවාටය, ආපානය, තිපය, හිමියානකය යනාදී ප්‍රදේශවල විසූ සිංහල වන්නි රජුන් ද ධුරයෙන් පහ කොට, ලංකාව සතුරු කටු නැති කොට, අවුරුදු 34 කීපයක් දඹදෙණි නුවර වාසය කොට, ඊට අනතුරුව යාපව් නුවරට 35 ගොස් එහි සෞභාග්‍යයෙන් බබළන අතිශයින් විශාල වූ රාජධානියක් කරවාගෙන එහි වාසය කළේ ය.
36 ඉක්බිති ධර්ම නීතියෙන් ම සියලු ජනයා සතුටු කරන්නා 37 වූ රජ තෙමේ ධාර්මික ද බුද්ධ ශාසනයෙහි මනා පැහැදීම ඇත්තෙක් ද වූයේ ය. ඒ නරේන්ද්‍ර තෙමේ ධර්ම පුස්තකයන් ලියන්නා වූ නුවණැත්තන්ට බොහෝ 38 වස්තු දී, මුළු ත්‍රිපිටකය ම ලියවා, එය ලංකාද්වීපයෙහි ඒ ඒ ප්‍රදේශයෙහි විහාරයන්හි තබ්බවා, ආරක්ෂා කොට ධර්මයේ අභිවෘද්ධිය සිදු කළේ ය.
39 මහීපාල තෙමේ බොහෝ සේ කරන ලද උදාර පූජා සත්කාරයෙන් බබළන 40 වූ, ලෝකයට ශුභ වූ උපසම්පදා මංගල්‍යය කරවා, ලෝවැස්සන් විසින් 41 පිදිය යුතු අග්‍ර මහිම ඇති බුද්ධ ශාසනය විපුලත්වයට ද විශේෂයෙන් 42 දියුණුවට ද පත් කළේ ය. හෙතෙම දිනක් පාසා දළදා වහන්සේ උදෙසා මහ පුදක් පැවැත්වූයේ ය; සිවුපසයෙන් භික්ෂු සංඝයාට ද උපස්ථාන කළේ ය. යාපව් පුර වෙසෙමින් මේ ආකාරයෙන් යහපත කොට, ඒ රජ තෙමේ ද එකොළොස් අවුරුද්දක් රාජ්‍යය කොට දෙව්ලොවට ගියේ ය.
43 සාගතයක් හට ගන්නා කල්හි, පඬිරට පාලනය කරන්නා වූ පස්බෑ (සොහොයුරන් පස්දෙනෙකු වූ) රජ දරුවන් විසින් සේනාව සමග මෙහෙය වන ලද්දා වූ, අනාර්ය 44 නමුදු ‘ආර්ය චක්‍රවර්තී’ යැයි ප්‍රසිද්ධ, ද්‍රවිඩ නායකයෙකු වූ මහත් බල ඇති මහා 45 ඇමතියෙක් තෙම ලක්දිවට බැස, ඒ යාපව් දෙස ඔබ මොබ පැහැර 46 ගෙන, මහා දුර්ගයක් වූ යාපව් පුරයට පිවිසියේ ය. දන්ත ධාතු 47 ස්වාමීන් ද, එහි සියලු සාර ධනය ද ගෙන නැවතී පඬිරටට ම ගියේ ය. හෙතෙම එහි දී පඩි මහරජ පෙළපත නමැති පියුම් පොබයන හිරු වැනි වූ කුලශේඛර රජුට ඒ දන්ත ධාතුව දුන්නේ ය.
එකල බෝසත් විජයබා රජාණන්ගේ පුත්‍ර වූ, ඒ මහත් සෘද්ධි ඇති 48 පරාක්‍රමබාහු මහා රජාණන්ට (දෙවන පරාක්‍රමබාහුට) මුණුපුරු වූ, පරාක්‍රමබාහු (තුන්වන) නම් වූ රජ 49 තෙම ලංකාද්වීපවාසී සත්වයන්ගේ සන්තාප වළකන පිණිස මේඝයක් 50 සෙයින් උතුම් රජුන් අතර ප්‍රධාන වූයේ, සිහිල් සෙවණින් මනරම් වූ 51 සොළොස් කලා පරිපූර්ණ චන්ද්‍ර බිම්බය වැනි වූ ශ්වේත ඡත්‍රය එසවූයේ ය.
ඉක්බිති ඒ තෙමේ තමන්ගේ කුලයෙහි පූජනීය අග්‍ර දේවතාවා වූ, පඬිරටට වැඩම කර ඇති මුනීන්ද්‍ර දන්ත ධාතුව, “ඒ රටින් කවර උපායකින් 52 මෙහි ගෙන එන්නට හැක්කෙම් ද?” යි සිතා, සාමය හැර අන්‍ය වූ උපායක් නො 53 දකින්නේ, දක්ෂ වූ කිසියම් යෝධ පිරිසක් සමග නික්ම ඒ පඬිරට 54 ගොස්, පඬිරජු දැක දවසක් පාසා ඔහු හා ආලාප සල්ලාපයෙන් 55 සතුටු කරවා, ඒ රජු අතින් දන්ත ධාතුව ගෙන නැවත ලක්දිවට අවුත්, 56 පුලස්ති පුරවරයෙහි (පොළොන්නරුවෙහි) පැරණි වූ දන්ත ධාතු මන්දිරයෙහි ඒ දළදාව පිහිටු 57 වූයේ ය. ඉක්බිති ඒ මිහිපල් තෙම ඒ පුරයෙහි වාසය කොට රාජ නීතිය නොඉක්මවා රාජ්‍ය කරන්නට පටන් ගත්තේ ය.
(57 වැනි ගාථාවේ පටන් 63 වැන්න දක්වා ඇතැම් පොත්වල තිබෙන ක්‍රමය මෙසේ යි: ශුභ පර්වත පුරාධීශ්වර (යාපව්වේ අධිපති) වූ භුවනෙකබාහු නරේන්ද්‍රයාගේ පුත්‍ර වූ, භුවනෙකබාහු නම් වූ කුමර තෙමේ ද, අනාගත කාලයෙහි රාජ්‍යයෙහි ලෝභ කරන්නේ යැයි නැවත නැවත සිතන්නේ, කිසියම් කලෙක වනාහි ඒ රජ තෙමේ තමන්ගේ කනිෂ්ඨ භාතා (බාල සොහොයුරා) වූ ද ඒ රාජකුමාරයාගේ ඇස් උපුටන්නට රාජපුරුෂයන් හා කරනවෑමියා මෙහෙයවූයේ ය. කරනවෑමි තෙමේ එ කල ඔහු කෙරෙහි... සතතයෙන් භික්ෂූන් දහසකට දානය පිසීම පිණිස දන් වැට තැබුවේ ය. නරේන්ද්‍ර තෙමේ අවුරුදු පතා රාජාග්‍ර සම්පත්තියට යෝග්‍ය වූ තමන්ගේ ඔටුනු පැළඳීමේ මංගල්‍යය කරවා, ඊට අනතුරුව පොසොන් මස ශ්‍රේෂ්ඨ පූජා පෙරටු වූ උපසම්පදාව පවත්වමින් බුද්ධ ශාසනය බැබළවූයේ ය. බොහෝ අටපිරිකර ද එසේ ම වටිනා සිවුරු ද බොහෝ භික්ෂූන්ට අවුරුදු පතා දෙවූයේ ය.)
58 ඒ නරේන්ද්‍ර තෙමේ දවසක් පාසා දළදා පුද කරන්නේ, අප්‍රමාදයෙන් අතිමහත් වූ පුණ්‍ය 59 රාශියක් රැස් කළේ ය. සිවුරු ආදී පිරිකරවලින් භික්ෂු සංඝයාට උපස්ථාන 60 කොට, ලොවෙහි ශාසනාභිවෘද්ධිය කොට මරණ ප්‍රාප්ත වූයේ ය. ශුභ පර්වත පුරාධිපති (යාපව්වේ රජ වූ) භුවනෙකබාහු නරේන්ද්‍රයාණන්ගේ පුත්‍රයා (කුරුණෑගල) නුවර රජ වූයේ ය. පින් කැමැති වූ දානාදී කුසල්හි ඇලුනා වූ ජනේන්ද්‍ර තෙම 61 නිරන්තරයෙන් භික්ෂූන් දහසකට දානය පිසීමෙහි දානෝපකරණ තැබුවේ ය.
රජ තෙමේ අවුරුද්දක් පාසා රාජාග්‍ර සම්පත්තියට යෝග්‍ය වූ තමන්ගේ මෞලි මංගල්‍යය (ඔටුනු පැළඳීම) කරවා, ඊට අනතුරුව 62 පොසොන් මස ශ්‍රේෂ්ඨ පූජා පෙරටු වූ උපසම්පදා කරවා බුද්ධ ශාසනය බැබළවූයේ ය. ඒ භුවනෙකබාහු නරේන්ද්‍ර තෙමේ ද මේ ආදී නොයෙක් 63 පින් නොයෙක් අයුරින් කොට දෙවැනි වර්ෂයෙහි අනිත්‍ය භාවයට 64 පැමිණියේ ය.
ඒ රජුගේ උතුම් ජාතියෙහි උපන් පුත්‍ර වූ, වික්‍රමාන්විත පණ්ඩිත වූ, ඒ පැරකුම්බා (හතරවන පරාක්‍රමබාහු) කුමර තෙමේ ද ඒ පුරවරයෙහි (කුරුණෑගල) රජ වූයේ ය. රත්නත්‍රයෙහි 65 ප්‍රසන්න වූ ඒ තෙමේ භික්ෂූන් රැස් කරවා නොයෙක් වර උපසම්පදා කරවූයේ ය.
66 ඉක්බිති ඒ නරේන්ද්‍ර තෙම රාජ මාලිගා අංගනයෙහි, බිතු ටැඹින් 67 මනහර වූ, විසිතුරු සිත්කම් ඇති, රන් තොරණින් යුක්ත වූ, රන් 68 දොරබාවෙන් සශ්‍රීක වූ, සිත්කළු තුන් මහල් දළදා මැදුරක් කරවීය. ඉක්බිති එහි විසිතුරු වස්ත්‍රවලින් හා පට පළි ආදියෙන් වියන් බඳවා, නැවතත් එය 69 එල්බෙන සිත්කළු රන් මාලාවෙන් හා එසේ ම රිදී මාලාවෙන් ද මුතු 70 මාලාවෙන් ද සරසා හෙබියා වූ, සේද තිර රෙදිවලින් ප්‍රාකාරයක් බඳවා, 71 යළිත් එහි විසිතුරු රුවනින් බබළන ආසනයන් පනවා, ඒ හාත්පස 72 රන් රිදී කළස් මාලාවෙන් ද සරසා, ඉක්බිත්තෙන් එහි දළදා කරඬුව හා 73 පාත්‍රා ධාතු කරඬුව ආදර සහිතව පිහිටුවා, නොයෙක් මල් සුවඳින් හා සුවඳ දුම් පහනින් බබළන්නා වූ ද, සකල ඛාද්‍ය භෝජ්‍ය ලෙය්‍ය පෙය්‍යයෙන් සාදන ලද්දා වූ ද, 74 පැතිර පවත්නා පංචාංග තූර්ය ශබ්දයෙන් ශෝභමාන වූ ද, නානා ප්‍රකාර ස්තූති පාඨකයන් විසින් අරඹන ලද නෘත්‍ය ගීතයෙන් මනහර වූ ද, ජගදානන්ද කරවූ සර්වඥ ධාතු පූජා මහෝත්සවය දවසක් 75 පාසා මැනවින් පවත්වන්නට ආරම්භ කළේ ය.
නොයෙක් ගම් කෙතින් හා දෑස් දෑසි ආදී වූ ද, ඇත් අස් ගව 76 මහිෂාදී වූ ද (සවිඤ්ඤාණක වස්තුවෙන් ද) ධාතු පූජා කරවූයේ ය. 77 “සකල ලෝකාග්‍ර නායක වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේට යම් වාර චාරිත්‍රයක් ඇති වී ද, එය දන්ත ධාතූන් 78 වහන්සේට මෙතැන් පටන් වේවා” යි සිතා, රජ තෙමේ එය ප්‍රකාශ 79 කරන්නා වූ “දාඨා චරිත” නම් වූ ග්‍රන්ථයක් ස්වකීය බුද්ධියෙන් සිංහල භාෂාවෙන් තනා, ඒ ග්‍රන්ථානුසාරයෙන් ධාතූන් වහන්සේට දවසක් දවසක් පාසා 80 දින චාරිත්‍රය පැවැත්වූයේ ය.
ඉක්බිත්තෙන් ඒ රජ තෙමේ, සොළී රටින් ආ, නානා භාෂාවන්හි විශාරද වූ, තර්ක ශාස්ත්‍රය හා ආගම ධර්මය දත්, මනාව හික්මුණු එක් මහා 81 තෙර කෙනෙක් රාජ ගුරු තන්හි තබා, උන්වහන්සේ වෙතින් සියලු ජාතක කතා නිරන්තරයෙන් අසමින් ඉගෙන, එහි අර්ථ ද ධාරණය කොට, 82 ඊට අනතුරුව ශුභ වූ ඒ සියලු පන්සිය පනසක් ජාතකයන් පාළි 83 භාෂාවෙන් ගෙන සිංහල බසට (සිංහල නිරුක්තියට) ක්‍රමයෙන් පෙරළා, පිටකත්‍රය 84 දත් මහා ස්ථවිරයන් මැද අස්වා පිරිසිදු කොට ලියවා, ලක්දිව සෑම තැන පැවැත්වූයේ ය.
85 යළිත් ඒ ජාතක පොත් ස්වකීය ශිෂ්‍ය පරම්පරාවෙන් ආරක්ෂා 86 කෙරෙමින් පවත්වනු පිණිස ආරාධනා කොට, ප්‍රාඥ වූ මේධංකර නම් 87 එක් ස්ථවිර කෙනකුට භාර දුන්නේ ය. ඒ රජතුමා සිය නාමයෙන් ම පිරිවෙනකුත් කරවා, පරණගම, තැඹිලිහෙල, දෙල්මඩ, මොරවක යන මේ ගම් සතර 88 ද හේ තෙමේ පූජා කළේ ය.
මහා විජයබාහු නරේන්ද්‍රයන් විසින් තොටගමු 89 විහාරයෙහි කරවන ලද සතළිස් පස් රියන් දිගැති ප්‍රාසාදය 90 යම් තැනෙක හාත්පසින් දිරාපත් වී ද, එකල්හි නැවත ඒ පරාක්‍රමබාහු නරේන්ද්‍ර තෙම තිස් රියන් දිග පළල ඇති, උස් කොත් කැරලි ඇති, දෙමහල් දිගු පහයක් කරවා, නානා විධ චිත්‍ර කර්මයෙන් බබළන ඒ පහය එකල 91 විජයබාහු පරිවෙණාධිපති වූ කායසත්ථි නම් පින්වත් මහා ස්ථවිරයන් 92 වහන්සේට පූජා කළේ ය. ගිම් ගඟ (ගිං ගඟ) ඉවුර වෙත පවත්නා වූ සල්ගම 93 නම් වූ එක් ගමක් ඒ පිරිවෙනට අයත් කොට දුන්නේ ය. හේ තෙමේ 94 පන් දහසක් පොල් ගසින් යුක්ත වූ උයනක් මනරම් වූ තොටගමුවෙහි කරවූයේ ය.
95 ඉක්බිත්තෙන් හේ තෙමේ දෙව් නුවර මනෝඥ වූ දොරටු ද්වාරයක් ඇත්තා වූ, දිගු දෙමහල් සිංහ ශයන ප්‍රතිමා මන්දිරයක් කරවා, ඊට වටා පිහිටි ආරාමය ද, ගැටමාන්ත නම් වූ එක් ගමක් ද බුදුන් සතු කොට පිදූයේ ය.
96 මිහිපල් තෙමේ වැලිගම වෙහෙරෙහි තමන් නමින් “පරාක්‍රම භූජ” නම් 97 වූ දෙමහල් දිගු පහයක් මහ සඟ සතු කොට කරවා, ඒ වෙහෙරට ඇල්ගිරි නම් වූ මහා භෝග ග්‍රාමයක් දුන්නේ ය. රත්ගම්පුර සමීපයෙහි 98 යහපත් වූ විදුම්ගම පිරිවෙන්වලින් යුක්ත වූ, බෝ පිළිම මැදුරු සහිත වූ, උතුම් 99 ශ්‍රී ඝනානන්ද නම් වෙහෙරක් කරවා, තමන්ගේ ආචාර්ය වූ සොළී රටින් 100 වැඩි මහ තෙරුන් වහන්සේට දුන්නේ ය.
ඉක්බිති ඒ රජ තෙමේ 101 මායාදුනු නම් සිත්කළු රටෙහි මනා පවුරු දොරටු ඇති අලුත් නුවරක් ගොඩනංවා, 102 එහි ප්‍රාකාර ගෝපුර ද්වාරයන්ගෙන් යුක්ත වූ, උස් කොත් ඇති දෙමහල් දේවාලයක් 103 මනරම් කොට කරවා, එහි උපුල්වන් දෙවි රජුගේ බබළන රූපය පිහිටුවා මහ පුද පැවැත්වූයේ ය. ඒ නරේන්ද්‍ර තෙමේ මේ ආදී මහත් ලෝක 104 ශාසන සංග්‍රහය ද නොයෙක් පින්කම් ද කොට මරහු වසඟ වූයේ ය.
පූර්වයෙහි කරන ලද පින් බල සහිත වූ හේ තෙමේ, ලද්දා වූ අසාර ධනයෙහි ලෝභය හැර, ආත්මාර්ථ ආදියෙහි ඇලුනේ, සියලු කුසල් කළේ ය. ශ්‍රද්ධාව ධන කොට ඇත්තා වූ සාධු ජනයෙනි, ආත්මාර්ථය හා ස්වකීය අනිත්‍යතාව ද සිතා දාන ශීල ප්‍රමුඛ වූ පුණ්‍ය කර්මයන් කරගනිව්.
105 ඒ රජුගේ ඇවෑමෙන් වන්නි භුවනෙකබාහු නම් නරේන්ද්‍ර තෙම රජ වූයේ ය. ඒ රජු ඇවෑමෙන් මහ බලැති ජයබාහු රජ තෙම වූයේ ය. මේ රජ දරුවන් ඇවෑමෙන් මහවැලි ගඟ සමීපයෙහි මනරම් වූ ගඟසිරිපුරයෙහි (ගම්පොළ) 106 මහා ප්‍රඥා සම්පන්න ශ්‍රද්ධා ඇත්තා වූ, යහපත් ගුණයන්ට ආකරයක් වූ 107 භුවනෙකබාහු නම් වූ (හතරවන) මහීපාලයෙක් තෙම වූයේ ය.
ඒ රජුගේ හතර 108 වෙනි වර්ෂයෙහි සර්වඥයන් වහන්සේගේ පිරිනිවී මෙන් එක්දහස් අටසිය අනු හතර (1894) අවුරුද්දක් ඉක්මී ගියේ යැයි ක්‍රම දන්නාහු විසින් දත යුත්තේ ය. පූර්වයෙහි නරෝත්තමයෝ (උතුම් මිනිසුන්) දුකසේ ලැබිය යුතු වූ අතිශයින් දුර්ලභ වූ බුද්ධ කාලය ලැබ, නිරන්තරයෙන් ප්‍රමාද රහිත වූවෝ දානාදී වූ නොයෙක් කුසල් කළෝ යැයි දැන, තොප ද මනාකොට සියලු කුසල් කරව්.
109 මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයෙහි විජයබාහු ආදී අට රජුන් දැක්වීම නම් වූ අනූවන අධියර නිමි.