1-3 ඉන්පසුව ඒ රජතුමා, තමන් උපන් සශ්‍රීක වූ සිරිවර්ධන නම් අසමසම නුවරෙහි, විශාල මණ්ඩපයකින් යුක්ත වූ ද, උස් වූ පවුරු සහ තොරණින් ද, බෝධි චෛත්‍ය හා ආරාම ප්‍රතිමා ගෘහයන්ගෙන් ද සැදුම් ලද්දා වූ ද, නන්විධ විසිතුරු කමින් යුක්ත වූ, මහා සම්පත් ඇති සුවිශාල වෙහෙරක් කරවීය. 4-7 පසුව දඹදෙණි (ජම්බුද්‍රෝණි) නුවර පටන් සිරිවර්ධන නුවර දක්වා දිගින් හා පළලින් අඩ යොදුනක් (පොත්වල අට යොදුනක් කියා ද සඳහන් වේ) හා ඉස්බක් පමණ වූ මාර්ගය, බෙරයක මුහුණත මෙන් සමතලා කළා වූ පොළොවක් ඇති, මනහර වූ, නොකඩවා මෘදු සුදු වැලි ඇතිරූ, ඔසවන ලද නොයෙක් ධජ පතාකයන්ගෙන් හිරු රැස් ආවරණය කළා වූ ද, කෙසෙල් ගස් පෙළින් යුක්ත වූ පුෂ්පාලංකාර දරන්නා වූ වීථියක් බවට පත් කළේය.
8-9 චිත්‍ර කර්මයෙන් මනහර වූ, අනේකවිධ පුර පිරූ කලසින් දෙපස අලංකාර කළා වූ මේ විශාල මාර්ගයෙහි අතරින් පතර පස් රියන් දිග ඇති තැන්වල එක එක බැගින් රාජ තොරණ ද, දස රියන් දිග ඇති තැන්වල එක එක බැගින් පට (රෙදි) තොරණ ද ඉදිකරවන ලදී. 10 සියයක් රියන් ඇති තැන්වල විසිතුරු වූ සිතුවමින් නිමවන ලද, උස් වූ කොත් කැරලි ඇති, තුන් මහල් වූ බුදු පිළිමයෙන් යුක්ත වූ මහ පහ (ප්‍රාසාද) එකක් බැගින් නර ශ්‍රේෂ්ඨ රජතුමා කරවීය.
11-12 පසුව වෙහෙර පවුරු මඬුලු හාත්පස, අනේක වූ සිතුවමින් මනහර වූ, සුරේන්ද්‍රයාගේ (ශක්‍රයාගේ) දේදුන්නට අපහාස කරන්නාක් බඳු වූ තොරණින් ද, පිරුණු සඳ මඬුලු බඳු සේසතින් ද අලංකාර කරවීය. 13-16 අහස් කුස නටන දිව්‍ය නාටකයන් බඳු මනහර වූ නානා රූපධර වූ පසු පැහැ ඇත්තන්ගෙන් ද, දෙව්ලොවෙන් පැමිණියා වූ නොයෙක් විමාන පෙළ බඳු කාන්ති ඇති නිරන්තරයෙන් බබළන්නා වූ මිණි මඬු පෙළින් ද, සේසත් ගෙන පේළි සැදී නටන්නා වූ මැණික් මෙන් බබළන කාන්තාවන්ගෙන් ද, යන්ත්‍රයෙන් නිමවන ලද මනහර වූ බඹරු වළලු වලින් ද එය සරසන ලදී. 17-19 හිසෙහි ඇඳිලි බැඳගෙන ඔබමොබ හැසිරෙන සක්‍රයා වැනි වූ, නන් වන් දරණ යන්ත්‍ර රූපවලින් කළා වූ දේව රූපයෙන් ද, මහ මුහුදේ මනාව නැඟුණා වූ රළ පෙළ බඳු කාන්ති ඇති ඒ ඒ තැන දුවන්නා වූ යන්ත්‍රයෙන් කරන ලද අශ්ව රූප වළලු වලින් ද, පොළෝ තලයට බට මේඝයන් දෝයි සැක උපදවන්නා වූ හස්ත්‍යාලංකාර දරන යන්ත්‍රමය ඇතුන්ගෙන් ද යන මේ ආදී වූ ලෝකයාට ආනන්දය ගෙන දෙන්නා වූ නන් වැදෑරුම් සියලු පූජා වස්තුවෙන් වෙහෙර මනාව අලංකාර කළේය.
20-24 නැවතත් ඒ රජතුමා, මේ වෙහෙරින් බැහැර හාත්පස ගවු ගවු ප්‍රමාණ තැන්වල ඉඩක් නොමැතිව පිරී සිටින ලෙස ලක්දිව වැසි ජනයාට ද, සාධු නාද පවත්වන සම්බුදු ගුණ කියන්නා වූ භික්ෂූන් වහන්සේලාට ද, බුදු මඟුල් කටයුතු හා පුද මල් ආදිය දරන්නා වූ සාමණේරයන්ට ද, එසේම උපාසිකා උපාසකයන්ට ද, පූජා වස්තු ඔසවා ගත්තා වූ සියලු අලංකාරයෙන් හෙබි තෙරුවන් ගුණ දන්නා වූ අන්‍ය වූ සියලු නර නාරීන්ට ද (පැමිණෙන ලෙස) නියෝග කළේය. 25-26 පසුව මිහිපල් තෙමේ ද සියලු ආභරණයෙන් සැරසුණේ, සිව් රඟ සේනාව සමඟ ශ්‍රද්ධාවෙන් මෙහෙයවන ලද්දේ, සියලු රථ අලංකාරයෙන් සරසන ලද මහාර්ඝ රථයක ඒ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ යන දෙනම වඩා හිඳුවා ගත්තේය.
27-29 පසුව රන් කොඩි ද එසේම රිදී කොඩි ද, රන් කලස් ද එසේම මනා වූ රිදී කලස් ද, රන්වන් මනෝහර වූ රන් විජිනි (වටාපත්) සහ රිදී විජිනි ද, රන් පොකුණු හා එසේම රිදී පොකුණු ද, රනින් නිමවන ලද්දා වූ ද රිදියෙන් නිමවන ලද්දා වූ ද පුන් කලස් යන මේ ආදී වූ නානා විධ පූජා භාණ්ඩයන් පෙරටු කොට ඒ මිනිසුන් ලවා පේළි සැදී පිටත් කරවීය. 30-32 එකල්හි ඒ රජතුමා පසුපසින් ගොස්, පංච තූර්ය වාදනයෙන් ද මහත් වූ පූජා ඝෝෂාවෙන් ද අලංකෘත වූ ඒ වීථිය ඔස්සේ ක්‍රමයෙන් ශ්‍රී වර්ධන නම් නුවරට දළදා වහන්සේ වැඩමවාගෙන ගොස්, ඒ වෙහෙර මැද වූ මහත් මැණික් මණ්ඩපයක පනවන ලද බුද්ධාසනයක් මත ඉතා සාදරයෙන් ඒ ධාතු ද්වය වඩා හිඳුවා, ඒ ඒ මිනිසුන් ලවා පූජා කරවීමට ආරම්භ කළේය.
33-35 එකල පින් කැමති සියලු ජනයෝ ආභරණයෙන් සැරසුණෝ, පෙරවරුවෙහි දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රන් මල් හා මිශ්‍ර වූ වර්ණ ගන්ධාදියෙන් හොබනා දෑසමන්, සපු, නා ආදී වූ පුෂ්ප රාශියකින් භක්තියෙන් පිදූහ. 36 බොහෝ කලක් ගෙන එන ලද, මහා රජුගේ යශෝරාශියේ විලාසය ඇති සුවඳ හැල් බත් සම්බන්ධ වූ බොහෝ බත් රාශියකින් ද පිදූහ; මනාව ඉදුණු සුවඳ ඇති යහපත් වර්ණයෙන් යුක්ත ඉතා මිහිරි වූ කෙසෙල්, පනා, අඹ ආදී ඵල වර්ගයන්ගෙන් ද පිදූහ. 37-39 ඉක්බිති ඒ රජතුමා මේ අයුරින් ම හික්මුණේ, උතුම් ධාතු ද්වය නානාවිධ පූජාවෙන් පූජා කොට, ඉන්පසු ආහාර පානයෙන් ද ඛාද්‍ය භෝජ්‍යයෙන් ද එසේම ලෙය්‍ය පෙය්‍යයෙන් (ලේහ හා පානය කළ යුතු දෙයින්) ද සාදරයෙන් භික්ෂු සංඝයාට උපස්ථාන කළේය.
40-42 පසුව ඒ මිහිපල් තෙමේ එකල්හි ඉතා සතුටු සිත් ඇත්තේ නොයෙක් සිය ගණන් භික්ෂූන්ට අටපිරිකර දුන්නේය. පසුව හෙතෙම තුන්යම් රාත්‍රිය මුළුල්ලේ වෙහෙර වටා සුවඳ තෙලින් දල්වන ලද පහන් ලක්ෂ කෝටි ගණනින් ද, මනෝහර වූ යොදන ලද නොයෙක් කපුරු පහන් මාලාවන්ගෙන් ද තරු නැඟි අහස මෙන් සියලු පොළෝ තලය ආලෝකවත් කළේය.
43-46 ඒ ඒ තැන උතුම් රඟ මඬුලු බැඳගෙන නානා ආකාර වෙස් ගෙන නොයෙක් නැටුම් පවත්වන්නා වූ නැට්ටුවන්ගේ ද, නන් ගී ගයන්නවුන්ගේ ද නන් වැදෑරුම් නැටුමෙන් හා මිහිරි ගීයෙන් සිත්කළු වූ පාරාදාරයාගේ (??) ඝෝෂාව දුරු කරවීය; මෙහි පණ්ඩිත වූ ද ලජ්ජා කරන ලද නොයෙක් මේඝ ගර්ජනා ඩම්බර ඇත්තා වූ ද, සිය පින් මහ මුහුදේ රළ හඬ වැනි පංච තූර්ය නාදයෙන් වඩනා ලද්දා වූ ශ්‍රද්ධාවන්තයන්ගේ හඬ ද එහි පැතිර ගියේය. 47-51 සාදරයෙන් ඒ ඒ තැන පනවන ලද විසිතුරු විජිනි (වටාපත්) ගෙන බණ අසුන්වල හිඳ අසන්නවුන්ගේ සිත් ඇදගන්නා ලෙස සදහම් දෙසන්නා වූ ධර්ම කථිකයන්ගේ දහම් ඝෝෂාවෙන් ශබ්ද කරන ලද්දා වූ ද, “බුදුහු ආශ්චර්යයි, ධර්මය ආශ්චර්යයි, සංඝයා ආශ්චර්යයි” කියමින් නිරන්තරයෙන් සාධු නාද පෙරටු කොට තෙරුවන් ගුණ කියාගෙන අනුමෝදනා කරමින් ඒ ඒ තැන ඇවිදින්නා වූ සිව් වණක් පිරිසගේ සාධු නාදයෙන් බබළන්නා වූ ද, ඒ ඒ දිශාවල නිරතුරු සිටිමින් ආනන්ද ජනක විධානයෙන් පිහිටුවූ, බුද්ධ ශාන්තිය කරන්නා වූ, නන් අබරණ පැළඳි බලි භෝජක ජ්‍යෙෂ්ඨයන් විසින් (දෙවියන් හෝ ප්‍රධානීන් විසින්) දකින ලද්දා වූ ද බුදු පුදක් මිහිපල් තෙමේ පැවැත්විය.
52-56 මිහිපල් තෙමේ, “දෙව්ලොව සුරේන්ද්‍ර තෙමේත් බුදු පුද මෙසේ කෙරේය” යි ඒ මෙහිදී දක්වන්නාක් මෙන් ද, ලක්දිව නායක මහ ඉර්ධි ඇති පෙර රජ දරුවෝත් මෙසේ ම බුදු පුද කළහ යි එය එසේ ම දැන් සිංහල වාසීන්ට දක්වන්නා මෙන් ද, සර්වඥයන් වහන්සේගේ පාරමී කල්ප ලතාවෙහි ඵල මෙබඳු යයි සියලු මිනිසුන්ට කියන්නෙකු මෙන් ද මෙබඳු වූ තෙරුවන් උදෙසා කළ මහා පූජාවක් සතියක් මුළුල්ලේ පැවැත්විය. පසුව ඔහු ඒ මහා වෙහෙර සාංඝික කොට මහා සඟනට දී පින් හා කීර්තිය පිරුවේය.
57-59 ඉක්බිති රජතුමා සිය නමින් ‘පරාක්‍රමබාහු’ නම් වූ උස් ප්‍රාසාදයෙන් හෙබියා වූ පිරිවෙණක් කරවා, නානා කල්පීය භාණ්ඩ (කැප වූ භාණ්ඩ) හා බොහෝ ආදායම් උපදින ගම්වර ද ඒ වෙහෙරට දී මහා පූජාවක් කරවීය. 60-63 ඒ රජතුමා සිය නමින් ම තමන්ගේ යුව රජු ලවා බෙලිගල් වෙහෙරෙහි ‘භුවනෙකබාහු’ නම් වූ ප්‍රාසාද මණ්ඩපාදියෙන් හෙබියා වූ පිරිවෙණක් කරවා, ඒ ශ්‍රී වර්ධන නම් පුරයෙහි කී ක්‍රමයෙන් සියලු පූජා වස්තුවෙන් ආදර සහිතව සත් දවසක් තෙරුවන්ට මහ පූජා පැවැත්විය. නැවත ද ඒ රජතුමා සෙනෙවි රජු ලවාම හස්තිශෛල පුරවරයෙහි (කුරුණෑගල) සිය නමින් මහ වෙහෙරක් කරවා පසුව එම පූජා පවත්වා පින් රැස් කළේය.
64-67 යටාලතිස් රජු විසින් උතුම් කැලණි නුවර පූර්ව කාලයෙහි කරවන ලදුව දිරා ගිය පස් මහල් ප්‍රාසාදය බොහෝ කොට ජීර්ණ විශෝධනය කරවා (පිළිසකර කරවා), පසුව බදාම කර්මාන්ත විධානයෙන් නැවත ප්‍රකෘතිමත් (පෙර තිබූ තත්වයට පත්) කළේය; එහි ම මුනි රජුන්ගේ ඔත් පිළිම ගෙය (සැතපෙන පිළිම ගෙය) ද එසේම ත්‍රිවංක පිළිම ගෙය ද නැවත සකස් කළේය. 68-69 මිහිපල් තෙමේ කැලණි පුරයෙහි ම දිගු පුළුල් සිව් රැස් වූ ඒ මහා සෑ මළුව මහත් ගලින් මනාව සමතලා කොට අතුරා, ඉන්පසු ඉදිරියෙහි ම මහ මඩුවක් ද මනාව කරවීය.
70-72 ඉක්බිති මහත් භක්ති ඇති මිහිපල් තෙමේ එම වෙහෙරෙහි දී නොයෙක් වර සතුටු කරන ලද මහජනයා ඇතිව, උසස් වූ නොයෙක් මල්, පහන්, බත් පූජාවෙන් ද බෝධි චෛත්‍ය සම්මුඛ පූජා කොට පින් ලැබුවේය. පසුව ද ඒ රජ තෙමේ ඒ විහාරයට දවස් පතා පහන් පූජා පැවැත්වීම පිණිස ඊට ආසන්න ප්‍රදේශයේ මනෝරම්‍ය වූ සශ්‍රීක මහ පොල් උයනක් සිය නමින් කරවා පූජා කළේය.
73-77 ඉක්බිති රාජෝත්තම මිහිපල් තෙමේ අත්තනගලු නම් විහාරයෙහි, ඒ සිරිසඟබෝ රජතුමා යම් තැනක දිළින්දාට ශීර්ෂ දානය දුන්නේ ද, එකල්හි එතැන ගෝඨාභය (ගොළු අබා) නම් මිහිපල්හු විසින් දෙමහල් ඇති යම් වටදාගෙයක් කරන ලද ද, එය උස් වූ රන් කොත් කැරලි ඇති තෙමහල් පායක් කොට නැවත කරවීය. එම අත්තනගලු වෙහෙරෙහි තමාගේ පිය රජුගේ (විජයබාහු රජුගේ) ශරීරය තැන්පත් කළ ස්ථානයෙහි උතුම් සෑයක් කරවීය; එහි ම නැවත අටැස් (අෂ්ඨාස්‍ර) පිළිම ගෙයක් කරවා එහි ශෛලමය සම්බුදු පිළිමයක් තැබ්බවීය.
78-82 සුගත් ලෝනා සම බුදුන් ජීවමාන කල එම බුදුහුගේ උතුම් මහා පාංශුකූල චීවර දායාදය ද ලැබ, උන් වහන්සේගේ ඇවෑමෙන් යමෙක් ධර්ම රාජ්‍යය ගෙන පරිපාලනය කළේ ද, සම්බුද්ධ පුත්‍ර වූ ඒ මහා කාශ්‍යප (මහසුප්) තෙරුන්ගේ එක් දළදාවක් පූර්වයෙහි කාල ක්‍රමයෙන් ම ලක්දිවට පැමිණියා වූවා, පස් යොදුන් රට (පස්දුන් කෝරළයේ) බෙන්තොට විහාරයෙහි දැනුදු සිටින්නේ ය යනු අසා මහාධ්‍යාසය ඇති ඒ රජ තෙමේ ඒ තෙරුන් කෙරෙහි හටගත් භක්ති ප්‍රේම සහ ඉතා ගෞරව ඇතිව සිවුරඟ සෙනඟින් පිරිවරා ගන්නා ලද්දේ ඒ මහා විහාරයට ගියේය. 83-84 එහිදී ඒ උතුම් දළදාව දැක මනෝඥ වූ සුවඳ ඇති අත්තන මල් වර්ගයෙන් ද, එසේම පහනින් හා සුවඳ දුමින් ද, බත් රැසින් ද තෙදිනක් සාදරයෙන් සතුටු වෙමින් ධාතු පූජා පැවැත්විය.
85-87 ඉක්බිති “පුණ්‍යාකර වූ දේව නගර (දෙවිනුවර) පුරවරයෙහි දැන් උපුල්වන් දෙවි (විෂ්ණු) නම් දිව්‍ය රාජයාගේ මන්දිරය බොහෝ කලකට පෙර කරන ලද්දක් බැවින් හාත්පසින් දිරා ඇත්තේ වෙයි” යැයි මිහිපල් තෙමේ අසා, ඒ උතුම් නුවරට ගොස් එහි දිව්‍ය රාජ භවනය ශක්‍ර භවනය මෙන් අලුත් කොට මනාව කරවා සර්ව භෝගයන්ගේ ගෘහයක් බවට පත් කළේය. 88-89 ඉක්බිති නරෝත්තම තෙමේ ඒ නුවර දෙව් නුවරක් මෙන් සොඳුරු වූ සියලු සම්පතින් සම්පූර්ණ කරවීය; පසුව ඒ නුවර දිව්‍ය රාජයාට අවුරුදු පතා ඇසළ පෙළහර පවත්වන්නට නියෝග කළේය.
90-93 ඉක්බිති මහ රජ තෙමේ ජම්බුද්‍රෝණි (දඹදෙණි) පුරෝත්තමයට ම පෙරළා අවුත්, පිය රජු විසින් කරවන ලද ‘විජය සුන්දර’ නම් වූ විහාරය හාත්පස උස් වූ ප්‍රාකාර සහ ගෝපුරයන් කරවා, පසුව එහි තෙමහල් දා ගෙයක් (ධාතු මන්දිරයක්) අභිනවයෙන් කරවා, එහි මහර්ෂිහුගේ දන්ත ධාතුව මහාර්ඝ උස් පලඟෙක වඩා හිඳුවා, සියලු සම්පත් සිද්ධ කරන්නා වූ තෙරුවන් විෂයෙහි මහා පූජාවක් පෙර කී ක්‍රමයෙන් ම සත් දිනක් පැවැත්විය.
94-96 ජීවමාන ශාස්තෘන් වහන්සේගේ රූපය බඳු වූ සිත්කළු වූ එක් සුගත් රුවක් දවස් පතා දකිනු කැමති ඒ නර ශ්‍රේෂ්ඨ තෙමේ, නන් රුවනින් යුත් මහ රුවන් සක්මනක සක්මන් කරන්නා වූ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ බඳු අතුල්‍ය බුදු රුවක්, මහත් වූ විසිතුරු වස්ත්‍රයක දක්ෂ චිත්‍රකාරයන් ලවා ලියවීය (අඳින ලදී). 97-98 පසුව මහා යසස් ඇති ඒ රජ තෙමේ ලක්දිව වැසි සියලු භික්ෂු සංඝයා ද මහජනයා ද එක් කොට පූර්වයෙහි ශ්‍රී වර්ධන නගරවරයෙහි පැවසූ ආකාරයෙන් මහත් බුදු පෙළහරක් සත් දිනක් පැවැත්විය.
99-102 ඉක්බිති කඨින දානයෙහි ආනිශංස අචින්ත්‍ය යැයි අසා පහන් සිත් ඇති මහරජ තෙමේ එකල්හි, “පරතෙර නැති බියකරු සසර මහ මුහුද තරණයට එක් හෙයක් (ඒ දණ්ඩක්) බඳු වූ, ලෝ වැස්සා විසින් සත්කාර කරන ලද ශාක්‍ය කුලයට එක් කොඩියක් බඳු වූ, මුනි රාජයන් වූ ශාස්තෘ වූ ලෝක ස්වාමි වූ ඍෂි වූ වශී වූ ලෝක බන්ධු වූ සූර්ය බන්ධුහුගේ මහානුභාව සම්පන්න අසූ මහ සව්වන් උදෙසා, මම ඒ කී උතුම් ‘අසූ මහා කඨිනයක්’ දෙන්නෙමි” යි මෙසේ සිතුවේය.
102-104 නුවණැති රජ තෙමේ ලක්දිව වැසි සියලු නර නාරි ජනයා රැස් කොට, ඒ සියල්ලන් ලවා කපු සකස් කිරීම් ආදී සියලු සිවුරු කර්මාන්තයන් ද වහා එක් දවසින් ම කොට නිම කරමින්, කැප වූ සියලු ගරු භාණ්ඩයන් විසින් පිරිවරන ලද අසූ කඨින පූජාවක් හෙතෙම දුන්නේය. 105-107 දන් දීමෙහි විශාරද වූයේ ඒ සියල්ල සම්පාදනය කරවා තාම්‍රපර්ණී (ලංකා) දිවයින් වැසි සියලු තෙරුන්ට දී අසූ මහ සව්වන් වහන්සේලාට වෙන් වෙන් කොට ඒ දවස්හි ම අසූ මහ පුදක් ද කරවීය. මෙසේ ම නොයෙක් වර ඒ තෙමේ බොහෝ කඨිනයන් මහ සඟනට දී මහ පින් වැඩුවේය.
108-110 ඉක්බිති ඉතා ප්‍රසන්නතර අදහස් ඇති ඒ රජ තෙමේ නොයෙක් වර ”ලක් රජයෙන් සම්බුදුන් පුදමි” යි සිතා, තමාගේ රාජ භවනය දේවේන්ද්‍ර භවනය සෙයින් සරසා, පුරය ද දෙව් පුරය සෙයින් සකස් කොට සාදා, පසුව ඒ රජගෙහි මහාර්ඝ සිංහාසනයෙහි මහර්ෂිහුගේ දළදා ස්වාමීන් වහන්සේ වඩා හිඳුවීය. 111-117 නොයෙක් සෙමරින් (චාමර) සහ කුඩවලින් ද, නොයෙක් රුවන් ඔටුන්නෙන් ද, නන් අබරණ හා වස්ත්‍රවලින් ද, නන් රුවන් රැසින් ද, නානා ඇතුන් හා නානා අශ්වයන්ගෙන් ද, නොයෙක් පදික සේනා හා රථයෙන් ද, නොයෙක් බෙර හඬින් හා නොයෙක් සක් හඬින් ද, නොයෙක් ධජ පතාක හා නොයෙක් කෙසෙල් ගස් පේළිවලින් ද, නොයෙක් කිරිබත් ආදියෙන් ද, නොයෙක් පුෂ්ප වෘක්ෂයෙන් ද, ඉතා අගනා ගඳ මලින් හා ඉතා අගනා අවුළු (කැවිලි) ජාතියෙන් ද, ඉතා අගනා පහන් දුම් හා සුවඳින් ද යන මේ ආදී රාජාර්හ වූ නොයෙක් වර්ගයෙහි සියලු වස්තුවෙන් සාදර කොට ලක්දිව වැසි මහා භික්ෂු සංඝයා කැටි කොට (එක්රැස් කොට) සත් සියයක් මහා පුද පැවැත්විය.
118-121 ඉක්බිති රාජ ශ්‍රේෂ්ඨ තෙමේ චතුරංගනී බලසේනා සමඟ සමන්ත කූට (සමනල) පර්වතයට ගොස්, එහි දේවාතිදේව වූ ධර්මරාජයන් වූ ශාස්තෘන් වහන්සේගේ දිව්‍යාදීන් විසින් වැන්ද යුතු වූ ඒ ශ්‍රී පාද ලාංඡනය වැඳ, ඒ ගිර (කන්ද) හාත්පස දස ගවු පමණ තැන් නන් රුවනින් සපිරුණු නර නාරීන්ගෙන් ගහණ වූ දනව්ව භක්තියෙන් ඒ ශ්‍රී පාදයට පූජා කොට නැවතත් එය රුවන් අබරණින් ද පිදීය.
122 මෙසේ බුදුන් කෙරෙහි සැදැහැ ඇති නුවණැති රජ තෙමේ, සසර කතර තරණයෙහි ඒ දණ්ඩක් බඳු වූ ද, දෙව්ලොවට නැගෙන ඉණිමගක් බඳු වූ ද උස් උස් සියලු පින් රැස් කළේය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයෙහි ”විවිධ කුසල කරණ” නම් වූ අසූ පස්වන අදියර නිමි.