ඒ විජය මහරජතුමා තමාගේ ජීවිතයේ අන්තිම කාලයෙහි පසුවෙද්දී, 1 “මම දැන් මහලු වියට පත්ව සිටිමි. මට පුතෙක් නැත්තේය. ඉතා දුකසේ පිහිටුවන ලද මේ රට මාගේ ඇවෑමෙන් 2 විනාශ වී යනු ඇත. එහෙයින් රජකම පිණිස මාගේ බාල සොහොයුරු සුමිත්ත කුමාරයා 3 ගෙන්වා ගන්නෙමි,” යයි මෙසේ සිතුවේය.
ඉක්බිති රජතෙමේ ඇමතිවරුන් හා සාකච්ඡා කොට එරටට හසුන්පත් යැවුයේය. විජය රජතුමා හසුන් දී නොබෝ කලකින් මරණයට පත්ව දෙව්ලොව ගියේය.
4 ඔහු මළ කල්හි, ඒ ඇමතිවරු රජ කුමරෙක් එනු බලාපොරොත්තුවෙන් උපතිස්ස 5 ගමෙහි වාසය කරමින් රට පාලනය කළෝය. විජය රජු මළ කල්හි රජ 6 කුමරුවෙකු පැමිණීමට පෙර එක් අවුරුද්දක් මුළුල්ලේ මේ ලක්දිව අරාජක විය.
7 ඒ සිංහපුරයෙහි සිංහබාහු රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් සුමිත්ත කුමරු රජ විය. 8 මදු රජුගේ දියණිය වූ මෙහෙසියගෙන් ඒ සුමිත්ත රජුට පුතුන් තුන් දෙනෙක් උපන්හ. ලක්දිවෙන් ගිය දූතයෝ සිංහපුරයට ගොස් රජතුමාට හසුන්පත් දුන්නෝය. ඒ රජතෙමේ හසුන් අසා පුතුන් තුන් දෙනා කැඳවා මෙසේ කීවේය:
“දරුවෙනි, මම දැන් මහලු වෙමි. 9 ඔබ අතරින් එකෙක් මාගේ සොහොයුරා සතු වූ, නොයෙක් ගුණ ඇති, සිත්කලු වූ ලංකාවට යේවා. තවද ඔහුගේ ඇවෑමෙන් එහිම රජකම් කිරීමද 10 ඉතා යෝග්‍ය වන්නේය.”
එවිට සියල්ලන්ටම බාල වූ පණ්ඩුවාසදේව නම් රාජ කුමාරයා “මම යන්නෙමි” යි සිතා, ගමන සැපවත් වන බව දැන, පියාණන් විසින් අනු 11 දන්නා ලද්දේ, පරිබ්‍රාජක වෙස් ගෙන තවත් ඇමති පුත්රයන් දෙතිස් දෙනෙකුද කැටුව නැව් නැංගේය. ඔවුහු මාකඳුරු ගඟ හෝ මාඔය මෝයෙහි වූ 12 කම්මල්තොටට (ගෝණගමක පට්ටනට) ගොඩ බැස්සෝය. ජනයා ඒ පරිබ්‍රාජකයන් දැක මැනවින් සත්කාර කළේය.
13 මෙහි නුවර කොහිදැයි විචාරා ක්‍රමයෙන් ගමන් කරන්නා වූ ඔවුහු, දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබන්නාහු උපතිස්ස ගමට පැමිණියෝය. එහිදී ඇමති මණ්ඩලය විසින් අනුමත කරන ලද්දා වූ එක් ඇමතියෙක්, බැහැරින් පැමිණි නිමිති කියන පාඨකයෙකු අතින් 14 ක්ෂත්‍රියයන්ගේ පැමිණීම ගැන විචාළේය.
ඒ නිමිති පාඨක තෙමේ විචාළා වූ ඇමතියාට පිළිතුරු දෙමින්, “සත්වන දවස්හි ක්ෂත්‍රිය කුමරෙක් එන්නේය, 15 මොහුගේ වංශයෙහි උපන් අයෙක් අනාගතයෙහි බුදු සසුන පිහිටුවන්නේය,” යයි පවසා කරුණු 16 විසඳුවේය.
ඒ ඇමතිවරු සත්වන දවස්හිම එහි පැමිණි පරිබ්‍රාජකයන් 17 දැක, කරුණු විචාරා දැනගෙන, ඒ පණ්ඩුවාසදේව රජු ලක් රජයෙහි පිහිටුවූහ. එහෙත් මෙහෙසියක් නොමැති බැවින් ඒ කුමරයා ඒ තාක් අභිෂේක මංගල්‍යය සිදු නොකළේය.
අමිතෝදන 18 ශාක්‍ය රජතුමාට පණ්ඩු ශාක්‍ය නම් පුත්‍රයෙක් විය. ඒ තෙමේ ශාක්‍යයන්ගේ පරිහානිය දැක, තම පිරිස රැගෙන අප්‍රසිද්ධ වේශයෙන් ගංගා නම් 19 ගඟින් එතෙරට ගොස්, එහි නුවරක් ඉදිකොට රජකම් කරන්නේ දරුවන් සත් දෙනෙකු 20 ලද්දේය.
ඔහුට භද්දකච්චානා නම් වූ, සියලු ස්ත්‍රී ලක්ෂණයෙන් යුක්ත වූ, ජනයා විසින් ඉතා ප්‍රිය කරන ලද, මනා රූ ඇති, බාල දියණියක්ද වූවාය. 21 ඇය සරණ පාවා ගැනීම පිණිස රජ දරුවන් සත් දෙනෙක් ඒ රජුට ඉතා වටිනා පඬුරු එවූහ.
ඒ පණ්ඩු ශාක්‍ය තෙමේ වනාහි ඒ රජවරුන්ගෙන් ඇති විය හැකි අනතුරු ගැන බිය වූයේ, එහෙත් මෙම ගමන සුවදායක බවත් අභිෂේකයේ ඵල ඇති බවත් දැන, 22 ගැහැණුන් දෙතිස් දෙනෙකු සමඟ ඇය වහා නැව් නංවා, “පොහොසතෙක් (භාග්‍යවන්තයෙක්) මාගේ දියණිය අල්වා ගනීවා” යි කියා ගංගා නම් ගඟට 23 බටහළේය.
ඒ අනික් රජ දරුවන්ට ඇය අල්වා ගත නොහැකි විය. වේගයෙන් ගමන් කළ ඒ නෞකාව දෙවෙනි දවස්හිම ලංකාවේ ගෝණගම් පටුනට (ගෝණගමක පට්ටනට) පැමිණියාය. 24 පැවිදි වෙස් ගත් ඒ සියල්ලෝ එහි ගොඩ බැස්සෝය. මෙහි නුවර කොහිදැයි විචාරා ක්‍රමයෙන් පැමිණෙන්නා වූ ඔවුහු, දෙවියන් විසින් රක්නා ලද්දාහු උපතිස්ස 25 ගමට පිවිසියහ.
නිමිති ශාස්ත්‍රය හැදෑරූ අයගේ බස් අසා සිටි ඇමතියා, එහි පැමිණියවුන් දැක, 26 ඔවුන් හඳුනාගෙන රජතුමාට භාර කළේය. මනා නුවණැති ඒ 27 ඇමතිවරු, සම්පූර්ණ වූ සියලු මනෝරථ ඇති ඒ පණ්ඩුවාසදේව කුමරුන් රාජ්‍යයෙහි අභිෂේක කළෝය.
28 පණ්ඩුවාසදේව රජතුමා, කිසිදු දෝෂයක් නැති රූප සම්පත්තියෙන් යුතු යහපත් වූ භද්දකච්චානා කුමරිය තමාගේ මෙහෙසි බවෙහි අභිෂේක කොට, ඒ බිසව සමඟ පැමිණි කාන්තාවන් තමා සමඟ පැමිණි පිරිසට පාවා දී සුවසේ වාසය කළේය.
මෙතෙකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘පණ්ඩුවාසදේවාභිෂේක’ නම් වූ අටවන පරිච්ඡේදය නිම විය.