83. සතුරන් මර්දනය හා විජයග්‍රහණය

star_outline

1 එතැන් පටන් සියලුම ලංකාවාසී ජනයා ඒ රජතුමාගේ අති මහත් පුණ්‍ය බලය දැක, ඔහු කෙරෙහි ගෞරවයෙන් ද, භීතියෙන් ද, ප්‍රීතියෙන් ද යුතුව රජු පිරිවරා හැසිරුණහ. කිසි කලෙකත් ඔහුගේ අණක් උල්ලංඝනය කිරීමට කිසිවෙකුට නොහැකි විය. 2 ඒ රජතුමාගේ තේජසට හා ආදරයට නැමුණු සිත් ඇති විවිධ දේශයන්හි වාසය කරන සියලු රජ දරුවෝ එතුමා වෙත තෑගි බෝග එවුහ. 3 එතුමා හිස ගසා දැමිය යුතු වරදක් කළ ජනයා පවා හුදෙක් සිරගෙයි බැඳ තැබීමෙන් පමණක් දැඩි සේ නිග්‍රහ කොට නැවත ඔවුන් නිදහස් කළේ ය.

4 මිහිපති තෙමේ සිරගත කිරීමට සුදුසු වැරදි කළ ජනයාට යම්කිසි දඬුවමක් පමුණුවා, කරුණාවෙන් යුතුව අවවාද කළේ ය. මනු රජු හා සමාන වූ ඒ රජතුමා රටින් පිටුවහල් කළ යුතු තරම් වරදක් කළ ජනයාට දහසක් පමණ දඩ නියම කළේ ය. 5 හෙතෙමේ දඩ ගැසිය යුතු සියලු ජනයා දෙස කෝපයෙන් බැලීමෙන් හෝ නොයෙක් දෝෂාරෝපණයන් එල්ල කිරීමෙන් පමණක් මැනවින් හික්මවූයේ ය. 6 7 වීර වූත්, වෛරීන් වර්ධනය කළා වූත්, තම පිය රජතුමාට පවා ජය ගැනීමට නොහැකි තත්වයට පත්ව තිබූ වන දුර්ග ආදිය ඇසුරු කොට ගෙන සිටි සියලු දෙනා ද, 8 9 ඒ නරේන්ද්‍රයා තමන්ගේ තේජස් බලයෙන් ද, එසේ ම මෛත්‍රී බලයෙන් ද ලංකාව තුළ සිටි සතුරන්ගේ බලය ජය ගැනීමට ආරම්භ කළේ ය.

වන්නි රජුන් දිනා ගැනීම හා ද්‍රවිඩ බලකොටු බිඳ හෙළීම

10 සිංහාසනයෙහි වැඩ සිටියේ ම සේනා වාහනවලින් සමන්විත වූ සිංහල වන්නි රජවරුන් සියලු ආකාරයෙන් තමන්ට වසඟ බවට පත් කර ගත්තේ ය. 11 ඒ නරේශ්වර තෙමේ ත්‍රි සිංහලයෙහි ම සිටි සිංහයන් වැනි වික්‍රමාන්විත වූ සියලු සිංහලයන් රැස් කරවා ඔවුන් සතුටු කරවීය. ඉන්පසු කඳවුරු බැඳ, ඒ ඒ තැන්වල පදිංචි වී සිටි මහා ද්‍රවිඩ යෝධයන් මර්දනය කිරීමට උත්සාහ කළේ ය. 12 යුද්ධයෙහි හැසිරෙන සතුරු මද ඇතුන්ට සිංහයන් වැනි වූ, යුද සන්නද්ධ වූ සියලුම සිංහල යෝධයන් ඒ ඒ තැන්වලට යැවීය. 13 14 සිංහල මහා යෝධයෝ ගුරුළන් මෙන් ගමන් කොට, නාගයන් වැනි වූ සියලු ද්‍රවිඩ යෝධයන් පෙළා දැමූ හ.

15 එකල්හි සම්පතින් පිරුණු පුලස්ති පුරයෙහි (පොළොන්නරුවෙහි) ද, කොටුසරගම් හි ද, එසේ ම ගංතලාවෙහි ද, කාකාලය ගම් හි ද, පදී රට ද, කුරුන්දියෙහි ද, 16 මානාමත් හි ද, මාතොට ද, එසේ ම මන්නම් පටුනෙහි ද, පුලවෙෂටී නම් තොට ද, එසේ ම වැලිගම ද, මහත් වූ ගෝනරට ද, එසේ ම ගෝනුසුරට ද, 17 මීපා තොට ද, එසේ ම හුරා තොට ද යන මේ ආදී තැන්වල කඳවුරු බැඳ බලහත්කාරයෙන් බොහෝ කාලයක් වාසය කළා වූ මාඝ සහ ජයබාහු නම් දෙමළ රජවරු දෙදෙනාගේ හතළිස් දහසක් වූ ද්‍රවිඩ හා කේරළ යෝධයෝ සිටියහ. 18 19 20 ඔවුහු කුන්තායුධ අතින් ගත් සිංහල යෝධයන් විසින් දැඩි සේ පෙළනු ලැබූ හෙයින්, තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි ව භියෙන් මඩනා ලද්දාහු, ඒ ඒ තැනින් පලා විත් පොළොන්නරුවට රැස් ව මෙසේ සාකච්ඡා කළහ.

සතුරන්ගේ පලායාම හා පරාජය

21 22 “පරාක්‍රමබාහු රජ තෙමේ මහත් තේජස් ඇත්තේ ය, මහත් ඍද්ධි ඇත්තේ ය. පෘථිවියෙහි කවර නම් ධීර වීර පුරුෂයෙක් ඔහුගේ අණ ඉක්මවා සිටින්නේ ද? 23 මේ කාලයෙහි විදේශයන්හි වෙසෙන රජවරු පවා ඔහුට ම වසඟ වූහ. සියලුම සිංහලයෝ ඔහුගේ ම වසඟයෙහි පවතිත් ම ය. 24 අපගේ සමහර දෙමළ ජනයා ද ඔහුගේ ම සේවකයෝ වෙති. එසේ නම් අන්‍යයන් ගැන කියනු කවරේ ද? 25 ඉතින් අපි කුමක් කරමු ද? දැන් සූර්යයා සේ තෙදැති ඔහුගේ උදාවීම හමුවේ අපි සියල්ලෝ ම කදෝපැනියන් (ගිනි කූරන්) මෙන් නිෂ්ප්‍රභා වුවෙමු. 26 එහෙයින් සිංහල ද්වීපයෙහි අපට නම් අනාගත කාලයෙහි වාසය කළ නොහැක්කේ ම ය. එබැවින් වෙනත් දේශයකට යමු” යැයි ඔවුහු සාකච්ඡා කළහ.

27 ඉක්බිති ඔවුහු ඇතුන් හා අසුන් ද, එසේ ම මහා වටිනාකම් ඇති මුතු මැණික් ද, එසේ ම රජ ඔටුනු ද, 28 සියලුම අන්තඃපුර ස්ත්‍රීන් ද, සියලු ආභරණ ද, පට සළු පිළි පිරවූ පෙට්ටි ද, අනෙකුත් සියලු වටිනා වස්තූන් ද බියෙන් යුතුව රැගෙන ඒ නුවරින් පිටතට යාමට එකල පටන් ගත්හ. 29 එහෙත් රජතුමාගේ පින් බලයෙන් ම ඔවුන්ට දිශාවන් වැරදී ගියේ ය. 30 ඒ මෙසේ ය: ඔවුහු නැගෙනහිර දොරටුව යැයි සිතා බටහිර දොරටුවෙන් පිටත් ව, යම් තැනෙක සිංහල සේනාව කඳවුරු බැඳ සිටියේ ද ඒ කලා වැව දෙසට ගියහ. 31 මෙය නම් මහත් ඛේදවාචකයකි. ඔවුහු තමන්ගේ ඒ ඒ සියලු වස්තූන් ද, තම ජීවිත ද ඒ සිංහල යෝධයන්ට දානය කොට, මහ රජතුමා විසින් සිතන ලද අරමුණ ම තමන් විසින් ඉටු කර දුන්හ.

32 33 සියයක් පමණ රජවරුන් විසින් බිය ගන්වන ලද්දා වූ, එහෙත් පසුව සම්පත් ලැබුවා වූ මිථිලා නුවර වැසියන් මෙන්, සියලු ම සිංහලයෝ සතුරන් සතුව තිබූ වස්තු සම්භාරය රැගෙන එතැන් පටන් පෙර පරිදි ම සමෘද්ධිමත් වූවෝ වූ හ. 34 35 හෙතෙමේ තම අනුහසින් පසමිතුරන් මර්දනය කොට මුළු ලක්දිව සමෘද්ධිමත් කරවීමට ආරම්භ කළේ ය.

චන්ද්‍රභානු රජුගේ ආක්‍රමණය

36 ඉක්බිති ඒ නරේන්ද්‍රයාගේ එකොළොස් වැනි වර්ෂය පැමිණි කල්හි, ‘චන්ද්‍රභානු’ යැයි ප්‍රසිද්ධ වූ එකල ජාවක රටේ එක් රජෙක්, “අපි ද බෞද්ධයෝ වෙමු” යැයි මායාවක් පාමින් කර්කශ වූ ජා සේනාවක් සමඟ ලක්දිවට ගොඩ බැස්සේ ය. 37 38 සියලු තොටුපළවලින් ගොඩ බැස්සා වූ ඒ දුෂ්ට වූ සියලු ජා යෝධයෝ, දරුණු සර්පයන් වැනි වූ විෂ පෙවූ හීයෙන් තමන් දුටු දුටු ජනයා නිරතුරුවම පෙළමින් ද, ක්‍රෝධයෙන් දිව යමින් ද මුළු ලක්දිව වනසා දැමූහ. 39 40 ගිනි හෙණයක් වැදීමෙන් විනාශ කරන ලද ස්ථානයක් දිය හෙණයක් (ගංවතුරක්) විසින් විනාශ කරන්නා සේ, මාඝ රාජාදීන් විසින් පෙළන ලද ලංකාව ජාවෝ (ජාවකයන්) නැවතත් පෙළූහ.

41 එකල්හි රජතෙමේ තමාගේ බෑණනුවන් වූ, කිසිවිටෙකත් පසු නොබසින ‘වීරබාහු’ මිහිපතියා යෝධයන් සමඟ ජාවකයන් හා යුද්ධ කිරීම පිණිස යැවූයේ ය. 42 දරුණු වෙස් ගත්, බියකරු වූ වීරබාහු නරේන්ද්‍ර නමැති රාහු අසුරයා, යුද්ධ භූමිය නමැති අහස් තලයේ දී ඒ චන්ද්‍රභානු රජු ඉතා තදින් වළක්වා ලීය. 43 මෙතෙමේ වීර වූ සිංහල යෝධයන් ඒ ඒ තැන්හි යොදවා ජාවක යෝධයන් සමඟ යුද්ධ කිරීමට පටන් ගත්තේ ය.

වීරබාහු කුමරුගේ ජයග්‍රහණය

44 යුද්ධයේ දී ජා යෝධයන් විසින් වහා වහා යන්ත්‍ර ආධාරයෙන් මුදා හරින ලද, බොහෝ සෙයින් ඉදිරියට ආවා වූ විෂ පෙවූ මුඛ ඇති ඊතල, 45 ඉලක්කය විදීමේ දක්ෂ වූ ධනුර්ධර සිංහල මහා යෝධයෝ තමන්ගේ තියුණු මුඛ ඇති ඊතලවලින් පහර දී කඩ කඩ කොට බිඳ දැමූහ. 46 වීරබාහු මිහිපති තෙමේ යුද්ධයට ගොස් රාම රජු මෙන් බොහෝ වූ ජාවක යෝධයන් නමැති රාක්ෂයන් විනාශ කළේ ය; වෙරම්භ වාතය (පොළොව යටින් හමන වාතය) විසින් මහා වනයක් විනාශ කරන්නා සේ, මේ ජා සතුරන් නමැති මහ වනය නැවත නැවතත් භස්ම කර දැමුවේ ය.

47 48 හෙතෙමේ මේ අයුරින් ම යුද්ධ කොට ජාවුන් පලවා හැර, සියලු ලංකා පෘථිවි තලය සතුරන් නැති භූමියක් බවට පත් කළේ ය. පසුව දෙවිනුවරට ගොස් උපුල්වන් දෙවියන් වැඳ, ඒ ස්ථානයෙහි ඒ දෙවි රජුහට දේව පූජා ද පැවැත්විය. 49 50 ඒ නරේන්ද්‍ර තෙම එහි සාංඝික පිරිවෙනක් තමන් ම කරවූයේ ය. එය ජනයා සතුටු කරවන බැවින් ‘නන්දන’ නම් විය.

51 එතැනින් නැවත දඹදෙණි පුරයට පැමිණියේ ය. පරාක්‍රමබාහු රජ තෙමේ ද අතිශයින් ප්‍රීතියට පැමිණියේ ය. 52 පරාක්‍රමබාහු මිහිපති තෙම එකල්හි මෙසේ නානාප්‍රකාර වූ මහා යුද්ධ කොට, බිය ගෙන දෙන්නා වූ සියලු සතුරු සමූහයා පලවා හැර, විශාල වූ තේජසින් යුක්ත වූයේ විජය ශ්‍රීිය ලැබුවේ ය.

මෙතෙකින් හු දී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘වෛරී රාජ විජය නිර්දේශය’ නම් වූ අසූ තුන් වැනි අධියර නිම විය.