82. දළදා ප්‍රාතිහාර්යය සහ පරාක්‍රමබාහු රජුගේ සත්‍ය ක්‍රියාව

star_outline
දඹදෙණි පුරය සහ රාජාභිෂේකය

1 පිය රජුගේ අභාවයෙන් පසුව ඒ පරාක්‍රමබාහු නම් රජතුමා ත්‍රි සිංහලයටම අයත් වූ සියලු මහජනතාව එක්රැස් කරවා ගත්තේය. 2 එතුමා ඉතා රමණීය වූ පුරවරය ශක්‍ර දේවේන්ද්‍රයාගේ නගරයට සමාන වන පරිදි අලංකාර කරවා, පළමු කොට තමාගේ අභිෂේක මහෝත්සවය කරවූයේය. 3 ඒ නරේන්ද්‍රෝත්තමයා පණ්ඩිත බැවින් 4 ‘කලිකාල සාහිත්‍ය සර්‍වඥ පණ්ඩිත’ යන ප්‍රසිද්ධ උප පද නාමය ද ලැබුවේය. එසේම තමාගේ බාල සොහොයුරු වූ භුවනෙකබාහු ක්ෂත්‍රියයන්ට යුව රජ තනතුර දී රාජ්‍යයෙන් කොටසක් ද පවරා දුන්නේය.

5 හෙතෙම “මම ලංකා කාන්තාව මා සතු කරගන්නෙමි. 6 වෙනත් අයෙකුට අයිති වීමට ඉඩ නොදෙමි” යි සිතා සතුරන් මැඩලීමෙහිලා දැඩි අභිමානයක් ඇති කර ගත්තේය. 7 ඔහු “මා පළමුවෙන් සර්‍වඥයන් වහන්සේගේ දළදා වහන්සේට පූජා පවත්වා පසුව ද්‍රවිඩයන් සමඟ යුද්ධයට යන්නෙමි” යි සිතා, මහත් වූ පූජා සත්කාර සමගින් ඒ ධාතූන් වහන්සේව බිල්ල නම් පර්වතයේ සිට ජම්බුද්‍රෝණි (දඹදෙණිය) නම් උතුම් පුරවරයට වැඩම කරවූයේය.

දළදා මැදුර සහ මැණික්, රන්, රිදී කරඬු තැනීම

8 මිහිපල් තෙමේ “තුන් වේලෙහි මා සිතූ සිතූ මොහොතේ ආදර සහිතව දළදා වහන්සේ වැඳීමට මට ආශාවක් ඇත්තේය” යි සිතමින් තමන්ගේ මාලිගාව සමීපයේම 9 රමණීය වූ දන්ත ධාතු මන්දිරයක් කරවූයේය. 10 ඒ රජතුමා ඒ මන්දිරය මැද ඉතා වටිනා ආසනයක් කරවා එය මහාර්ඝ වූ ඇතිරියකින් ආවරණය කරවූයේය. 11 මිහිපති තෙමේ මහා මාණික්‍යයකින් දන්ත ධාතුව තැබීම සඳහා එක් ආධාරකයක් කරවූයේය. 12 ඉන්පසුව හෙතෙම නැවතත් ඒ සඳහා ආධාරකයක් වන ලෙස විචිත්‍ර වූ මාණික්‍යයන් ඔබ්බවා මනහර වූ උතුම් මහත් මිණි කරඬුවක් කරවූයේය. 13 ඉක්බිත්තෙන් ඊට ආධාරකයක් ලෙස ස්වර්ණ නිෂ්කයන් පන් දහසකින් බබළන දෙවැනි කරඬුවක් ද කරවූයේය. 14 පසුව ඒ රජතුමා රිදී නිෂ්ක විසි පන්දහසකින් තුන්වැනි කරඬුවක් ද නැවතත් කරවූයේය.

රජතුමාගේ මහා සත්‍ය ක්‍රියාව

15 ඉක්බිති නරේන්ද්‍ර තෙමේ දාගැබේ පටන් මුළු නගරයම අලංකාර කරවා, දළදා වහන්සේට ආදර සහිතව මහා පූජාවක් පවත්වා, දන්ත ධාතූන් වහන්සේව තමාගේ හස්ත නමැති පද්මයෙහි තබාගෙන මහා සංඝයා වහන්සේලා මැද මෙසේ සත්‍ය ක්‍රියාවක් කළේය. 16 “මහත් ඍද්ධි බල ඇත්තා වූ, මෞනෙය්‍ය ගුණ ඇත්තා වූ, භාග්‍යවත් වූ, 17 නරෝත්තම වූ, දේවාතිදේව වූ අපගේ සර්‍වඥයන් වහන්සේ තුන් වරක් මේ ලක්දිවට වැඩම කළ සේක. 18 උන්වහන්සේ ඒ ඒ තැන්හි වැඩහිඳ සොළොස් තැනක් උතුම් පාරිභෝගික චෛත්‍ය ස්ථාන බවට පත් කළ සේක. 19 එහෙයින් ලංකාව මිථ්‍යාදෘෂ්ටික රජවරුන්ගේ වසඟයේ නොසිටින්නී ය. 20 ලංකාව සම්‍යක් දෘෂ්ටිකයන්ගේ වසඟයෙහි ම මනා ලෙස පවතින්නී ය.”

21 “පූර්වයෙහි ද මේ දිවයිනෙහි මුටසිව නම් මහ රජුගේ පුත්‍ර වූ, යුක්තියෙහි දක්ෂ වූ අසේල නම් නරේශ්වරයෙක් විය. ඔහු අශ්ව නාවික පුත්‍රයන් වූ සේනය සහ ගුත්තිකය යන දෙමළුන් දෙදෙනා පරදවා බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් රාජ්‍යය කළේය. 22 ඉක්බිත්තෙන් දුටුගැමුණු යැයි ප්‍රසිද්ධ වූ අභය මහරජ තෙමේ එළාර නම් සොළී රජු පරදවා ලෝකයත් සසුනත් ආරක්ෂා කළේය. 23 ඉක්බිත්තෙන් වට්ටගාමිණී (වලගම්බා) නම් මහීපාල තෙමේ යුද්ධයෙහි ඉතා කර්කශ වූ දෙමළුන් පස්දෙනෙකු දිනා ලෝකයත් සසුනත් ආරක්ෂා කළේය. 24 ඉක්බිත්තෙන් ධාතුසේන රජ තෙමේ 25 නොයෙක් මහා යෝධයන් සිටි දෙමළ රජුන් සය දෙනෙකු දිනා ලෝකයත් සසුනත් ආරක්ෂා කළේය. 26 නැවත මහා විජයබාහු රජ තෙමේ ද 27 යුද්ධයෙහි දී සොළී දෙමළුන් පලවා හැර ලෝකයත් සසුනත් ආරක්ෂා කළේය. 28 දැනුදු විහාර ආදිය හා ශාස්තෲන් වහන්සේගේ ශාසනය විනාශ කරමින් ඒ පිහිටි රටෙහි වසන්නා වූ, උඩඟු වූ දෙමළුන් වන මාඝ රජු ය, ජයබාහු ය යන මේ දෙදෙනා ද පරදවා ලෝක ශාසනය දියුණු කිරීමට මම ප්‍රාර්ථනා කරමි. මේ වචනය ද සත්‍යය.”

පෙර රජුන් සහ ප්‍රාතිහාර්ය පිළිබඳ සිහිපත් කිරීම

29 “අනික් කිසිවක් ද මම කියමි. පින්වත් මහා යසස් ඇති කෝසල ආදී වූ භූමිපාලයෝ ජීවමාන වූ ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ධර්ම දේශනාව ද අසා, 30 නානාවිධ වූ පෙළහර දැක තමන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගත්තෝය. 31 සර්වඥයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උපන්නා වූ මහත් ඍද්ධි ඇති ධර්මාශෝක ආදී භූපාලයෝ, නානා විධ නිර්මිත බුද්ධ රූපාදී ප්‍රාතිහාර්‍ය්‍යයන් දැක ස්වකීය ජීවිතය මැනවින් සඵල කර ගත්තෝය. 32 බුද්ධ කෘත්‍යයන් කොට නිමවා මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනෙහි 33 පරිනිර්වාණ මංචකයෙහි සැතපුණා වූ ලෝක ස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ, ප්‍රාතිහාර්‍ය්‍ය පිණිස මහ ඉටාන් පසක් කරන සේක් කුඩා වූ අධිෂ්ඨානයකුත් නොකළ සේක් ද? 34 එතැන් පටන් අද දක්වාත් යම් ශාරීරික ධාතු කෙනෙක් වෙත් ද, 35 යම් පාරිභෝගික ධාතු කෙනෙකුත් වෙත් ද, ඒ සියලුම ධාතූහු බුද්ධානුභාවයෙන්ම මේ ලෝකයෙහි පෙළහර පාති.”

36 “එහෙයින් ඒ ඒ අධිෂ්ඨානයන් කරන්නා වූ මුනීශ්වර වූ සර්වඥ තෙමේ සිය සස්න පස්වා දහසක් පවත්නා කල්හි, අනාගත කාලයෙහි ශ්‍රද්ධා ශීල ධුරන්ධර වූ 37 මහීපාලයන් දකින සේක්, ඔවුන් අතරෙහි මා ද නුවණැසින් නුදුටු සේකැ යි 38 මම නොසිතමි. ඉදින් ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් මා ගැන දන්නා ලද්දේ නම් ද, ඉදින් 39 ඒ පූර්වයෙහි වූ මහා වීර වූ සැදැහැති මිහිපලයන් කෙරෙහි මම ද සර්වප්‍රකාරයෙන් අන්තර්ගත වෙම් නම් ද, 40 ඉදින් බිය ඇති කරන්නා වූ යුද්ධයෙහි පරසතුරන් මර්දනය කොට ලෝක ශාසනයේ අභිවෘද්ධිය කරන්නෙම් නම් ද, මෙකල්හි මේ දාඨා ධාතූන් වහන්සේ මට යහපත් වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වන්නේ නම් මැනවැ” යි කියා රජතුමා නානා ප්‍රකාරයෙන් සිතුවේය.

පුදුම එළවන දළදා ප්‍රාතිහාර්යය

41 එකෙණෙහිම දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ ඒ නරේශ්වරයාගේ හස්ත නමැති පද්මයෙන් චන්ද්‍ර රේඛාවක් මෙන් අහසට නැගී, මනෝඥ වූ 42 සර්වඥ රූපය මවා, ෂඩ්වර්ණ රශ්මි මාලා විහිදුවා, සියලු පුරය ආලෝකවත් කොට බබළවා, අද්භූත වූ ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා නරශ්‍රේෂ්ඨයා සතුටු කොට නැවත අහසින් බැස අවුත් 43 ඒ රජතුමාගේ අතෙහි පිටිපැත්තෙහි වැඩ සිටි සේක. 44 ධාතූන් වහන්සේගේ ඒ අද්භූත වූ ප්‍රාතිහාර්‍ය්‍ය දැක අනුමෝදන් වන්නා වූ මහජන සමූහයා විසින් ද, මහා සංඝයා විසින් ද අධික කොට ගෙන කරණ ලද සාධුකාර ශබ්දයෙන් හා 45 ස්තූති ඝෝෂණයෙන් එකල්හි මුළු නුවර සර්වප්‍රකාරයෙන් එකම කෝලාහලයක් විය.

46 “අද මා විසින් ජීවිතය ලද්දේය. අද මාගේ ජීවිතය උතුම් විය. අහෝ අද මාගේ ජීවිතය මැනවින් සඵල වූයේය. 47 මාගේ පුණ්‍ය බලය හේතු කොට ගෙන අද මෙවැනි වූ ප්‍රාතිහාර්යක් දැක මහජනයා විසින් ද පුණ්‍ය සම්පත්තිය රැස් කරන ලදී. 48 මේ බුදු සස්නෙහි ගුණ සමුහයෙන් යම් රජ කෙනෙක් ප්‍රසිද්ධයෝ ද, ඒ පූජාව හේතුවෙන් නරේන්ද්‍රයන් අතරෙහි මම දැන් අන්තර්ගතයෙමි” යි 49 මහත් ඍද්ධි ඇති මහා පණ්ඩිත වූ මහරජ තෙමේ මහ පිරිස් මැද මෙසේ කියා සිංහ නාදය මනා කොට කළේය.

ත්‍රිවිධ කරඬුවල දළදාව තැන්පත් කිරීම

50 ඒ මහීපති තෙමේ ඔටුනු, වළලු ආදී වූ සියලු සිවුසැට බරණින් දළදාව පුදා, 51 ඒ මිණි කරඬුවෙහි සකස් කොට පිහිටුවා, ඔප් නැගූ ඒ කරඬුව ද රන් කරඬුවෙහි බහා, 52 ඉක්බිති ඒ කරඬුව ද ඉතා වටිනා මනා ලෙස තැනූ රිදී කරඬුවෙහි ආදර සහිතව තැන්පත් කරවූයේය. 53 මෙසේ පිළිවෙළින් කරඬු තුනක මනා කොට පිහිටුවන ලද්දා වූ දාඨා ධාතූන් වහන්සේ නැවත ඒ ස්වකීය ධාතු මන්දිරයෙහි පිහිටෙවුවේය. එක් දවසක් ඒ රජ තෙමේ සප්ත රත්නයෙන් ද, මල් සහ සුවඳ වර්ගවලින් ද, නානා විධ ආහාරපානවලින් ද පූජා කරවූයේය. මෙසේ සැදැහැති ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයේ දාඨා ධාතු පාටිහාරිය දස්සන (දළදා ප්‍රාතිහාර්ය දැක්වීම) නම් වූ අසූ දෙවන පරිච්ඡේදය මෙයින් නිම විය.