1 ඒ රජුන් නොමැති වූ අතරමැදි කාලයෙහි (රාජාන්තරයෙහි), මහත් පින් ඇති බොහෝ ජනයා ඒ ඒ මහා දුර්ග පර්වතයන්හි සිත්කලු වූ නගර සහ ග්‍රාමයන් කරවා ගත්හ. ඔවුහු ඒ ඒ තැන්හි වාසය කරන්නෝ වෙමින් ලෝකයා ද (ජනතාව ද) බුද්ධ ශාසනය ද අවුලක් නැති වන පරිදි ආරක්ෂා කළෝය. 2
සතුරන් විසින් ඉතා අපහසුවෙන් නැගිය යුතු වූ යහපව්ව (යාපහුව) මතුයෙහි ආලකමන්දාව වැනි වූ පුරයක් කරවා, සුභ නම් වූ සෙනෙවි තෙම වෙසමුණි රජු මෙන් එහි වාසය කරමින්, දෙමළුන් නමැති රාක්ෂසයන් වළකාලමින් ඒ දේශය ද එහි පවත්නා වූ බුද්ධ ශාසනය ද පාලනය කළේය. 3
සතුරන්ට ළංවිය නොහැකි වූ ගෝවින්ද නම් පර්වත මස්තකයෙහි (ගෝවින්ද හෙළ) පුරයක් කරවාගෙන වාසය කරන්නා වූ, ලෝකයෙහි ප්‍රසිද්ධ වූ වික්‍රම ඇති භුවනෙකබාහු නම් වූ ඈපා යයි කියන ලද මිහිපති තෙම, රුහුණු රට ද එහි වැසි භික්ෂු සංඝයා ද ශාසනය ද ආරක්ෂා කළේය. 4-5
යළි එසේම මිණිමෙවුලා නම් රට (මිණිපේ) උස් වූ ගංදෙණි නම් පර්වතයෙහි උතුම් වූ පුරයක් කරවාගෙන, එහි වසන්නා වූ සංඛ නම් සේනාපති තෙම, එතැන් සිට යොදුන් දෙකක් මතුයෙහි (දුරින්) වසන්නා වූ දුෂ්ට මාඝ රජුගේ සේනාව තණ පතකටවත් මායිම් නොකරමින්, බිය රහිත වූයේ ඒ රට ද එහි සේනාව ද ආරක්ෂා කළේය. 6-8
එකල්හි වනාහි ශ්‍රී සංඝබෝධි රාජවංශයෙන් පැවත ආවා වූ, මනෝඥ වූ වික්‍රමයෙන් යුක්ත වූ, විජයබාහු යයි ප්‍රසිද්ධ වූ රජතෙම පසමිතුරු බියෙන් ඒ ඒ මහ වනයට සහ දුර්ගයන්ට පිවිස බොහෝ කලක් වාසය කොට වන්නි රජ බවට පත් වූයේය. 9 හෙතෙම සියලුම සිංහල ඇමතිවරුන් තමන් වසඟයට ගෙන, මහා බල ඇත්තේ සිංහල සේනාව සමඟ නික්ම, මහා තේජස්කන්ධයක් විසින් අඳුර දුරු කරන්නාක් මෙන්, යුද්ධය පිණිස සැරසුණේ චතුරංගනී සේනාවෙන් යුක්ත වූ සියලු පසමිතුරු සේනාවන් වැනසුවේය. 10-12
හෙතෙම තමන් කැමති පරිද්දෙන් ගමක් ගමක් පාසා ද, ගෙයක් ගෙයක් පාසා ද වාසය කරන්නා වූ සියලුම ද්‍රවිඩ යෝධයන් ඒ ඒ තැනින් පලවා හැරියේය. 13 ප්‍රධාන වූ මායා රටෙහි සතුරන් නමැති කටු පහ කොට, එහි අතිශයින් උස් වූ දඹදෙණි පර්වතය මතුයෙහි මනරම් පවුරු සහ වාසල්වලින් යුක්ත වූ රම්‍ය වූ පුරයක් කරවා, එහි සැපසේ වෙසෙමින් ඒ පණ්ඩිත වූ මිහිපති තෙම රාජ්‍යය කළේය. 14-15
කලහයක් ඇතිවීමට පෙරාතුව, පොළොන්නරුවෙන් ශාස්තෘන් වහන්සේගේ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව රැගෙන, වාගීශ්වර ආදී වූ සියලු මහා ස්ථවිරයන් වහන්සේලා පිටත්ව මායා රටට පැමිණියහ. 17-18 ඔවුහු එහි කොත්මලය නම් පර්වතයෙහි එක් ප්‍රදේශයක, නිර්භය වූ ස්ථානයක සාදර සිත් ඇත්තෝ ඒ ධාතු යුගලය භූමි ගත කොට (පොළවෙහි) නිධන් කළෝය. 19-20 ඉක්බිත්තෙන් ඔවුන් අතුරෙන් වාගීශ්වර ආදී යම් මහා ස්ථවිර කෙනෙක්, ශාසනයේ පැවැත්මට කාරණා වූ ලංකා ආරක්ෂාව සොයමින්, අතිශයින් කම්පිත වූ රළ මාලා ඇති මහා සමුද්‍රය තරණය කොට පාණ්ඩ්‍ය සහ චෝල ආදී රටවලට ගියාහුය. 21
කරුණාවට ආකරයක් බඳු වූ ඒ විජයබාහු නරේන්ද්‍ර තෙම, මහාමාත්‍යයන් යවා ඒ සියලු වහන්සේලාම නැවත ඒ රටින් මෙහි කැඳවූයේය. 22-23 හේ තෙමේ ආවා වූ ඒ මහ තෙරවරුන් වැඳ, “දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව යන ධාතු ද්වය කොතැනක තිබුණේ දැ”යි විචාළේය. 24 “අසවල් තැන යැ”යි උන්වහන්සේලා වදාළ කල්හි නරේශ්වර තෙම පස්වනක් ප්‍රීතියෙන් සම්පූර්ණ වූ සර්වාංග ඇති වූයේය. 25 ඒ මිහිපති තෙම ඒ මහ තෙර සමූහයා පෙරටු කොටගෙන සේනාව සමඟ ඒ කොත්මල පර්වතය වෙත වැඩියේය. පර්වතය හාත්පස මහා පූජාවක් කරවා සතුටු සිත් ඇත්තේ දංෂ්ට්‍රා සහ පාත්‍ර ධාතු යුගලය එහිදී දුටුයේය. 26
එකල්හි පෘථිවීශ්වර තෙමේ චක්‍රරත්නාදී රත්නයක් හෝ මහා නිධානයන් ලබන්නාක් මෙන් ද, නිර්වාණයට පැමිණෙන්නාක් මෙන් ද සතුටු වූ සිත් ඇත්තේ, මන්ධධාතු නරේන්ද්‍රයා හා සමාන සම්පත් ඇත්තේ, ඒ ධාතු යුගලය රැගෙන මහත් වූ සැණකෙළියෙන් යුක්තව ගමින් ගමට ද, පුරයෙන් පුරයට ද ගෙනැවිත්, සත්පුරුෂයන් විසින් අරඹන ලද දර්ශනීය මහෝත්සව ඇත්තා වූ රම්‍ය වූ දඹදෙණි පුරයට ගෙන ආවේය. 27-30
පණ්ඩිත වූ රජ තෙමේ මේ ධාතූන් වහන්සේලාට දවසක් දවසක් පාසා මහත් වූ පූජා විධි පවත්වන්නේ, ඉක්බිත්තෙන් මෙසේ සිතුවේය: “සර්වප්‍රකාරයෙන් අනාගත කාලයෙහි අන්‍ය නරේන්ද්‍රයෙක් රජ වූ කල, මේ බුද්ධ ධාතූන්ට පසමිතුරන්ගෙන් යම් සේ පීඩාවක් නොවන්නේ ද, එපරිද්දෙන් අතිශයින් දුර්ගම වූ ද ස්ථිර වූ ද නිර්භය ස්ථානයක් සකසා කරවන්නෙමි” යි සිතා ගත්තේය. 31-33
යම් සේ අහස දෙවියන්ට විනා පොළොවෙහි සිටින පසමිතුරු මිනිසුන්ට ගමන් කළ නොහැකි වේ ද, එපරිද්දෙන් බෙලිගල පර්වතය හාත්පසින් පවුරු දොරටු ආදියෙන් සුරක්ෂිත කොට, ඒ ගල මත්තෙහි උතුම් වූ ධාතු මන්දිරයක්, දෙව්ලොවින් ආවා වූ දෙව් විමනක් මෙන් මනරම් කොට කරවීය. 34-35 තවද ඒ හාත්පස නානාවිධ ප්‍රාසාද මණ්ඩලවලින් යුක්ත වූ, රාත්‍රි ස්ථාන, දිවා ස්ථාන සහ සක්මන් මළු (ප්‍රතික්‍රමණ) ශාලාවලින් ශෝභමාන වූ, වැව් පොකුණින් යුක්ත වූ සංඝාරාමයක් ද කරවා, පණ්ඩිත වූ රජ තෙමේ ඒ ධාතු මන්දිරයෙහි දංෂ්ට්‍රා සහ පාත්‍ර ධාතු යුගලය මහත් වූ සැණකෙළියෙන් සහ ආදර සහිතව පිහිටුවූයේය. 36-37
ධාතු ආරක්ෂාවෙහි නියුක්ත වූ ස්ථිර සීලයක් ඇති ස්ථවිරයන් වහන්සේලාට ඒ සංඝාරාමය ද දී, දන්වැට ද (නිත්‍ය දානය) තැබ්බ වූයේය. 38 දවසක් දවසක් පාසා ධාතූන් වහන්සේලාට උතුම් වූ පූජා විධි සහ මහෝත්සව මනාකොට පවත්වනු පිණිස ව්‍යවස්ථාවක් ද කරවූයේය. 39-40
ඉක්බිත්තෙන් පෘථිවීශ්වර තෙම සම්‍යක් සම්බුද්ධ ශාසනයට ශ්‍රද්ධාවෙන් උපකාර කරන්ට පටන් ගත්තේය. ඒ කෙසේ දැයි කියනු ලැබේ: ලංකාද්වීපයෙහි සද්ධර්මය සහිත වූ බොහෝ පොත් පසමිතුරන් විසින් විනාශ කරන ලදැයි සංවේගයට පත් සිත් ඇත්තේ, ධාරණ ඥානයෙන් (මතක තබා ගැනීමේ ශක්තියෙන්) සම්පන්න වූ, සැදැහැත්තා වූ, බහුශ්‍රැත වූ, කුසීත බැව් නැත්තා වූ, මනෝඥ වූ ලෙස වහා ලිවීමෙහි දක්ෂ වූ උපාසකයන් ද, එයින් අන්‍ය වූත් බොහෝ වූ පොත් ලියන්නන් ද එක තැනකට රැස් කරවීය. 41-43
මිහිපති තෙමේ ඒ සියල්ලන් ලවා ආදර සහිතව අසූහාර දහසක් ධර්මස්කන්ධය මනා කොට ලියවීය. හේ තෙමේ ඒ ධර්මස්කන්ධ ගණනින් ඔවුනට එපමණම රන් කහවනු දී ධර්ම පූජා ද කරවා පුණ්‍ය සම්භාරය ද රැස් කළේය. 44-45
ත්‍රි සිංහලයෙහි (රුහුණු, මායා, පිහිටි) සීලාචාර ධූරන්ධර වූ යම් ස්ථවිර කෙනෙක් වෙත් ද, මධ්‍යම කෙනෙක් වෙත් ද, නවක කෙනෙක් වෙත් ද, යම් සාමණේර කෙනෙක් වෙත් ද, ශාස්තෘ ශාසන පාලක වූ ඒ සියල්ලන් රැස් කරවා, අසමගි වූවන් ද සමගි කරවීය. 46-48 ඉක්බිත්තෙන් “උපසම්පදාව ශාසනයේ අභිවෘද්ධිය පිණිස වේ. මම ඒ මනා කොට කරවන්නෙම් නම් යෙහෙකැ”යි සිතා, සමගි වූ ඒ සියලු මහා සංඝයාට ඒ රජ තෙමේ අටපිරිකර දී, වැඩියක් සතුටු වූ සිත් ඇත්තේ, මොනවට පටන් ගන්නා ලද පූජා සත්කාර පෙරටුව සත් දවසක් මුළුල්ලේ උපසම්පදා මංගල්‍යය කරවූයේය. 49-51
මිහිපති තෙමේ ස්වකීය නාමයෙන් ලෝකයෙහි ප්‍රසිද්ධ වූ ‘විජයසුන්දර’ නම් ආරාමයක් කරවා සාංඝික කොට සංඝයාට දුන්නේය. 52 “සැදැහැ ඇත්තා වූ යම් භික්ෂූහු හෝ සාමණේරයෝ හෝ තුන්පිටකය ඉගෙන ගනිත් ද, සැම කල්හි සර්වප්‍රකාරයෙන් පාඩම් කරත් ද (වාචෝද්ගත කෙරෙත් ද), ඒ සියලු වහන්සේලා ප්‍රත්‍යය නිසා දුක් අනුභව නොකොට ප්‍රත්‍යය පිළිගනිත්වා”යි කියා පවරා, තමන්ගේ මන්දිර ද්වාරයට පැමිණි බොහෝ වූ ඒ භික්ෂූන්ට දානයෙහි විශාරද වූ ඒ රජ තෙමේ උතුම් අනගි වූ පිණ්ඩපාතය සකසා දුන්නේය. 54-55
ඉක්බිත්තෙන් තෙර මහ තෙර තනතුරුවලට පත් වූ සියලුම භික්ෂූන්ට රජ තෙමේ භෝජන පිසීමෙහි වියදම් ද තැබුවේය. 56-57 මිහිපල් තෙමේ මේ මේ පරිද්දෙන් ශාසන සංග්‍රහ කොට ඒකාන්තයෙන් එම සංග්‍රහයෙන් බුද්ධාදී රත්නත්‍රය පිදුවේය. 58 ඉක්බිති රජ තෙමේ වත්තල ගම්හි (වත්තල) භික්ෂූන්ට ස්වකීය නමින් ‘විජයබාහු’ නම් වූ විහාරයක් මොනවට කරවූයේය. 59
ඉක්බිත්තෙන් ඒ මිහිපති තෙමේ, ද්‍රවිඩ යෝධයන් විසින් වනසන ලද්දා වූ උතුම් මහා වෙහෙරක් වූ ‘කැළණි වෙහෙර’ ප්‍රතිසංස්කරණය කළේය. ඊට රන්වන් වූ කොතක් ද කරවා, ඊට නැගෙනහිර දිශා භාගයෙහි වාසලක් ද කරවූයේය. එහි පිළිම මැදුරු, පවුරු වළලු ආදී වූ අනික් සියලු තැන්හි දිරා ගිය දේ ප්‍රතිසංස්කරණය කළේය. 60-61 මායා රටෙහි යම් ප්‍රාසාද, පිළිම මැදුරු, වෙහෙර, පිරිවෙන් සහ එසේම චෛත්‍ය, මණ්ඩප, ප්‍රාකාර, ගෝපුර (දොරටු) ආදිය වෙත් ද, ඒ ඒ තැන්හි පෙර තිබූ පරිද්දෙන් නව කර්මාන්ත කරන්ට රජ තෙමේ නියෝග කළේය. 62-64
ඉක්බිත්තෙන් තමන් ලෝකය හා ශාසනයට අධික වූ අභිවෘද්ධියක් කරන්ට කැමති වන්නා වූ රජ තෙමේ මෙසේ සිතූයේය: “මහලු බවට පැමිණ යෞවනය ගෙවුන කල්හි මා විසින් රාජශ්‍රීය ලබන ලදී. එහෙයින් දැන් (මා විසින්) රාජ සැප අනුභව කරන ලද්දේ අල්ප වශයෙනි. 65-66 මේ කාලයෙහි ජය ගෙන, ඉතිරිව සිටින යම් දුෂ්ට වූ පසමිතුරු කෙනෙක් වෙත් ද, ඒ සියල්ලන් ද විනාශ කොට, එසේ ලෝකය පාලනය කිරීමට ද, නටබුන් විහාර සම්බන්ධව නවකම් කරවා ලෝකාභිවෘද්ධිය ද කිරීමට ද මෙය සුදුසු කාලයයි” සිතුවේය. 67-69
එසේ සිතා පණ්ඩිත වූ රජ තෙම තමන්ගේ ඖරස පුත්‍ර වූ ‘පරාක්‍රමබාහු’ කුමාරයා සහ ‘බුවනෙකබාහු’ කුමාරයා යන කුමරුන් දෙදෙනාගේම ලකුණු ලක්ෂණ වේදීන් (දෛවඥයින්) සමඟ තෙමේම විමසා බැලුවේය. 70-71 හෙතෙම, “තමන්ගේ බල තෙදින් සතුරන් මර්දනය කොට, සකල ලංකාව ද නිරුත්තර සේ එක සේසත් (එකච්ඡත්‍ර) කොට, සර්වඥ ශාසනය ද අති නිර්මල කොට වඩා, දස දෙසෙහි කීර්තිය ද පතුරුවා, නොයෙක් දේශයෙන් අන්තඃපුර රාජ කන්‍යාදී පඬුරු ද ලබා, බොහෝ කලක් දීප චක්‍රවර්තී වන්නේය” යන මේ ලක්ෂණ පරාක්‍රමබාහු නම් කුමරහුගේ ශරීරයෙහි දුටුයේය. 72-73
මෙසේ දැන සතුටු කඳුලෙන් පිරුණු ඇස් ඇත්තේ, ඔහුව ඇකයෙහි හිඳුවා නොයෙක් වර හිස සිම්බේය. ළඟ සිටියා වූ ඔහුගේ මල් (බාල) කුමාරයා ද නැවත නැවත ස්නේහයෙන් බලා, ඔවුන්ට නානා ප්‍රකාර උතුම් අවවාද දී, මේ දෙදෙනාම සකල කලා ශිල්පාදියෙන් හික්මවා පණ්ඩිත කරවූයේය. 74-76
ඉක්බිත්තෙන් ඔවුන් අතුරෙන් පරාක්‍රමබාහු නම් වූ ශ්‍රේෂ්ඨ පුත්‍රයා, ‘සංඝරක්ෂිත’ නමින් ප්‍රසිද්ධ වූ මහා ස්වාමීන් ප්‍රමුඛ කොට එකල රැස් වූ සංඝයාට පවරා දුන්නේය. 77 එයින් පසු ඔහුටත් මුනීන්ද්‍රයන් වහන්සේගේ දංෂ්ට්‍රා සහ පාත්‍රා ධාතු යුගලය ද, මහා සංඝයා ද, සියලුම ලංකාවාසී ජනයා ද, එසේම පාවා දී මිහිපල් තෙමේ ඔහුට මනා කොට අනුශාසනා කළේය. 78-79
මෙසේ නරේශ්වර තෙමේ ලංකා නමැති මහා ක්ෂේත්‍රයෙහි රාජ බීජය තැන්පත් කොට (නික්ෂිප්ත කොට) සිව් හවුරුද්දක් රජය විඳ ස්වර්ග ප්‍රාප්ත වූයේය. මේ විජයබාහු නරශ්‍රේෂ්ඨ තෙම සියලු ලෝකය ද බුද්ධ ශාසනය ද යම් සේ පාලනය කළේ ද, අනාගත කාලයෙහි ලංකේශ්වරු ද එසේම ඒ ලෝකය සහ ශාසනය යන දෙක අභය දෙමින් පාලනය කෙරෙත්වා! 80
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘ඒකරාජ’ නම් වූ අසූ එක්වන අදියර නිමි.