77. පඬිරට ජය ගැනීම

star_outline
මධුරා පුරයට පිවිසීම සහ ප්‍රාදේශීය නායකයන් දමනය

1 ඒ කුලශේඛර රජතුමා බියට පත්ව එතැනින් පලා ගොස් තොඩමාන නම් තැනැත්තාගේ පර්වත දුර්ගයෙහි සැඟවී ගත්තේය. 2 එකල්හි වීරනුක්කර සේනාවද, එසේම අන්‍ය වූ කකේකාල යෝධයෝද, මධුරක්කාර 3 සේනාවද රාජිනා නුවරට පැමිණියහ. ඔවුහු කුලශේඛර රජු පිළිබඳ වූ ඒ සියලු 4 පුවත් පවසා, මධුරා පුරයට පැමිණෙන ලෙස ලංකාපුර ප්‍රභූරාජයාට ආරාධනා කළහ.

ඉන්පසුව මහත් ශ්‍රීයෙන් යුක්ත වූ ලංකාපුර සෙනෙවි තෙමේද මධුරා පුරයට ගොස්, “මේ නුවර තොප උපන් ගෘහයද පිය රජුගේ නිවාසයද වෙයි” කියා වීර පඬි කුමරුට රාජ්‍යය පවරා දුන් අතර ඔවුහු එහි විසූහ. 5 එහිදී සිරිවල්ලභ නම් රජද, නාරායන නම් වූද, පරාක්‍රම පඬු නම් වූද, 6 වීරප්පෙරය රායරද, මණ්ණය රායර සාමන්තයාද, එසේම සෙඩි 7 රායරද, අන්‍ය වූ වීරප්පේරායර නම් වූ අයද, කේරළසිහ මුත්තරය යන මොවුන් වසඟයට ගනු ලැබීය. 8 වසයට නම් තැනැත්තාට පෙර තමා විසින් අනුභව කරන ලද පරිත්තිකුංඩි රටෙහි නායක බව අනුදැන ඔහුව සිය තනතුරෙහි 9 පිහිටුවන ලදී.

කලවංඩිය සහ සූරදේව දමනය කිරීම

10 කලවංඩිය නාඩාල්වාර් තෙමේ “මම වසඟ වන්නෙමි” යි පවසා 11 මධුරාවට පැමිණ, පසුව “මා දැක්වීමට බිය යැ” යි කියා තමා ගැන නොදන්වාම සිය රටටම ගියේය. එකල්හි ලංකාපුර සෙනෙවි තෙමේ ඔහුගේ රට 12 ගැනීමට ගියේය. අනුන් විසින් මැඩලිය නොහැකි වීර්ය ඇති හෙතෙම යුද්ධ කොට ඔහු පළවා හැර, මහත් බල පරාක්‍රම ඇතිව ආලග්වොනගිරි රට අත්පත් කර ගත්තේය.

13 අනතුරුව සූරදේව නම් වූ කවංගෙඩිය නාඩාල්වාර් තෙමේ සරණගත 14 වූයේය; පසුව ඔහු ලංකාපුර දණ්ඩනාථ නායකයන්ගෙන් රට ඉල්ලා සිටියේය. ලංකාපුර තෙමේද ඔහු විසින් ඉල්ලා සිටින ලද ඒ රට ඔහුට දී, පසුව කුරුඹ රායර නම් බලනායකයාගේ රටට ගොස්, මහා යසස් ඇතිව කුරුඹ රායරයන්ද 15 තමාගේ වසඟයෙහි පිහිටුවා ගත්තේය. එසේම කංගර රායරයන්ද තමාගේ වසඟයෙහි පවත්වා 16 නියමයෙහි පිහිටුවමින්, පසුව ඒ වීර තෙමේ නිකලධ රායරයන් වසඟයට පත් කරගනු පිණිස එතැනින් තිරප්පුත්තරු නම් ස්ථානයට ගියේය.

පොන් අමරාවතියේ මහා සටන

17 නිකලධ රායර තෙමේත් සිය සේනාව රැස් කරවා අකලංක නාඩාල්වරාය, එසේම කාඩම්බ රායරය, මලයඝ රායරය, කිංචා එත්තරායරය 18 යන මේ සොළී සාමන්තයන් හා ඔවුන්ගේ නොයෙක් බල සේනාද, 19 ඔවුන්ට අයත් බොහෝ අශ්වයන්ද ගෙන මැඩලිය නොහැකි මහා සංග්‍රාමයක් කිරීමට පටන් ගත්තේය. 20 පසුව පාබල සේනාව සහිත වූ ඒ සතුරු සේනාව 21 නිරුප්පත්තුව නම් ස්ථානයේ පටන් පොන් අමරාවතිය තෙක් වූ මේ අතර මහ මග තුන් ගව්වක් පමණ තැන එක් මස් ගොඩක් කොට පොඩි කර දැමීය.

22 ඉක්බිති ඒ මහ අමරාවතියට පැමිණ, 23 එහි කරන ලද තෙමහල් ප්‍රසාදයක්ද දවා අළු කර, අනිකුත් බොහෝ ගෙවල්ද 24 පොහොසත් වූ කොටුද ගිනිබත් කළේය. පසුව රට වැසියන්ගේ බිය දුරු කරනු පිණිස වීර වූ ලංකාපුර තෙමේ අණබෙර හැසිරවූ අතර, රට වැසි ජන සමූහයා තමා වසඟයට ගෙන පෙරළා මධුරාවට පැමිණියේය.

වීර පඬි කුමරුගේ අභිෂේක මංගල්‍යය

25 එකල්හි දැඩි ආඥා ඇති පරාක්‍රමබාහු මිහිපල් තෙමේ වීර පඬි 26 කුමරුට ඔටුනු පැළඳීමේ මඟුල් විධානය කිරීමට හසුන් යැවූයේය. පසුව රජුගේ කඩ කළ නොහැකි හසුන් අසා, ලංකාපුර සෙනෙවි තෙමේ එකෙණෙහිම අභිෂේක විධිය කරවීමට 27 ආරම්භ කළේය. මාළව චක්‍රවර්තියාද, එසේම මාද්‍රව රායරය, ථලයුරු 28 නාඩාල්වය යන මේ ලම්බකර්ණ ගෝත්‍ර ඇත්තවුන් ලම්බකර්ණ ධුරයෙහි යොදවා, පසුව අනුන් විසින් ඉක්මවිය නොහැකි ආඥා ඇති ඔහු රජයෙහි අණබෙර හසුරුවා, සිය සේනාව පෙරටු කොට 29 නන් අබරණින් හෙබියා වූ පඬි රජයෙහි සියලු සාමන්තයන් රැස් කරවීය.

30 පූර්ව රාජ මන්දිරයෙන් උතුරු දිග්භාගයෙහි, පෙර ලබන ලද ජය භේරියෙන් හෙබියා වූ දේවාලයෙහිදී කුමරුට නියම වූ පරිද්දෙන් 31 ඒ අභිෂේක මඟුල කරවා, මහා යසස් ඇති ලංකාපුර තෙමේ ඔහු ලවා නුවර පැදකුණු කරවීය.

කුලශේඛරගේ ප්‍රතිප්‍රහාර සහ බලකොටු බිඳ වැටීම

ඉක්බිති තොඩමානයන්ගේ ගිරි දුර්ගයට පළවා හරින ලද කුලශේඛර 32 මිහිපල් තෙමේ, තොඩමානයන් තමා වසඟයට ගෙන, ඔහුගේ සෙනඟත් ස්වකීය සෙනඟත් රැගෙන, එහි භීෂණ වික්‍රම ඇති මිංඩ නම් අනුජීවියාද ගෙන ඒ පර්වත දුර්ගයෙන් බැහැරට පැමිණියේය. පසුව මංගල 33 නම් වූ බලකොටුවට වැදී, මණනය රායරය, සෙංකුඩි රායරය යන 34 සිංහලයන්ට වසඟව ගියවුන් හා මහා යුද්ධ කොට ඒ කොටුව පැහැරගෙන ඔහු එහිම රැඳී සිටියේය.

35 ඉක්බිති ලංකාපුර තෙමේ සිදුවූ පරිද්දෙන් 36 ඒ පුවත් දැන, “වෛරී රජු එතැනිනුත් පළවා හැර පර්වත දුර්ගයෙහි ආරණ්‍ය 37 දුර්ගයෙන් යුක්ත වූ රටද ශුද්ධ කොට පැමිණීම වටින්නේය” යි සිතා මධුරා 38 පුරයෙන් පිටත්ව මංගල කොටුව සමීපයෙහි බලකොටුවක් ඉදිකරගෙන සිටියේය.

39 අනතුරුව වෙල්ලිනාබ නම් බලකොටුවෙහි මහා සේනාව සමග සිටියා වූ 40 තොඩමානයන්ගේ බිරිඳගේ සහෝදරයන් තුන්දෙනා සමගද, කල්ලක්ක 41 නම් වේළාරය, මුනයධරායරය, කාලිංගරායරය යන මොවුන් සමගත් 42 මහා යුද්ධ කොට ඒ බලකොටුව පැහැරගෙන බොහෝ දෙමළුන් මරා දැමුවේය. පසුව සිවලී පුත්තුරුවද පැහැරගෙන මහා යසස් ඇත්තේ එහි රැඳී සිටියේය.

වැවක් බිඳීම සහ ලංකාපුරගේ ප්‍රතිචාරය

එකල කුලශේඛර නම් සතුරු රජ තෙමේ ත්‍රිණවෙලියෙහි 43 බල සේනාද එක් රැස් කොට, එසේම මයිලන් දෙදෙනාටද හසුන් යවා, තොලොංගු සහ වඩකොංගු යන දෙරටින් බල සෙන් ගෙන්වාගෙන මහ සෙන් ඇතිව, ඒ 44 සියලු සේනාවට අණ කොට සාන්තනේරිය යයි ප්‍රසිද්ධ වූ බලකොටුවෙහි සිටීමට නියෝග කළේය. එකල්හි ලංකාපුර තෙමේද, 45 ජගත් නායක (ජගද්විජය) තෙමේද ඒ බලකොටුව ගැනීමට එකෙණෙහිම මගට පිලිපන්හ.

46 එකල්හි උපාය කුශල වූ කුලශේඛර නම් තෙමේ සතුරන්ගේ ගමන 47 අවහිර කරනු පිණිස මහ වැවක් බිඳ දැමීය. එකල්හි වීර වූ ලංකාපුර තෙමේ ඒ පුවත් දැන, “සතුරන් හා මහා යුද්ධ කිරීමට යන්නෙකු විසින් අතරමගදී 48 කැඩුණු වැවක් දැකීම නුසුදුසුය” යි මෙසේ සිතා, මහා බල ඇත්තේ එකෙණෙහිම 49 ඒ වැව බැඳවීය.

ඉන්පසු මහා බල පරාක්‍රම ඇත්තේ ඒ මහා දුර්ගයට ගොස් දරුණු 50 යුද්ධ කොට එකෙණෙහි එය පැහැර ගත්තේය. එහිදී කලලක නම් වේළාරයා හා 51 අන්‍ය වූ බොහෝ දෙමළුන් මරා, බොහෝ ද්‍රවිඩයන්ද අශ්වයන්ද අල්ලා ගත්තේය. 52 එයින් තිරිමලක්ක නම් වූද, එසේම කත්තලමන නම් වූද තොඩමානයාගේ ගම් දෙකට ක්ෂණයකින් වැදී තිරිමලක්ක නම් ගම නාමශේෂ කොට (සම්පූර්ණයෙන් විනාශ කොට) ගිනි තැබීය. ඉන්පසු “පරාක්‍රම පණ්ඩු රජ තෙමේ මෙහි පැමිණියේ යැ” යි පවසා එයින් පිටත්ව චෝල කුලාන්තක නම් ගමට ගොස් මහා යසස් ඇත්තේ මඳ කලක් එහිම විසුවේය.

සොළී ආධාර සහ මහා සංග්‍රාම

53 ඉක්බිති කුලශේඛර රජ තෙමේ ස්වකීය මයිලන් දෙදෙනාද, ඒ දෙදෙනාගේද එසේම බොහෝ අශ්වයන්ද, අකලංක නාඩාල්වරාය, 54 එසේම පල්ලව රායරය, මළයප රායරය, එසේම කංඩම්බි රායරය, 55 කිංචාරතත රායරය යන මහා බල පරාක්‍රම ඇති මෙකී සොළී සාමන්තයන්ද, 56 ඔවුන්ගේ නොමඳ සේනාව විසින් පෙරටු කරණ ලද පුකොංඩ නාඩාල්වරාය යන මෙතෙක් බල සෙන් ගෙන, තෙමේ පලකොට්ට නම් 57 තැනට පැමිණියේය. 58 පාංඩුනාඩුකොට්ටාන නම් තැනද, එසේම ඌරියේරි නම් තැනද ඒ මහ සෙන් රඳවා සිටීමට, මහා බල ඇති හෙතෙම ඒ 59 වාරයෙහි සතුරන් දිනනු පිණිස කරන ලද නිශ්චය ඇත්තේ නියෝග කළේය.

60 ඉක්බිති ලංකාපුර නම් ප්‍රභූරාජ තෙමේද, ජගද් විජය නායක තෙමේද යුද්ධය පිණිස චෝළ කුලාන්තය නම් ගමින් පිටත්ව ගොස්, මහ 61 බලකොටු දෙකෙහි සිටි සතුරු සේනාවන් යුද්ධ භූමියෙහි යුද්ධ ආරම්භ කිරීමට අකමැති කරවා, ඌරියේරි නම් ගමෙහි වැව මත්තෙහි මහ බලකොටු 62 කරවා එහි එකල්හි රාත්‍රී භාගයෙහි විසූහ. ඒ වේලාවේ බලකොටු දෙකෙහි 63 සිටුවන ලද්දා වූ සතුරු සේනාව බිඳී ගිය අතර, යම් තැනක කුලශේඛර රජ තෙමේ වී නම් ඔවුන් එතැනට ගියහ.

64 එකල්හි ලංකාපුර තෙමේද ජගද් විජය නායක තෙමේද තැන් නොතැන් දැනීමෙහි විචක්ෂණ වූවෝ පලස්කොට්ට නම් තැනට ගොස්, 65 භීෂණ යුද්ධ කොට නොපසුබස්නා වීර්ය ඇතිව වෛරී රජුගේ 66 බොහෝ යෝධයන් මරවා, බොහෝ අශ්වයන් අල්ලාගෙන කුලශේඛර මිහිපල්හු 67 පළවා හැරියහ. එකෙණෙහිම පලඩ් කොට්ටය අල්ලාගෙන එයින්ද නික්ම ගියහ. අනතුරුව තුවර රට අධිපති වෙළාර නම් අයෙකු වෙතට ගොස් ඔහු විසින්ම දෙන ලද්දා වූ 68 අශ්වයන්ද ඇතුන්ද ගෙන කුලශේඛර මිහිපල් තෙමේ මධුරාවට පැමිණියේය යැයි අසා, ඔහුව එතැනිනුත් පලවා හරිනු පිණිස අධරට්ටෙරි නම් තැනට 69 අවුත්, එහි නිගලරායරයා වසඟයට ගෙන ඔහුට බොහෝ ත්‍යාග දුන්හ. 70 පසුව එතැනින් නික්මුණු කල්හි කුලශේඛර මිහිපල් තෙමේ භයට පැමිණියේ, එයින් සොළී රටට ඇතුළු විය.

සොළී රජුගේ මහා සේනාව

71 ඉන් පසු ලංකාපුර තෙමේ ජගද් විජය නායක නම් ඇමතියා පත්ත නලූර නම් තැනෙහි සිටීමට නියෝග කොට, තෙමේ බල සේනා 72 විසින් පෙරටු කරන ලද්දේ තිරික්කානුප්පෙර නම් තැනට ගියේය. 73 කුලශේඛර රජ තෙමේද නානාප්‍රකාර යාචන කර්මයෙන් (බැගෑපත්ව ඉල්ලා සිටීමෙන්) සොළී රජු 74 පහදවා ගත්තේය. ඒ රජුගේ නියෝගයෙන් පල්ලවරායරය නම් වූවහුගේ සේනාවද, බොහෝ අශ්වයන්ද, ඉනන්දපද නම් තැනැත්තාද, තවද අන්‍ය වූ 75 තොඩමාන නම් වූවහුද, රාජරාජකළප්ප නම් රායරයාද, පත්තාරායර නම් වූවහුද, කංගකොංඩකළප්ප නම් රායරයාද, එසේම අන්‍ය වූ 76 නකාරානිබිලුපාදී රායරයාද, එසේම අන්‍ය වූ නිචචවිනොදමානව 77 රායරයාද, වීර වූ නරසීහ පද්මරායරයාද, සේකීරපද්ම රායරයාද, රාජින්දබ්‍රහ්ම මහාරාජයාද, මාධව රායරයාද, නිකලධ රායරයාද, 78 චොළකොනාරයාද, ජන්දබ්‍රහ්ම මහ රායරයාද, චොළනිරික්ක රායරයාද, උච්චංකුඨ රටෙහි මෙකී බල නායකයන් ගෙන නීයාරයා නැවත අන්‍ය 79 වූ කුංඩු චෙට්ටිය, එසේම කොංගමංගලය නාඩාල්වාරය, තවද අන්‍ය වූ 80 අකලජක නාඩාල්වාරය, එසේම කංඩම්බ රායරය, කීළමංගලනාඩාල්වාරය, එසේම අන්‍ය වූ විශාලමුත්තු රායරය සහ ඔවුන්ගේ බොහෝ අශ්වයන්ද 81 එක්කොට පුංඩිය සහ පාසය යන දෙරටට එවීය.

ලංකාපුරගේ සොළී දේශ ආක්‍රමණය

ලංකාපුර තෙමේ 82 ඒ විධානය අසා ඔවුන් නාමශේෂ කිරීමට සිතා, මධුරාවෙහි ජගද්විජය 83 නායක ඇමතියා රඳවා, වීර වූයේ තිරික්කානුප්පෙරු නම් තැනින් පිටත්ව පසුව තෙමේ කීළෙනීලය නම් මථුරාන්තක පුරයට එළඹියේය. එකල්හි 84 සොළී මහා සේනාව මහා යුද්ධයක් පටන් ගත්තේය.

85 සතර ගව්වක් පමණ වූ ඒ මාර්ගය මළමිණී වලින් පිරී ඉතිරී යන පරිදි සතුරන්ව 86 බිම හෙළුවා වූද, බොහෝ භටයන් මරවා සාගර ජලය සතුරන්ගේ ලෙයින් ඉතා රතු කොට, බොහෝ අශ්වයන්ද, එසේම බොහෝ දෙමළුන්ද අල්ලාගෙන, රාජින්ද්‍ර බ්‍රාහ්ම මහා රායරය, නන්දි පද්මරාය, නරසීම පද්මරාය, 87 චොළකොනාරය යන බල නායකයන්ගේ මඩමණමේක්කුඩිය, 88 මනමේක්කුඩිය, එසේම මඩක්කුඩිය යන තැන් භූමි ශේෂ කොට (පොළොව පමණක් ඉතිරි වන සේ) ගිනි 89 තබා විනාශ කළේය. සොළී දේශයෙන් සත් ගව්වක් පමණ තැන් ද ගිනි තබා, මෙසේ ඒ 90 සොළීන්ව විනාශ කර, එයින් පෙරළා පැමිණියේය. නිකලධ රායරයාට අයත් වූ වෙලංකුඩිනම් ගමට වැද එනු පිණිස ඔහුට හසුන් යැවීය.

නිකලධ රායරගේ යටත් වීම සහ පරිපාලනය

91 එකල්හි ඒ තෙමේ කුලශේඛර රජුගේ වසඟයෙහි වී කුලශේඛර රජුද, 92 ශිලාමේඝරය, අකලංක නාඩල්වාරය, එසේම කංඩම්බ රායරය, 93 මලයජ්ජපරයාරය, විශාල මුත්තුරායරය, කලවංඩීනාඩාල් වරාය 94 යන අය සමග ත්‍රිණවෙලියෙහි බල සේනාවද, පුඩකොංඩ නාඩාල් වරාය යන මෙකී සෙන් ගෙන මහා බල ඇතිව මහා යුද්ධ කරනු පිණිස පොන් අමරාවතියට පැමිණියේය.

95 මහ බල ඇති ලංකාපුර තෙමේ එ පුවත අසා සතුරු රජු 96 පරාජය කිරීමට වේලංකුඩියෙන් නික්ම පස් දිශාවකින් අවුත් පවත්වන ලද 97 මහා යුද්ධ ඇති සතුරු සෙන් එකෙණෙහි බිඳ, භීෂණ වික්‍රම ඇතිව දහස් ගණන් දෙමළුන් මරවා, බොහෝ අශ්වයන් ගෙන කුලශේඛර රජු පළවා හැරියේය. පසුව නිකලධ රායර තෙමේ බියට පත්ව, “මා සතු වස්තු වර්ගයද, 98 මාගේ බොහෝ වූ අශ්වයන්ද ගෙන මාගේ මේ දෝෂය ඔබ විසින් ක්ෂමා කළ යුතුය” යි කියා හසුන් එවීය.

99 ඉක්බිති ලංකාපුර තෙමේ ඒ අසා පිළිතුරු හසුන් යවමින්, “අවශ්‍යයෙන්ම තොප විසින් මාගේ අනුශාසනා පිළිපැදිය යුතුය. තොපගේ 100 ධනයෙන් හෝ අශ්වයන්ගෙන් හෝ මට පලක් නැත. බිය නොවූයේ තෙමේම අවුත් මා හමුවන්න” යයි හසුන් යැවීය. ඒ අසා ඒ තෙමේ ලංකාපුර 101 නම් ප්‍රභූ රාජයා දැකීමට එකල්හි එළඹියේය. ඔහුව දැක ප්‍රසාදයට පත්ව රටත් 102 ඔහුට දී, දවන ලද ගෙවල් නැවත කරවීමට බොහෝ වස්තුවද දී, එයින් නික්ම 103 මහා යසස් ඇති හෙතෙම නියමිත ස්ථානයට අවුදින්, ඒ සියලු රටම කටු කොහොල් හරවා (නිෂ්කණ්ටක කොට), පරාක්‍රම මහීපාලයාගේ නම කොටන ලද කර්ෂාපණයන් (කාසි) ඒ රට සෑම 104 තැනකම ව්‍යවහාරයෙහි යෙදවීමට නියෝග කොට, වීරපඬි කුමරුට ඒ රට පවරා දුන්නේය. සොළී දේශයෙන්ද, පඬි රටින්ද ගන්නා ලද්දා වූ බොහෝ අශ්වයන් 105 හා මිනිසුන්ද, ඇතුන්ද වහා සිංහල ද්වීපයට එවීය.

සමාප්තිය

106 එකල්හි රාජේන්ද්‍ර කේශර සිංහ වූ පරාක්‍රමබාහු රජ තෙමේ පඬිරට 107 ජය ප්‍රකාශ කරන්නා වූ ‘පණ්ඩු විජය’ නම් සියලු කාලයෙහි සමෘධි ඇති උතුම් ගමක් පිහිටුවා, සෑම කල්හිම දානයෙහි ඇලුනේ බමුණන්ට දන් පිරිනැමුවේය.

108 මෙසේ විචිත්‍ර වූ අනන්ත වික්‍රම සාර ඇති පරාක්‍රමබාහු නම් වූ ධරණීපාල කුලාග්‍ර වූ යමෙක් තෙමේ පරයන් පරාජය කෙරේද, යුක්තායුක්ත විවේක චින්තනයෙන් යුත් උත්කෘෂ්ට චිත්තාචාර ඇති අද්විතීය වූ හේ තෙමේ බොහෝ කාලයක් සමුද්‍රය කෙළවර කොට ඇති මේ පෘථිවිය උසුලත්වා!

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහවංශයේ පණ්ඩුරට්ඨ විජය (පඬිරට දිනීම) නම් වූ හැත්තෑ හත් වෙනි පරිච්ඡේදය නිමි.