1 ඉක්බිති නරශ්‍රේෂ්ඨ වූ පරාක්‍රමබාහු රජතුමා, සොළි සේනාව විසින් සියලු ආකාරයෙන් වනසන ලද, තමන්ගේ මුල් රාජධානිය වූ ඒ අනුරාධපුරය නැවත ගොඩනැගීමට අදහස් කළේය. 2 ජීවමාන ශාස්තෘන් වහන්සේගේ දැවී දහසක් හා පාද නිම්වළලු ඇති මංගල චක්‍ර ලක්ෂණයෙන් හෙබියා වූ පාද ස්පර්ශයෙන් පවිත්‍ර කළ භූමියක් හෙයින් ද, 3-4 මහර්ෂීන් වහන්සේගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව සහ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා පිහිටි ප්‍රදේශයක් හෙයින් ද, එම භූමිය අතිශයින් පිදිය යුතු යැයි සිතා ඒ නගරය ප්‍රතිසංස්කරණය කරවීමට පටන් ගත්තේය. 5-6 පසුව විචක්ෂණ බුද්ධියක් ඇති ඒ රජතුමා, එක් ප්‍රධාන අමාත්‍යවරයෙකු කැඳවා තමා කැමති වූ ආකාරයෙන් එම කාර්යය සිදු කරන ලෙස ඔහුට අණ කළේය.
7 ඉක්බිති ඒ අමාත්‍යවරයා ද රජුගේ ආඥාව සියලු ආකාරයෙන් නොවෙනස්ව, තම හිසින් පිළිගෙන දෑත් එක්කොට ඇඳිලි බැඳ අනුරාධපුරයට ගියේය. එහි ගොස් ක්ෂේත්‍ර විධානයෙහි දක්ෂ වූ හෙතෙම සියලු රාජාඥාවන් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ආරම්භ කළේය. 8-9 ඉක්බිති නුවණැති ඒ ඇමති තෙමේ, පෙර රජවරුන්ගේ රාජධානි සීමාවෙහි පවුරු, අනුපවුරු, වීථි, ප්‍රාසාද සහ තොරණ ද, මනරම් වූ පොකුණු, උයන් සහ උද්‍යාන ද පෙර තිබූ ආකාරයෙන්ම නොබෝ කලකින් කරවීය.
10-11 පසුව රුවන්වැලි මහ සෑය ආදී වූ තුන් නිකායට අයත් දාගැබ් ද, ලෝවාමහාපාය ආදී බොහෝ වෙහෙර විහාර ද කරවීය. 12 තමා විසුවා වූ ද, දොරටු, අට්ටාල සහ තොරණවලින් යුක්ත වූ ද, දුටුවන්ගේ සිත් පිනවන සඳැල්ලෙන් සිත්කළු වූ රාජාංගනයකින් සහිත රූමත් මාලිගාවක් ද කරවීය. 13 මේ ආදී වූ සමෘද්ධියෙන් යුක්තව සියලු නුවර පෙර තිබූ ආකාරයෙන්ම කරවීය. මෙසේ ම ඒ රජතුමා පෙර රජවරුන් බොහෝ දෙනෙකු විසින් කරවන ලද කර්මාන්ත එක් ස්වකීය අමාත්‍යවරයෙකු ලවා වහා නිම කරවූයේය. 14-16 (ඒ එසේමැයි) නොයෙක් ජාතීන්හි රැස් කළා වූ කුසල බලයට භාජනය වූ නුවණැත්තන්ගේ සියලු මනදොළ ඒකාන්තයෙන්ම යහපත් ලෙස සිදුවේ මැයි.
17 ඊට ඉක්බිතිව නුවර දොරටු සහ තොරණින් යුක්ත වූ, පවුරු දිය අගල්, වීථි, මාලිගා සහ ආපනශාලා වලින් හෙබියා වූ ද, සීලාදී ගුණ යෝග ඇති නොයෙක් සිය ගණන් භික්ෂූන් වහන්සේලාගේ වාසය පිණිස කරන ලද ප්‍රාසාදයන්ගෙන් හෙබියා වූ ද නගරයක් කරවීය. 18 ආරාමයන්ගෙන් සිත්කළු වූ, දෙවියන්ගේ ආලකමන්දා නුවර මෙන් පොහොසත් වූ, සියල්ලෙන් පිරුණා වූ, සුභික්ෂ වූ, හැම කල්හි මනුෂ්‍ය සමූහයාගෙන් ගැවසී ගත්තා වූ ‘පරාක්‍රම’ නම් නුවර ද මහා ප්‍රඥා ඇති ඒ රජතුමා කරවීය.
19-21 ඊට ඉක්බිතිව මේ සිංහල ද්වීපයෙහි ඒ ඒ ජනපදවල සිටියා වූ මහා අමාත්‍යවරුන් ලවා, ඒ ඒ දනව් වැසි මහජනයා පීඩාවට පත් නොකොට, ඒ ඒ දනව්වෙන් ලැබිය යුතු අයබදු ද විනාශ නොවන පරිදි යම් යම් ක්‍රමයකින් ලබා ගත හැකි නම් එලෙස අණ කළේය. 22-23 පසුව මාසයක් පාසා සතර පෝය දිනවලදී සියලු ලක්දිව වැව් ආදී සියලු තැන්වල ගොඩ සහ දියෙහි හැසිරෙන්නා වූ මුවන්, මසුන් ආදී සතුන්ට ප්‍රඥා සම්පන්න වූ, කිසිවෙකුගෙන් භයක් නැත්තා වූ ඒ රජතුමා අභය දානය දුන්නේය.
24 පසුව මාණාභරණ රජු මියගිය කල්හි රුහුණු රට වැසි බොහෝ සාමන්තයෝ තමන්ට පිහිටක් නැති බව සිතූහ. 25 ඔවුහු පරාක්‍රමබාහු රජුගේ ස්වභාවය නොදන්නා හෙයින් භයින් තැති ගත් සිත් ඇත්තෝ වූහ. 26 බිය හේතුවෙන් ඒ රජු හට තමන්ව දක්නට නොගොස්, තමන් කළ අපරාධය ක්ෂණයක් පාසා සිහි කරන්නෝ වූහ. 27 කල් ගත වෙද්දී ඔවුන්ගේ භීතිය දෙගුණ වූ කල, ඒ නරේන්ද්‍ර ශ්‍රේෂ්ඨයාගේ අන්‍යයන් විසින් ඉක්මවිය නොහැකි වූ උදාර වික්‍රමාන්විත ක්‍රමය සියලු ආකාරයෙන් දැන දැනත්, 28-29 “උපන් වැඩුණු රටෙහි එක දවසකුදු ජීවත්ව හිඳීම යහපතැ”යි සිතමින් අන්‍ය වූ යා යුතු මගක් නොදත්තෝ වූහ. 30 “ගංගා, පර්වත සහ දුර්ග මාර්ග ආදියෙන් යුක්ත වූ මේ ජනපදය සතුරු සේනාවකට කිසි කලෙකත් දැකීමට හෝ යටත් කර ගැනීමට නොහැකිය” යැයි සිතා ඔවුහු සුගලා නම් රාජ මාතාව වෙත පැමිණියහ.
31 ඔවුහු ඇය අමතා, “මාණාභරණ රජුගේ මරණය හේතුවෙන් යම් ශෝකයක් වී ද, දේවියනි, ඒ ශෝකය ඒකාන්තයෙන් ඔබගේ සිත නොපෙළාවා. 32-33 අප ජීවත්වන තාක් කල් නොයෙක් දුර්ග මාර්ගවලින් යුක්ත වූ අපගේ මේ ජනපදයට ඒකාන්තයෙන් කවරෙක් නම් ඇතුළු වන්නේ ද?” 34 යන මේ ආදී බස්වලින් ඒ රාජිනියට කරුණු හඟවා සියල්ලෝ සමගි වූහ. ඔවුහු සියලු දුර්ගස්ථානයන්හි රට සීමාව දක්වා ඇතුන් විසින්වත් සොලවාලිය නොහැකි බොහෝ බලකොටු සාදා ගත්හ. 35 ඊට වටා දිය අගල් කප්පවා, එහි යකඩ කූරු බඳු වූ තියුණු කටු අතුරවා, කපා හෙළන ලද ගස්වලින් මාර්ගයන් ද දුෂ්කර කොට, පසුව රටවැසි ඒ සියල්ලෝ රජුට එරෙහි වූවෝ වූහ. 36 එකම මහ බලකොටුවක නොයෙක් දහස් ගණන් යෝධයන් රඳවා යුද්ධය පිණිස සූදානම් වූහ. 37-38 ඔවුහු කැසපට බැඳගත්තෝ, බොහෝ වූ සන්නාහ සහ ආයුධ ඇතිව, මහා බල ඇතිව, අතිශයින් සාහසික ලෙස එහි රැඳී සිටියහ.
39 සුගලා රාජිනිය ද විමසා බැලීමට තරම් නුවණක් නැති බැවින් හා තම ප්‍රකෘතියෙන්ම දුෂ්ට බැවින්, දරුණු ව්‍යසනයට උරුමකම් කියන ඔවුන්ගේ බස් පිළිගත්තාය. 40-41 තමා සතු මැණික්, මුතු ආදී බොහෝ වස්තු ද, එසේම දළදා පාත්‍රා ධාතූන් වහන්සේලා සන්තක වූ බොහෝ වස්තු ද, ගින්නෙහි දමන්නියක් මෙන් සියල්ල ඔවුන්ට වියදම් කළාය. කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව නුවණක් නොමැති වූ ඕ තොමෝ, 42 ඔවුන්ට තනතුරු ද දී, තමා ද ඔවුන් ලවා රජුට විරුද්ධකම් කරවීමට පටන් ගත්තාය.
43 අනුන් විසින් යටපත් කළ නොහැකි විකුම් ඇති පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ද ඒ පුවත අසා, ලීලාසහිත මිහිරි සිනාවෙන් සිනාසෙමින්, යුද්ධයට දක්ෂ වූ රාක්ෂ නම් සෙනෙවියා කැඳවීය. 44 ඒ පුවත ඇසූ පරිද්දෙන් තත්වාකාරයෙන් ඔහුට කියා, “තොප වහා ගොස් නැගී එන සතුරු සේනා නැමැති ලැව් ගින්න, 45 ඊතල වර්ෂා හෙළීමෙන් සියලු ආකාරයෙන් නිවා දමව. 46 ඒ දනව්ව රැකීමට තැබිය යුත්තන් තබා වහා එව” යයි කියා මහා බල ඇති ඔහුව පිටත් කර හැරියේය.
47 එකල කොටසර රටවැසි සිංහල සහ කේරළ භටයෝ, වේලක්කාර බලකායත් සමග රැස්ව සාකච්ඡා කළහ. “පරාක්‍රම නරේන්ද්‍රයා විසින් රුහුණු රට ගැනීම පිණිස 48 ඇමැතියන් සහිත ප්‍රසිද්ධ බොහෝ යෝධයෝ එවන ලද්දෝය. 49 මේ අතරතුර අපි රජරට අල්ලා ගනිමු” යයි මන්ත්‍රණය කොට සියල්ලෝ එක්බස්ව මහා යුද්ධයක් පටන් ගත්හ.
50-51 අවනත කරගත් සියලු රජවරුන් ඇති පරාක්‍රමබාහු රජ තෙමේ, රථ වාහන සහ බලසෙන් සහිත වීර වූ කිහිප දෙනෙක් ඇමැතියන් එහි යවා මැරිය යුතු ජනයන් මරවා දැමීය. එහි බොහෝ ගම් ගණවැසි භික්ෂූන්ට පූජා කරවා තවත් නොයෙක් ගම් රාජභෝගවලට අයිති කරවීය. 52 එහි ද පසමිතුරන්ගෙන් හටගත් භය තුරන් කරවා, කිසිදු තැනක භයක් නැති පරිදි එය සමනය කරවීය.
53 ඉක්බිති රාක්ෂ නම් ඒ සෙනෙවි තෙමේ, ඒ මහරජුගේ අණ පෙරටුව හිසින් පිළිගෙන, වීර වූයේ, මහා යසස් ඇත්තේ, පොළොන්නරුවෙන් නික්ම ‘බරබ්බල’ නම් ප්‍රදේශයට ගොස් එහි කඳවුරු බැඳ ගත්තේය. 54 රට වැසියන් සහිත රුහුණු සියලු මහා සේනාවෝ ඔහු පැමිණි බව ක්‍රමයෙන් අසා, 55 “අපි ජීවත් වන්නෙමු; එහෙත් අපගේ රාජ්‍ය සීමාව පැනගෙන මොහුට මෙහි එන්නට ඉඩ නොදෙමු” යි මෙසේ කරන ලද දැඩි තීරණ ඇත්තෝ වූහ. 56-57 මහත් බලාත්කාර ක්‍රියා ඇත්තෝ ව, ස්වකීය ජීවිතයෙහි ආශාව රහිත ව, යුද්ධ කිරීමෙහි ඉතා කැමැති ව එතැනටම පැමිණියහ.
58 පසුව රාක්ෂ නම් සෙනෙවි තෙමේ ඒ සේනාව සමග දරුණු යුද්ධ කරමින්, 59 බොහෝ බල සේනා මරවමින්, ඔවුන් විසින් මාර්ගයෙහි කපා හෙළන ලද ගස් කපා දමමින් ‘කටුවන’ නම් ස්ථානයට ගියේය. 60 මහා බල ඇති හෙතෙම එහි බලකොටුවක් සාදාගෙන සිටියා වූ සතුරු සේනාව හා යුද්ධ කොට, ඒ කොටුව බිඳ ඇතුල්ව නොයෙක් දහස් ගණන් යෝධයන් ජීවිතක්ෂයට පත් කළේය. 61-62 එයින් පිටත්ව ‘අම්බල’ නම් තැනට ගිය අතර, එහි සිටි සේනාව සමගත් යුද්ධ කොට එහි බල කොටුවක් බිඳ සියලු ඒ යුද්ධ භූමිය මස් ලෙයින් පූර්ණ කළේය. 63 එයිනුත් නික්ම ‘සැවැත්’ නම් මහ කොටුව ද බිඳ බොහෝ භටයන් මරා දැමීය.
64 ඒ ඉදිරියෙහි ‘දිවාචන්දන්තාබාට’ බල කොටුවෙහි ද, ඊට ඉදිරියෙහි ඒ මහ වනයෙහි මහ පර්වතවලින් ගහන වූ මැද කොටසෙහි ද, 65 කපා හෙළන ලද නොයෙක් මහ ගස් හේතුවෙන් බැස ගත නොහැක්කා වූ මිනිසුන්ගේ යාම් ඊම් වර්ජිත වූ මහමග ගව්වක් දෙකක් පමණ දුර වූ වෙනෙහි ද, 66 මද කිපුණ ඇතුන් විසින් පවා සොලවාලිය නොහැකි මහ දොරවල් ඇති, අතිශයින් ළඟා විය නොහැකි බලකොටු හතක් ද පිළිවෙළින්ම කරවා ගත්හ. 67-68 එකක් පාසා තමන් විසූ බල කොටුව සතුරු සේනාවට “ඒකාන්තයෙන් ඇතුල්වීමට ඉඩ නොදෙන්නෙමු” යි සියලු ආකාරයෙන් කරන ලද දැඩි ගිවිසුමෙන් යුක්ත පසමිතුරු සෙන් හා කීප මාසයක් රෑ දාවල් දරුණු යුද්ධ කොට, ඇමැතියන් සහ නොයෙක් දහස් ගණන් යෝධයන් මරවමින් මහත් බල ඇති ඒ රාක්ෂ සෙනෙවි තෙමේ එහි ම විසී ය.
69 වීර වූ පරාක්‍රම මහා රජතුමා පොළොන්නරු නුවර වසමින් ඒ සෙනෙවියාගේ මේ යුද්ධ ක්‍රමය දූතයන් මාර්ගයෙන් අසා මෙසේ සිතිය: 70 “ලාමක වූ කැරලිකාර වූ ඔවුන් හා මෙතෙක් කල් සම ව යුද්ධ කිරීම සියලු ආකාරයෙන් ම සුදුසු නැත. 71 මා විසින් කියන ලද උපදෙසින් දොරටු සහිත සියලු බලකොටු බිඳ හෙළා, විශාල වූ සියලු සේනාව මරවා ඒ විස්තරය තත්වූ පරිද්දෙන් කියා වහා මා වෙත එව” 72 යි මෙසේ ආඥා කොට, බොහෝ යෝධයන් ද ලබා දෙමින්, 73-74 එම යුද්ධ භූමිය වෙතට ස්වකීය රාජ භවනයෙහි වසන සංග්‍රාම උපායෙහි දක්ෂ වූ ‘භූතාධිකාරී’ව යැවූයේ ය.
75 ඉක්බිති ඒ මහා අමාත්‍යවරයා පුලස්තිපුර නගරයෙන් (පොළොන්නරුවෙන්) නික්ම, 76 රාක්ෂ සේනාධිනායකයා හා එක්ව, මහා බල ඇත්තේ ශ්‍රීමත් නරශ්‍රේෂ්ඨයාගේ ආඥාවට විරුද්ධ නොවී ක්‍රියා කළේය. 77 මී හරක් හම්වලින් කළ සන්නාහ කරවා ගෙන, මහ සෙන් සරසා ගෙන මහ යුද්ධ කොට නොයෙක් සිය ගණන් බොහෝ වූ යෝධයන් මරවමින්, 78 පිළිවෙළින් කරවූ සත් බලකොටු බිඳුවා දැමීය. 79 එයින් නික්ම ‘කෑලවත්ත’ යයි නම් ලද ගමට ගියාහු, නැවත එහිදු ඝෝර වූ ඉතා බියකරු යුද්ධ කොට එයිනුදු නික්ම ‘වටරක්ගොඩ’ ට ගියහ. 80 එකල එහි දී නානා දිශාවෙන් පැමිණියා වූ සතුරු සෙන් මරවා, ‘දළවඩුන්’ නම් ගම්හි මහ යුද්ධ කොට එයිනුදු ගොස් ‘සොහොවුරා’ නම් ගම්හි මහ යුද්ධ කළහ. 81-82 එයින් රාක්ෂ සෙනෙවි තෙම ‘ලොග්ගල’ සිටි සතුරු සෙන් පැරදවීමට බොහෝ බල සෙන් යවා බොහෝ යෝධ සහස්‍රයන් තමා වෙත ද රඳවා ගත්තේය.
83 මේ අතරතුර “සෙනෙවි අධිකාරී ගනිමු” යි කියා පැමිණියා වූ මහ සෙන් මරවා හෙතෙම ජය ගත්තේය. 84 පලා ගොස් ලොග්ගල සිටියා වූ මහත් චතුරංගිනී සේනාව ද, එහි සිටි සතුරු සෙන් විනාශ කරමින්, 85-86 ඔවුන් සතු වස්තු සම්භාරය සියලු ආකාරයෙන් පැහැර ගෙන සේනාධිනාථයන් විසූ තැනට ම පැමිණියාහ. එම සේනා දෙක එක්ව ‘මැදගමට’ ගොස්, එහි ද ලොග්ගල සිටි සෙනෙවි අධිකාරීන් හා එක්ව සටන් කළහ. 87 “දළදා ස්වාමීන් ද, පාත්‍රා ධාතුව ද ගැනීමට ඉඩ නොදෙමු” යි දැඩි තීරණයක් ගෙන ‘කටුදොර’ නම් ගම්හි සිටි සතුරු සේනාව හා මහ යුද්ධ කොට සතුරු සේනාව මරා දැමූහ. 88-90 පසුව ‘උදුන්දොර’ ට ගොස් එහි බලකොටු තනා සිටි සතුරු සෙන් හා දරුණු යුද්ධ කොට, දොරටු සහිත බලකොටු බිඳ ඇතුල් වී බොහෝ සතුරන් මරවා බල වාහන සරහා ගෙන ඒ ගම විසූහ. 91 ඉක්බිති සුගලා රාජිනිය ද දළදා සහ පාත්‍රා ධාතූන් වහන්සේලා රැගෙන ‘උරුවෙල්’ නම් ස්ථානයට පලා ගියාය.
92-93 තව ද දිගා වැව සිටි සතුරු සෙන් විනාශ කිරීම පිණිස පරාක්‍රම නරේන්ද්‍රයා විසින් බල සෙන් සහ යවන ලද ‘කීර්ති’ නම් අධිකාරී තෙමේ ද, ‘කීර්ති ජීවිත පුස්තකී’ (නිලධාරියා) තෙමේ ද, අන්‍ය වූ මහා ප්‍රධානයෝ ද සරසන ලද මහත් බල වාහන ඇතිව පිටත් වූහ. 94 ඔවුහු එරාහුලු දිශාවෙන් ගොස් ‘ගිවලබා’ නම් ගමෙහි සිටි සතුරන් හා බිහිසුණු යුද්ධ කොට එහි බල කොටුව ද බිඳ දැමූහ. 95-96 නොමඳ ලෙස සතුරන් ද නසා එයින් ඔබ්බට ගොස් නැවත ‘උඩුගම’ ට ගොස් එහි බලකොටු කොට ගෙන, 97 තුන් මසක් නිරන්තරයෙන් මහ යුද්ධ පවත්වා මහ සෙන් පලවා හැරියහ. ඉන් ඉක්බිතිව ‘හිහොබු’ නම් වූ තැන බල කොටු බැඳ, ඉන් දිය අගල් කප්පවා කටු අතු අතුරුවා සෙනග රැස් කරවා ගත්හ. 98 හැම කල්හි යුද්ධයට සූදානම් ව සිටි සතුරු සෙන් හා බිහිසුණු මහ යුද්ධ කොට දොරටු සහිත ඒ සියලු බල කොටු බිඳ ඇතුල් වූහ. 99 ඉක්බිති ඊතල වැස්සක් වැස්වීමෙන් ළං විය නොහැකි යුද්ධ කොට ඉනිදු නික්ම ගියහ. 100 ‘කිරින්ද’ නම් ගම ගව්වක් පමණ තන්හි පෙර සේම බල කොටු බැඳ සිටි සතුරු සෙනග පෙර සේම බිඳ දමා, 101 මහ බල ඇති ඔව්හු ‘දිගා වැව’ නම් ස්ථානයෙහි කඳවුරු බැඳ ගත්හ.
102 දීර්ඝ දර්ශීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ පරාක්‍රම නරේන්ද්‍රයා ද එහි සිටි ඇමැතියන්ට මෙසේ හසුන් යැවී ය. 103 “යුද්ධයෙහි පැරදී පලායන සතුරෝ වනාහි උතුම් වූ පාත්‍රා සහ දළදා ධාතු ස්වාමීන් වහන්සේලා රැගෙන බිය වැදී මුහුදෙන් එතෙර යන්නාහ යි මා විසින් අසන ලදී. 104 එසේ කළහොත් මේ ලංකාද්වීපය හිස් වන්නේ ය. 105 වැලිත් මේ ලක්දිව්හි මැණික්, මුතු ආදී අගනා නන් රුවන් වර්ගය විද්‍යමාන කල්හිත් සියලු ආකාරයෙන් අසදෘශ වූ රත්නයන් වන්නේ ධර්මස්වාමීන් වහන්සේගේ දළදා සහ පාත්‍රා ධාතූන් වහන්සේලා දෙදෙනා ය. 106-108 තව ද සාර වූ බොහෝ වූ ධනයන් වියදම් කොට, සන්නාහ ආයුධ සහිත යෝධයන් අතුරු නැතිව රැස් කොට ගෙන, මේ උතුම් වූ ලක්දිව නිරවුල් කොට සකස් කරන්නා වූ මා විසින් කරන ලද මහත් උත්සාහය ද ඒකාන්තයෙන් නිෂ්ඵල වන්නේ ය.”
109 “නන් රුවන් රැසින් උතුරා බබළන අගනා කිරුළෙන් මාගේ හිස සැරසූ නමුදු, මහර්ෂීන් වහන්සේගේ දළදා සහ පාත්‍රා වහන්සේලා දෙදෙනාගේ උතුම් පහස ලැබීමෙන් (හිස මත තබා ගැනීමෙන්) පමණක් එය පවිත්‍ර වන්නේ ය. 110-112 එහෙයින් බල වාහන සහිත සියල්ලෝම එකමුතුව, මා විසින් කියන ලද උපදේශයත් නොවරදවා, සම්පූර්ණයෙන්ම සතුරු සෙන් වනසා දළදාව හා පාත්‍රා වහන්සේ වහා එවව්” යයි කියා හසුන් යැවී ය.
113-115 කීර්ති නම් අධිකාරීහු ද දිගා වැව් මණ්ඩලයේ වසමින් ඒ රජුගේ හසුන් හිසින් පිළිගෙන, සෙනග සහිත බොහෝ ඇමතියන් රැස් කරවා ගෙන සේනානායක අධිකාරීන් සිටි තැනට පැමිණියේ ය. 116 ඉක්බිති වහාම රට වැසි මහ සේනාව සහ වර්ගිකයෝ ද, සියලු ඇමතියන් සමග බොහෝ වූ සන්නාහ ආයුධ ඇතිව යුද්ධයෙහි සැරසී ගත්හ. 117 ඔවුහු නො පසුබස්නා වීර්ය ඇතිව, වේගවත් ඉරියව් ඇතිව ‘උදුන්දොර’ නම් ගමට යුද්ධ කිරීමට පැමිණියහ.
118 “අප අයත් රට මැදට වන් සතුරන් අතුරෙන් එක සතුරෙකුටවත් පලා යන්නට ඒකාන්තයෙන් ම ඉඩ නොදී, සතුරන් පලායන මාර්ගයෙහි ද බලකොටු බැඳ, දෙතුන් ගවු පමණ තැන මාර්ගය ද යා නොහැකි කළෙමු” යි සිතූහ. 119 සතුරන් වසන ප්‍රදේශය හාත්පස නානාවිධ ධාන්‍යයන්ගේ පැමිණීම ද වළකා, සියලු සතුරු සේනාව ම දුබල බවට පත් වූ කල, 120 ඊතල වර්ෂාවෙන් ළං විය නොහැකි මහ යුද්ධ කොට සතුරන් මරන්නෙමු යයි සිතා, 121-122 යට කී ආකාරයෙන් මහ බලකොටු බැඳ ගෙන යුද්ධයට ලොල් ව රැඳී සිටියහ.
123 ඉක්බිති භූතාධිකාරී ද, රාක්ෂ සේනාධිනායක තෙමේ ද, කීර්ති නම් අධිකාරී ද යන රණ බිමෙහි ශූර වූවෝ මහ සෙන් සරසා ගෙන සතුරු සෙන් මැඩපවත්වමින් සිටියහ. 124-125 උපදෙස් පරිද්දෙන් සියල්ලෝ එක්ව නික්ම ගෙන ඉතා දරුණු යුද්ධ කොට බොහෝ භටයන් මරවා ඉතිරියන් පලවා හැරියහ. 126-127 පසුව එයිනුදු නික්මුණු මහ බලැතියෝ ‘මහරීවර’ නම් බලකොටුව ද බිඳ, එතැනින් සියල්ලෝ නික්ම ගෙන ‘වොයලගමුව’ නම් තැන රැස්ව යුද්ධ දක්ෂ වූවෝ කඳවුරු බැඳ ගත්හ. 128 ඊට ඉදිරියෙහි ‘සමන්ගල්’ නම් පෙදෙසෙහි සිටි සතුරු සෙන් යට කී ආකාරයෙන් බියකුරු යුද්ධයේදී මරා දැමූහ. 129-130 ඉන් ඉක්බිතිව ‘බදගුණ’ නම් තැන්හි බල කොටු බැඳ ගෙන සිටි සියලු සෙන් මහා යුද්ධයේදී බිඳ දමා, උතුම් වූ දළදා සහ පාත්‍රා ධාතූන් වහන්සේලා අත්පත් කරගෙන, මහ සෙන් විසින් පෙරටු කරන ලද්දෝ එහිම විසූහ.
131 එකල මාණාභරණ රජුගේ සාමන්තයෙකු වූ, හුරුබෑදෙව් නම් වූ නුවණ මද එක් සෙන්පතියෙක් පරාක්‍රමබාහු මහරජු විසින් සිරගෙයි දැමූ දැඩි බැම්මෙන් මිදී, 132 දඟගෙය කඩාගෙන පලා ගොස් රුහුණට ඇතුළු විය. ඉන්පසු පරාක්‍රමබාහු නරේන්ද්‍රයා මංජු අධිකාරී කැඳවා, 133 “හුරුබෑ සෙනෙවියා සිය රටට පලා ගියේය; 134 ඔහු යම් තාක් තැනක ස්ථිරව නොරැඳෙන්නේ ද ඒ තාක් ඔබ විසින් ඔහු පසුපස යා යුතුය” යි අණ කොට 135 ඒ නරේශ්වරයා ඔහුව පිටත් කර යැවීය.
හේ පොළොන්නරුවෙන් නික්ම සාපත්ගමු නම් ස්ථානයට ගොස් එහිදී සතුරු සේනාව හා මහා යුද්ධයක් කොට, 136 එහිදී බොහෝ යෝධයන් මරවා බලකොටුවක් ද බිඳගෙන, මහා සේනාව පෙරටු කොටගෙන එහිම කඳවුරු බැඳ ගත්තේය. 137 එකල්හි සිය රටවැසි සියල්ලෝ ද, බොහෝ කැරලිකරුවෝ ද, කුඩා දරුවන් දරන 138 රටවැසි සියල්ලෝ ද පෙරළා එක්ව, “අපි අපගේ ප්‍රාණය ත්‍යාග කරන්නෙමු; එහෙත් දළදා සහ පාත්‍රා ධාතූන් වහන්සේලා දෙනම කිසි ලෙසකින්වත් අත් නොහරින්නෙමු” යි 139 මෙසේ දැඩි තීරණයක් ගෙන, කිලිටි වූ සිතිවිලි ඇතිව, දැඩි මානයට වසඟ වූ ඒ සියල්ලෝ බත්සු නම් ගමට රැස් වූහ.
140 එකල රක්ෂ සෙනෙවි ද, කීර්ති අධිකාරී ද, එසේම භූතාධිකාරී ද, අන්‍ය වූ බොහෝ සාමන්තයෝ ද සතුරු සේනා හා බිහිසුණු යුද්ධ 141 පවත්වන්නාහු ද, 142 සතුරන් දෙදෙනෙකුට එක මගක යාමට ඉඩ නොදෙන්නාහු ද, යුද්ධයට දක්ෂ වූවෝ දළදා පාත්‍රා ධාතූන් වහන්සේලා ගෙන රාජ ගෞරවයෙන් මහත් පූජා පවත්වමින් කිසි තැනක බිය නොවී නික්මුණාහ. 143 එකල දෙමටමල්ලම් නම් ස්ථානයේදී 144 සියලු සතුරු සේනාව සන්නාහ සන්නද්ධ වී ආයුධ ගත් අත ඇතිව වහාම වැව් නම් තැන රැඳී සිටිමින්, 145 සියලු පැත්තෙන් අවුත් බිහිසුණු වූ ලොමුදැහැගන්වන මහ යුද්ධයක් පැවැත්වූහ. 146 සෙනෙවියා ඇතුළු ඒ ඇමතිවරු ද දරුණු යුද්ධයේදී මරණ ලද මිනිසුන්ගේ සිරුරෙන් ද, 147 දමන ලද ආයුධවලින් ද හාත්පස පය තැබීමටවත් ඉඩක් නොදෙමින්, එතැනින් උතුම් වූ දළදා සහ පාත්‍රා ධාතූන් වහන්සේලා රැගෙන සප්පනාරුක්කිල නම් ගමට 148 පැමිණියාහ.
එකල්හි රක්ෂ සෙනෙවි තෙමේ අතීසාර රෝගයෙන් පීඩිතව, 149 කර්මය වූ පරිද්දෙන් පරලොව ගියේය; සැබැවින්ම සියලු සංස්කාරයෝ නැසෙන සුළු ය. එකල මංජු සහ කීර්ති නම් වූ ඒ අධිකාරීවරු දෙදෙනා ඒ සෙනෙවිරත්හුගේ තනතුරට සුදුසු වූ ගෞරවය කිසිත් නොඅඩු කොට අවමඟුල් කෘත්‍ය කරවා, 150 ප්‍රඥා සම්පන්න ඒ සෙනෙවියා මළ කල්හි ද, නර ශ්‍රේෂ්ඨයා දුර සිටි කල්හි ද, භීම වික්‍රම ඇති ඒ රජුගේ තේජසින් සියලු සේනාව එක් කරගෙන, 151 කිසිවෙකුගේ හෝ කිසිදු කැළඹීමකට අවසර නොදී, ධාතූන් වහන්සේලා දෙනමට මහත් පූජා පවත්වමින් ඒ පුවත ශ්‍රීමත් නරේන්ද්‍රයා වෙත යවා වීර වූ ඔව්හු දින කිහිපයක් එහිම විසූහ.
එපවත් අසා කෙළෙහිගුණ දන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ද, කටයුතු හා අකටයුතු විභාග කොට දන්නවුන් අතුරෙන් ප්‍රථම වූ ද 152 පරාක්‍රමබාහු මහීපාල තෙමේ අණ කරමින්, “යම් ප්‍රදේශයක ඔවුහු ඒ සෙනෙවියා ආදාහනය කළේ ද, එහි සතර දොරක් ඇති 153 මහත් දන්සලක් කරවා, සතර දිගින් එන දුප්පතුන්ට මහත් පහන් වැට තබව්” යැයි පූජා පිණිස 154 හසුන් යැවීය. ප්‍රධානීන් දෙදෙනා ද සතුටු වී ඒ නියෝගය විධි වූ පරිද්දෙන් නිමවා, 155 විධික්‍රම දන්නා ඔව්හු එහිම රැඳී සිටියහ. එකල්හි ඒ කැරලිකරුවෝ 156 රක්ෂ සෙනෙවියා මළ හෙයින් ද, හුරුබෑ සෙනෙවියා තමන්ට ලැබුණු හෙයින් ද, 157 “ජය පිණිස උත්සාහ කරමු” යැයි සිතා ඒ සියල්ලෝ ගුත්හල් මඩුල්ලට පැමිණියහ.
එපවත් අසා පරාක්‍රමබාහු රජුගේ ඇමතියන් සහිත මහත් වූ සේනාව, 158 සතුරන්ගේ බල මිරිකමින් නොයෙක් තැන්හි මහ යුද්ධ 159 පවත්වමින්, සියලු පැත්තෙන් ගුත්හල් මඬල අභිමුඛ වූවාය. 160 එකල්හි ඒ සියලු කැරලිකරුවෝ ඒ ගම හැර බියෙන් මාගම මඩුල්ලට පලා ගියහ. 161 පරාක්‍රමබාහු රජ තෙමේ එපවත් අසා, “දළදා සහ පාත්‍රා ධාතූන් දෙනම ගමින් ගමට ගෙන යන්නවුන් විසින් යුද්ධ කිරීම ඒකාන්තයෙන්ම සෑම ආකාරයකින්ම මට රිසි නොවෙයි; 162 වහාම මා වෙත ධාතු යුගලය එවව්” යැයි 163 ළං විය නොහැකි පරාක්‍රම ඇති රජ තෙමේ දූතයන් මෙහෙයවීය.
164 සෙනෙවි අධිකාරීහු ඒ හසුන් අසා දළදා පාදා වහන්සේලා 165 පොළොන්නරු නුවරට යවනු කැමැත්තෝ, එක් සාමන්තයෙකු 166 ආරක්ෂාවෙහි යොදවා, කිතුල්වල් නම් ගමින් නික්ම කිරිගම දී සම්ප්‍රාප්ත වූ සතුරු සේනාව හා පෙර සේම බිහිසුණු යුද්ධ කොට, ඔවුන් ඔබමොබ පලවා හැර කිරිගමට ඇතුළු වූහ. 167 ඔව්හු එහිදී ද මහ යුද්ධ කොට බොහෝ දෙනා මරවමින්, ඉන් ද නික්ම තණගල ද, යුවගිර ද, කටදොරව ද, දඹගල ද, 168 යහල්පත ද යන තැන්වල එසේම මහ යුද්ධ කොට, මහා පූජාවෙන් පුදන ලද දළදා පාදා වහන්සේලා දෙනම ගෙන්වාගෙන මංජු නම් අධිකාරී වෙත යැවූහ.
169 සාපත් නම් ගම්හි දී නොයෙක් ලද බොහෝ භටයන් මරවා, 170 දුනුමඬලායෙහි සියල්ලන් ද වසඟ කොට එහි සිටි හේ තෙමේ, දළදා පාදා වහන්සේලාට පෙර ගමන් කොට රෑ දහවල් මහ පුද පවත්වමින්, 171 අඳුන්කම්නාවන් ධාතු ආරක්ෂාවෙහි යොදවා, ධාතු යුගලය මහරජු වෙත යවා, එයින් නික්ම බෝකුසල නම් ගමට ගොස් සාකච්ඡා කිරීමට සුදුසු වූයේ, 172 සියලු ඇමතියන් හා මන්ත්‍රණය කරමින් මෙසේ කීය: 173 “මේ වෛරීහු ප්‍රදේශය ගැන දක්ෂයෝ ය; තමන් වෙතින් අප බැහැර ගිය කල්හි ඔබමොබ පලා ගොස්, 174 අප විසින් සාදන ලද තැනට වැද වසඟ කළ ජනයා පෙළති. 175 අපගේ ස්වාමි වූ ජගදීශ්වර තෙමේ ද ස්වකීය උපදේශය වරදවා මොනවට සාදන ලද රජය පවා දන්නා යුද ක්‍රම ඇත්තේ තණපතකටත් නොතකන්නේ ය. 176 එහෙයින් ශ්‍රීමත් උන්වහන්සේගේ උපදෙස්ම පුදන්නෝ (ගරු කරන්නෝ) වී, 177 අප විසින් වසඟ කළ තැනට ඔවුහු යම් පරිද්දකින් නොවැදෙත් ද, 178 එසේ ඒ ඒ තැන්හි සාමන්තයන් සහිත වූ බොහෝ සේනා වෙන් වෙන් කොට තබා, සියලු වෛරීන් මුලිනුපුටා දමා, 179 ස්වාමිහුගේ චරණ පද්මය හිසින් උසුලන්නට අපි යන්නෙමු” යැයි නිශ්චය කිරීමට දක්ෂ නුවණ ඇත්තේ නිශ්චය කළේ ය.
180 ඉක්බිති සියලු ඇමතියෝ ඔහුගේ බස් පිළිගෙන, යුද්ධ ක්‍රමයෙන් මහසෙන් ගෙන පිටත්ව, 181 නොයෙක් මාර්ග ඇති වැලිවෑසර ගමට පැමිණ එහි බොහෝ වෛරීන් ජීවිතක්ෂයට පමුණුවා, එයින් නික්ම බලගල් නම් තැන බලකොටුවක් කොට, පසුව එහි කිත්තිය සහ ලංකාපුරය යන දෙදෙනා ද අනිත් චතුරංගනී මහා සේනාවක් ද සිටුවා, සියලු ඇමතියෝ ද ප්‍රධානීහු ද මහා බල සේනාවෙන් පෙරටු කරනු ලැබූවෝ, 182 දිගාවැමඩුලු නම් තැන්හි සිටි බොහෝ කැරලිකරුවන් මර්දනය කරනු පිණිස මහත් බල ඇති ඔව්හු රාජ ආඥාව පරිදි පිටත්ව ගියහ.
183 ඉක්බිති දිනන ලද සතුරු රජුන් ඇති පරාක්‍රමබාහු රජ තෙමේ, 184 සතුරු වියවුල් දුරු කොට සිත්කළු පොළොන්නරු නුවර වසන්නේ, ශ්‍රද්ධා බුද්ධි ගුණයෙන් යුක්ත වූ නානා පුණ්‍යකර්මයන්ගෙන් 185 හෙබියේ, මධුර ක්‍රීඩා විනෝදයෙන් ද නව නාට්‍ය රස දන්නවුන්ට අග්‍රේසරව දවස් ගෙවන්නේ, 186 ධාතූන් වහන්සේලා වැඩම කරවීම අසා පරම සන්තෝෂයෙන් හා ප්‍රසාදයෙන් සම්පූර්ණ සිත් ඇත්තේ මෙසේ සිතිය: “මම යැයි කියන යමෙක් මුනිරජුන්ගේ මේ ධාතු යුග්මය දැකීමට හා නිවෙසට ලැබුවෙම් නම්, අහෝ ඒ මාගේ මහත් ලාභයෙකි; 187 මාගේ ජීවිතය මනා කොට ලබන ලද්දේ ය; රාජ්‍යය සෑදීමේ ව්‍යායාමයෙහි උතුම් ඵලය මා විසින් ලබන ලද්දේ ය.”
188 මේ ආදී වදන් කියමින් මොනවට ස්නානය කොට, මොනවට ඇඳ පැළඳ, මනා විලවුන් ගල්වා, මොනවට සැරසුණේ, සැරසෙන ලද රජකුමරුන් හා 189 ඇමතියන් පිරිවරා ගත්තේ, තරු කැළ විසින් වට කරන ලද පූර්ණ චන්ද්‍රයාගේ ලීලාවෙන්, මහ පින් ඇත්තේ යොදුනක් පමණ තැන් පෙර ගමන් කොට, 190 පළමුවැනි දැක්මෙහි ද විසිතුරු අබරණින් හා මැණික් මුතු ආදී නන්වැදෑරුම් මාහැඟි රුවනින් ද, නොයෙක් ධූපයෙන් හා පහනින් ද, 191 සුවඳ මලින් හා නන් සුවඳින් ද, සත්පුරුෂයන් විසින් පසසන ලද්දේ පුදා, ජීවමාන බුදුන් කෙරෙහි වැනි ආදර දක්වන ලද්දේ, 192 නිරතුරු සතුටු කඳුළු දහර හෙළන්නේ, සිත හටගත් පැහැදීම නිසා පිටත ලොමුදැහැගැනීම් බඳු රෝමයන්ගෙන් 193 සියලු ශරීරය හොබවමින්, මහා ප්‍රීති ප්‍රවාහයෙහි සිය මනස ගිල්වමින්, 194 අමා රස දහරින් තෙමූ ගතින් යුක්ත වූවකු සේ, ධීරවර තෙමේ හිසින් දළදා කරඬුව උසුලන්නේ, හිසින් අඩ සඳ දරන චන්ද්‍රශේඛර (ඊශ්වර) ලීලා ඇත්තේ, 195 එක්ව ආ සියල්ලවුන්ට ධාතු යුගලය දක්වමින්, මොනවට 196 අසන ලද ආගම් ඇත්තේ, ඒ ධාතූන්ගේ ප්‍රභාවය ප්‍රකාශ කරමින්, මහ නුවණ ඇති ඒ රජ තෙමේ ඔවුන් ලවා ද මහත් පූජා කරවා, නරේශ්වර තෙමේ ධාතු යුගලය එහිම තබ්බවා, 197 මොනවට සංවර කරන ලද සියලු ඉඳුරන් ඇත්තේ, ඊට මහත් ආරක්ෂාවක් ද යොදවා, නානා ප්‍රකාර පූජා කරන්නටත් නියෝග කොට, 198 පහන් බැවින් යුක්ත වූ සිත් ඇත්තේම ඇමතියන් හා පිරිස් සහිතව මහ බඹා බඹ විමනට යන්නා සේ සිය මැදුරට පෙරළා ආයේ ය.
199 ඉක්බිතිව නුවර මැද මනා දළදා ගෙයක්, මොනවට බෙදන ලද සුදම් සභාව සේ හොබවා, 200 රජ ගෙදර පටන් යොදුනක් තැන් මහා අතුල් තලයක් සෙයින් සමතලා කරවා, සියලු සතුරන්ගේම විනාශයෙහි ඇළුනේ, 201 හැම තැන්හි සිතියම් දරන්නා වූ, ලෝකයාට ආනන්දය ඇති කරන්නා වූ තොරණ් කරවා, 202 තොරණ් යට නන් කුසුම් එල්ලෙන විසිතුරු වර්ණ පරම්පරා ඇති වියන් බැඳ, 203 තොරණ් කණු එකක් පාසා නන් වර්ණ රෙදිවලින් වසා බැඳ, 204 ඒ කණු මුදුන් ඡත්‍ර, චාමර පන්තීන් හා නානා පුෂ්ප කලාපයෙන් ද, 205 විසිතුරු කොඩියෙන් ද, පූජාවට සුදුසු අන්‍ය වූ දෙයින් ද සරසා, මාර්ගයේ 206 දෙපස පල දරන තැඹිලි හා පුන් කළසින් ද සරසවා, ත්‍රීදශේන්ද්‍රයාගේ (ශක්‍රයාගේ) සුදර්ශන වීථිය සෙයින් මාර්ග දෙපස විචක්ෂණ වූ 207 රජ තෙමේ මාර්ගයන් අලංකාර කරවා, දළදා ගෙයි දොරටුව මාලකය ද 208 අලකා නුවර සේ සත්පුරුෂයන් සතුටු කිරීමෙහි දක්ෂ වූ චතුර රජ තෙමේ එකෙණෙහි සරසවා, 209 ඉක්බිති පෘථිවීශ්වර තෙමේ මාහැඟි එක් මහ මිණි රුවනක් කරවා, 210 සුවඳ කුඩින් පුරවා රාජ්‍ය වර්ධනයට හේතු වූ දළදාව එහි වඩා, 211 ඒ මිණි රුවන රුවන් මුවා කරඬුවක තබා, 212 ඒ කරඬුව ඉතා අගනා රන් මුවා කරඬුවක තබා, 213 ඉක්බිති ඒ පාදාව ද මාහැඟි රන් මුවා නන් රුවන් රැසින් බබළන සිත්කළු දේදුන්න බඳු 214 සක් සතරෙක්හි පිහිටි ළහිරු රස් පිඬක් බඳු ඉතා සිත්කළු මණ්ඩපයක, 215 මොනවට පනවන ලද මහඟු ඇතිරිලි අසුනක, සුවඳ මල් ඇතිරියක වඩා, ඡත්‍ර චාමර සංඛ ආදිය ගත් ඇත් ඇති ලම්බකර්ණයන්ගෙන් ද, අන්‍ය වූ මහා කුලවතුන් ද මණ්ඩපය හාත්පස තබන ලද්දේ ය.
ආරක්ෂාවෙහි 216 සමර්ථ රජ තෙමේ ආරක්ෂාවෙහි තබවා, ඒ මඩුව පිරිවරා මාහැඟි 217 නොයෙක් සිය ගණන් මණ්ඩපයන්හි සර්වාභරණයෙන් සැරසුණු වීණා, වස්කුළල්, 218 මිහිඟු බෙර ආදිය ඇති ජනයා විසින් ද, දිව්‍ය ගාන්ධර්ව ස්ත්‍රීන් හා සමාන ගාන්ධර්ව ස්ත්‍රීන් වෙන් වෙන් කොට සිටුවා, ඔවුන්ගේ නැටුම්, ගීයෙන් හා 219 වැයුමෙන් ද පුදමින්, නන් කුසුමෙන්, දුමින් හා නන් වැදෑරුම් ගඳින් 220 සියලු නුවර සුවඳ කරවමින්, බොහෝ ජනයන් පිනවමින්, 221 නොයෙක් දහස් ගණන් පහන් ආලෝකයෙන් හාත්පස සියලු දිසාවන් හා එසේම අනුදිසාවන් 222 ඒකාලෝක කොට, ඡත්‍ර චාමර පන්තීන් ද, විචිත්‍ර ධජ පන්තීන් ද, නානා 223 වර්ගයේ පතාකාවන්ගෙන් ද සියලු අහස් කුස වසමින්, ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අශ්වයන්ගේ හේෂාරවයෙන් ද, රථයන්ගේ චක්‍ර නාදයෙන් ද, බෙර හඬින් ද, සියලු මංගල හක් ගෙඩිවල මනෝහර 224 ශබ්දයෙන් ද, කාහලයන්ගේ ශබ්දයෙන් හා වන්දීන්ගේ ජය ඝෝෂාවෙන් ද, 225 සාධුකාර හඬින් ද, අත්පොළසන් හඬින් ද, එසේම උස් හඬින් කරනු ලබන 226 ශබ්දයෙන් ද, සියලු දිසාවන් ගිගුම් දෙවමින්, මිහිපල් තෙමේ 227 සර්වාභරණයෙන් සැරසුණේ, රන් ආදියෙන් නිමවූ අලංකාර ඇති උතුම් ඇතෙකු පිට නැගී, 228 නොයෙක් වාහනවල නැගුණු ඇමතිවරුන් විසින් පිරිවරනු ලැබ, මහත් වූ රාජානුභාවයෙන් උතුම් නගරයෙන් නික්ම, දළදා ස්වාමීන් හා උතුම් පාත්‍රා ධාතූන් වහන්සේ වෙත ගොස්, මැනවින් හිසෙහි ඇඳිලි බැඳ සුවඳ මලින් සිය අතින් මොනවට පුදමින් ධාතු යුගලය ගෙන ඒ රජ තෙමේ මගට පිළිපන්නේ ය.
229 එකල ගැඹුරු හඬින් පටහ භේරීන්ගේ ස්වරය යටපත් කරමින්, ඉන්ද්‍රචාප (දේදුනු) කලාපයෙන් අහස් තලය හොබවමින්, ආලෝක සහිත විදුලි ද 230 ඔබමොබ පතුරුවමින්, මොනර සමූහයාගේ අඛණ්ඩ නර්තනයට 231 උපදේශක වූ, අසුන් කුර පහරින් උස්ව නගන ලද දූවිලි හා සමග 232 හිරුගේ රශ්මි පන්තීන් අතුරුදහන් කොටගෙන, සියලු ආකාශ තලය අඳුරු රැසින් මුවා කරමින් දිගු බිත්ති වසා පැතිර ගෙන මහත් 233 අකාල මේඝයක් පැමිණියේය.
සියලු ඇමතියෝ ඒ දැක, මහ පෙරහැර වළක්වන ඝන වර්ෂාව 234 වසින්නේ යැයි නැවත නැවත සිතන්නෝ, මහත් දුක් ඇති සිත් ඇත්තෝ, 235 මහා ප්‍රඥා ඇති ඒ මිහිපල්හු වෙත එළඹ, “මෙහි කුමක් කටයුතු ද?” යි 236 විචාළහ. එකල්හි ඒ මහා රජ තෙමේ ස්වකීය තේජසෙහි අධික බව හා මහර්ෂිහුගේ සිතට විෂය වූ ආනුභාවයන් දන්නේ, “තොපි වූ කලී 237 සැක නොසිතව්; මිනිසුන්ගේ හා දෙවියන්ගේ සිත් ගන්නා සුළු වූ, අද්භූත වූ 238 මෙබඳු මහත් පූජාවක් පවතිද්දී, මහ පින් ඇති, මහ නුවණ ඇති, මහ 239 යසස් ඇති, ළං විය නොහැකි වික්‍රම ඇති මම ද නික්මුණෙමි. මෙහි කවර 240 දෙවියෙකුට හෝ කවර මාරයෙකුට මා විසින් පවත්වන ලද ඉතා උසස් පූජාවට බාධා කළ හැකි ද? කිසි සැකයක් නොසිතා තොපි නිකම් සිටිව්” යැයි කියා නුවණැති රජ තෙමේ පෙරහැරේ නික්මුණේ ය.
241 එකල්හි ඒ මහා මේඝය තෙමේ ද උත්සව ස්ථානයෙන් බැහැරව 242 වැසි දහරින් දැඩි ගංවතුර ඇත්තේ, සැම තැන්හි වැව් පුරවමින් තෙමේ 243 මහා පූජාව ඉදිරියේ, මාර්ගයෙහි දූවිලි මැඩපැවැත්වීමට පමණක් මඳ වැස්සක් වස්සවා ප්‍රශමයට පත් විය. 244 ඒ අද්භූතය දැක සියලු නුවර වැස්සෝ ද, ප්‍රියශීලී නොයෙක් සිය ගණන් භික්ෂූන් ද, “ඇත්තේ මැයි, මේ පිනෙක, ප්‍රඥාවෙක, මේ සර්වඥයන් කෙරෙහි භක්තියෙක, මේ යසසෙක, මේ තේජසෙක, මේ වික්‍රම විශේෂයෙක් ඒකාන්තයෙන් අපගේ මහත් වූ පිනකින් ලක්දිව පහළ වූයේ ය” යි 245 මේ ආදී වූ විස්මය දනවන වදන් කියන්නෝ මහත් වූ ස්තුති ඝෝෂාවෙන් සියලු දිසාවන් පිරවූහ.
246 ඉක්බිති ඒ ධරණීපාල තෙමේ පෙර නොදක්නා ලද ආනුභාවයට සුදුසු මහ සැණකෙළි පවත්වමින් දළදා පාදා වහන්සේලා 247 දෙනම දළදා ගෙට වඩා ගෙනවුත්, නුවණ ඇති වීර තෙමේ සියලු 248 පුලස්ති නගරයෙහි (පොළොන්නරුවෙහි) සත් රැයක් මුළුල්ලෙහි ස්වර්ග ලෝකයට සමාන වූ පූජා පැවැත්වීය. 249 මෙසේ බලා සිටින ජනයාගේ ප්‍රමෝදය, මදය, විස්මය හා සම්බ්‍රමයට එකම හේතුව වූ මහත් වර ධාතු පූජාවක්, අවනත වූ 250 සාමන්ත රජුන් ඇති පරාක්‍රමබාහු නම් රජ තෙමේ මනා කොට කරවීය.
1 එකල්හි මහා බල ඇති සියලු ඇමතිවරු ද, යුධ ප්‍රධානීන් ද දිගාවැමඩුලු (දිගාමඩුල්ල) ප්‍රදේශය අත්පත් කරගනු වස් පිටත් වූහ. 2 ඔවුහු ‘ස්‍යවනවියල’ නම් ස්ථානයේදී මහා යුද්ධයක් කොට, 3 එහි දොළොස් දොරටුවක් ඇති බලකොටුව සියලු ආකාරයෙන් බිඳ දැමූහ.
ඉන්පසු එයින් පිටත් වී ගොස්, 4 ‘ගොමගමු’ නම් ස්ථානය ද, ‘යගම’ නම් බලකොටුව ද, ‘බලගල’ නම් කොටුව සහ බලගල ප්‍රදේශය ද මහා යුද්ධ කොට සතුරු සේනාවන් පරදවා, 5 ‘බලගල’ බලකොටුවෙහි බලවාහන සහිතව ඒ සියලු දෙනා කඳවුරු බැඳ ගත්හ. ඉක්බිති ඇමතිවරු සහ ප්‍රධානීහු එයින් ද නික්ම මල්වතු මණ්ඩලයෙහි මහ යුද්ධයක් කළහ.
6 එහිදී වටගම් පහණ ද, මුලුන නම් ගම ද, සෙන්ගෙන් නම් ගම ද, 7 බොගමු නම් ස්ථානය ද, වඳුරාගම ද, ගලලමඨික ගම ද යන ඒ ඒ තැන්වල, 8 භීතිය උපදවන ක්‍රම ඇති මහා යුද්ධ කරන්නා වූ ඔවුහු ‘කිතුල්වල්ගමු’ නම් ගමට ගියහ. 9 එහි හාත්පස තුන් ගව්වක් පමණ ප්‍රමාණයේ බොහෝ ආවරණ සහිත වූ මහා බලකොටුවක් සාදාගෙන සිටියා වූ සතුරු සේනාව හා මහා යුද්ධයක් පවත්වා, 10 බොහෝ භටයන් මරවා සතුරන්ට භය උපදවමින් ඔවුහු එහිම කඳවුරු ලා ගත්හ.
11 එකල්හි සියලු කැරලිකරුවෝ ”අපි මුළු රටම වසඟයට ගනිමු” යි සිතා දිගාවැමඩුල්ල දෙසට නික්මුණාහ. 12 ‘කිතුල්වල්ගම්’ හි සිටියා වූ ඇමතිවරු ද ඒ පුවත ඒ ආකාරයෙන්ම අසා බොහෝ භටයන් යැවූහ. 13 ඒ සියලු දෙනා රාත්‍රී දෙකකින් විසි ගව්වක් පමණ මග ගෙවා ගොස් මහා යුද්ධ කොට සතුරන් මරා, නැවත යුද්ධයකට උත්සාහ නොකරන පරිද්දෙන් භිය ගන්වා ජයග්‍රහණය කර, 14 පෙරළා එම ස්ථානයටම පැමිණියහ.
15 එකල්හි ඒ සියලු ඇමතිවරු එම ගම සමීපයෙහි ‘ඈපාදොඹකඩ’ නම් ස්ථානයේ බලකොටුවක් සාදාගෙන, 16 තුන්හල මණ්ඩලයෙහි සිටි සතුරන් හා මහා යුද්ධ කොට, එසේම ‘සොරඹගමුවෙහි’ ද, 17 නැවත ‘මුලාන’ ගමෙහි ද, එසේම ‘හුදුමුමඩල’ යන මේ ගම්වල ද මහ යුද කළහ. 18 ‘කිතුල්ගම්’ නම් තැනින් පිටත්ව ‘කිත්රජවැලිගම්’ හි යුද්ධ කොට ‘දලදා’ නම් තැන ද, ‘වැලිකසා’ නම් ගමෙහි ද බිහිසුණු යුද්ධ කළහ. 19 ඉක්බිති ‘හුයගම්’ හි යුද්ධ කොට බොහෝ සතුරන් මරමින් කඳවුරු ලා ගත්හ.
20 ඉක්බිති පැරණි රජවරුන් විසූ ‘මානාහුල’ නුවර රාජධානිය කරනු පිණිස මහා රජුන් (පරාක්‍රමබාහු) විසින් යවන ලද්දා වූ රක්ඛ නම් දෙමළ අධිකාරී තෙමේ ද, 21 රක්ඛ කංචුකීනායක තෙමේ ද මහත් සේනාව සරසාගෙන යුද්ධ කිරීමට සූදානම්ව නික්මුණාහ. 22 පසුව රක්ඛ කංචුකීනායක තෙමේ පස්යොදුන් රට වැසි දේවරාජ නම් කේශධාතුව භාර නිලධාරියා ද, 23 මහා සේනාව ද යවා එහි සිටි බොහෝ සතුරන් විනාශ කරවා, 24 පසුව ‘ගිම්තොට’ නම් ගම රාජධානියක් කිරීමට එහි කරන ලද නොයෙක් බලකොටුවල කඳවුරු ලා සිටි සතුරන් බොහෝ සෙයින් විනාශ කළේය. 25 සංවිධානයෙහි දක්ෂ වූ, වීර වූ හෙතෙම යුද්ධයෙහි වෙහෙසට පත් සේනාවට විවේක ලබා දෙනු පිණිස එහිම දවස් කිහිපයක් කල් ගත කළේය.
26 ඒ කල්හි මහත් දුකින් පෙළෙන ලද්දා වූ මේ සතුරෝ සියල්ලෝම රැස්ව නැවත දැඩි ලෙස මෙසේ සිතූහ. 27 ”පරාක්‍රම නරේන්ද්‍රයාගේ කල්පාන්ත ගින්නක් බඳු තේජස මුළු දඹදිව රජවරුන්ටත් ඉවසිය නොහැකිය. 28 ගජබා රජ තෙමේ ද, මාණාභරණ රජ තෙමේ ද යන 29 යුද්ධ උපක්‍රම දන්නා මේ රාජ ශ්‍රේෂ්ඨයෝ දෙදෙනා මහ සේනා සරසා, 30 බොහෝ වස්තු වියදම් කොට රෑ දවල් දෙකෙහි අනේකාකාරයෙන් යුද කළ නමුදු, 31 ඒ රජුගේ ජය බෙර හඬ අසා දුරින්ම බිඳී ගියහ. හිරු උදා වූ කල කණාමැදිරියන් මෙන් වූ අපි, සිය රටෙහි විසීමටත් නොහැකිව බියෙන් පෙළුනෙමු. 32 අන් පිහිටක් නොදක්නා වූ අපි යම රජුම ඇසුරු කළෙමු. අපගේ බලකොටු හැර වෙනත් ආරක්ෂක ස්ථානයක් විද්‍යාමාන නොවේ. 33 සියලු ආකාරයෙන්ම මේ රට ගිරි දුර්ග ආදියෙන් යුක්තය. 34 එහෙයින් සියලු දුර්ගයන්හි බොහෝ ආවරණ සාදාගෙන, සියලු ප්‍රසිද්ධ මහා මාර්ගවලින් ගමන් කළ නොහැකි වන පරිදි අවහිර කොට, බොහෝ හොර පාරවල් ද සාදා, රටට ඇතුළු වීම අපහසු බවට පත් කළ විට රැස්වී යුද්ධ කරමු” යි මන්ත්‍රණය කළහ.
35 පසුව සියලු කැරලිකරුවෝ එක්ව ගාලු නදියෙහි මුවදොරට යුද කැමතිව පැමිණියාහ. 36 ඉක්බිති කංචුකීනායක තෙමේ ඒ පුවත අසා එහි පැමිණ මහා යුද්ධයක් පවත්වා ඔවුන් පලවා හැරියේය. යුද්ධයෙන් බිඳුණු ඒ සේනාව මහා වැලිගම් හි සිටි සතුරන් හා සෑම අතින්ම එකතු විය. 37 නැවතත් කංචුකීනායක තෙමේ සිය සේනාව සකස් කොටගෙන මහා වැලිගම් හි සිටි සතුරන් හා යුද්ධ කරනු පිණිස එතැනින් පිටත්ව, 38 ඒ සියලු සතුරන් මැඩ පවත්වා, යුද්ධ භූමිය ගුරුලන් විසින් පහර දෙන ලද නාග ලොවක් මෙන් කළේය. 39 එතැනින් ද ඔවුන්ව දිවියකු විසින් බොහෝ මුවන් පලවා හරින ආකාරයෙන් පලවා හැර, ජය ගන්නා සුළු වූ මහා බල ඇති හෙතෙම එහි කඳවුරු බැඳ ගත්තේය.
40 ඉක්බිති ඒ කංචුකීනායක තෙමේ වැලිගම වෙසෙමින්, වාසි අවාසි විමසා බැලීමෙහි දක්ෂ වූයේ මෙසේ කල්පනා කළේය. 41 ”මේ සතුරෝ නොදන්නා ලද දහන ක්‍රම ඇති පළඟැටියන් මෙන් බොහෝ වූවෝ එහිම දැවෙමින් අතිශයින් විනාශ වන්නාහ. 42 මුන් විනාශ වූ කල රට ද වනයක් බඳු වන්නේය. මොවුහු වනාහි අප රජුගේ දයාබර බව නොදනිති. 43 මෙතැන් පටන් යම් සතුරෙකු අපගේ වසඟයට එයි නම්, ඔවුන්ට අභය දී ආරක්ෂා කළ යුතුය” යි සිතුවේය. 44 පසුව ”යමෙක් ජීවත් වනු කැමති නම් ඔවුහු මා වෙත එත්වා” යි රටවැසි කිසිවෙකුට හසුන් යැවීය.
45 ඒ අසා සිය පණ සහ සිය ධනය කැමති වැලිගම් වැසි 46 වෙළඳුන් ද, බොහෝ වරාය වැසියන් ද, අන්‍ය වූ රටවැසියන් ද හාත්පසින් අවුත් බියෙන් මිරිකෙමින් රක්ඛ කංචුකීනායකයා හමුවූහ. 47 ඉක්බිති ඒ කංචුකීනායක තෙමේ දෙව්නුවර ද, එසේම කඹුරුගමුවෙහි ද, 48 මහාපනාලගම ද, මානාකපිටි ගම ද, නිල්වලා ගං තෙර ද, 49 කෙහෙල්පත් නම් ගම් ද යන නොයෙක් තැන්වල සිටි සතුරන් මැඩලීමට ස්වකීය යෝධයන් යවා බොහෝ යුද්ධ කරවා, 50 ඒ ඒ තැන ජය ලබා පැමිණි ඔවුන්ට අනුග්‍රහ කළේය.
51 එකල්හි සියලු කැරලිකරුවෝ ”සතුරන්ගේ ප්‍රබල බලය හමුවේ ‘මාකෙත’ (මහානාගකුල) නම් ස්ථානයෙන් ගඟ එතෙර වී යුද්ධ කිරීමට ඉඩ නොදෙන්නෙමු” යි 52 නිශ්චය කරගෙන ඔවුහු එයින් නික්ම මහත් සාහසික වූවාහු ගං ඉවුරට පැමිණියහ. 53 කංචුකීනායක තෙමේ ද ඒ පුවත අසා බලසෙන් සහිතව එහි ගොස් සතුරන් හා යුද්ධ කිරීම පිණිස සිය සෙනග යැවීය. 54 පසුව දෙපැත්තේම මහා භටයෝ ගඟ මැද රළු යුද්ධ කළහ. 55 එකල ඒ දෙ සේනාවන්ගේ යුද්ධය මුහුදෙන් නැංගා වූ අසුරයන් හා දෙවියන්ගේ යුද්ධය මෙන් බිහිසුණු විය.
56 එකල ඒ මහා වීරයෝ සතුරු මහ සෙනග හා යුද්ධ කරමින් මෙසේ සිතූහ: ”මුන් හා සම අයුරින් කරන සටන පරාජයක් වැනිය. 57 අපගේ ස්වාමී වූ රජු තබා ඒ කංචුකීනායක තෙමේත් මේ පුවත ඇසුවේ නම් අපට මහත් නින්දාවකි. 58 මේ සතුරන් බිලි කඩ මෙන් සිඳ දමා හෝ දියෙහි ගිල්වා මස්කැස්බෑවුන්ට බත් කරන්නෙමු. උන්ගේ කුසගින්න දුරු කරන්නෙමු. නොඑසේ නම් අපි හෝ ඔවුන්ට බත් වන්නෙමු” යි සිතා, 59 රාම රාවණ සංග්‍රාමයෙහි තරණය කරන ලද මුහුදු ඇති වඳුරන් මෙන් අත්‍යන්ත දාරුණ මහා යුද්ධ කොට, 60 වහාම සේනාව මස් ලේ ගංගා බවට පත් කොට, මහ බල ඇත්තෝ ‘දිගැලිකෙත’ අත්පත් කරගැනීම පිණිස එයින් නික්මුණහ.
61 ඒ යෝධයෝ එහි ගොස් කෙසෙල් වනයකට වැදුණු ඇතුන් මෙන් සතුරන් මුළුමනින්ම විනාශ කළහ. 62 එහිදී බිඳුණු සතුරෝ ද ස්වර්ණමලය නම් ස්ථානයෙහි රැස්ව නැවත ද යුද පටන් ගත්හ. 63 ඉක්බිති ඒ කංචුකීනායක තෙමේ එහි ද බොහෝ භටයන් යැවීය. 64 ඔවුහු ද නිරන්තරයෙන් ඊතල වැසි වස්වමින්, වැද්දන් අතින් වනයේ යන පාරවල් විචාරා දැනගෙන, 65 ඔවුන් විසින් පෙන්වන ලද මගින් එහි වැද, ඒ ඒ බලකොටු ඇසුරු කළා වූ බොහෝ යෝධයන් මරා දමා ‘ස්වර්ණමලය’ ද සතුරන්ගෙන් තොර කළහ.
66 ඉක්බිති ඒ කංචුකීනායක තෙමේ ‘මාලාවරත්ථලී’ නම් තැනට 67 යමින්, ස්වර්ණමලයට ගිය යෝධයන් වෙත ”මම මේ මගින්ම 68 මාලාවරත්ථලී නම් ගමට යමි. තොපි ද ඒ යන මගට පිළිපදින්න” යි 69 හසුන් යැවීය. ඔවුහු ද ඒ අසා එසේ කළහ. හෙතෙම ඒ සියලු යෝධයන් ගෙන මාලාවරත්ථලියට ගියේය.
70 යුද්ධයට දක්ෂ වූ රක්ඛ නම් දමිළාධිකාරී තෙමේ ද මහ බලසෙන් 71 විසින් පෙරටු කරන ලද්දේ දෙනවකට පැමිණියේය. 72 එකල්හි බොහෝ කැරලිකරුවෝ ඒ පුවත අසා, මානාකූල නුවර වසන ‘එක්ඛාලංකාපුර’ නම් ඇමතියාට ද තතු වූ පරිද්දෙන් ඒ පුවත දන්වා වහා එනු පිණිස 73 ඔහුට ද හසුන් සැණෙකින් යැවූහ. ”දෙනවක පටන් නව යොදුන් රටට ඇතුළු වීම වළක්වා ඒ බලකොටුවලම නවත්වන්නෙමු” යි සිතා 74 මහත් සාහසික වූ ඒ සියල්ලෝ යුද්ධ ආරම්භ කළහ.
75 විධානයෙහි දක්ෂ වූ රක්ඛ නම් දමිළාධිකාරී තෙමේ ද විධානයට ප්‍රථමයෙන් සතුරන් හා යුද්ධ කර ඔවුන්ගේ මූලික ගැම්ම බිඳීමට කැමති වී, 76 ‘ලෝක’ නම් කේශධාතු නිලධාරියා සහ ‘නාථ’ නම් සංඛ නායකයා යන මේ ආදී සාමන්තයන් සහිත බොහෝ වූ භටයන් 77 යුද කැමැත්තෙන් යැවීය. ඔවුහු ද මහ යුද කොට මහා ජයග්‍රහණයක් ලැබූහ. 78 එකල්හි බිඳුණා වූ ඒ සතුරෝ මහ බියෙන් වියවුල් වී ‘ගරුළඨකලඤ්ච’ නම් ස්ථානයෙහි රැස් වූහ.
79 එකල්හි ද රක්ඛ නම් ඒ දමිළාධිකාරී තෙමේ එතැනත් අත්පත් කරගැනීම පිණිස එම මහා සේනාව යැවීය. 80 ඒ මහා යෝධයෝ ගොස් බොහෝ ආවරණ සිඳ බිඳ දමමින්, නොයෙක් දොරටු යෙදූ මහ බලකොටු බිඳිමින්, සතුරන් සිටි තැනට සම්ප්‍රාප්ත වී, 81 පණපිටින් ගත යුතු වූවන් ගෙන, බොහෝ වූ අන්‍ය සතුරන් වහාම මරු මුවට පමුණුවා, 82 ඉතිරි අය පිහිටක් නැතිව පලවා හැර, එතැන ද සතුරන්ගෙන් තොර කොට ගියා වූ ඒ යෝධයෝ ඔහු වෙතටම පෙරළා පැමිණියහ. 83 එකල්හි ඒ තෙමේ සුදුසු පරිද්දෙන් ඔවුන්ට ත්‍යාග හා ගෞරව ලබා දුන්නේය.
84 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ද ගිම්හාන හිරුගේ තේජසින් දැවෙන වලාකුළු මෙන් ඒ රජුගේ තේජසින් අළු බවට පත්වන 85 සතුරන් සාම ක්‍රමයෙන් රැකීමට නුවණ ඇත්තේ, දෙනවකටම පෙරළා අවුත්, 86 සිංහල රටෙහි තැබිය යුත්තන් තබ්බවා, වසඟ වන්නන් වසඟ කොට ඒ රටත් පිරිසිදු කළේය.
87 ‘පුවක්දණ්ඩාව’ෙහි බලකොටුවක් සාදාගෙන සිටියා වූ මහත් බල ඇති සතුරෝ නැවත යුද පටන් ගත්හ. 88 ඉක්බිති දෙමළ අධිකාරී තෙමේ ද එහිදු යුද්ධ ක්‍රීඩාවෙහි නුවණ ඇත්තා වූ සාමන්තයන් හා බොහෝ භටයන් යැවීය. 89 ඒ මහා යෝධයෝ ද ගොස් ඊතල වැසි වස්වමින්, බෙර නාදයෙන් ද, 90 භටයන්ගේ කෑගැසීම් වලින් ද, විදුලිය සහිත අකාල මේඝයක් මෙන් දක්වමින්, 91 ස්වකීය වීර රසාස්වාදයෙන් යුද්ධයේ මහන්සිය දුරු කරමින් තමන්ගේ ජය බෙර හඬින් වීරශ්‍රිය පිදූහ.
92 පසුව බොහෝ වූ ඒ සතුරෝ ”තඹගමු නම් තැන බලකොටුවක් සාදාගෙන ඉන්නාහ” යි අසා, වීර සම්මත වූවෝ ස්වකීය වික්‍රමයෙහි රස බව දක්වනු කැමැත්තවුන් මෙන් 93 රාත්‍රියෙහි එහි ගොස් රණබෙර හඬින් යුද පිණිස සතුරන් කැඳවන්නවුන් මෙන් එම බලකොටුවට ඇතුළු වූහ. 94 එකල්හි සියලු කැරලිකරුවෝ ඒ බෙර හඬ අසා හිසට අකුණු හෙන්නා සේ සිතමින් ඇතැමෙක් සිහිසුන් වූහ. 95 ඇතැමෙක් පලා ගියහ. ඇතැමෙක් මරණයට පත් වූහ. ඒ බලකොටු අළු බවට පත් කොට දමා එකල්හි මහ බල ඇති ඔවුහු පුවක්දණ්ඩාවටම පෙරළා පැමිණියහ.
96 රක්ඛ නම් දමිළාධිකාරී තෙමේ නැවත සිටි සේනාව කැඳවා, ඒ ඒ තැන සැඟවී සිටි සතුරන් විනාශ කරනු පිණිස සාමන්තයෙකු හා චතුරංගනී සේනාව යැවීය. 97 ඒ සේනාව බෝවල, කිතුල්වල, 98 අතරන්දාමබෝකඳ යන ගම්වල සිටි බොහෝ සතුරන් මරා, රාත්‍රී යුද්ධ ද කොට පෙරළා පැමිණියහ. 99 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ද මහ බල සේනාව විසින් පෙරටු කරන ලද්දේ ‘ඌරල බෙරලපනාතොට’ නම් තැනට 100 ගොස්, සියලු ආකාරයෙන් නරේන්ද්‍රයාගේ උපදේශයට විරුද්ධ නොවී, 101 සතුරු නොවී ඒ ඒ තැන සැඟවී සිටි බොහෝ දෙනා සිය රටෙහි පෙර පරිදිම පිහිටුවා, 102 දිනූ රටෙහි ද තැබිය යුත්තන් තබා, බිහිසුණු මහා සේනාවෙන් පෙරටු කරන ලද්දේ එයින් නික්ම ‘හින්තල්ගොඩ’ නම් ගමට පැමිණියේය.
103 එකල්හි ඒ ඒ තැන සැඟවී සිටි බොහෝ කැරලිකරුවෝ රටවැසි සේනා ගෙන්වාගෙන මහ බල ඇත්තෝ, 104 තමන් විසින්ම සෙනෙවිරත් බවෙහි තබන ලද නොයෙක් සිය ගණන් යෝධයන් විසින් පෙරටු කළ ‘රක්ඛ ලංකාපුර’ නම් තැනැත්තා ද, 105 බෙර හා හොරණෑ හඬින් නා නා දිශාවන් පුරවමින් කැඳවාගෙන, ‘නදී හඬ’ (නදීගාම) නම් වූ ගමට පැමිණියහ. 106 නුවණැති දෙමළ අධිකාරී තෙමේ ඒ සැලසුම් අසා සිය භටයන් කැඳවා මේ බස් ඔවුන්ට කීවේය:
107 ”තොපගේ ස්වාමියාහට පක්ෂපාතී බව මෙහිදී පෙන්වව්. 108 තොපගේ වීර බව මම ද මෙහිදී දකිමි. ’මේ තෙමේ නෑ රජෙකි, 109 මේ සතුරෝ ද මහා සාහසිකයෝ ය′ යි මෙසේ කල්පනා නොකොට, අපගේ ස්වාමීහුගේ තේජසින් යුද්ධ භූමියෙහි සැකයක් නැතිව ජය ලැබීම මෙනෙහි කරමින් යුද කරව්.” 110 ඉක්බිති මහා උත්සාහ ඇති ඉතා සාහසික වූ ඔවුහු ද නික්ම ගෙන ‘මහාසේනා’ නම් ගම්හි යුද පිණිස ස්ථානගත වූහ.
111 එකල දෙපක්ෂයෙහිම යෝධයෝ ඉදිරියට පැන, යුද්ධ භූමියෙහි ආයුධ ඔවුනොවුන් ගැටීමෙන් හටගත් ගිනි පුපුරු වලින් 112 සියලු අහස දවල් කාලයේ තරු නැංගා සේ කරමින් ද, 113 ඊතල වර්ෂාව පතිත වීමෙන් සියලු අහස් දස දිග පුරවමින් ද, වීර ක්‍රියා කරමින් මහ යුද පටන් ගත්හ. 114 එකල්හි මහ බල ඇති දෙමළ අධිකාරී තෙමේ රක්ඛ ලංකාපුර නම් සේනාපතියාගේ හිස ඔහුගේ වීර භාවයන් සමඟම කපා ගත්තේය. 115 එකල්හි සියලු කැරලිකරුවෝ පිහිටක් නැතිව වෙරළට ගැසූ සාගර ජලය මෙන් බිඳී ගියහ.
116 එකල යුද්ධ භූමිය ද කපුටන්, ගිජුලිහිණියන් ආදීන් විසින් ගහන විය. 117 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ද යුද්ධයෙන් ලත් ජය ඇත්තේ මහා සැණකෙළි පවත්වමින්, සෙනග විසින් පිරිවරා ගන්නා ලද්දේ මහා යසස් ඇතිව මානාකූල නුවර අත්පත් කර ගත්තේය.
118 එකල්හි රාක්ෂ කංචුකීනායක තෙමේ ද මාලාවරත්ථලියෙන් (මාරාකඩ) පිටත්ව මානාකූල නුවරට වහාම ගොස් දමිළාධිකාරීහු දුටුවේය. 119 එකල්හි කල් නොකල් දන්නා වූ ප්‍රඥාවන්ත වූ ඒ තෙමේ ද ඔහු සමග මෙසේ මන්ත්‍රණය කළේය: ”ස්වාමීහුගේ උපදෙස් පරිදි මානාකූල පුරය අප විසින් ගන්නා ලදි. 120 එහෙත් නොනසින ලද බොහෝ සතුරෝ ද වෙති. ඔවුහු පිහිටක් නැතිව ගොස් ‘කඩවක’ ට (කඩවතු කෝරලය?) ඇතුළු වූහ. 121 ජය ලබා සිටියා වූ යෝධයන් වහාම එහි යෑම මහත් නුසුදුසු දෙයක් වැනිය. 122 ස්වාමීන්ගේ උපදේශයම අපට සරණ වේ.” 123 එහෙයින් එහි රැඳී සිටිමින්, සතුරු නොවී ඒ ඒ තැන සැඟවී සිටි වැසියන් ගෙන්වා, ස්වකීය රටෙහි පිහිටුවා, 124 ඒ මානාකූල නුවරම කල් ගෙවූහ.
එකල්හි කඩවකට ඇතුළු වූ බොහෝ වූ ඒ 125 සියලු සතුරු කණ්ඩායම් පෙරළා නැවතත් යුද කරනු කැමතිව ‘කඩවක්’ නම් තැන්හි රැස් වූහ. 126 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ද ”මේ යුද්ධයට කාලයයි” සිතා මානාකූල නුවරින් පිටත්ව අවුත් 127 ‘කොග්ගල උඩවැව්’ හි බිහිසුණු යුද්ධයක් ආරම්භ කළේය. 128 මහා ප්‍රඥාවන්ත වූ හෙතෙම ඒ සියල්ලන් පලවා හැර පෙරළා ගියේය.
එකල්හි කිසි සතුරු පිරිසක් ‘සඟබේ’ නම් ගමට පැමිණියහ. ‘සූකරභාතුදේව’ නම් 129 සේනාපති තෙමේ ස්වකීය භටයන් රැගෙන යුද පිණිස මාගමට ආවේය. 130 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ද ස්වකීය භටයන් ‘සඟබේ’ නම් ගමට පළමුව යැවීය. 131 එකල්හි ඒ මහා වීරයෝ යුද්ධ භූමියට ගොස් ශ්‍රීමත් වූ පරාක්‍රම නරේන්ද්‍රයාගේ තේජස් ගින්නෙහි බොහෝ සතුරන් දවා, එහි මනාකොට මහා සැණකෙළි පවත්වමින් මානාකූල නුවරටම පෙරළා ආහ.
132 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ද සෙනෙවියා අල්ලා ගැනීමට දේවලංකාපුර නම් සෙනෙවියා ද අන්‍ය වූ බොහෝ භටයන් ද 133 යුද පිණිස යැවීය. 134 ඔවුහු ද යුද්ධ භූමියට ගොස් නිරන්තරයෙන් යවන ලද ඊතල වලින් සියලු අහස වසමින්, ගර්ජනා කරමින් යුද්ධ භූමියට පිවිස, සෙනෙවියා මරා සතුරන් පරාජය කළහ. 135 එකල්හි ද ඒ මහා යෝධයෝ ජය බෙර හඬින් දෙමළ අධිකාරීහු සතුටු කරමින් මාගමට පැමිණියහ.
136 එකල්හි රක්ඛ ලංකාපුර නම් සෙනෙවියාගේ වැඩිමහල් 137 සහෝදරයෙක් එහි තමන්ගේ ප්‍රධානත්වය තමන්ම ආරූඪ කරගෙන, 138 මැරූ පසු ඉතිරි වූ බොහෝ සතුරන් ගෙන ගරිල්ලා (චෝර) යුද්ධ පිණිස මානාකූල නුවරට පැමිණියේය. 139 එකල්හි දෙමළ අධිකාරී තෙමේ වනාහි එහිත් භටයන් යැවීය. ඒ යෝධයෝ එහිදී ඔහුව මරා බොහෝ සතුරන් පරාජය කළහ. 140 පරාජය කරන ලද ඒ යෝධයෝ ‘කුරවකල්ල’ නම් තැනට පැමිණියහ. රක්ඛ නම් දෙමළ අධිකාරී තෙමේ මානාකූල නුවරින් නික්ම ඒ සියල්ලන් පරදවා පෙරළා එහි නො ආවේය.
141 එකල්හි වික්‍රම නම් ලෝකගල්ල තෙමේ ද, එසේම අන්‍ය වූ බොහෝ සතුරෝ ද ‘මානමූල පුස්තකී’ සමග මාගම්හි යුද පිණිස හැම අතින් පැමිණියහ. 142 මානමූල පුස්තකී නම් ඒ තෙමේ ද ඒ යුද්ධයේදී ස්වකීය පක්ෂපාතීනුත් එකතු කරගෙන යුද කොට ලුහුබැඳ ජය ගත්තේය. 143 එකල්හි දෙමළ අධිකාරී තෙමේ ඇමතියන් සමග මන්ත්‍රණය කරමින් මෙසේ කීය: 144 ”එකී එකී මහා යුද්ධයකදී සතුරන්ගේ විනාශය ද, බියෙන් ඒ ඒ තැන පලා යාම ද දකිමින් සතුරෝ පෙරළා යුද්ධයෙහි නිරුත්සාහ වූවා යැයි සිතමු. 145 එසේ වුවත් ඔවුන්ගේ මුල් නැති බව නොපෙනේ මය. 146 රට මැද හැර ඒ ඒ තැන සැඟවී සිටින්නන් රට මැදට පැමිණි කල නසන්නෙමු” යි කියා 147 පණ්ඩිත වූ මහා යසස් ඇති හෙතෙම පුවක්දණ්ඩාවට පෙරළා ආවේය.
148 ඒ කැරලිකරුවෝ වනාහි ඔහුගේ මන්ත්‍රණය නොදැන 149 ඒ ඒ දුර්ගම ස්ථානයන්ගෙන් රට මැදට බැස්සාහ. දෙමළ අධිකාරී තෙමේ වූ පරිද්දෙන් ඒ පුවත අසා එතැනින්ම පිටත්ව, වීරයන් විසින් පෙරටු කරන ලද්දේම ‘බෝවල’ නම් ගම සිටි බොහෝ සතුරන් ද, 150 පසුව ‘ඌරල බෙරගල’ නම් තැන ද, ‘මීගොඩ’ නම් දුර්ගයෙන් දැයි යන හැම තැන්හි මහා යුද පවත්වා සතුරන් ජීවිතක්ෂයට පමුණුවා, 151 රට මැදට පැමිණ එහි ද තැනින් තැන සිය සේනාව යවා ඒ සියල්ලන් මුලිනුපුටා දමා, 152 පසුව ‘හුලය’ නම් ගම සිටි ප්‍රධානයන් වෙතින් ආවා වූ හසුන් අසා කුඹුගමට පැමිණියේය.
153 ඉක්බිති ‘හුයල’ බලකොටුවෙහි සිටි මඤ්ජු නම් අධිකාරී තෙමේ ද, 154 කීර්ති නම් සහ භූත නම් වූ ඒ අධිකාරීන් දෙදෙනා ද, බොහෝ වීර සාමන්තයන් හා භටයන් විසින් පිරිවරා ගන්නා ලද්දෝ මහා සැණකෙළි පවත්වමින් එතැනටම පැමිණියහ. 155 එයින් මඤ්ජු නම් අධිකාරී තෙම රක්ඛ නම් වූ දෙමළ අධිකාරීහු කැඳවා මේ වදන් කීවේය: 156 ”තොපගේ රටින් පරාජය වී අවුත් නොයෙක් දුර්ගම ස්ථානයන්හි සැඟවී සිටින බොහෝ සතුරන් යම්තාක් එහි ස්ථාවර නොවෙද්ද, ඒ තාක් ඒ සියල්ලන් මරවා අපි ‘අටදහස් රට’ (අටකලන් කෝරළය) දුර්ගම ස්ථානයෙහි සිටි සතුරන් ද, සුගලා නම් රාජිනිය ද ගනිමු. 157 වැලි දුර්ගම ස්ථානයෙහි ආශ්‍රිත බොහෝ සතුරන් ඉදින් තොපට පරාජය කිරීමට අපහසු නම්, 158 ඒ සඳහා භටයන් එවන්නෙමු” යි කීය.
159 දෙමළ අධිකාරී තෙමේ ඒ වදන් යහපත් කොට පිළිගෙන එයින් පිටත්ව, 160 සේනාව කැටුව වහා වන, ගංගා ආදියට වැදී බලමින්, ගිරි දුර්ග ආදියට නැගීමට නොහැකි වුවත්, 161 ‘මාලාවරත්ථලියට’ ගියා වූ සතුරන් වෙතට වහා පැමිණියේය. 162 ඔවුහු ද ඒ අධිකාරීහු පැමිණි බව අසා බියෙන් මිරිකුණාහු මහා පර්වත ආශ්‍රිත වූ මහ වනයට වැදුණහ. 163 දෙමළ අධිකාරී තෙමේ වන පව් වටලා ඔවුන් හා මහ යුද කොට, සර්වප්‍රකාරයෙන් ඔවුන් වනසමින් සතුරු කටු නැති කොට, 164 ඒ ‘දොළොස්දහස් රට’ අල්ලාගෙන පණපිටින් ගත් සතුරන්ගේ විස්තර විචාරා, 165 ගම්හි ද නියම්ගම්හි ද නොයෙක් සිය ගණන් සතුරන් උල තබා මරා, 166 මහ බල ඇත්තේ කිසිවෙක් දඬු කඳේ ගසා අළු පමණක් ඉතිරි වන සේ දවා, මානාකූල නම් ගමෙහිම හිඳගෙන, 167 ශ්‍රීමත් වූ නරේන්ද්‍රයාගේ ආඥා බෙරය පසස්නා නැකතින් ගම්හි ද නියම් ගම්හි ද හැසිරවීය. 168 නරේන්ද්‍රයා වෙත ඒ පුවත කියා යවා මහ රජු වෙතිනුත් ප්‍රසාද ලබාගෙන, මහ නුවණැති ඒ තෙමේ ඒ දොළොස් දහස් රටේම කටයුතු විමසමින් මහත් යසස් ඇතිව විසීය.
169 කුඹුගම සිටි සියලු ප්‍රධාන අමාත්‍යයෝ ද මෙසේ සාකච්ඡා කළහ: 170 ”යුද පිණිස රුහුණු රට බලා අප නික්මුණු කල් පටන් ඒ ඒ තැන මහා යුද්ධයෙහි අප විසින් යවන ලද මහා යෝධයෝ සතුරන්ගේ ඇටවලින් පොළොව වසා දැමූහ. 171 තවද මේ භටයන් වැළැක්වීමට දඹදිව වැසි සියලු මහා යෝධයෝ පැමිණියත් කිසි කලෙකත් හැකි නොවෙති. 172 එහෙයින් බියෙන් ඒ ඒ තන්හි සැඟවී සිටින කිසි සතුරෙකු හා යුද්ධ කිරීමට මින් ඉදිරියට කුමට සිතමුද? 173 ඔවුන්ගේ කැරලිකාර බවට මුල් වූ සුගලා රාජිනී තොමෝම ඒ ඒ දුර්ගයෙහි, වනයෙහි ඔවුන් ඇතුළු කරවන්නීය. 174 එහෙයින් ඒ රාජිනී තොමෝම පණපිටින් අල්වා ගත යුතුය” යි මෙසේ නිශ්චය කර ගත්හ.
175 ඔවුහු කුඹුගමින් පිටත්ව, මහා නුවණැත්තෝ ‘අළුවාවට’ ගොස්, එහි නොයෙක් නුවර යහපත් වූ අතිවීර යැයි සම්මත වූ නිලධාරීන් තබා, 176 එතැනින් ‘කළුවළට’ ගොස්, හොඳින් පැළඳගත් කවච හා ආයුධ ඇත්තෝ, ‘වල්ගම’ නම් තැනදී රාජිනිය සහිත සතුරු සේනාව දැක, 177 එහි ඉතා බිහිසුණු මහ යුද කොට ජය බෙර හඬින් පොළොව බිඳී යන තරම් ශබ්ද කරමින්, 178 රාජිනිය අල්වාගෙන, බොහෝ වූ වස්තුව ද ගෙන, 179 වස්තු ආරක්ෂා කිරීම පිණිස තැබිය යුතු කංචුකීන් තබා, 180 පටන් ගත් යුද්ධ ක්‍රීඩාව එකල්හි එහිදී සමාප්ත කරමින්, 181 සතුරන්ගේ අතින් පයින් හිසින් පොළොව වසමින්, පණපිටින් අල්වා ගත යුත්තන් අල්වාගෙන, සර්වප්‍රකාරයෙන් රුහුණු රට සතුරු කටු රහිත කළහ.
182 එකල්හි කිසිම අවසරයක් හේතු කොටගෙන සතුරන් අතින් මිදී බියෙන් පෙළී පලා යන 183 කිසි භට කෙනෙකු ද රැගෙන, ආයු කාලය අවසන් වීමට පැමිණි ‘ඵාලකාල’ නම් තුන්දෙනා ද, ‘තඩිගාම’ නම් තැනැත්තා ද, ‘පර්වත’ නම් දෙදෙනා ද, ‘ලංකාපුර’ නම් තැනැත්තා ද, 184 එසේම ‘කඩක්කුඩ’ යැයි ප්‍රසිද්ධ දණ්ඩනාථ සහෝදර දෙදෙනා ද, 185 අන්‍ය වූ ලංකාපුර නම් සෙනෙවියෙක් ද, භටයන් සහිත බොහෝ සාමන්තයෝ ද ‘උද්ධනද්වාර’ නම් ගමේදී හමුව මහ යුද්ධයේදී බිඳී ‘නිග්‍රෝධ මාරගල්ල’ නම් තැනට පැමිණියහ. 186 එකල්හි ඒ මහ ඇමතියෝත් සාමන්තයන් කැටුව සතුරන් පස්සෙන් ලුහුබැඳ, 187 ඵලකාලයාගේ හිස ගසා ප්‍රධාන ඇමතියන් වෙත යවා, ලංකාපුරය පර්වතය යන මේ ඇත්තන් පණපිටින් අල්වාගෙන සර්වප්‍රකාරයෙන් සියලු සතුරන් ජීවිතක්ෂයට පත් කළහ.
188 එකල්හි මඤ්ජු නම් අධිකාරී තෙමේ මන්ත්‍රණය කරමින් මෙසේ කීවේය: ”මේ රුහුණ දිනීමට පටන් ගත් කාලයේ සිට, 189 අපගේ ස්වාමීහුගේ තේජසින් සංග්‍රාමයෙහි දී ම සතුරන්ට කළා වූ විනාශ හැර, රාජාපරාධය මෙසේ ආදීනව සහිත යයි අත්‍යන්ත භයදායක ලෙස මහජනයාට 190 දැනුම් දෙනු පිණිස විරුද්ධවාදීන්ට කළ නිග්‍රහයක් නැත්තේය. 191 එහෙයින් දඬුවම් කළ යුත්තන්ට සර්වප්‍රකාරයෙන් දඬුවම් කරවා, සෑම තැනම අනුග්‍රහ කළ යුත්තන්ට අනුග්‍රහ කරවා, 192 ස්වාමීහුගේ ආඥාව පරිදි සංග්‍රහ හා නිග්‍රහ කරන්නෙමු” යි කීය. සියල්ලෝම ආදර සහිත වූවෝ ඔහුගේ ඒ මන්ත්‍රණය සතුටින් පිළිගත්හ.
193 ඉක්බිති දඬුවමට සුදුසු බොහෝ සතුරන් ගෙන්වා, ගම්හි ද නියම්ගම්හි ද බොහෝ උල් සිටුවා නොයෙක් සිය ගණන් සතුරන් එහි 194 හිඳුවා (උල තබා), බොහෝ වූ සතුරන් කිසිවෙක් දඬු කඳේ ගසා අළු කරවා, 195 පරාක්‍රම නරේන්ද්‍රයාගේ ඉවසිය නොහැකි වූ, උල්ලංඝනය කළ නොහැකි වූ, විස්මය ගෙන දෙන්නා වූ ප්‍රතාප ගුණය සර්වප්‍රකාරයෙන් ප්‍රකාශ කළහ. 196 පසුව අනුග්‍රහ කිරීමට සුදුසු වූවන්ට, ලැව් ගින්නෙන් දැවෙනු ලබන්නා වූ වන ලැහැබක් වර්ෂා කාලීන මේඝයන් මෙන් නිවා දමමින්, විධි වූ පරිද්දෙන් අනුග්‍රහ කර ඒ රට අල්වා ගනිමින් සංසුන් බවට පත් කළහ.
197 එපවත් අසා පරාක්‍රමබාහු මහා රජ තෙමේ මහත් ප්‍රසාද සහිත වූ හසුන් යවමින් මෙසේ කීය: 198 ”පණපිටින් ගත් සියලු ඇමතියන් ද, සුගලා නම් රාජිනිය ද පළමු කොට මෙහි එවන්න. 199 ඒ රටේ සියලු භාරය භූත අධිකාරීන් කෙරෙහි පවරා, 200 ඒ රට වැසි බොහෝ වූ භික්ෂු සංඝයා පෙරටු කොටගෙන, 201 මෙයින් මෙහෙයවන ලද්දා වූ සිවුරඟ සෙනඟ ගෙන, ඒ ඒ ජනපදයන්හි තැබිය යුත්තන් තබ්බවා, 202 වහා අවුත් යහපත් යැයි සම්මත සුබ මොහොතක සියලු ඇමතියන් විසින්ම මම දැක්ක යුත්තෙම් වෙමි” යි මෙසේ හසුන් යැවීය.
203 ඉක්බිති ඒ සියලු ඇමතියෝ ද ඒ මහා සේනාව විසින් පෙරටු කරන ලද්දෝ, 204 ඒ මහරජාණන්ගේ ආඥාව පරිද්දෙන් කිසි ලෙසකින්වත් විරුද්ධ නොවෙමින්, රුහුණු ජනපදයෙන් නික්ම පොළොන්නරුවට අවුත්, 205 බොහෝ සෙයින් වාදනය කරන්නා වූ, ඔල්වරසන් හා අත්පොළසන් දෙන්නා වූ, 206 සර්ව ප්‍රකාරයෙන් දහස් ගණන් රෙදි හිස වටා කරකවමින් ජය ඝෝෂා කරන්නා වූ පොළොන්නරු වැසියන් විසින් පිළිගනු ලබන්නාහු, 207 ශ්‍රේෂ්ඨ වූ රාජ මන්දිරයට ඇතුළු වී මහත් වූ දීප්තියෙන් වැඩ සිටියා වූ, 208 ශ්‍රීමත් ඒ රාජාධිරාජයාගේ පාද පද්ම රේණුවෙන් ස්වකීය හිස් පවිත්‍ර කළහ (වැඳ වැටුණහ).
මෙසේ ලැව් ගින්නක් මෙන් උග්‍රතර වූ, ඉතා බිහිසුණු තෙද ඇති, නය විනය ක්‍රමය අනුව යන්නා වූ, ව්‍යක්ත බුද්ධි ඇති නරශ්‍රේෂ්ඨ තෙමේ සහජ වීරයන් ලවා රුහුණු රට පහ කළ සතුරු කටු ඇත්තක් කරවීය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘රෝහණ භඤ්ජන’ (රුහුණු රට දිනා ගැනීම) නම් වූ හැත්තෑ පස් වන පරිච්ඡේදය නිම විය.