එකල්හි පැරකුම්බා රජතෙමේ මේ ආකාරයෙන් සිය රාජ්‍යයවුල් රහිත කොට තබා, ඉදිරි කටයුතු පිළිබඳව මෙසේ සිතුවේය. “යහපත් වූ රාජ නීතියට විරුද්ධ වූ, මනා නුවණක් නොමැති පෙර රජවරු බොහෝ කලක් තිස්සේ තමන් කැමති පරිදි ලෝකයත් ශාසනයත් විනාශ කළහ. 1-3 භික්ෂූන් වහන්සේලා ද බුද්ධ ශාසනයේ විනය හා ධර්මය නොසලකා, පිළිවෙත් වරදවමින් තමන් කැමති පරිදි වාසය කළහ. එබැවින් මේ කාලයෙහි මා විසින් වහාම ලංකාව එක්සත් කොට ශාසනය ද ලෝකය ද යහපත් මගට ගතහොත් මැනවි.” 4-5
මෙසේ සිතූ ක්ෂත්‍රිය තෙමේ සාමන්තයන්ට සහ මාණ්ඩලිකයන්ට සේනාව ද, යුද්ධය පිණිස උපකරණ ද සපයන ලෙස උපදෙස් දුන්නේය. පළමුව රත්කුරවක නම් රටෙහි සිටි දෙමළ සේනාවට අධිපති වූ මලයරට වැසියා කැඳවා, ඔවුන්ට නොයෙක් බල සේනා ද, හසුන්පත් ද, සන්නාහ සහ අවි ආයුධ ද සපයා දී, එහි රැඳී සිටීම පිණිස යැවීය. 6-7
තවද, තඹ රට ද, ගිරිබා පෙදෙස ද, මොනර වැව ද, මීපල් නම් රට ද, බුත්ගමු නම් රට ද, අළවන නම් රට ද, බෝගම්බර නම් රට ද, කටුපේකට නම් රට ද යන මේ ප්‍රත්‍යන්ත දනව් රකිනා ඇමතිවරුන් වෙන් වෙන් වශයෙන් කැඳවීය. 8-10 ඔවුනට නොයෙක් දහස් ගණන් යෝධයන් ද, බලකොටු ද, සන්නාහ ද, කඩු තෝමර සහ හෙල්ල ආදී නොයෙක් ආයුධ ද සපයා දී ඒ ඒ ස්ථානයන්හිම වාසය කිරීම පිණිස පිටත් කර යැවීය. 11-12
ඉක්බිති ලක්මහලෑන නම් වූ ද, සිළුනා නම් වූ ද, එසේම ජයමහලෑන නම් වූ ද, සිටුනා නම් වූ ද, මහින්ද නම් වූ ද ලම්බකර්ණ ක්ෂත්‍රිය වංශයෙන් පැවත ආ මේ පස්දෙනා එකල්හි මහත් වූ කීර්තියෙන් යුක්තව මෝරිය රටෙහි වාසය කරති. රජතෙමේ ඔවුන් ලවා ද වෙන් වෙන් වශයෙන් දහස් ගණන් භටයන් ද, යුද්ධ උපකරණ ද කරවන ලෙසට නියෝග කළේය. 13-14
රජතෙමේ තමන්ගේ ඇතුළු මාලිගයෙහි ද මණ්ඩලික සූරයන් දොළොස් දෙනෙකු පත් කොට, ඒ එක එක නායකයෙකුට යුද්ධයෙහි දක්ෂ වූ සූරයන් දෙදහස බැගින් දුන්නේය. 15-16 ජය ගැනීමට සමත් වූ අසූ හතර දෙනෙකු සාමන්තයන් ලෙස පත් කොට, ඔවුන්ට වෙන් වෙන් වශයෙන් දෙසීය බැගින් වූ සේනාවක් ලබා දුන්නේය. 17 මහත් වූ ශරීර ඇති සහ මහත් බල ඇති නොයෙක් දහස් ගණන් මුගුරු අවි ගත් යෝධයන් පත් කොට, ඔවුනට යුද්ධෝපකරණ ද දුන්නේය. 18-19 අන්‍ය දේශවාසී වූ කේරළ ආදී යුද්ධයෙහි හසළ දැනුම් ඇති (කෘතහස්ත) යෝධයන් සම්බන්ධ වූ බොහෝ දහස් ගණන් සේනා ද සාදා ගත්තේය. 20
රාත්‍රී යුද්ධයෙහි දක්ෂ වූ ‘චන්ද්‍රාලෝක ධනුර්ධරයන්’ එක් දහසක් පුහුණු කරවා ඔවුනට සම් සැට්ට (සම් කබා) ආදිය ලබා දුන්නේය. 21 කර්මාන්තයෙහි දක්ෂ වූ නොයෙක් දහස් ගණන් වැද්දන් බඳවාගෙන, ඔවුන්ට සුදුසු වූ ඔවුන් කැමති කළු රෙදි ආදිය දුන්නේය. එකල්හි ඒ රජතෙමේ නොයෙක් කම්කරුවන්ගෙන් එක එක දහස බැගින් ගෙන තම තමන්ගේ කර්මාන්ත කටයුතු කිරීමෙහි යෙදවීය. 21-22
“ඇත් අස් ශිල්පයන්හි ද, කඩු ශිල්පයන්හි ද, අන්‍ය දේශ භාෂාවන්හි ද, නැටීම් හා ගී ගැයීම්හි ද දක්ෂව රාජ කාර්යයෙහි නුවණැත්තන් ලෙස වැඩෙත්වා” යි සිතා, නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොයුරු සහ මුණුබුරන්ව, එකල අධිපති වූ රජතෙමේ තම මාලිගාව තුළම ඇති දැඩි කළේය. 23-24 ඇඟ පිරිමදින්නන් (සීරි ගන්නන්) ද, කපුරු වඩන්නන් ද, කුඩා සේවකයන් ද, එසේම සිංහල ගාන්ධර්වයන් (සංගීතකරුවන්) ළඟ හැසිරෙන්නෝ යනාදී වූ නොයෙක් ප්‍රභේද වර්ගයන්ට අයත් වෙන් වෙන් වූ දහස් ගණන් මිනිසුන්ව ද හෙතෙමේ රජ ගෙදර තුළම ඇති දැඩි කළේය. 25-27 තරුණ වූ සැට්ටලන්නෝ (ඇඳුම් මහන්නෝ) ය, නාපිතයෝ (කරණවෑමියෝ) ය යනාදීන්ට අවි ආයුධ දී, තම තමන්ගේ ප්‍රධානීන් යටතේ සේවය කිරීමට අනුදැන වදාළේය. 27
පිය රජතුමාගේ භාණ්ඩාගාරාධිකාරීන්ගෙන් ධන ප්‍රමාණය දැනගෙන, “මා විසින් මේ පමණ වූ ධනයෙන් ලංකාව එක්සත් කිරීමට නොහැකිය” යි නිශ්චය කොට, මහජන සමූහයා පීඩාවට පත් නොකර මෙසේ ධනය රැස් කළේය. 28-29 මිහිපල් තෙමේ වස්තුව ද සේනාව ද වෙන් වෙන් වශයෙන් කොටස් දෙකක් කොට ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනෙකු භාරයේ තැබීය. 29-30 රජතෙමේ තමන් ජයගත් සියලු රටවල් ද එසේම සම සේ බෙදා, පිළිවෙළින් පැවත ආ සමූහාධිපති ඇමතිවරුන් දෙදෙනෙකු වෙත පැවරුවේය. 30-31
මුහුදු වෙරළබඩ රටවල් ද, රුවන් ආකර ඇති රටවල් ද, මහා මලය රට ද, ඉන් ඉතිරි වූ සෙසු රටවල් ද යැයි සියලු සාරවත් ස්ථාන වෙන් කොට, ඒ මිහිපල් තෙමේ එය ‘අන්තරංග ධුරය’ යි නම් කොට එක් ඇමතියෙකු කෙරෙහි (අධිපති බව) තැබීය. 32-33 හෙතෙමේ බොහෝ රුවන් නැව්වලින් යවා වෙළඳාම් කරවා ධන රාශිය ද වර්ධනය කළේය. මුල් ඇමතිවරුන් දෙදෙනා යටතේ යුද්ධ උපකරණ ද, නොයෙක් දහස් ගණන් යෝධ භටයන් ද ඇති කරවීය. 33-34
අන්තරංග නම් ප්‍රධාන ධුරයෙහි ද, විජිත දෙකට අයත් වූ ප්‍රධාන ධුර ස්ථාන දෙකෙහි ද යන මේ ධුරත්‍රයෙහි (තනතුරු තුනෙහි) ඇමතිවරුන් තුන්දෙනා යටතේ ඉතා බොහෝ වූ යෝධ බල ඇණි ඇති කරවීය. 35-37 භටයන්ගේ ශූර බව පරීක්ෂා කරනු පිණිස වීථි යුද්ධ කරවා, ඉතාම ශූර වූවන් වෙන් කොට ගෙන ඔවුනට උතුම් වූ සත්කාර කළේය. 37-38 දයාවෙහි ඇලුණා වූ, යුද්ධ කිරීමට පොහොසත්කමක් නැත්තවුන්ට “ඔව්හු ගොවිතැන් ආදිය කොට සුවසේ ජීවත් වෙත්වා” යි කියා (යුද සේවයෙන්) මුදා හැරියේය. 38
මෙසේ විධි ක්‍රම දන්නා වූ රජතෙමේ සන්නාහ සහ ආයුධයන් ද, ශූර වූ භටයන් ද සපයා ගෙන, ජන සමූහයා පීඩාවට පත් නොකොට සුවසේ නානා විධ වූ ධන සමූහය ද රැස් කළේය. 39
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘බලදනසඟහ’ (බල හා ධන සංග්‍රහය) නම් වූ හැට නව වන පරිච්ඡේදය නිමි.