66. පරමණ්ඩල ප්‍රවෘත්ති නිර්ණය (විදේශ රාජ්‍ය තොරතුරු විමර්ශනය)

star_outline
කුමරුගේ තීරණය සහ ජනතාවගේ සැකය

1 ”මා සිතූ අරමුණ සිද්ධ කරගැනීම පිණිස ඉදින් අදම මා පිටත් වී ගියේ නම්, 2 මේ කුමාර තෙමේ බියෙන් පලා ගියේ යැයි මේ ජනතාව සිතනු ඇත. එසේම කිසිදු විමසීමකින් තොරව සෙනෙවියා මරා දැමූ මා කෙරෙහි මාගේ පිය රජ තෙමේ යම් පියවරක් ගන්නේ නම් මෙහි සිටම එය දකිමි” යයි පණ්ඩිතයන් අතර ශ්‍රේෂ්ඨ වූ වීර වූ ඒ කුමාරයා සිතුවේය. 3 මෙසේ හටගත් සිතුවිලි ඇතිව හෙතෙම දවස් කිහිපයක් එහිම ගත කළේය.

සෙනෙවියා මරා දැමීම හේතුවෙන් සෙනෙවියාගේ භටයෝ ද, රටවැසි බොහෝ ජනයා ද බලවත් වූ භීතියකට පත් වූහ. 4 එහෙයින් ඔවුහු ගිය ගිය තැන්හි සැනසිල්ලේ සිටීමට නොහැකිව, හාත්පසින් පැමිණ ඒ ඒ තැන කුමාරයා සිටිනු දුටුහ. 5 පිය රජුට විරුද්ධව කටයුතු කරන ඒ කුමාරයා විසින්ම සෙනෙවියා මරන ලදැයි සිතන රට වැසියෝ මෙසේ සාකච්ඡා කළහ.

6 ”දැඩිව හටගත් භක්තිය ඇති, අප වැනි බලවත් වූ දාසයන් ඇති කළ ස්වාමියා වෙනුවෙන් කවර නම් කාරණයක් සිද්ධ කළ නොහැකි ද? 7 ස්වාමීනි, ඔබ වහන්සේලා බලා සිටියදී ඔබගේ පිය පරම්පරාවෙන් ආ මේ රාජ්‍යය, 8 මේ බාල කුමාර තෙමේ කෙසේ නම් තනිව අනුභව කරන්නේ ද? 9 අපි සියලු දෙනා එක්ව සක්නාතල නුවරට ගොස්, වස්තු ගබඩා හා ඇතා ඇතුළු සිව් රඟ සෙනග සහිතව ඒ රජතුමා පැහැර ගනිමු” යයි මෙසේ දැඩිව ගිවිස ගත්හ. රජු අල්ලා ගැනීමේ දැඩි උවමනාව ඇති ඔවුහු ‘පදවර සුන්කඩ’ නම් ස්ථානයට ගියහ.

කුමරු භටයන් සන්සුන් කිරීම හා පිටත්වීම

10 පැරකුම් කුමාර තෙමේ තමාට අයත් කිහිප දෙනෙකු සමග එහි ගොස්, ඔවුන් අතරින් ප්‍රධාන බලනායකයන් තමා වෙත ගෙන්වා ගත්තේය. 11 ”මා විසින් පිය රජුට විරුද්ධව සෙනෙවියා මරණයට පත් කරන ලදැයි තොපි කිසිසේත් නොසිතත්වා; මා කෙරෙහි තොපගේ කෝපය ඇති නොවේවා. 12 ඒකාන්තයෙන්ම මම පිය රජතුමාට විරුද්ධව නොයන්නෙමි; එසේම මේ රාජ්‍ය භාගය තමා සතු කර ගැනීමට කැමැත්තෙම් ද නොවෙමි.

13 හුදෙක් අප වැනි පුතුන්ගේ යුතුකම වනුයේ, තමන්ගේ මහලු මව්පියන්ට මදකුත් නොරිස්සන දේ නොකොට, 14 අන් යම් කිසිවෙකු විසින් කරන ලද උපද්‍රවයන් ද වළක්වා, සෑම කල්හිම මනා ලෙස උපස්ථාන කිරීම නොවේ ද? 15 එසේ තිබියදී තොප විසින් මා ගැන මෙසේ සිතන ලද්දේ මන්ද?” යැයි පවසා ඔවුන්ගේ ආවේගශීලී සිතිවිලි දුරු කළ මහත් ප්‍රඥා ඇති කුමාර තෙමේ ඉදිරියට කළ යුතු දේ ගැන සිතුවේය.

16 ”ඉදින් මම මෙහිම තව දින කිහිපයක් වසන්නෙමි නම්, දුර්ජන මිනිසුන් අප පිය පුතුන් දෙදෙනා ඔවුනොවුන් බිඳවන්නාහ. 17 එබැවින් මෙහි කාලය ඉක්මවා නොයවා, පෙර සිතූ දෙයෙහි සිද්ධිය පිණිස 18 ඒ තාක් කල් යහපත් දේ දැන මෙතැනින් පිටව යාම වටී ය” යයි නිශ්චය කොට ගත්තේය. 19 ඉක්බිති කුමාරයා සිරිදේවිය ‘ගල’ නම් පෙදෙස වෙත පිටත් කොට හැරියේය. 20 රජ කුමර තෙම බුදුගම බලා යනු පිණිස බදුලුතලා ගමින් නික්මුණේය. එකල රටවැසියෝ එක්රොක් වී කුමාරයා සිරියාල නම් ගමට පැමිණීමට පෙරාතුව වෙන් වෙන්ව පලා ගියහ.

සතුරන් ලුහුබැඳීම සහ කුමරුගේ වික්‍රමය

21 එකල කුමර තෙමේ තමා අනුව යන සිය පිරිවරින් යුක්ත වූයේ, ආයුධවලින් මැනවින් සැරසී වීර්යය නමැති ගුණයෙන් යුක්තව මහ මඟට පිළිපන්නේය. 22 ”සෙනෙවියා නැසූ කුමාරයා පලා යන්නේය; එය නොසලකා හැර අප විසින් ආහාර දෙන ස්වාමියා (රජු) කෙරෙහි කවර නම් පක්ෂපාතීත්වයක් කරන ලද්දේ ද?” යයි සිතා, 23 මෙසේ කිපුණු ධෛර්යවන්ත වූ කිහිප දෙනෙක් උපක්‍රමශීලීව අතරමග යන ඒ කුමාරයා පසුපස ලුහුබැන්දෝය. එකල රාජපුත්‍ර තෙමේ ඔවුන් කෙරෙහි මදකුත් සැකයක් ඇති නොකර ගත්තේය.

24 හෙතෙම සිය අතට ගත් කඩුවෙන් යුද්ධ කොට අන් අය පලවා හැර, තමා කැටුව ආ පිරිස ද රැගෙන, කිසිදු පිරිහීමක් නැතිව බිය ඉක්මවා ගිය මහත් නුවණ ඇත්තේ බුදුගම වෙත පැමිණියේය. 25 එහි වසන කුමාරයාට දින කිහිපයක් ගත වූ කල්හි, ”කුමාරයා අල්ලා ගනිමු” යයි සිතා 26 එක් රැස් වූ රටවැසියෝ මහත් වේගයෙන් නිරතුරුව ඊතල වැසි වස්වන්නාහු ද, 27 යුද්ධ කිරීමට කැමති වන්නාහු ද වී ඒ ගම වටලා ගත්හ. ”එයින් වැඩක් ඇති කල්හි අපි අපගේ ප්‍රාණයත් පරිත්‍යාග කරමු” යයි කී ඔහු හා කැටුව ආ භටයෝ ද, 28 භයින් ව්‍යාකූල වී රජ පුතුගේ සේසත් සහ කඩු ගෙන යන මිනිසුන් පමණක් ඉතිරි කොට, 29 රජ කුමරු බලා සිටියදීම ඔබ මොබ පලා ගියහ.

ඒ කුමාරයා පලා යන සිය භටයන් දැක මදක් සිනාසී, ඉතා උදාර වූ වික්‍රමය දැක්වීමට මෙය අවස්ථාව යැයි සිතුවේය. 30 හෙතෙම ආයුධ අතැතිවම, ”සතුරන් බිය ගන්වා පලවා හරින්නෙමි” කියා, 31 ”කඩුව ගෙන එව” යයි මහා වේගයෙන් හා හඬින් පැවසීය. 32 ධීරගම්භීර ගුණයෙන් යුක්ත වූ ඔහුගේ ඒ බස සමඟම දිශාවල පැතිර ගිය ජයසක් හඬ අසා, 33 කිසිදු සතුරු වීරයෙකුට ඉදිරියට ඒමට නොහැකිව ඔවුන්ගේ හිස් සිඳී වැටුණාක් මෙන් විය. ඒ බව දැන කුමාරයාගේ කලින් පලා ගිය භටයෝ 34 නැවත පෙරළා අවුත්, නොයෙක් දහස් ගණන් බලයෙන් යුද්ධ කොට සතුරන් පලවා හැර, කුමාරයා පිරිවරාගෙන කුමරුගේම වික්‍රමයන් පැවසූහ.

ගෝකර්ණ සෙනෙවියා නම්මා ගැනීම

35 ඉක්බිති කුමර තෙමේ ඒ බුදුගමෙහි වාසය කරමින්, ගජබා රජුගේ සාමන්ත රජෙකු වූ කලා වැව සිටි ගෝකර්ණ නගරගිරි නම් සෙනෙවියා කැඳවීය. 36 ඔහුගේ සිතේ පවත්නා අදහස් දන්නා කැමැත්තෙන් තමාගේ ලියුම් ගත් තමාගේම දූත මිනිසකු එහි යැවීය. 37 සාමන්ත තෙමේ ද ඒ ලිපිය දැක හිසින් පිළිගෙන කියවා, එයින් සියලු පුවත් දැන ගත්තේය. ඒ රජ කුමාරයාගේ මහත් තේජසින් හසුන ඉක්මවා කටයුතු කළ නොහැකි බව සිතුවේය.

38 එකල සිය රජුගේ අදහස් ගැන ද, මෙහිත් සර්වප්‍රකාරයෙන් අපේක්ෂා නැතිව සිටි හෙතෙම බුදුගමට අවුත් සාදරයෙන් කුමාරයාව දුටුවේය. 39 ”පිය රජු වෙතින් මා ආවා වූ ආකාරයත්, ඉතා බලවත් වූ සෙනෙවියා ලාබාල වූ මා විසින් මැරවීමත්, 40 පසුපස එලවා ආ සතුරු සේනාවට මා විසින් කළ විස්මය එලවන වික්‍රමයත් අසා, 41 තමාගේ රජුගේ අභිප්‍රාය දැනගැනීමේ සිතක්වත් නූපදවා, පෙර පුරුද්දක් නැතිවම මා විසින් යැවූ දූතයාත් යවන ලද ලිපියත් දැකම, 42 මෙහි අවුත් මා දැකීම කළ තා විසින් යහපත් දෙයක් කරන ලද්දේය” යයි 43 සතුටු වූ ඒ ස්වාමි (කුමාර) තෙමේ තමා පැළඳ සිටි නොයෙක් මහා වටිනා රුවන් අබරණ සියල්ල උතුම් ඇතෙකුත් සමග ඔහුට දුන්නේය.

44 පසුව ඔහුගේ බල නායකයන්ට ද මහා වටිනා මිණිකොඩොල් ආදී වූ ඉතා අගනා ආභරණ දී, 45 වාස ගෘහ, ආහාර දාන ආදී විධියෙන් සංග්‍රහ කළේය. 46 ඉන්පසු ඒ ඇමතිවරයා සිය සේනාව සමග විවේක ගැනීම පිණිස එතැනින් පිටත් කර යැවීය.

ගෝකර්ණගේ බිය සහ පලායාම

47 ඉක්බිති ඒ ගෝකර්ණ තෙමේ රාත්‍රී කාලය එළඹි කල එහිදී සිහිනයක් දුටුවේය. එනම්, තමා සෙනෙවියා මැරුවාක් මෙන්, කුමාරයාගේ නියෝගයෙන් අවිගත් අත් ඇති රෞද්‍රයන් විසින් තමාව මරණයට පත් කිරීම සඳහා හාත්පසින් වටලන ලද්දාක් මෙන් දැනී මරණ බියෙන් පෙළුණේය. 48 පසුව වියරු හඬින් මොරගාමින් ඇඳෙන් බිමට පැන, සිය කඩුව අතට ගෙන, 49 තමා ඇඳ සිටි වස්ත්‍රය ගැන පවා නොසලකා, තමා සමඟ ආ සියලු ඒ බල සේනාව ද අතහැර දමා, 50 දිශාව සොයා ගත නොහැකි මහ වනයට වැදී එහි මංමුළාව ඇවිද්දේය.

51 උදෑසන කලා වැවට යන මග දැනගෙන, වහාම එයින් ගොස් සිය ගමට ඇතුළු විය. 52 ඔහුගේ සේනාව ද හිමියා පලා ගිය බව අසා වෙනත් ආරක්ෂාවක් නොදත්තේ, 53 මහ බියෙන් වෙවුලා ගොස් තමන්ගේ සියලු ආයුධ එහිම දමා, 54 සිය හිමියා ගිය මඟම ගොස් වනයෙහි ඇවිද පසුදා උදෑසන වහාම කලා වැවට පැමිණියාහ. 55 කුමර තෙමේ ඒ ඇමතියා පලා ගිය පුවත අසා සිනාසී, එහිම දින කිහිපයක් ගත කළේය. 56 එකල නානා භාෂා රස දන්නා වූ ඔහුගේ උකටලී කාලයෙහි, ඒ කතා තොමෝම උකටලී බව දුරු කිරීමට හේතු විය.

කිත්සිරිමේ රජුගේ පියවර

57 කිත්සිරිමේ රජ තෙමේ මේ සියලු පුවත් අසා මහ ඇමතියන් කැඳවා ඔවුන් හා සාකච්ඡා කළේය. 58 ”කුමාර තෙමේ දැඩි ආරක්ෂාව ඇති ඇමතියන් වසන, නොයෙක් භටයන්ගෙන් පිරී පවතින මේ නුවරින් වෙස්වළාගෙන නික්මුණේය. 59 පසුව රැස් වූ ධූර්තයන් (සල්ලාලයන්/කපටියන්) කිහිප දෙනෙක් හා එක්ව, 60 කළ නොයුතු දේ කරන ඒ මිනිසුන් හා පලා ගොස්, රජයෙහි මා ඇත්තන් අතුරෙන් අතිශය බලවත් වූ සෙනෙවියා මරා, ඔහු විසින් රැස් කළ වස්තු සම්භාරය සියල්ල ගෙන එයිනුත් පලා යන්නේය.

61 පසුපසින් ලුහුබැඳ ආ බොහෝ ජනපදවාසී භටයන් ඒ ඒ තැන දී මරා දමා, ගජබා රජුට අයත් 62 ගෝකර්ණ නගරගිරි නම් සෙනෙවියා ගෙන්වාගෙන බුදුගම වෙසෙමින් ඔහු වසඟ කර ගත්තේය. 63 මේ ගැන උපේක්ෂාවෙන් සිටීමට කාලය නොවේ. මෙබඳු සිදුරක් ඇති කල්හි සතුරෝ මහා පින් ඇති ප්‍රඥා වික්‍රමයෙන් යුක්ත මේ කුමරු හා රහසිගත ගිවිසුම් කොට ගෙන, 64 ඉදින් යුද්ධයක් ඇරඹීමට සිත් උපදවයි නම් අපට මහත් හානි වන්නේය. 65 කුමරු යම් තාක් වෙනත් නරක සිතුවිල්ලක් නොසිතන්නේ නම්, 66 ඒ තාක් මේ තෙමේ එම ගමෙහි සිටියදීම අල්ලා ගත යුතුය” යයි නිශ්චය කළේය.

67 ඉක්බිති සේන ය, මිහිඳු ය යන ප්‍රසිද්ධ අදිකාරම්වරු දෙදෙනා ද, එසේම දේවපාදමූලක දැරු ‘මහලේනා’ ද යන මොවුන් හා අනික් ඇමතියනුත් තමා වෙතට කැඳවා, 68 ”මාගේ රජයෙහි අවියෙන් දිවි පෙවෙත ගෙවන යම් කිසිවෙක් වෙත් නම් මුන් සියල්ලම එක් කොට ගෙන, වහා ගොස් බලහත්කාරයෙන් ඒ කුමරු ගෙන එව” යයි කියා ඔවුන් එහි යැවීය.

කුමරුගේ යුද උපක්‍රම

69 මහා බල ඇති ඔවුහු සිය සිය මහ සෙනග ගෙන සිරියාල ගම වෙතට ගොස් දස කොටසකට බෙදුනාහ. කුමරු ද ඒ පුවත අසා, 70 ”මම එබඳු දුර්ගයක සිට දස කොටසකට බෙදී එන බල සේනාව එක් මුවකට ගෙන වහාම උපුටා දමමි” යයි සිතා, ඉක්බිති වීර තෙමේ මහාතිල නම් පෙදෙසේ විල්ගමට වහා ගියේය. 71 ඇමතියෝ ද, ”ඒ කුමාර තෙමේ ඉදින් එයිනුත් පලා ගොස් පර්වතයෙන් ගහන වූ මහා දුර්ග ප්‍රදේශයකට ඇතුළු වී නම්, 72 කිසි උපායකිනුත් ඔහුව අල්ලා ගැනීම දුෂ්කර වෙයි” යයි සිතා, 73 ඔහු සියල්ලෝ එක් දෙසක් බලා එහිම පැමිණියාහ.

74 කුමර තෙමේ ද ඒ අසා සිතුවා වූ දේ සිද්ධ වීම පිණිස සතුටු වූයේය. 75 යුද්ධයට එන සේනාවට ඉදිරියෙන් ඉඩ තබා, තමා යුද මාර්ගයන්හි සැඟවුණු ආකාරයෙන් මැනවින් සැරසුනා වූ වීරයන් යයි සම්මත වූ බොහෝ වූ සිය මිනිසුන් යෙදවීය. 76 යුද්ධෝපායෙහි පණ්ඩිත වූ බලවත් කුමර තෙමේ ලද ආයුධ ඇත්තෝ නැවත යුද්ධයට ආශා ඇතිව ඈත මෑත පහර දුන්හ. 77 එකල ජන බලය ඇති රජ කුමර තෙමේ එතැනින් නික්ම පියාගේ සිත රක්නා සඳහා බෝගම්වරට ගියේය.

78 වීර වූ ඒ කුමර තෙමේ එහි කිහිප දවසක් පසු කොට, 79 පිය රජුගේ මෙහෙයීමෙන් යුද්ධය පිණිස පසුව ආවා වූ සේනාව එහිදීම බිඳ පලවා හැර, ඒ ගමිනුත් ලග්ගල පෙදෙසේ රණඹුර නම් ගමට ගියේය. 80 පසුව ධීර වූ ඒ කුමර තෙමේ සිය භටයන්ගේ ගමන් විඩාව සංසිඳුවීමට එහි වෙසෙමින් කිහිප දවසක් ගත කළේය.

81 ”මොවුන් සියල්ලෝ යුද්ධයෙහි දී මා විසින් නොයෙක් වර බිඳින ලද්දාහු නමුත්, පිය රජු කෙරෙහි ඇති බිය නිසා යුද්ධයෙහි උනන්දුවක් නැත්තෝ වුව ද පලා නොයෙති. 82 ‘මේ කුමර තෙමේ දුර්ගයෙහි සිටි හෙයින් අප අතට පත් නොවන්නේ ය’ යයි යන දුර්වල මන්ත්‍රණ ඇති ඔවුන්ගේ 83 දුෂ්චින්තාව යම් හෙයකින් වී ද, 84 එහෙයින් දැන් මම මොවුන් වසන තැනටම ගොස් ඔවුන්ගේ ඒ දුෂ්චින්තිතය (නරක කල්පනාව) දුරු කරන්නෙමි” යයි සිතුවේය.

85 සේනාව සිටියා වූ කිරිවෑගමට යමින් අඹවෙන නම් පෙදෙසට පිවිස එහි සිටියේය. 86 ඒ ගම්වැස්සන්ගෙන් තොරතුරු අසා දැනගත් පරිද්දෙන් සතුරන්ගේ සංචාර දැන, 87 හෙතෙම සවස ඉන් නික්ම රාත්‍රි භාගයෙහි ඒ ගමට ළඟා වූයේය. 88 ඔහුගේ භටයෝ කටු ගැසීමෙන් භයානක වූ තියුණු අග්‍ර ප්‍රදේශ ඇති වැටට (වැවට) ළං වී, 89 ඇතුළු වීමට අසමත් වූවෝ බැහැර සිටියහ. කුමර තෙමේ පෙරටුව ගොස් වැට බිඳ බිය රහිතව ඇතුළු වන්නේය. වීර වූ ඒ කුමර තෙමේ ගම මැද සිටියේ සිය නම ද හඬගා කීවේය.

90 එකල්හි ඒ රජ කුමරුගේ අද්භූත වික්‍රමය පෙර දුටු ඒ සතුරෝ, 91 ගැඹුරු වූ සිංහ නාදය අසා භයින් මිරිකුණෝ, සියල්ලෝ ස්වකීය වස්ත්‍ර ආදිය ද, යුද්ධය ද පිළිබඳ සිහි මුළා වූවෝ, 92 සිංහයා දැක මුවන් පලා යන්නා සේ ඒ ඒ අත දිව ගියහ. ඔහු පිවිසි මගින් ඔහුගේ භටයෝ ද පිවිස දුටු දුටුවන් මැරූහ; ගම ගිනිලූහ. එකෙණෙහිම රජ කුමර තෙමේ නැව්ගල ගමට ගොස් සේනාවේ විඩාව සංසිඳුවමින් සිටියදී එහි අරුණු නැගුණේය.

ඇමතියන්ගේ අවසන් උත්සාහය සහ කුමරුගේ නික්මයාම

93 එකල්හි පිය රජුගේ ඒ ඇමතියෝ එක්ව ඒ ඒ යුද්ධයෙහි කුමරුගේ මහත් උත්සාහය ගැන සර්වප්‍රකාරයෙන් සාකච්ඡා කළහ. 94 ”නොයෙක් දහස් ගණන් බල සෙනග ගෙන අපගේ සිය සේනාව නසා කුමරහු ගනිමු යයි වේගයෙන් ගිය නමුත්, හැම තැන යුද්ධයේදී පලා යන්නා වූ සියල්ලන් විසින් හුදෙක් ඒ කුමාරයාගේ තේජස ප්‍රකාශ කිරීම පමණක් ඉතා නිවැරදිව කරන ලද්දේය. 95 නොයෙක් වර රජු විසින් එවන ලද හසුන් ද බිය ඇති කරවයි. මෙහි අප උපේක්ෂාවෙන් සිටින කල්හි අපගේ ඥාතීන්ගේ ජීවිතය ද නැති වන්නේය.

96 යම් කිසි උපායකින් රජුගේ අණ සිදු වන පිණිස උත්සාහ නොකොට කල් යැවීම සුදුසු නොවේ. 97 සිය පණ ඉවත දමා හෝ අපව පෝෂණය කළ හිමියන් සතුටු කරවා බන්ධු පාලනය ම කළ යුතුය.” 98 මෙසේ යුහුසුලු වූ මහ බල ඇති ඒ සියල්ලෝම මැනවින් සැරසී, 99 චරපුරුෂයන් විසින් කියන ලද මාර්ගයෙන් මාර සේනාවක් මෙන් නික්මුණහ. 100 සතර දිග දොරින් ගමට වැද ඉක්බිතිව කුමාරයාගේ ගෙය හාත්පසින් ඇවුරූහ.

සිසිලස අධික පෙදෙසක් හෙයින් රතු පලසක් පොරවා ගත් කුමර තෙමේ බාල වයසට ඔබිනා ක්‍රීඩාවකින් කෙළෙමින් උන්නේය. 101 එකල්හි ඒ කුමර තෙමේ ඝෝෂාවෙන් සතුරන් ඉතා ආසන්නවූ බව දැක, එකෙණෙහි සිය පිරිවරින් එකෙකුටවත් නොදන්වා, 102 දැඩි කොට කොණ්ඩය බැඳගෙන, පොරවා සිටි පලස ම ඉතා දැඩි කොට හැඳ, 103 කඩු ගත් අත් ඇතිව භයානක රසය දක්වා යුද මැදට වැද, කේසර සිංහයකු ඇතුන් රංචුවකට වැදුනාක් මෙන් ඒ සියලු සතුරන් ඇසිල්ලකින් දස අත පලවා හැරියේය.

104 මහා කෝලාහලයෙන් බිය ගෙන වනයට වැදුණු තමා හා කැටුව ආ සිය ජනයා හඬගා එක් කොට ගෙන මෙසේ කීවේය. 105 ”පිය රජු තබා විරුද්ධ පක්ෂයේ රජු වෙතට මා පැමිණියේ කුමන කරුණක් නිසා දැයි යම් සැකයක් උපදී ද, 106 එය සියලු ආකාරයෙන් වළකාලීමට සෙනෙවියා මැරවීම ආදී මේ සියලු සිදුවීම් පමණක් ප්‍රමාණවත් වේ. 107 එබැවින් දැන් පර මණ්ඩලයට (අනෙක් රාජ්‍යයට) යා යුතුය” යයි මෙසේ නියම කර ගත්තේය. 108 එතැනින් යමින් ‘පොරෝගලකඩ’ නම් තැන දී ලෙහෙසියෙන් ගලවා ගත හැකි වූ, 109 ලේ ඉසිනු ලැබූ, හැඳ සිටි ඒ උතුරු සළුව ද, කඩුව ද දියෙන් තෙමා සෝදා, පහ කොට පෙරළන ලද වස්ත්‍ර ඇත්තා වූ ඒ තෙමේ විශ්‍රාම සුව අනුභව කළේය.

110 ඉන්පසු පිය රජුගේ රටේ සීමා පසු කොට, 111 ගජබා රජුගේ රටේ ‘දනව්ව’ නම් තැනට එළඹියේය. හේ තෙමේ ඒ පෙදෙසට සුදුසු නොයෙක් ක්‍රීඩා විනෝදයෙන් එහි වෙසෙමින් කිහිප දිනක් ගත කළේය.

ගජබා රජු හමුවීම

112 ඉක්බිති ගජබා රජ තෙමේ කුමරහු ආ පිළිවෙළ තමා රක්නවුන්ගේ මුවින් අසා, ඉතාමත්ම හටගත් ආදරය ඇත්තේ, සිය ඇමතියන් හා සාකච්ඡා කොට 113 කළ යුතු දේ තීරණය කළේය. හේ තෙමේ ඔහුට වස්ත්‍රාභරණ දී පඬුරු යවමින් මෙසේ කීය. 114 ”මාගේ මාමා වූ රජු වෙතින් ඔබගේ පැමිණීම ද, 115 අතරමගදී ඔබ විසින් කළ අතිශය වික්‍රමය ද, අවුත් මාගේ රටේ අනික් තැනෙක ප්‍රවේශය ද අසා, ඉපිලෙන ප්‍රීතියෙන් මාගේ චිත්තය පිරීමට ගියේය. 116 මා හැර ඔබට ඇවැස්ස නෑයෝ හෝ කවුරු වෙත් ද?

117 ඔබගේ දර්ශනය ඒකාන්තයෙන් මට අභිෂේක මංගල්‍යයක් වැනිය. මාගේ මාමා වූ රජ තෙමේ තමාගේ මහලු අවස්ථාවෙහි මෙබඳු පුත් රුවනක් හස්ත සාර වස්තුවක් (අත රැඳි වටිනා වස්තුවක්) මෙන් නොසලකා, 118 යම් හෙයකින් කිසි දුර්නයකින් මාගේ හස්තයට පැමිණවී ද, මේ තෙමේ මහත් කුසල කර්මයක ඒකාන්ත උදාවීමකි. 119 දැන් අප දෙදෙනා නියත වශයෙන්ම එක්වූ කල කවර සතුරෙක් නම් අප හා යුද්ධ කරත් ද? 120 ලබන ලද සුළඟ මිතුරෙකු කරගත් ගින්නක් මෙන්, දැන් මාගේ ප්‍රතාපය තෙමේ සියලු ආකාරයෙන් ඉතා මහත් වන්නේය.

121 ඔවුනොවුන් දුටු කල පියා සතු රජෙහි කුමරහු වහා පිට වීමට මට බරෙක් නොවේ. 122 අතරමග කල් ගෙවීම් නොකොට මාගේ දර්ශනයට පැමිණිය යුතුය” යයි කියා සිය දූතයන් යැවීය. උන් අතින් ඒ පුවත අසා විචාර බුද්ධියෙන් යුතු ප්‍රඥා ඇති කුමර තෙමේ මෙසේ සිතිය: 123 ”ක්ෂත්‍රියයන්ගේ ස්වභාවය වනාහි සියලු ආකාරයෙන් අතිශයින් දැනගත නොහැකි මායා ඇත්තාහ. එහෙයින් මෙය විමසා බලාම යන්නෙමි.” 124 මෙසේ සිතා උපාය දන්නා ‘නිර්මල’ නම් එක් භටයෙක් ඒ දූතයන් හා යවා, 125 රාජන්‍ය තෙමේ රජුගේ ද, ඉන් අනික් මන්ත්‍රීන්ගේ ද අදහස් ඇති සැටියෙන් දැන පොළොන්නරුව වෙත ගියේය.

126 ඉක්බිති ගජබා රජ තෙමේ සිය සෙන් පිරිවරා පෙරමගට අවුත්, කරන ලද නොයෙක් උපචාර ඇත්තේ, ප්‍රීති වේගය ඇතිව තමා නැගි සිටි ඇතා පිටට 127 ඒ කුමරු නංවා ගෙන, නුවර සම්පත් දක්වමින් රජ මැදුරට ඇතුළු විය. 128 කුමර තෙමේ ගජබා රජු දැකීමෙන් හටගත් සන්තෝෂය ප්‍රකාශ කරමින් දින කිහිපයක් ගත කළේය.

කුමරුගේ ඔත්තු සේවය හා රාජ්‍ය තොරතුරු විමසීම

129 ඉන්පසු කුමාර තෙමේ එහි සිටින්නන් හා එසේම කලකිරුණන් මැනවින් හඳුනාගනු පිණිස, 130 නොයෙක් උපාය දන්නා, එසේම නානා දේශ භාෂාවල දක්ෂ වූ, 131 ස්වාමී භක්තිය පෙරටු කොට ඇති කිසි චරපුරුෂයන් කිහිප දෙනෙකු තෝරා ගත්තේය. 132 ඔවුන් අතරිනුත් විෂ වෙදකම්හි නිපුණ කිසි ජන කොටසක් නයි කෙළවන්නවුන් සේ වෙස් ගන්වා හැසිරවීය. විධානයෙහි දක්ෂ ඒ කුමාර තෙමේ 133 සාමුද්‍රිකා ආදී නොයෙක් ලක්ෂණ දන්නා ජනයන් ද, 134 වෙණ වයන සැඩොල් බමුණු ආකාර දන්නවුන් ද සූදානම් කළේය.

135 දෙමළ ආදී නොයෙක් දෙනා අතුරෙන් නෘත්‍ය ගීතයන්හි දක්ෂ වූවන් සම්රු (බොනික්කන්) ආදී කෙළි දක්වන්නවුන් බඳු කොට හැසිරවීය. 136 කදා (වීදුරු), මුතු, වළලු ආදී බඩු රැගෙන වෙළඳාමේ හැසිරෙන්නට ස්වකීය ස්වරූපය වෙනස් කළ කිසිවෙක් සැලසීය. කුඩ, සැරයටි ආදී පිරිකර ගෙන, තපස් ලීලා ඇති සැදැහැවතුන් සේ වෙස් ගන්වා, ගමක් ගමක් පාසා චෛත්‍ය වන්දනා කරන්නවුන් සේ යම් සේ ඇවිද්ද ද එසේ අණ කොට කිසිවෙක් යැවීය. 137 ගම් නියම්ගම්හි වෙදකම් කරමින් හැසිරෙන්නට පිළියම්හි දක්ෂ කිසිවෙක් යෙදවීය.

138 තවද ඒ කුමර තෙමේ අකුරු දන්නා ශාස්ත්‍රවන්තයන් ද, ආයුධ විද්‍යා ආදියෙහි බාලයන් හික්මවනු දන්නවුන් ද, 139 එසේම රස ක්‍රියා දන්නවුන් ද, භූත විද්‍යා දන්නවුන් ද, රන්කම් ආදියෙහි නිපුණ නොයෙක් ශිල්පීන් ද ඒ ඒ කර්ම කරමින් හැසිරෙන්නට අණ කළේය. 140 තෙමේ ඇතුළු මණ්ඩලය ඇසුරු කළ තත්වය දන්නා කැමැත්තේ, තමා වෙත අවුත් එක්ව කථා කිරීමේ මුවාවෙන් ඒ රජුගේ නීතියෙන් සිදුරු සොයන මිනිසුන් කෙරෙහි ඉතා මෝඩ බවක් පෙන්වමින් නුනුවණ දක්වන්නාක් මෙන් හැසිරුනේය. 141 එසේ කරමින් ප්‍රධාන අමාත්‍ය, සාමන්ත, භට ආදීන් අතුරෙන් ඉතා මත්වූවන් (මෝඩයන්) ද, 142 දැඩි සේ කිපියන් ද, එසේම භය වූවන් ද, ලෝභ ඇත්තවුන් ද වෙන් කොට හඳුනා ගත්තේය.

143 ඒ ඒ මිනිසුන් කෙරෙහි සුදුසු උපාය කිරීමෙහි දක්ෂ වූ, ඉතිහාසය හා පුරාණ ආදී නොයෙක් පැරණි කථා දන්නා, මහණ වෙස් ගත් 144 චරපුරුෂයන් ඒ ඒ ගෙවල් ඇසුරු කළෝය. ඔවුහු දැඩි කොට හටගන්නා ලද විශ්වාස ඇතිව, ලබන ලද සිව්පස හා උපස්ථාන ඇත්තෝව, අවවාද දෙන තනතුරෙහි සිට ඒ මිනිසුන් රජු කෙරෙන් බිඳුවා තමා හා සම්බන්ධයට යම් සේ පමුණුවද්ද එබඳු වූ විධාන ද කළේය.

145 ”රජු මා කෙරෙහි සැක නැති බවට පැමිණි කල, කැමති පරිද්දෙන් ඇසුරු කරමින් එහි ඇතුළත පවතින සියල්ල සුවසේ මා විසින් දැනගත හැකි වන්නේය” යයි සිතා, 146 ඒ තෙමේ රුහුණේ වසන මෑණියන්ට ලිපියක් යවා, 147 සිය නැගණිය වූ රූපවත් භද්‍රවතී නම් කුමරිය ද, 148 ඒ කුමරියගේ වස්තු සම්භාරය යන ව්‍යාජයෙන් බොහෝ වස්තුව ද ගෙන්වා ගත්තේය. 149 ඒ වස්තුව තමා අත්පත් කොට ගෙන, ගජබා රජුට ඒ කුමරිය පාවා දී තමා කෙරෙහි විශ්වාස සිත් ඇති බවට ඒ රජු පමුණුවා ගත්තේය.

150 පසුව රජ කුලය ද මද වහනය වන වන ඇතෙකු කරන කොට ගෙන, 151 නිත්‍ය ක්‍රීඩා කිරීමේ මුවාවෙන් වීථි සංචාරය කෙරෙමින්, 152 ඔහු විසින් ලුහු බඳින ලදුව වහා දුර දිවීම ව්‍යාජයෙන් යමෙක් වසඟ කළ යුත්තෝ නම්, හේ තෙමේ ඔවුන්ගේ ගෙයක් පාසා වැද, 153 ඔවුන්ට සුදුසු වූ මහා වටිනා ආභරණ ආදී ධනය දෙමින් ඉතා රහස් ආකාරයෙන් ඔවුන් සියල්ල සිය වසඟයට පමුණුවා ගත්තේය.

154 නිහීනයන් අන්ත කොට ඇති සියල්ලෝ ද, 155 නුවර වැසි භටයෝ ද, ”මේ තෙමේ මාගේම අනුග්‍රහයෙකි” යයි වෙන් වෙන්වම සිතූහ. ඉක්බිති රජුගේ වස්තූන්ගේ ද, ධාන්‍ය රාශීන්ගේ ද, සේනාවගේ ද, එසේම නොයෙක් යුද්ධෝපකරණයන්ගේ ද ප්‍රමාණය කිරීමට නිපුණ වූ ඒ කුමාර තෙම, 156 ඒ ලියන්නන්ගේ වර්ගයන්ට ඇතුළත් කොට ”තොපි ලියව්” යයි සිය ලියන්නන් යෙදවීය. 157 නගර ආරක්ෂණයෙහි යෙදුනවුන්ගේ ද, එසේම සේනානායකයන්ගේ ද චිත්ත සංකල්පනා දැන ගැනීමට කිසිවෙක් එහි නොයවා, තෙමේ බාල ක්‍රීඩා ව්‍යාජයෙන් ඒ ඒ තැන හැසිරෙමින්, තමාගේ හා පසමිතුරු යන උභය මණ්ඩලයේම තොරතුරු දැනගෙන ව්‍යසනය ඉක්ම ගියේ යයි නිශ්චය කළේය.

158 මෙසේ පූර්වයෙහි රැස් කරන ලද උසස් කුසල කර්මයෙන් යුක්ත සත්වයන් විසින් යොදන ලද සියලු ප්‍රයෝගයෝ, කිසි බාධා කාරණයකට නොපැමිණ මුදුන් පත් බවට එන්නාහයි දැන, තියුණු නුවණැති සත්ව තෙමේ පින් කරන්නේය.

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයේ ‘පරමණ්ඩල ප්‍රවෘත්ති නිර්ණය’ නම් වූ හැට හය වෙනි පරිච්ඡේදය නිමාවිය.