1 තමා විසින් කැමති වූ ජන්ම දේශයට වහා පැමිණීම හේතුවෙන් සම්පූර්ණ වූ මනදොළ ඇති, දුෂ්ට වූ සිතිවිලිවලින් තොර වූ ඒ පරාක්‍රමබාහු කුමාරයා, 2 දියමන්තියක් බඳු වූ තමාගේ මහත් ප්‍රඥා බලයෙන් ගුරුවරුන් වෙතින් නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේය. 3 හෙතෙම වහා බොහෝ දේ ඉගෙන ගනිමින්, බුද්ධ ධර්මයෙහි ද, කෞටල්‍ය (අර්ථ ශාස්ත්‍රය) ආදී නොයෙක් නීති ශාස්ත්‍රයන්හි ද, ශබ්ද ශාස්ත්‍රයෙහි (ව්‍යාකරණ) ද, නිඝණ්ඩු සහ කෙටුභ යන වේදාංගයන් සහිත වූ 4 කාව්‍ය ශාස්ත්‍රයෙහි ද, නැටුම් හා ගායනයෙහි ද, හස්ති ශිල්ප ආදී ශාස්ත්‍රයන්හි ද, දුනු 5 සහ කඩු ආදී නොයෙක් ආයුධ භාවිතයෙහි ද විශේෂයෙන්ම පරතෙරට පත් වූයේය.
මනා හික්මුණු සිතක් හා ශරීරයක් ඇති හෙතෙම, භක්තිය පෙරදැරි කොටගෙන පිය රජතුමාගේ අභිප්‍රායට අනුකූලව සෑම කල්හිම හැසිරුණේ ය. 6 එකල යහපත් වූ ආදරය සහ ආචාරශීලී ගුණයෙන් සිත පිනා ගිය පිය රජතෙමේ, ඔහු හා ප්‍රිය මිතුරෙකු සමඟ මෙන් උයන් කෙළි සහ දිය කෙළි ආදී 7 නානාප්‍රකාර සැප සම්පත් අනුභව කරමින් සිය රටෙහි ඒ ඒ තැන්වල හැසිරුණේ ය. 8 එක් කලෙක රටේ මායිම් ආරක්ෂාවෙහි යොදවන ලද, ඉතා බල ඇති, දැඩි 9 භක්තියක් ඇත්තා වූ සංඛ නම් සේනාධිපතියා වාසය කරන බදලත්ථලී නම් ග්‍රාමයේ 10 සමීපයට රජතුමා පැමිණියේ ය.
සේනාපතියා ද රජු පැමිණි බව අසා, එකෙණෙහිම ඒ ගම 11 මනාව සරසවා, පෙර ගමන් කොට පුතු සහිත වූ මහ රජුට වැඳ සිටියේය. එකල පිය පුතු දෙදෙනා ඔහුට ප්‍රිය වචන කියා, ඔහු විසින් 12 නොයෙක් ආකාරයෙන් ආරාධනා කරන ලද්දාහු ඒ ගමට පිවිසියෝ ය. රජතුමා එහි දවස් කිහිපයක් ගත කොට, සේනාපතියා කැඳවා මෙවැනි වචනයක් කීවේය: 13 “දැන් මාගේ පුතණුවන් සිටින්නේ යොවුන් වියෙහිය. ඔහුට උපනයන විධිය (කර වටා නූල පැළඳවීමේ මංගල්‍යය) කළ යුතුය. 14 ඔහුට උපනයන කර්මය සිදු කිරීමට අවශ්‍ය මහා උපකරණ වහා සූදානම් කළ යුතුය” යි කීවේය.
ඒ අසා සේනාධිනායකයා මංගල්‍යය පිණිස සියලු උපකරණ 15 වහා සූදානම් කළේ ය. සුවඳ, පහන්, මල් ආදී වස්තූන්ගෙන් තෙරුවන් විෂයෙහි 16 තෙදිනක් මුළුල්ලෙහි මහත් සත්කාර කොට, පෘථිවිපාලක රජතෙමේ වේද කර්මයෙහි 17 දක්ෂ වූ බමුණන් ගෙන්වා, ස්වකීය තේජසට ගැළපෙන්නා වූ ඒ මංගල්‍යය නිමවා, 18 ඇමතිවරුන් පිරිවරා ගත් පරාක්‍රමබාහු කුමරුවා සමඟ මහත් වූ වසන්ත ක්‍රීඩාවන් කිරීම ආරම්භ කළේය.
එකල කීර්ති ශ්‍රී මේඝ රජතුමා, රුහුණේ වසන තම මලණුවන් වන 19 සිරිවල්ලභ නම් රජුගේ මරණයත්, ඔහුගේ පුත් වූ මාණාභරණ නම් කුමාරයාට 20 රාජ්‍යය ලැබීමත්, මිත්‍රා දේවියට සිරිවල්ලභ නම් පුතෙකු ලැබීමත් යන මේ කරුණු 21 රුහුණෙන් පැමිණි දූතයන් වෙතින් අසා දැන ගත්තේය. සිය සොහොයුරාගේ අභාවයෙන් හටගත් දරාගත නොහැකි වූ ඒ ශෝක වේගය, මිත්‍රා දේවියගේ පුත් උපත පිළිබඳ පුවත ඇසීමෙන් දුරු කර ගෙන, ඒ වසන්ත කාලයෙහි වැළැක්විය නොහැකි වූ සංඛ සෙනෙවියා එහිම නවත්වා, පුතු සමඟ සංඛත්ථලී නම් නගරයට ගියේ ය.
22 23 ඒ පරාක්‍රමබාහු කුමරු සමඟ එහි සුවසේ වසන රජතුමාට වසරක් 24 ඉක්ම ගියේය. මාණාභරණ රජුගේ දෙවන බිසව වූ ප්‍රභාවතී තොමෝ කිත්සිරිමේ (කිර්ති ශ්‍රී මේඝ) නම් පුතෙකු ලැබුවාය. ඒ කීර්ති ශ්‍රී මේඝ රජතුමා (මායා රටේ රජු) ඒ පුවත ද අසා “අපගේ 25 වංශය මහත් වී යැ” යි සිතා එකල අතිශයින් සතුටු විය.
26 ලක්දිව තනිව පරිභෝජනය කිරීමට තරම් අසහාය වූ ද අසාධාරණ වූ ද මහා පින් බලයකින් 27 මෙහෙයවන ලද ඒ කුමාරයා, පියා විසින් තමා කෙරෙහි ප්‍රිය මිතුරෙකු 28 කෙරෙහි මෙන් කරනු ලබන ආදරය සහිත වූ මහත් ලෙන්ගතුකම ද, නොයෙක් 29 ඇමතිවරුන් විසින් භය සහ පක්ෂපාතීත්වය පෙරටු කොට කරනු ලබන උපස්ථානය ද, තණපතක් තරම්වත් නොසලකා, වහා මේ සියලු ලක්දිව එකම සේසතකින් 30 හොබවනු කැමති වූයේ මෙසේ සිතී ය:
“31 මේ ද්වීපය වනාහි සම්බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ ද, අකු ධාතූන් වහන්සේ ද, ග්‍රීවා ධාතූන් වහන්සේ ද, දළදා වහන්සේ ද, පාත්‍රා ධාතූන් වහන්සේ ද, සිරිපා සටහන ද, ශ්‍රී මහා බෝධි ශාඛාව ද යන මොවුන්ට 32 හා සම්බුදුරජාණන් වහන්සේ වැනි වූ අසූ හාර දහසක් ධර්ම ස්කන්ධයන්ටත් 33 නිත්‍ය ආධාරය බැවින් ද, එසේම මැණික් මුතු ආදී වස්තූන්ට ආකරයක් බැවින් ද 34 ඉතා උසස් යැයි සම්මත වූ නමුත් ප්‍රමාණයෙන් ඉතා විශාල නොවෙයි. මාගේ පිය රජ දරුවෝ 35 තුන් දෙනා ද, එසේම මාමණ්ඩිය ද යන මොවුන්ට සර්වප්‍රකාරයෙන් මේ දිවයින එකම කුඩයක් යටතේ (එක්සේසත් කොට) පවත්වන්නට නොහැකි වී, මෙය බෙදා ගෙන වළඳන්නෝ වෙති.”
“36 ‘මෙපමණකින් අපි කළ යුතු දේ කළෙමු’ යැයි සිතන්නා වූ, කුලයෙන් උපන්නා වූ 37 නමුත් අභිෂේකයෙහි පහ වූ ආශා ඇත්තා වූ ඔවුන්, ගම් මුදලිවරුන් මෙන් කෘෂිකර්මාදිය 38 ඇසුරු කළෝ සිය රටෙහි ඊශ්වරත්වය පැවැත්වූහ. ඔවුන් අතුරෙන් මාගේ 39 කුඩා පියාණන් වන කිත්සිරිමේ රජු හැර අන් සියලු රජ දරුවෝ තිදෙනා කර්මානුරූපව පරලොව ගියහ. අහෝ, මේ කාලයෙහි මිනිසුන්ගේ පරමායුෂ 40 ස්වල්පයකි. බාලයෝ ය, තරුණයෝ ය, මහල්ලෝ ය යන මේ සියලු සත්වයෝ ක්‍රමයෙන් මරණයට පැමිණෙන්නාහ යන මේ නියමය ද 41 මේ ලෝකයෙහි කිසි කලෙකත් උල්ලංඝනය නොවන්නක් මැයි.”
“අප වැනි රාජ කුමාරවරුන් විසින් බිඳෙන සුළු වූ ද සාර රහිත වූ ද, සාරධර්ම දන්නා නුවණැත්තන් විසින් 42 හෙළා දකින ලද්දා වූ ද මේ ශරීරය කෙරෙහි ඇති අපේක්ෂාව සර්වප්‍රකාරයෙන්ම 43 බැහැර ලා, ප්‍රාර්ථනා කටයුතු වූ, චිරස්ථායී වූ යශෝ ශරීරය (කීර්ති නාමය) කෙරෙහි සෑම කල්හිම ආදරය කළ යුත්තේ ය. උම්මග්ග ජාතකාදී වූ බොහෝ තැන්හි බෝසතාණන් වහන්සේ 44 විසින් කරන ලද වීර්යය ආදී නිශ්‍රිත චරිතය ද, රාමායණ භාරතාදී ලෞකික 45 කථාවල එන රාවණා මැරූ ඒ රාම කුමාරයාගේ වික්‍රමය ද, දුර්යෝධනාදී රජුන් 46 මරා පංච පාණ්ඩව පුත්‍රයන් විසින් යුද්ධයෙහි පවත්වන ලද වික්‍රමාන්විත භාවය ද, 47 ඉතිහාස කථාවන්හි එන පෙර දේවාසුර යුද්ධයෙහි දුෂ්මන්තාදී රජුන් විසින් කළ අද්භූත චරිතය ද, නන්ද වංශයේ රජවරුන් 48 උලූප්පා දැමූ ප්‍රසිද්ධ චාණක්‍ය නම් බ්‍රාහ්මණයාගේ නුවණේ ශක්තිය ද 49 අසා ඇත්තෙමි. ලෝකයෙහි සියලුම මේ චරිතයෝ අද දවස දක්වා ඔවුන්ගේ භෞතික සමීපයක් නැති වුවත් ලෝකයෙහි සුප්‍රසිද්ධියට පත් වූවාහු මැයි.”
“50 මෙබඳු අසාධාරණ වූ උත්කෘෂ්ට චරිතයක් කරන්නට සමතෙක් වේ නම්, ඔවුන්ගේ ජීවිතය ලෝකයෙහි යහපත් ලාභයකි. ක්ෂත්‍රිය වංශයෙහි ඉපිද ක්ෂත්‍රිය වීරවරයන්ට 51 සුදුස්සක් මම ඉදින් නොකරන්නෙමි නම්, මාගේ මේ උපත හිස් 52 වන්නීය. හුදෙක් ඔවුන්ට වඩා කාල සම්පත්තිය ද මට අධික විය. කිමෙක් ද, 53 ප්‍රඥා ආදියෙන් ද මම ඔවුන්ට වඩා අධික නොවෙම් ද?” යි සිතුවේය.
තවද කුමරු මෙසේ සිතුවේය: “දැන් මාගේ පිය රජතෙමේ ද අවසන් වයසෙහි සිටින්නේ ය. ඉදින් පියාට අයත් මේ රාජ්‍යය මට 54 අත්පත් වී නම්, රාජ්‍ය ශ්‍රීය නමැති වසඟයෙන් යුක්ත වූ සිත් ඇති මාගේ ප්‍රමාදයෙන් 55 බලාපොරොත්තු වන දේ ඉටු නො වී නම්, එය ඒකාන්තයෙන්ම මට මහත් හානියකි. ඉදින් මම මෙහිම වෙසෙමින් සිය වාරයක් (ඔත්තුකරුවන්) යවා සත්‍ය වූ පරිද්දෙන් 56 පරමණ්ඩලයේ (සතුරු රටේ) තොරතුරු දැන ගනිම් නම්, පසමිතුරන්ගේ සිදුරු ඇති සැටියෙන් මාගේ අභිප්‍රායට ගැළපෙන පරිදි ප්‍රකාශ කිරීමට ඔත්තුකරුවෝ සමත් නොවෙත් ද? එහෙත් මෙහි යම් පමණ ජන කෙනෙක් වෙත් නම් ඔහු සියල්ලෝ මා ඉදිරියෙහි සතුරන්ගේ බලය අධික බවම නොයෙක් ආකාරයෙන් කියත් මැයි.”
“57 ’එකී එකී රටවල් හිමි වූ ඔබගේ පිය රජුන් තුන් දෙනා විසින් එක්ව සත් 58 වරක් මහා යුද්ධ කොට සාදා ගැනීමට දුෂ්කර වූ රට, හුදකලා වූ, තරුණ වූ, එක් රටක් පමණක් අනුභව කරන්නා වූ ඔබ විසින් කෙසේ සාදා ගනු 59 හැකි වන්නේ ද? මුල් වූ ඒ රාජ්‍යය සාදා ගැනීම සුවසේ කළ හැක්කක් යැයි 59 සිතන ඔබගේ මේ දුෂ්ට සිතිවිල්ල දුරු කටයුතු ය’ යි කියමින්, කණෙහි රත් වූ යවුල් අලන්නා සේ නොයෙක් ආකාරයෙන් පරමණ්ඩලයෙහි මහිමය බොහෝ කොට 60 මෙසේ කියති. සැබෑ තත්වය නොදැන කියන්නා වූ දුර්බුද්ධීන්ගේ නිවට වූ 61 මේ වචනය කිසි කලෙකත් ඇදහිය යුතු නොවන්නේ ය. එහෙයින් 62 එක් උපායකින් පරමණ්ඩලයට වහා ගොස් මම එහිම තත්වය දැන ගනිම් නම් යෙහෙකැ” යි සිතුවේ ය.
“ඉදින් මාගේ පිය රජතෙමේ මේ සිතිවිල්ල දැන, ’උසස් වංශය බබළවන්නා වූ, සතුරන්ගේ රටට ගිය මාගේ පුතු හට 63 අන්තරායක් වුව ද විය හැක්කේ ය’ යි අනුකම්පා සහගත බුද්ධියෙන් මාගේ ගමන වළක්වන්නේ 64 නම්, සර්වප්‍රකාරයෙන් මාගේ මනදොළ මුදුන්පත් නොවන්නේ ය. එහෙයින් වෙස් වළාගෙන යාම යහපතැ” යි සිතා, පසුව එක් දිනෙක රාත්‍රි 65 කාලයෙහි එබඳු අවකාශයක් ලැබ, ක්ෂය නොවන තරම් මහා උපාය ඇති, 66 කල් වේලා දන්නා වූ චතුර වූ ඒ කුමර තෙමේ, සිය පියාණන් ඒ ගමන යම් සේ නොදනී ද, එලෙසින් මාළිගයෙන් බැහැරව නික්මුණේ ය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ ‘පරමණ්ඩලාභි ගමන’ නම් වූ හැට හතර වන පරිච්ඡේදය නිමි.