ජයබාහු නම් වූ රජතුමා ද මිත්තා නම් වූ (සොහොයුරිය වූ) රැජින ද රුහුණෙහිම වසන කල්හි මරණයට පත් වූහ. 1 යළිත් සිරිවල්ලභ රජුගේ බිරිඳ වූ සුගලා නම් බිසව, මානාභරණ නම් පුත්‍රයා ද ලීලාවතී නම් දුව ද යන දරුවන් දෙදෙනා ප්‍රසූත කළාය. 2 මානාභරණ රජුගේ බිසව වූ රත්නාවලී දේවිය ද, මිත්‍රා නම් වූත්, ප්‍රභාවතී නම් වූත් දූවරුන් දෙදෙනෙකු ලැබුවාය. 3 ඒ දූවරුන් දෙදෙනා දකිනා වූ මානාභරණ නම් මහා ඈපාණන් වහන්සේට එකල්හි මෙවැනි සිතුවිල්ලක් පහළ විය.
4 “ලෝකයා විසින් මනා කොට සම්මත කරන ලද්දා වූ, සියලු රජ කුලයන්ගේ මුදුනෙහි වූ, පිරිසිදු වූ චන්ද්‍ර වංශයෙහි උපන්නා වූ අපි වනාහි, 5 අතිශයින් කැමති විය යුතු ආකාර ඇත්තා වූ, සියලු ශක්තියෙන් උසස් වූ, නානා විධ ශාස්ත්‍රයන්හි දක්ෂ වූ, ඇත් අස් ආදී වාහන හැසිරවීමේ ශිල්පයන්හි පොහොසත් වූවෝ වම්හ. 6 එසේ වුවත්, මේ අපි තුන් දෙනාම හුදෙකලා වූ වික්‍රමබාහු ඈපාණන් විසින් යුද්ධයේදී පරාජය කර, නින්දාවට පත් කරන ලද්දෝ වම්හ. 7 මේ කිලිටි බව පිරිසිදු කිරීමට වෙහෙස මහන්සි වී සමත් වන්නා වූ පුතෙකුගේ පහළ වීමක් නොපෙනේ. අපගේ මද පින් ඇති බව අහෝ කණගාටුවට කරුණකි. 8 ජන අපවාදයෙන් කිලිටි වූ රජකමෙන් මට ඇති පලය කුමක්ද? දැන් කාම සැපයෙහි ඇල්ම අතහැර, යහපත් ක්‍රියාවන්හි නිරතුරුවම අප්‍රමාදීව මා විසින් දවස් ගත කළ යුතුය.”
9 මෙසේ සිතූ රජතුමා, 10 සියලු රාජ්‍ය පාලන කටයුතු ඇමතිවරුන්ට පවරා දී, එහි සත් අට මසක් වෙහෙසෙමින්, එක් දිනක් රාත්‍රියෙහි ශීල සංවරය ඇතිව දෙව් රජුගේ (දෙවොලේ) ගෘහයෙහි නිදා ගත්තේය. 11 ඉක්බිතිව අලුයම් කාලයෙහි, විසිතුරු වූ වස්ත්‍රාභරණ ඇත්තා වූ, සුවඳ මලින් සැරසුණා වූ, විශේෂයෙන් උදාර වූ රූප ඇති, 12 සිය සිරුර බැබළීමෙන් අහස් කුසට නැඟි හිරු මෙන් සියලු දිශාවන් ආලෝකවත් කරන්නා වූ, මෙසේ කියන්නා වූ මහත් සෘධිමත් දේව පුත්‍රයෙකු මිහිපල් තෙමේ සිහිනෙන් දුටුවේය.
13 “මහා පින් ඇත්තාණෙනි, පහදින්න. රජතුමනි, 14 ප්‍රීතිමත් වන්න. පින් ඇති ලකුණෙන් සමෘද්ධිමත් වූ, බලාපොරොත්තු ඉටු කරන්නා වූ, හික්මුණා වූ, ලොව පුරා පැතිරුණු තේජස් හා පරාක්‍රම ඇත්තා වූ, 15 ආඥා බලයෙන් සහ යසස් කීර්තියෙන් බබළන්නා වූ, යහපත් ස්වභාව ඇත්තා වූ, 16 ලෝකයෙ හි සහ ශාසනයෙහි දියුණුව ඇති කරන්නා වූ උතුම් පුත්‍රයෙක්, මහා රජතුමනි, දැන් ඔබ වහන්සේට නොබෝ කලකින්ම ලැබෙන්නේය. 17 අඹුදරුවන් ආදීන් විසින් වාසය කරන ලද්දා වූ නුවරට වහාම යන්න,” යැයි මෙසේ කියන දේව පුත්‍රයා දුටුවේය.
18 නින්දෙන් පිබිදුණු රජතුමා හටගත් ප්‍රීති වේගය ඇත්තේ, ඉක්බිති රාත්‍රිය පහන් වූ කල්හි එතැනින් නික්ම පිලගමට ගියේය. 19 ඒ රජතුමා තමන් දුටු ආකාරයෙන්ම ඒ ශුභ ස්වප්නය පිළිබඳව බිසව ප්‍රමුඛ ඇමතිවරුන්ට පැවසුවේය. 20 එහිදී බිසව හා සමඟ උතුම් පුතෙකු පතමින් 21 දාන ශීලා දී නානාප්‍රකාර යහපත් ධර්මයන් පුරන්නේ, යළිත් එක් දිනක් අලුයම් කාලයේදී සිහිනෙන්, සියලු ශුභ ලකුණෙන් සමෘද්ධිමත් වූ, 22 ශරීරයේ සියලු අංග ධවල (සුදු) පැහැති වූ, මනහර වූ, දමනය වූ උතුම් ඇත් පැටවෙකු ප්‍රේමයෙන් තමාගේ කණ අල්ලාගෙනවුත්, බිසවගේ යහන් ගබඩාවට ඇතුළු වන්නා සේ දැක, 23 නින්දෙන් පිබිදී, උතුම් වූ යහනෙන් නැගිට, හටගත් ප්‍රීති ප්‍රමෝද්‍ය වේගයෙන් 24 පිනා ගිය සිත් ඇත්තේ, එම වේලෙහිම බිසවගේ ශ්‍රී යහන් ගබඩාවට 25 වහා ඇතුළු වී, තමා දුටු ආකාරයෙන්ම ඒ සිහිනය ඇයට පැවසුවේය.
“මම ද මාගේ යහන වටා පැදකුණු කර සිටියා වූ එබඳුම ඇත් පැටවෙක්, සොඬින් අල්වාගෙන මා යහනට ඇද නංවාගෙන, ප්‍රේමයෙන් සිහිනෙන් වැළඳ ගතිමි” යැයි 26 දේවිය ද රජුට කීවාය. 27 ඒ දෙදෙනා තමන් දුටු දේ ඔවුනොවුන්ට මෙසේ ප්‍රකාශ කොට සතුටු වූවාහුම, එකල නිදි නැතිව අරුණෝදය නැඟූහ. 28 ඉක්බිති උදෑසන රජුට උපස්ථාන කිරීම පිණිස පැමිණියා වූ පුරෝහිත බමුණන් ද, නිමිති කියන්නන් ද විමසුවෝය. එය අසා සතුටු වූ ඔවුහු ද, 29 නොබෝ කලකින් පින් ලකුණු ප්‍රකාශ කරන්නා වූ පුතෙකුගේ උපත අනිවාර්යයෙන්ම සිදුවිය යුතු යැයි ප්‍රකාශ කළෝය.
30 ඒ අසා ඇමතිවරු ද, එසේම නුවර වැසියෝ ද, රජ තෙමේ ද යන 31 සියල්ලෝම සතුටු වී මහත් වූ උත්සවයක් වින්දාහ. එතැන් පටන් අතිශයින් සැපයක් සොයන්නා වූ රජතුමා භික්ෂූ සංඝයා වහන්සේලා ලවා 32 බොහෝ සේ පිරිත් දේශනා කරවීය. ධනය නොයෙක් ආකාරයෙන් යාචකයන්ට දාන මුඛයෙහි (දන්සැල්වල) දවසක් පාසා පරිත්‍යාග කළේය. 33 වේද සහ වේදාංග දන්නා වූ බමුණන් ලවා ශුභ යැයි සම්මත වූ යාග ආදී විධි ද පැවැත්වූ රජතුමා, 34 බොහෝ සේ විනාශ වී ගියා වූ වෙහෙර විහාර සහ දාගැබ් ද, කැඩී බිඳී ගිය වැව් ද ප්‍රතිසංස්කරණය කිරීමට රාජකාරි කම්කරුවන් යෙදවීය.
35 මෙසේ රජතුමා යහපත් කටයුතුවලින් දවස් ගත කරන කල්හි, නොබෝ කලකින් දේවියගේ කුසෙහි උතුම් ගැබක් පිහිටියේය. 36 ඉක්බිති ඒ දැක සතුටට පත් වූ රජතුමා දේවියට මහත් වූ ගැබ් පෙරහරක් (ගර්භ පරීහරණ ශාන්තියක්) ලබා දුන්නේය. 37 ක්‍රමයෙන් මෝරා ගිය ගැබ් ඇත්තා වූ දේවිය, යහපත් නැකැත් මොහොතින් යුත් විශේෂිත වූ වේලාවක පුතෙකු ප්‍රසූත කළාය.
38 එකෙණෙහි සියලු දිශාවෝ අතිශයින් පහන් වූහ (පැහැදිලි වූහ). සුවඳ හමන මෘදු සුළං ද හැමුවේය. 39 ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අශ්වයන්ගේ හේෂාරවයෙන් (අශ්ව හඬින්) ද රජ මිදුල 40 එකල මහත් ඝෝෂාවෙන් හා කලබලයෙන් යුක්ත විය. මෙසේ ආශ්චර්ය විශේෂයන් නොයෙක් ආකාරයෙන් පහළ වූ කල්හි, ඒ දැක විස්මයට පත් වූ මානාභරණ රජතුමා, 41 එකල සිය පුතු උපන් පණිවිඩය අසා, අමෘතයෙන් අභිෂේක ලද්දෙකු මෙන් ප්‍රීතියෙන් පිරුණා වූ බලාපොරොත්තු ඇත්තේ විය. 42 හෙතෙම සිරගෙයි බැඳ සිටි බොහෝ ජනයන් මුදවා, මහණ බමුණන්ට උදාර වූ දන් දුන්නේය. 43 නුවර වැසි ඇමති ආදී වූ ජනයෝ ද, රාජධානිය කෙහෙල් තොරන් ආදියෙන් 44 නොයෙක් ආකාරයෙන් කිසිදු අඩුවක් නැතිව සරසා, මනාව ඇඳ පැළඳ ගත්තාහු, දින කිහිපයක් මහත් වූ මනහර සැණකෙළි පැවැත්වූහ.
45 වේදයෙහි කියන ලද විධියෙන් රජතුමා කුමාරයාගේ ජාතකර්මාදී (උපතේදී කරන) 46 සියලු විධි අවසන් කොට, පුරෝහිත ආදී බමුණන් ද, යළිත් ලක්ෂණ ශාස්ත්‍රය දන්නවුන් ද ගෙන්වා, සත්කාර සම්මාන විධි පෙරටුව මනා කොට, කුමරුගේ 47 අතුල් පතුල් ආදී සියලු ලකුණු පරීක්ෂා කරවා ගත්තේය. සතුටු වූ ඔවුහු ඇමතියන් 48 සහිත ජන සමූහයා මැදට පැමිණි රජතුමාට ද දේවියට ද මෙසේ පැවසූහ: “මේ කුමරු ලක්දිව තබා දඹදිව් තලය ද එක සේසත් කොට (එක් චක්‍රවර්ති රාජ්‍යයක් කොට) පාලනය කිරීමට දක්ෂය.”
49 භෝග සම්පත් දීමෙන් ඔවුන් සතුටු කොට, “පෙනෙන්නා වූ යම් කිසි අරිටු (අසුබ) ලකුණක් ඇත්තේ ද, නැත්තේ ද” යි රජතුමා නැවතත් 50 විමසුවේය. “මේ කුමාරයා දීර්ඝායුෂ ඇත්තේය, එහෙත් එක් දෝෂයක් ඇත. ඒකාන්තයෙන්ම පියාට අසුබ ගෙන දෙන ‘ජනකාරිෂ්ට’ යෝගයක් පෙනේ” යැයි ඔවුහු රජුට කීහ.
51 ඒ රජතුමා ඒ කුමාරයාට “සතුරු ජනයන් මර්දනය කරන්නා වූ තේජස් ඇති බාහු බලයෙන් යුක්ත හෙයින් ‘පරාක්‍රමබාහු’ ය” යි 52 අර්ථවත් නාමයක් තැබුවේය. යුතුකම් හා විධි දන්නා වූ රජතුමා කන් විදීමේ මංගල්‍යය ද, බත් කැවීමේ මංගල්‍යය ද, නියමිත පරිදි 53 අඩු නොකොට කරවීය.
එකල ඒ රජතුමා තම පුතු උපන් පණිවිඩය 54 වික්‍රමබාහු රජුට කියනු පිණිස පොළොන්නරුවට දූතයන් යැවීය. 55 ඒ වික්‍රමබාහු රජතුමා තමාට අයිති යහපත් මහිමය දත්තිය. පුතුගේ මහා 56 පින් ඇති බව ද, ‘ජනකාරිෂ්ට’ යෝගය (පියාට ඇති අපල යෝගය) ද අසා මෙසේ සිතිය: “පින් ඇත්තා වූ විජයරාජ ආදී 57 රාජ මාලාවට නායක බබළන මැණිකක් වැනි වූ මාගේ බෑණනුවන් වන හෙතෙම උපන්නේය. ඔහුට යම් සේ නිරතුරුවම කිසිදු හානියක් නොවන්නේ ද, එසේ මෙහි මා වෙතටම කුමාරයා පැමිණේවා. 58 මේ මාගේ ගජබාහු නම් පුත්‍රයා නොලැබූ ලාභයක් ලබා ගැනීමට හෝ, ලබා ගත් ලාභයක් රැක ගැනීමට හෝ, හැම විරුද්ධවාදිකමක් මර්දනය කිරීමට හෝ අපොහොසත්ය. 59 මිහිඳු නම් අනෙක් පුත්‍රයා ශූර බව ආදියෙන් යුක්ත වුවත්, මව් පාර්ශවයෙන් හීන කුලයේ හෙයින් මාගේ රජකමට නුසුදුසුය. 60 මා විසින් නොයෙක් ආකාරයෙන් රැස් කළ සමෘද්ධිමත් වූ වස්තු රාශියෙන් යුක්ත වූ රජයට, බෑණා තෙමේම ඒකාන්තයෙන් ස්වාමියා වන්නේ වේවා.”
61 හෙතෙම මෙසේ සිතා ඒ කුමරු ගෙන්වා ගනු පිණිස, කුමාර පළඳනා ද, සෙසු වටිනා පඬුරු ද දී දූතයන් යැවුවේය. 62 වීරබා (මානාභරණ) රජතුමා ඒ සියල්ල දූතයන්ගේ මුවින් අසා මෙසේ සිතිය: “ඔහු විසින් මේ බස මට හිතවත් වූ බුද්ධියෙන් කියන ලද්දක් විය යුතුය. එතකුදු වුවත් තමාගේ 63 අරිටු දෝෂයට (අපලයට) පිළියම් පිණිස මෙබඳු වූ උදාර පුත් රුවනක් පිටත් කර යැවීමට සුදුසු 64 නොවෙයි. එසේම තවත් කරුණක් ඇත; කුමරු එහි ගෙන ගිය කල, වික්‍රමබාහු 65 රජුගේ පක්ෂය ලැබූ හෙතෙම, මහා සුළං වේගයක් ලැබූ ගින්නක් මෙන් අතිශයින් උසස් වූ මහත් තේජසින් බබළන්නේය. එයින් විශේෂයෙන් අපට මහත් වූ කේවල වූ (ඒකාන්ත) 66 හානියක්ම වන්නේය.”
හෙතෙම මෙසේ සිතා එහි පැමිණි දූතයන් 67 අතට සිය පුතු නොයවාම, ඔවුන් ධනයෙන් සතුටු කොට ආපසු යැවුවේය. 68 ඒ රජතුමා සිය පුතුන් සහ බිරින්දෑවරුන් හා සමඟ වාසය කරන්නේ, තියුණු වූ මහත් ව්‍යාධියක් වැළඳුණේ, රජය සමඟ සිරුර අතහැරියේය (මිය ගියේය).
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය සහ සංවේගය පිණිස කළ මහාවංශයෙහි කුමාරෝදය නම් වූ හැට දෙවෙනි පරිච්ඡේදය නිමි.