1 ඒ විජයබාහු රජතෙම කුලවත් ජනයා තෝරාගෙන, රාජ්‍ය ආරක්‍ෂාවට සුදුසු පරිදි තම රැකවරණයෙහි යොදවා ගත්තේය. 2 එතුමා පොළොන්නරුවෙහි නොයෙක් දොරටුවලින් යුත් වූ ද, හුණු පිරියම් කිරීමෙන් මනාව බබළන්නා වූ ද, හාත්පසින් දිග පළල ඇති වූ ද, 3 ගැඹුරු දිය අගලකින් යුක්ත වූ ද, උස් වූ සමතලා මළුවකින් සමන්විත වූ ද, සතුරන් විසින් විනාශ කළ නොහැකි වූ ද, උස් වූ ස්ථිර පවුරක් කරවූයේය.
4 එකල ලක්දිව උපසම්පදා කර්මය සිදු කිරීම සඳහා අවශ්‍ය ගණ පූරක භික්ෂූන් වහන්සේලා ප්‍රමාණවත් නොවූහ. 5 එබැවින් බුදු සසුන පවත්වාගෙන යාමට කැමති සිත් ඇති රජතුමා, ඉක්බිති රාමඤ්ඤ (බුරුම) රටෙහි 6 අනුරාධ නම් මිතුරු රජු වෙත පඬුරු සහිත වූ දූතයන් යැවීය. එතුමා ඒ රටින් 7 තුන් පිටකයෙහි පරතෙර ගියා වූ ද, ශීලාදී ගුණයන්ට වාසස්ථානයක් වූ ද, ස්ථවිර සම්මත වූ භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේය. 8 ඒ රජතෙමේ උන් වහන්සේලාට උදාර වූ පූජාවන් පවත්වා, නොයෙක් ආකාරයෙන් පැවිදි උපසම්පදා කරවා, බොහෝ සේ අටුවා සහිත ත්‍රිපිටකය ද උගන්වා, ලක්දිව පිරිහෙමින් තිබූ බුදු සසුන බැබළවූයේය.
9 එතුමා පුලස්ති පුරය (පොළොන්නරුව) තුළ පිහිටි ඒ ඒ තැන්හි අතිශයින් මනහර වූ 10 බොහෝ විහාරයන් කරවා, තුන් නිකායම වාසී වූ ශ්‍රමණයන් වහන්සේලා එහි වාසය කරවා උදාර වූ සිව්පසයෙන් සංග්‍රහ කළේය. දසතින්ම ඉන්ද්‍රඛීල ස්තම්භවලින් මනහර වූ ද, 11 පවුරු හා දිය අගලකින් යුක්ත වූ ද, පස් මහල් මහා ප්‍රාසාදයකින් බබළන්නා වූ ද, හාත්පස 12 යහපත් වූ ආවාස පේළියකින් මොනවට බබළන්නා වූ ද, මිනිසුන්ගෙන් ගැවසුණු ඉඩකඩ ඇති, බබළන බාහිර දොරටු ඇත්තා වූ ද, රත්නත්‍රය පිහිට කොට ඇත්තා වූ උතුම් විහාරයක් 13 ඒ රජතෙම කරවා තුන් නිකාය වාසී වූ භික්ෂු සංඝයා හට පූජා කළේය.
14 හෙතෙම සංඝයාට පිදිය යුතු දන් වැටුප් පිණිස එහි වාසය කරන්නා වූ ප්‍රධානීන් සමග ඇළිසර නම් රට පූජා කළේය. එහි ශ්‍රමණයන් වහන්සේලා නොයෙක් සිය ගණන් වස්වා, 15 හෙතෙම නිරන්තරයෙන් උදාර වූ සිව්පසය පැවැත්වූයේය. 16 හෙතෙම ඉතා වටිනා මනරම් දළදා මැදුරක් කරවා දළදා වහන්සේට නිරන්තරයෙන් මහා පූජා පැවැත්වූයේය. සමූහයා හා එක්ව කටයුතු කිරීමෙන් බැහැර වූ 17 හෙතෙම දිනපතා උදෑසන සොඳුරු වූ දහම් මැදුරෙහි හිඳ ධම්මසංගණී ප්‍රකරණය පරිවර්තනය කළේය. නැටුම් ආදිය හා සුවඳ මල් ආදී වූ 18 නොයෙක් පූජා පවත්වන ශ්‍රද්ධා සම්පන්න වූ එතුමා හිසින් බුදුන් වැන්දේය.
19 පරිත්‍යාගයෙහි ශූර වූ ඒ රජතෙම දඹදිවින් ආවා වූ බොහෝ වූ 20 පණ්ඩිතයන්ට, ඒකාකාරයෙන් දිය යුතු ධන දානයෙන් සංග්‍රහ කළේය. සැම කල්හි දහම් ගුණෙහි ඇළුණා වූ හෙතෙම ධර්ම දේශකයන් වහන්සේලාට නොයෙක් ආකාරයෙන් පුද සත්කාර කොට සද්ධර්මය දේශනා කරවූයේය.
21 හෙතෙම තුන් වරක් බැගින් තමාගේ බරට සමාන (තුලාභාර) වස්තුව දුප්පතුන්ට දන් දුන්නේය. පොහෝ දිනවල අතිශයින් පිරිසිදු ලෙස පෙහෙවස් ද විසී ය. රජතෙමේ අවුරුදු පතා 22 ‘දණ්ඩිස්සර’ නම් දානයක් දුන්නේය. ත්‍රිපිටකය ලියවා භික්ෂු සංඝයාට පූජා කළේය. හෙතෙම ඉතා වටිනා මිණි මුතු ආදී රුවන් යවා දඹදිව පිහිටි මහා බෝධිය 23 නොයෙක් වර පිදවූයේය.
24 කර්ණාට රජු විසින් ද සොළී රජු විසින් ද එවන ලද්දා වූ, මහත් වූ පඬුරු ගෙන මෙහි ආවා වූ රාජ දූතයන් මිහිපල් තෙමේ දුටුවේය. එයින් 25 සතුටු වූ සිත් ඇති හේ තෙමේ ඒ දූත දෙපිරිසට මනාකොට සංග්‍රහ කරවා, 26 ඔවුන් අතුරෙන් පළමු කොට කර්ණාට දූතයන් සමග සිය දූතයන්ට සාර පඬුරු දී කර්ණාට රජු වෙත යැවී ය.
27 සොළී රජතෙම තම රටට පැමිණි සිංහල දූතයන්ගේ කන් නාසා ආදිය බලහත්කාරයෙන් කපා දමා, ඔවුන් 28 ඉතා විරූපී භාවයට පත් කළේය. එකල්හි විපතට පත් වූ ඔවුහු මෙහි අවුත් සොළියා විසින් තමන්ට කළ සියල්ල රජු හට කීහ. 29 උසස් ලෙස දිලිසෙන අභිමානයක් ඇත්තා වූ හේ තෙමේ, සියලු ඇමතිවරුන් මැදට පැමිණියේ, දෙමළ දූතයන් කැඳවා සොළී රජුට මෙසේ පණිවිඩයක් දැන්වීය.
“30 එක දිවයිනකවත් සේනාව නැතිවම මහා මුහුද මැද අප දෙදෙනාගේ යුද්ධයෙන් බාහු බල පරීක්ෂාව හෝ සිදුවේවා. එසේ නොමැති නම් සියලු සේනාව 31 සන්නද්ධ කොට තොපගේ රාජ්‍යයෙහි හෝ තොප කැමති වෙනත් දේශයකදී හෝ ඒ 32 යුද්ධය කරනු ලැබේවා. මා විසින් කියන ක්‍රමයෙන්ම තොපගේ 33 ජනාධිපති තෙමේ ක්‍රියා කළ යුත්තේ වේ” යැයි කියා, ගැහැණු ආභරණවලින් සරසන ලද ඒ දූතයන් වහාම සොළී රජු කරා යවා, ඉක්බිති සේනාව ගෙන අනුරාධපුරයට ගියේය.
34 සොළී රටට ගොස් යුද්ධ කරනු පිණිස මන්‍තොටට (මැටිවල් තොටට) හා මඟ තොටට ද සෙනෙවියන් දෙදෙනෙකු යැවීය. 35 යුද්ධය පිණිස සේනාව සොළී රට යවන අතරතුර, සෙනෙවියන් නැව් හා මාර්ගෝපකරණ සූදානම් කරමින් සිටින 36 කල්හි, රජුගේ තිස් වෙනි රාජ්‍ය වර්ෂය වූ කල්හි, ‘වේළක්කාර’ යන නම් ඇත්තා වූ 37 සේනා සමූහයෝ එහි (සොළී රටට) යන්නට අකමැති වී, විරුද්ධව මතැතුන් මෙන් කිපී සේනාපතීන් දෙදෙනා මරා උඬඟු වී මුළු පොළොන්නරුව පැහැර ගත්හ.
38 පුතුන් තුන් දෙනෙක් සහිත වූ රජුගේ නැගණිය ද අල්වා ගෙන, 39 බලහත්කාරයෙන් රජ මාළිගය ද දැවූහ. ඒ රජ තෙම වහා නික්ම දකුණු 40 දෙසට ගොස්, ‘වාතගිරි’ නම් පර්වතයෙහි සාර වූ වස්තුව තබ්බවා, සිංහ වික්‍රම ඇත්තා වූ යුවරජ වූ වීරබාහු විසින් ද, මහා බලසම්පන්න සේනා සමූහයා විසින් ද හාත්පසින් 41 පිරිවරා ගන්නා ලද්දේ, නැවත පොළොන්නරුවට පැමිණ දරුණු යුද්ධ කරමින් ඉදිරියට ආවා 42 වූ කැරලි කාර සේනා සමූහයන් ක්ෂණයෙන් ම පලවා හැරියේය.
මරන ලද තම සේනාපතීන්ගේ 43 ඇට සැකිලි තිබූ දර සෑය පිරිවරා, සතුරුවූ කැරලි නායක සේනාපතියන් කණුවල පිටිතොල බැඳ, දැඩි බැම්මෙන් බඳවා හාත්පසින් දැල්වූ ගිනි දැලින් 44 දැවී ය. මිහිපති තෙමේ එහි කැරලි ගැසූවන්ගේ ගම් විනාශ කරවා ලක්දිව පොළොව 45 සියලු ආකාරයෙන් කටු (සතුරන්) රහිත කළේ ය.
සොළියා සමග යුද්ධ කිරීමට තමන් 46 විසින් නියම කරන ලද කාල සීමාව වරදවා නොගෙන, ඒ රජතෙමේ තමන්ගේ පන්සාළිස් වන වර්ෂයෙහි සන්නද්ධ වූ සේනාව ගෙන මුහුදු වෙරළට පිවිස, ඔහුගේ ඉදිරියට 47 ඒම බලමින් කිසි කලක් එහි විසුවේය. එහෙත් රජතෙමේ සොළියා නො ආ බැවින් ඔහු වෙත දූතයන් යවා නැවත අවුත් පොළොන්නරුවෙහි බොහෝ කලක් විසී ය.
48 මහාහෙළිය, සරෙහෙරුය, මාදැත්තා ය යන නම් වූ ද, 49 කටුන්නරුය, පඬාවිය, කල්ලගල්ලිකය යන නම් ඇති වැව් ද, එරංගල්ල නම් වූ වැව ද, දිගුවත් නම් වැව ද, මණ්ඩවාටක නම් වැව ද, කිතු ය, 50 අක්බාපව් ය යන නම් ඇති වැව් ද, වලාහස්සය, මදාරතලය, කිඹුලහෙබය යන වැව් ද, පත්පහන් වැව, කාන නම් වැව යන මේ 51 වැව් හා අන්‍ය වූ බිඳී ගිය බැමි ඇති බොහෝ වූ වැව් සෑම කල්හි දිළිඳු ජනයා කෙරෙහි බැඳුනා වූ වැඩ කැමති සිත් ඇත්තේ බැඳවීය.
52 ඒ මිහිපති තෙම ඒ ඒ තැන්හි කඳුරුවල සහ ගංගා ඔයවල දිය නවත්වා 53 වේලි බඳවා රට සුභික්ෂ කරවීය. හෙතෙමේ බිඳී ගියා වූ තලවතු නම් මෝ ඇළ බඳවා මින්නේරි වැව දියෙන් පිරවීය.
54 විහාරයන්හි අභය දීමේ චාරිත්‍රය (විහාර නිර්භය චාරිත්‍රය) කඩ කළා වූ 55 බැවින්, ඊට වන්දි වශයෙන් සිය මෙහෙසිය සර්ව ප්‍රකාරයෙන් සියලු අයිතිවාසිකම්වලින් මුදවා, ගෙල අල්වා පිට කරවා (දාසියක සේ සලකා), පසුව මහා සංඝයා හා සමාදාන කරවා තමාගේ සංඝ ගෞරවය ලොවට 56 පහළ කරවීය. මාගම තුන් නිකායට අයත් වූ ද සොළීන් විසින් විනාශ කරන ලද්දා වූ 57 දාගැප් ද, ථූපාරාම දෙකෙහි දාගැප් ද බැඳවීය. මෑණියන්ගේ සොහොන් බිම 58 ද, එසේම පියාණන්ගේ සොහොන් බිම ද මහත් වූ ආවාස පසක් කරවීය.
59 බුලවටියෙහි ද එසේම කරවීය. පඬාවිය ද, පාඨින වෙහෙර ද, ඌරුවෙල් 60 නම් වෙහෙර ද, දෙව්මඬල ගිරිය ද, මීගොඩ වෙහෙර ද, සිහිල්ගම් ලෙන 61 ද, දඹකොළ නුවර වෙහෙර ද, මියුගුණ වෙහෙර ද, 62 දඹකොළ වෙහෙර ද, එසේම ගිරිකඩ වෙහෙර, එසේම පරගම් 63 වෙහෙර ද, කසගල් නම් වෙහෙර ද, සඳගිරි වෙහෙර ද, වෙන්ගැමි වෙහෙර ද, මහසෙන්නම් ගම වෙහෙර ද, එසේම අනුරාධපුරයෙහි බෝ ගෙය ද යන මේ ආදී වූ දිරා ගිය නොයෙක් විහාරයන් ඒ රජතෙම 64 ප්‍රතිසංස්කරණය කරවීය. ඒ සඳහා වෙන් වෙන් වශයෙන් ගම් ද දුන්නේය.
65 “සමන්කුළු පව්වෙහි පිහිටි මුනිරජහුගේ පා සටහන වන්දනා කිරීම පිණිස දුකසේ යා යුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම පීඩාවට පත් නො වෙත්වා” යි සිතා, 66 දන් වැටුප් පිණිස හැල් කෙත් ආදියෙන් සමෘද්ධ වූ ගිලීමලය නම් ගම පූජා කළේය. කෙසෙල් ගම් මාර්ගය ද, එසේම ඌව රට මාර්ගය ද සඳහා වෙන් වෙන් වශයෙන් ගම් දී 67 දාන ශාලා ද කරවීය. රජතෙමේ අනාගත කාලයෙහි රජ දරුවෝ ඒ ගම් 68 ආපසු නොගනිත්වා යි සිතා අකුරු කොටවා ගල් ටැම් ද පිහිටුවීය.
ඒ රජතෙමේ 69 ලාභස්ථානවාසී වූ (ආරණ්‍යවාසී නොවන) ශ්‍රමණයන්ට අතුරුවිට නම් ගම ද, එසේම සඟුළු ගම ද, 70 සිරිමඬගල් ගම ද දුන්නේය. ව්‍රත සමාදන් වී ජීවත් වන ආරණ්‍යවාසී ශ්‍රමණයන්ට හෙතෙම 71 සිවුපසය දුන්නේය. හෙතෙමේ ඒ ශ්‍රමණයන්ගේ නෑයන්ට ද භෝග උපදින ගම් දුන්නේය. ශීත සෘතුවෙහි පොරෝනයන් ද, ගිනි කබල් ද, නානා ඖෂධ ද බොහෝ 72 සේම භික්ෂු සංඝයාට දුන්නේය. නුවණැත්තා වූ හෙතෙම නොයෙක් වර සියලු පිරිකර ද, එසේම අට පිරිකර ද සකස් කොට භික්ෂු සංඝයාට දුන්නේය.
ලාභස්ථානවාසී භික්ෂූ සංඝයාගේ පසුම්බි වැටුප් පිණිස ද, සෑ ආදිය පුදන 73 පිණිස වත් පිළිවෙත් කරන්නන්ට ද, පෙර රජ දරුවන් විසින් දෙන ලද යම් 74 වරප්‍රසාද රුහුණෙහි වී නම්, ඒ සියල්ල අඩු නොකොට හෙතෙම පෙර පරිද්දෙන්ම තැබ්බවීය. බලවත් වූ හෙතෙමේ කොර වූවන්ට ශක්තිමත් වූ ගොනුන් දුන්නේය. දයාවෙහි ඇළුණා වූ හේ තෙමේ කවුඩු බලු ආදීන්ටත් බත් දුන්නේය.
75 මහා කවියෙකු වූ හෙතෙම නොයෙක් කවි කරන්නන්ට ප්‍රවේණි ගම් 76 හා බොහෝ වූ ධන සමූහයක් දුන්නේය. කවීන්ද්‍රයෙකු වූ හේ තෙමේ රජ ඇමති ආදීන්ගේ පුත්‍රයන් විසින් කරන ලද ශ්ලෝකයන් අසමින් සුදුසු පරිද්දෙන් 77 ඔවුන්ට ධනය දුන්නේය. අන්ධ ජනයාට ද, කොර වූවන්ට ද වෙන් වෙන් වශයෙන් ගම් දුන්නේය. නොයෙක් දේවාලයන්ට ද පෙර දෙන ලද දේ නො පිරිහෙළුවේය. 78 ඒ රජ තෙමේ අනාථ වූ වැන්දඹු කුල කාන්තාවන්ට සුදුසු පරිද්දෙන් ගම් ද, බත් හා වස්ත්‍ර ද දුන්නේය.
79 සිංහල කවි (එළු කව්) කිරීමෙහි මහත් නුවණැත්තා වූ ඒ රජතෙම සිංහල කාව්‍යකරුවන් අතුරෙන් අග්‍ර වූයේය. යහපතෙහි බැඳුණු ආදර ඇත්තා 80 වූ ඒ උප රජ (වීරබාහු) තෙමේ, බුදුගුණ නම් වෙහෙරෙහි සොළීන් විසින් විනාශ කරන ලද 81 සෑය බැඳවීය. මසුරු මල හැර දන් දෙන ස්වභාවය ඇත්තා වූ හේ තෙමේ, 82 ඉක්බිති ඒ උතුම් වෙහෙරට ගම්වර දී නිරන්තරයෙන් මනා කොට පුද පැවැත්වූයේය. 83 හේ තෙමේ ම ඒ වෙහෙර උපවාර වනය වෙත ස්ථිර වූ, මහ දිය 84 ඇති මහ වැවක් බැඳවීය.
රජුගේ දියණිය වූ යශෝධරා තොමෝ කපුරු මල් නම් 85 වෙහෙරෙහි තහවුරු වූ සිත්කළු වූ මහ පිළිම ගෙයක් කරවීය. රජුගේ සිය රැජින තොමෝ ගලතුරු සුමුවෙහි (ගලතුරු ඔය මුව විටෙහි) ප්‍රසාදය උපදවන්නා වූ උස් වූ මහ ප්‍රාසාදයක් 86 කරවීය. එකල ඒ රජුගේ නොයෙක් ඇමතිවරු ද, අන්තඃපුර ජනයා ද නොයෙක් පරිද්දෙන් නොයෙක් පින් රැස් කළෝය.
මෙසේ ලක්දිව රජු 87 ලක්දිව අනුශාසනා කරන කල්හි, හික්මුණා වූ උප රජ තෙමේ (වීරබාහු) දරුණු වූ 88 මරුවා විසින් වසඟ කරන ලද්දේය (මිය ගියේය). ඔහුට කළ යුතු සියලු අවමංගල කටයුතු 89 සමාප්ත කොට, භික්ෂූන්ගේ කැමැත්තෙන් ජයබා කුමරුහට යුවරජ තනතුර දුන්නේය. ඉක්බිත්තෙන් ඈපා පදවිය විකුම්බා කුමරුහට දී, ඉන් පසු 90 ගජබා යයි ප්‍රසිද්ධ වූ ඔහුගේ පුතු උපන් කල, මහ ඇමතියන් හා මන්ත්‍රණය කොට රාජ පුත්‍රයාගේ අභිවෘද්ධිය කැමති වූයේ මුළු රුහුණ දී එහි විසීමට යැවීය. නැවත හෙතෙම එහි ගොස් මහා නාහුල් නම් පුරය රාජධානි කොට එහි වාසය කළේය.
91 මෙසේ විජයබාහු නම් රජතෙම නොපැකිළුණා වූ අණසක මෙහි පස්පණස් (55) අවුරුද්දක් පවත්වා, බුදු සසුන ද ක්‍රෑර දෙමළ සේනාව විසින් උපද්‍රව කරන ලද ලෝකය ද වර්ධනය කොට, සිය පිනින් හටගත් ඒ මහත් ඵලය දක්නට මෙන් දෙව්ලොවට නැංගේය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘ලෝක සාසන සංග්‍රහ කරණ’ නම් වූ හැටවෙනි අධියර නිමි.