1 ඒ විජයබාහු රජතුමා ලංකාව ආරක්ෂා කිරීම පිණිස, යෝධයන් ලෙස සම්මත වූ බලවත් ඇමතිවරුන්ට කළ යුතු කාර්යයන් උගන්වා රටේ හාත්පස යොදවන ලදී. 2 අභිෂේක මංගල්‍යය පිණිස ප්‍රාසාද ආදී වූ නොයෙක් කළමනා සම්පාදනය කළ යුතුයැයි ඇමතියෙකුට නියෝග කළ රජතුමා, 3 ඒ ප්‍රදේශයෙහි වැදිය යුතු වූ නොයෙක් චෛත්‍යයන් වඳිමින් තුන් මසක් කාලය ගෙවා නැවත පොළොන්නරුවට පැමිණියේය.
4 එකල ආදිමලය නමින් ප්‍රසිද්ධ වූ සේනානායකයා මහ රජුට සර්වප්‍රකාරයෙන්ම ඉඳුරාම විරුද්ධ විය. 5 මඳ නුවණක් ඇති හෙතෙම සියලුම සේනාව ගෙන යුද්ධ කිරීම පිණිස නුවර සමීපයෙහි අන්ද නමින් ප්‍රසිද්ධ වූ ගමට පැමිණියේය. 6 ලංකේශ්වර වූ රජතුමා එහි ගොස් උඩඟු වූ ඔහුව විනාශ කර, ඒ සේනාව තමන් වසඟයට ගෙන නැවත පොළොන්නරුවට සම්ප්‍රාප්ත විය. 7 මිනිසුන් අතර අතිශයින් උතුම් වූ ප්‍රඥා සහිත වූ හෙතෙම යුවරජ පදවිය ලබන විට වයස අවුරුදු දාහතක් විය.
8 ඉක්බිති විධි වූ පරිද්දෙන් අනුරාධපුරයට පැමිණි විධි විධාන දන්නා වූ රජතුමා, අභිෂේක මහා සැණකෙළි සුවය අනුභව කොට, පාප ධර්මයන්හි නොපිහිටියා වූ ශ්‍රේෂ්ඨ කර්මයෙහි පිහිටියේ වී, එහි දහඅට වසක් විසුවේය. 9 ඉක්බිත්තෙන් උතුම් වූ පොළොන්නරුවට අවුත් සිරිසඟබෝ යන නාමයෙන් ප්‍රසිද්ධ වූ හෙතෙම එහි වාසය කළේය. 10 හෙතෙම තම බාල සොහොයුරු වීරබා කුමරුවා උපරජ තනතුරෙහි පිහිටුවා, දකුණු දේශය පවරා දී විධි වූ පරිද්දෙන් ඔහුට සංග්‍රහ කළේය.
12 යළිත් රජතුමා තම බාලම සොහොයුරා වූ ජයබා කුමරුහට ඈපා පදවිය දී රුහුණු රට ද පවරා දුන්නේය. 13 සියලු ඇමතිවරුන්ට සුදුසු පරිද්දෙන් තනතුරු දී රාජ්‍යයෙහි බදු අය කිරීම් ආදිය යුක්ති සහගත පරිද්දෙන් යෙදවීය. 14 කරුණාවෙන් යුක්ත වූ, ධර්මයෙහි පිහිටියා වූ ඒ මිහිපති තෙමේ බොහෝ කල් පිරිහී තිබුණා වූ අධිකරණ විනිශ්චය ධර්මානුකූලව නැවත පැවැත්විය. 15 මෙසේ මැනවින් සතුරු කටු මුලිනුපුටා දැමුවා වූ නරේන්ද්‍රයා මනා කොට ලංකා රාජ්‍යය පාලනය කළේය.
16 මෙලෙස රජු රාජ්‍යය කරන කල්හි, ඡත්‍ර ග්‍රාහක නායකයා ද, 17 දහම් ගෙයි අධිපතියා ද, එසේම සිටුනා තෙමේ ද යන සහෝදර වූ මේ තිදෙනා රජුට විරුද්ධ බවට පැමිණ දඹදිවට පලා ගොස් සිට, රජුගේ එකුන් විසිවෙනි වර්ෂයෙහි ලංකාවට ගොඩබැස්සෝය. 19 ඒ සියල්ලෝම රුහුණු රට ද, එසේම මලය රට ද, සියලුම දකුණු පළාත ද වහා රජුට විරුද්ධව පෙරළුවාහුය.
20 දක්ෂ වූ රජතුමා රුහුණට ද, එසේම මලය රටට ද ගොස් ඒ ඒ තැන්හි බොහෝ සතුරු ජනයන් නසමින් මනා කොට එය සන්සිඳුවා, එහි ඇමතියන් තබා උදාර වූ මහා සේනාවක් ඇතිව දකුණු දෙසට තෙමේ ගොස්, 21 සමණීභාතූ වංශයෙහි උපන්නා වූ ඇමතියෙකු එකල්හි එහි යැවීය. 22 ඒ වීරයා බියකරු වූ යුද්ධයකින් තමාට සතුරු වූවන් ග්‍රහණයට ගෙන උල තැබුවේය. 23 මෙසේ ලංකාව සතුරන්ගෙන් තොර වූ (නිෂ්කණ්ටක), බිය රහිත (නිරාතංක) තැනක් කරවා රජු පොළොන්නරුවට පැමිණියේය.
24 සොළී රටේ වාසය කළ ජගතිපාල රජුගේ මෙහෙසිය, සොළීන් අතින් මිදී ලීලාවතී නම් වූ දියණිය සමඟ වේගයෙන් නැව් නැගී ලක්දිවට බැස්ස අතර, එකල ලංකේශ්වරයාණන් දුටුවාය. 25 රජතුමා ඇගේ කුල පිළිවෙළ අසා ශුද්ධ වංශයෙහි උපන් බව දැන ලීලාවතියව අගමෙහෙසි බවෙහි අභිෂේක කළේය. 26 ඒ මෙහෙසිය රජු නිසා දුවක් ලැබුවාය; රජතුමා ඒ කුමරිය යසෝදරා යැයි නම් කළේය. 27 රජතුමා මේරුකන්දර නම් රට සමඟ තම දියණිය වූ යසෝදරාව වීරවම් කුමරුහට සරණ පාවා දුන්නේය.
28 ඕ තොමෝ දූවරුන් දෙදෙනෙකු ලැබුවාය. ඔවුන් දෙදෙනා අතුරෙන් වැඩිමහල් තැනැත්තිය මිත්තනියට සමාන නමක් ඇතිව ‘ලීලාවතී’ නම් විය. 29 බාල තැනැත්තිය සුගලා නම් විය. 30 රජතුමා කාලිංග රාජ පරම්පරාවේ උපන්, යහපත් දැකුම් ඇත්තා වූ, ‘තිලෝකසුන්දරී’ නම් වූ සියුමැලි කුමරිය කාලිංග රටින් ගෙන්වා ස්වකීය වංශයාගේ චිරස්ථිතිය පතමින් අගමෙහෙසි තනතුරේ අභිෂේක කළේය.
31 ඕ තොමෝ සුභද්‍රා නම් ද, සුමිත්‍රා නම් ද, ලෝකනාථ නම් ද, රත්නාවලී නම් ද, රූපවතී නම් ද යන මේ දූවරුන් පස් දෙනා සහ පින්වත් ලකුණු ඇත්තා වූ වික්‍රමබාහු නම් වූ පුත්‍රයා ද ලැබුවාය. 33 දරුවන් ලැබීමෙන් අභිවෘද්ධියට පත් වූ ඕ තොමෝ රජුගේ සිත දිනා ගත්තී විය. සමාන කුල ඇති ස්ත්‍රීන් හැර සෙසු අන්තඃපුර ස්ත්‍රීන් තුළ රජු නිසා කිසි කලෙකත් ගැබ් පිහිටීමක් සිදු නොවීය.
34 නැවත එක් දවසක ශරීර ලක්ෂණ දන්නා වූ නිමිතිකරුවෙක් ඇමති සමූහයා මැදට පැමිණියේය. 35 ඒ තෙමේ පිළිවෙළින් සිටියා වූ සියලු දූවරුන් දෙස බලා, රත්නාවලිය හැර අන් දූවරුන්ගේ පින් ලකුණු පිරුණු පුතෙකු ඉපදීම ප්‍රකාශ කරන්නා වූ ලකුණක් නොදැක්කේය. 36 ඔහු ප්‍රේම වේගය ඇත්තේ රත්නාවලිය කැඳවා ඇයගේ හිස සිඹ මෙසේ කීවේය: 37 “තේජා ගුණයෙන් ද, පරිත්‍යාගයෙන් ද, ප්‍රඥාවෙන් ද, ශූර බවින් ද පූර්වයෙහි ඇති වූ ද මතු ඇති වන්නා වූ ද සියලු රජ දරුවන් ඉක්මවා මුදුන්පත් වන්නා වූ පුතෙකු උපදියි. 38 හෙතෙම සදාකාලිකව ලංකාව නිශ්ශංක කරන්නේය, එක් සේසත් කරන්නේය. 39 මනා කොට ශාසනය පාලනය කරන්නා වූ, යහපත් නොයෙක් වත් ඇත්තා වූ පුත්‍රයෙකුගේ උත්පත්තියට ස්ථානය මැයගේ කුස වන්නේය” යයි හෙතෙම ප්‍රේමයෙන් මෘදු කොට කීවේය.
40 වංශාභිමානය ඇත්තා වූ ඒ රජතුමා, සොළී රජු විසින් නොයෙක් ආකාරයෙන් ඉල්ලීම් කළ ද තම නැගණිය ඔහුට පාවා නොදුන්නේය. 41 ඒ වෙනුවට පිරිසිදු වංශයෙහි උපන්නා වූ පාණ්ඩ්‍ය රජකු (කුමාරයෙකු) ගෙන්වා, ‘මිත්තා’ නම් වූ තම නැගණිය ඔහුට සරණ පාවා දුන්නේය. 42 ඕ තොමෝ මානාභරණ නම් වූ ද, කිත්සිරිමේඝ නම් වූ ද, සිරිවල්ලභ නම් වූ ද පුතුන් තුන් දෙනෙකු ඉපදවූවාය.
43 මිහිපල් තෙම සුභද්‍රාව වීරබා කුමාරයාහට ද, සුමිත්‍රාව ජයබා කුමාරයාහට ද මහ පෙරහරින් සරණ පාවා දුන්නේය. 44 රත්නාවලී නම් දුව මානාභරණ කුමරුහට දුන්නේය. 45 හෙතෙම ලෝකනාථ නම් දුව කිත්සිරිමේඝ නම් කුමරුහට දුන්නේය. රූපවතී නම් දියණිය මියගිය කල්හි සුගලා නම් කුමරිය සිරිවල්ලභ නම් කුමරුහට දුන්නේය.
46 සිංහපුරයෙන් ආවා වූ, මෙහෙසියගේ ඥාතීන් වූ මධුකණ්ණව ය, භීමරාජ ය, බලාක්කාර ය යන නම් ඇත්තා වූ රාජ පුත්‍රයන් දැක, එකල්හි හටගත් ප්‍රීති ඇත්තා වූ ඒ මිහිපල් තෙමේ ඔවුන්ට සුදුසු වූ වැටුප් වෙන් වශයෙන් ලබා දුන්නේය. 48 මෙසේ සත්කාර සම්මාන ලැබූ ඒ සියල්ලෝ මිහිපතිහු සතතයෙන් සතුටු කරමින් රිසි සේ විසූහ. 49 මේ රාජ පුත්‍රයන්ගේ ‘සුනාරි’ නම් වූ නැගණිය ස්වකීය වංශයාගේ පැවැත්ම ප්‍රාර්ථනා කරමින් වික්‍රමබාහු කුමරුහට සරණ පාවා දුන්නේය.
50 එකල්හි ඥාතීන්ගේ යහපතෙහි බොහෝ සේ ඇලුනේ යළිදු යහපත් වූ ලීලාවතිය ද බොහෝ භෝග සම්පත් සමඟ වික්‍රමබාහු කුමරුහට දුන්නේය. 51 නිරවශේෂ වශයෙන් භෝගයෙන් සමෘද්ධ වූ ඒ රජතුමා බන්ධු ජනයන් මෙසේ පිහිටුවා, කරුණාවෙන් යුක්ත වූයේ නීති මාර්ගයට සුදුසු සේ නෑ ජනයන්ගේ අභිවෘද්ධිය සිදු කළේය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘සංග්‍රහ කරණ’ නම් වූ පනස් නව වෙනි පරිච්ඡේදය නිම විය.