සේන රජුගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු වූ මිහිඳු කුමාරයා උතුම් අනුරාධපුරයේදී රාජ්‍යත්වයට පත්වී සේසත් නැංවූයේය 1. සේන නම් සෙනවියා විසින් රටට ගෙන එන ලද විවිධ දේශවල ජනයාගෙන් ව්‍යාකූල වී තිබූ ඒ නුවර, හෙතෙම දස වසරක් ඉතා දුකසේ වාසය කළේය 2. හෙතෙම යුක්ති මාර්ගය ඉවත් කළ, සෑම අතින්ම මෘදු වූ අයෙක් බැවින් එකල ජනපදවාසීහු රජුට දිය යුතු බදු කොටස නොදුන්හ 3-4.
මෙසේ අතිශයින් ධන හීන බවට පත් වූ ඒ රජ තෙමේ, දස වන වසර වන විට වැටුප් ගෙවා සිය සේනාව නඩත්තු කිරීමට නොහැකි විය 5. පසුව තමන්ට ලැබිය යුතු වැටුප් නොලැබූ සියලු කේරළ භටයෝ එක්වී, “අපට නොලැබී ඇති වැටුප් මුදල් යම්තාක් නොලැබේද, ඒ තාක් කිසිවෙක් ආහාර නොගනිමු; කිසිවෙක් පිටව නොයමු” යි කියා රජ මාළිගාවේ දොරකඩ අවුරා ගත්හ 6. ඔවුහු ඉතා සාහසික ක්‍රියා ඇතිව, දුනු සහ බැබළෙන ආයුධ අතින් ගෙන එහි රැඳී සිටියහ. එවිට රජතුමා උන් රවටා, අතට ගත හැකි වටිනා වස්තූන් රැගෙන උමගකින් පිටත්ව වහා රුහුණට ගියේය 7.
හෙතෙම එහි ගොස් ‘සිදු පබ්බත’ නම් ගමෙහි කඳවුරක් බැඳගෙන, සිය සොහොයුරාගේ බිරිඳ අග මෙහෙසි තනතුරෙහි තබාගෙන එහි විසී ය 8. නොබෝ කලකින් ඒ බිසව මියගිය කල, ඒ රජ තෙමේ තම සොහොයුරාගේ දියණිය මෙහෙසි බවට පත් කර ගත්තේය 9. ඉන්පසුව ‘කපුගල්’ නම් ගමෙහි නුවරක් කරවාගෙන එහි අධිපති බව පවත්වමින් රුහුණු රටේ බොහෝ කල් විසී ය 10. එකල ලංකාවේ එයින් සෙසු තැන්හි කේරළයෝ ද, සිංහලයෝ ද, කර්ණාටයෝ ද යන මොවුහු තම තමන් කැමති පරිදි බලය පතුරුවාගෙන සිටියහ 11-12.
ඉක්බිති විදේශයකින් මෙහි පැමිණි අශ්ව වෙළෙන්දෙක් ලක්දිව පැවති තත්ත්වය දැනගෙන ආපසු ගොස් ඒ බව සොළී රජුට දැන්වී ය 13. මහත් බල ඇති ඒ සොළී රජ තෙමේ, ඒ පුවත අසා ලක්දිව අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් මහත් බල සේනාවක් එවී ය 14. ඒ සේනාව වහා අවුත් ලක්දිවට ගොඩ බැස්සේය. ගොඩ බට තැන පටන් බොහෝ ජනයා පෙළමින් ඒ සොළී බල සේනාව අනුක්‍රමයෙන් රුහුණට පැමිණියාහ 15.
මිහිඳු රජුගේ තිස් හය වන රාජ්‍ය වර්ෂයේදී ඔවුහු රජුගේ මෙහෙසිය ද, පරම්පරාවෙන් ආ ඔටුන්න ද, එසේම සියලු රාජාභරණ ද, දෙවියන් විසින් දෙන ලද අමූල්‍ය වූ දියමන්ති වළල්ල ද, කඩ කළ නොහැකි ජය අසිපත ද, ඉරා දැමූ පටි ධාතුව ද යන මේ සියල්ල අත්පත් කර ගත්හ 16-17. භයින් තැතිගෙන දුෂ්කර වනාන්තරයට වැදුණු රජුව ද, ඔහු අත තිබූ සියලු වස්තු ද සොළීහු අල්ලාගෙන සොළී රජු වෙත යැවූහ 18-19.
ඒ සොළීහු තුන් නිකායට අයත් දාගැබ් ද, මුළු ලක්දිව තැන්පත් කර තිබූ ඉතා අගනා නොයෙක් රන් පිළිම ආදිය ද, එසේම ඒ ඒ වෙහෙර විහාර සියල්ල ද, ලේ උරා බොන යකුන් මෙන් විනාශ කරමින් ලක්දිව සාරය පැහැර ගත්හ 20-21. ඒ සොළීහු පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන, ‘රක්පාන්කට’ (රක්ඛපාෂාණ කණ්ඨ) නම් ස්ථානය සීමා කොට මුළු රජරට ප්‍රදේශයම භුක්ති වින්දහ 22.
රට වැසියෝ මිහිඳු රජුගේ පුත් වූ කසුබ් නම් කුමාරයා භාරගෙන, සොළී භීතියෙන් රකිමින් ඉතා ආදරයෙන් ඇති දැඩි කළහ 23. ඒ කුමාරයා දොළොස් හැවිරිදි බව අසා, ඔහු අල්ලා ගැනීම පිණිස සොළී රජු විසින් පන්දහසකින් අඩු යෝධයන් ලක්ෂයක් (95,000ක්) සහ මහා බල ඇති ඇමතිවරුන් මෙහෙයවන ලදී 24. ඔවුහු මුළු රුහුණු රටම ඔබ මොබ අරින්නේ කලඹවා දැමූහ 25.
ඉක්බිති මකුහමු නම් ගමෙහි වැසි ‘කීර්ති’ නම් ඇමති තෙමේ ද, එසේම මරාගල වැසි ‘බුද්ධ’ නම් ඇමති තෙමේ ද යන මහා වීර වූ යුද්ධෝපායෙහි දක්ෂ වූ ඒ දෙදෙනා, සොළී සේනාව විනාශ කිරීමට දැඩි වූ නිශ්චයක් ඇති කර ගත්හ 26. ඔවුහු ‘පලුටුපාණ’ නම් ස්ථානයේ කඳවුරු බැඳගෙන සය මසක් මුළුල්ලේ යුද්ධ කොට බොහෝ දෙමළ සේනාව මැරූහ 27. මරණයෙන් බේරුණු සොළීහු ඒ යුද්ධයට බියෙන් මිරිකී පලා ගොස් පෙර සේම පොළොන්නරුවෙහි විසූහ 28.
එකල ජයග්‍රහණය කළ ඒ ඇමතිවරුන් දැක කසුබ් කුමාරයා සතුටට පත්ව, “දරුවෙනි, වරයක් ඉල්ලා ගනිව්” යැයි කීවේ ය 29. එවිට බුද්ධ ඇමති තෙමේ පරම්පරාවෙන් භුක්ති විඳිය හැකි ගම්වර ඉල්ලුවේ ය 30. කීර්ති ඇමති තෙමේ සාංඝික දේපළවලින් ගන්නා ලද බදු ඉවත් කිරීමට වරයක් ඉල්ලුවේ ය 31. නිර්භීත වූත්, රජු කෙරෙහි ආදරය ඇත්තා වූත් ඒ ඇමතිවරු දෙදෙනා එකල උතුම් රජ කුමරහු වෙතින් මෙසේ වර ලබා ඔහු පා වැන්දෝ ය 32.
සොළීන් විසින් අල්ලා ගන්නා ලද මිහිඳු රජ තෙමේ දොළොස් වසරක් චෝළ දේශයෙහි වාසය කොට, රාජ්‍යත්වයට පත්වී (හෝ උපතින්) අටසාළිස් වැන්නෙහි පරලොව ගියේ ය 33.
මෙසේ ප්‍රමාදය නම් දෝෂය අනුව යෑමෙන් ලබන ලද සම්පත් ස්ථිර නොවෙති; එහෙයින් තමන්ට යහපත පතන්නා වූ මහා ප්‍රඥාවන්තයෝ නිතර අප්‍රමාදයෙහි යෙදී මැනවින් හැසිරෙන්නෝ ය 34.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශයේ ‘ලංකා විලෝප’ නම් වූ පනස් පස් වෙනි පරිච්ඡේදය නිමි.