1 එකල දප්පුල නම් යුවරජ තෙමේ රජ වී, එම නම ඇති ඈපාණන්ව උප රජ තනතුරෙහි පිහිටුවූයේය. 2 ඒ රජ තෙමේ මිරිසවැටි විහාරයට ගමක් පූජා කළේය.
3 හෙතෙම පෙර රජවරුන්ගේ චාරිත්‍රයන් නගරයෙහි මනාව රැක, තමා පෙර කළ කර්ම දෝෂය හේතුවෙන් මේ පෘථිවිය දීර්ඝ කාලයක් පරිහරණය නොකර සත්වන මස මරණයට පත් විය.
4 ඊට අනතුරුව දප්පුළ උප රජ තෙමේ රජ විය; හෙතෙම උදය ඈපාණන්ට යුවරජ තනතුර දුන්නේය.
5 එකල පාණ්ඩ්‍ය රජ තෙමේ සොළීන් කෙරෙහි ඇති වූ බියෙන් සිය දනව් අතහැර නැව් නැගී මහාතිත්ථයට (මහ තොටට) පැමිණියේය. 6 රජ තෙමේ ඔහුව ගෙන්වා ගෙන, දැක සතුටු සිත් ඇත්තේ ඔහුට මහා භෝග දී නුවරින් බැහැර වාසය කරවීය.
7 “සොළී රජු හා යුද්ධ කොට තොටුපළවල් දෙක අල්ලාගෙන පාණ්ඩ්‍ය රජුහට දෙන්නෙමි” යි ලක් රජ සූදානම් වූ කල්හි, 8 ලක්දිව වැසි ක්ෂත්‍රියයෝ පාණ්ඩ්‍ය රජුගේ යම්කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන පාප කර්මයෙන් දරුණු අරගලයක් කළහ.
9 පාණ්ඩ්‍ය රජ තෙමේ මෙහි විසීමෙන් පලක් නැතැයි සිතා ඔටුනු ආදිය තබා කේරලය කරා ගියේය. 10 එකල රජ තෙමේ අරගල නැවතුණු කල්හි මහමෙවුනා උයනෙහි මහ බෝධියට නුවර අසල ගමක් පූජා කළේය.
11 ඒ රජුගේ රක්ඛක නම් සෙන්පති තෙමේ ද ථූපාරාමය අසල ‘රාජ’ නම් පිරිවෙණක් කරවීය. 12 ඒ රජ තෙමේ පෙර රජුන් විසින් සිදු කළ දෑ ආරක්ෂා කොට දොළොස් වසරක් රජකම් කර කර්මානුරූපව මිය පරලොව ගියේය.
13 ඉන්පසු උදය නම් යුවරජ තෙමේ ලක් වැසියන්ට අධිපති විය; සේන නම් ඈපාණන් උප රජ ලෙස අභිෂේක කළේය. 14-15 එකල ඇමැතියෝ රජුට බියෙන් තපෝ වනයට ඇතුළු වූහ; රජු සහ උප රජු එහි ගොස් ඔවුන්ගේ හිස් ගසා දැමූහ.
16-17 ඒ පාප කර්මයෙන් කලකිරුණු, ඒ තාපසාරාමයෙහි විසූ භික්ෂූන් රජුගේ දනව් අතහැර රුහුණු රටට ගියහ. 18 එකල දනව් වැසියෝ ද, නුවර වැසියෝ ද, සේනාව ද සැඩ සුළඟින් කැළඹුණු සාගරය මෙන් කිපුණහ.
19 ඔවුහු අභයගිරි විහාරයෙහි රත්න ප්‍රාසාදයට නැගී රජුව දැඩි ලෙස බිය ගන්වා, බිහිසුණු රඟ දක්වා, තපෝ වනයෙහි කලහයට අනුබල දුන් ඇමැතියන්ගේ හිස් ගසා කවුළුවෙන් බැහැරට දැමූහ.
20 ඒ අසා යුවරජු හා ඔහුගේ මිතුරු ඈපා තෙමේ ද ප්‍රාකාරයෙන් පැන වහා රුහුණු රටට ගියෝය. 21 බළසේනාව කළු ගං තෙර දක්වා ලුහුබැඳ ගිය නමුත්, නැව් නොලත් හෙයිනුත් ඔවුන් එතෙර වී සිටි හෙයිනුත් පෙරළා පැමිණියහ.
22 තපෝ වනයෙහි (පාරිශුද්ධත්වය) බිඳුණු බව දැන එහි ගිය රාජ පුත්‍රයෝ තෙත් වස්ත්‍ර හා තෙත් කෙස් ඇතිව ඒ තාපසයන්ගේ ඉදිරියෙහි පොළොවේ වැතිර, 23 නොයෙක් අයුරින් වැලපී මොරගා හඬා තපස්වීන් ලවා තමන්ට ක්ෂමා කරවූහ. 24 ඒ ශාසන හිමියන්ගේ ආනුභාවයෙන් ලක්දිව හිමි ඒ දෙදෙනාගේ පින් මතු විය.
25 මහා සේනාව සන්සුන් වූ කල්හි යුවරජුගේ බල සේනාව ද තුන් නිකායේ වැසියෝ ද ඔවුන් කැඳවාගෙන ඒමට ගියහ. 26 උගත් පණ්ඩිත වූ රාජ කුමරුවෝ දෙදෙනා පාංශුකූලික භික්ෂූන් යැද, කැඳවාගෙන සිය නුවරට පෙරළා පැමිණියහ.
27 රජ තෙමේ ඒ භික්ෂූන් හමුවීමට පෙර මගට ගොස් ක්ෂමා කරවා ගත්තේය; ඔවුන් කැඳවාගෙන ගොස් තපෝ වනයට පමුණුවා ඉක්බිති තෙමේ රජ මැදුරට ගියේය. 28 එතැන් පටන් පූර්ව රජුන්ගේ සිරිත් රැක ඒ රජ තෙමේ තුන් වන අවුරුද්දෙහි කර්මානුරූපව පරලොව ගියේය.
29 ඔහුගේ ඇවෑමෙන් සමෘද්ධිමත් වූ සේන නම් ඒ යුවරජ තෙමේ ලංකා රාජ්‍යාභිෂේකයට පැමිණ, මිතුරු වූ ඒ උදය නම් ඈපාණන් යුවරජ කළේය. 30 ඒ රජ තෙමේ පොහොය දින කහවණු දහසක් දුප්පතුන්ට දී පෙහෙවස් සමාදන්ව වාසය කළේය; දිවි හිමියෙන්ම මෙසේ කළේය.
31 ඒ රජ තෙමේ භික්ෂූන්ට පිළිම, බත් සහ වස්ත්‍රයන් ද, යාචකයන්ට ද, ශිල්පීන්ට ද ‘දඬිස්සර’ නම් දානයක් දුන්නේය. 32 ඒ රජ තෙමේ යම් තැනක භික්ෂූන්ට ඉතා සිත්කලු පහයක් තනවා අයබදු ලැබෙන ගම් ද, කහවණු දහසක් හෝ පන්සියයක් දී ලක්දිව දිරා ගිය ආවාසයන්හි නවකම් ද කරවීය.
33 ඒ රජ තෙමේ අභයගිරි සෑ මළුවෙහි ගල් අතුරා සැකසීම පිණිස සතළිස් දහසක් දුන්නේය. 34 ලක්දිව මහවැව්හි දිරා ගිය වාරිමාර්ග නවකම් ද, ගල් සහ පස් යොදා වැව් බැම්ම ශක්තිමත් කිරීම ද කළේය.
35 රජ වාසලෙහි සිත්කලු මහා වටිනාකමකින් යුතු මාලා ගෘහයක් කළේය; පෙර රජුන් විසින් තැබූ දන් වැට මොනවට පැවැත්වීය. 36 ඇමති අග්බෝ මලය රජු විසින් කළ නාභිල පිරිවෙණ එකල්හි දැක ඊට ගමක් දුන්නේය.
37 සතර විහාරයෙහි රූකම් හා රම්‍ය මණ්ඩපයන් මොනවට කරවා හැම කල්හිම ධාතු පූජා කළේය. 38 ඒ රජ තෙමේ මේ ආදී වූ පින්කම් නොයෙක් අයුරින් කොට නව වන අවුරුද්දෙහි කර්මානුරූපව පරලොව ගියේය.
39 ඔහුගේ ඇවෑමෙන් උදය යුවරජ ලක් අබිසෙස් ලබා රජ බවට පත්ව, සේන නම් ඈපාණන් උපරාජ ධුරයෙහි අභිෂේක කළේය.
40 මේ රජ තෙමේ බේබද්දෙකු වූ අතර පිනට කම්මැලි විය; ඔහු ඉතා ප්‍රමාදී බව අසා සතුටු සිත් ඇති සොළී රජු, පාණ්ඩ්‍ය රජු අභිෂේකයට පත් කිරීමට කැමැත්තේ පාණ්ඩ්‍ය රජු විසින් තබන ලද ඔටුනු ආදිය ඉල්ලා මෙහි හසුන් එවීය.
41 රජ තෙමේ ඒ ආභරණ නොදුන්නේය; ඉන් කිපුණු මහත් බල ඇති සොළී රජු එය බලාත්කාරයෙන් ගැනීමට බල සේනාවක් සරහා එවීය. 42 එකල මෙහි සෙන්පති තෙමේ ප්‍රත්‍යන්ත දනව්වෙහි කිපී ගොස් සිටියේය.
43 රජ තෙමේ ඔහුව ගෙන්වා යුද්ධය පිණිස යැවීය; එහි ගිය සෙන්පති තෙමේ යුද්ධ කොට රණබිමෙහි මළේය. 44 ඒ රජ තෙමේ ඔටුනු ආදිය රැගෙන රුහුණට ගියේය. 45 සොළී බල සේනාව එහි ගොස් (රුහුණට) ඇතුළුව යනු නොලැබ බියෙන් පෙරළා මෙයින් සිය රට ගියහ.
46 ඉක්බිති ලංකාධිපති රජ තෙමේ තේජස් හා මහ නුවණ ඇති විදුරග නායකයා සෙනෙවිරත් තනතුරෙහි තැබීය. 47 ඒ සෙනෙවි තෙමේ සොළී රජුගේ ප්‍රත්‍යන්ත දනව්ව වනසා, බිහිසුණු රඟ දක්වා, මෙයින් ගෙන ගිය දෑ පෙරළා ගෙන්වීය.
48 ඉක්බිති ඒ තෙමේ මේ දිවයිනෙහි වසන සියලු පාංශුකූලික භික්ෂූන්ට ඉතා අගනා සියලු පිරිකර දෙවීය. 49 එකල නරේන්ද්‍ර තෙමේ මහ වෙහෙර සතරෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහා මැණික් රැසින් බබළන සිළුමිණක් කරවීය.
50 ඒ රජුට අනන්ත පක්ෂපාතී වූ විදුරා නම් කාන්තාව බබළන මැණිකෙන් අලංකාර වූ පා දලක් (පාද ජාලයක්) ශෛලමය වූ එම පිළිමයට පූජා කළාය. 51 සොළී රජුගේ බල සේනාව යොදවා දවුමිණි නම් පහය කරන්ට පටන් ගත් කල්හිම, අටවනු වසෙහි උදා (උදය) රජ මළේය.
52 වසුධාධිපති (පොළොවට අධිපති) මේ පස් දෙනම එක් සේසතින් ලකුණු කරන ලද මහ පොළොව අනුභව කොට, සංග්‍රහ හා නිග්‍රහ යන දෙකින් සියලු ලෝ වැසි ජනයා තමන් වසඟයෙහි පවත්වා, පුත්‍ර භාර්යාවන් සහ අමාත්‍ය පිරිස් සමග මරුවාගේ වසඟයට ගියහ. සත්පුරුෂයෝ ප්‍රමාදය නැමැති මදය දුරු කිරීමට මේ බඳු දේ මෙසේ නිරන්තරයෙන් මෙනෙහි කරත්වා!
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය සහ සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘පඤ්ච රාජක’ (පස් රජවරු) නම් වූ පනස් තුන් වෙනි අදියර නිමි.