52. කසුබ් රජවරුන්ගේ පුවත

star_outline
සිව්වන කසුබ් රජු සහ රුහුණේ කැරැල්ල

1 ඉක්බිති කසුබ් රජු රාජ්‍යත්වයට පත්ව, ප්‍රඥාවන්ත වූ කසුබ් යුවරජු හට දකුණු දේශය පවරා දුන්නේය. 2 එම යුවරජුගේ දියණිය වූ ද, තමන්ගේ භාර්‍යාව වූ ද ‘තිස්සා’ නම් රාජකන්‍යාවට රජු අග්‍රාභිෂේකය ලබා දුන්නේය. 3 රජතෙමේ ඒ ඒ දෙසින් පැමිණියා වූ යාචකයන්ට සහ ශිල්පීන්ට හැමකල්හිම ‘දණ්ඩිස්සර’ නම් වූ දානය දුන්නේය.

4 එකල රුහුණේ වසන ‘මිහිඳු’ නම් ඈපා තෙමේ බල සේනාවක් ගෙන, 5 රජුගේ රට අල්ලා ගැනීමට පැමිණියේය. ඒ බව අසා කිපුණු රජතෙමේ තමන්ගේ බල සේනාව එතැනට යැවීය. මහා භට පිරිසක් ඇති ඒ මිහිඳු ඈපා තෙමේ යුද්ධ කොට රජුගේ සේනාව පැරදවීය.

6 ඉක්බිති රජතෙමේ ඔහු සන්සුන් කරනු පිණිසත්, ඔහු බිය ගන්වනු පිණිසත් කසුබ් යුවරජු යැවීය. 7 හෙතෙම පුතු කරා ගොස්, නොයෙක් දහම් කථාවෙන් යුක්ත වූ යුක්තිය නොයෙක් ආකාරයෙන් කියා දී, පුතු යුද්ධයෙන් වළක්වා නැවත පෙරළා ආයේය. 8 ඒ ඈපා තෙමේ පසුව මණ්ඩල නායකයන් මරා දැමූ හෙයින් ජනපදවාසීන් කිපුණු බව දැක නුවර වෙත ආයේය; එවිට භික්ෂු සංඝයා වහන්සේලා ඔහුව කැඳවාගෙන අවුත් රජුට දැක්වූහ.

9 මේ රජතෙමේ තමාගේ දියණියන් ඔහුට සරණ පාවා දී නැවත ඔහු රුහුණට යැවීය. 10 ඒ රජතෙමේ තුන් නිකායෙහිම භික්ෂූන් අතර සිටි දුස්සීලයන් බැහැර කරවා, 11 ඒ ඒ ආවාසයන්හි අලුත් භික්ෂූන් වස් වැස්සවීය; හෙතෙමේ අගමෙහෙසියන් දෙදෙනාගේ පුත්‍ර ඈපාණන් ලවා මහා විහාරයේ බෝධියට පූජා කරවමින් වස් වැසීම කරවීය.

ශාසනික සේවාවන් සහ ළඟසේන සෙනෙවියාගේ පින්කම්

12 එකල රජු තුන් නිකායෙහි ශෛලමය බුද්ධ ප්‍රතිමා තුනෙහි රන්මුවා රැස් වළලු ද, ඡත්‍ර ද, සිළුමිණි ද යන මේවා කරවීය. 13 අභයගිරි විහාරයෙහි සිය නමින් ප්‍රාසාදයක් කරවා, එහි භික්ෂූන් වස්වා, ගම්වරයක් ද වස්ත්‍ර සහිත වූ පිළිම බතක් ද සියලු භික්ෂූන්ට දුන්නේය. 14 ඒ රජතෙමේ මහියංගන විහාරයෙහි චෛත්‍යයට ගම්වරයක් දුන්නේය; 15 ගොඩ දිය වසන සතුන්ට එකල අභය දානය දුන් අතර, හැම කල්හිම පෙර රජුන්ගේ සිරිත් ආරක්ෂා කළේය.

16 ඒ රජුගේ සෙනෙවි වූ රජ කුලයෙහි උපන් ‘ළඟසේන’ නම් තැනැත්තේ, 17 ථූපාරාමයට පිටුපසින් මහා විහාරවාසීන්ට ආවාසයක් කළේය; හෙතෙම ධම්මරුචික නිකායේ භික්ෂූන්ට දහම් අරම කරවීය; එසේම සාගලික නිකායේ භික්ෂූන්ට ‘කසුප් සෙන්’ නම් ආරාමය කරවීය. 18 එම සෙනෙවි තෙමේ සෑගිරිගල (මිහින්තලේ), 19 ‘හෘදයෝෂ්ණ’ නම් පිරිවෙණ කරවා ධම්මරුචික භික්ෂූන්ට පූජා කළේය; ආරාමික භික්ෂූන්ට ඒ ඒ තැන්හි එක එක ගෙය බැගින් සාදා දුන්නේය.

20 එම සෙනෙවි තෙමේ රන්මලගල සිත්කලු වූ, උතුම් වූ, මනාවූ කුටියක් කරවා සසුන් හිමි තවුස් භික්ෂූන්ට පූජා කළේය. 21 මහා විහාරයෙහි ‘මුහුදුගිරි’ නම් උතුම් පිරිවෙනක් කරවා පාංශුකූලික භික්ෂූන්ට දුන්නේය. 22 තමාගේ වංශයේ නාමය ඇති ආවාසයක් වනයෙහි කරවා මහා විහාරයෙහි වනවාසී භික්ෂූන්ට දුන්නේය. 23 දිරා ගිය වෙහෙර වල නවකම් කරවීය.

24 සියලු භික්ෂූන්ට මාළු සමඟ සිවුරු ලැබෙන සේ අගුල් ගැන්වීය (නියම කළේය); ‘තිස්සාරාම’ නම් මෙහෙණවර කරවා මිරිසවැටි මහබෝ පරිහරණයෙහි පිහිටුවීය. 25 අනුරාධපුරයෙහි ද පොළොන්නරුවෙහි ද උවදුරු රෝග නැසීම පිණිස වෙදහල් කරවීය. 26 තමා විසින් කළ ආවාසයන්ට ආදායම් ලැබෙන ගම් ද, 27 එසේම ආරාමික ගම් ද, පිළිම පෝෂණය සඳහා දේවල් ද දුන්නේය.

ඒ තෙමේ නුවර ඒ ඒ තැන්හි බෙහෙත් ගෙවල් කරවීය. 28 පාංශුකූලික භික්ෂූන්ට බත් සහ වස්ත්‍ර දුන්නේය. 29 බන්ධනාගාර ගත වූ බොහෝ තිරිසන් සතුන් මුදා හැරියේය; ඒ සෙනෙවි තෙමේ දිළිඳුන්ට මහ දන් දුන්නේය. 30 විසිතුරු වෑංජන, බත්, කැඳ, නොයෙක් වර්ගයේ කැවුම් ද, හුරු රූ (ඌරු රූප) බඳු වූ උක් සකුරු ද සාදවා භික්ෂූන්ට පූජා කළේය.

සේනා නායක සේන තෙමේ මේ ආදී පින්කම් කොට කීර්ති නමැති සඳරැස්වලින් සියලු දිශාවන් බැබළවීය. 31 ඔහුගේ නෑයෙක් වූ ‘රකුස්’ නම් නායක තෙමේ ‘සවාරක’ ගමෙහි ඉතා සිත්කලු විහාරයක් කොට, උතුම් වත් (පොහොය කර්ම ආදිය) මනාව පිහිටුවා මහ වෙහෙර වැසි පිළිවෙත් සරු භික්ෂූන්ට පූජා කළේය. 32 ‘සේන’ නම් මහා ලේකම් තෙමේ මහ වෙහෙර ‘මහ ලේනා පන්’ නම් උතුම් ආවාසයක් භික්ෂූන් පිණිස කරවීය. 34 එම රජුගේ ඇමති වූ ‘සොළී රජ’ නම් තැනැත්තේ සහමුලින්ම නටබුන් වූ පිරිවෙණක් මනා කොට පිහිටුවා සිත්කලු කොට හැදුවේය.

35 රජතෙමේ තුන් නිකායෙහි රූප කර්මයෙන් සිත්කලු වූ, 36 විජයොත්පාය (වෛජයන්ත ප්‍රාසාදය) බඳු විසිතුරු මණ්ඩප කරවා, ජනයාගේ සිත් ගන්නා ධාතු පූජා ද කරවා, දාහත් අවුරුද්දක් රජකම් කොට කම් වූ පරිද්දෙන් පරලොව ගියේය.

පස්වන කසුබ් රජුගේ රාජ්‍ය සමය

37 ඒ රජුට ඉක්බිති අභිෂේක ලත් බිසවගේ කුසෙහි උපන් කසුබ් යුවරජ තෙමේ පිළිවෙළින් ආ ලක් රජයෙහි රාජාභිෂේකය ලැබුවේය. 38 හෙතෙමේ ශ්‍රද්ධාවන්තය, ආගමනය කරන ලද මාර්ග ඇත්තේය; අභිඥා ඇත්තෙකු සේ ප්‍රඥාවන්තය; දෙවියන්ට ගුරුවරයා (බ්‍රහස්පති) බඳු වූ කථිකයෙකි; වෙසමුණි රජු සේ ත්‍යාගීවන්තය. 39 බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේය, ධර්ම කථිකය, සියලු ශිල්පයෙහි විශාරදය.

40 යුක්තිය සහ අයුක්තිය විචාරයෙහි දක්ෂය, නීතියෙහි පණ්ඩිතය, ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන්නේ බුදු සසුනෙහි පිහිටියේය, සියලු පරප්‍රවාදී (මිසදිටු) වාතයෙන් අකම්ප්‍යයි. 41 තමා කෙරෙහි නැති ගුණ පහළ කරන ‘ලක්ෂණ මායා’ ය, නුගුණ සඟවන ‘ලක්ෂණ සාධ්‍ය’ ය, මද ය, වංචා යනාදී පාපයන්ට ඔහු ගොදුරු නොවේ; සියලු ගංගාවන්ට මුහුද යම් සේ ද, ගුණයන්ට උත්පත්ති ස්ථානය ඔහුය.

42 ‘භූමිචන්ද්‍ර’ නම් වූ ඒ නරේන්ද්‍ර තෙමේ තමාගේ ගෝත්‍රයෙහි උපන්, හික්මුණා වූ එකම තමා කරණ කොට ගෙන බලන්නේය. 43 ඉක්බිති ඔහු දප්පුළ ඈපාණන්ට යුවරාජ පදවිය දුන්නේය. 44 දශ රාජ ධර්මයෙන් හා චතුස්සංග්‍රහ වස්තුවෙන් රජකම් කරමින් තමාගේ එක් ඇසක් මෙන් ලොව රැක්කේය. 45 බුදුන්ගේ සියලු ශාසන ධර්මය නමින් (ධර්මානුකූලව) ශුද්ධ කොට, නවක භික්ෂූන් ගෙන්වා ආවාස පුරණය කළේය.

46 දුටුගැමුණු රජු විසින් කරන ලදුව නටබුන්ව තිබූ මිරිසවැටි වෙහෙර අනේක ආවාසයන්ගෙන් හොබනා සේ කරවා මහ පෙළහර කොට සීමා පිරිසිඳ භික්ෂූන්ට පූජා කළේය; 47 ඒ පන්සියයක් භික්ෂූන්ට ආදායම් ලැබෙන ගම් ද දුන්නේය. 48 ඒ ලංකේන්ද්‍ර තෙමේ සිත්කලු තුසිත පුරයෙහි දෙව් පිරිසෙන් පෙරටු කරන ලද, උතුම් දහම් දෙසන ලෝ හිමියා (බුදුරජාණන් වහන්සේ) ලොවට දක්වන්නා සේ, සර්ව සජ්ජිත (සියල්ලෙන් සැදුම් ලත්) ඒ විහාරයෙහි, 49 නන් රුවනින් හෙබියා වූ සිත්කලු මණ්ඩපයෙහි හුන්නේ නුවරුන් හා භික්ෂූන් පිරිවරා ගත්තේ බුද්ධ ලීලාවෙන් විජම් බණ (අභිධර්මය) දේශනා කළේය.

50 එකල ඒ රජතෙමේ අභිධර්ම පිටකය රන් පත්වල ලියවා ‘ධම්මසංගණී’ පොත නන් රුවනින් හොබනා කොට, 51 නුවර මැද උතුම් ගෙයක් කරවා ඒ පොත එහි තබ්බවා පෙරහර පැවැත්වීය. 52 තමාගේ පුතුට ‘සක් සෙනෙවි’ තනතුර දී ඒ දම් සඟුණු පෙරහරෙහි ඔහුව යෙදවීය.

ඒ රජතෙමේ අවුරුදු පතා දෙව් පුරයක් සේ නගරය සරසවා, 53 සරසන ලද සේනාව විසින් පිරිවරණ ලද්දේ, 54 සියලු ආභරණයෙන් සැදී දෙව් රජු සේ හොබවන ඇත් කඳ පිට හිඳ නගරයේ හැසිරෙමින්, 55 ඒ ධර්මය බබළවනු සඳහා තමා විසින් කරවන ලද සිත් කළු වූ සර්ව සජ්ජිත විහාරයට මහ පෙරහරින් වඩා ගෙනැවිත්, 56 නන් රුවනින් හෙබි සිත් කළු ඒ වෙහෙර දාගැබ තුළ මණ්ඩපයෙහි ධාතු පීඨයේ තබා පිදුවේය.

57 රජතෙමේ මහමෙවුනා උයනෙහි ‘ග්‍රන්ථාකර’ පිරිවෙණ ද, නුවර වෙදහල් ද කරවා ඊට ගම් ද දුන්නේය. 58 අභයගිරි විහාරයෙහි ‘භණ්ඩිකා’ පිරිවෙණ ද ‘සලමේ පව්ව’ ද කොට ඊට අයබදු එන ගම් දුන්නේය. 59 ලක්නා (ලංකා නායක) වූ එම රජතෙමේ ජෝතිවන වෙහෙර දන්හලට ද, එසේම අභයගිරියට ද එකී එකී ගමක් දුන්නේය. 60 පරම ධාර්මික රජතෙමේ කෙළෙහි ගුණ දන්නා බැවින් දකුණු ගිරි වෙහෙරට ද ගමක් දුන්නේය.

61 සක් සෙනෙවි තෙමේ සිත් කළු පිරිවෙණක් සිය නමින් මනාව මවා (සාදවා), ගම් සමඟ මහා නිකායේ භික්ෂූන්ට දුන්නේය. 62 ‘වජිරා’ නම් ඔහුගේ බිරිඳ සිය නමින් පිරිවෙණක් කොට ගම් සහිත කොට මහ වෙහෙර වැස්සන්ටම දුන්නාය. 63 ඇයම පාදලඤ්ඡනයෙහි (ශ්‍රී පාදය අසල හෝ සිරිපතුල පිහිටි තැනක) මෙහෙණවරක් කොට, 64 සියලු තන්හි ප්‍රසිද්ධ ථේරවංශික භික්ෂූන්ට පූජා කළාය.

65 සක් සෙනෙවිගේ මව වූ දේවිය, මහා විහාර වංශික ආරණ්‍යක භික්ෂූන්ට සිය නමින් ආවාසයක් කළාය; ඇයම මිරිසවැටි බුදු රුව ද, සිළුමිණ, පාද ජාල (පාද ආවරණ), ඡත්‍ර සහ සිවුරු යන මේවා පූජා කළාය. 66 රජතෙමේ රජ ගෙයිම සිය නමින් රාජවාසයක් ද, ඉතා සිත් කළු ‘පාළික’ නම් ප්‍රාසාදයක් ද කළේය. 67 රජුගේ අනික් බිරිඳක් වන ‘රාජිනි’ නම් තැනැත්තිය රුවන්වැලි සෑය පට සැට්ටයකින් පිදුවාය. 68 ඒ බිසවගේ පුත් වූ ඉසුරෙහි පිහිටි ‘සිද්ධත්ථ’ නම් වූ, මලය රාජ යයි ප්‍රසිද්ධ, රුවින් මලවියා (අනංගයා) බඳු කුමරෙක් විය. 69 රජතෙමේ ඔහු මළ කල්හි භික්ෂූන්ට උතුම් දන් හලක් හා වැටුප් තබා එකල ඔහුට පින් දුන්නේය.

පාණ්ඩ්‍ය දේශයේ යුද්ධය

71 එකල ලංකාධිපති රජු මෙසේ දැහැමින් රජ කරද්දී, පඬි රජතෙමේ සොළී රජු හා යුද කොට පැරදුණේ, බල සේනා ලබා ගැනීම සඳහා ලංකාවට නොයෙක් පඬුරු එවීය. 72 ඒ ලංකේශ්වර රජතෙමේ ඇමතියන් හා මන්ත්‍රණය කොට බල සේනා සරසා, සක් සෙනෙවියා බලනායක කොට, තෙමේ ම මහතොටට ගියේය; 73 මුහුදු වෙරළේ සිට පූර්ව රජුන්ගේ විජයග්‍රහණ කියා උත්සාහ දනවා බල සේනාව නැව් නැංවීය.

එකල සක් සෙනෙවි තෙමේ බල සේනා ගෙන, 74 සුවසේ සයුර එතෙරව පඬි රටට පැමිණියේය. 75 පඬි රජ තෙමේ බල සේනා සහ ඔහුව දැක සොම්නස් ඇත්තේ ”දඹදිව එක්සත් කරන්නෙමි” යි කීවේය. 76 පඬි රජ දෙපිරිසේම සෙනඟ ගෙන සොළියා දිනනු නොහැකිව යුද කටයුතු හැර නික්ම ගියේය. 77 නැවත සක් සෙනෙවි තෙමේ ”යුද කරන්නෙමැ” යි ගොස් සිටියේය; 78 පඬි රජහු පව් නිසා හටගත් උපද්‍රව රෝගයකින් මළේය. ලංකේශ්වර තෙමේ ඒ රෝගයෙන් බල සේනාව ද නස්නා බව අසා කරුණා බාහුල්‍යයෙන් සිය සේනාව ඒ රටින් ගෙන්වීය.

79 එකල සක් සෙනෙවි තනතුර ඔහුගේ පුතුට දුන්නේය; ඒ පුතු සේනානායක කොට ඔහුගේ නමින් වැඩුණේය. 80 එකල තුන් නිකා වැස්සන් ලවා නුවර පිරිත් කරවා සතුන්ගේ රෝග සහ දුබික් බිය නැසුවේය. 81 ඒ රජ තෙමේ සසුනට ද ලොවට ද නොයෙක් ආකාරයෙන් සෙත් කරවා, 82 දස වන අවුරුද්දෙහි සැපසේ දෙව් ලොව ගියේය.

මේ කසුබ් රජු තෙමේ ලක් රජයෙහි පිහිටා හදාළ තෙවළා ඇත්තේ, සියලු විද්‍යාවන්ට පහන් බඳු වූයේ, වක්තෘව (කථිකව), වාදයෙහි දක්ෂව, කවින්ද්‍රව, ස්මෘති ධෘතියෙන් (මතකය හා ධෛර්යයෙන්) විශදව, දහම් දෙසන්නේ, භාවනා කරන්නේ ද වී. ප්‍රාණීන් කෙරෙහි සැදැහැ හා කුළුණු ඇත්තේ විය; පර වැඩෙහි නියැළුණේ ය, ලොව හඳුනන්නේ, දාන ශෞණ්ඩ (දානයට ලොල් වූවෙක්) ද වී. සියලු ලෝ වැසි තෙමේ ද මොහුගේ නිර්මල ගුණ ඇත්තේ වේවා.

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘ද්විරාජක’ නම් වූ දෙපණස් වන අදියර නිමියේය.