5. ධර්මාශෝක රජු සහ තෘතීය ධර්ම සංගායනාව

star_outline
නිකාය භේදයේ ආරම්භය

1 ආරම්භයේදී මහා කාශ්‍යප ආදී මහා තෙරවරුන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ.

2 ආරම්භයේ සිට වසර සියයක් යනතුරු පැවතියේ ඒ එකම ථේරවාදය පමණි. ඉන්පසුව 3 අන්‍ය ආචාර්යවාදයන් හෙවත් නිකායන් ඇති විය. ඒ දෙවැනි ධර්ම සංගායනාව කළ තෙරවරුන් විසින් නිග්‍රහ කරන ලද, දස දහසක් පමණ වූ ඒ පාපී භික්ෂූහු ‘මහා සංගීති’ නම් වූ ආචාර්යවාදයක් (නිකායක්) ඇති කර ගත්හ.

4 ඒ මහා සංගීතික භික්ෂූන්ගෙන් ගෝකුලිකය සහ ඒකව්‍යවහාරිකය යැයි ආචාර්යවාද ඇති ලබ්ධි දෙකක භික්ෂූහු ඇති වූහ. 5 ගෝකුලික භික්ෂූන්ගෙන් පඤ්ඤත්තිවාදීහු සහ බාහුලිකයෝ යැයි ලබ්ධි දෙකක පිහිටි භික්ෂූහු බිහි වූහ. 6 ඒ භික්ෂූන් අතරෙහිම චේතියවාද නම් වූ අන්‍ය මතයක පිහිටි භික්ෂූහු ද වූහ. ඒ සියල්ලෝම ‘මහා සංගීති’ නම් වූ වාදය ඇත්තෝ ය.

නැවත ද ථේරවාදී භික්ෂූන්ගෙන් ‘මහිංසාසක’ නම් භික්ෂූහු ද, ‘වජ්ජිපුත්තක’ නම් භික්ෂූහු ද යැයි මේ කොටස් දෙක ඇති විය. 7 ඒ වජ්ජිපුත්තක භික්ෂූහුම ධම්මුත්තරිය නම් භික්ෂූහුය, භද්‍රයානික භික්ෂූහුය, ඡන්නාගාරික භික්ෂූහුය, සම්මිතිය භික්ෂූහු යැයි මෙසේ සතර කොටසක් වූහ.

8 මහිංසාසක නම් භික්ෂූන්ගෙන් වෙන් වී සබ්බත්ථිවාදී (සර්වස්තිවාදී) නම් භික්ෂූහු ද, ධම්මගුත්තිය නම් භික්ෂූහු ද යැයි මේ කොටස් දෙක ඇති විය. 9 යළිත් සබ්බත්ථිවාදීන් කෙරෙන් වෙන් වී කස්සපිය භික්ෂූහු ඇති වූහ. එයින් සංකන්තික නම් භික්ෂූහු ද, එයින් වනාහි සුත්තවාද නම් භික්ෂූහු ද බිහි වූහ.

10 ඒ මොවුහු ථේරවාද නම් මතය ඇති භික්ෂූන් හා සමඟ දොළොස් නිකායක් වෙති. පෙර කියන ලද (මහා සංගීතික ආදී) ෂඩ් වාදයන් ද සමඟ මෙසේ සියල්ලෝම අටළොස් (18) නිකායක් වූහ. 11 මෙසේ දෙවැනි වර්ෂ ශතයෙහි (බුදුරදුන් පිරිනිවී වසර දෙසියයක් තුළ) දාහතක් වූ නිකාය භේදයන් ඇති විය.

ඉන්පසුව අන්‍ය වූ ආචාර්යවාදයන් උපන්හ. එනම්; හේමවතයෝ ය, රාජගිරිකයෝ ය, 12 එසේම සිද්ධාර්ථිකයෝ ය, පුබ්බසෙලික නම් භික්ෂූහු ය, එසේම අපරසෙලිකයෝ ය, වාජිරිකයෝ ය වශයෙනි. 13 මේ ෂඩ්විධ (සය ආකාර) නිකායන් ජම්බුද්වීපයෙහි (දඹදිව) ඇති විය. ධම්මරුචිකයෝ ය, සාගලිකයෝ යැයි ලංකාද්වීපයෙහි නිකාය භේදයන් ඇති විය.

ආචාර්ය වංශ භේදය නිමියේය.

මගධ රාජ වංශය

කාලාශෝක රජුගේ පුත්‍ර වූ දස බෑ කෙනෙක් වූහ. 14 ඔවුහු විසි දෙවසරක් රාජ්‍ය අනුශාසනා කළහ. ඒ දස බෑ රජුන්ට අනතුරුව නව නන්ද රජ දරුවෝ පිළිවෙළින් රජ වූහ. ඔවුහු ද විසි දෙවසරක් 15 රාජ්‍ය අනුශාසනා කළහ.

16 ඉක්බිති ඒ චාණක්‍ය නම් බ්‍රාහ්මණ තෙමේ නන්ද රජුන් අතුරෙන් නව වැනි වූ ධනනන්ද රජුව චණ්ඩ ක්‍රෝධයෙන් යුක්තව මරවා, 17 මෞර්ය නම් ක්ෂත්‍රියයන්ගේ වංශයෙහි උපන්නා වූ, ග්‍රීධර වූ (තේජසින් බබළන), චන්ද්‍රගුප්ත යැයි ප්‍රසිද්ධ වූ රාජ කුමාරයාව මුළු දඹදිව රාජ්‍යයෙහි අභිෂේක කළේය. ඒ චන්ද්‍රගුප්ත රජ තෙමේ විසි හතර අවුරුද්දක් රජකම් කළේය.

18 ඔහුගේ පුත් බින්දුසාර ක්ෂත්‍රිය තෙමේ විසි අට අවුරුද්දක් රජකම් කළේය. 19 බින්දුසාර රජුගේ පුත්‍රයෝ ප්‍රසිද්ධ වූ එකසිය එක් දෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් ධර්මාශෝක කුමාර තෙමේ පිනෙන් සහ තේජස් බලයෙන් හා සමෘද්ධියෙන් 20 සම්පන්න වූයේය. ඔහු තමාට වඩා වෙනස් මව්වරුන් ඇති එකුන් සියයක් (99) සහෝදරයන් මරවා මුළු දඹදිව එකම රාජ්‍යයකට පැමිණියේය.

ධර්මාශෝක රජුගේ අභිෂේකය සහ ආශ්චර්යයන්

සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු, ඒ රජුගේ අභිෂේකය දක්වා වර්ෂ දෙසිය දහඅටක් (218) ගත වී තිබූ බව මෙසේ දත යුතුය. 21 මහා යසස් ඇති ඒ රජ තෙමේ සතර වසරකින් (රාජ්‍යය ලබා වසර හතරකට පසු) එකම රාජ්‍යයකට පැමිණ පාටලීපුත්‍ර නගරයෙහි තමන්ව අභිෂේක කරවා ගත්තේය.

22 ඒ රජුගේ අභිෂේකය හා සමඟම අහසෙහි ද එසේම පොළොවෙහි ද යොදුනක් යොදුනක් පාසා රජුගේ ආඥාව නිරතුරුවම පැතිර ගියේය.

23 ඒ රජතුමාට දෙවියෝ අනෝතත්ත විලෙහි පැන් කත් අටක් දිනපතා ගෙනාවාහු ය. 24 නරේන්ද්‍ර තෙමේ එයින් ජනයාට කොටස් කර බෙදා දුන්නේය. දෙවියෝම හිමාලයෙන් නොයෙක් දහස් ගණනකට සෑහෙන තරම් වූ දැහැටි දඬු (නාගලතා) ගෙනාවාහු ය. 25 එසේම බෙහෙත් ඇඹුල ද, බෙහෙත් අරළු ද, වර්ණයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද උතුම් වූ අඹ ඵල ද එයින්ම ගෙනාවාහු ය.

26 තවද දේවතාවෝ පස් පැහැති වස්ත්‍රයන් ද, කහ පැහැති වූ අත් පිස්නා පිළි (ලේන්සු) ද, දිව්‍ය පාන වර්ග ද ඡද්දන්ත විලෙන් ගෙනාවාහු ය. 27 ඒ නුවර මැරෙන්නා වූ මුවෝ ද, ඌරෝ ද, ලිහිණියෝ ද ඒ රජුගේ මුළුතැන්ගෙය ළඟට අවුත් තමන්ම 28 මැරෙති. එහි දිවියෝ ගවයන් ගොදුරු කවා ගාලට ගෙන එති. 29 මුවෝ සහ ඌරෝ කෙත්වත් විල් ආදිය රකිති.

මනාව පිපුණා වූ දිව්‍යමය සමන් මල් පට සහ මානෙල් මල් ද, විලවුන් ද, අඳුන් ද නාග විමානයෙන් 30 නාගයෝ ගෙන එති. ගිරවු වනාහි හැල් වී කරල් නව දහසක් ඡද්දන්ත 31 විලෙන් ම දිනපතා ගෙනාවාහු ය. මීයෝ ඒ හැල් වී නොකඩා, දාසෙවිය සහ කුඩු නැති කොට සහල් ශුද්ධ කළහ. 32 ඒ සහලින් රජගෙයි බත පිසින ලදී.

33 ඒ රජුට නිරතුරුව මී මැස්සෝ මී බැන්දෝය. එසේම ඒ රජුගේ කම්මල්හලෙහි වලස්සු කුළු ගැසූහ (යකඩ තැලූහ). 34 මනෝඥ මධුර ස්වර ඇත්තා වූ කුරවිකෙවිල්ලෝ අවුත් ඒ රජුට මධුර වූ නාද කළහ. 35 අභිෂේක කරන ලද්දා වූ ඒ අශෝක රජ තෙමේ ස්වකීය බාල සහෝදර වූ තිස්ස නම් වූ කුමාරයා උප රාජ්‍යයෙහි අභිෂේක කළේ ය.

ධර්මාශෝකාභිෂේකය නිමියේ ය.

නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සහ රජුගේ පෙර භවය

36 ඒ රජුගේ පියා බ්‍රහ්ම පාක්ෂික වූ (බ්‍රාහ්මණ භක්තික) සැට දහසක් බ්‍රාහ්මණයන්ව වැළඳවීය. ඒ ධර්මාශෝක රජ තෙමේ ද තුන් අවුරුද්දක් ඔවුන්ටම දන් 37 දුන්නේය. නුවණැත්තා වූ අශෝක රජ තෙමේ දන් දෙන තැනදී ඔවුන්ගේ 38 අසංවර බව දැක, “පරීක්ෂා කොට දානය දෙන්නෙමි” යැයි ඇමතියන් 39 මෙහෙයවා, වෙන් වෙන් වශයෙන් නා නා පාෂාණ්ඩයන් (විවිධ ආගමික කොටස්) ගෙන්වා, අසුන් ගැන්වීමෙන් විමසා, ආහාර වළඳවා පිටත් කර හැරියේය.

එක් කාලයක සී මැදුරේ සිටි ඒ රජ තෙමේ වීථියෙහි වඩින්නා වූ, උපශාන්ත වූ, සංසුන් ඉඳුරන් ඇත්තා වූ ඒ නිග්‍රෝධ සාමණේරයන් දැක සිත පැහැද වූයේය. 40 ඒ නිග්‍රෝධ සාමණේර තෙමේ බින්දුසාර රජුගේ පුත්‍රයන් අතුරෙන් සියල්ලන්ට වැඩිමහල් සහෝදර වූ සුමන නම් කුමාරයාගේ පුත්‍ර වූයේය.

(එහි පිළිවෙළ කතාව මෙසේයි:) 41 ඒ අශෝක කුමාර තෙමේ පියාණන් විසින් දෙන ලද උදේනි රට රාජ්‍යය හැර දමා, බින්දුසාර රජු රෝගාතුර වූ කල්හි පාටලීපුත්‍ර නගරයට පැමිණියේය. පුරය තමා යටත් කරගෙන, පියා මළ කල්හි වැඩිමහල් සහෝදරයා මරා පුරවරයෙහි රාජ්‍යය ගත්තේය.

42 සුමන නම් කුමාරයාගේ සුමනා නම් වූ ගර්භිණී දේවිය ඒ පුරයෙන් නික්ම නැගෙනහිර 43 දොරටුවෙන් පිට වී සැඩොල් ගමකට ගියාය. එහි නුග රුකකට අධිපති වූ දේවතාවිය 44 නමින් ඇයව කැඳවා ගෙයක් මවා දුන්නාය. ඇය එදිනම 45 උතුම් පුතෙකු වැදුවාය. දේවතානුග්‍රහය අනුව ගිය හෙයින් පුත්‍රයාට ‘නිග්‍රෝධ’ යැයි නම් කළාය.

46 සැඩොල් ගමේ නායකයා ඇය දැක තමාගේ ස්වාමි දියණිය මෙන් සිතා, සත් අවුරුද්දක් මනා කොට ඇයට උවටැන් කළේය. 47 එකල්හි මහා වරුණ නම් අර්හත් ස්ථවිර තෙමේ පින් ඇති කුමරුවා දැක, මෑණියන්ගෙන් විචාරා ඒ කුමරුවා පැවිදි කරවූයේය. 48 ඒ කුමාර තෙමේ හිස කෙස් බාන විටම (ක්ෂර ගෘහයෙහිම) රහත් බවට පැමිණියේය.

ඉක්බිති ඒ නිග්‍රෝධ සාමණේර තෙමේ මවු බිසවුන් දකිනු පිණිස යන්නේ පුරවරයේ දකුණු දොරටුවෙන් ඇතුළු වී, 49 එකල රජ මළුවෙහි ඒ ගමට යන මගින් ගියේය. රජ තෙමේ ශාන්ත වූ ඉරියව් ඇති ඒ සාමණේරයන් කෙරෙහි පැහැදුණේය. 50 පෙර භවයේ එකට විසීම හේතුවෙන් උන්වහන්සේ කෙරෙහි (රජුගේ) ප්‍රේමය උපන්නේය.

(ඒ පිළිවෙළ කතාව මෙසේයි:) පූර්වයෙහි වනාහි මී පැණි වෙළෙන්දෝ 51 තුන් බෑ කෙනෙක් වූහ. එක් වෙළෙන්දෙක් මී පැණි විකුණයි. අනිත් දෙදෙනා මී පැණි 52 ගෙන එති. එකල එක් පසේබුදු කෙනෙක් ව්‍රණ රෝගයකින් ආතුර විය. අන්‍ය වූ පසේබුදු කෙනෙක් උන්වහන්සේ පිණිස මී පැණි සොයමින් එකල පිඬු සිඟන වතින් නුවරට පිවිසි සේක.

53 දිය ගෙනෙනු සඳහා තොටට යන්නා වූ එක් දාසියක් (ඝට චේටිකාවක්) උන්වහන්සේ දුටුවාය. 54 කරුණු විචාරා මී පැණි කැමති බව දැන, “වහන්ස, අර තිබෙන්නේ මී පැණි වෙළෙඳසැලය” යි අතින් පෙන්වා, “එහි වැඩිය මැනව” යැයි කීවාය.

55 එහි පැමිණි පසේබුදුන්ට පහන් වූ වෙළෙන්දා පාත්‍රය උතුරුවමින් පාත්‍රය පුරා මී දන් දුන්නේය. 56 පිරුණා වූ ද, ඉතිරී ගියා වූ ද, පොළොවෙහි වැටුණා වූ ද මී පැණි දැක ප්‍රසන්න වූ ඒ වෙළෙන්දා එකල්හි, “මේ දානය හේතු කොටගෙන මට ජම්බුද්වීපයෙහි ඒක රාජ්‍යය වේවා! අහසෙහි යොදුනක් තැන ද, පොළොවෙහි 57 යොදුනක් තැන ද මාගේ ආඥාව පැතිරේවා!” යි මෙසේ ප්‍රාර්ථනා කළේය.

පැමිණියා වූ සහෝදරයන්ට හෙතෙම, “මෙබඳු කෙනෙකුට මම මී පැණි 58 දුනිමි. මී පැණි නුඹලාට ද අයිති හෙයින් නුඹලාත් ඒ අනුමෝදන් වන්න” යැයි කීයේය. 59 ඒ වැඩිමහලු සහෝදරයා නොසතුටු සිත් ඇත්තේ, “සැම කල්හිම චණ්ඩාලයෝ කසාවත් අඳිති. හෙතෙම චණ්ඩාලයෙක් වන්නේ දෝ” යි කීයේය. 60 මැද සිටි තැනැත්තා, “ඒ පසේබුදුන් මුහුදින් එතෙර දමව” යි කීයේය. (නමුත් පසුව) ඒ මී පැණි දුන් තැනැත්තාගේ බස් අසා ඔවුහු දානයේ පින අනුමෝදන් වූහ.

61 ඒ වෙළෙඳසැල පෙන්වූ දාසිය වනාහි ඒ මී පැණි දුන් තැනැත්තාගේ මෙහෙසිය වීමටත්, නොපෙනෙන සන්ධි ඇති (අසන්ධි) ඉතා මනෝහර වූ රූපයක් ලැබීමටත් ප්‍රාර්ථනා කළාය. 62 මධු දායක වූ වෙළෙන්දා ධර්මාශෝක නම් රජ වූයේය. දාසිය අසන්ධිමිත්‍රා නම් දේවිය වූවාය. 63 චණ්ඩාල වාදී වූ (පසේබුදුන්ට චණ්ඩාලයෙකැයි කී) වෙළෙන්දා නිග්‍රෝධ සාමණේර වූයේය. ‘මුහුදෙන් එතෙර දමව’ යැයි කී වෙළෙන්දා දෙවැනි පෑතිස් නම් රජ වූයේය.

64 යම් හෙයකින් හෙතෙම චණ්ඩාල වාදී වී නම්, එහෙයින් සැඩොල් ගමක උපන්නේය. යම් සේ මෝක්ෂය ප්‍රාර්ථනා කළේ ද, එහෙයින් සත් හැවිරිදි වයස් ඇත්තේම මෝක්ෂයට (රහත් බවට) පත් ද වූයේය.

ධර්මාශෝක රජු බුදු දහම වැළඳ ගැනීම

එහෙයින් ඒ සාමණේරයන් කෙරෙහි ප්‍රේමය ඇති ඒ රජ තෙමේ, ඉතා ඉක්මන් වූයේ ඔහු කැඳවූයේය. 65 හෙතෙම සංසුන් පැවතුම් ඇත්තේම රජු ළඟට පැමිණියේය. රජ තෙමේ, “දරුව, සුදුසු අසුනක හිඳගත මැනව” යි කීයේය. හෙතෙම අන්‍ය වූ ශ්‍රමණයෙකු 66 නොදැක සිංහාසනය කරා පැමිණියේය. ඒ සාමණේරයාණන් පර්යංකය කරා එන කල්හි රජ තෙමේ, “අද මේ සාමණේර තෙමේ මාගේ ගෙයි 67 ස්වාමියා වන්නේය” යි සිතුවේය.

හෙතෙම රජුගේ අත අල්ලා පර්යංකයට 68 නැඟ, රාජ පර්යංකයෙහි සේසත යට වැඩ හුන්නේය. ඒ ධර්මාශෝක රජ තෙමේ එසේ හුන්නා වූ ඒ සාමණේරයන් දැක, ගුණයෙන් සම්භාවනා කොට, එකල අතිශයින්ම සතුටු වූයේය. 69 ඒ සාමණේරයන් තමන්ට පිළියෙළ කරන ලද කැවිලි හා බත්වලින් සනසා, සම්බුදුන් වදාළ ධර්මයක් විචාළේය. ඒ සාමණේර තෙමේ ඒ රජහට ධම්මපදයෙහි ‘අප්පමාද වර්ගය’ 70 වදාළේය.

ඒ රජ තෙමේ ඒ අසා බුද්ධ ශාසනයෙහි ප්‍රසන්න වූයේ, “දරුව, නුඹ වහන්සේට නිති බත් (දිනපතා දානය) අටක් දෙමි” යි ඒ සාමණේරයන්ට කීයේය. 71 ඒ සාමණේර තෙමේ, “මහරජ, ඒ නිති බත් මාගේ උපාධ්‍යායයන් වහන්සේට දෙමි” යි කීයේය. 72 නැවත අටක් දුන් කල ඒ අට ආචාරීන්ට ද, නැවතත් අටක් දුන් කල්හි ඒ අට භික්ෂු සංඝයාට ද ඒ සාමණේර තෙමේ දුන්නේය.

73 නැවතත් අටක් දුන් කල්හි ප්‍රඥාවන්ත වූ සාමණේර තෙමේ එය තමන් සඳහා පිළිගත්තේය. දෙවැනි 74 දවස්හි භික්ෂූන් තිස් දෙකක් (32) සමඟ රජගෙට වැඩියේය. රජු විසින් සියතින්ම පූජා සත්කාර කරන ලද්දේ, ධර්ම දේශනා කොට මහා ජනයා සහිත 75 වූ රජුව තිසරණ පන්සිල්හි පිහිටුවූ සේක.

(නිග්‍රෝධ සාමණේර දර්ශනයයි.)

වෙහෙර විහාර ඉදිකිරීම සහ නාග රාජයා දැකීම

ඉක්බිති ප්‍රසන්න වූ ඒ රජ තෙමේ දිනපතා පිළිවෙළින් දෙගුණ කරමින් භික්ෂූන් සැට දහසකට උපස්ථාන කළේය. 76 සැට දහසක් වූ තීර්ථකයන් බැහැර කොට සැට දහසක් භික්ෂූන් නිරතුරුව රජගෙයි වැළඳවීය. 77 ඒ රජ තෙමේ සැට දහසක් භික්ෂූන්ට වළඳවනු පිණිස ඉක්මන් වූයේ, මහා වටිනාකම් ඇති ඛාද්‍ය භෝජ්‍යයන් පිළියෙළ කරවා, 78 නුවර සරහවා ගොස්, සංඝයාට ආරාධනා කොට රජගෙට වඩා ගෙනවුත් වළඳවා, බොහෝ වූ ශ්‍රමණ පිරිකර දන් දී, “ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය 79 කොපමණ දැ?” යි විචාළේය.

මොග්ගලීපුත්ත තිස්ස නම් ස්ථවිර තෙමේ එකල ඔහුට ඒ ප්‍රශ්නය විසඳා වදාළේය. “අසූ සාර දහසක් (84,000) ධර්මස්කන්ධයෝ ය” යි අසා ඒ රජ තෙමේ, 80 “මම ඒ ධර්මස්කන්ධයන් එකක් එකක් වශයෙන් (එක එක ධර්මස්කන්ධයක් වෙනුවෙන්) එක එක විහාරයෙන් පුදමි” යි කීයේය.

රජ තෙමේ එකල්හි කෝටි අනූ හයක් (96) ධනය දී දඹදිව පුරා අසූ සාර දහසක් පුරයන්හි ඒ ඒ තැන්හි 81 රජුන් ලවාම විහාරයන් ආරම්භ කරවීය. තෙමේම අශෝකාරාමය කරවන්නට ආරම්භ කළේය. 82 ඒ රජ තෙමේ රත්නත්‍රය, නිග්‍රෝධ සාමණේරයන් සහ ගිලන්වූවන් යන මොවුන්ට ශාසනයෙහි වෙන් වෙන් වශයෙන් 83 දිනපතා ලක්ෂය බැගින් ධනය යෙදවූයේය. බුදුන් උදෙසා 84 දෙන ලද ධනයෙන් සෑම කල්හි නොයෙක් විහාරයන්හි නොයෙක් අයුරින් ථූප පූජා කළහ. මනුෂ්‍යයෝ ධර්මය උදෙසා දෙන ලද ධනයෙන් 85 ප්‍රණීත වූ සිවුපසයෙන් ධර්මධර භික්ෂූන්ට උපස්ථාන කළහ.

86 අනවතප්ත විලෙන් ගෙනෙන පැන් කත්වලින් දිනපතා හතරක් සංඝයාට ද, ත්‍රිපිටකධර භික්ෂූන් සැට නමකට එකක් ද දුන්නේය. එකක් අසන්ධිමිත්‍රා නම් 87 දේවියට දුන්නේය. මිහිපති තෙමේ (ඉතිරි) දෙකම තමන් පරිභෝජනය කළේය. දිනපතා සැට දහසක් භික්ෂූන්ට ද, සොළොස් දහසක් 88 ස්ත්‍රීන්ට ද නාගලතා නම් වූ දැහැටි දඬු දුන්නේය.

ඉක්බිති එක් දිනක් රජ තෙමේ සතර බුදුවරුන්ගේ දර්ශනය 89 ඇත්තා වූ, මහත් සෘද්ධි ඇති, කල්පයක් ආයුෂ ඇති මහාකාල නම් නා රජුගේ 90 පුවත් අසා, ඔහු ගෙන ඒමට රන් දම්වැලක් යවා ඔහු 91 ගෙන්වා, සේසත යට පලඟෙහි හිඳුවා, නානා විධ පුෂ්පයන් පුදා, 92 සොළොස් දහසක් ස්ත්‍රීන් පිරිවරා, “පින්වත, සද්ධර්ම චක්‍රවර්තී වූ අනන්ත ඥාන ඇත්තා වූ මහර්ෂී වූ සර්වඥයන් වහන්සේගේ රූපය මට 93 පෙන්වනු මැනව” යි කීයේය.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ, අසූවක් 94 අනුව්‍යඤ්ජනයෙන් බබළන්නා වූ, බ්‍යාම ප්‍රභා මණ්ඩලයෙන් වට කරන ලද්දා වූ, කේතුමාලාවෙන් විශේෂයෙන් හෙබියා වූ මනෝඥ වූ බුද්ධ රූපය ඒ නාග රජ තෙමේ මවා පෑවේය. ඒ දැක අධික වූ ප්‍රසාදයෙන් සහ 95 විස්මයෙන් ද පිරුණු රජ තෙමේ, “මොහු විසින් මවන ලද රූපය මෙබඳුය, තථාගතයන් වහන්සේගේ සැබෑ රූපය කෙබඳු වේ දෝ” යි සිතා ප්‍රීතියෙන් අතිශයින් උසස් වූයේය.

96 මහත් සෘද්ධි ඇත්තා වූ ඒ මහා රජ තෙමේ ‘අක්ෂි පූජා’ යැයි නම් වූ ඒ මහත් වූ පූජාවක් සත් දවසක් නිරතුරු කොට කරවූයේය. මිහිපති තෙමේ මෙසේ මහානුභාව ඇත්තේ ද ශ්‍රද්ධාව ඇත්තේ ද විය.

97 මොග්ගලීපුත්ත තිස්ස නම් වූ ස්ථවිර තෙමේ ද යන මොවුන්ව පූර්වයෙහි රහතුන් විසින් දක්නා ලද්දෝය.

ධර්මාශෝක රජුගේ ශාසන ප්‍රවේශය නිමියේය.

මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ පහළ වීම

98 දෙවැනි සංගායනාවෙහි දී ඒ ස්ථවිරයෝ අනාගතය බලන්නාහු, ඒ ධර්මාශෝක රජුගේ කාලයෙහි වන ශාසන උපද්‍රවය 99 දුටහ. ඒ උපද්‍රවය නැසිය හැක්කෙක් සකල ලෝකයෙහි බලන්නාහු, නොබෝ කල් පවතින ජීවිත ඇත්තා වූ තිස්ස නම් බ්‍රහ්මයා දුටහ.

100 ඒ ස්ථවිරයෝ මහා ප්‍රඥා ඇති ඔහු වෙත එළඹ, මිනිසුන් අතර ඉපදී ඒ උපද්‍රවය නැසීම ඉල්ලා සිටියහ. සසුන් බබළවනු කැමති වූ හෙතෙම ඒ ස්ථවිරයන්ට ප්‍රතිඥා දුන් සේක. 101 සිග්ගවය, චණ්ඩවජ්ජිය යන නම් ඇත්තා වූ බාල භික්ෂූන් දෙදෙනාට ඒ ස්ථවිරයෝ මෙසේ වදාළහ.

“අටළොසක් අධික 102 වූ අවුරුදු සියයකින් මත්තෙහි ශාසනයට උවදුරක් වන්නේය. අපි 103 ඊට (ඒ කාලයට) නොපැමිණෙන්නෙමු. ඇවැත්නි, තෙපි මේ අධිකරණයට (දෙවැනි සංගායනාවට) නොපැමිණියාහුය. එහෙයින් දඬුවමට සුදුසුය. මේ තොපට දඬුවම් නම් 104 වේ: සසුන් බැබළවීම පිණිස මහත් ප්‍රඥා ඇත්තා වූ තිස්ස නම් බ්‍රහ්ම තෙමේ මොග්ගලී නම් බ්‍රාහ්මණයාගේ ගෙහි පිළිසිඳ ගන්නේය. තොප අතුරෙන් එක් අයෙක් ඒ කුමාරයා පැවිදි කෙරේවා. එක නමක් සර්වඥ වචනය මනා කොට උගන්වාව” යි වදාළහ.

ආචාර්ය පරම්පරාව

105 උපාලි ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූ දාසක නම් ස්ථවිර කෙනෙක් විය. ඒ තෙරුන්ගේ සද්ධිවිහාරික වූ සෝණක නම් ස්ථවිර 106 කෙනෙක් විය. මේ සිග්ගව, චණ්ඩවජ්ජි දෙදෙනා සෝණක තෙරුන්ගේ සද්ධිවිහාරිකයෝ වූහ.

(එහි පිළිවෙළ කතාව මෙසේය:) 107 පූර්වයෙහි විශාලා මහ නුවර දාසක නම් බ්‍රාහ්මණයෙක් විය. 108 ශිෂ්‍යයන් තුන් සියයකට ප්‍රධාන වූ හෙතෙම ආචාර්යයන් සමීපයෙහි වසමින් දොළොස් හැවිරිදි වූයේ වේදයෙහි පරතෙරට පත් වූයේය.

ශිෂ්‍යයන් සහිතව හැසිරෙන්නේ, වාළුකාරාමයෙහි වසන්නා වූ, කරුණාවෙන් සංග්‍රහ කරන්නා වූ උපාලි තෙරුන් ගැන දැන, උන්වහන්සේ සමීපයෙහි හිඳ, වේදයන්හි 109 ගැටළු තැනක් විචාළේය. උන්වහන්සේ ඒ විසඳූ සේක. ඉක්බිති, “මානවකය, සියලු ධර්මයන් අනුව පවතින්නා වූ එක් ධර්මයක් වේ. සියලු 110 ධර්මයෝ එහි බැස ගනිති. ඒ ධර්මය කවරේද?” යි ස්ථවිර තෙමේ නාමය (නාම රූප ධර්මයන්) සඳහා කී සේක.

මානවක තෙමේ එය නොදත්තේ, “මේ කවර 111 මන්ත්‍රයක් ද?” යි විචාළේය. “බුද්ධ මන්ත්‍ර යැයි කියන ලද්දේ එයයි. එය අපටත් 112 දුන මැනවැ” යි කීයේය. “අපගේ වෙස් දරන්නෙකුට දෙමි” යි (තෙරුන්) කීයේය. මන්ත්‍ර පිණිස ආචාර්යයන් සහ මවුපියන්ගෙන් අවසර ගෙන මේ 113 මානවක තෙමේ මානවකයන් තුන්සියය හා සමග ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි පැවිදිව 114 සුදුසු කාලයෙහි උපසම්පන්න විය.

ඒ උපාලි ස්ථවිර තෙමේ දාසක ස්ථවිරයන් ප්‍රධාන කොට ඇත්තා වූ රහතුන් දහසකට ත්‍රිපිටකය ඉගැන්වූ 115 සේක. යම් කෙනෙක් ඒ ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි පිටකයන් උද්ග්‍රහණය කළෝ ද, ඒ සෝවාන් ආදී ආර්යයන් සහ පෘථග්ජනයෝ 116 ගණනින් ඉක්ම පැවතියහ.

කාසි ජනපදයෙහි සෝණක නම් වූ සාර්ථවාහ (වෙළෙඳ නායක) පුත්‍රයෙක් විය. වෙළෙඳාම් පිණිස මවුපියන් හා රජගහ නුවරට 117 ගියා වූ පහළොස් හැවිරිදි වූ ඒ කුමාර තෙමේ වේළුවනාරාමයට ගියේය. 118 මානවකයන් පස් පනස් දෙනෙක් (55) ඔහු පිරිවරා ගියහ. එහි පිරිවර භික්ෂු සමූහයා සහිත දාසක නම් ස්ථවිරයන් දැක ප්‍රසන්නව පැවිද්ද ඉල්ලා සිටියේය. ඒ ස්ථවිරයන් වහන්සේ, “තොපගේ මවුපියන්ගෙන් විචාරව” යි 119 වදාළ සේක.

ඒ සෝණක නම් කුමාර තෙමේ බත් වේල් තුනක් අනුභව නොකොට මවුපියන් ලවා පැවිද්දට අවසර ගෙන ආවේය. 120 ඒ පිරිවර කුමරුන් සමඟ දාසක ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි පැවිදිව, උපසම්පදාව ලැබ ත්‍රිපිටකය උගත්තේය. ඒ සෝණක නම් යති තෙමේ 121 පිටකත්‍රය දන්නා වූ ක්ෂීණාශ්‍රවයන් දහසක් ඇති දාසක ස්ථවිර ශිෂ්‍ය සමූහයාට ජ්‍යෙෂ්ඨ වූයේය.

තිස්ස කුමරු පැවිදි කරවීම

122 පාටලීපුත්‍ර නම් නගරයෙහි ප්‍රඥාවන්ත වූ සිග්ගව නම් අමාත්‍ය පුත්‍රයෙක් විය. දහඅට අවුරුදු වයස ඇති ඔහු ඍතු තුනට ගැළපෙන 123 ප්‍රාසාද තුනෙහි වසන්නේ, චණ්ඩවජ්ජි නම් වූ යහළු අමාත්‍ය පුත්‍රයා කැටුව 124 පුරුෂයන් පන්සියයක් විසින් පිරිවරන ලද්දේ, කුක්කුටාරාමයට ගොස්, 125 සමාපත්තියට සමවැදී වසන ලද ඉන්ද්‍රිය ඇතිව වැඩහුන් සෝණක 126 ස්ථවිරයන් දුටුවේය.

වැඳි කල කතා නොකරන්නා වූ උන්වහන්සේ ගැන 127 එහි වැඩ උන් ඒ සංඝයාගෙන් විචාළේය. “සමාපත්තියට සමවැදුණෝ කතා නොකරති” යැයි ඒ භික්ෂූහු වදාළහ. “කෙසේ නම් (සමාපත්තියෙන්) නැගිටිත් ද?” යැයි විචාරන ලද්දා වූ භික්ෂූහු පිළිතුරු දෙමින්, 128 “ශාස්තෲන් වහන්සේගේ කැඳවීමෙන් ද, සංඝයාගේ කැඳවීමෙන් ද, කාල පරිච්ඡේදය වූ පරිද්දෙන් (කාලය සම්පූර්ණ වීමෙන්) ද, ආයුෂයාගේ ක්ෂය වීම වශයෙන් ද නැගිටිති” යි කියා ඔවුන්ගේ පින් ඇති බව (හේතු සම්පත්) දැක සංඝයාගේ වචනයක් යැවූහ (සංඝයාගේ නමින් කැඳවූහ).

ඒ ස්ථවිර තෙමේ නැගිට 129 එහි වැඩි සේක. කුමාර තෙමේ, “වහන්ස, කුමක් හෙයින් කතා නොකළ සේක් ද?” යැයි විචාළේය. “අනුභව කටයුත්තක් අනුභව කළෙමු (සමාපත්ති සුවය වින්දෙමු)” යැයි ස්ථවිර තෙමේ වදාළේය. 130 “අපටත් අනුභව කරවුව මැනව” යැයි කුමාර තෙමේ කීයේය. “අප වැනි (පැවිදි) වූ කල්හි අනුභව කරවනු හැකිය” යි ස්ථවිර තෙමේ වදාළේය.

ඉක්බිත්තෙන් මවුපියන්ගේ අනුදැනීමෙන් ඒ සිග්ගව කුමාර තෙමේ ද, 131 චණ්ඩවජ්ජි කුමාර තෙමේ ද, ඒ පන්සියයක් පුරුෂයෝ ද සෝණක 132 නම් ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව උපසම්පන්නව, ඒ 133 දෙනම උපාධ්‍යායයන් සමීපයෙහිම පිටකත්‍රය ද උගත්හ. සුදුසු කාලයෙහි ෂඩ් අභිඥා ද ලැබූහ.

ඒ සිග්ගව නම් ස්ථවිර තෙමේ තිස්ස කුමාරයාගේ පිළිසිඳ ගැනීම දැන, 134 එතැන් පටන් සත් අවුරුද්දක් ඒ ගෙට වැඩියේය. “යව” යැයි කියන වචන මාත්‍රයක්වත් සත් අවුරුද්දක් මුළුල්ලේ නොලද්දේය. අටවෙනි අවුරුද්දෙහි (අන් තැනකට) “යව” (පලයන්) යන වචනයක් එතැන දී ලද්දේය.

135 (පසුව) ගෙට යන්නා වූ මොග්ගලී නම් බමුණු තෙමේ නික්ම යන්නා වූ උන්වහන්සේ දැක, “අපගේ 136 ගෙයිදී කිසි දෙයක් ලද්දෙහි ද?” යි විචාළේය. හෙතෙම “එසේය” යි කීයේය (වචනයක් ලද හෙයින්).

බ්‍රාහ්මණ තෙමේ ගෙට ගොස් විචාරා (කිසිත් නොදුන් බව දැන), එයින් දෙවැනි දවස්හි ගෙට 137 පැමිණි ස්ථවිරයන් වහන්සේට මුසාවාදයෙන් නිග්‍රහ කළේය. (වචන මාත්‍රයක් ලැබීම සඳහා “ලද්දෙමි” යැයි කියන ලද්දා වූ) ඒ ස්ථවිරයන් 138 වහන්සේගේ බස් අසා ප්‍රසන්න වූ ඒ බමුණු තෙමේ, තමන්ට (තමන් උදෙසා) කරන ලද බතින් උන්වහන්සේට නිති බතක් පැවැත්වූයේය.

ක්‍රමයෙන් ඒ ගෙයි වැසි සියලුම මනුෂ්‍යයෝ උන්වහන්සේට ප්‍රසන්න වූහ. බ්‍රාහ්මණ තෙමේ උන්වහන්සේ ගෙයි වැඩ හිඳුවා සෑම දාම වැළඳවූයේය. මෙසේ 139 ක්‍රමයෙන් කල් ගත වන විට ත්‍රිවේද නැමැති සයුර පරතෙරට පැමිණි ඒ තිස්ස කුමාර තෙමේ දහසය හැවිරිදි වයස් ඇත්තේ විය.

ස්ථවිර තෙමේ (මෙසේ මේ ගෙයි) 140 කතාබහක් හට ගැනීමක් වන්නේ යැයි සිතා, එක් දවසක් බ්‍රාහ්මණ මානවකයාගේ ආසනය හැර අන්‍ය වූ ආසනයක් 141 නොපෙනී යන ලෙස (අතුරුදන්) කළ සේක. ඒ බ්‍රාහ්මණ මානවක තෙමේ බඹ ලොවින් ආ හෙයින් පවිත්‍රත්වයට කැමැත්තේය. එහෙයින් ඔහු හිඳින පර්යංකය 142 වස්ත්‍රයෙන් වසා (දූවිලි නොවැදීමට) එල්ලා තබනු ලැබේ.

ස්ථවිරයන් වහන්සේ වැඩ සිටි කල්හි අන්‍ය වූ ආසනයක් නොදකිමින් කලබලයට පත් වූ (සම්ප්‍රම සහිත වූ) ගෙයි වැසි ජනයා ඒ බ්‍රාහ්මණ මානවකයාගේ ආසනය තෙරුන් වහන්සේට 143 පැනවූහ. මානවක තෙමේ ආචාර්යයන් සමීපයෙන් අවුත් එහි 144 උන්නා වූ තෙරුන් වහන්සේ දැක කිපී පරුෂ වචන කීයේය.

ස්ථවිර තෙමේ, “මානවකය, කිමෙක? මන්ත්‍ර දන්නෙහි ද?” යි ඔහුට 145 කී සේක. මානවක තෙමේ එම ප්‍රශ්නය ස්ථවිරයන් වහන්සේට පෙරළා යොමු කළේය. 146 ස්ථවිරයන් වහන්සේ “මන්ත්‍ර දනිමි” යි ප්‍රතිඥා කළ කල්හි, ඒ මානවක තෙමේ ස්ථවිරයන් වහන්සේගෙන් වේදයෙහි ගැටළු තැනක් විචාළේය. ඒ ඉක්බිත්තෙන් ස්ථවිර තෙමේ ඔහුට ඒ ප්‍රශ්නයන් විසඳා වදාළ සේක.

ඒ ස්ථවිර තෙමේ පූර්වයෙහි ගෘහස්ථ වූයේම වේදයෙහි පරතෙරට පත් වූයේය. ප්‍රතිසම්භිදා ප්‍රභේදයට (සිව් පිළිසිඹියාවට) ප්‍රාප්ත වූයේ ඔහුට කිමෙකැයි (කුමක් නම්) ප්‍රකාශ නොකරන්නේ ද?

නිර්භය වූ ස්ථවිර තෙමේ ද, “මානවකය, තා විසින් බොහෝ ප්‍රශ්නයන් අසන ලද්දෙමි. මම ද එකක් තාගෙන් විමසන්නෙම් ද?” යි කීහ. “විමසනු මැනව” යැයි ප්‍රතිඥා දුන් කල්හි:

147 “යමෙකුගේ චිත්තයක් උපදී ද, නිරුද්ධ නොවේ ද; ඔහුගේ චිත්තය (මතු) නිරුද්ධ වන්නේ ය, නූපදින්නේ ය. යමෙකුගේ චිත්තයක් හෝ වනාහි මතු නිරුද්ධ වන්නේ 148 ද, නූපදින්නේ ද; ඔහුගේ චිත්තය උපදින්නේ ය, නිරුද්ධ නොවෙයි” යන චිත්ත යමකයෙහි ප්‍රශ්නය විශාරද ස්ථවිර තෙමේ (මානවකයාගෙන්) 149 විචාළ සේක.

ඒ ප්‍රශ්නය ඔහුට අන්ධකාරයක් මෙන් (තේරුම් ගත නොහැකි) වූයේය. හෙතෙම, “මහණ, මේ කවර නම් මන්ත්‍රයක් ද?” යි ඒ තෙරුන් වහන්සේට කීයේය. ඒ ස්ථවිර තෙමේ “බුද්ධ මන්ත්‍රය” යි වදාළේය. “මට ද මන්ත්‍රය දෙනු මැනව” යි කී කල්හි, “එය අපගේ වෙස් දරන්නකුට (පැවිද්දෙකුට) දෙමි” යි වදාළ සේක.

150 ඒ මානවක තෙමේ මන්ත්‍රය පිණිස මව්පියන් විසින් අවසර දෙන ලද්දේ පැවිදි වූයේය. ස්ථවිර තෙමේ ඒ මානවකයා පැවිදි කොට සුදුසු පරිද්දෙන් කමටහන් 151 දුන් සේක. මහා ප්‍රඥා ඇත්තේ භාවනාවෙහි යෙදෙමින් නොබෝ කලකින් සෝවාන් ඵලයට පැමිණියේය.

152 ඒ සිග්ගව නම් ස්ථවිර තෙමේ එසේ සෝවාන් ඵලයට පැමිණි බව දැන චණ්ඩවජ්ජි නම් ස්ථවිරයන් වහන්සේ වෙත සූත්‍ර සහ අභිධර්මය උද්ග්‍රහණය පිණිස යැවූයේය. උන්වහන්සේ එහිදී ඒ ඉගැන්ම කළ සේක.

153 ඉක්බිත්තෙන් ඒ තිස්ස නම් ළදරු භික්ෂු තෙමේ විදර්ශනා භාවනාව ආරම්භ කොට සුදුසු කාලයෙහි ෂඩ් අභිඥාවෙන් යුක්ත වූ අර්හත් වූ සේක. ස්ථවිර භාවයට ද ප්‍රාප්ත වූ සේක. 154 ඒ ස්ථවිර තෙමේ සඳ සේ ද හිරු සේ ද (ලෝකයෙහි) අතිශයින් ප්‍රකට වූයේය. ලෝ වැසියා උන්වහන්සේගේ වචනය සර්වඥයන් වහන්සේගේ වචනය මෙන් සැලකුවේය.

උපරාජ තිස්ස කුමරුගේ පැවිදි වීම

මොග්ගලීපුත්ත තිස්ස නම් මහරහතන් වහන්සේගේ පහළ වීම මෙසේ සිදුවිය. එක් දිනක් උපරාජයා (රජුගේ සොහොයුරු තිස්ස කුමරු) මුව දඩයමේ ගොස් වනයෙහි කෙළනා 156 මුවන් දුටුවේය. ඒ දැක, “වනයෙහි තණපත් ගොදුරු කොට ඇත්තා වූ මුවෝ පවා මෙසේ ක්‍රීඩා කරති. එසේ නම් සැප වූ ආහාර විහරණ 157 ඇත්තා වූ භික්ෂූහු කුමක් හෙයින් ක්‍රීඩා නොකෙරෙද්දැ” යි මෙසේ සිතුවේය. ඒ යුවරජ 158 තෙම ගෙට ගියේ තම සිතිවිල්ල රජුහට දැන්වූයේය.

ඔහුට කරුණු අවබෝධ කරවනු පිණිස ඒ (අශෝක) රජ තෙම සත් දවසකට ඔහුට රාජ්‍යය දුන්නේය. “එම්බා කුමාරය, 159 තෝ මේ රාජ්‍යය සත් දවසක් අනුභව කරව. ඉන් මතු තා මරවන්නෙමි” යන මේ වචනය ද රජ තෙම කීවේය. සත් දවස ඉක්මුණ කල්හි වැහැරුණා වූ යුවරජහු දැක, “තෝ කුමකින් කෘශ වූයෙහිදැ” යි රජ තෙම 160 විමසුවේය.

“මරණ හේතුවෙන් වන්නා වූ භය කරණ කොට ගෙණය” යි කී කල්හි, රජ තෙම ඔහුට නැවත මෙසේ කියන්නේය. “මම සත් දිනකින් මැරෙන්නෙමැයි සිතා තෝ ක්‍රීඩා නොකෙළෙහිය. දරුව, එසේ නම් සෑම කල්හි 161 මරණ සංඥා ඇත්තා වූ මේ භික්ෂූහු කෙසේ ක්‍රීඩා කෙරෙද්දැ” යි කීයේය 162. මෙසේ සහෝදරයා විසින් කියන ලද්දා වූ හෙතෙම බුද්ධ ශාසනයෙහි පැහැදුනේය.

ඒ ප්‍රඥාවන්ත වූ යුවරජ තෙම කලෙක මුව දඩයමේ ගොස්, වෘක්ෂ මූලයක් 163 යට හුන්නා වූ, සල් අත්තකින් ඇතෙකු විසින් පවන් සලනු ලබන්නා වූ, 164 සන්හුන් ඉඳුරන් ඇති මහා ධම්මරක්ඛිත නම් රහත් තෙරුන් දැක, “මේ ස්ථවිරයන් 165 වහන්සේ මෙන් මම ද බුද්ධ ශාසනයෙහි පැවිදිව කවර කලෙක වනයෙහි වෙසෙම්දැ” යි සිතුවේය.

ස්ථවිර තෙම ඔහුගේ ප්‍රසාදය පිණිස උඩ නැගී 166 අහසින් ගොස් අශෝකාරාමයේ පොකුණු දිය මතුයෙහි සිටි සේක. 167 උතුම් වූ සිවුරු අහස තබා පොකුණට බැස ජලයෙන් ශරීර ස්පර්ශනය කළ සේක. උපරාජ තෙම ඒ සෘද්ධි දැක අතිශයින්ම පැහැද, නුවණැත්තේ ‘අදම පැවිදි වෙමියි’ සිතක් ද ඇතිකරගෙන මහරජාණන් කරා එළඹ ආදර සහිත වූයේ පැවිදි පිණිස අවසර ඉල්ලා සිටියේය.

මහීපති වූ රජ තෙම ඔහුව වළක්වනු 168 නොහැක්කේ, ඔහු රැගෙන මහ පිරිවරින් යුතුව තෙමේම විහාරයට ගියේය. 169 හෙතෙම මහා ධම්මරක්ඛිත නම් ස්ථවිරයන් වහන්සේ වෙත පැවිදි වූයේය. ඔහු හා සමාන අදහස් ඇති සාර ලක්ෂයක් (4,00,000) මනුෂ්‍යයෝ ද පැවිදි 170 වූහ. ඔහු අනුව පැවිදි වූවන්ගේ ගණනෙක් ද නොවීය.

අග්ගිබ්‍රහ්ම යයි ප්‍රසිද්ධ වූ රජහුගේ බෑණනුවන් වූ ද, රජහුගේ දියණිය වූ ඒ 171 සංඝමිත්තාවගේ ස්වාමිපුරුෂයා වූ ද කුමරුගේ පුත්‍ර තෙමේ ද නාමයෙන් සුමන නම් වූයේය. හෙතෙමේම රජහට යාච්ඤා කොට යුවරජ 172 හා පැවිදි වූයේය. මහ ජනයාගේ වැඩ සිදුවීම ඇත්තා වූ ඒ උපරාජහුගේ පැවිදි වීම තොමෝ ඒ අශෝක මහ රජහුගේ රාජාභිෂේකයෙන් 173 සතර වෙනි හවුරුද්දෙහි විය. එහිම උපසපන් වූ උපනිශ්‍රය සම්පන්න වූ ඒ යුවරජ තෙම වීර්‍ය්‍ය වඩන්නේ ෂඩ් අභිඥා සහිත රහත් ඵලයට පැමිණි සේක.

අසූහාර දහසක් වෙහෙර විහාර පූජාව

174 සියලු පුරයන්හි ආරම්භ කරන ලද්දා වූ ඒ මනහර වූ විහාරයන් 175 තුන් හවුරුද්දකින් මනා කොට නිම වූහ. කර්මාන්ත අධීක්ෂණය කළ ඉන්දගුත්ත නම් ස්ථවිරයන් වහන්සේගේ සෘද්ධි බලය හේතු කොට ගෙන අශෝකාරාම නම් විහාරය ද වහා නිම විය. මහීපාල තෙමේ සර්වඥයන් 177 වහන්සේ විසින් පරිභෝග කරන ලද ඒ ඒ තැන්හි ද සිත්කළු වූ චෛත්‍ය 178 කරවූයේය.

“විහාරයෝ නිමවන ලද්දාහු යැ” යි හසුන් පත් හාත්පසින් සුවාසූ දහසක් (84,000) නුවරින් එක දිනම ගෙනාවාහුය. මහත් තේජස් සෘද්ධි වික්‍රම ඇත්තා වූ මහරජ තෙමේ ඒ පත් හසුන් අසා සියලු ආරාමයන්ට 179 සම්බන්ධ වූ මහා පූජාව එකවරම කරනු කැමැත්තේ, “මෙයින් සත්වන දවස්හි සියලු දේශයන්හි සියලු ආරාම පූජාව එක විට වේවා! 180 මිහිතලෙහි යොදුනක් යොදුනක් තැන්හි මහ දන් දෙත්වා! ග්‍රාමාරාමයන්ගේ ද මාර්ගයන්ගේ ද සැරසිලි කෙරෙත්වා! සියලු විහාරයන්හි 181 ද භික්ෂූ සංඝයාට සර්ව ප්‍රකාරයෙන් හැකි පමණ මහ දන් පවත්වා, 182 පහන් මාලා, මල්මාලා අලංකාරයෙන් ද, ඒ ඒ තැන්හි සියලු තූර්‍ය්‍ය වාදනයෙන් 183 ද නොයෙක් පරිද්දෙන් පූජා පවත්වත්වා! සියල්ලෝ පෙහෙවස් අංගයන් සමාදන්ව ධර්මය ද අසත්වා! එදවස්හි ද නොයෙක් පූජා විශේෂයන් ද 184 කෙරෙත්වා” යි පුරයෙහි අණ බෙර හැසිරවූයේය.

සියල්ලෝ සෑම තැනම 185 සර්ව ප්‍රකාරයෙන් ආඥා කළ පමණටත් වැඩි වූ ද, දෙව් ලොව සැණකෙළි සෙයින් මනරම් වූ පූජාවන් පිළියෙළ කළහ. එදවස අන්තඃපුර ස්ත්‍රීන් සහිත 186 වූ, ඇමතියන් සහිත වූ, ඇත් අස් ආදී සේනාවන් විසින් පිරිවරණ ලද, 187 සව් අබරණින් සැරසුණු මහ රජ තෙම මිහිතල බිඳින සේ ඝෝෂා ඇතිව ස්වකීය ආරාමයට පැමිණ උත්තම සංඝයා වැඳ සඟ මැද සිටියේය.

ඒ සමාගමයෙහි අසූ කෙළක් (කෝටි අසූවක්) භික්ෂූහු වූහ. උන් වහන්සේලා අතුරෙන් අර්හත් භික්ෂූහු ලක්ෂයක් වූහ. එහි අනූ ලක්ෂයක් භික්ෂුණීහු ද වූහ. ඔවුන් 189 අතුරෙහි රහත් මෙහෙණින්නෝ දහසක් වූහ. ඒ රහතුන් වහන්සේලා 190 ධර්මාශෝක රජහුගේ ප්‍රසාදය පිණිස ‘ලෝක විවරණ’ නම් ප්‍රාතිහාර්‍ය්‍යයක් කළහ.

(ඒ රජ තෙම) පාප කර්ම හේතු කොට ගෙන පූර්වයෙහි 191 ‘චණ්ඩාශෝක’ යයි ප්‍රකට වූයේය; පසුව පුණ්‍ය කර්ම බලයෙන් ‘ධර්මාශෝක’ 192 යයි ප්‍රකට වූයේය. ඒ රජ තෙම මුහුද කෙළවර කොට ඇති දඹදිව 193 හාත් පසින් ද, නානා පූජායෙන් අලංකෘත වූ සියලු විහාරයන් ද (ප්‍රාතිහාර්ය බලයෙන්) දුටුයේය.

ශාසන දායාදය සහ මහින්ද සංඝමිත්තා පැවිද්ද

ඒ විහාරයන් දැක අතිශයින්ම සතුටුව හිඳ, “වහන්ස, බුද්ධ ශාසනයෙහි 194 කාගේ පරිත්‍යාගයක් මහත්වූ දැ” යි සංඝයා විචාළේය. ඒ මොග්ගලීපුත්ත නම් ස්ථවිර තෙම, “සර්වඥයන් වහන්සේ ජීවමාන කාලයෙහි ද තොප හා 195 සම වූ ත්‍යාගවන්තයෙක් නැත්තේ ය” යි රජහුගේ ප්‍රශ්නය විසඳා වදාළේය.

එබස් අසා සතුටු වූ රජ තෙම, “මත්තෙහි ද මා වැන්නෙක් බුද්ධ 196 ශාසනයෙහි නෑයෙක් වේ දැ” යි නැවතත් ඒ ස්ථවිරයන් විචාළේය. 197 ශාසන භාරධාරී වූ ඒ ස්ථවිර තෙම, මහින්ද නම් වූ රාජ පුත්‍රයාගේ ද, 198 එසේම සංඝමිත්‍රා නම් වූ රජ දුවගේ ද හේතු සම්පත් (පැවිදිවීමට ඇති පින) බලා, “එබඳු වූ මහා 199 පරිත්‍යාග ඇත්තෙක් ද ශාසනයාගේ නෑදෑයෙක් නොවන්නේය. 200 නරේන්ද්‍රය, හෙතෙම ප්‍රත්‍යය දායක යයි කියනු ලබන්නේය. යමෙක් තෙම වනාහි පුතෙක් හෝ දුවක් හෝ සස්නෙහි පැවිදි කරවා ද, හෙතෙම ශාසනයට දායාද වන්නේය. හුදෙක් දායකම නොවන්නේය” යි රජහට ප්‍රති වචන වදාළේය.

ඉක්බිත්තෙන් ශාසන දායාද භාවය පතන්නා වූ මිහිපති තෙම, “කිමෙක දරුවෙනි, පැවිදි වන්නාහු ද? ප්‍රව්‍රජ්‍යා තොමෝ මහත් යයි දන්නා ලදී” යි එහි සිටියා වූ මිහිඳු කුමරු ද සඟමිත් කුමරිය ද විචාළේය.

201 පියාණන් බස් අසා ඔව්හු, “දේවයන් වහන්ස! ඉදින් ඔබ කැමැති 202 සේක් නම් අදම පැවිදි වන්නෙමු. පැවිද්දෙන් අපට ද නුඹ වහන්සේට ද ලාභය” යි පිය රජාණන්ට කිවුය. ඒ මහින්ද කුමාර තෙම යුවරජහු (තිස්ස කුමරු) 203 පැවිදි වූ කල් පටන් ද, ඒ සංඝමිත්තා කුමරිය අග්ගිබ්‍රහ්ම කුමාරයා පැවිදි වූ කල් පටන් ද, පැවිදි වීම පිණිස කරණ ලද නිශ්චය ඇත්තෝ වූහ.

204 මහීපති තෙමේ උපරජ තනතුර මිහිඳු කුමරුහට දෙනු කැමැත්තේ වුවද, ඊටත් වඩා පැවිද්දෙහි අධික වූ ආසා ඇත්තේ යයි ප්‍රව්‍රජ්‍යාවටම රුචි කළේය. 205 ඥාන රූප බලයෙන් ප්‍රකට වූ මහේන්ද්‍ර නම් වූ ප්‍රිය පුත්‍රයා ද, සංඝමිත්‍රා නම් දියණියන් ද පූජා සහිත කොට පැවිදි කරවූයේය.

206 එකල ඒ මිහිඳු නම් වූ රජ කුමාර තෙමේ විසි වයස් ඇත්තේ වූයේය. 207 සංඝමිත්තා නම් වූ රජ දූ තොමෝ අටළොස් (18) හැවිරිදි වයස් ඇත්තී විය. ඒ කුමාරයාහට ප්‍රව්‍රජ්‍යාව ද උපසම්පදාව ද එදවසම වූයේය. ඒ රජ දුවට ද ප්‍රව්‍රජ්‍යාව හා ශික්ෂා දානය එදවස්හි විය.

මොග්ගලීපුත්ත 208 තිස්ස නම් ස්ථවිර තෙම මිහිඳු කුමරහට උපාධ්‍යාය වූයේය. මහාදේව නම් ස්ථවිර තෙම පැවිදි කරවූයේය. මජ්ඣන්තික නම් වූ ස්ථවිර 209 තෙම වනාහි කර්මවාක්‍ය (උපසම්පදා වාක්‍ය) කථනය කළේය. ඒ ස්වකීය වූ උපසම්පදා මණ්ඩලයෙහි ඒ මහින්ද යති තෙම සිවුපිළිසිඹියා සහිත වූ අර්හත් ඵලයට පැමිණියේය.

ධර්මපාලා යයි ප්‍රසිද්ධ වූ මෙහෙණි තොමෝ 210 සංඝමිත්‍රා නම් කුමාරිකාවට උපාධ්‍යාය විය. ආයුපාලී නම් මෙහෙණි තොමෝ ආචාර්ය විය. ඕ තොමෝ සුදුසු කාලයෙහි රහත් විය. ශාසනයට 211 පහන් වූ ලංකාද්වීපයට උපකාරී වූ ඒ දෙදෙනා ධර්මාශෝක නම් මහ රජුගේ සවෙනි වර්ෂයෙහි පැවිදි වූහ. ලංකා ද්වීප ප්‍රසාදක වූ මහා 212 මහේන්ද්‍ර යති තෙම උපාධ්‍යායන්ගේ සමීපයෙහි තුන් හවුරුද්දකින් පිටකත්‍රය උගත්තේය. චන්ද්‍ර රේඛාවක් වැනි වූ ඒ මෙහෙණි තොමෝ 213 ද, සූර්යයා සමාන වූ මහේන්ද්‍ර භික්ෂු තෙමේ ද යන ඒ දෙදෙන ඒ ඒ කාලයෙහි 214 නිරන්තරයෙන් සර්වඥ ශාසන නමැති ආකාශය ශෝභමාන කළහ.

කුන්තකින්නරී පුත්‍රයන්ගේ කථාව

පූර්වයෙහි පැළලුප් නුවරින් නික්ම වනයෙහි හැසිරෙන්නා වූ 215 වනචර පුරුෂයෙක් තෙම කුන්ත කින්නරියක් සමග සංවාසය කළේය. ඕ තොමෝ ඔහු හා සංවාසයට පැමිණ පුතුන් දෙදෙනෙක් ඉපදවීය. දෙටු තෙමේ තිස්ස නම් විය. කණිටු තෙමේ සුමිත්ත නම් විය. සුදුසු කාලයෙහි මහා වරුණ නම් ස්ථවිරයන්ගේ සමීපයෙහි පැවිදිව 216 දෙදෙනම ෂඩ් අභිඥා ගුණ ඇත්තා වූ අර්හත් භාවයට පැමිණියහ.

වැඩිමහල් තිස්ස ස්ථවිර තෙම පාදයෙහි ගෝනුසු විෂයකින් ස්පර්ශ 217 කරණ ලද්දේ වේදනා සහිත වූයේය. කණිටු වූ සුමිත්‍ර ස්ථවිරයන් විසින් විචාරණ ලද්දා වූ ස්ථවිර තෙම, “ගිතෙල් පතක් බෙහෙත (ලැබිය 218 යුතු යැයි)” කීයේය. ඒ ස්ථවිර තෙම ගිලන්වතින් නමුත් රජහට දැන්වීම ද, පස්වරු වේලෙහි ගිතෙල් පිණිස හැසිරීම ද ප්‍රතික්ෂේප කළ සේක.

“ඉදින් තෙපි පිඬු පිණිස හැසිරෙමින් ගිතෙල් ලබන්නාහු නම් එය ගෙනව” යි තිස්ස නම් ස්ථවිර තෙම සුමිත්ත නම් උතුම් ස්ථවිරයන් වහන්සේට 219 කී සේක. පිඬු පිණිස හැසිරෙන්නා වූ උන් වහන්සේ විසින් ගිතෙල් 220 පතක් නොලද්දේය. හටගත් රෝගය තෙම ගිතෙල් කළ සියයකින් හෝ සාධ්‍ය නොකට හැකි විය.

ස්ථවිර තෙම එම රෝගයෙන්ම ආයුෂයාගේ අන්තයට පැමිණියේ, අප්‍රමාදව වාදයෙන් (භික්ෂු සංඝයාට) 221 අවවාද කොට පිරිනිවන් පාන්නට සිතුසේක. ඒ ස්ථවිර තෙම ආකාශයෙහි හිඳ, තේජෝ ධාතු වශයෙන් රුචි වූ පරිද්දෙන් ශරීරය අධිෂ්ඨාන 222 කොට තබා පිරිනිවියේය. ශරීරයෙන් අග්නි ජ්වාලාවෝ නික්ම මාංස 223 භස්ම රහිත කොට ස්ථවිරයන්ගේ සකල දේහය දැවූහ.

මහීපති තෙම මේ තිස්ස නම් ස්ථවිරයන්ගේ පරිනිර්වාණය අසා ජන සමූහයා විසින් 224 පිරිවරන ලද්දේ ස්වකීය වූ අශෝකාරාමයට ගියේය. අත් කඳ (ඇත් ස්කන්ධය) මත්තට 225 පැමිණි රජ තෙම ඒ අස්ථි ධාතූන් අහසින් පහත කොට බැස්විය. ධාතු සත්කාර කොට, “ඒ (මරණ හේතු වූ) රෝගය කිමෙක් දැ” යි සංඝයාගෙන් විචාළේය. 226 ඒ අසා හටගත් සංවේග ඇත්තේ, නුවර සතර දොර සුනුවමින් කරණ ලද පොකුණු බෙහෙතින් පුරවා, “භික්ෂු සංඝයාට බෙහෙත් දුර්ලභ 227 නොවේවා” යි දවසක් දවසක් පාසා භික්ෂු සංඝයාට බෙහෙත් පැමිණවූයේය.

සුමිත්‍ර නම් ස්ථවිර තෙම සක්මන් මළුවෙහි සක්මන් කරන්නේම 228 පිරිනිවි සේක. ඒ කරණ කොට ගෙන ද මහාජන තෙම සස්නෙහි බෙහෙවින් පැහැදි වූයේය. ඒ ලෝකහිතකාරීවූ කුන්ත පුත්‍ර ස්ථවිර 229 දෙදෙනා වහන්සේ ධර්මාශෝක රජහුගේ අට වෙනි වර්ෂයෙහි 230 පිරිනිවන් පෑවහුය.

ශාසනාරක්ෂාව සහ මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ

පසුව ප්‍රසන්න වූ ජනයෝ ද යම් හෙයකින් ලාභ පැවැත්වූ ද, එහෙයින් එතැන් පටන් සංඝයාට ලාභ ඉතා මහත් විය. ලාභ සත්කාර හීන වූ තීර්ථකයෝ ලාභ හේතුවෙන් තමන්ම 231 සිවුරු දරාගෙන භික්ෂූන් සමග විසූහ. ඔව්හු යම්සේ ස්වකීය වාදය ද බුද්ධ වාදය යයි ප්‍රකාශ කළාහු ද, යම් සේ ස්වකීය වූ ශාසනයෙන් බාහිර වූ අග්නි හෝමාදී ක්‍රියාවන් රුචි වූ පරිද්දෙන් කළාහු ද, 232 එසේ හෙයින් ස්ථිර වූ ගුණ ප්‍රකාශ ඇත්තා වූ මොග්ගලීපුත්ත නම් වූ ස්ථවිර 233 තෙම ඒ උපන් ඉතා කර්කශ වූ ශාසනාර්බුදය දැක, දීර්ඝ දර්ශී වූයේ, ඒ 234 ශාසනාර්බුදයාගේ ව්‍යපසමනයෙහි (සංසිඳවීමේ) කාලය බලා වදාරා, ස්වකීය වූ මහා භික්ෂු සංඝයා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේට පාවාදී, ගංගා නම් 235 නදියෙහි ඌර්ධව භාගයෙහි වූ අභෝගංගා නම් පර්වතයෙහි විවේක කැමැති වෙමින් සත් හවුරුද්දක් විසූයේය.

තීර්ථකයන් බහුල බැවින් ද, 236 දුර්වච බැවින් ද ඔවුන් අදැහැමින් වළක්වන්නට භික්ෂූහු නොහැකි වූහ. 237 එහෙයින්ම දඹදිව සියලු ආරාමයන්හි භික්ෂූහු සත් හවුරුද්දක් පොහෝ පවුරුණ නොකළහ. මහා යශස් ඇති ධර්මාශෝක මහ රජ තෙම ඒ අසා, 239 “තෝ ගොස් මේ අධිකරණය සංසිඳුවා මාගේ ආරාමයෙහි භික්ෂු සංඝයා ලවා පොහොය කරවව” යි කියා එක් ඇමැතියෙකු උතුම් අශෝකාරාමයට 240 යැවූයේය.

ඒ නුවණ මඳ ඇමැති තෙම ගොස් භික්ෂු සංඝයා රැස් කරවා, “පොහෝ කරව්” යයි රජහුගේ හස්න දැන්වීය. “අපි තීර්ථකයන් හා සමග පොහෝ නොකරම්” යි භික්ෂූ සංඝ තෙම ඒ මූඪ චිත්තාන්විත වූ 241 ඇමැතියාහට කීය. ඒ අමාත්‍ය තෙම “පොහොය කරවම්හ” යි පිළිවෙළින් තෙර කීප දෙනෙකුන්ගේ හිස් කපා හෙළුවේය. රජහුගේ සොහොයුරු 242 වූ තිස්ස නම් ස්ථවිර තෙම ඒ ක්‍රියාව දැක වහා අවුත් ඔහුට ආසන්න වූ අසුනෙක හුන්නේය. ඒ ඇමැති තෙම තෙරුන් දැක රජහට දැන්වූයේය.

243 ඒ සියලු පවත් අසා හටගත් දාහ (කම්පාව) ඇති රජ තෙමේ භයින් චකිත 244 සිත් ඇත්තේ වහා ගොස්, “මෙසේ කරණ ලද කර්ම කරණ කොට ගෙන කවරෙකුට පාපය වේ දැ” යි භික්ෂු සංඝයා විමසුවේය. ඒ භික්ෂූන් 245 අතුරෙන් කිසි කෙනෙක්, “පාපය තොපටය” යි ද, කිසි කෙනෙක් වනාහි, “තොප දෙදෙනාට මය” යි ද කීහු. පණ්ඩිතයෝ වනාහි, “පාපය තොපට 246 නැතැ” යි කීහු.

මහරජ තෙම ඒ අසා, “මාගේ විමතිය පහකොට ශාසනය යථා ස්ථානයෙහි තබන්නට පොහොසත් ශ්‍රමණ කෙනෙක් ඇත්තේ දැ” යි කීයේය. 247 “මහ රජාණෙනි, ඒ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ ඇත්තේ ය” යි සංඝ තෙම රජහට වදාළේය.

රජතෙම 248 උන්වහන්සේ කෙරෙහි ආදර සහිත වූයේය. වෙන් වසයෙන් භික්ෂූන් 249 දහස දහසින් පිරිවරණ ලද්දා වූ ස්ථවිර සතර නමක් ද, එසේම මනුෂ්‍යයන් 250 දහස දහසින් පිරිවරණ ලද්දා වූ අමාත්‍යයන් සතර දෙනෙක් ද, ඒ රජ තෙම එදවසම තමන් වචනයෙන් තෙරුන් වහන්සේ කැඳවන්නට යැවූයේය. 251 ඔවුන් විසින් එසේ කියන ලද්දා වූ ඒ ස්ථවිර තෙම නොවැඩි සේක. ඒ අසා නැවත පෙර පරිද්දෙන් ස්ථවිර අට නමක් ද, වෙන් වසයෙන් දහස් පුරුෂයන් පිරිවර කොට ඇත්තා වූ අමාත්‍යයන් අට දෙනෙක් ද යැවූයේය. ඒ ස්ථවිර තෙම නොවැඩි සේක.

“කෙසේ ස්ථවිරයන් 252 වහන්සේ වඩනේදෝ හෝ” යි රජ තෙම ඇසීය. භික්ෂූහු, “මහරජ, ’ස්වාමීන් 253 වහන්ස, ශාසනය උසුලා ගන්නට උපස්ථම්භක වේවා’ යි කියන ලද්දේ 254 නම් ඒ ස්ථවිර තෙම වඩන්නේය” යි ස්ථවිරයන් වහන්සේගේ ආගමන කාරණය කීහු. රජ තෙම නැවත ද වෙන් වසයෙන් දහස දහස පිරිවර 255 කොට ඇත්තා වූ ස්ථවිරයන් සොළොස් නමක් හා අමාත්‍යයන් සොළසක් ද එසේ කියා යැවූහ. “මහලු බැව්හි සිටියා වූ ද තෙරුන් වහන්සේ යානාවකට නොනඟින්නේ යයි (අසා) තෙරුන් වහන්සේ නැවකින් ගඟෙහි ගෙන එව්ය” යි ද කීයේය. ඔව්හු ගොස් (තෙරුන් වහන්සේට) එසේ කීහ. උන්වහන්සේ ඒ ඇසූ කෙණෙහිම නැඟිට වදාළේය.

256 නැවකින් තෙරුන් වහන්සේ ගෙනාවාහුය. රජ තෙම එහි පෙර 257 ගමන් කෙළේය. රජ තෙම දණක් පමණ දියට බැස ගෞරව ඇත්තේ, 258 නැවින් බස්නා තෙරුන් වහන්සේට දකුණු අත දුන්නේය. රජහට 259 අනුකම්පාකාරී වූ දක්ෂිණාර්භ වූ ඒ ස්ථවිර තෙම රජහට අනුකම්පාවෙන් ඒ දකුණු අත අල්වා ගෙන නැවින් බටුයේය.

පෘථිවීශ්වර වූ රජ තෙම ආලය වඩන්නා වූ උයනට තෙරුන් වහන්සේ පමුණුවා, තෙරුන් වහන්සේගේ පාදයන් ධෝවනය කොට, තෙල් ගල්වා හිඳගෙන, 260 ස්ථවිරයන් වහන්සේගේ සමර්ථතාවය විමසන්නේ, “වහන්ස මම පෙළහරක් දකිනු කැමැත්තෙමි” යි කීයේය. “කිමෙක් දෑ” වදාළ 261 කල්හි, “පෘථිවි කම්පාවක් දකිනු කැමැත්තෙමි” යි කීයේය. “සර්ව පෘථිවීහුගේ කම්පාවෙක් ද, ප්‍රදේශ පෘථිවියක්හුගේ කම්පාවෙක් දකිනු කැමැත්තෙහි දැ” යි නැවතත් තෙරුන් වහන්සේ වදාළේය. “එයින් 262 කවරෙක් දුෂ්කර දැ” යි විචාරා, “ඒක දේශ පෘථිවිහුගේ කම්පාව දුෂ්කර ය” යි 263 අසා එය දකිනු කැමැති බව සැල කළේය.

ස්ථවිර තෙම යොදුනක් ඉම අතර සතර දිග රථයක් ද, අශ්වයෙක් ද, මනුෂ්‍යයෙක් ද, දිය පිරූ 264 තලියෙක් ද යන මොවුන් තබ්බවා, ඔවුන්ගේ (ඉම ඇතුළට පත්) අවයවයන් 265 සමග ඒ යොදුනක් පමණ පොළොව සෘද්ධියෙන් කම්පා කළේය. එහි උන් රජහට ද දැක්වූයේය.

“ඒ ඇමැතියා විසින් භික්ෂුන් මැරීමෙන් තමහට ද පාපය ඇති නැති බැව්” මහ රජ තෙම ස්ථවිරයන් විචාළේය. “කිලුටු සිතින් වෙන්ව, ඒ නිසා වන කර්මයක් නැතැ” යි තිත්තිර ජාතකය 266 වදාරා ස්ථවිර තෙම රජහට අවබෝධ කරවීය. එහි සිත් කලුවූ රජ 267 උයනෙහි සත් දවසක් වසන්නේ යහපත් වූ සර්වඥාගම රජහට ඉගැන් 268 වූයේය.

පාපී භික්ෂූන් නෙරපීම සහ තෘතීය සංගායනාව

රජ තෙම එම සත් දවසෙහි යක්ෂයින් දෙදෙනෙකු යවා පොළෝ තෙළෙහි සියලු භික්ෂූන් එක්තන්හි රැස්කර වූයේය. සත්වන දවස්හි සිත් කලු වූ සිය අරමට පැමිණ නිරවශේෂ වශයෙන් භික්ෂු සංඝයා රැස් කරවූයේය. 269 ස්ථවිරයන් වහන්සේ සමග තිරය තුල එක් තැනෙක හුන්නාවූ 270 මිහිපති තෙම, එක එක ලබ්ධි ඇත්තා වූ භික්ෂූන් සමීපයට කැඳවා ගෙන, “වහන්ස සර්වඥයන් වහන්සේ කිනම් වාද ඇත්තේ දැ” යි විචාළේය. 271 ඔව්හු ස්වකීය වූ පරිද්දෙන් ශාශ්වතාදි දෘෂ්ටි ප්‍රකාශ කළෝය. ඒ සියලු මිථ්‍යාදෘෂ්ටිකයන් රජ තෙම සිවුරු හැරවූයේය. 272 සිවුරු හරවන ලද සියල්ලෝ සැට දහසක් (60,000) වූහ.

සුගත තෙම කිනම් වාද ඇත්තේ දැයි ධාර්මික භික්ෂූන් විචාළේය. “විභජ්ජවාදී” 273 භාවය උන් වහන්සේලා කීහු. මහීපති තෙම, “වහන්ස සර්වඥ තෙම විභජ්ජවාදී දැ” යි ස්ථවිරයන් විචාළේය. ඒ ස්ථවිර තෙම, “එසේ ය” යි 274 වදාළේය. එකල ඒ අසා සතුටු සිත් ඇත්තා වූ රජ තෙම, “යම් හෙයකින් සංඝ තෙම ශෝධිත ද, එහෙයින් වහන්ස සංඝ තෙම පොහෝ කෙරේවා” 275 යි මෙසේ තෙරුන් වහන්සේට කීයේය. සංඝයාට ආරක්ෂා දී මහීපති තෙම යහපත් නුවරට ප්‍රවිෂ්ට වූයේය.

276 එකල සංඝ තෙම සමගි පොහොය කෙළේය. ස්ථවිරයන් වහන්සේ නොයෙක් සංඛ්‍යා ඇති භික්ෂු සංඝයා අතුරෙන් විසාරද වූ, 277 ෂඩ් අභිඥා ඇත්තා වූ, ත්‍රිපිටකධාරී වූ, ප්‍රභේද ප්‍රාප්ත ප්‍රතිසම්භිදා ඇති 278 භික්ෂූන් දහසක් ධර්ම සංගායනා කරනු පිණිස තෝරා ගත්තේය. උන් වහන්සේලා සමග අශෝකාරාමයෙහි ධර්ම සංගීතිය කළේය.

මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද යස ස්ථවිරයන් වහන්සේ ද යන ඒ ස්ථවිරයෝ තුමු යම්සේ ධර්ම සංගායනා කරවූ ද, මොග්ගලීපුත්ත 279 තිස්ස ස්ථවිර තෙමේ ඒ ධර්ම සංගායනාව එසේම කරවූයේය. පරවාද 280 මර්ධනය කරන්නාවූ ‘කථාවස්තු ප්‍රකරණය’, ඒ සංගීති මණ්ඩලයෙහි 281 තිස්ස ස්ථවිරයන් වහන්සේ ම වදාළේය. මෙසේ ධර්මාශෝක මහරජුගේ ආරක්ෂාව කරණ කොට ගෙන භික්ෂූන් දහසක් විසින් මේ ධර්ම සංගීත 282 තොමෝ නව මසින් නිම වන ලද්දේය.

රජහුගේ රාජ්‍යාභිෂේකයෙන් සතළොස් (17) වන වර්ෂයෙහි, දෙසැත්තෑ වස් ඇත්තා වූ ඒ සෘෂි තෙම මහා පවාරණයෙහි දී සංගායනාව සමාප්ත කරවූයේය. ශාසන ස්ථිති හේතුවෙන් සාධුකාර දෙන්නියක මෙන් සංගීති අවසානයෙහි මහ පොළොව තොමෝ කම්පිත විය. 283 ඒ මොග්ගලීපුත්ත තිස්ස නම් වූ ස්ථවිරයන් වහන්සේ මනෝඥ ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්ම විමානය ද හැර ශාසනය හේතු කොට පිළිකුල් වූ මිනිස් ලොවට අවුත් කරණ ලද කටයුතු ඇත්තේ ශාසන කෘත්‍යය කෙළේය. අන්‍ය වූ කවරෙක් ශාසන කෘත්‍යයෙහි ප්‍රමොපේත (ප්‍රමාද) වේ ද?