4. දෙවැනි ධර්ම සංගායනාව

star_outline
පීතෘ ඝාතක රාජ වංශය

1 අජාසත් රජුගේ පුත්‍ර වූ ද, මිත්‍ර ද්‍රෝහී වූ ද උදායිභද්‍ර නම් රජතෙමේ, ඒ අජාසත් රජු මරවා දහසය වසරක් රාජ්‍යය කරවූයේය. 2 උදායිභද්‍ර රජුගේ පුත්‍ර වූ අනුරුද්ධ කුමාරයා ඒ උදායිභද්‍ර රජු මරවා ද, අනුරුද්ධ රජුගේ පුත්‍ර වූ මුණ්ඩ කුමාරයා ඒ අනුරුද්ධ රජු නසා ද යනුවෙන්, මිත්‍ර ද්‍රෝහී වූ ද දුෂ්ට අදහස් ඇත්තා වූ ද ඔවුහු රාජ්‍යය කරවූහ. 3 ඒ දෙදෙනාගේ (අනුරුද්ධ සහ මුණ්ඩ) රාජ්‍ය සමයන්හි අට අවුරුද්දක් ඉක්ම ගියේය. මුණ්ඩ රජුගේ පුත්‍ර වූ පවිටු නාගදාසක තෙමේ පියා මරවා විසිහතර වසරක් රාජ්‍යය කරවූයේය.

4 ඉක්බිත්තෙන් “මේ මුළු වංශයම පීතෘ ඝාතක වංශයක්ය” යි කිපුණු නුවරවැසියෝ සමගි වී නාගදාසක රජු පහකොට, 6 යහපත් මිනිසුන් විසින් සම්මත කරන ලද්දා වූ, සුසුනාග යැයි ප්‍රසිද්ධ වූ, සියල්ලන්ට හිතවත් සිත් ඇති ඇමතියෙකු රාජ්‍යයෙහි මැනවින් අභිෂේක කළහ. 7 ඒ රජතෙමේ දහඅට වසරක් රාජ්‍යය කරවූයේය. ඔහුගේ පුත් වූ කාලාශෝක රජතෙමේ විසිඅට වසරක් රාජ්‍යය කරවූයේය.

දස වස්තුව සහ වජ්ජිපුත්‍රක භික්ෂූන්

8 කාලාශෝක රජුගේ රාජ්‍ය සමයෙහි දස වෙනි වසර ඉක්ම ගිය කල්හි, මෙලෙස ගණන් පිළිවෙළින් සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වසර සියයක් සම්පූර්ණ විය. 9 එකල්හි විශාලා මහනුවර වාසය කරන ලජ්ජා නැති වූ නොයෙක් වජ්ජිපුත්‍රක භික්ෂූහු, 10 සිංගිලෝනකප්පය, ද්වංගුලකප්පය, එසේම ගාමන්තරකප්පය, ආවාසකප්පය, අනුමතිකප්පය, ආචිණ්ණකප්පය, අමථිතකප්පය, ජලෝගිකප්පය, අදසකනිසීදනකප්පය, ජාතරූපාදිකප්පය යැයි මෙසේ අකැප වූ දස වස්තූන් කැප යැයි ප්‍රකාශ කළහ.

(මෙහි සිංගිලෝනකප්ප නම් ලුණු නැති ආහාර ලද විට, ඒ හා මිශ්‍ර කොට වැළඳීම පිණිස ගෙරි අං ආදී පුලාවක බහා තබාගෙන ලුණු පරිහරණය කිරීමයි. ද්වංගුලකප්ප නම් ඉර මුදුනෙන් ඉවත්වී ඇඟිලි දෙකක සෙවණැලි වැටෙන තෙක් විකල් භෝජන වැළඳීමයි. ගාමන්තරකප්ප නම් දැන් වෙනත් ගමකට යන්නෙමු යැයි පවරා, කැප නොකළ හා ඉතිරි නොවූ භෝජනය වැළඳීමයි. ආවාසකප්ප නම් මහා සීමාව තුළ පිහිටි නා නා ආවාසයන්හි වෙන් වෙන්ව පොහෝය කර්ම කිරීමයි. ආචිණ්ණකප්ප නම් ආචාර්ය උපාධ්‍යායන් විසින් පුරුදු කළ දෙය යැයි සිතා අකැප දේ පැවැත්වීමයි. අමථිතකප්ප නම් කිරිත් නොවූ දීත් නොවූ කිරි, කැප කරවා නොගෙන වැළඳීමයි. ජලෝගිකප්ප නම් යමක් සුරා බවටත් නොපැමිණියේ ද, මද්‍ය බවටත් නොගියේ ද, එබඳු වූ පැසෙන්නට නොලූ බොරදිය වැනි සුරා බීමයි. අදසකනිසීදනකප්ප නම් දාවලු (වාටි) නැති නිසීදන (ඇඳිරිලි) පරිහරණයයි. ජාතරූපාදිකප්ප නම් රන්, රිදී, මසු, කහවණු ආදිය පිළිගැනීමයි. යන මෙතෙක් දේ භික්ෂූන්ට කැප යැයි වජ්ජිපුත්‍රක භික්ෂූන් විසින් උපදවන ලද දස වස්තු නම් වේ. මෙහි පවාරණ පටිග්ගහණාදියෙහි වැඩි විස්තර විනය නියමයන් අනුව දත යුතුය.)

යස තෙරුන් වහන්සේගේ මැදිහත් වීම

11 වජ්ජිරට චාරිකාවෙහි වඩිනා වූ, ෂඩ් අභිඥා ඇත්තා වූ, මහා බල ප්‍රාප්ත වූ කාකණ්ඩක පුත්‍ර යස ස්ථවිර තෙමේ ඒ පුවත ඇසුවේය. යස ස්ථවිර තෙමේ එය සංසිඳුවීම පිණිස උත්සාහ සහිත වූයේ එහි මහා වනයට වැඩම කළේය. 12 ඒ වජ්ජි රටවාසී භික්ෂූහු පොහෝ ගෙයි ජලය සහිත ලෝහ තලියක් තබා, “සඟුන් හට කහවණු ආදිය දෙව්” යැයි කියා උපාසකයන්ට කීහ. 13 ඒ යස ස්ථවිර තෙමේ, “මෙය නොකැපය, එය නොදෙව්” යැයි කියා එය වැළැක්වූයේය. 14 එවිට ඒ භික්ෂූහු යස ස්ථවිරයන් වහන්සේට ‘පටිසාරණීය’ නම් විනය කර්මය කළහ. 15 ඒ ස්ථවිර තෙමේ තමන් හා පැමිණි අනුදූතයෙකු අල්වාගෙන ඔහු හා සමඟ නුවරට පිවිසියේය. 16 තමන් ධර්මවාදී බව නුවරවැස්සන්ට හැඟවූ උන්වහන්සේ නැවත පෙරළා වැඩි සේක.

අනුදූත භික්ෂුවගේ බස් අසා ඒ ස්ථවිරයන් වහන්සේට ‘උක්ඛේපනීය’ නම් කර්මය (සඟුන්ගෙන් බැහැර කිරීම) කරන්නට පැමිණි භික්ෂූහු ස්ථවිරයන් වහන්සේගේ ගෘහය වටකොට සිටියෝය. 17 ස්ථවිර තෙමේ අහසට නැගී එතැනින් කොසඹෑ නුවරට වැඩම කොට, අධෝගංග පර්වත විහාරයට තෙමේ වැඩමවා පාවා රට වාසී වූ ද, අවන්ති රට වාසී වූ ද භික්ෂූන් වෙත වහා දූතයන් යැවූ සේක. 18 උන්වහන්සේ සාණවාසී සම්භූත නම් ස්ථවිරයන් වහන්සේට ද ඒ සියලු පුවත් දැන්වූ සේක.

රහතන් වහන්සේලා ඒකරාශී වීම සහ රේවත තෙරුන් හමුවීම

19 පාවා රට වාසී වූ සැට නමක් ද, අවන්ති රට වාසී වූ අසූ නමක් ද යන සියලු මහරහත් ස්ථවිරයන් වහන්සේලා අධෝගංග පර්වත විහාරයට බැස්සාහුය. එහි ඒ ඒ තැනින් රැස් වූ භික්ෂූහු සියල්ලෝ ම අනූ දහසක් වූහ. 20 රාගාදී ක්ලේශ රහිත ඒ ස්ථවිරයන් වහන්සේලා එකිනෙකා සාකච්ඡා කොට, 21 ක්ෂීණාශ්‍රව වූ බහුශ්‍රැත වූ සොරෙය්‍ය රට වැසි රේවත ස්ථවිරයන් වහන්සේ ඒ කාලයෙහි ප්‍රධානියා වශයෙන් දැන, උන්වහන්සේ දැකගනු පිණිස 22 ඒ තෙරුන් වහන්සේලා නික්මුණාහ. ඒ රේවත ස්ථවිරයන් වහන්සේ ඒ සාකච්ඡාව දිව කණින් අසා, විශාලා මහනුවරටම වඩිනු කැමැත්තෙන් ද, 23 පිරිවර සහිතව පහසු ගමනක් යනු කැමැත්තෙන් ද, එතැනින් එකෙණෙහිම නික්මුණු සේක. මහා අදහස් ඇත්තා වූ ඒ රේවත ස්ථවිරයන් වහන්සේ විසින් උදේ උදේ නික්මුණු තැනට, සවස සවස පැමිණෙන්නා වූ ඒ ආගන්තුක තෙරවරු රේවත ස්ථවිරයන් වහන්සේව සහජාති නම් භූමියෙහි දී දුටහ.

24 එතැන දී සම්භූත ස්ථවිරයන් වහන්සේ විසින් නියෝග කරන ලද්දා වූ යස ස්ථවිරයන් වහන්සේ, සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව, රේවත ස්ථවිරෝත්තමයන් වෙත එළැඹ දස වස්තූන් පිළිබඳ විචාළේය. 25 ඒ රේවත ස්ථවිර තෙමේ එය වරද යැයි ප්‍රතික්ෂේප කොට වදාළේය. ඒ අධිකරණය ගැන ද අසා වදාරා, “එය වළක්වම්හ” යි වදාළේය.

26 ඒ පාපී භික්ෂූහු ද උත්තම වූ රේවත ස්ථවිරයන් වහන්සේ තම පක්ෂයට කරගන්නට සොයන්නාහු, බොහෝ වූ ශ්‍රමණ සාරූප්‍ය පිරිකර සපයාගෙන, 27 වහා නැව් නැග සහජාති භූමි සමීපයට ගියාහු, දන් වැළඳිය යුතු කාලය පැමිණි කල බත් අනුභව කළහ. 28 සහජාති භූමියෙහි වසන්නා වූ, ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූ, රහත් වූ සාළ්හ නම් ස්ථවිර තෙමේ කාරණය සිතා බලන කල “පාවෙය්‍යක භික්ෂූහු ධර්මවාදීහු ය” යි දැක වදාළේය. මහා බ්‍රහ්ම තෙමේ උන්වහන්සේ කරා එළැඹ, “ධර්මයෙහි පිහිටන්න” යැයි කීවේය. 29 ඒ ස්ථවිර තෙමේ තමන් සදාකාලිකවම ධර්මයෙහි පිහිටි බව ඒ බ්‍රහ්මයාට වදාළේය.

ඒ පාපී භික්ෂූහු පිරිකර රැගෙන ගොස් රේවත ස්ථවිරයන් දුටහ. 30 ඒ ස්ථවිරයන් වහන්සේ ඒ පිරිකර නොපිළිගත්තේය. උන්වහන්සේගේ පක්ෂය ගත්තා වූ උත්තර නම් ශිෂ්‍යයා නෙරපූයේය. ඉක්බිත්තෙන් ඔවුහු විශාලා මහනුවරට ගොස් එතැනින් පැළලුප් නුවරට ගියාහුය.

කාලාශෝක රජුගේ සහාය සහ සිහිනය

31 අලජ්ජි භික්ෂූහු කාලාශෝක රජු හමුවී, “අපගේ ශාස්තෲන් වහන්සේගේ ගඳකිළිය රකිමින් අපි එහි වජ්ජි රට මහාවන විහාරයෙහි වසන්නෙමු. 32 ගම්වැසි වූ භික්ෂූහු පැමිණ ‘වෙහෙර ගන්නෙමු’ යි කියති. මහරජ, ඔවුන් වැළැක්විය මැනව” යැයි 33 කාලාශෝක රජහට කීවෝය. රජු නොමඟ යවා ඔවුහු විශාලා මහනුවරට ආවාහුය. 34 මෙහි සහජාත භූමියෙහි රේවත ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි භික්ෂූහු එකොළොස් ලක්ෂ අනූ දහසක් රැස් වූහ. 35 ඒ දස වස්තුව සංසිඳුවන පිණිස උන්වහන්සේලා කරුණු සැළ කළෝය. මුල් වූ වජ්ජි රට වාසී භික්ෂූන්ගෙන් වෙන් ව දස වස්තුව සමනය කිරීම රේවත ස්ථවිරයන් වහන්සේට රුචි නොවීය. 36 ඉක්බිත්තෙන් ඒ සියලු ම ස්ථවිර භික්ෂූහු විශාලා මහනුවරට ගියාහුය.

37 වරදවා පිළිගත්තා වූ රජතෙමේ ද එහි ඇමතියන් යැවූයේය. නමුත් දේවානුභාවයෙන් මං මුළා වූ ඔවුහු අන් තැනකට ගියාහුය. 38 ඒ මිහිපල් තෙම ඔවුන් යවා, එදින රාත්‍රියෙහි තමාගේ ශරීරය ලෝහකුම්භ නරකයෙහි බහාලුවාක් මෙන් ස්වප්නයෙන් දුටුවේය. 39 රජතෙම අතිශයින් බියපත් වූයේය. ඔහු අස්වසනු පිණිස ඔහුගේ නැගණිය වූ නන්දා නම් රහත් ස්ථවිර තොමෝ අහසින් පැමිණියාය. 40 “තොප විසින් බරපතල වූ පාප කර්මයක් කරන ලද්දේය. ධාර්මික වූ ආර්යයන් වහන්සේලාගෙන් සමාව ලබා ගනු මැනව. ඔබ උන්වහන්සේලාට පක්ෂව ශාසන සංග්‍රහ කරව. 41 මෙසේ කළ කල්හි ඔබට සැප වන්නේ ය” යැයි කියා ඈ බැහැර ගියාය.

42 රජතෙමේ උදෑසනම විශාලා මහනුවරට යන්නට නික්මුණේය. 43 ඒ රජතෙම මහ වනයට ගොස් භික්ෂු සංඝයා රැස් කරවා, දෙපක්ෂයේම වාදය අසා ධර්ම පක්ෂයට රුචි විය. 44 ඒ සියලු ධාර්මික භික්ෂූන් ලවා ක්ෂමා කරවාගෙන, තමන්ගේ ධර්ම පක්ෂපාතී භාවය කියා, “නුඹ වහන්සේලා රුචි වූ පරිද්දෙන් ශාසනයාගේ දියුණුව සිදු කරනු මැනව” යැයි කියා 45 උන්වහන්සේලාට ආරක්ෂාව දී ස්වකීය නගරයට ගියේය.

දස වස්තුව විනිශ්චය සහ උබ්බාහිකාව

46 එකල්හි ඒ දස වස්තූන් විනිශ්චය කරනු පිණිස සංඝයා රැස් වූ සේක. එහි කෙළවරක් නැත්තා වූ විවාද කථාවෝ සඟ මැද උපන්නාහ. 47 ඉක්බිත්තෙන් ඒ රේවත ස්ථවිරයන් වහන්සේ සඟ මැදට පැමිණ, සංඝයාට කරුණු අස්වා, ඒ වස්තුව අධර්මවාදීන් පිරිසෙන් පිට කිරීම වූ ‘උබ්බාහිකාව’ නම් ක්‍රමයෙන් සංසිඳුවන්නට නිශ්චය කළ සේක.

48 පෙරදිග වැසි භික්ෂූන් සතර නමක් ද, පාවෙය්‍යක භික්ෂූන් සතර නමක් ද වශයෙන් වස්තුව සංසිඳුවන පිණිස උබ්බාහිකාවට සම්මත කළ සේක. 49 සබ්බකාමී ය, සාළ්හ ය, ඛුජ්ජසෝභිත ය, වාසභගාමික ය යැයි මේ පූර්වදිග වාසී වූ ස්ථවිරයෝය. සාණවාසී සම්භූත ය, රේවත ය, කාකණ්ඩ පුත්‍ර වූ යස ය, සුමන ය යැයි මේ සතර නම පාවෙය්‍යක වූ ස්ථවිරයෝය. 50 රහත් වූ ස්ථවිර අට නම අල්ප ශබ්ද වශයෙන් නිරවුල් කොට ඒ වස්තූන් සංසිඳුවනු පිණිස වාලුකාරාමයට වැඩියාහුය.

51 එතැන්හි අභිනව වූ භික්ෂූ නමක් විසින් පනවන ලද ආසනයෙහි සර්වඥයන් වහන්සේගේ අදහස් දන්නා වූ මහා තෙරහු වැඩහුන් හ. 52 ප්‍රශ්න විචාරීමෙහි දක්ෂ වූ රේවත නම් මහා ස්ථවිරයන් වහන්සේ ඒ වස්තූන් අතුරෙන් එක එකක් පිළිවෙළින් සබ්බකාමී ස්ථවිරයන්ගෙන් විචාළ සේක. 53 ඉක්බිති උන්වහන්සේ විසින් විචාරන ලද සබ්බකාමී නම් මහා ස්ථවිර තෙම ඒ සියලුම වස්තූහු කැප නොවෙත් යැයි සූත්‍ර දැක්වීමෙන් ප්‍රකාශ කොට වදාළේය.

54 ඒ ස්ථවිරයෝ තුමු අධිකරණය පිළිවෙළින් බැහැර කොටලා, එහිම සඟ මැද පිළිවෙළින් ප්‍රශ්න විචාරීම සහ විසඳීම කළහ. 55 ඒ මහා ස්ථවිරයෝ තුමු දස වස්තූන් කැප යැයි ප්‍රකාශ කළා වූ ඒ දස දහසක් පාප භික්ෂූන්ට නිග්‍රහ කළහ. 56 සබ්බකාමී නම් ස්ථවිරයන් වහන්සේ එකල ලෝකයෙහි සියලු සංඝයාට වැඩිමහලු වූ සේක. එකල්හි උන්වහන්සේ උපසම්පදාවෙන් එකසිය විසි වයස් වූ සේක.

57 සබ්බකාමී ය, සාළ්හ ය, රේවත ය, ඛුජ්ජසෝභිත ය, කාකණ්ඩක පුත්‍ර වූ යස ය, සාණවාසී සම්භූත ය යන මේ ස්ථවිරයන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූ ශිෂ්‍යයෝය. 58 වාසභගාමික ය, සුමන ය යන මේ ස්ථවිර දෙනම වනාහි අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූ ශිෂ්‍යයෝ යි. පින්වත් වූ ඒ ස්ථවිර අට නම ද පෙර තථාගතයන් වහන්සේ දුටුවෝය.

දෙවැනි ධර්ම සංගායනාව

59 එකල්හි භික්ෂූහු දොළොස් ලක්ෂයක් රැස් වූහ. 60 සියලු ම භික්ෂූන්ට රේවත නම් ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ වූයේය. 61 එහෙයින් එකල්හි ඒ රේවත ස්ථවිරයන් වහන්සේ බොහෝ කල් සද්ධර්මයාගේ පැවැත්ම සඳහා ධර්ම සංගීතියක් කරවනු පිණිස, 62 සියලු භික්ෂු සමූහයෙන් ප්‍රභේද ප්‍රාප්ත අර්ථ ප්‍රතිසම්භිදා ආදී ඥාන ඇති, පිටකත්‍රයධාරී වූ රහතුන් වහන්සේලා සත් සියයක් තෝරා ගත් සේක.

63 රේවත ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ කොට ඇත්තා වූ ඒ සියල්ලෝ වාලුකාරාමයෙහි කාලාශෝක නම් නරේන්ද්‍රයා විසින් ආරක්ෂා කරන ලද්දාහු ධර්ම සංගායනා කළහ. 64 පූර්වයෙහි ප්‍රශ්න විචාරීම් ද ධර්ම කථනය ද කරන ලද්දා වූ ඒ ධර්මය මෙසේ ග්‍රහණය කොට, 65 මේ ධර්ම සංගීතිය අට මසකින් නිම කළහ. 66 මෙසේ ඒ මහා යසස් ඇත්තා වූ, දෝෂයන් ක්ෂය කිරීමට ප්‍රාප්ත වූ ස්ථවිරයන් වහන්සේලා ද දෙවෙනි සංගායනාව කොට කලකින් පිරිනිවන් පා වදාළහ.

67 මෙසේ උත්තම ප්‍රඥා ඇත්තා වූ, ලෝකෝත්තර විශේෂ ධර්ම ලැබුවා වූ, භවත්‍රය වාසීන්ට වැඩ සිදු කරන්නා වූ සර්වඥ පුත්‍රයන් වහන්සේලාගේ ඒ මරණය සිහි කොට, ඇතිවෙමින් නැතිවන්නා වූ සංඛත ධර්මයන්ගේ සාරරහිත භාවය නිරවශේෂ වශයෙන් ප්‍රඥාවෙන් පරීක්ෂා කොට, සාදු ජන තෙමේ ප්‍රමාද රහිත වන්නේය.

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘දුතිය සංගීති’ නම් වූ සතර වෙනි පරිච්ඡේදය නිමියේ ය.