ඒ රජුගේ ඇවෑමෙන් පසු, මහා ධනවත් වූ ඔහුගේ බාල සොහොයුරු සේන නම් කුමාරයා 1 සියලු සත්වයන් කෙරෙහි පියෙක් පුතෙකුට මෙන් සලකමින් පුරයෙහි සත්කම් පැවැත්වීය 2. හෙතෙම පෙර රජදරුවන්ගේ සිරිත් ඒ ආකාරයෙන්ම ගෙන මැනවින් පවත්වාගෙන ගියේය. දැහැමෙන් යුක්ත වූ අපූර්ව චාරිත්‍ර ද ඇති කර, භික්ෂූන්ට ද භික්ෂුණීන්ට ද, පාළි ධර්ම ග්‍රන්ථ හා සසඳා බලන විට මෙය අධික යැයි සිතෙන තරම් 3 වූ සියලු දේ ලක්දිව වැසියන්ට ද මසුන්ට ද මෘග පක්ෂීන්ට ද ඉටු කරමින් සියලු කටයුතු පැවැත්වීය 4. හෙතෙම (රාජ්‍යයට තර්ජනයක් විය හැකිව පරතෙරට පලා ගොස් සිටි) මිහිඳු කුමරුවා සොයා චර පුරුෂයන් යොදවා ඔහු එතෙරදීම මරවා දැමුවේය.
හෙතෙම ධනය සොයා එන යාචකයන්ට මහ දන් පැවැත්වූ අතර, යතිවරුන්ට හා බමුණන්ට 5 මන පිනවන රාජ බොජුන් ලබා දුන්නේය 6. මිහිඳු ය, කසුප් ය, උදය යැයි ඔහුට මලණුවන් තිදෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් මිහිඳු තෙමේ යුවරජ වී ඔහු 7 අනුව පවතිමින් මැනවින් ඔහුට උපස්ථාන කළේය. රජුට 8 සංඝා නම් වූ බිසවක් වූවාය. රජු මුහුදු කෙළි පිණිස තොටුපළකට 9 ගිය කල්හි ඒ උදය නම් ඈපා තෙමේ පුරයෙහිම නතර විය. එකල්හි රාජාරක්ෂාව යටතේ රැකබලා ගත් නාලා නම් නැන්දනියගේ දියණිය රැගෙන හෙතෙම පොළොන්නරුවට පලා ගියේය. රජ තෙමේ ඔහු කෙරෙහි නොකැපී, කිපිය 10 නොහැකි වූ සම්බන්ධයක් ඇති කරගෙන, මා ඈපාණන් යවා ඔහුව සතුටු කරවා 11 මෙහි ගෙන්වා ගත්තේය. මෙසේ ඔවුහු නැවත සමගි වූහ. එතැන් පටන් ඒ ක්ෂත්‍රියයෝ 12 අතිශයින් සන්සුන්ව ශාසනය ද ලෝකය ද රකිමින් වාසය කළහ.
ඉන්පසු කිසියම් කලෙක මහා සේනාවක් ඇති පාණ්ඩ්‍ය රජතෙම දඹදිව සිට මෙහි අවුත් දිවයින 13 අත්පත් කර ගැනීමට පටන් ගත්තේය. රජතෙම ඒ පුවත අසා ඔහු වෙතට මහා සේනාවක් යැවීය. එහෙත් ඇමතියන්ගේ අභ්‍යන්තර විවාද නිසා පාණ්ඩ්‍ය රජුට පහර දීමට අවකාශ ලැබිණි 14. පාණ්ඩ්‍ය රජතෙම ඒ සියලු උතුරු දෙස වනසමින් මහා තලිත නම් 15 ගමෙහි කඳවුරක් බැන්දේය. එහි ඒ ඒ තැන යම්තාක් දෙමළ ජනයා වාසය කළාහු ද, 16 බොහෝ වූ ඒ සියල්ලෝ ඔහුට පක්ෂ වූහ. එහෙයින් හෙතෙම බලවත් විය. සිංහල මහා සේනාව එහි ගොස් රජු හා යුද්ධ කිරීමට පටන් ගත්තාය 17.
ඇත් කඳ පිටට නැඟුණු පාණ්ඩ්‍ය රජ තෙමේ ද යුද්ධයට පිවිසියේය. ඒ ද්‍රවිඩ සේනාව තම ස්වාමියාගේ මුහුණ බලමින් ඔහුගේ අභිමතාර්ථය වෙනුවෙන් 18 ජීවිතය පරිත්‍යාග කිරීමට සැදී පැහැදී සිටි බැවින් බලවත් උත්සාහ ඇතිව සටන් කළහ. එහෙත් ලක්දිව සේනාව හිමියන් (නිසි නායකත්වයක්) නැති බැවින් උත්සාහ රහිතව 19 යුද කරන්නී, බිඳී ඒ ඒ අත පලා ගියාය. ඒ ක්ෂණයෙහි පාණ්ඩ්‍ය රජුගේ මහා 20 සේනාව මර සෙනඟ මෙන් මහ ජනයා වෙසෙසින් සුණු විසුණු කරමින් පැතිර ගියාය. රජතෙම සේනාව බිඳී ගිය බව අසා සියලු හස්තසාර වස්තූන් ගෙන පුරය හැර මලය රට (කඳුකරය) බලා පලා ගියේය.
ඉක්බිති මිහිඳු නම් යුවරජ තෙම ඇතා පිට නැඟී යුද කෙරෙමින් සිටියදී සිය 22 සේනාව පලා ගිය බව දැක, “ඒකාන්තයෙන්ම හුදකලා වූ මා විසින් 23 මේ සියල්ලන් මැරිය නොහැක්කේය. මේ නීචයන් අතින් මැරීම (මට) සුදුසු නොවේ, එහෙයින්ම මා විසින් මාගේ මරණය සිදු කර ගැනීම උතුම්ය”යි සිතා, 24 ඇත්කඳ මත්තේ හුන්නා වූ හෙතෙම තමාගේ හිස කපා ගත්තේය. එය දැක 25 බොහෝ වූ සේවකයෝ ද තම හිස් කපා ගත්හ. ඒ දැක ඒ දෙමළ සේනාව 26 තුටුපහටුව සන්තෝෂ විය.
එකල්හි කසුප් ඈපා තෙම සියල්ල දැක උතුම් අශ්වයෙකු පිට නැඟ, යහපත් සේ සන්නද්ධව ආයුධ ගත් අත ඇතිව 27 අභයගිරි වෙහෙරට පැමිණ හුදකලා වූයේම, එබඳු වූ මහා සේනාවකට 28 මැදට වැද ගුරුළෙක් සයුරෙන් නයින් ගන්නා සේ සතුරන් ගනිමින් සේනාව භේද 29 කළේය. ඒ තෙමේ ඒ සතුරන් පිළිබඳ සියල්ල වැළැක්වීය; තමා ද 30 මනා කොට ආරක්ෂා කර ගත්තේය. එකම අශ්වයා අස් පෙළක් මෙන් පෙනිණි. හෙතෙම තමන්ගේ පස්සේ එන කිසි ජනයෙක් නොදැක 31 “තනි වූ මා විසින් සතුරන්ගේ අභිමතය පිරීමෙන් කවර ඵලක් ද? ජීවත්ව සිටියහොත් මම අන් කාලයකදී මාගේ අභිමතය ඉටු කර ගන්නෙමි. එහෙයින් යා යුත්තෙමි” 32 යි සිතා මහා සේනාව විසුරුවා හැර බිය රහිත වූ මහා යෝධ 33 වූ ඒ තෙමේ කොඩිවායට ගියේය.
එහෙයින් පාණ්ඩ්‍ය රජුගේ මහා 34 සේනාව පුරය අල්ලා ගත්තී ය. ඔවුහු යුවරජුගේ හිස පාණ්ඩ්‍ය රජුට දැක්වූහ. හෙතෙම එය දැක පාණ්ඩ්‍ය රට රජුන්ගේ දාහන චාරිත්‍ර විධි අනුව සියලු 35 ආදාහන කටයුතු ඔහුට කරන ලෙස නියෝග කළේය. රජුගේ භාණ්ඩාගාරයෙහි තිබූ සියලු සාරය ගෙන්වා ගත්තේය; විහාරයන්හි ද නුවර ද ගත යුතු සියලු දේ 36 ගත්තේය. ප්‍රාසාදයේ සියලු රුවන් ද, ස්වර්ණමය බුද්ධ ප්‍රතිමා ද, ගල් පිළිමයෙහි නෙත් වූ මැණික් දෙක ද, එසේම ථූපාරාම චෛත්‍යයෙහි රන් පට ද, ඒ ඒ වෙහෙර වල රන් පිළිම ද යන මේ සියල්ල ගෙන හෙතෙම ලක්දිව නිසරු කළේය. සිත්කළු වූ පුරය යකුන් විසින් අනුභව කළාක් වැනි තත්ත්වයකට පත් කළේය.
රජතෙමේ මහ මග ඒ ඒ තන්හි රැකවල් යොදා සැක සහිතව දෙගංමුව වාසය කළේය. ඉන්පසු පාණ්ඩ්‍ය රජ තෙම සිංහල රජු සමග මිතුරු 38 වනු කැමතිව ඇමතියන් එහි යැවීය. ඒ සිංහලාධිපති තෙම ඔවුන් 39 දැක, ඔවුන්ගේ පණිවිඩ අසා, ඒ සියල්ල පිළිගෙන කැමති සේ දූතයන්ට 40 සංග්‍රහ කොට ඇතුන් දෙදෙනෙක් ද සියලු ආභරණ ද දී තමාට වැඩ 41 කැමැත්තා වූ තෙමේ ඔහු වෙත දූතයන් යැවීය. පාණ්ඩ්‍ය රජ තෙමේ ද ඒ සියල්ල දැක සතුටු සිත් ඇත්තෙක් විය. එදවසම මහ පුරය දූතයන්ට 42 පාවා දී, නුවරින් නික්ම නොබෝ කලකින්ම තොටුපළට ගොස් එහි දී නැව් නැඟී හෙතෙම සිය දේශයට ගියේය.
ඉන්පසු (සේන නමින් ද හඳුන්වන ලද) ශිලාමේඝ රජ 43 තෙම නුවරට අවුත් ලංකාද්වීපය යථා ස්ථානයෙහි පිහිටුවා එකඟව වාසය කළේය. දෙවෙනි සොහොවුරු වූ උදය නම් ක්ෂත්‍රියයා මාපා ධුරයෙහි පිහිටුවා ඔහුට 44 භෝග පිණිස දකුණු දෙස දුන්නේය. හේ තෙමේ ද නොබෝ කලකින් සුදුසු 45 පරිද්දෙන් පින් කොට එක් රෝගයකින් පීඩා විඳ මරු මුවට ගියේය. කසුප් නම් ඈපා තෙමේ ද පොළොන්නරුවෙහි 46 වෙසෙමින් පාණ්ඩ්‍ය රජු හා සමග යුද කරමින් සිටියදී මරණයට පත් විය.
එකල්හි 47 කසුප් නම් ආදිපාදයන්ගේ මහාර්ඝ වූ පින් ලකුණෙන් යුත් පුත්තු සතර දෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් සියල්ලන්ට පළමු වෙනි වූ සේන 48 නම් යම් කුමරෙක් වී ද, හෙතෙම ශූර වීර වූ මහොත්සාහ ඇති රාජ්‍ය 49 භාර දැරීමෙහි පොහොසත් වූ අසමානයෙක් විය. රජ තෙම විධි වූ පරිද්දෙන් මහ ඈපා ධුරය ඔහුට දී, භෝග පිණිස වාහන සහිත වූ දකුණු දෙස දුන්නේය.
රුහුණට අධිපති වූ කිතු අග්බෝ කුමරහුගේ පුත්තු සතර දෙනෙක් 51 වූහ; දැකුම් කටයුතු වූ මන පිණවන්නා වූ දූවරුන් තුන් දෙනෙක් ද වූහ. එකල්හි ඔහුගේ දෙටු පුත් වූ මිහිඳු කුමරු ඔහුගේ නැන්දනිය මරවා ඇයගේ උපකරණ සහිත වූ දේශය අත්පත් කර ගත්තේය. ඒ සහෝදරයෝ 52 තුන් දෙනා ඒ සොහොයුරා මැරීමෙහි රොස් වූවෝ සහෝදරියන් තුන් 53 දෙන රැගෙන රජු කරා ආවෝය. රජ තෙමේ ද ඔවුන් දැක කරුණා බහුලව ආදර කරමින් ප්‍රේම ඇතිව ඒ සියල්ලන් දෙව් කුමරුවන් සෙයින් සැපසේ වැවුවේය.
ඉක්බිති ඒ රජ තෙම ඔවුන් අතුරෙන් වැඩිමහල් කසුප් කුමරුට 54 “ඒ දෙස ගනු” යැයි පවසා සේනාව දී යැවීය. හේ තෙමේ ද ගොස් ඔහු මරා සියලුම රුහුණ අත්පත් කොට එහි උවදුරු රහිතව විසීය. 56 ඉක්බිති හෙතෙම සේන, උදය යන සොහොවුරන් දෙදෙන ද කැඳවා දේශය බෙදා දී ඔවුන් සමග විසුවේය.
රජ තෙම ඒ කුමරියන් මනා කොට වඩා, දිවසරන් බඳු මනා රූ ඇති පින් ඇති යොවුන් පත් 57 රජ කුමරියන් තුන් දෙනා අතුරෙන් සංඝා නම් වූ කුමරිය රැජින තන්හි 58 තබා රජය හා සම වූ මහා භෝග දී උප රජුට පාවා දුන්නේය. බාල සොහොවුරු 59 වූ, සියල් ගුණෙන් යුත්, සියල් සතරෙහි විශාරද වූ උප රජ වූ මිහිඳු නම් 60 ක්ෂත්‍රියෙක් ද ඇත. රජ තෙම ඔහුට රිසි සේ භෝග දානය කොට තිස්සා නම් වූ ද, කිත්ති නම් වූ ද සිත්කළු වූ රජ කුමරියන් දෙදෙනා ලබා දුන්නේය.
ඒ රජ තෙම මෙසේ නෑයන්ට සුදුසු සේ සංග්‍රහ කරමින් දානාදී සංග්‍රහයෙන් මහජනයා ද සතුටු කරමින් රජුන්ට අයත් දස දහමින් 62 යෙදුණේ, පින් රැස් කරමින් රට පරිභෝග කළේය. අරිටු පව්වෙහි පාංශුකූලික භික්ෂූන්ට සෘද්ධියෙන් මවන ලද්දක් මෙන් මහා භෝග යුක්ත 63 වූ ආරාමයක් කරවා පූජා කළේය. ඒ ආරාමයට නිරවශේෂ වශයෙන් රාජ යෝග්‍ය 64 වූ පෙරහර ද, බොහෝ වූ දස්කම්කරු ආරාමිකයන් ද දුන්නේය.
බුදුබව කරා ගිය සිත් ඇත්තා වූ ඒ මිහිසුරු තෙම ජේතවන නම් 65 වෙහෙර නොයෙක් මහල් ඇති ප්‍රාසාදය කරවීය. සර්වස්වර්ණමය වූ ජින (බුද්ධ) පිළිමයක් කරවා එහි වඩා හිඳුවා මහා භෝග පිහිටුවා එහි භික්ෂූන් වස් 66 වැස්වීය. එම වෙහෙර මහ පිරිවෙන ගින්නෙන් දා ගිය බැවින්, එම ප්‍රාසාදය අතිශයින් මනරම් කොට කරවීය. අභයුත්තර නම් වෙහෙර වීරකූර නම් ආරාමයක් 67 කොට මහා සාංඝික පරම්පරාවේ භික්ෂූන්ට ද මහ වෙහෙර වැසි 68 භික්ෂූන්ට ද දුන්නේය. හෙතෙම සංඝා නම් වූ තමන්ගේ බිසව සමග 69 පූර්වාරාමය ද සිවුපසයෙන් සම්පන්න කොට කරවීය. මහා නුවණැති මිහිපල් තෙමේ ඒ බිසව සමග මහ වෙහෙර මහා භෝග යුක්ත වූ සංඝසේන 70 නම් ආවාසය කරවීය.
උතුම් රජ තෙම සියල්ල රන් මුවා කොට කේශ ධාතු කරඬුවක් 71 කරවා මහපුද පැවැත්වූයේ රජය ද පරිත්‍යාග කළේය. සෑගිරියට 72 බොහෝ ආදායම් උපදනා කණාවැව පූජා කළේය. ලක්දිව වැසි වූ ශ්‍රමණවරුන්ට තුන් 73 සිවුරු දුන්නේය. පොළොන්නරුවෙහි තුසා වැවෙන් වැව් කර්මාන්ත කළේය. ග්‍රාමාරාමිකයන්ගෙන් යුක්ත කොට සෙන් අග්බෝ නම් ආවාසය කරවා, 74 එහිම මහා පාළි නම් දන්හල මනා බොජුන් ඇතිව කරවූයේය. මානෙත් පව්වෙහි සියලු භික්ෂූන්ට මහාපාළි නම් දන් හලක් කරවා, නුවරට බටහිර දිග වෙද හලක් ද කරවීය. අනාථ ජනයාට කැවිලි සහිත කැඳ 75 දනක් පැවැත්වීය. ඒ උත්තමයා පාංශුකූලාංග ධර භික්ෂූන්ට වෙන් වශයෙන් මුළුතැන් ගෙයක් කොට සතතයෙන් සකස් කොට බොජුන් පූජා කළේය.
මේ තෙමේ (රාජ්‍යයට පෙර) මහ ඈපා වූ කල කපුරු පිරිවෙනෙහි ද උත්තරාල්හ 76 විහාරයෙහි ද තමන්ගේ නම ඇති කොටස් කරවීය. මහා ධන ඇති ඒ රජ 77 තෙම තුන් වරක් තුලාභාර දානය (තමාගේ බරට සමාන වස්තු) දුන්නේය. ඒ රජ තෙමේ අනිකුදු නානා විධ වූ 78 පින්කම් ද කළේය. ඒ රජුගේ සංඝා නම් වූ මෙහෙසිය ද 79 උතුරු වෙහෙර මිහිඳු සේන නම් වූ ආවාසයක් කොට භික්ෂූන්ව වැස්වූවාය.
නුවණැත්තා වූ දප්පුළ නම් රජුගේ කාලයෙහි මහාදේව නම් 80 ඇමතියා විසින් ඒ රම්‍ය වූ දප්පුල පර්වත නම් වෙහෙර (වැඩ) පටන් ගන්නා 81 ලද්දේය; දාරුකසුප් නම් ඇමතියා විසින් කස්සප රාජක නම් වෙහෙර වැඩ එසේම පටන් ගන්නා ලද්දේය. අඩාල කරන ලද්දා වූ ඒ දෙකම මේ රජ 82 තෙමේ නිම කරවීය. ඔහුගේ භද්‍ර නම් සේනාපති තෙම මහත් වූ භෝග 83 යුක්ත භද්‍ර සේනාපති නම් පිරිවෙන ද දසුන් හා භෝග යුක්ත කොට කරවීය. උතුරු නම් ඇමති තෙමේ ද අබාතුර නම් වෙහෙර අධික වූ පස 84 ඇති සිත්කළු වූ උතුරු සෙන් නම් ආවාසය කළේය. එහි ම විදුරු නම් ඇමති තෙමේ ද විදුරුසෙන් නම් ආවාසය කළේය. රකුස් නම් ඇමති තෙමේ ද රකුස් නම් ආවාසය කළේය.
ඉන්පසු පොළොන්නරුවෙහි වෙසෙමින් විසි හවුරුදු ඇවෑමෙන් සාරදර්ශී වූ ඒ රජ තෙම 85, පාණ්ඩ්‍ය රජු විසින් කරන ලද ක්‍රියාව සිහි කරන්නේ (පළිගැනීමට නොහැකි වී නමුත්), සූර වූ සේන කුමරුට අවකාශ දෙන්නා සේ ලක්දිව හැර (මිය ගොස්), මහ පවනින් පහරන ලද පහනක් මෙන් පරලොව ගියේය 86. ජීවිතය සමගම භෝගයෝ අනිත්‍යයහ. පළමු කොටම නෑයෝ ද යහළුවෝ ද අනිත්‍යයහ. හුදකලාවම ඉතා දරුණු වූ මරු මුවට වන් නරනිඳුන් දෙස බලව් 87.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේග පිණිස කළ මහ වස ‘එක රාජක’ නම් වූ පනස් වෙනි අදියර නිමි.