ඉක්බිතිව අග්‍රබෝධි කුමාරයා රජ විය. ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වූ ඒ රජතෙම (මෙහි මුල් පෙළ මඳක් අඩු බවත්, පූජාවලි ක්‍රමයට අනුව කාශ්‍යප නම් රජු වසර හතක් රාජ්‍ය කළ බවත් සඳහන් වේ) 1 පහසුවෙන් සිව්පසය ලැබිය හැකි ආවාසයක් කරවා, එය ධම්මරුචි නිකායේ භික්ෂූන්ට හෝ අභයගිරි විහාරයේ භික්ෂූන්ට පූජා කළේය. රාජිනිදිපක නම් ගම ද ඊට පූජා කළේය. මහානෙත්‍රාදිපාද නම් ආවාසය වෙන් කරවා එම භික්ෂූන්ටම දුන්නේය.
හෙතෙම (කොක) වාතයෙහි 2 දේවතිස්ස නම් ආවාසය ඔවුන්ට දුන්නේය. හෙතෙම මාතලේ දේශයේ කාදම්බගොත නම් ආවාසය ද, දේවපාලි නම් ජනපදයේ ගිරි නම් නුවරක් ද කරවා, අන්තරසොබ්භයෙහි දේව නම් විහාරයක් ද 3 කරවා, රාජමාතික නම් ආරාමයක් කරවා එය පාංශුකූලික භික්ෂූන්ට දුන්නේය. 4 ගෝණ නම් වූ විහාරයෙහි ප්‍රධාන ගෙයක් කළේය. වඩමන් නම් වූ බෝධිවෘක්‍ෂයෙහි දිරා ගියා වූ ගෙය ද කරවීය. සංඝමිත්තා නම් විහාරයෙහි 5 සහ අනිකුත් තැන්වල පිහිටි ඒ ඒ විහාරයන්හි ද මහත් වූ යසස් ඇති ඒ රජතෙම අලුත් කර්මාන්ත කරවීය.
6 ඒ රජතෙම රන් සවිසි දහසක් වියදම් කොට සෑගිරියෙහි (මිහින්තලයෙහි) ජරාවට පත්ව තිබූ තැන් ප්‍රතිසංස්කරණය කළේය. 7 පන්බත් (යනුවෙන් හැඳින්වූ) තල්වතු වෙහෙර කරවා මහාසේන රජුගේ නම ඇති විහාරයට (ජේතවනයට) දුන්නේය. 8 බිඳී ගොස් තිබූ ගොඩිගමු වැව ද පෙර තිබුණු ආකාරයෙන්ම බැඳවීය. 9 හෙතෙම සියලු දාන භාණ්ඩයන් ද සියලු සත්ත්වයන්ට දුන්නේය.
10 හෙතෙම ලංකාද්වීපවාසී ජනයා සමඟ පෙහෙවස් සමාදන් වෙයි. ලෝකෝත්තර සැපය ලබා දීම පිණිස ඔවුන්ට ධර්මය ද දේශනා කරයි. ඔහුගේ රාජ්‍යයේ වූ සියලු ජනතාව ස්වර්ගයට හිතකර වූ කර්මයන් මනා කොට කළහ. 11 ”මහීපාලයා (රජු) යමක් කෙරේ ද, ඔහුගේ ජනතාව ද එයම කෙරේ.” 12 එහෙයින් මහත් ප්‍රඥා ඇති රජතෙම සෑම කල්හි ධර්මයෙහිම හැසිරෙන්නේය. 13 හෙතෙම වසන වසන තැන මහත් යසස් ඇත්තේ වෙයි. 14 පිරිවර සහිත වූයේ අවසානයේ නිර්වාණයට ද යන්නේය.
එහෙයින් නුවණැත්තා තමාගේ අර්ථය (යහපත) ද අනුන්ගේ අර්ථය ද බලන්නේය. 15 ඉදින් හික්මුණා වූ එක් අයෙකු (නායකයා) නිසා සියලු මහජනයා ද හික්මීමට යෙත් නම්, කවර නම් පණ්ඩිතයෙක් ඒ හික්මීම විනාශ කරන්නේ ද? 16 සත්ත්වයන්ගේ යම් ක්‍රියාවක් දෙලොව වැඩ පිණිස පවතී ද, රෑ දවල් අනලස් වූ ඔහු විසින් නොකරන ලද්දා වූ එබඳු ක්‍රියාවක් නැත්තේය. 17 ඒ රජුගේ පාලනය තුළ අස්ථානයෙහි යෙදවීමක් හෝ, නුසුදුසු සංග්‍රහයක් හෝ, වරද සහිත වූ ප්‍රයෝජන විඳීමක් හෝ කිසිදු ආකාරයකින් සිදු නොවීය. 18 යම් යම් සත්ත්ව කෙනෙක් යමක් යමක් ආහාර ලෙස ගන්නාහු ද, ඔවුන්ට ඒ ඒ දේ හෙතෙම දුන්නේය. 19 යම් යම් සත්ත්ව කෙනෙක් යමකින් සැප ඇත්තාහු වෙත් ද, ඒ ඒ සත්ත්වයන් එයින් සුවපත් කරවීය. ශාන්තිය උදාකරන්නා වූ ඒ රජතෙමේ මෙසේ හය අවුරුද්දක් දන් පින් කොට ශක්‍රදේවේන්ද්‍රයාගේ සමීපයට (ස්වර්ගයට) ගියේය.
20 ඉක්බිත්තෙන් ඔහුගේ සහෝදර වූ, පෙර පැවති පරිද්දෙන්ම රාජ්‍ය භාරය ගැනීමට සමත් වූ කාශ්‍යප නම් ක්ෂත්‍රිය තෙමේ රජ විය. 21 පියෙකු තම පුතෙකුට සලකන පරිද්දෙන්ම හෙතෙම දානයෙන් ද, ප්‍රිය වචනයෙන් ද, අර්ථයෙහි හැසිරීමෙන් ද මහාජනයාට සංග්‍රහ කළේය. ඒ ඒ අයට සුදුසු පරිද්දෙන් තනතුරු ද දුන්නේය. 22 තෙමේත් සියලු දුකින් වැළැක්කේය; භෝගයන් ද අනුභව කළේය.
23 ඒ ක්ෂත්‍රිය තෙමේ ගිහියන්ගේ ද, භික්ෂූන්ගේ ද, බ්‍රාහ්මණයන්ගේ ද ස්වකීය ආචාරයන් පැවැත්වූයේය. 24 සතුන් නොමරව් යන ආඥාවක් ද කරවීය. මස්තොට ආවාස දෙකක් ද, හෙළාගාම නම් වූ ආවාසය ද, වෙළඳගම ආරාමය ද, එසේම කස්සපගිරි නම් උතුම් ප්‍රධාන ගෘහය ද, 25 එසේම අඹවන නම් ආරාමය ද කරවීය. භෝග උපදින ගමක් ද දුන්නේය.
26 ඔවුන් අතුරෙන් සියල්ලන්ට බාල වූ මහින්ද නම් ක්ෂත්‍රිය තෙම පැමිණියා වූ රාජ්‍ය උරුමය ඇත්තේ වුව ද අභිෂේක නොලද්දේය. 27 ඔහුගේ වනාහි බොහෝ කල් ඇසුරු කළා වූ නීල නම් මිත්‍රයෙක් රාජ්‍ය ලෝභයෙන් ඊට පෙරම මරණයට පත් වී තිබුණි. හෙතෙම ඔහුව සිහි කරමින් රාජ්‍යය රුචි නොකළේය. 28 ”අහෝ! යහළුවා නැති බැවින් ලංකාද්වීපයෙහි සැප ගෙන දෙන්නා වූ රාජ්‍යය පවා නොසිතමි” යි සිතීය. 29 යහළුවෝ නම් ඉතා දුර්ලභ වෙත්. එහෙයින්ම බුදුන් විසින් දේශනා කරන ලද්දේය: ”යම්කිසි ලෞකික ධර්ම කෙනෙක් වෙත් ද, එසේම ලෝකෝත්තර ධර්ම කෙනෙක් වෙත් ද, 30 නිර්වාණගාමී වූ ධර්ම කෙනෙක් වෙත් ද, සත්ත්වයන්ට ඒ සියල්ලෝම යහපත් මිත්‍රයා නිසා සමෘද්ධි වන්නාහුය. 31 එහෙයින් කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි සෑම කල්හි ආදරය කටයුතු ය” යි වදාරන ලදී.
32 එහෙයින් හෙතෙම ලක්දිව ජනයා රකිනු පිණිසම ජීවත් වන්නෙක් මෙන් ආදිපාදවම රාජ්‍ය විචාළේය. 33 හෙතෙම තමාගේ සොහොයුරු කසුප් රජුගේ පුත් වූ අග්බෝ කුමරු උප රජ තනතුරෙහි තබා, 34 බොහෝ වූ භෝග දී නැඟෙනහිර දේශය දී එහි වාසය කරන්නට යැවීය. තම කුමරුට දකුණු දෙස දුන්නේය. 35 මහාපාළි නම් දානශාලාවෙහි දානය සඳහා දවසක් පාසා දස ගැලක් බර (සහල් ආදිය) දුන්නේය. සියලු භෝගයන් තමන්ට හා යාචකයන්ට සම කළේය. 36 යදියන්ට නොදී හෙතෙම කිසිවක් ප්‍රයෝජනයට නොගත්තේය. සිහි නොකිරීමෙන් යමක් අනුභව කරන ලද්දේ නම්, තමන් අනුභව කළ දෙයින් දෙගුණයක් දුන්නේය.
37 හෙතෙම භික්ෂූණීන්ට තමාගේ නම ඇත්තා වූ (මහින්දාරාම) අසපුවක් කරවීය. නගරගල නම් ගම ද, ආරාම මරියාදක නම් ගම ද ඒ මෙහෙණි අසපුවට දුන්නේය. 38 මහින්‍දතට නම් ආරාමය සිවුපසයෙන් සමෘද්ධිමත් කොට කරවීය. පුණ්‍ය ගුණයෙහි ඇලුනේ අනෙකුත් පින් ද බොහෝ සේ කළේය. 39 තුන් අවුරුද්දක් මෙසේ රාජ්‍යය කොට, ඒ මහත් ප්‍රඥා ඇති මහින්ද තෙම යහළුවා සොයා යන්නාක් මෙන් දෙව්ලොව ගියේය.
40 දකුණු දෙස වසන්නා වූ අග්‍රබෝධි කුමාර තෙම කිසියම් කටයුත්තකින් නුවරට ආවේය. ඔහු එහි වසන කල ම මහින්ද ආදිපාද තෙමේ මළේය. එහෙයින් රාජ්‍යය ඔහුගේ අතට පත් විය. 41 හෙතෙම එය තමා සතු කරගෙන, නැඟෙනහිර දෙස අධිපති වූ අග්‍රබෝධි කුමාරයාට හස්නක් (ලියුමක්) යැවීය. 42 ඒ අග්‍රබෝධි කුමාර තෙමේ අවුත් සිලාමේඝ යන නම ඇතිව රජ විය. රජතෙම ඒ අග්‍රබෝධි කුමාරයා ද උප රාජ්‍යයෙහි අභිෂේක කළේය. 43 ඒ උප රජ තෙම, ”සිතිවිලි බර මුදා නුඹ වහන්සේ භෝග අනුභව කළ මැනවි” යි රජුට පවරා තෙමේ රාජ්‍ය විචාළේය.
44 මොහු සුදුසු පරිද්දෙන් ජනයාට නිග්‍රහ (දඬුවම්) ද සංග්‍රහ ද කළේය; නුවණැස් ඇත්තේ ලංකාද්වීපයෙහි විනය විරුද්ධ වූ සියල්ල මාර්ගයට පැමිණවීය. 45 මෙසේ ඒ දෙදෙනා වසන කල්හි පව්කම් කරන්නා වූ ජනයෝ ඉඩක් නොලබන්නාහු, ”මොවුහු ඔවුනොවුන්ට විරුද්ධ කටයුත්තාහ” යි සිතූහ. 46 කේළාම්කාරයෝ රජු කරා පැමිණ රහස් කොට, ”නුඹ වහන්සේ නමින් රජය; ස්වභාවයෙන් අනෙකෙක් රජය. මේ උප රජ තෙම මහජනයාට සංග්‍රහ කොට රාජ්‍යය ගන්නේය. 47 නොබෝ කලකින් රජ වෙයි, සැක නැතැ” යි කීහ.
48 ඒ අසා රජතෙම කුමාරයා කෙරෙහි බිඳුණේය. කුමාර තෙමේ ද ඒ දැන රජුහට දාමරික ව සිය රටට පලා ගොස්, 49 එහි ජනයාට සංග්‍රහ කොට මහත් සේනාවක් එක් රැස් කරගෙන යුද්ධ කරන්නට පටන් ගත්තේය. 50 කදලිනිවාත නම් වූ ස්ථානයෙහි භයානක වූ යුද්ධයක් විය. 51 ඒ කුමර තෙම එතැන දී පැරදී මලය රටටම ගියේය. 52 ඉන් පසු කෙළෙහිගුණ දන්නා වූ රජතෙම තමාගේ සොහොයුරාගේ රාජ්‍යය, දානාදී උපකාර සිතා ප්‍රසිද්ධියේ හැඬීය. 53 කුමාර තෙමේ ද ඒ අසා මොළොක් සිත් ඇති විය. මෙසේ ඔවුහු ඔවුනොවුන්ට මොළොක් බව ප්‍රකාශ කළහ.
54 ඒ රජතෙම තමන්ම හුදෙකලාව මලය රටට ගොස් ඒ කුමරු රැගෙන සිය නුවරට ආවේය. 55 ”එයින් නිසැකවම ප්‍රිය සිත් ඇතිවේය” යි සිතා සංඝා නම් වූ දියණිය ඔහු සමඟ විවාහ කරවීය. ඒ රජු හා සමඟ විශ්වාස ඇත්තේ, ඒ සංඝාව සමඟ වසන්නා වූ හෙතෙම කිසියම් දෝෂයක දී කිපී කුමරියට පහරක් දුන්නේය. 56 ඕ තොමෝ පියාණන් කරා පැමිණ, 57 ”නුඹ වහන්සේ විසින් දෙන ලද ස්වාමි තෙම නිකරුණේ මා මරයි” කියා බැගෑපත් ලෙස රජුහට ඇඬුවාය. රජතෙමේ ද ඒ ඇසූ කෙණෙහිම, ”මා විසින් ඒකාන්තයෙන් නපුරු කොට කරන ලදැ” යි සිතා වහාම 58 මෙහෙණවරට ගොස් ඇය පැවිදි කරවීය.
ඉක්බිත්තෙන් ඒ කුමරියගේ මයිලනුවන්ගේ පුතෙක් වූ, අග්‍රබෝධි යන නම ඇත්තා වූ කුමරෙක් ඉතා බොහෝ කල්ම ඇය කෙරෙහි ඇළුණා වූ සිත් ඇත්තේ, 59 ”ඇය ගෙන පලා යන්නට මේ කාලය ය” යි දැන අප්‍රසිද්ධව ඒ කුමරිය ගෙන හුදෙකලාවම රුහුණට ගියේය. 60 ඒ අග්‍රබෝධි රජතෙම අග්‍රබෝධි (නම් උපරජු) ගෙන ඒ අග්‍රබෝධි කුමාරයා නසනු පිණිස රුහුණට ගොස් පිවිසියේය. 61 අග්බෝ (උපරජ) තෙම තමාගේ සොහොවුරු වූ අග්බෝ (රජු) වළක්වා, පශ්චිම පර්වතයේ දී අග්බෝ කුමරු නසනු පිණිස තෙමේ ගියේය. 62 මහා බල ඇත්තේ සියලු රුහුණ අත්පත් කොට ඔහු සමඟ යුද්ධ කොට සංඝා නම් වූ තමාගේ භාර්යාව අත්පත් කරගත්තේය. 63 එතැන් පටන් සුවපත් වූ, සමගි වූ ඒ තුන් දෙන ඔවුනොවුන් කෙරෙහි විශ්වාස ඇතිව රිසි සේ වාසය කළෝය.
64 ව්‍යාපාරනිමක නම් ආරාමය ද, එසේම මනගගබෝධි නම් ආරාමය ද, 65 අභයුත්තර විහාරයෙහි පුනාපිටි නම් විහාරයෙහිත්, මහ පිරිවෙනෙහිත්, වහදිව (නොහොත් වහකොට්ට) නම් විහාරයෙහිත් ප්‍රාසාදයන් ද කළේය. 66 ථූපාරාමයෙහි ගෙයි දිරුවා වූ දොරටු ද පියවි (ප්‍රතිසංස්කරණය) කළේය. ඒ ථූපාරාමයෙහි ටැම් ද වෙනස් කරවීය. 67 මෙසේ හැකි වූ පරිද්දෙන් අනික් පින්කම් ද කොට සතළිස් වෙනි වර්ෂයෙහි (අග්‍රබෝධි සිලාමේඝ) රජතෙම කම් වූ පරිද්දෙන් පරලොව ගියේය.
68 ඉක්බිත්තෙන් ශ්‍රී ධර වූ අග්‍රබෝධි නම් උපරාජ තෙම රජ විය. මහින්ද නම් නුවණැත්තා වූ ආදිපාදයන්ගේ පුත්‍ර වූ හෙතෙම ශාසනය ද ලෝකය ද සුදුසු පරිද්දෙන් සංග්‍රහ කළේය. 69 තමන්ගේ පුත්‍ර වූ මිහිඳු කුමරු උපරජ තනතුරෙහි අභිෂේක කළේය. 70 හෙතෙම මහා බෝධියෙහි දිරුවා වූ ගෙය තර කොට (ශක්තිමත් කොට) නවකම් කරවීය. 71 කලන්දය සහ මලලවාතය යන නම් ඇති ආරාම දෙකක් ද කරවීය. ධර්මකර්මයෙන් සකස් කොට බුදු සසුන ශුද්ධ ද කළේය. ධර්මයන් විනිශ්චය කරමින් මිථ්‍යා අධිකරණ නගන්නන් ඉවත් කළේය.
72 මුළු ලක්දිව ගිලනුන්ට බෙහෙත් ද, මඟුල් අවමඟුල් ද තෙමේම විචාරණය කළේය. 73 තුන් නිකායවාසී වූ භික්ෂූන්ට ලහබත් දුන්නේය. තමන්ට යෝග්‍ය වූ වටිනා බොජුන් 74 පාංශුකූලික ධූතාංගධර භික්ෂූන්ට දුන්නේය. ෂඩ් වංශික වූ හෙතෙම මේ ආදී වූ පින් කොට පොළොන්නරුවෙහි වසමින් හය අවුරුද්දකින් චුත විය. 75 ඉන් පූර්වයෙහිම ඔහුගේ පුත්‍ර වූ යුවරජ තෙම මළේය. එහෙයින් ඒ රාජ්‍යය එකල්හි අපුත්‍රක (රජ පුතෙකු නොමැති) විය.
76 සිලාමේඝ රජුගේ රාජ්‍යයට යෝග්‍ය වූ, මහත් පින් ඇත්තා වූ, ලෝකයාට සංග්‍රහ කළ හැකි වූ මහින්ද නම් පුත්‍රයෙක් විය. 77 ඔහු උපන් දිනම රජතෙම නක්ෂත්‍ර පාඨකයන් විමසා, රාජ්‍යයට යෝග්‍ය යැයි ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද වචනය අසා, 78 ඔවුන්ට මනා කොට වස්තු දී ඒ පුවත සැඟවීය. ඉක්බිත්තෙන් ඒ සිලාමේඝ රජතෙමේ වයස පැමිණියා වූ ඔහුව සිය සෙනෙවි කොට, 79 සියලු රාජ්‍යයම ඔහුගේ අතෙහි තබා තෙමේ වාසය කළේය. 80 මහත් නුවණැත්තා වූ හෙතෙම දැහැමින් රාජ්‍යය විචාළේය.
81 ඒ සිලාමේඝ රජු මළ කල්හි ද, ක්‍රම දන්නා වූ ඒ තැනැත්තේ අග්‍රබෝධී නැමැත්තා වූ ඔහු අතින් සේනාපති ධූරය නොගත්තේය. 82 එකල්හි ඒ තෙම රජුගේ කිසියම් කටයුත්තකින් ගොස් මුහුද තෙර මාතොට නම් පටුනෙහි වෙසෙයි. 83 හෙතෙම සුළුපියාගේ මරණය අසා, ”සොරු රාජ්‍යය ගෙන නුවර නසත්” යැයි සිතා වේගයෙන් ආවේය. ඊට පෙරාතුව උතුරු දෙසෙහි රටවාසීන් සහිත වූ ද මාණ්ඩලික නායකයෝ ඒ දේශය උදුරා ගෙන රජුට අයිති අයබදු නැති කළහ. 84 හෙතෙම ඒ අසා මහා සේනා ඇත්තේ උතුරු දෙසට ගොස් සියලුම රටවාසීන් සහිත මණ්ඩලිකයන් මැඩ පවත්වා, 85 රජු මළ තැනට ගොස් දේවිය (රැජින) දැක අඬා අස්වසා, කල් වූ පරිද්දෙන්, ”මහා දේවිනි, මාගේ ස්වාමි තෙමෙ මළේ යැයි නොසිතන්න. 86 මම දිවයින රක්නෙමි; නුඹ වහන්සේ රාජ්‍යය කරව” යි මේ වචනය කීවේය.
87 පාප බුද්ධි ඇත්තා වූ ඕ තොමෝ ඉවසුවාක් මෙන් නිහඬව, රිසි සේ වසනු කැමැත්තී රහසේ ඔහුව මරන්නට යෝජනා කළාය. 88 ඒ සේනාපති තෙම එය දැනගෙනම බිසවට ආරක්ෂා විධාන කොට, ඒ පක්ෂයට අයිති වූ මහා ජනයා සමඟ යුද්ධ කොට (ඔවුන්) පන්නා දැමුවේය. 89 ඉන් පසු හෙතෙම ඒ මෙහෙසිය බන්දවා යහනක දමාගෙන නුවරට ගොස් උපකරණ සහිත වූ රාජ්‍යය ගත්තේය.
90 සිලාමේඝ නම් රජුගේ බෑණා වූ, මහා සේනා ඇත්තා වූ, මහා ධන ඇත්තා වූ දප්පුල නම් ආදිපාද කෙනෙක් ඇත. 91 හෙතෙම කලාවැව වසමින් සේනාව රැස් කරවා, 92 නසංගමු නම් පියසට යුද කරනු පිණිස ආවේය. සේනාපති තෙම ඒ ප්‍රවෘත්තිය අසා සමෘද්ධ වූ සේනා වාහන ඇත්තේ ඒ බිසව ද රැගෙන, 93 වහාම එහි ගියේය. ඒ දෙදෙනාගේ භයානක වූ යුද්ධයක් එහි විය. 94 එකල දප්පුල නම් ඈපා තෙමේ පසුබසින සේනාව දැක පලා ගොස් සේනා සහිතව වලස් පව්වට නැංගේය. 95 ඔහුව එහි පලවා සේනාපති තෙම සුවසේ විසීය.
96 උතුරු රට මාණ්ඩලිකයෝ ද නුවර හිස් යැයි අසා ඒ දේශයෙහි සියල්ලෝ සමාගම් වී එකල්හි පුරය ගත්හ. සූර වූ, ස්ථිර පරාක්‍රම ඇති ඒ සේනාපති තෙම වනාහි ඔවුන් පසු බැස්වීය. ඉක්බිත්තෙන් නුවරට අවුත් විධි වූ පරිද්දෙන් රාජ්‍යය විචාරණය කළේය. 97 භික්ෂු සංඝයාට ද, ලෝවැසි ජනයාට ද, මත්ස්‍යයන්ට ද, මෘග පක්ෂීන්ට ද, නෑයන්ට ද, සේනා සමූහයාට ද කටයුතු සියල්ලම කළේය. පසුව අනුබලයට පැමිණියා වූ දප්පුල තෙම මලය රටට ගියේ, බෑණන් දෙදෙනා ද රුහුණෙන් කැඳවා, සියලුම රට දනව් වැස්සන් ගෙන බොහෝ වාහන ඇත්තේ, 98 රාත්‍රියෙහි නුවරට අවුත් මුහුද මෙන් පැතුරුණේය. හාත්පසින් ඝෝෂා කරමින් සේනා සමූහ තෙම නුවර වට කළේය.
99 අශ්වයන්ගේ හේෂාරාවයෙන් ද, ඇතුන්ගේ කුංචනාදයෙන් ද, තූර්ය ශබ්දයන්ගෙන් ද, 100 කාහල බෙර නාදයෙන් ද, යෝධයන්ගේ ගර්ජනාවෙන් ද එකල්හි අහස නොපැළුණේය. 101 එකල්හි සේනාපති තෙමේ මහා සේනාව දැක සතුටු ව ඒ ප්‍රවෘත්තිය තමන්ගේ සේනා සමූහයට කියා, 102 ”මේ රාජ පුත්‍රයෝ තුන් දෙන මහත් වූ සේනාව ගෙන අපේ නුවර වට කොට වසා ගත්හ. මෙහි තොප විසින් කුමක් කටයුතු ද?” යි ඇසීය. 103 ඔහුගේ යුද්ධ කැමති වූ සූරයෝ මෙසේ කියන ලද්දාහු සෙනෙවිහට කීවාහුය: 104 ”දෙවියන් සේවනය කරන දවස්හිම විජිතය සේවකයන්ගේ නොවේ. ඉදින් මෙසේ වූ කාලයෙහි ජීවිත කැමතිව පසු බැස්සෝ වෙමු නම්, ස්වාමි තෙමේ මෙපමණ කලක් අප සැප වූ පරිද්දෙන් කුමට පෝෂණය කළේ ද?”
105 මෙසේ කී කල්හි උත්සාහ ඇත්තා වූ සේනාපති තෙම රාත්‍රියෙහි සේනාව සජ්ජිත කොට, 106 අරුණ නැගී කල්හි කරන ලද කර්ම (පළපුරුදුකම්) ඇති ඇතු පිට නැගී, එක් දොරටුවකින් නිකම් වැටෙන හෙනක් (අකුණක්) සෙයින් යෝධයන් දහස් ගණන් සමඟ ඉවසිය නොහැකි වූ යුද්ධයක් කළේය. 107 ඒ ඈපාණන්ගේ සේනාව ඒ ඒ දිග විසිරුවා හැර එක තැනක සේනා හා එකතුව සතුට මොනවට වින්දේය. දප්පුල නම් වූ ආදිපාද තෙම (සේනාව) නසන ලදින්, අවශේෂයන් ගෙන පෙරවරු කාලයෙහි ම පැරදී රුහුණට පලා ගියේය. 108 එකල්හි රුහුණෙන් ආවා වූ ඒ රාජ පුත්‍රයන් දෙදෙනා ද ජීවග්‍රහයෙන් අල්වා ගෙන නුවරට ගියේය.
109 මෙසේ පැමිණි ජය ඇත්තා වූ සූර වූ මහින්ද රජතෙම දිවයින නිරවුල් වූ කල්හි නැඟෙනහිර දෙස සාදනු පිණිස ස්වකීය සේනාවන් පිටත් කළේය. 110 ඔවුහු ගොස් ඒ දෙස ද, උතුරු දෙස ද සාදා නොබෝ කලකින්ම මහා සේනාවක් සංග්‍රහ කළේය. 111 රජතෙමේ ද ඒ මහ බිසව, 112 ”මෑ හරින්නට ද මරන්නට ද නොහැකිය” යි සිතා තමන්ගේ බිරිඳ කළේය. 113 ඔවුන්ගේ සංවාසයට පැමිණ ගර්භයක් පිහිටියේ විය. ඕ තොමෝ ධන ලාභයට හේතු වූ පුන්‍ය ලක්ෂණයෙන් යුක්ත වූ පුත්‍රයෙක් වැදුවාය. 114 එතැන් පටන් ඕ තොමෝ රජහට ඉතා ප්‍රිය විය. ඒ රජතෙමේ ද ඒ පුත්‍රයාට භෝග සහිත වූ උප රාජ්‍යය දුන්නේය.
115 පැදුම් දෙස සිටියා වූ ආදිපාදයන් ඒ අසා ”මේ අපට විනාශය” යි සිතා දෙදෙන එකතුව, දෙපසෙහි සේනාව ද මහත් ධනය ද රැගෙන රුහුණු දෙසින් සහෝදරයා කැඳවා සම්බන්ධ කොට, 116 මහත් සේනා ඇත්තා වූ ඔවුහු ගංගා තීරයෙහි වාසය කළෝය. 117 රජතෙම මේ සියල්ල අසා ඒ ඒ තන්හි මණ්ඩලිකයන් සතුටු කරගෙන, කිසි දුෂ්ට කෙනෙකුන් මරවා, නුවරෙහි රැකවල් කටයුතු මනා කොට යොදා, මහ සෙනඟ ගෙන ඒ මෙහෙසිය ද ගෙන 118 හුම්මාර නම් ගමෙහි කඳවුරු පිහිටුවූයේය.
119 ඔහුගේ ඊම දැන ඒ ආදිපාද තුන්දෙනා ද කොවිළාර නම් ගමෙහි දී මහත් යුද පැවැත්වූහ. ඉක්බිත්තෙන් මහත් සේනා ඇති ඒ රජතෙමේ ඒ සේනාව නැසූයේය. 120 ඒ දප්පුල තෙමේ පලා ගියේය. ආදිපාද දෙදෙනෙක් මරන ලද්දෝය. එහි ද ලැබූ විශේෂ ජය ඇත්තා වූ රජතෙම නුවරට අවුත් රාජකෘත්‍ය විචාරණය කළේය; මහ දන් පැවැත්වූයේය.
121 හෙතෙම මහා බෝධි වෘක්ෂ රාජයාට ද, මහා චෛත්‍ය තුනට ද, ධාතුවට ද සත්කාර කොට මහා පූජා කරවීය. 122 දප්පුල තෙම රුහුණට පැමිණ එහි ආවා වූ කලක දී නැවත රජු හා යුද්ධ කරන පිණිස සේනාව පිළියෙළ කළේය. 123 ඒ රජතෙමේ පුතුන්ට ද මුනුබුරන්ට ද දේශය නිරවුල් කරනු පිණිස, 124 සියලුම භික්ෂූන් ථූපාරාමයෙහි රැස් කරවා, 125 අනිකුත් යුතු අයුතු දැනීමෙහි දක්ෂ වූ මහා ප්‍රාඥයන් ද රැස් කරවා, 126 සියලු රාජ ධර්මයන්හි දක්ෂ වූ, ක්‍රම දැනීමෙහි පණ්ඩිත වූ රජතෙම ඒ ප්‍රවෘත්තිය දන්වා, 127 ඔවුන් විසින් මනා කොට පසසන ලද්දේ, සිවුරඟ මහ සෙනඟ ඇත්තේ, 128 සියලු උපකරණ සහිත වූයේ, දිවයින සැම තන්හි ද නුවර ද කටයුතු යොදා නික්මුණේ නොබෝ කලකින්ම මාර පව්වට ගියේය.
129 ඒ දේශය මර්දනය කොට වහාම පර්වතයට නැංගේය. 130 ඒ දැක රුහුණු සියල්ලෝම භයපත් වූවෝ ඔහු වසඟ බවට ආවාහුය. ඉක්බිති දප්පුලයන් සමඟ මිත්‍ර සන්ථවය කොට, 131 ගර්ව සහිත ව ඔහු අතින් ඇතුන් ද, අසුන් ද, මැණික් ද ගෙන, 132 රුහුණ භුක්ති විඳින්නවුන්ට කළුගඟ ද සීමා කොට, ගඟින් මෙතෙර ගෙන රජුගේ භුක්තිය කරවීය. 133 මෙසේ මහත් තේජස් ඇත්තේ ලංකාද්වීපය සතුරු භය නැති කිරීමෙන් නිශ්කණ්ටක කොට, එකච්ඡත්‍ර වූයේ නුවරට අවුත් සැප සේ විසීය.
134 අධිපති වූ ඒ රජතෙම දාමවිහාරික නම් පිරිවෙන කරවීය. පොළොන්නරුවෙහි තැඹිලි තොට නම් පිරිවෙනක් ද කරවීය. අභයගිරියෙහි මහා ලේඛ නම් පිරිවෙන කරවීය. 135 එසේ වූ එහිම තුන් ලක්‍ෂයකින් නොයෙක් මහල් ඇති කොට, අන්‍ය වූ වෛජයන්ත ප්‍රාසාදයක් මෙන් ඉතා මනෝඥ වූ රත්න ප්‍රාසාදය කරවා, 136 මහත් ධන ඇත්තා වූ රජතෙම ජාම්බෝනද රන් සැට දහසකින් අනර්ඝ චූඩා මාණික්‍ය යුක්ත කොට සර්වඥ ප්‍රතිබිම්බයක් ද කරවා, 137 සියලු උපහාරයෙන්ම හැඟවූ පූජා කරවා, ප්‍රාසාද පූජාවෙහි තමන්ගේ සියලු රාජ්‍යය පරිත්‍යාග කළේය.
138 රිදියෙන් නිමවන ලද ඉතා මනෝඥ වූ යහපත් වූ බෝධිසත්ත්ව රූපයක් ද කරවා සිලාමේඝ නම් වූ මෙහෙණින්ගේ විහාරයෙහි තැබීය. 139 ථූපාරාමයෙහි සෑයට විසිතුරු පිණිස අතරතුර රිදී පටක් කොට රනින් නිමවන ලද සැට්ටයක් (කංචුකයක්) කළේය. 140 එහිම දිරා ගියා වූ ප්‍රාසාදය ද හෙතෙම කරවූයේය. 141 ස්මෘතිමත් වූ ඒ රජතෙම මහත් වූ පූජා කරවා හේමාලි විහාරවාසී වූ මහා ස්ථවිරයන් වහන්සේ ලවා අභිධර්මය කියවීය. 142 ඒ විහාරයෙහි ඒ ස්ථවිරයන් වහන්සේට පරිභෝග පිණිස පොකුණක් ද කරවීය.
143 ඒ රජතෙම ඒ ඒ තන්හි බොහෝ වූ ජීර්ණ දේව මන්දිරයන් කරවා 144 දෙවියන්ගේ පිළිරූ ද මාහැඟි කොට රැක්වීය. බමුණන්ට ඝෘත මිශ්‍ර කිරි පෙවීය. 145 හෙතෙම පිළුන්ට (ආබාධිතයන්ට) ගොනුන් ද දිවෙල් ද දුන්නේය. ගොනුන් නොගන්නා වූ දෙමළුන්ට අසුන් දුන්නේය. 146 අනාථ වූ, ලජ්ජා සහිත යම් කෙනෙක් වෙත් ද, ඔවුන්ට ද හෙතෙම රහස සංග්‍රහ කළේය. ඔහු විසින් සුදුසු පරිද්දෙන් සංග්‍රහ නොකරන ලද්දෙක් ලංකාද්වීපයෙහි නැත්තේය. 147 හෙතෙම කලාවැවෙහි ජල සම්පාදනය ස්ථිර කළේය. 148 මෙයාකාර වූ ඔහුගේ පුණ්‍ය කර්මය ප්‍රමාණ රහිතය; ඉතා බොහෝය.
149 එකල්හි ඔහුගේ පුත්‍ර වූ යුවරජ තෙම ස්වර්ගප්‍රාප්ත විය. 150 සේනාපති කාලයෙහි උපන්නා වූ අනාථ වූ කුමරුවෙක් ඇත්තේය. රජතෙම රාජ පුත්‍රයන්ගෙන් බියපත් වූයේ රජ වන්නට සුදුසු යැයි සිතා, 151 යම් සේ මරවන්නට නොහැකි ද ඒ පරිද්දෙන් ඒ කුමාරයා වර්ධනය කරවීය. 152 ඒ කුමාර තෙම වනාහි එක් කලෙක සතුරන් විසින් නුවර වට කළ කල්හි, පියා කරා එළඹ යුද්ධයෙහි හැසිරෙන්නා වූ ඇතෙක් ඉල්ලීය. හෙතෙම භයානක වූ මාරයාගේ ඇතාට උපමා ඇත්තා වූ මහ ඇතෙක් ද, සියලු ආයුධ ශිල්පයන්හි විශාරද, යුද පුරුදු වූ සේනාවක් ද දුන්නේය.
153 එකල්හි ඒ කුමර තෙමේ, ”මේ තෙමේ කාලය” යි කියා සිරිය බැඳ, හස්ති රාජයාට නැගී නුවරින් පිටත නික්ම, දුක සේ දිනිය යුතු වූ සියලුම සේනාව විසුරුවා ජය ගත්තේය. 154 ඒ දැක පහන් වූ රජතෙම ඔහුට සෙනෙවිරත් තනතුර දුන්නේය. 155 මේ තෙමේම වනාහි සේනා සහිතව උතුරු දෙසට ගොස් සේනා සහිත වූ ඒ දප්පුල නම් ආදිපාදයන් ද පලවා හැරියේය. 156 එහෙයින් දප්පුල තෙමේ ඔහු කෙරෙහි අතිශයින්ම බද්ධ වෛර ඇති විය. මහමමාර නම් ගම යුද්ධයේ දී ඔහුව දැක ඉතා ක්‍රෝධ ඇතියේ, 157 තමා නැංගා වූ ඇතා ඔහුව නසනු පිණිස වහාම යැවීය. මේ කුමර තෙම ඒ ඇතා තමාගේ ඇතා ලවා අන්නවා පලවා හැරියේය.
158 ඒ දැක ඉතා සතුටු වූ (රජතෙම), රාජ්‍යයෙහි තබන්නට අන්‍යයන් නැති හෙයින් ද ඔහුට තමන්ගේ උප රජ තනතුර දුන්නේය. 159 හෙතෙම මෙසේ විසි අවුරුද්දක් මේ දිවයින මනා කොට භුක්ති විඳ, පුණ්‍ය කර්මයාගේ විපාකය විඳින්ට මෙන් ස්වර්ගයට ගියේය.
160 මෙසේ ජනයාට දුක් වූ, විරූප වූ, නොයෙක් ක්‍රමවලින් ලද්දා වූ සියලු භෝගයෝ ක්ෂණයෙන් නස්නාහුය. අඳෝමය! අඥානයෝ එහිම ඇලෙති.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහාවංශයෙහි ජරාජන නම් වූ සසාළිස්වෙනි අදියර නිමි.