1 හත්‍ථදාඨ රජුගේ අභාවයෙන් පසු මාණවම්ම තෙම රජ බවට පත් විය. ඔහු කවර නම් ගෝත්‍රයකට අයත් වූයේ ද? කවරෙකුගේ පුත්‍රයෙක් වී ද? කෙසේ නම් රාජ්‍යයට පත් වී ද යත්; හෙතෙම මහා සම්මත වංශයෙහි උපන්නා වූ, 2 ජාති ගුණ උසුලන්නා වූ ද, ථූපාරාමය පිළිසකරු කළා වූ ද, කාශ්‍යප නම් රජුගේ 3 පුත්‍රයා ය. ඒ රජතුමාගේ අගමෙහෙසිය වූයේ මලය රජුගේ දියණිය වූ සංඝා නම් බිසව ය.
4 ඒ කුමරිය ලබා උතුරු ප්‍රදේශයෙහි සැඟවුණු දිවි පෙවෙතක් ගෙවමින් වාසය කරන කල්හි, හත්‍ථදාඨ රජු විසින් ඒ බව සැකහැර දැනගත් විට, මාණවම්ම කුමරු දඹදිවට පලා ගියේ ය. 5 එහි ගොස් නරසීහ නම් රජු වෙත පැමිණ, තමාගේ නාමය දන්වා ඔහු ඇසුරු කිරීමට පටන් ගත්තේ ය. 6 හෙතෙම සියලු උපාය මාර්ගයන්ගෙන් ඒ රජුව සතුටු කළේ ය. ඔහුගේ මිත්‍රභාවය වටහා ගත් මාණවම්ම, තමාගේ බිරිඳ ද එතැනට ගෙන්වාගෙන රෑ දවල් දෙකෙහි ඒ රජුට සේවය කරමින් එහි ම වාසය කළේ ය.
7 කාවට්ටි රටට අයත් ඒ රජතුමා ද මාණවම්ම කුමරු විසින් සතුටු කරන ලද්දේ, මුළු රාජ්‍යය ම පවරා දෙන්නාක් මෙන් ඔහුට මහත් වූ භෝග සම්පත් ලබා දුන්නේ ය. 8 සංඝා නම් දේවිය ද මාණවම්ම කුමරු සමඟ එක්ව වාසය කරමින් දියණියන් සතර දෙනෙකු හා පුතුන් සතර දෙනෙකු ප්‍රසූත කළා ය.
9 යළි එක් දිනක් නරසීහ රජතුමා මාණවම්ම කුමරු ද සමඟ මගුල් ඇතු පිට නැඟී, 10 තමන් කැමති පරිදි ඇවිද යන්නේ, එහි හිඳගෙන ම පිපාසය ඇති වී පැන් බී ඉතිරිය අනෙකෙකැයි නොසිතා මාණවම්ම හට දුන්නේ ය. 11 ඒ මාණවම්ම තෙම එය ගෙන, “මේ රජතුමා මාගේ මිත්‍රයා ය. පරමාර්ථ වශයෙන් ගත් කල සත්වයන්ගේ කුමක් නම් ඉඳුල් වේ ද?” යයි සිතී ය. 12 එහෙයින් “මා විසින් මෙය පානය කටයුතු ය” යි සිතා එය බීවේ ය. දිනනු කැමති වූ නුවණැත්තෝ මෙලෙස මහත් උත්සාහ ඇත්තෝ වෙති. 13 රජතුමා එය දැක භියට පත් වී, ඔහු බී ඉතිරි වූ කොටස තමන් ම පානය කළේ ය.
14 පින්වතුන්ගේ ක්‍රියාවන් සෑම කල්හි ම එසේ වන්නේ ය. එකල් පටන් රජු විසින් ඔහු ව තම භෝජනයෙහි ද, ශයනයෙහි ද, පරිහරණයෙහි ද, වාහනයෙහි ද යන සෑම තැනක ම තමන් හා සමානව ම තබන ලද්දේ ය. 15 මෙසේ ඔවුන් වසන කල්හි වල්ලභ රජු, නරසීහ රජු හා යුද්ධ කිරීම පිණිස පැමිණියේ ය. එවිට නරසීහ තෙම මෙසේ සිතී ය: 16 “මේ මාණවම්ම වනාහි මා සේවය කිරීම මඟින් තම වංශයට හිමි වූ රාජ්‍යය ලබා ගනිමි යි සිතා රෑ දවල් නොබලා අනලස් ව මට සේවය කරයි. ඉදින් හෙතෙම 17 මා සමඟ ගොස් යුද්ධ කරමින් මරණයට පත් වන්නේ නම්, ඔහුගේ ද මාගේ ද කල්පනා වූ ඒ සියලු බලාපොරොත්තු නිෂ්ඵල වන්නේ ය.”
18 ඒ රජ තෙම මෙසේ සිතා, ඔහුව තමන්ගේ නුවරෙහි රඳවා, තෙමේ ම වල්ලභ රජු හා සමඟ යුද්ධ කිරීමට පිටත් ව ගියේ ය. එවිට මාණවම්ම තෙම ද මෙසේ සිතුවේ ය: 19 “ඉදින් මා ජීවත් වන කල්හි මේ රජතුමා යුද්ධයේ දී මිය යයි නම්, මාගේ ජීවිතයෙන් කවර ඵලයක් ද? 20 එසේ වූ කල ඔහු හා සමඟ වූ විශ්වාසය පලුදු කොට කරන ලද්දක් වන්නේ ය. හෙතෙම තමාට සමාන වූ භාවයෙන් මට සංග්‍රහ කළේ කුමක් පිණිස ද? 21 එහෙයින් මා විසින් ඔහු සමඟ යුද බිමට යා යුතු ය. ඔහු හා සමඟ ම ජීවත් වීම හෝ මරණයට පත් වීම හෝ සැපතකි.”
මෙසේ සිතා සන්නද්ධ කරන ලද යෝධයන් ඇති ව හෙතෙම උතුම් ඇතු පිට නැඟී යුද බිමෙහි පෙනී සිටියේ ය. 22 ඒ නරසීහ රජු ද ඔහුව දැක තුටු පහටු ව, “අහෝ! මා විසින් මොහු කෙරෙහි කරන ලද මිත්‍ර භාවය සැබෑවක් ම ය” යි විශ්වාස කළේ ය. 23 ඉන්පසු මාණවම්ම කුමරුගේ සේනාව ද, ඒ නරසීහ රජුගේ සේනාව ද එකමුතු ව වල්ලභ නම් රජුගේ සේනාව වැනසූ හ. 24 මාණවම්ම තෙම ද, රාම රජුගේ යුද්ධයේ දී විෂ්ණු දෙවියන් මෙන් එහි තමන්ගේ ශූර බව දැක්වී ය. 25 නරසීහ රජ තෙම ද මාණවම්ම කුමරුගේ වික්‍රමයෙහි සතුටු 26 වූයේ, “ඔබ වනාහි මට ජය ලබා දුන්නේ ය” යි කියා ස්නේහයෙන් වැලඳ ගෙන, තමාගේ නුවරට අවුත් ජය කෙළි පවත්වා මාණවම්ම කුමරුගේ සේනාවට කළ යුතු සියල්ල කළේ ය.
27 යළිත් රජ තෙම මෙසේ සිතී ය: 28 “මාගේ මිත්‍රයා තමා විසින් කළ යුතු සියල්ල කළේ ය. හෙතෙම අද පටන් මට ණය නැත්තේ ය. එබැවින් මා විසින් කළ යුතු දෙය කොට මාගේ 29 ණය ද පියවමි. කළගුණ දන්නා වූ පුරුෂයන්ට කෘතගුණ සැලකීම ඉතාම 30 දුෂ්කර කාර්යයක් වුව ද එය කළ යුතු ම ය” යි සිතා ඇමතියන් රැස් කරවා මේ වචනය කීවේ ය. “මාගේ මේ මිත්‍රයාගේ ක්‍රියාවන්හි තොපි ද සාක්ෂිකරුවෝ ය. එබැවින් මා විසින් ද සැප ඵලවන්නා 31 වූ යහපත් ක්‍රියාවක් ඔහුට කළ යුතු ය. පූර්වෝපකාරී වූ පුද්ගලයාට උපකාර කිරීම සත්පුරුෂයන්ගේ ධර්මයකි.”
32 මෙසේ කී කල්හි, “දේවයන් වහන්ස, ඔබ වහන්සේ යමක් කැමති වන්නේ නම් ඒ ඒ දෙය අපට ද රුචි වන්නේ ය” යි ඒ ඇමතියෝ රජුට පිළිවදන් දුන්හ. 33 ඉක්බිත්තෙන් ඒ රජ තෙමේ මාණවම්ම කුමරු හට වාහන සහිත 34 සේනාව ද, සියලු උපකරණ ද, සියලු සේවකයන් ද දී “යව” යි කියා, සේනාව 35 සමඟ යන්නා වූ ඔහුව බලා වෙන් වූ පුතෙකු වෙනුවෙන් හඬන්නාක් මෙන් හැඬුවේ ය.
36 මාණවම්ම ක්ෂත්‍රිය තෙම ද මුහුදු වෙරළේ දී නැව් නැඟී, නොබෝ කලකින් ම වේගයෙන් මුහුද ඉක්මවා අවුත්, සේනාව සමඟ ලංකාද්වීපයට පෙළෙමින් ඇතුළු විය. ඒ බව අසා දාඨෝපතිස්ස නම් රජ තෙම පලා ගියේ ය. 37 මාණවම්ම ක්ෂත්‍රිය තෙම ද නුවරට ගොස් රජ නොවී, පලා ගිය රජු ලුහුබැඳ අඩියක් අඩියක් පාසා පසුපස ම යමින් මතු බලාපොරොත්තු ඇතිව ගියේ ය. එකල්හි (දඹදිව නරසීහ රජුට) රෝගයක් වැළඳුණේ යයි ද්‍රවිඩ 38 සේනාව අසා, “අපගේ ස්වාමි තෙම මහා රෝගයකින් මැඩ පැවතුණේ ය” යි කියා සේනාව ඔහු අතැර ඉවත්ව ගියා ය.
දාඨෝපතිස්ස රජ 39 තෙම ඒ බව අසා මහත් සේනාවක් ගෙන මාණවම්ම කුමරු කරා පැමිණ 40 යුද්ධ කිරීමට පටන් ගත්තේ ය. මාණවම්ම කුමරු තෙම ද, “මාගේ 41 සියලු සේනාව ගිය බැවින්, මා මළ කල්හි මාගේ සතුරාගේ අභිමතය ඉටු වන්නේ ය. එහෙයින් මම දඹදිවට ම යමි. එතැනින් සේනාව ගෙන්වාගෙන නැවත රාජ්‍යය ගනිමි” යි සිතී ය. එහෙයින් ඒ තෙම එසේ කළේ ය.
42 නැවත දඹදිවට ගොස් මිත්‍ර වූ නරසීහ රජු දැක, මනා කොට සතුටු 43 කරමින් සකස් කොට ඔහුට සේවය කළේ ය. එහි රජවරුන් සතර දෙනෙකු මියගොස් අලුත් රජවරුන් පත් වන තෙක් ම ඒ මාණවම්ම තෙම එහි වාසය කළේ ය. ඉක්බිත්තෙන් 44 “මානයෙන් තද වූ, කීර්තිය ම ධනය කොට ඇත්තා වූ මාගේ මිත්‍රයා රාජ්‍යය 45 පිණිස මා සේවය කරමින් ම කල් ගත වී මහලු බවට පත් වන්නේ ය. ඔහු එසේ දුක් විඳිනු බලමින් 46 මම කෙසේ රාජ්‍යය කරම් ද? මේ වාරයෙහි වනාහි මාගේ සේනාව යවා ඒ රාජ්‍යය ලබා නොදෙන්නෙම් නම් මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජන 47 ද?” යි නරසීහ තෙම සිතුවේ ය.
මෙසේ සිතා හෙතෙම තමන්ගේ සේනාව රැස් කරවා, සුදුසු පරිද්දෙන් සන්නද්ධ කරවා, ඔවුන්ට කැමති දේ ලබා දී, 48 තමන් ම ඒ සේනාව ගෙන මුහුදු වෙරළට පැමිණියේ ය. විචිත්‍ර රූප ඇත්තා වූ ස්ථිර වූ බොහෝ නැව් කරවා, “පින්වතුනි, මොහු සමඟ යව්” යයි ඇමතියන්ට නියෝග කළේ ය. එකල්හි සියලු ජනයෝ නැව් නැඟීමට අකමැති වූහ. 49 එකල්හි නරසීහ තෙම නානාප්‍රකාරයෙන් සිතා, තෙමේ ම වෙස්වලාගෙන, රාජ ලක්ෂණ වශයෙන් සම්මත වූ තමන්ගේ සියලු පෙරහර ද, තමන්ගේ ආභරණ සියල්ල ද ඔහුට ම දී, ඒ මාණවම්ම 50 කුමරු ව නැවට නංවා, “යව, මුහුදේ සිට මේ ‘කොට’ නම් බෙරය වාදනය 51 කරව” යි නියෝග කළේ ය. ඒ මාණවම්ම තෙම ද සියල්ල එසේ 52 කළේ ය. එවිට “අපගේ රජතුමා ද ගියේ ය” යි සිතා, රජු ව තනි කොට 53 ජනයෝ නැව් නැංගාහ. මාණවම්ම තෙම ඒ සෙනඟ ගෙන යාමට පටන් ගත්තේ ය. හුදෙක් ඒ සාගරය තෙම පාවෙන නුවරක් හා සමාන විය.
54 ඉක්බිත්තෙන් හෙතෙම තොටුපළට පැමිණ වාහන සහිත ව ගොඩබැස, එහි කීප දවසක් වසමින් සේනාවට විවේක දී, උතුරු දේශය ගෙන 55 ජනයා තමා යටතට පත් කොට ගෙන, සෙලවිය නොහැකි මහා සේනාවක් ඇති ව නුවරට යාමට පටන් ගත්තේ ය. පොත්ථකුට්ඨ තෙම ඒ බව අසා මහත් 56 සේනා ඇති ව ඉදිරියට ගියේ ය. ඒ සේනා දෙක බිඳුණු වෙරළ ඇති සාගර දෙකක් මෙන් එකිනෙක ගැටුණාහ. 57 ඉන් මාණවම්ම තෙම ගන්නා ලද ආයුධ ඇති ව ඇතු පිට නැඟී පොත්ථකුට්ඨ නම් ද්‍රවිඩ පුරුෂයා ද, හත්‍ථදාඨ රජු ද වෙන් කොට පලවා හැරියේ ය. පලා යන්නා වූ හත්‍ථදාඨයා දනව් වැසි මිනිසුන් විසින් දැක, 58 ඔහුගේ හිස ගෙන මාණවම්ම රජහට දැක්වූහ. පොත්ථකුට්ඨ තෙම පලා ගොස් මේරුකන්දර නම් දනව්වට පැමිණියේ ය.
59 ඉන්පසු ඒ රටේ පාලකයා ඔහුව දැක, “මේ තෙමේ මට බොහෝ කලක් මිත්‍ර ව සිටියේ ය. එහෙයින් විපතෙහි පිහිට සොයා ආවහු හැරදැමිය 60 නොහැකි ය. ස්වාමියාට ද මිත්‍රයාට ද නිදොස් වූ යමක් කෙසේ කරම් ද?” 61 යි සිතා හෙතෙම විෂ සහිත වූ කැවුමක් අනුභව කොට මළේ ය. පොත්ථකුට්ඨ තෙම ද එයින් ම කැවුමක් අනුභව කොට මළේ ය. ඒ මාණවම්ම රජුට මෙසේ ලංකාද්වීපය නිරවුල් විය.
62 ඒ මාණවම්ම තෙම එයින් ම ලංකා ද්වීපයෙහි ජනයාගේ දුක් වළක්වන්නාක් මෙන් ම එකල්හි ලංකාවෙහි ජය සේසත එසවී ය. හෙතෙම 63 බොහෝ වූ ද අනගි වූ ද පින්කම් කළේ ය. ඒ සියල්ල පදයක් පාසා 64 කියන්නට කවර මනුෂ්‍යයෙක් නම් සමත් වේ ද? හෙතෙම කප්පගාම නම් වූ ද, එසේ ම සේපණී නම් වූ ද, පධානඝර නම් විහාරයෙහි සිරි නම් ප්‍රාසාදය 65 ද, සිරිසඟබෝ නම් වූ විහාරයෙහි ප්‍රසාද ඵලවන්නා වූ පහයක් ද යන මේවා උත්තමයාණන් වහන්සේ ම කරවූයේ ය. ලෝවාමහාපාය ද එසේ ම 66 ථූපාරාමයෙහි ගෙය ද සෙවිලි කරවී ය. ථූපාරාමයෙහි ම ප්‍රසාදයක් ඉදි කොට පාංශුකූලිකාංගය රක්ෂා කරන භික්ෂූන්ට දුන්නේ ය. දිරා ගිය චෛත්‍ය මස්තකයෙහි ඡත්‍රය ප්‍රතිසංස්කරණය කළේ ය. එහි ම බොහෝ වූ ජරාවට පත් ආවාසයන් ද පිළිසකරු කළේ ය.
(මෙහි සතළිස් හත්වෙනි පරිච්ඡේදයේ කෙළවර නොපෙනේ. මෙතැන් පටන් සතළිස් අටවෙනි පරිච්ඡේදය යයි හැඟේ. පූජාවලි අනුසාරයෙන් මීට අනතුරුව අග්බෝ රජුගේ නම පැණෙයි. පරිච්ඡේද සංඛ්‍යාව ද පොතේ අඩු වී පෙනේ.)