1 හත්‍ථදාඨ රජුගේ අභාවයෙන් පසු, රජුගේ බාල සොහොයුරු වූ 2 අග්බෝ කුමරු ‘සිරිසඟබෝ’ යන නාමයෙන් රජ විය. මේ තෙමේ සම්මා දෘෂ්ටියෙන් යුක්ත වූ ඉතා ධාර්මික රජෙක් විය. එහෙයින් හෙතෙම 3 ප්‍රමාණය කළ නොහැකි තරම් වූ පින්කම් සිදු කළේය. තුන් නිකායේම භික්ෂූන් වහන්සේලාගේ දන්සල්වලට අවශ්‍ය දේ සපයා ඒවා රැකබලා ගත් ඔහු, ‘මහාපාලී’ නම් 4 දන්සල ද වැඩි දියුණු කළේය. එසේම සතුන් මැරීම වළක්වනු පිණිස රාජ ආඥාවක් ද පැනවීය.
5 පක්ෂපාතීත්වයෙන් තොරව සුදුසු පරිදි රාජ්‍ය තනතුරු ලබා දුන් හෙතෙම, ශිල්ප ශාස්ත්‍ර ආදියෙහි දක්ෂ ජනයාට ද මැනවින් සංග්‍රහ කළේය. මහා ප්‍රඥාවන්ත වූ ඒ රජතෙම යම් කිසි තැනකදී භික්ෂූන් වහන්සේලා දුටුවේ ද, උන්වහන්සේලාට සත්කාර 6 කොට බුදු සසුනට අදාළ වූ පිරිත් දේශනා කරවීය. ඒ රජතෙම නාගසාල 7 විහාරයේ වැඩ වාසය කළා වූ ද, දාඨාශීල නම් වූ ද, මහා නුවණැති සිල්වත් බහුශ්‍රැත 8 තෙරුන් වහන්සේ වෙත එළඹ, උන්වහන්සේට සත්කාර කොට ධර්මය අසා සියලු සෙත් ශාන්තිය සිදු කරගත්තේය. ධර්මය කෙරෙහි අතිශයින් පැහැදුණු හෙතෙම, පවිටු වූ දුෂ්ට සිත් ඇති තම පැරණි 9 ඥාතීන් විසින් ‘ථේරවාදී’ යන නම ඇති මහාවිහාරවාසී භික්ෂූන්ට කරන ලද හිරිහැර ගැන අසා, දිරා ගිය බොහෝ විහාර සහ පිරිවෙන් නැවත ප්‍රකෘතිමත් කළේය. ඒ ඒ තැන්හි බොහෝ ආදායම් ලැබෙන ගම් ද පූජා කළේය.
එකල හිස්ව තිබූ පිරිකර ආදිය ද රජු විසින් අතිශයින් දියුණු කරන ලදී. 10 සංඝයාගේ වැඩ කටයුතු කරන දාසයන් ද නියමිත ස්ථානවල යෙදවීය. දාඨාසීව නම් 11 තෙරුන් වහන්සේ වෙනුවෙන් තමාගේ නමින් ප්‍රධාන ගොඩනැගිල්ලක් කරවීය. මහා 12 නුවණැති ඒ තෙරුන් වහන්සේ ද එය පිළිගෙන සංඝයාට පූජා කළහ. ඒ ගොඩනැගිල්ලට 13 ශාරතතල, කිහිම්බිල, කතක, තුලාධාර, 14 අන්ධකාර, අනතුරෙලි, බාලව, වාර, 15 නායක සහ මහා නික්කඩ්ඩික යන භෝග උපදින ගම් 16 පූජා කළේය. එසේම ‘පෙළහාල’ නම් තවත් ගමක් ද ලබා දුන්නේය. 17 ඒ රජතෙම මෙහි සඳහන් කරන ලද ගම් ද, වෙනත් භෝග උපදින ගම් ද දී, තමන්ගේ නෑයන් වූ අය ද ආරාමිකයන් (ආරාම සේවකයන්) ලෙස දුන්නේය.
එසේම නිකාය දෙකෙහි පිරිකර ආදියෙන් අඩුපාඩු ඇති 18 විහාර දැක ද, ඒ ගැන අසා ද, බොහෝ භෝග උපදින ගම් ලබා දුන්නේය. බොහෝ දේ කීමෙන් ඇති ප්‍රයෝජනය කිම ද? රජු තුන් නිකායට ම බොහෝ සම්පත් ලැබෙන ගම් දහසක් නිරවුල් කොට පූජා කළේය. තෙරුවන් ගුණ මෙනෙහි කරන්නා වූ ඒ රජතෙම, නිතර අක්ෂර මාලාවක් (නවගුණ වැලක්) අතින් ගෙන ධර්මයෙහි ඇලුනේ විය. ඔහු අනුව හැසිරෙන සියලු මිනිස්සු ද දහම් පිළිවෙත් පුරන්නෝ වූහ.
19 එකල්හි ඒ රජුගේ කටයුතු කළ ‘පොත්‍ථකුට්ඨ’ නම් දෙමළ තැනැත්තා ‘මාටම්බිය’ නම් වූ ආශ්චර්යවත් ප්‍රධාන ගොඩනැගිල්ලක් කරවීය. ‘බුකකල්ල’ නම් ගම, 20 අඹ වැව, ‘තන්තවායිකවාටික’ නම් ගම සහ ‘නිඨිලවියී’ නම් ගම ඔහු දාසයන් ද සහිතව ඊට පූජා කළේය. ‘කපුරු’ පිරිවෙනෙහි ද, 21 ‘කුරුන්දපිල්ල’ නම් පිරිවෙනෙහි ද, රජ මාලිගාවෙහි ද ප්‍රාසාද ඔහු විසින්ම කරවන ලදී. 22 මහත් ධන ඇති හෙතෙම අන්‍ය ස්ථානයන්හි විහාර විෂයෙහි ගම් තුනක් දුන්නේය. ‘පොත්‍ථසාත’ නම් නුවණැති සේනාධිපතියා ජේතවන විහාරයෙහි රජුගේ නමින් පිරිවෙනක් නිම කරවීය. ‘මහාකන්ද’ 24 නම් දෙමළ තෙමේ ද තමාගේ නමින් පිරිවෙනක් කරවීය. 25 එසේ ම එක් පුරුෂයෙක් ‘චුල්ලපන්ථ’ නම් පිරිවෙනක් කරවීය.
රජුගේ ‘සංඝතිස්ස’ නම් උපරාජයා ද ‘සෙහාල උපරාජ’ නම් 26 පිරිවෙනක් කරවීය. අන්‍යයෝ ද මේ ආදී ඉතා බොහෝ විහාර කරවූහ. ඒ රජු අනුව පවත්නා රට වැසියෝ මෙසේ ධාර්මික වූහ. 27 “යම් ප්‍රධානියෙක් යම් පාපයක් හෝ පිනක් හෝ කරයි ද, ලෝකයා ඒ ඒ දෙයම කරන්නේ ය,” යන බව පණ්ඩිතයෝ දනිති. රජුගේ 28 ‘ජෙට්ඨා’ නම් මහා පින් ඇති මෙහෙසිය ‘ජෙට්ඨාරාම’ නම් වූ 29 මෙහෙණි අසපුවක් කරවූවාය. ඒ ආරාමයට ‘පත්තපාසාණ’ නම් භූමියෙහි වූ ගම් දෙකක් ද, ‘බෙල්’ නම් ගම් ද, එසේ ම ආරාමිකයන් සියයක් ද දුන්නාය.
මහත් වූ ධන ඇති මලය රජතෙම ද ‘මණ්ඩලගිරි’ නම් 30 විහාරයෙහි චෛත්‍යයට අයත් වටිනා දාගෙයක් කරවීය. ඔහු විසින්ම ලෝවාමහාපායෙහි කුළු ගෙය සෙවිලි කරවන ලදී. මහා 31 යසස් ඇති ‘බෝධිතිස්ස’ තෙමේ ද බෝධිතිස්ස නම් විහාරයක් කරවීය. ලංකාද්වීපයෙහි මණ්ඩලාධිපතීහු (එනම් දනව් භාර දිසාපතිවරු) ද විහාර සහ පිරිවෙන් 32 කරවූහ. ඒ රජුගේ කාලය පින්කමින් ගෙවුණු සේ විය. වැඩි විස්තර කීමට ඇති බිය නිසා සියල්ල විස්තර නොකරන ලදී.
33 හේතූන්ගේ ප්‍රධාන ලක්ෂණ කියන ලද හෙයින් පෙර වූ කථා මාර්ගය ද අවුල් සහගත සේ මට වැටහේ. පසු කලෙක රජතෙම පොළොන්නරු 34 ගොස් පින් රැස් කරමින් එහිම වාසය කළේය. සුව කළ නොහැකි රෝගයකින් 35 පෙළුණු හෙතෙම, තමාගේ ජීවිතය අවසන් වන බව දැක, මහජනයා කැඳවා ධර්මයෙන් අවවාද කොට මරණයට පත් විය. ඔහු මළ 36 කල්හි මහජනයා දැඩි ශෝකයෙන් හඬා වැළපී, ඔහුගේ ආදාහන කටයුතු සියල්ල ඉතිරි නොකොට මනා ලෙස සිදු කළහ. ඔහුගේ ආදාහනයේ අළු පවා තමන්ට බෙහෙත් ලෙස ගෙන, ඒ සියලු රාජ භාණ්ඩ ද, සියලු සේනා වාහන 37 ද ගරු කොට ගෙන ආරක්ෂා සහිතව නුවරට පැමිණියහ. මෙසේ දහසය (16) වන වර්ෂයෙහි සිරිසඟබෝ 38 රජතෙම දෙව්ලොව ගියේය.
39 එකල පොත්‍ථකුට්ඨ නම් දෙමළ තෙමේ ඔහුගේ රාජ්‍යය විචාරණය කළේය. හෙතෙම දාඨාසීව නම් වූ උපරාජයා අල්ලා සිරගෙයි දැමුවේය; 40 මනා ආරක්ෂාව සහිතව අණසක පැවැත්වීය. රජෙකු නොමැතිව 41 රාජ්‍යය භුක්ති විඳීමට නොහැකි යැයි සිතූ ඔහු, දනපිටියේ ප්‍රධානත්වය 42 දැරූ රාජ වංශයෙහි උපන් ‘දත්ත’ නම් පුරුෂයෙකු ගෙන්වා, ඔහු රාජ්‍යයෙහි අභිෂේක කරවා, නාම මාත්‍රික රජෙකු ලෙස තබා තමන් සියල්ල පාලනය 43 කළේය. ඒ දනපිටියේ දත්ත නම් රජතෙම තමාගේ නමින් විහාරයක් කරවා අනෙකුත් පින් ද රැස් කළේය.
44 ඒ දත්ත නම් රජතෙම අවුරුදු දෙකක්ම සිට මිය ගියේය. ඔහු 45 මළ කල්හි පොත්‍ථකුට්ඨ තෙම නැවත හුණන්නරුවෙහි උපන් ‘හත්‍ථදාඨ’ නම් කුමරකු ගෙන්වා ඔහු ද රාජ්‍යයෙහි 46 අභිෂේක කොට, තෙමේ පෙර පරිද්දෙන්ම විසුවේය. හෙතෙම ‘කාලදීඝාවික’ නම් වූ ප්‍රධාන ගොඩනැගිල්ලක් කොට, එසේ ම අනෙකුත් පින්කම් ද කර, සය මසකින් මරණයට පත් විය. 47 මෙසේ බොහෝ උපද්‍රව ඇත්තා වූ ධනය ද, ධාන්‍ය ද, වාහන ද ගැන (අනිත්‍ය බව) දැන, නුවණැති පුද්ගලයෝ රාජ්‍යයන් කෙරෙහි ඇල්ම හැර, යහපත් වූ පින් දහම්හි ඇලුනෝ වෙත්වා.
මෙතෙකින් සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශයේ ‘තිරාජක’ (රජවරුන් තිදෙනාගේ පුවත) නම් වූ හතලිස් හතර වෙනි පරිච්ඡේදය නිමාවිය.