1 ඉන්පසුව යුද්ධය ජයග්‍රහණය කළා වූ ද, පිරූ පැතුම් ඇත්තා වූ ද කසුබ් රජතුමා ‘මහා පාළි’ නම් දන්සැලෙහි මහා සංඝයා වහන්සේට දානය සම්පූර්ණ කළේය. එම රජතුමා නාහල් හි විසූ මහා ධර්ම කථික තෙරුන් වහන්සේට මහත් වූ පූජාවන් පැවැත්වූ අතර, 2 උන්වහන්සේ ලවා බණ දේශනා කරවීය. තවද රජතුමා තම සොහොයුරා විසූ ආරාමයේ වැඩ විසූ කටන්ධකාර 3 දේශයෙහි තෙරුන් වහන්සේලා උදෙසා අටුවා සහිත සියලු පෙළ දහම ලියවීය; දිරාගිය තැන් 4 ප්‍රතිසංස්කරණය කළේය. හෙතෙම චෛත්‍යයෙහි නවකම් ද කරවීය.
ඒ ඒ ස්ථානයන්හි 5 නොයෙක් සංඝයාට ආදායම් මාර්ග ඇති කරවූ රජතුමා, නානා රත්නයෙන් බබළන චූඩා මාණික්‍යයක් කරවීය. පඬුපලාසයන් (ප්‍රවෘජිතයන්) සියයක් දෙනා වස්ත්‍ර දානයෙන් පිනවීය. ඔහුට දරුවෝ බොහෝ දෙනෙක් වූහ. ඔවුන් අතරින් වැඩිමහල් පුත්‍රයා මාණක නම් විය. 6 ඒ සියලු දරුවෝ තරුණ වයසට නොපැමිණියහ; ඔවුහු බාලයන් වූහ. එහෙයින්ම ඔවුහු 7 මුහුකුරා ගිය නුවණ නැත්තෝ වූහ.
පසුව ඒ රජතුමා කිසිදු වෛද්‍යවරයකුට සුව කළ නොහැකි රෝගයකින් පෙළුණේ, “මාගේ පුතුන් සියල්ලෝම ළදරුවෝ ය; මොවුහු රාජ්‍යය ආරක්ෂා කිරීමට 8 සමත් නොවෙති” යි සිතා රුහුණු රට වසන මහා නුවණැති තම බෑණනුවන් කැඳවා, තමාගේ පුතුන් සහ සියලු රාජ්‍යය ඔහුට පවරා දුන්නේය. සුවඳ මල් ආදී පූජාවන්ගෙන් චෛත්‍යයන් පුදා, සිව් පසය දී භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ලබා ගත්තේය. ඒ කසුබ් රජතෙමේ 9 මෙසේ සුචරිතයෙහි ද, මිත්‍රයන් සහ ඇමති ජනයා කෙරෙහි ද දැහැමිව හැසිර, නව 10 අවුරුද්දකින් කම් වූ පරිදි පරලොව ගියේය.
11 ඒ මාණ කුමරු තම මාමා වූ රජතුමාට කළ යුතු අවසන් කටයුතු ගෞරව සහිතව නිමවා, ජනයාට සංග්‍රහ කොට දෙමළ ජනයා පිටුවහල් කළේය. 12 එකල්හි දෙමළ ජනයා එක්ව, “මොහු බැහැර කරමු” යැයි සිතා, පිටත සිටි තමන්ගේ පිරිස් හා එකතුව 13 නුවර අල්ලා ගත්හ. ඔවුහු දඹදිවට ගොස් සිටි හත්ථදාඨ කුමරුට “රජය ලබා ගැනීම සඳහා 14 ඔබගේ පැමිණීමට මෙය කාලයයි” යනුවෙන් හසුන් යැවූහ. මාණ කුමරු ද තම පියාණන් කැඳවීම පිණිස රුහුණට වහා හසුන් යැවීය. පියාණන් ද ඒ අසා නොබෝ කලකින් 15 රුහුණෙන් පැමිණියේය.
ඔවුන් දෙදෙනා මන්ත්‍රණය කොට දෙමළුන් එකිනෙකා හා බිඳවූහ. ඉන්පසු ඔවුහු සියල්ලෝම සාමකාමී පැවතුම් ඇත්තෝ වූහ. එකල මාණ 16 කුමරු තම පියාණන්ව රාජ්‍යයෙහි අභිෂේක කරවීය. අභිෂේක ලත් 17 ඒ රජතුමා (තුන්) නිකායට තුන් දහසක් වටිනා දේ දුන්නේය. හෙතෙම සංඝයාට ද රටට ද සංග්‍රහ කොට, රජකුලෙහි තිබූ සියලු වස්තු සතුරන්ගෙන් ආරක්ෂා කරනු පිණිස රුහුණට 18 යැවීය.
හත්ථදාඨ තෙමේ ද දෙමළුන්ගේ හසුන අසා දෙමළ බල සේනාවක් ගෙන ක්ෂණයකින් මෙම දිවයිනට ආවේය. එකල ඒ ඒ තැන්හි විසිරී සිටි දෙමළු සියල්ලෝම, පරිභවයට පත්ව 19 මෙහි සිටියෝ, ගොස් මගදී ම එන ඔහු පිරිවරා ගත්හ. මාණ කුමරු ද 20 ඒ සියලු පුවත් අසා, “මේ යුද්ධයට කාලය නොවේ” යැයි සිතා, සාර වූ ධනය සහිතව පියාණන්ව 21 රුහුණට යවා, තෙමේ නැගෙනහිර රටට ගොස් ජනයාට සංග්‍රහ කරමින් 22 විසීය.
ඒ දාඨෝපතිස්ස තෙමේ දෙමළ පක්ෂයේ සහාය ලැබූ හෙයින් රජ නුවර ගෙන, 23 ‘දාඨෝපතිස්ස රජ’ යැයි තමාගේ නම ප්‍රකාශ කරවීය. ලෝ වැසි ජනයා ද මාමාට මෙන්ම එම නමින් ඔහුට ව්‍යවහාර කළහ. ඒ රජ තෙමේ පියාගේ 24 සොහොයුරියගේ පුත් අග්බෝ නම් කුමරු ගෙන්වා යුව රජ තනතුරෙහි 25 තබා දකුණු රට ද ජය ගත්තේය. හෙතෙම තමා ඇසුරු කළවුන්ට සුදුසු පරිද්දෙන් තනතුරු ද දුන්නේය; ශාසනයට හා ලොවට කළ යුතු සියලු දේ කළේය.
හෙතෙම මහා පාළියෙහි 26 පිළි සහිත දීකිරි බත් ද, කිරිබත් ද දුන්නේය; බණ ඇසුවේය; පෙහෙවස් සමාදන් වී විසුවේය; සියලු පූජාවන් කරවමින් සහ දහම් දෙසවමින් මේ ආදී පිනින් තමා යහපත් කර ගත්තේය. 27 කසුබ් වෙහෙරට සේනාගම දුන් අතර, පදන්නේ හිමියන්ට ‘මහගල’ වැව දුන්නේය. මොනර පිරිවෙණට ‘කසගම’ පූජා කළේය. ථූපාරාමයට ‘පුණ්ණොළිය’ දී 28 සෑයට සත්කාර කළේය.
හේ තෙමේ අභයගිරි විහාරයෙහි ‘කපුරු පිරිවෙණ’ කරවීය. ‘තිපුතුල්’ නම් විහාරය කරවා ඒ වෙහෙරට පිදුවේය. ඔහු ඒ 29 වෙහෙර කරවන කල්හි ථේරවාදී භික්ෂූහු එය තමන්ගේ සීමාව ඇතුළත යැයි පවසා 30 එය වැළැක්වූහ. රජතුමා ඔවුන්ව නොසලකා හැර බලහත්කාරයෙන් එහි ම එම විහාරය කරවීය. ඉක්බිති ඒ ථේරවාදී භික්ෂූහු රජු කෙරෙහි නොසතුටු සිත් ඇත්තෝ, ඔහු 31 සැදැහැ නැති අයෙකැයි සිතාගෙන ‘පත්තනික්කුජ්ජනකම්’ (පාත්‍රය මුනින් නැමීමේ විනය කර්මය) කළහ.
32 බුදුරජාණන් වහන්සේ විසින් “යම් උපාසකයෙක් සැදැහැ නැත්තේ නම්, භික්ෂූන්ට අලාභ 33 පිණිස උත්සාහ කෙරේ නම් හෝ, එසේම ඔවුන්ට ආක්‍රෝශ කෙරේ 34 නම් හෝ ඔහුට ‘පත්තනික්කුජ්ජය’ කටයුතු යැයි වදාරන ලද්දේය” යි සිතා, පසුව ඒ භික්ෂූහු ඔහුට ඒ කර්මය කළහ. ලෝ වැසි ජනයා එය අනික් 35 ආකාරයකින් සිතූහ. එනම්, “භික්ෂූන් වහන්සේලා භික්ෂාව පිණිස උඩුකුරු කළ පාත්‍රය ගෙන හැසිරෙමින්, ඔහුගේ ගෙදොර දී එය මුනින් නමන්නේ ය” යි කතිකා කළහ. එකල්හි ඒ රජ තෙමේ මහා ව්‍යාධියකින් පෙළෙන ලද්දේ, නව වන අවුරුද්දෙහි ජීවිතක්ෂයට පැමිණියේය.
36 ඉක්බිති දප්පුල රජ තෙමේ සිය රුහුණු රටට ගියේ පින් රැස් කරමින් 33-37 එහි ම වාසය කළේය. මෙතැන් පටන් ඔහුගේ වංශය නිරවුල් කොට කියමු; එය මෙහි ම කියන කල නිරවුල් වේ. ඔකාවස් කුලෙහි උපන්, 38 මහා තිස්ස යන නමින් ප්‍රසිද්ධ වූ මහ පින් ඇති, සමාකීර්ණ ගුණ ඇත්තෙක් විය. 39 රුහුණු රට හිමියාගේ දියණිය වූ, පසසන ලබන පින් ගුණ ඇති ‘සංඝසිවා’ යැයි ප්‍රසිද්ධ කුමරියක් ඔහුගේ භාර්යාව වූවාය. ඇයට පුතුන් තුන් දෙනෙක් වූහ.
40 ප්‍රථමයා අග්බෝ නම් විය, දෙවැන්නා දප්පුල නම් විය, තෙවැන්නා මිණි අක්බෝ විය. (දළ මුගලන් රජු මැරූ අසිග්‍රාහක සලමෙවන් ඒ රජ තෙමේ සිලාමේෂ සිලාදාඨ නොවේ ය.) ඇයගේ එක් දුවක් ද වූවාය. ඕ තොමෝ රජුට විවාහ කර දුන්නාය. 41 දෙටු කුමර තෙමේ රුහුණු රට තමාගේ වසඟයට ගත්තේය.
මහා ධන ඇති ඒ 42 තෙමේ මාගම්හි ‘මහාපාළි’ නම් දන්සැල කරවීය. එහි ම ‘දළ අග්බෝ’ 43 නම් පිරිවෙණ ද කරවීය. කණගම්හි අන්ධයන්ටත් ගිලනුන්ටත් ශාලා කරවීය. මහා ප්‍රඥා ඇති ඒ තෙමේ ‘පිළිම’ නම් වෙහෙර මහත් පිළිම ගෙයක් 44 කොට, එහි ශෛලමය වූ මහා බුදු රුවක් ද ඍද්ධියෙන් මැව්වාක් බඳු 45 කොට පිහිටුවීය. තමාගේ නම ඇති ‘සාලවාණ’ විහාරය ද, පිරිවෙන් 46 වෙහෙර ද, එසේ ම කතරගම ද කරවීය.
මේ තෙමේ දෙමහල් වෙහෙර 47 නවකම් කරවා, එහි පරණ වැසිකිළි නුවණැත්තේ තෙමේ ම ශුද්ධ කළේය. 48 පැහැදුණු සිතැති හෙතෙම භික්ෂූන් වහන්සේලාගේ ඉඳුල් බොජුන් වළඳා, ‘මඩ’ නම් ගම සඟනට දුන්නේය. ඔහු මේ හැර තවත් පින්කම් කොට දෙව්ලොව ගිය කල, ඔහුගේ මල් වූ සාමිදප්පුල නම් කුමර තෙමේ එහි 49 ඊශ්වර විය. ඒ තෙමේ එහි සතුරන් මැඩ බලය පැවැත්විය. මහ දන් පැවැත්වීය. රුහුණ ද නිර්භය කළේය. ඔහුට සතුටු වූ ජන තෙමේ “මේ තෙමේ 50 අපගේ මහා ස්වාමියා” යි කීය. එතැන් පටන් ලෝ වැසි තෙමේ “ඔහු 51 මාහිමිය” යි ව්‍යවහාර කළේය.
සීලාදාඨ නරේන්ද්‍ර තෙමේ එම පුවත අසා ඔහුට සතුටු වූයේ, බොහෝ ධන හා තමාගේ දියණියන් දුන්නේය. රාජ 52 යෝග්‍යයක් කිරීම සඳහා යුව රජ තනතුර ද දුන්නේය. ඔහුගේ දරුවෝ වූ මාණවම්ම ආදීහු 53 මහත් යසස් ඇත්තෝ වූහ.
පාණ දිවයින් වැසි මහ තෙරුන් වෙත බණ අසා, උන්වහන්සේ කෙරෙහි පැහැද, උන්වහන්සේට බුහුමන් කරනු 54 පිණිස රුහුණේ වෙහෙරක් කොට උන්වහන්සේට පූජා කළේය. තෙරණුවෝ ඒ වෙහෙර චතුර්දිශික සංඝයාගේ පරිභෝගය පිණිස දුන්හ. අඹ මල් වෙහෙර 55 ආදී බොහෝ වෙහෙර කරවීය. කිහිරැලි වෙහෙර කොට දෙවියන් පිදීය. 56 මහත් ප්‍රඥා ඇති ඒ යුව රජ අනුරාරම් ප්‍රාසාදය ඉතා දිරා ගොස් තිබියදී, එලෙන මුතු ලැල් ඇති කොට එය නවකම් කරවීය. එසේම ‘සිරිවඩ’ ප්‍රාසාදය ද, අන්‍ය වූ ‘තක්ඇඹුල’ යන මේවා ද ශුද්ධ කරවා, සියලු පසය දීමෙන් පවරා එහි දෙතිස් 57 නමක් භික්ෂූන් වස් වැස්වීය.
‘කෙවුල් ගැඹුර’ නම් ගම නා වෙහෙරට 58 දුන්නේය. එසේ ම රජ වෙහෙරට ‘ගොන්ගම’ දුන්නේය. තිස් වෙහෙරට ‘තන්තික පව්ව’ දුන්නේය. එසේ ම ඒ යුවරජ සිතුල් පව්වට ‘ගොන්නවිටිගම’ ද, එහි 59 ම ඇති ‘අරියාකර’ විහාරයට ‘මල්වතු’ නම් ගම ද දුන්නේය. එහි ම ඉතා 60 සිත්කලු පිළිම ගෙයක් කළේ ය. එහි හිටි පිළිමයෙහි මහා වටිනාකම් ඇති 61 ඌර්ණ රෝමයක් කළේ ය. හේ තෙමේ රන් පටක් කරවීය. සියලු පූජා 62 විධානය ද කළේ ය. චෛත්‍යය බොහෝ සේ දිරූ කල හේ තෙමේ 63 හුණු බදාම යොදා පිළිසකර කරවීය. තව ද අන්‍ය වූ පසළොස් රියන් මෙතේ බුදුරුවක් 64 කරවීය. ඒ යුවරජ තෙමේ මේ ආදී අපමණ පින් තෙමේත් මනා කොට කළේය; පිරිවර ලවාත් කරවීය. ඔහු පිරිවරා ගත් බොහෝ පින්කරු 65 මිනිස්සු වූහ. ඔවුන් විසින් ශ්‍රද්ධාව ඇතිව කරවන ලද නොයෙක් විහාරයෝ ද වූහ.
කිසි කලෙක ඒ යුව රජ සිය රටෙහි 66 ඇවිදිනේ ගම් නැති වනයක් හි 67 සේනා සංවිධාන කොට රෑ වාසය කළේය. හේ තෙමේ මනා කොට නෑම් විලවුන් ගැන්වීම් කොට, සැප ආහාර ගෙන, සිත්කලු ගෙයක සුව 68 යහනක නිදා ගැනීමට සැරසුණේය. එකල නින්ද නොලබන්නේ “කරුණු 69 කිමැ” යි දහවල් තමාගේ සියලු පැවතුම් මෙනෙහි කරමින්, තමා තුළ කිසි 70 දොසක් නොදැක, “බැහැර කිසි කරුණක් වුව මැනව” යි මෙසේ සිතා, 71 ඒ සෙවීමට මිනිසුන් යෙදවීය. මෙසේ “ඒකාන්තයෙන් මාගේ ආර්යයන් වහන්සේලා 72 රාත්‍රියෙහි තෙමෙමින් රුක් මූලෙක ඉන්නාහ. උන්වහන්සේලා 73 ගෙනෙව” යි කීය. ඒ මෙහෙයන ලද මිනිස්සු පහන් ගත් අත් ඇතිව 74 ගොස් සොයමින්, මග අසල රුක් මූලෙක උන් භික්ෂූන් දැක, එකල 75 ගොස් ඒ අස්න රජුහට දැන්වූහ.
ඒ රජ තෙමේ උන්වහන්සේලා වෙතට 76 දිව ගියේය. භික්ෂූන්ට නිති දන් පිණිස තබන ලද, සායම් පොවන ලද සිවුරු උන්වහන්සේලාට දී, තෙත් සිවුරු ඇරගෙන වියළා, පා දෝවනය ආදිය කොට, මනා කොට අතුල 77 ඇඳෙහි ඒ සියලු භික්ෂූන් වඩා හිඳුවා, බෙහෙත් පිළියෙළ කොට තෙමේ ම පිළිගන්වා, පෙරවරු ද කටයුතු භෝජනාදිය කරවා, කැපකරුවන් දී 78 ඉක්බිති රුචි පරිද්දෙන් යැවීය. කුශල ක්‍රියාවෙහි ම ඇලුනා වූ ඒ රජුගේ දවස් මෙසේ පසුවිය.
මෙසේ පුණ්‍ය පරායනව ඒ නර ශ්‍රේෂ්ඨයා සියලු 79 රට දනව් පින්කම්හි යොදවමින් වසන කල, මාණ කුමර නැගෙනහිර රට 80 වෙසෙමින් බල සේනා එක් කොට ගෙන, පියාගේ සේනාව හා වස්තුව ගෙන්වා ගෙන යුද්ධ කරනු පිණිස ‘තිපුචුල්ල’ නම් ගමට ගියේය. දාඨෝපතිස්ස රජ එපවත් අසා සහ බල සේනාව ඇතිව ‘තඹල’ ගමට ගියේය. එහි ඔවුහු එකිනෙකා හමුව මහ යුද්ධ කළහ. දාඨෝපතිස්ස රජුගේ යෝධයෝ සේනාංග සහිත මාණ කුමරු මැරූහ.
ඒ පවත් අසා ඒ දප්පුල තෙමේ ද සෝකය නැමැති හෙල්ලෙන් පහරන ලද්දේ මළේ ය. මෙ 81 තෙමේ අනුරාධපුරයෙහි සත් දවසක් වෙසෙමින් රජකම් කළේය; රුහුණෙහි තුන් අවුරුද්දක් රජකම් කළේය. එහෙයින් ඔහුගේ කථාව 82 මෙහි ද රුහුණෙහි ද විය. මෙසේ අකාල සතුරන් මරා දුකසේ උපයා ගන්නා ලද්දා වූ සම්පත්හු ක්ෂණයෙහි විදුලියක් සේ වූහ. නුවණැති කවරෙක් නම් එහි ඇල්ම කරන්නේ ද?
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘චතුරාජක’ නම් වූ තෙසාළිස් වන අදියර නිමි.