1 ඉක්බිති මහානාග නරනිඳුගේ මයිලණුවන්ගේ පුත්‍ර වූ, 2 මනා පින් ඇති, බුදුබව පතන අදහස් ඇති ඒ අක්කෝ (අග්ගබෝධි) කුමරු රජ විය. ඒ රජතෙමේ 3 තේජසින් හිරු ද, සෞම්‍ය ගුණයෙන් සුපුන් සඳ මඬල ද, නිසල ගුණයෙන් 4 මහා මේරුව ද, ගැඹුරු ගුණයෙන් මහ මුහුද ද, නොසෙල්වෙන ගුණයෙන් මහ පොළොව ද, සමව හැසිරීමෙන් සුළඟ ද, නුවණින් සුරයන්ගේ ඇමතියා (බ්‍රහස්පති) ද, පිරිසිදු 5 ගුණයෙන් සරත් කාලයේ අහස ද, කාම සැප විඳීමෙන් දෙවිඳු (ශක්‍රයා) ද, සම්පතින් වෙසවුණු (කුවේර) ද, ධර්මයෙන් යම රජු ද, වික්‍රමයෙන් මහින්ද ද, රාජ ධර්මයෙන් සහ රාජ්‍ය පාලනයෙන් 6 සක්විති රජු සහ ඊශ්වරයා ද, දානයෙන් වෙස්සන්තර රජු ද අනුව ගොස් ලෝකයෙහි ප්‍රසිද්ධ විය.
ඒ රජතෙමේ 7 තම මයිලණුවන් උප රජ තනතුරෙහි ද, සොහොයුරා යුවරජ තනතුරෙහි 8 ද, බෑණනුවන් මලයරජ තනතුරෙහි ද පිහිටුවිය. ශ්‍රේෂ්ඨ වූ දක්ෂයන් යොදවන 9 පරිදි ඒ ඒ තනතුරුවල සුදුස්සන් පිහිටුවා ජනයාට සතර සංග්‍රහ වස්තුවෙන් හා රාජ ධර්මයෙන් සංග්‍රහ කළේය. සේනාව සහිත දකුණු දේශය යුවරජුට දුන්නේය. හෙතෙම එහි වසමින් සිරිවඩමන් වැව බැඳවූයේය. මහා ප්‍රඥා ඇති (රජතෙමේ) 10 සඟසතු ගිරිවෙහෙර තනා, භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස කෙත් දෙසියයක් එම 11 වෙහෙරට පිදීය.
මලය රජු හට දළනම් තම දියණිය පාවා දුන්නේය. සිරි සඟබෝ නම් පිරිවෙණ ද කරවූ අතර මහා සිව (තෙරුන්ට) තම නමින් පිරිවෙණක් ද කරවූයේය. 12 ඔහුගේ පිරිවර ජනයා ද එසේම පින් දහම්හි නිරත වූහ. ඔවුහු සත්පුරුෂ ඇසුර ලබමින් පුරාණ ධාර්මික විධි ඉටු කළ අතර, අන්තරායන් දුරු කරනු පිණිස 13 දිරාගිය තැන් ප්‍රතිසංස්කරණය ද කළහ. ඒ රජුගේ කාලයෙහි කවීහු සිංහල භාෂාවෙන් විසිතුරු නයින් යුක්ත වූ බොහෝ කාව්‍යයන් රචනා කළහ.
14 දකුණු වෙහෙර ඉතා සිත්කලු ප්‍රාසාදයක් කළේය. නව වසරක් [15, 16] මුළුල්ලේ ලක්දිව කටු කොහොල් හරවා සංවර්ධනය කළේය. කුරුන්ද නම් වූ සාංඝික විහාරය කරවා, ඒ නම ඇති 17 වැව ද, යොදුන් තුනක පොල් උයනක් ද, ගොවිතැන් කරවනු සඳහා මහත් වූ සීමා දෙකක් ද එකල පූජා කළේය. ලාභ සත්කාර සම්මාන හා ආරාමිකයන් සියයක් ද දුන්නේය.
18 ඒ අසල ඇඹුල්පස නම් වෙහෙර කරවා එම නම ඇති ගම මහා විහාරයේ 19 භික්ෂූන්ට පූජා කළේය. උරුවෙල් වෙහෙරට අයත්, බොහෝ කලක් වර්ණනා කරන ලද රුවන් නම් ගම ලබා දී එහි ශෛලමය බුදු පිළිමයක් පිහිටුවිය. 20 කේලිවා (රට) සුමන නම් පර්වත විහාරය කරවූයේය. මහා තෛල පාත්‍රයක් (තෙල් පූජා කරන භාජනයක්) හා බෝධි ගෘහයෙහි ගල් පියගැට පෙළ ද කරවූයේය. 21 ඒ රජතෙමේ ලෝවාමහාපාය කරවා, පහන් පූජා පවත්වා, තිස් හය දහසක් භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළේය.
22 දුවණියන්ගේ නමින් (පැවති) ගමක් පූජා කර ආරක්ෂාව සැලසුවේය. 23 නුවණැති ඒ රජතෙමේ ඇත් කඳ විහාරයෙහි ප්‍රාසාදය ද කරවූයේය. දාඨාසිව නම් තෙරුන්ගේ අවවාදයෙහි මනාව පිහිටා, දැහැමින් සෙමෙන් රාජ්‍යය කරමින්, 24 උන්වහන්සේට ඉතා ගෞරවයෙන් උපස්ථාන කළේය. එම රජතෙමේ විශාල වූ ගොළු සෙවියා වෙහෙර කරවූයේය. ලජ්ජිත නම් ගම එක් (පැවිදි) කෙනෙකුට දාස භෝගය (සේවකයන් නඩත්තුව) පිණිස 25 දුන්නේය. මහානාග රජු හට පින් පිණිස ඒ නමින් පිරිවෙණක් කරවූයේය.
රජතෙමේ ත්‍රිපිටකධාරී මහා ස්ථවිරයන් වහන්සේ නමකට එය 26 පූජා කළේය. ආශාවන් දුරු කළ ඒ ස්ථවිරයන් වහන්සේ, තමන් හා සමාන වූ තපස් ඇති හැට හතරක් භික්ෂූන්ට එකල ඒ වෙහෙර පවරා දුන් සේක. 27 මහ පිරිවෙන් වැසි එම තෙරුන් වහන්සේටම වටු කර පිටියෙන් හින්නෙරු ද්වීපය ලබා දී, දක්ෂිණාගිරි 28 දළ නම් වෙහෙර ද, මානා ගල වෙහෙර ද, කලා වැව ආදි විහාරවල ද 29 පොහෝ ගෙවල් කළේය. අභයගිරි විහාරයෙහි මහා පොකුණක් කරවූයේය.
30 චේතියගිරියෙහි (මිහින්තලයෙහි) ස්ථිර ජලය ඇති නාග සොණ්ඩි (නම්) පොකුණ කරවූයේය. 31 මනාව සකස් කොට මිහින්තලා වැව ද (කරවීමට) නියෝග කළේය. මිහිඳු මහ රහතන් වහන්සේ එතැනට පැමිණි විට, ඒ මගින් වඩා ගෙන එන්නැයි කතිකාවක් ද කරවූයේය. 32 හෙතෙම නිකාය තුනෙහිම, සත් අට 33 නව වරක් පමණ මහාර්ඝ රත්නයෙන් රන් කුඩ (ඡත්‍ර) ද කරවූයේය. මහා ථූපයෙහි විසි හතර 34 බරක් ඇති දළදා ගෙය තනවා, විසිතුරු රුවනින් බබළන රන් කරඬුවක් හා මහාපාළියෙහි ලෝහ ඔරුවක් ද කළේය. 35 ඒ රජතෙමේ මිණිමෙව්ලා නම් (වෑ) බැම්ම ද බැඳවීය. මිණිහිරි වැවෙහි මහ මොව් ඇල ද යෙදවීය.
36 එකල ජෝතිපාල නම් මහා ස්ථවිර කෙනෙක් ලක්දිව දී වාද කොට වෛතුල්‍යවාදීන් පරාජය කළ සේක. පසුව දාඨාපභූති නම් ඈපාණෝ ඉතා ලැජ්ජාවට පත්ව උන්වහන්සේට පහර දීමට අත එසවූහ. 37 ඒ ඇසිල්ලෙහිම (ඔහුගේ අතෙහි) ගඩුවක් හට ගත්තේය. රජතෙමේ ඒ තෙරුන් කෙරෙහි පැහැදී 38 විහාරයෙහිම වාසය කරවූයේය. මානය හේතුවෙන් උන්වහන්සේ වෙත (සමාව ගැනීමට) නොගොස් 39 දාඨාපභූති තෙමේ මිය ගියේය.
(රජු) තම බෑණනුවන් වූ අග්බෝ කුමරුහට මහ ඈපා තනතුර දී, 40 ඒ තෙරුන් වහන්සේව ආරක්ෂා කිරීමට නියෝග කළේය. හෙතෙම ද එසේම ක්‍රියා කළේය. ඒ තෙමේ නිල්ගේ පරිශ්‍රය කරවා උන්වහන්සේට ම පූජා කළේය. මෙසේ නොයෙක් ආකාරයෙන් පින්කම් කොට (රාජ්‍යත්වයෙන්) තිස් හතර වන අවුරුද්දෙහි (ඒ අග්බෝ රජතෙමේ) මිය ගියේය.
41 ඒ රජුගේ අභාවයෙන් පසු අග්බෝ මහා ඈපා තෙමේ රජ විය. කලින් සිටි 42 රජු මහලු බැවින්, මොහු ‘කුඩා අග්බෝ’ නමින් ප්‍රකාශ කළහ. පූර්ව චාරිත්‍රයන්හි දක්ෂ වූ ඒ රජතෙමේ ලක්දිව පාලනය කළේ යැයි කියනු ලැබේ. ඒ 43 තෙමේ තමාගේ මයිලණුවන්ගේ දියණියක් අගමෙහෙසුන් කළේය. මෙහෙසියගේ ඥාතියකු වූ සංඝ භද්‍ර කුමරු අසිග්‍රාහක තනතුරෙහි පිහිටුවිය.
44 (අගතිගාමී) ආලයක් නැත්තේ, සුදුසු පරිදි තනතුරු ද දුන්නේය. වේළුවන විහාරය කරවා සාගලික නිකායික භික්ෂූන්ට නියෝග කළේය (පූජා කළේය). ජඹුරනතරගල්ල (රන්ගිරි දඹුල්ල) සහ මාපිටිය විහාරය කළේය. 45 එම රජුගේ කාලයෙහි කාලිංග රට රජතෙමේ යුද්ධයේදී සතුන් මිය යනු දැක, කලකිරුණු සිත් ඇත්තේ, මේ ලක්දිවට අවුත් පැවිදි වීම 46 පිණිස තීරණය කර, ජෝතිපාල නම් මහ තෙරුන් කෙරෙහි පැවිදි විය. රජතෙමේ උන්වහන්සේට බොහෝ කලක් සත්කාර කළේය.
47 මත්තපර්‍වත විහාරයෙහි උන්වහන්සේගේ පධානඝරය (භාවනා කුටිය) කළේය. 48 එසේම උන්වහන්සේගේ ඇමතිවරයා ද, මහේසිකාව ද මෙහි අවුත් පැවිදි වූහ. 49 රජුගේ මෙහෙසිය ඒ බිසවගේ උතුම් පැවිද්ද ගැන අසා මනාව උපස්ථාන කළාය. රතනා නම් (මෙහෙණවරක්) ද කරවූවාය. 50 රජතෙමේ (පැවිදි වූ) ඇමති භික්ෂුවට නැගෙනහිර කඩරොද පිහිටි වෙත්‍රවාස විහාරය ද දුන්නේය. ඒ යතිවරයා 51 සංඝයාට ඒ වෙහෙර පූජා කළේය. (කාලිංග) රාජ ස්ථවිරයන් වහන්සේ මිය ගිය සේක. රජතෙමේ ශෝක වී හඬා වැළපී, සුළුගල් වෙහෙර පධානඝරයක් කරවූයේය. උන්වහන්සේට (පින් පිණිස) පලංනගරග නම් තැන කරවූයේය. රජතෙමේ මෙසේ උන්වහන්සේ වෙනුවෙන් බොහෝ පින්කම් ද කළේය.
52 ජෝතිපාල තෙරුන් ථූපාරාමයෙහි සෑය වඳින කල්හි, ඒ (සෑයෙන්) කොටසක් බිඳී උන්වහන්සේ ඉදිරියට වැටුණේය. දුකට පත් ස්ථවිර තෙමේ 53 රජු කැඳවා එය පෙන්වූ සේක. රජතෙමේ දැකීමෙන් ම තැති ගත්තේ, 54 එකෙණෙහිම කර්මාන්ත ආරම්භ කරවූයේය. ඒ රජතෙමේ දකුණු අකු ධාතුව ලෝවාමහාපාය කුස ආරක්ෂාව සහිතව තබ්බවා රෑ දවල් දෙකෙහි පූජා පැවැත්වීය.
55 නවකම් (ප්‍රතිසංස්කරණ) කල් ගත වන විට, ථූපාරාමයෙහි දෙවියෝ ඒ රජුට ආරාමිකයන් ලෙස පෙනී සිටිමින් සිහිනයක් දක්වන්නෝ, 56 “ඉඳින් රජතෙමේ ධාතු ගෘහය කරවීමට ප්‍රමාද වන්නේ නම්, අපි ධාතුව රැගෙන යම් කිසි තැනකට යන්නෙමු” යැයි දැන්වූහ. 57 එකෙණෙහි ම රජතෙමේ පිබිදුණේ, තැති ගත් සිත් ඇත්තේ, දාගෙයිහි සිතියම් ආදියෙන් යුක්ත වූ සියලු කර්මාන්ත කල් නොයවා ම කරවූයේය.
58 පිළිම සතරක් ද, ශෛලමය ආසනයක් ද, රන් ඡත්‍රයක් ද, ගෙහි කැටයම් වැඩ සහ දළකඩකම් (ඇත්දත් වැඩ) ද සියලු ආකාරයෙන් (කරවා), මහා ඇමති ආදීහු ලවා කරඬු 59 එකසිය නවයක් හා දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද සියලු කර්මාන්ත ද අලුත් වැඩියා කළහ. ඒ රජතෙමේ යථාර්ථයෙන් 60 හා සියලු උත්සාහයෙන් මහා පූජාවක් කරවා, සියලු ගෞරවයෙන් ලෝවාමහාපායෙන් ධාතුව වඩා ගෙනවුත්, සංඝයා සහිත ජෝතිපාල මහතෙරුන් පිරිවරා, 61 (ඒ අකු) ධාතුව පෙරහරින් ධාතු කරඬුවෙහි තැන්පත් කළේය. තමන් ඇතුළු 62 මුළු ලක්දිවම දාගෙට පූජා කළේය.
ඒ ගෙය ආරක්ෂා කිරීමට මෙහෙසියගේ ලාභ ග්‍රාමය (බෝගම) ලබා දුන්නේය. නාගදීපයෙහි රාජායතන ධාතු ගෘහය ද, උණු ලොම් 63 ගෙය ද, ආමල චෛත්‍යයෙහි ඡත්‍රය ද (කරවා) විහාරයට කැඳ දන් පිණිස තත්ත ග්‍රාමය පූජා කළේය. 64 අගතසල් නම් ගම අභයගිරි විහාරයට දුන්නේය. ඒ රජතෙමේ තමන්ගේ හා බිසවගේ නම් එක් කොට තබා, ‘දළ අග්බෝ’ නම් [65, 66] ආවාසය අභයගිරි විහාරයෙහි කරවීය. ඒ දේවිය මනාව සපයන ලද සිව්පස ඇති කබල්නා වෙහෙර මැනවින් කරවා එම විහාරයට පිදුවාය.
67 රජතෙමේ දෙනා නකයෙහි රිදී සුඹුලුගෙය කළේය. ඒ තෙමේ ම බෝගෙය අසල ලිඳක් කැණවීය. 68 ගංතලා වැව, වලස් වැව සහ ගිරිතලා වැව ද කරවීය. බත් ඔරු ද කරවා මහාපාලි නම් බත්හල (දාන ශාලාව) වැඩි දියුණු කළේය. මෙහෙසිය ද 69 මෙහෙණින්ගේ බත් වස (දානය සඳහා වියදම්) අණ කළාය. ඒ රජතෙමේ මෙසේ පින් කොට (රාජ්‍යත්වයෙන්) දස වන අවුරුද්දෙහි දෙව්ලොව ගියේය.
70 සැප සම්පත් ඇති, පින් කිරියෙහි ඇළුනා වූ නරපතියෝ පවා මෙසේ මරහුගේ වසඟයටම ගියහ. එහෙයින්ම නුවණැති සත්ත්ව තෙමේ භවයේ මේ ස්වභාවය හා නියමය මැනවින් බලා, නිසි විධියෙන් භවයෙහි ඇල්ම හැර දමා, පැවිදි බවට එළඹ, ධෛර්‍ය්‍යය ඇතිව නිවන් අරමුණු කරගෙන හැසිරෙන්නේය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහ වස විරාජක නම් වූ හතළිස් එක් වන පරිච්ඡේදය නිමියේය.