38. දස රජවරුන් සහ ධාතුසේන රජු

star_outline
සොත්තිසේන රජු සහ මධ්‍ය කාලීන පාලකයෝ

මහානාම රජුට දාව දෙමළ කාන්තාවකගේ කුසින් උපන් 1 සොත්තිසේන නම් කුමාරයෙක් ද, එසේම අගමෙහෙසියගේ දියණිය වූ සංඝා නම් කුමාරිකාවක් ද 2 සිටියහ. එකල සොත්තිසේන කුමාරයා රජකමට පත් වූ නමුත්, සංඝා කුමාරිය විසින් 3 ඔහු මරවන ලදී. එදිනම ඇය බෙර ලවා අණසක පතුරුවා තමාගේ සැමියා වූ ඡත්තගාහකයාට රජකම ලබා දුන් අතර, හෙතෙම ඡත්තගාහක නම් වැව බඳවා 4 අවුරුද්දකින් මිය ගියේ ය.

ඉක්බිති ඔහුගේ යහළුවෙක් වූ මහා නුවණ ඇති ඇමතියෙක් 5 තෙමේ, මියගිය රජුව රජ මාලිගය ඇතුළතදීම ආදාහනය කරවා, මහා බල ඇති මංකොල්ලකරුවෙකු වූ මිත්තසේන “රජකමට සුදුසු ය” යි සිතා රහසේම ඔහුව රජ කරවා, “රජතුමා 6 රෝගාතුර ය” යි පවසා ඇතුළු රජගෙහිම රඳවා තබා තෙමේ රාජ්‍යය විචාළේ ය.

7 සැණකෙළි දිනයක් පැමිණි කල්හි මහා ජනයා පැමිණ, “ඉදින් රජතුමා ජීවතුන් අතර සිටින්නේ 8 නම් අප හා සමග සැණකෙළියට එන සේක්වා” යි ඝෝෂා කළහ. ඒ අසා රජතෙමේ (මිත්තසේන) රාජාභරණයෙන් සැරසුනේ, මඟුලැතු ගෙන ආ කල්හි “මේ තෙමේ 9 මට නුසුදුසු යැ” යි සිතා දළදා ගෙයි හුනු පිරියම් කරන ඇලියෙකුට අණ කළේ ය. “මෙය රජුගේ අණ යැ” යි කී කල්හි ඒ ඇත් තෙමේ පැමිණියේ ය. රජු ඌ පිට නැගී නුවර පැදකුණු 10 කරමින් ගොස් නැගෙනහිර දොරටුවෙන් බැහැර වී පළමු සෑය තිබූ තැන ඇතු තබන්නට යෙදින.

(පූජාවලියෙහි සඳහන් වන පරිදි: ඔහු ඉක්බිතිව මිත්සෙන් නම් කරල් සොරෙක් වී රජය ලදින් දවසෙක දළදා වඳින්නට ගොස් නැවත රජ ගෙට එනුයේ, දළදා ගෙය දොර සිට මඟුලැතු ගෙණෙවයි කීය. ඇමතියෝ මඟුලැතු ගෙන ඒම පමා විය. මද වෙලාවක් බලා සිටි ඔහු “මහ රජය” යි (කෝපයෙන්) කීහ. එබසට මහ රජ කිපී හුනුවෙන් බැඳ තිබූ මහ ඇත්රුවක් දෙස බලා “තෝ මට පිට නොදෙයි” කීය; එකෙණෙහි ම උළු ඇත් රජු (මැටි ඇතා) පණ ලබා ඔහු වෙත අවුදින් පිට හිඳුවා නුවර පැදකුණු කොට රජු රජ ගෙහිලා ගියේ ය.)

ද්‍රවිඩ ආක්‍රමණය සහ ධාතුසේන කුමරු

ඔහු මහා සෑ තුනෙහි ඇත් පවුරු සහ තොරන් කරවී ය. ඒ මිත්‍රසේන 11 රජ බොහෝ පින්කම් කොට වසරකින් පරලොව ගියේ ය. පඬු නම් දෙමළා විදෙස් රටින් පැමිණ යුද්ධයේ දී මිත්සෙන් රජු මරා ලක්දිව 12 රජකම ලබා ගත්තේ ය. එකල කුලවත් සියලු ජනයෝ රුහුණු රටට පලා ගියහ. දෙමළ රජවරු මහවැලි ගඟින් මෙතර (මෙගොඩ) ප්‍රදේශයේ අධිපති කම් කළහ.

13 ශුභ නම් බලතාට (දොරටුපාලයාට) බිය වී මෞර්‍ය්‍ය වංශයෙහි උපන් යම් මිනිස් 14 කෙනෙක් පලා ගොස් ඒ ඒ තැන්වල වාසය කළෝ ද, ඔවුන් අතුරෙන් 15 ධාතුසේන නම් එක්තරා කුටුම්බිකයෙක් (ධනවතෙක්) නන්දිවාපි ගම විසී ය. ඔහුගේ පුත් වූ ධාඨ නම් තැනැත්තේ අම්බිලයාගු නම් ගම වෙසෙමින්, තමාට සමාන ජාති ඇති 16 ධාතුසේන සහ සිලතිස්සබෝධි යැයි පුතුන් දෙදෙනෙක් ලැබුවේ ය. ඔවුන්ගේ මවගේ 17 සොහොයුරා වූ සැදැහැවත්තෙක් පැවිදිව දික්සඳ සෙනෙවියා පිරිවෙණෙහි 18 වාසය කරයි. ධාතුසේන නම් තරුණයා ද (කුමාරයා) උන් වහන්සේ වෙත පැවිදි විය.

කලෙක ඒ සාමණේරයන් වහන්සේ එක් රුක් මුලෙක හිඳ පාඩම් කරමින් සිටියේ ය. එකල වැසි වැස්සේ ය. නාගයෙක් තෙමේ ඒ බව දැන දරණ වැලයෙන් (ශරීරයෙන්) ආරක්ෂා 19 කොට, පෙනයෙන් ද වසා පොත සහ කුමරුවා ද රැක්කේ ය. (කුමරුගේ මාමා වූ) මයිල් මහ තෙරණුවෝ ඒ දුටහ. පසු දිනෙක කිපුණා වූ එක් පැවිදි කෙනෙක් 20 ඒ කුමරුගේ හිසට කසළ ගොඩක් දැමුවේ ය. කුමර තෙමේ ඔහු කෙරෙහි සිත නොකෙලෙසා ගත්තේ ය (කෝප නොවීය). මයිල් මහ තෙරණුවෝ එය දැක “මේකාන්තයෙන්ම මේ 21 සත්ත්වයා උතුම් ය, නිශ්චයෙන්ම රජ වන්නේ ය, මොහු ආරක්ෂා කළ යුතු ය” යි සිතා ඔහු රැගෙන විහාරයට පැමිණියහ.

ගෝණිසාදි විහාරයෙහි දී “මේ තෙමේ නුවණැති කළ යුතු ය” යි සිතා ඒ කුමරුව හික්මවූහ. පඬු රජ තෙමේ ඒ පුවත දැන මොහු අල්ලා ගනු යැයි 22 සේවකයන් යැවී ය. ස්ථවිර තෙමේ එදින රාත්‍රියේ සිහිනයක් දැක කුමරුවා පිටත් කර යැවූ සේක. 23 ඔහු නික්මුණු සැණින්ම සේවකයෝ පැමිණ පිරිවෙණ පුරා සොයා බලා ඔහු නොදුටුවහ. ඉක්බිති ඒ දෙදෙනා (තෙරුන් සහ කුමරු) නික්ම අවුත් අනුරාධපුරයෙන් දකුණු 24 දිග ගෝණ නම් (මහවතුරු) ජලයෙන් පිරුණු ගඟට පැමිණ, වහා යනු කැමැත්තෝ 25 නමුත් ගඟ නිසා නැවතුණාහ.

“මේ නදිය අප යම් සේ වැළැක්වී ද, එසේම මෙහි 26 වැවක් බැඳ තෝ මේ ගඟ හරස් කරව” යි කියා ස්ථවිර තෙමේ කුමරු හා සමග 27 ගඟට බැස්සේ ය. එකල්හි නා රජෙක් ඒ දෙදෙනා දැක තමාගේ පිට පෑවේ ය. එයින් ඒ 28 තෙමේ එගොඩ වී කුමරු රැගෙන ගොස් පිටිසර ප්‍රදේශයක වෙසෙමින්, කිරිබතක් ලැබ එය වළඳා, ඉතිරිය පාත්‍රයෙන්ම කුමරුට දුන්නේ ය. කුමර තෙමේ ද තෙරුන් කෙරෙහි ගෞරවයෙන් බත බිම දමා (බිම සිට) වැළඳුවේ ය. තෙරුන් වහන්සේ ද “මේ තෙමේ පොළොව භුක්ති විඳින්නේය (රජ වන්නේය)” යි එමගින් දැන ගත්හ.

ද්‍රවිඩ පාලනය පෙරළා දැමීම

29 පඬු රජ තෙමේ රජය කොට පස්වෙනි අවුරුද්දේ මිය ගියේ ය. ඔහුගේ පුත් පාරින්ද රජ තුන් වෙනි වස මිය ගියේ ය. ඒ පාරින්ද රජුගේ මලණුවන් වූ 30 කුඩා පාරින්ද රජු පෘථිවියෙහි රජකම් කරමින් ධාතුසේන කුමරු අනුව ගිය සියලු මහජනයා පෙළුවේ ය. ධාතුසේන කුමාරයා ද ජනයා එක් 31 කරගෙන රජු හා යුද්ධ කළේ ය. ඒ කුඩා පාරින්ද රජ ද පින් පව් කරමින් සොළොස් (16) අවුරුද්දකින් මිය ගියේ ය. ඉක්බිති තිරිතර තෙමේ 32 රජ විය. ධාතුසේන කුමර තෙමේ ඔහු හා මහා යුද්ධයක් කොට දෙමසකින් 33 ඔහුව මරා දැමුවේ ය.

ඒ රජු මැරූ කල්හි දාඨිය නම් දෙමළා අතරමගදී රජ වී තුන් අවුරුද්දකින් ධාතුසේන කුමරු විසින් නසන ලද්දේ ය. ඉක්බිති 34 පීඨිය නම් දෙමළා රජව සත් මසකින් මරණයට පත් විය. මෙසේ දෙමළ වංශය තෙමේ ධාතුසේන කුමරු හා යුද්ධ කොට විනාශ විය.

ධාතුසේන රජුගේ පාලනය සහ ශාසනික මෙහෙවර

ඉක්බිති ධාතුසේන නම් නරශ්‍රේෂ්ඨ තෙමේ ලක්දිව රජ විය. ඒ 35 රජ තෙමේ තමාගේ සොහොයුරු සිලතිස්සබෝධි කුමරු හා එක්ව ලක්දිව එක්විසි (21) තැනෙක 36 කඳවුරු බැඳ යුද්ධ කොට, නොයෙක් උපායෙන් ලක්දිව විනාශ කළ දෙමළුන් 37 සහමුලින් නසා රට මැනවින් පිරිසිදු කොට මහජනයා ද සුවපත් කරවා, සතුරන් විසින් නැසූ ශාසනය ද සුදුසු පරිදි පිහිටුවී ය.

“කුලවත් වූ යම් කුල ගම්වැසියන් කෙනෙක් දෙමළුන් අනුව ගියාහු ද 38 - ඔවුහු මා හෝ ශාසනය හෝ ආරක්ෂා නොකළහ” යි කිපී, ඔවුන්ගේ ගම් උදුරාගෙන 39 (තමාට පක්ෂපාතී වූ) ගම් රකින්නවුන්ට දුන්නේ ය. කලින් කී සියලු කුලවත්හු රුහුණෙන් පැමිණ ඔහුට උපස්ථාන කළහ. ඒ රජ තෙමේ සුදුසු පරිද්දෙන් ඔවුනට සත්කාර 40 සම්මාන කළේ ය. තමා දුකට පත් කාලයෙහි තමා සමඟ එක්ව සිටි ඇමතියන් ද සතුටු කළේ ය.

41 මහවැලි ගඟ හරස් කරවා කුඹුරු අස්වද්දා සශ්‍රීක කළේ ය. මහාපාළි නම් බත්හලෙහි 42 භික්ෂූන්ට ඇල්බත් දෙන ලදී. නුවණැති ඒ රජ තෙමේ ආබාධිතයන් හා 43 රෝගාතුරයන් සඳහා ශාලා (රෝහල්) ද කරවී ය. කලාවැව බැම්ම හරස් කොට ගෝණ නම් මහා නදිය බැන්දේ ය. ඒ රජ තෙමේ මහා විහාරයෙහි සීමා මායිම් නිරවුල් කරවා, එසේම දර්ශනීය වූ බෝධි ගෘහය ද කරවී ය.

44 සිව්පසයෙන් භික්ෂූන් සතුටු කරවා ධර්මාශෝක මහරජු මෙන් තුන් පිටකයෙහි ද 45 සංග්‍රහයක් කළේ ය. මහා විහාර පරම්පරාවෙහි භික්ෂූන්ට කැප සරුප් 46 භෝගයෙන් යුක්ත දහඅටක් (18) වෙහෙර කරවිය. ලක්දිව දහඅටක් 47 වැව් ද කරවී ය. කලාවැව විහාරය ද කරවිය. කලාවැව විහාරය, කොළොම්ගල විහාරය, දකුණුගිර විහාරය, වජමනි විහාරය, කපණුවල විහාරය, බදුලු විහාරය, 48 පාචීනනාග පබ්බත විහාරය (පහනඉදරට දාසෙන් පව්ව), මියුගුණු විහාරය, සැවිටියා විහාරය, උතුරු දාසෙන් 49 විහාරය, නැගෙනහිර අඹවිටිය විහාරය, අතුරු මෙගිර විහාරය, ඇතාල විහාරය, කසපිටි 50 දාසෙන් විහාරය, රුහුණූ දෑගම විහාරය, සල්වාන් විහාරය, විභීෂණ විහාරය, 51 බේල්වාන් විහාරය, යන මේ දහඅටක් විහාර කරවූ බව දන්නා ලද්දා හ. පාදුලකය, හඹලටිය, මහා දත්තය යනාදී දහඅටක් මහ වැව් (දතයුත්තාහ). එසේම ඒ නරශ්‍රේෂ්ඨ තෙමේ දහඅටක් සුළු වෙහෙර ද වැව් ද කරවා එම විහාරයන්ට පූජා කළේය.

52 තව ද පස්විසි (25) රියන් මොනර පිරිවෙණ (මයුර පිරිවෙණ) මූල ශේෂයෙන් කරවා, 53 එක්විසි (21) රියන් පමණ කොට කරවී ය. කලාවැවෙන් ලැබෙන බාගාඪය කොටස සහ කෙත් දෙසියය ද කුමාරසේන හට (තම මිත්‍ර භික්ෂුවට) පවරා දී එහි කලින් තිබූ අයිතිය නිදහස් කළේ ය. 54 ලෝවාමහාපාය දිරා ගිය කල්හි අලුත්වැඩියා කරවී ය. මහ සෑ තුනෙහි දිරා ගිය 55 ඡත්‍රයන් කරවීය. දේවානම්පියතිස්ස රජු විසින් කළ බෝධි පෙරහැර මෙන්, බුදුබව පතා පොහොය දිනවල ස්නාන පූජාවක් (නහනුමුර) කළේ ය. ඒ පූජාවෙහි දී 56 දෝවනය කරන ලද ලෝහ ඔරු සොළසක් (16) පූජා කළේ ය. මුනිඳු රුවට ආභරණ හා නහනුමුර මංගල්‍යය ද කරවී ය.

57 මහ බෝධිය පිහිටුවීමෙන් පසු ලංකාවේ රජදරුවෝ දොළොස් 58 වන වස දක්වා බෝධි පූජා පැවැත්වූහ. මිහිඳු මහතෙරුන්ගේ පිළිමය කරවා ආදාහන ස්ථානයට වැඩමවාගෙන ගොස්, තෙරුන්ට මහාර්ඝ පූජා කරනු පිණිස දහසක් වියදම් දී දීපවංශය ප්‍රකාශ කරන්ට (කියවන්නට/විස්තර කිරීමට) අණ කළේ ය. එහි සිටි 59 භික්ෂූන්ට උක්සකුරු දෙන්ට ද අණ කළේ ය.

තමාගේ හිසට කසළ 60 දැමීම සිහි කෙරෙමින්, එසේ කළ භික්ෂුවට තමා කරවූ වෙහෙර වස්තුවෙන් ලාභය නොදුන්නේ ය. අභයගිරි විහාරයෙහි බොහෝ වූ ප්‍රතිසංස්කරණ කරවී ය. ශෛලමය 61 පිළිමයට මණ්ඩප සහිත මන්දිරයක් කරවී ය. බුද්ධදාස රජු විසින් කරවන ලද 62 නේත්‍ර යුගල නැති වූ කල්හි, ඉතා වටිනා මැණික් යුගලකින් නෙත් තැබ්බ වී ය. එසේම 63 බුදුන්ගේ රැස් වළල්ල හා සිළුමිණ ද, කේශ කලාපය ද ඝන නිල් මැණිකෙන් කරවී ය. 64 ඉතා උතුම් රන් පට ද, එසේම ඌර්ණ රෝම ද, රුවන් සිවුර ද, පා දැල ද, 65 රන් පියුම ද, මහාර්ඝ රන් පහනක් ද, නානාරාග වස්ත්‍ර ද ගණන 66 ඉක්මවා ගොස් එහි පිදී ය.

බහු මංගල චෛත්‍යයෙහි පිළිම ගෙවල් 67 ද, බෝධිසත්ත්ව රූප ද, එසේම කළුගල් බුදුරුව ද කරවී ය. අභිෂේක නම් බුදුරුවට රැස් වළල්ල හා සිළුමිණ ද කරවී ය. අභිෂේක නම් බුදුරුවටත් පෙරකී පළඳනා කරවී ය. බෝධි ගෘහයේ වම් අත පැත්තේ බෝසත් ගෙයක් ද, 68 එසේම මෛත්‍රී බුදු රුවට සියලු රාජ පළඳනා ද කරවී ය. එකල්හි හාත්පස යොදුනක 69 ප්‍රදේශයට ආරක්ෂාව යෙදී ය. විහාර වල ධාතුරාජි නම් පෙත් මං (සක්මන් මළු) ද, එසේම 70 ලක්ෂයක වියදමින් උතුම් මහබෝ ගෙය ද කරවී ය. ථූපාරාමයෙහි සෑය දිරා ගිය තැන් 71 පිළිසකරු කිරීම හා පූජා ද, දළදා ගෙයි දිරා ගිය තැන් ද සකස් කරමින්, දළදා කරඬුවක් 72 ද, ඝනකම් කොට මැණික් එබ්බ වූ රැස් වළල්ලක් ද, ඉතා වටිනා මැණිකෙන් ගහණ 73 වූ රන් පියුම් ද දංෂ්ට්‍රා ධාතුවට (දළදාවට) පිදුවේ ය. ගිණිය නොහැකි තරම් පූජා ද කළේ ය.

74 ලක්දිව වැසි භික්ෂූන්ට ද සිවුරු ආදිය දෙවී ය. ඒ ඒ විහාර වල නවකම් කරවා ප්‍රාකාර ද ගෙවල් ද හුනු පිරියම් කිරීමෙන් මනෝහර කරවී ය. මහ සෑ තුනෙහි ඉතා වටිනා හුනුකම් (සුදු පිරියම්) කරවා රන් සත් (කුඩ) හා වජ්‍ර චුම්බට ද කරවී ය.

75 පවිටු වූ මහසෙන් රජු විසින් මහ වෙහෙර නටබුන් කළ කාලයෙහි 76 ධම්මරුචික භික්ෂූහු සෑගිරියෙහි (මිහින්තලේ) විසූ හ. රජතෙමේ අම්බස්ථල විහාරය කරවා මහා විහාරීය භික්ෂූන්ට දෙනු කැමති වූයේ ය. නමුත් ධම්මරුචිකයන් විසින් 77 ඉල්ලා සිටි බැවින් එය ඔවුන්ටම දුන්නේය. ධාතුන් වහන්සේලා තැන්පත් කරන මන්දිරය ද ලෝකඩ 78 ලෝහයෙන් කරවා දෙපස් අමුණෙකින් දන් වැට පැවැත්වී ය. (අනුන් හා) අසමාන වූ, ධර්මාශෝක රජු හා සමාන වූ ඒ රජ තෙමේ, නුවර ඇතුළත ද පිටත ද බුදු 79 ගෙවල් හා සමාන පිළිම ගෙවල් හා පිළිම කරවා පූජා කළේ ය. ඒ රජු විසින් කර වූ සියලු පින්කම් එකක් පාසා කියන්නට කවර මනුෂ්‍යයෙක් සමත් ද? එහෙයින් ස්වල්ප මාත්‍රයක් පමණක් දක්වන ලදී.

කසුප් කුමරුගේ කුමන්ත්‍රණය

80 මවගේ කුලයෙන් අසමාන වූ (භින්නමාතෘක) කසුප් ද, මවගේ කුලයෙන් සමාන වූ (සමාන මාතෘක) මහා බල ඇති මුගලන් යැයි 81 රජුට පුතුන් දෙදෙනෙක් වූහ. එසේම දුටුවන්ගේ සිත් ඇදගන්නා වූ එක් 82 දියණියක් ද වූවා ය. ඒ රජතෙමේ තම බෑණාහට සේනාපති තනතුර හා ඇය (දියණිය) සරණ පාවා දුන්නේ ය. ඒ සෙනෙවිරජ වනාහි සැමිටියෙන් දොස් රහිත වූ ඇගේ කලවා ප්‍රදේශයට 83 තැළුවේ ය. රජ තෙමේ දියණියගේ ලේ තැවරුණු වස්ත්‍ර දැක ඒ බව දැන කිපී, ඔහුගේ (සෙනෙවිගේ) මව නග්න කොට පුළුස්සා මැරුවේ ය. එතැන් පටන් බැඳගත් වෛර ඇති ඒ සෙනෙවිරජ, කසුප් කුමරු හා එක්ව රාජ්‍යයෙන් ඔහුව පොළඹවා, පියා 84 කෙරෙහි බිඳුවා, ජනයා එක් කොට ගෙන රජුව පණ පිටින් (ජීවග්‍රාහයෙන්) අල්ලා ගත්තේ ය.

85 ඉක්බිති කසුප් කුමරු ලබන ලද සියලු පවිටු යහළුවන් ඇත්තේ වී, 86 පියාගේ පක්ෂයේ මිනිසුන් නසා සේසත් නැංවූ (රජ විය). අනතුරුව මුගලන් කුමර තෙමේ ඔහු හා මහ යුද්ධ කරනු කැමැත්තේ නමුත්, ප්‍රමාණවත් බලයක් නොලත් බැවින් සේනා සංවිධානය සඳහා දඹදිවට ගියේ ය.

ධාතුසේන රජුගේ ඛේදජනක අවසානය

87 මහා රාජ්‍යය අහිමි වීමෙන් ද, පුත්‍රයා වෙන් වී යෑමෙන් ද, සිරගෙයි විසීමෙන් ද දුකට පත් වූ රජුට තවත් දුක් දෙනු පිණිස, නුවණැති (කපටි) ඒ 88 සෙනෙවිරජ, නින්දිත කසුප් රජුහට “රජතුමනි, ඔබගේ පිය රජු 89 විසින් රජ කුලයෙහි නිදන් (වස්තු) රක්ෂා කරනු ලැබේ යැ” යි කීය. එසේ නැතැයි කී කල්හි, 90 “මහරජ, මොහුගේ සිත ඔබ නොදන්නෙහි ය, හේ තෙමේ ඒ වස්තුව මුගලන් කුමරු හට 91 රකියි” යැයි ඔහුට කීය. ඒ අසා කිපුණා වූ නරාධම තෙමේ (කසුප් රජ) නිදන් ඇති තැන් 92 කියවයි පියරජු වෙත දූතයන් යැවී ය. “බොල! අප මරවන්ට ඒ පවිටුහු යෙදූ 93 උපායක් යැ” යි සිතා (ධාතුසේන රජ) නිශ්ශබ්ද විය (කුෂ්ණිම්භූත විය). ඔවුහු ගොස් ඒ නිවට රජු හට එපවත් දැන්වූහ. ඉන් ඉතා කිපී නැවත නැවත දූතයන් යැවී ය.

ධාතුසේන රජ තෙමේ, “මාගේ මිත්‍රයා (තෙරුන්) දැක කලාවැවෙහි ස්නානය කොට මියයන්නෙමි 94 නම් මැනවැ” යි සිතා, “ඉදින් මා කලාවැවට යවයි නම් නිදන් දත හැකැ” යි දූතයන්ට 95 කීවේ ය. ඔවුහු ගොස් රජහට (කසුප්ට) ඒ බව දැන්වූහ. රජ තෙමේ ද වස්තු ලබා ගැනීමේ කැමැත්තෙන් 96 සතුටු වී රථයක් ලබා දී දූතයන් යැවී ය. බැගෑපත් ඇසින් යුක්ත වූ රජු මෙසේ යන කල්හි, රියදුරු තෙමේ රථය පදවමින් විළඳ (බැදපු සහල්) කමින් සිට, එයින් 97 ස්වල්පයක් රජුට දුන්නේ ය. එකල ඒ අනුභව කොට ඔහු කෙරෙහි පැහැදුනු රජතුමා, මුගලන් කුමරු හට ඔහුට දොරටුපාල තනතුරක් දී සංග්‍රහ කරන ලෙස දන්වා ලිපියක් (පතක්) දුන්නේ ය. සම්පත්හු නම් මෙසේ විදුලිය මෙන් චලනය වන සුළු ය. එහෙයින් සිහි නුවණ ඇති කවරෙක් නම් සම්පත් කෙරෙහි ප්‍රමාද වන්නේ ද (ඇලී ගැලී සිටින්නේ ද)?

98 රජුගේ මිත්‍ර වූ ඒ ස්ථවිර තෙමේ රජු එන බව අසා, ලිහිණි 99 මස් සහිත උඳු බතක් (මුං ඇට බතක්) පිළියෙළ කොට “රජු කැමති නම් මේ බත මැනවැ” යි මෙනෙහි කෙරෙමින් එය සඟවා තබා සිටියේ ය. රජ තෙමේ ද ගොස් වැඳ එකත් 100 පසෙක වාඩි විය. මෙසේ හිඳ ගත්තා වූ ඔවුහු දෙදෙනා, රාජ සැප විඳින්නවුන් සේ 101 ඔවුනොවුන් හා කථා බස් කරමින් (පරස්පරාලාපයෙන්) මහ දුක් නිවා ගත්හ. ස්ථවිර තෙමේ රජුව බත් වළඳවා, නොයෙක් පරිද්දෙන් අවවාද කොට, ලොව්තුරු දහම් දක්වා අප්‍රමාදයෙහි (පින් දහම් හි) යෙදවූහ.

102 පසුව වැවට ගොස් දියෙහි බැස කැමති සේ ස්නානය කොට පැන් පානය 103 කොට, රාජ සේවකයන්ට, “පින්වතුනි, මාගේ වස්තුව මෙපමණ යැ” යි (දිය දෝතක් ගෙන) මෙසේ කීය. රාජ සේවකයෝ ඒ පුවත අසා ඔහුව නුවරට ගෙන ගොස් රජුට දැන්වූහ. “මේ තෙමේ ජීවත් වෙමින් පුතාට වස්තුව රකියි, ලක්දිව මිනිසුන් 104 (මා කෙරෙහි) බිඳවයි” යි සිතා කිපී, සෙනෙවිරජ හට “මාගේ පියා මරව” යි අණ කළේ ය. ඉතා 105 රොස් වූ ඒ සෙනෙවිරජ, “මාගේ වෛරියා පිටු දකින ලද්දේ ය” යි සතුටු වී, 106 සියලු ආභරණවලින් සැරසී රජු කරා එළඹ ඔහු ඉදිරියෙහි සක්මන් කළේ ය.

107 රජ තෙමේ ඒ දැක, “මම පවිටු වූ මේ තෙමේ යම් සේ මාගේ සිත පෙළා 108 නිරයට යවනු කැමැත්තේ ය. ඔහුට කෝප උපදවීමෙන් කවර 109 ආශාවක් පුරම්දැ” යි (සිතා) මෛත්‍රී කෙරෙමින්, රජ තෙමේ ඒ සෙනෙවිහට, “මුගලන් කුමරු කෙරෙහි ද, තා කෙරෙහි ද මම එක සමාන සිත් ඇත්තෙමි” යි කීය. හේ තෙමේ 110 සිනා සෙමින් හිස සැලුවේ ය. රජ තෙමේ ඒ දැක, “ඒකාන්තයෙන්ම අද මා 111 මරවයි” යි දැන ගත්තේ ය. එකල සාහසික වූ ඒ තෙමේ රජුව නග්න කොට, නැගෙනහිරට මුහුණ ලා හැකිළි බැම්මෙන් බන්දවා, ඇතුළු බිත්ති තුළ බහා මැටි ගැස්වී ය (බිත්ති බැඳ මැටි ගැසුවේය).

112 මෙසේ දැකත්, පණ්ඩිත වූ කවරෙක් නම් සම්පත්හි හෝ ජීවිතයෙහි හෝ යසසෙහි හෝ ඇලෙන්නේ ද?

113 ඒ දාසෙන් (ධාතුසේන) නම් මහ රජ තෙම මෙසේ පුතු විසින් මරණ ලදුව, දහඅට (18) වසරකින් දිව්‍ය රාජයා කරා (දෙව්ලොවට) ගියේ ය. මේ රජ තෙමේ 114 කලාවැව බඳින කාලයේ දී සමාධියෙන් හුන් භික්ෂූ කෙනෙකු දැක, සමාපත්තියෙන් නැගිටුවීමට නොහැකිව, ඒ මහණ මත පස් දැම්මවීය. මේ එහි මේ ආත්මයේදීම ලැබූ විපාකය (සාදෘෂ්ටික ඵලය) යැයි දක්වන ලදී.

115 ඓශ්චර්යමත් වූ මේ රාජ ශ්‍රේෂ්ඨයෝ දස දෙනම, තම ඉසුරුත් සමඟම මරු මුවට පත් වූහ. ඉසුරුමත් බවෙහි ද, වස්තුවෙහි ද අනිත්‍ය බව දැක නුවණැත්තා නිවන ම කැමති වන්නේ ය.

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ දස රාජක නම් වූ තිස් අට වෙනි පරිච්ඡේදය නිමාවිය.