37. පංච රාජක පරිච්ඡේදය

star_outline

1 දෙටුතිස් රජුගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු වූ මහසෙන් රජ තෙමේ විසි හත් අවුරුද්දක් රාජ්‍යය කරවීය. 2 ඔහුගේ රාජ්‍යාභිෂේකය කරවනු පිණිස සංඝමිත්‍ර ස්ථවිර තෙමේ සුදුසු කල් දැන එතෙර සිට මෙහි පැමිණියේය. 3 ඔහුගේ අභිෂේකය ද නොයෙක් අයුරින් අනික් කටයුතු ද කරවා, සීලාදී සංයම නැති හෙතෙම මහා විහාරය විනාශ කරනු කැමති විය.

4 ඔහු, “මහරජාණෙනි, මේ මහ විහාරවාසී භික්ෂූහු අවිනයවාදීහුය (විනය නොසලකන අය වෙති); අපි වනාහි විනයවාදීන් වන්නෙමු” යැයි පවසා රජුට මෙසේ (මිථ්‍යා) දෘෂ්ටි ගැන්වීය. 5-6 ඉක්බිති රජතුමා, “යම් කෙනෙක් මහවෙහෙර වැසි මහණෙකුට ආහාරයක් දෙයි නම් ඔහුට සියයක් දඩ ගැසීම සුදුසුය” යැයි දණ්ඩනයක් පැනවීය. 7 මහා විහාරවාසී භික්ෂූහු ඔවුන් විසින් ඇති කරන ලද පීඩාවන්ට ලක්ව මහා විහාරය අතහැර මලය රටට සහ රුහුණු රට බලා පිටත්ව ගියෝය. එහෙයින් අතහැර දමන ලද මේ මහා විහාරය නව වසරක් මුළුල්ලෙහි මහා විහාරවාසී භික්ෂූන්ගෙන් තොරව හිස්ව පැවතුණේය.

මහා විහාරය විනාශ කිරීම

8 දුර්මතී වූ ඒ සංඝමිත්‍ර ස්ථවිර, “හිමිකරුවෙකු නැති වස්තුව රජතුමා සතු වන්නේය” යැයි දුර්මතී රජුට හැඟවීය. 9 මහා විහාරය විනාශ කිරීමට රජුගෙන් අනුමැතිය ලබා ගත් හෙතෙම, දුෂ්ට වූ සිතින් යුතුව මහා විහාරය වනසන්නට නියම කළේය. 10 සංඝමිත්‍ර තෙරුන්ගේ මෙහෙකරුවෙකු වූ, රජුට හිතවත් දරුණු ගති ඇති සෝණ නම් ඇමතිවරයා ද, 11 ලජ්ජා නැති භික්ෂූහු ද එක්ව සත් මහල් වූ උතුම් ලෝවාමහාපාය ද නානා ප්‍රකාර ගෙවල් ද බිඳ දමා, ඒවායේ ද්‍රව්‍ය අභයගිරි විහාරයට ගෙන ගියෝය. 12 තවද මහ වෙහෙරින් ගෙන යන ලද බොහෝ ප්‍රාසාද උපකරණයන් හේතුවෙන් ඒ අභයගිරි විහාරය බොහෝ ප්‍රාසාද ඇත්තක් විය.

13 පාප මිත්‍රයෙකු වූ සංඝමිත්‍ර නම් තෙරුන් ද, 14 සෝණ නම් සේවකයා ද ලැබ ගත් ඒ මිහිපල් තෙම (රජතුමා) බොහෝ පව්කම් කළේය. ඒ රජතෙමේ පැචීන තිස්ස පබ්බතයෙන් මහ ගල් පිළිමයක් ගෙන්වා අභයගිරියෙහි පිහිටුවිය. 15 එහි පිළිම ගෙයක් ද, බෝධි ගෘහයක් ද, මනරම් ධාතු ශාලාවක් ද, සිව් රස් ශාලාවක් ද කරවීය. කුක්කුට ගිරි පිරිවෙන් පෙළ දිරා ගොස් තිබූ හෙයින් එය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළේය. 16 දරුණු ක්‍රියා ඇති ඒ සංඝමිත්‍ර තෙරුන් හේතු කොට ගෙන එකල ඒ අභයගිරි විහාරය ඉතා දර්ශනීය විය.

මේඝවර්ණාභය ඇමතිවරයාගේ කැරැල්ල

17 එකල රජුගේ සියලු කටයුතු සාදා දෙන්නා වූ ‘මේඝවර්ණාභය’ නම් මහළු ඇමති තෙමේ මහ වෙහෙර විනාශ කිරීම ගැන කිපී, රජුට එරෙහිව කැරලි ගසා, 18 මලය රටට ගොස් විශාල සේනාවක් ලබාගෙන ‘දුරතිස්ස’ වැව සමීපයෙහි කඳවුරු බැඳ ගත්තේය. 19 ඒ රජතෙමේ තම මිත්‍රයා එහි පැමිණි බව අසා, යුද්ධ කිරීම පිණිස පෙරට ගොස් එහි කඳවුරු බැඳ ගත්තේය.

20 (මේ අතර) මලය රටින් ගෙනෙන ලද මිහිරි පානයක් හා මස් ව්‍යංජනයක් ලැබූ ඇමති තෙමේ, “මාගේ මිත්‍ර රජු නැතිව මෙය නොකන්නෙමි” යි සිතා, 21 එය තමාම රැගෙන රාත්‍රියෙහි හුදකලාව නික්මී රජු වෙත අවුත්, තමා ආ බව දැන්වීය. 22 ඔහු කෙරෙහි විශ්වාසය ඇති රජ තෙමේ ඔහු විසින් ගෙනෙන ලද දෑ අනුභව කොට, “තොප කවර හෙයකින් මා කෙරෙහි කැරලි ගැසූවෙහි දැ” යි ඇමතිවරයාගෙන් විමසීය. 23 එවිට හෙතෙම, “තොප විසින් මහා විහාරය විනාශ කළ බැවිනැ” යි කීවේය. එවිට රජ තෙමේ, “මම විහාරය නැවත පිහිටුවන්නෙමි; මාගේ වරදට සමාවුව මැනවැ” යි කීවේය. 24 ඒ ඇමති තෙමේ රජුට සමාව දුන්නේය. ඔහු විසින් කරුණු වටහා දෙනු ලැබූ රජ තෙමේ පෙරලා නුවරටම පැමිණියේය.

25 ඒ මේඝවර්ණාභය තෙමේ විහාරය ගොඩනැගීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සම්භාරය එකතු කර ගැනීමේ හේතුව රජුට දන්වා, රජු සමග (නුවරට) නොපැමිණියේය. 26 (මේ අතර) රජුගේ ලේඛකයාගේ ප්‍රිය බිරිඳක් වූ එක් ස්ත්‍රියක් මහා විහාරය විනාශ කිරීම ගැන බලවත් සේ දුක් වූවාය; එසේම කිපුණාය. ඈ වඩුවෙකුට සංග්‍රහ කොට (අල්ලස් දී) විහාරය විනාශ කරවූ ඒ තෙරුන්ව (සංඝමිත්‍රව) මැරවූවාය. 27-28 ථූපාරාමය විනාශ කිරීමට පැමිණි දුෂ්ට කල්පනා ඇති, දරුණු ක්‍රියා ඇති සංඝමිත්‍ර තෙරහු මරවා, නොසන්සුන් වූ දරුණු සෝණ ඇමතිවරයා ද මැරූහ.

29 ඒ මේඝවර්ණාභය තෙමේ ද්‍රව්‍ය සම්භාරය රැගෙන අවුත් මහ වෙහෙරෙහි නොයෙක් පිරිවෙන් කරවීය. 30 අභය නම් මහ ඇමතිවරයා විසින් ඒ භීතිය සංසිඳවූ කල්හි භික්ෂූහු ඒ ඒ දිශාවන්ගෙන් අවුත් මහා විහාරයෙහි විසූහ. 31 රජ තෙමේ මහ බෝ ගෙයි බටහිර දිශාවෙහි ලෝහමය ගෘහ දෙකක් කරවා තැබ්බවීය.

ජේතවනාරාමය ඉදිකිරීම

32 (ඉන්පසු රජතුමා) දකුණු වෙහෙර වැසි, කුහක වූ, වංක සිත් ඇති, පාප මිත්‍රයෙකු වූ, 33 අසංවර වූ තිස්ස තෙරුන් කෙරෙහි පැහැද, මහා විහාර සීමා ප්‍රදේශයක් වූ ජෝති වන උයනෙහි (එම සීමාව) වළකනු ලබද්දීත්, ජේතවන විහාරය කරවීය. 34 ඉක්බිති හෙතෙම එම සීමාව ඉවත් කිරීමට (උදුරන්නට) භික්ෂු සංඝයාගෙන් ඉල්ලා සිටියේය. 35 භික්ෂූහු එය දීමට අකමැති වූවෝ විහාරයෙන් ඉවත්ව ගියෝය. මේ සතුරන් විසින් කරනු ලබන්නා වූ සීමා උදුරා දැමීමේ කටයුත්ත අවලංගු කරනු පිණිස (හෝ ඊට බාධා කරනු පිණිස), 36 ඒ ඒ තැන කිසි භික්ෂූන් වහන්සේ කෙනෙක් සැඟවී සිටියහ. මෙසේ නව මසක් මුළුල්ලෙහි මහා විහාරය භික්ෂූන්ගෙන් තොර විය. 37 අන්‍ය භික්ෂූහු “සීමාව ඉවත් කරමු” යැයි සිතූහ. ඉක්බිති සීමා ඉවත් කිරීමේ ව්‍යාපාරය නිම කළ කල්හි, 38 භික්ෂූහු අවුදින් මේ මහා විහාරයෙහි විසූහ. විහාරය පිළිගත් ඒ තිස්ස තෙරුන්ට එරෙහිව, 39 අවසන් වස්තුව පිළිබඳ සත්‍ය වූ චෝදනාවක් (පාරාජිකා ඇවතක් ගැන චෝදනාවක්) සංඝයා මැද ඉදිරිපත් විය. ධාර්මික යයි ලෝක සම්මත වූ විනිශ්චයකාර මහා ඇමතිවරයෙක්, සිදු වූ ආකාරයෙන් ධර්මානුකූලව විනිශ්චය කොට, රජු අකමැති වෙද්දී ම ඒ තෙරුන් සිවුරු හරවීය (උපැවිදි කළේය).

වෙනත් විහාර සහ වැව් කර්මාන්ත

40 ඒ රජ තෙමේ ම මින්නේරි විහාරය කරවීය. හෙතෙම දේවාල නටබුන් කරවා ගෝකර්ණ විහාරය ද, ඒකකාපිල්ල විහාරය ද, 41 බමුණු ගම කලන්දක විහාරය ද යන විහාර තුන කරවීය. මාගම්ම විහාරය ද, 42 ගංගාසේනක පර්වත විහාරය ද, බටහිර දිග ධාතුසේන පර්වත විහාරය ද කරවීය. 43 තවද රජ තෙමේ කොක්වා ජනපදයෙහි මහා විහාරයක් කරවීය. රූපාරාම විහාරයක් ද, හුලූපිටි විහාරය ද, උත්තර සහ අභය නමින් මෙහෙණවර දෙකක් ද කරවීය. 44 කාලවේළක යක්ෂයාගේ දේවාලයෙහි ස්තූපයක් ද බැඳවීය. ලක්දිව දිරා ගිය බොහෝ ආවාසයන් අලුත්වැඩියා කළේය. 45 හෙතෙම සංඝ ස්ථවිරයන් වහන්සේලා දහසකට දහසක් වටිනා මහ දන් දුන්නේය. සියල්ලන්ටම, 46 වසක් පාසා සිවුරු ද දුන්නේය. ආහාර පානාදි දානයන්ගේ ප්‍රමාණය මෙතෙකැයි නොපෙනේ (අපමණය).

47 ඒ රජ තෙමේ ම රජ රටෙහි සුභික්ෂය (සශ්‍රීකත්වය) පිණිස සොළොස් වැවක් කරවීය. එනම්: මින්නේරි මහ වැව, ජල්ලූර වැව, බාහු නම් වැව, මාමිණිවා වැව, 48 කෝකවාත වැව, මෝර වැව (මොනරා වැව), පරක වැව, කුම්බාලක වැව, වාහක වැව, රත්මල්කඩ වැව, තිසාවැව, වෙලංවිටි වැව, මාගල් වැව, 49 සීරු වැව, මහා දාරගල්ලක වැව, කළුපහන් වැව යන මේ සොළොස් වැව් ය. 50 හෙතෙම පර්වත නම් ගුහාවෙන් පබ්බතන්ත නම් මහා ඇලක් කැණවීය. මේ ආකාරයෙන් ඒ රජ තෙමේ ඉතා බොහෝ වූ පින් ද පව් ද රැස් කළේය.

පූර්‍ව භාගය නිමි.

51 ඒ මහසෙන් රජ තෙමේ අසත්පුරුෂ සමාගමය හේතුවෙන් දිවි හිමියෙන් මෙසේ ශුභ සහ අශුභ ක්‍රියා කොට, කම් වූ පරිද්දෙන් පරලොව ගියේය. 52 එහෙයින් නුවණැත්තෝ අසත්පුරුෂ ආශ්‍රය දරුණු විෂ ඇති සර්පයෙකු මෙන් දුරින් ම දුරු කොට, වහා තමාට හිත වැඩක් කරගන්නේය.

කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය සමය

53 ඉක්බිති ඔහුගේ පුත් වූ සිරිමෙවන් (කිත්සිරිමෙවන්) කුමාරයා රජකමට පත් විය. හෙතෙම මන්ධාතු රජු මෙන් සියලු සම්පත් දායක විය. 54 පවිටුන්ගේ වසඟයට ගිය මහසෙන් රජු විසින් නසන ලද මහ වෙහෙරෙහි සියලු භික්ෂූන් රැස් කරවා, උන්වහන්සේලා සමීපයට එළඹ වැඳ, හිඳගෙන, ආදර සහිතව මෙසේ විචාළේය: 55 “සංඝමිත්‍ර නම් තෙරුන්ගේ යහළු වූ මාගේ පියාණන් විසින් කුමක් කුමක් නසන ලද ද?”

56 භික්ෂූහු ඒ රජුට මෙසේ කීහ: “මහරජ, ඔබ පියාණන් වහන්සේ සීමාව උදුරා දැමීමට උත්සාහ කළ නමුත්, සීමාව ඇතුළත භික්ෂූන් සිටි හෙයින් එය කළ නොහැකි විය. 57 මෙහි වනාහි භික්ෂූන් සත් දෙනෙක් බිම් ගෙයක සැඟවී සිටියහ. 58 සෝණ නම් ඇමතිවරයා ද, සංඝමිත්‍ර නම් පවිටු තෙරුන් ද රජ්ජුරුවන්ගේ සිත පොළඹවා ඔහු ලවා පව් කරවූහ. 59 උතුම් සත් මහල් ලෝවාමහාපාය ද, නානා ප්‍රකාර ගෙවල් ද බිඳ මෙයින් අභයගිරියට ගෙන ගියහ. 60 අනේ! බාල සමාගමයක ස්වභාවය බැලුව මැනව; අඥාන වූ ඔවුහු සතර බුදු කෙනෙකුන් විසින් පරිභෝග කළ රුවන්වැලි සෑ මළුවෙහි උඳු වැපිරවූහ”.

ශාසනික ප්‍රතිසංස්කරණ සහ මිහිඳු මහ පෙරහැර

61 රජ තෙමේ පියාගේ ඒ කම් ගැන අසා බාල සමාගමයෙහි කලකිරුණේ, 62 ඒ වෙහෙරෙහි තම පියා විසින් නසන ලද සියල්ල යථා තත්ත්වයට පත් කළේය. හෙතෙම මහාපනාද රජුගේ උතුම් ප්‍රාසාදය සිංහල ද්වීපයෙහි දක්වන්නවුන් මෙන්, 63 පළමු කොට ම ලෝවාමහාපාය කරවීය. විනාශ වී ගිය සියලු පිරිවෙන් පිහිටුවිය. 64 හෙතෙම ආරාමිකයන්ගේ (විහාර සේවකයන්ගේ) භෝග ද යථා ස්ථානයෙහි තැබීය. දුර්බුද්ධි වූ පියා විසින් පස් ඉවත් කිරීම හේතුවෙන් විහාර භූමියෙහි ආවාස ගෙවල් තුනී වී තිබුණි; 65 මේ රජ තෙමේ (එහි) ඝන වූ ආවාසයන් කරවීය. මෙම නරේශ්වර තෙමේ පියා විසින් කරවන ලද ජෝතිවන විහාරයෙහි කොට අඩාලව තිබූ සියලු කර්මාන්ත නිම කරවීය.

66 ඉක්බිති මනුෂ්‍යයන්ට අධිපති වූ ඒ රජ තෙමේ, ශ්‍රමණෙන්ද්‍ර පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව පහන් කරවූ පුවත පළමුවෙන් අසා, 67 උන්වහන්සේගේ ගුණයෙහි පැහැද, “ස්ථවිර තෙමේ ඒකාන්තයෙන් ලක්දිවට ඊශ්වරය (ස්වාමියාය)” යි සිතා, 68 උන්වහන්සේගේ ශරීර ප්‍රමාණයට සමාන රන් පිළිමයක් කරවා, වප් මස පුර පසළොස්වක දින එහි ගෙන ගොස්, ‘අම්බස්ථල’ නම් සෑ මළුවෙහි තැබ්බවීය. 69 ඉක්බිති සත්වක් දා එය ගෙනැවිත්, 70 අටවක් දින එහිම වාසය කරවා, පසුව නවවක් දිනයෙහි ඒ තෙමේ අන්තඃපුර ස්ත්‍රීන් ද, 71 ගෙවල් රකින්නන් ද හැර, අන් සියලු නුවර වැසියන් ද, දෙවියන් බඳු වූ මහ සෙනඟ ද ගෙන, 72 මුළු ලක්දිව සියලු භික්ෂූන් ද රැස් කරවා, නුවර සිරගෙවල සිටි මිනිසුන් මුදා හැර, මහා දන් වැට තබා, එසේම මේ තෙමේත් සියලු සත්ත්වයන්ට 73 වැටුප් දී, සියලු ආකාර වූ පූජාවන්ගෙන් අප්‍රමාණ පූජා කෙරෙමින්, ශාස්තෘන් වහන්සේගේ උතුම් පුත්‍ර වූ ද, ද්වීපයට ශාස්තෘ වූ ද උන්වහන්සේට, දෙව් රජු බුදුන්ට මෙන් පෙර ගමන් කොට, අම්බස්ථල සෑ මළුවෙහි පටන් නුවර දක්වා මාර්ගය ද, 74 විශාලා මහ නුවර පටන් සැවැත් නුවර දක්වා සරසන්නාක් මෙන් මොනවට සරසා, මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේගේ පැමිණීමේදී 75 තමාගේ පිය වූ අශෝක මහ රජු මෙන්, (මිහිඳු) තෙරුන් වහන්සේට එහි සියලු භෝගයන් පුදා, 76 එහි දුගී මගී යාචකයන් විෂයෙහි මහා දන් පවත්වා, 77 සිව්පසයෙන් භික්ෂූන් ද සතුටු කරවා, “මහජන තෙමේ තෙරුන් වහන්සේගේ ආගමනය (පැමිණීම) මෙසේ බලාවා” යි ඒ පිළිරුව ගෙන, 78 මහා යසස් ඇති රජ තෙමේ මහත් සත්කාරයෙන් ඒ පර්වතයෙන් බැස, තෙමේ පෙරටුව, භික්ෂූන් ද හාත්පසින් පිරිවරා ගෙන ගමන් ගත්තේය. 79 ඒ පිරිසෙහි (වැඩම කරවන) තෙරුන්ගේ ස්වර්ණ ප්‍රතිබිම්බය (රන් පිළිමය), කිරි සයුර මැද සන්ධ්‍යා රාගයෙන් (හිරු බැස යන විට රත් පැහැයෙන්) වට වූ රන්වන් මේරු පර්වතය මෙන් බැබළුණේය.

80 තවද, “ලෝකනායක තෙමේ රුවන් සූත්‍රය දේශනා කරනු සඳහා විශාලා මහනුවරට මෙසේ ම වැඩිය සේකැ” යි මහජනයාට දක්වා, 81 ඒ නරෝත්තම තෙමේ මෙසේ සත්කාර සම්මාන කෙරෙමින්, 82 මේ නුවර නැගෙනහිර දොරටුව අසල තමන් විසින් කරවන ලද ‘සොත්ථියාකර’ නම් විහාරයට, 83 පස්වරුයෙහි එළඹ, බුද්ධ පුත්‍රයාණන්ගේ ඒ පිළිරුව තෙදිනක් එහි වැස්වීය (තැන්පත් කර තැබුවේය).

84 ඉක්බිති දොළොස්වක් දවස, බුදුහු පළමුවෙන් වැඩම කළ දවස්හි රජගහ නුවර මෙන් මනා කොට නුවර සරසා, 85 ඒ පිළිරුව සොත්ථියාකර නම් වෙහෙරින් බැහැරට ගෙන, සාගරය මෙන් නුවරෙහි මහ සැණකෙළි පවතින කල්හි, 86 මහා විහාරයට වඩා ගෙනවුත් තෙමසක් බෝ මළුවෙහි වැස්වීය. 87 එම විධියෙන් නුවරට වඩා ගෙනවුත්, තෙමසක් අග්නි දිග පිහිටි ඒ පිළිරුව සඳහාම ගෙයක් කරවා (එහි තැබ්බවීය). විශාරද වූ ඒ රජ තෙමේ ඉෂ්ටිය ස්ථවිර ආදීන්ගේ පිළිරූ ද කරවා ඒ තෙර රුව හා එක් කොට එහි ම වැස්වීය. 88 මහා ප්‍රඥා ඇති හෙතෙම ආරක්ෂාව ද, පූජාව සඳහා වැටුප් ද තබා, 89 අවුරුදු පතා මෙසේ ම කරන්නට නියෝග කළේය. ඔහුගෙන් පැවත එන, මෙහි රජකමට පැමිණියෝ ඒ රජුගේ අණ රකිමින්, ඒ විධිවිධාන නොනසා අද තෙක් (එම චාරිත්‍ර) රකිති.

90 ඉක්බිති පවාරණ දිනයෙහි නුවරින් ඒ පිළිරුව මහා විහාරයට වඩා ගෙනවුත් අවුරුදු පතා තෙළෙස්වක දවස්හි පූජා කරන්නට නියෝග කළේය. 91 අභයගිරි වෙහෙර ද, තිස්සමහාරාම වෙහෙර ද, මහ බෝධියෙහි ද ගල් පිළිම ගෙවල් හා මනහර පවුරු ද කරවීය.

දළදා වහන්සේගේ ආගමනය

92 ඒ රජුගේ කාලයෙහි නව වන වස එක්තරා බැමිණියක් බුදු රජුන්ගේ දළදාව කලිඟු රටින් (කාලිංග දේශයෙන්) මෙහි ගෙන ආවාය. 93 එළු දළදා වංශයෙහි (දළදා වංශ කතාවේ) කී පරිද්දෙන් රජ තෙමේ එය ගෙන, බහුමානයෙන් උතුම් පුද කොට, හුදු පළිඟු මැණිකෙන් කළ කරඬුවක බහා, 94 දේවානම්පියතිස්ස රජු විසින් රාජාරාමයෙහි කරවන ලද ‘ධම්මචක්ක’ නම් ගෙයි වැඩ හිඳුවූයේය. එතැන් පටන් ඒ ගෙය ‘දාඨාධාතුඝර’ (දළදා ගෙය) නම් විය.

95 ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් ධනය වියදම් කරවා දළදා මහ පෙළහර කළේය. 96 අවුරුදු පතා අභයගිරි විහාරයට වඩාගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරව යි නියෝග කළේය. 97 ඒ රජ තෙමේ අටළොස් (18) විහාරයක් ද, සතුන් කෙරෙහි අනුකම්පාවෙන් වැව් දිය ද තහවුරු කර, 98 බෝධි පූජා ආදී අපමණ පින්කම් ද කොට, විසි අට වන අවුරුද්දෙහි යමක් ස්වභාව නම් (මරණය) එහි ගියේය.

දෙටුතිස් කුමරුගේ රාජ්‍ය සමය

99-100 ඉක්බිති ඔහුගේ බාල සොහොයුරු වූ, ඇත් දළ කර්මාන්තයෙහි (දළකඩකම් හි) දක්ෂ වූ ‘දෙටුතිස්’ (ජෙට්ඨතිස්ස) කුමරු ලක්දිව සේසත් නැංවීය (රජ විය). 101 ඒ රජ තෙමේ දුෂ්කර වූ විසිතුරු දළකඩ කම් කොට, මේ ශිල්පායතනය බොහෝ ජනයාට ඉගැන්වීය. 102 ඔහු විසින් අණවන ලදුව, සෘද්ධියෙන් මැව්වාක් බඳු වූ බෝසතුන් වැනි මනහර රුවක් ද, 103 ඇත් දළින් කරන ලද පර්‍ය්‍යංකයක් (පුටුවක්) ද, ඡත්‍රයක් (කුඩයක්) ද, රුවන් මණ්ඩපයක් ද යන මේවා විසිතුරු දළකඩ කම් නම් විය; හෙතෙම ඒ ඒ තැන ඒවා මනාව කළේය. 104 ඒ රජ තෙමේ නව වසක් ලක්දිව අනුශාසනා කොට, නොයෙක් පින්කම් ද කරවා, කම් වූ පරිද්දෙන් පරලොව ගියේය.

බුද්ධදාස රජුගේ ධර්මිෂ්ඨ රාජ්‍ය පාලනය

105 ඉක්බිති ජෙට්ඨතිස්ස රජුගේ පුත්‍ර වූ බුද්ධදාස කුමරු රජ විය. මහා ධනවත් වූ මේ රජතුමා සියලු රත්නයන්ට සාගරය වැනි ද, ගුණයන්ට ආකරයක් (පතලක්) වැනි ද වූයේය. 106 ඔහු සියලු උපාය මාර්ගයන්ගෙන් ලක්දිව වැසියන්ට සැප එළවන්නේ, වෛශ්‍රවණ (වෙසමුණි) රජු අලකාපුරය රකින්නාක් මෙන් නුවර රකිමින් ප්‍රඥාවෙන් හා පිනෙන් ද ගුණයෙන් ද යුක්ත වූයේය.

107 හෙතෙම පිරිසිදු වූ කරුණාවට ගෘහයක් බඳු විය. එසේම දස රාජ ධර්මයෙන් ද යුක්ත වූයේ ය. 108 ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතිය දුරු කර විනිශ්චය කරවන්නේ, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව යන සිව් සඟරාවතින් ජන සංග්‍රහ කළේ ය. 109 ඒ රජතුමා බෝධිසත්ත්ව චරිතය ප්‍රාණීන් හමුවෙහි දක්වන්නේ, 110 පියෙකු පුතුන්ට මෙන් සතුන් කෙරෙහි අනුකම්පා කළේ ය. මහා නුවණ ඇති ඒ රජතුමා දුප්පතුන් වස්තු දීමෙන් ද, සුවපත් වූවන් 111 භෝග හා ජීවිත ආරක්ෂා කිරීමෙන් ද සතුටු සිත් ඇත්තවුන් කළේ ය. 112 එසේම සත්පුරුෂයන්ට සංග්‍රහ කිරීමෙන් ද, අසත්පුරුෂයන්ට නිග්‍රහ කිරීමෙන් (දඬුවම් දීමෙන්) ද, ගිලනුන්ට වෛද්‍යකර්ම කිරීමෙන් ද සංග්‍රහ කළේ ය.

සර්පයාට කළ ශල්‍යකර්මය

113 පසුව එක් දිනෙක රජතුමා මංගල හස්තියා පිට නැඟී දිය නෑම පිණිස තිසා වැවට යන්නේ, මහ මග පුත්තාභග නම් විහාරය අසල වූ 114 තුඹසක් මතුයෙහි කුස රෝගයකින් පෙළෙන එක් මහා නාගයෙකු දුටුවේය. 115 බඩෙහි හටගත් ගෙඩි රෝගය දක්වනු පිණිස උඩුකුරුව නිදා සිටින නාගයා දැක, ‘මේ නාගයා රෝගී ය’ යි රජතුමා නිශ්චය කොට සිතුවේය. ඉක්බිති අපරාධ රහිත වූ මහා උත්තමයාණන් වූ රජතුමා ඇතා පිටින් බැස මහ නයා වෙතට 116 පැමිණ ඒ මහා නාගයාට මෙසේ කී ය: “මහා නාගය, තොපගේ 117 මෙහි පැමිණීමට හේතුව මා විසින් දන්නා ලද්දේ ය. එහෙත් මහා තේජස් ඇති තොප වනාහි වහා කිපෙන සුළු ය. එහෙයින් තොපව ස්පර්ශ කොට තොපගේ රෝගයට පිළියම් 118 කරන්ට නොහැක්කෙමි. එසේ වුවත් ස්පර්ශ නොකොට ද සුව කළ නොහැක්ක. මෙහි 119 මා විසින් කුමක් කටයුතු ද?”

රජු මෙසේ කී කල්හි, ඒ නාග රාජයා තමාගේ පෙණය ඇතුළු සියල්ල තුඹස් බිලෙහි ඇතුළු කොට නිශ්චලව හා සන්සුන්ව වැතිරුණේ ය. එකල රජතුමා මෙසේ සිටියා වූ නාගයා වෙත එළඹ, තමාගේ ඉණෙහි තිබූ ශල්‍ය පිහිය ගෙන, ඒ 120 නයාගේ බඩ පලා, එහි වූ දෝෂය (ගෙඩිය) බැහැර ලා, උතුම් බෙහෙත් යොදා 121 එකෙණෙහිම ඒ සර්පයා සුවපත් කළේ ය. එකල්හි රජතුමා තමන්ම 122 පවසා ගත්තේ, “මා මහා කරුණා ගුණ ඇති බව තිරිසන් සත්තු ද දත්හ. මා විසින් යහපත් ලෙස 123 රජකම කරන ලද්දේය” යි තමාටම ප්‍රශංසා කර ගත්තේය.

ඒ නාගයා තමා සුවපත් වූ බව දැක, මහාර්ඝ වූ සිය මැණික් රත්නය රජුට පූජා පිණිස දුන්නේය. රජතුමා ඒ මැණික් රත්නය 124 අභයගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමාවෙහි නේත්‍රයක් (ඇසක්) බවට පත් කළේ ය.

විස්මිත වෛද්‍ය ප්‍රතිකාර

එක් භික්ෂූන් වහන්සේ නමක් 125 තුසවැටි නම් ගමෙහි පිණ්ඩපාතයේ වඩිමින් වියළි බතක් ලැබ, පසුව කිරි ඉල්ලා හැසිරෙමින් පණුවන් සහිත කිරක් ලැබ වැළඳූහ. ඒ හේතුවෙන් කුසෙහි පණුවෝ බෝ වී 126 උන්වහන්සේගේ බඩ කා දැමූහ. ඉක්බිති ඒ ශ්‍රමණ තෙමේ රජු වෙත පැමිණ ඒ පුවත දැන්වීය. “රජතුමනි, මම තුසවැටි ගමෙහි දී කිරි හා බත් වැළඳුවෙමි” යි 127 දැන්වීය. රජතුමා ඒ කිරි පණුවන් සහිත වූ බව දැන ගත්තේය.

එකල්හිම 128 එක් අශ්වයෙකුගේ නහර විද ලේ ගැනීමේ පිළියමක් කිරීමට යෙදී තිබුණි. රජතුමා ඒ අශ්වයාගේ නහර විද ලේ ගෙන, එය භික්ෂුවට පොවා මොහොතක් ගත වූ පසු, “මේ ඔබ වැළඳූයේ 129 අශ්ව ලේ යැ” යි කීය. ඒ අසා ශ්‍රමණ තෙමේ වමනය කළේ ය. වමනය සමඟ පණුවෝ ද 130 ලේ සමඟ පිටවූහ. භික්ෂු තෙමේ සුවපත් වී තමන්ගේ සතුට රජුට දැන්වීය. රජතුමා, “එකම සැත් පහරින් පණුවෝ ය, ශ්‍රමණයා ය, 131 අශ්වයා ය යන මෙතෙක් දෙනා මනා ලෙස නිරෝගී කරන ලද්දාහ. මාගේ වෙදකම ආශ්චර්ය යැ” යි සිතී ය.

132 එක් මිනිසෙක් දිය බොන අතරතුර නොදැනුවත්ව දියබරණ බිජුවක් ගිල දැමුවේය. 133 එකල්හි ඒ බිජුවෙන් දියබරණෙක් කුස තුළ හට ගත්තේ ඇතුළත සිට තම තුඩින් පහර දුන්නේ ය. 134 ඒ දුකින් පෙළෙන මිනිසා රජු කරා ආවේය. රජතුමා 135 ඔහුගේ රෝග නිදානය විමසා, “ඇතුළත සර්පයෙක් ඇතැ” යි දැන, සතියක් මුළුල්ලේ ඔහු ලඝනය කොට (නිරාහාරව තබා), පසුව මනාව නහවා, විලවුන් ගල්වා, හොඳින් ඇතිරිලි අතුළ ඇඳක 136 සැතපවීය. එකල ඒ තෙමේ අධික නින්ද හේතුවෙන් තමාගේ කට විවෘත කොටගෙන නිදා ගත්තේ ය. 137 එසේ කළ කල්හි ඔහුගේ මුඛය වෙත නූලක බැඳි මස් වැදැල්ලක් රජු විසින් තැබ්බවීය.

138 කුස තුළ සිටි සර්පයා ඒ මස් ගඳින් පිටතට නික්මී මස් වැදැල්ල ඩැහැගෙන නැවත කුසට වදින්ට පටන් ගත්තේය. එකල රජු නූලෙන් ඇද සර්පයා ගෙන, දිය බඳුනක ලා මෙසේ කීවේය: 139 “සම්මා සම්බුදුන්ට ජීවක නම් වෙදෙක් වූයේලු. ඔහු විසින් ලෝකයා හට කරන ලද මීට වැඩි කවර දුෂ්කර කර්මයක් වේ ද? හෙතෙම ද සර්වාදරයෙන් කර්ම කරමින් මෙසේ ම කරන්නේ ය. මෙහි සැකයක් නැත. මාගේ කුසල වෘද්ධිය ආශ්චර්ය යි” යන මේ වචන කී ය.

140 එසේ ම හෙල්ලොලිය නම් ගමෙහි සත් වරක් මූඪගර්භ වූ (දරු ගැබ හරස් වූ) 141 සැඩොලියක්, ඇගේ දරුවා ද සමඟ රජතුමා විසින් සුවපත් කරන ලදී. තවද එක් ශ්‍රමණ කෙනෙක් වාත රෝගයක් හේතු කොට ගෙන හිතුවක්කාර ලෙස ඇවිදිනේ, නැගිටින්නේ විය. ඒ මහණහු ගෝනැස්සක් මෙන් (වහලෙක පරාලයක් මෙන්) ශරීරය වක් වූ කල්හි, නුවණැති රජ තෙමේ ඔහුට ප්‍රතිකාර කොට 142 ලෙඩින් ගොඩ නැගීය (සුවපත් කළේය).

තව ද මැඩි බිජු සහිත දියක් වහා බොන්නා වූ මිනිසෙකුගේ නාසා සිදුරෙන් 143 බිජුවක් ගොස්, හිස් මුලට (මොළයට) නැගී බිඳී මැඩියෙක් හටගත්තේය. ඌ වැඩී එහි ඇවිද්දේය. 144 වැසි කාලයේ දී මැඩියා විසින් ඒ මිනිසාගේ හිස ඇතුළත බෙහෙවින් ඩසිනු ලැබෙයි. ඒ රජ 145 තෙමේ ඔහුගේ හිස පලා මැඩියා බැහැර ලා, හිස් කබල් නැවත පුරුද්දා බොහෝ 146 කලකින් ප්‍රකෘතිමත් (සුවපත්) කළේ ය.

මහජන සෞඛ්‍ය සේවාව සහ ලේ රෝගියා

ඒ රජ තෙමේ ලක්දිව වැස්සන්ට හිත 147 පිණිස ගමක් ගමක් පාසා වෙදහල් (රෝහල්) කරවා එහි වෛද්‍යවරුන් නියුක්ත කළේය. එසේ ම රජ තෙමේ සියලු වෛද්‍ය ශාස්ත්‍රයන් ගේ සාරාර්ථයන් 148 කැටි කොට ‘සාරාර්ථ සංග්‍රහ’ නම් ප්‍රකරණයක් (ග්‍රන්ථයක්) තනා, අනාගතයෙහි ලක්දිවෙහි රෝගීන්ට පිළියම් පිණිස වෛද්‍යවරුන් කෙරෙහි තැබුවේ ය. රජ තෙමේ ගම් දසයකට 149 එක එක වෙදෙක් බැගින් යෙදුවේ ය. කෙත් බද්දෙන් විස්සෙන් අඩක් (විස්සෙන් එකක්) වෙදුන්ගේ දිවි පැවැත්ම සඳහා වැටුප් කොට දුන්නේ ය. ඇතුන්ට, අසුන්ට හා සේනාවට 150 ද වෛද්‍යවරුන් නියම කළේ ය. මහ මග ඒ ඒ තැන්හි ආබාධිතයන් හා අන්ධයන්ට ශාලා ද, වැටුප් සහිත ශාලා ද කරවීය. ධර්ම භාණකයන්ට සත්කාර 151 කොට නිතර සද්ධර්මය ශ්‍රවණය කළේ ය. ඒ ඒ තැන්හි ධර්ම භාණකයන්ට වැටුප් තැබී ය. මහා කරුණා ඇති ඒ රජ තෙමේ සැත් කමිටිය (ශල්‍ය උපකරණ මල්ල) ඉණෙහි තබා ගෙන හැසිරෙන්නේ, දුටු දුටු රෝගාතුර ජනයා රෝග දුකින් මුදවයි.

152 ඉක්බිති එක් දිනක් රජ තෙමේ රාජ ආභරණයෙන් සැරසී දෙවියන් පිරිවරා ගමන් ගත් ශක්‍රයා සේ සේනාව සමඟ යන්නේ ය. ශ්‍රී සෞභාග්‍යයෙන් අග්‍ර 153 ප්‍රාප්ත වූ රාජර්ද්ධියෙන් බබළන්නා වූ ඒ රජු දැක, සංසාරයෙහි බඳනා ලද වෛර ඇති එක්තරා කුෂ්ඨ රෝගියෙක් කිපී, පොළොවෙහි අත් 154 ගසා, අසුර ගමින් සැරයටිය ද පොළෝ පහරින් ගසා, අනේක ප්‍රකාර ආක්‍රෝශ 155 බසින් රජුට බැණ වැදුණේ ය. මහ නුවණැති රජ තෙමේ දුරින් ම මේ විප්‍රකාරය දැක, “කිසි සතෙකුටත් අප්‍රියයක් කළ බවක් මම නොදනිමි. කිසිසේත් 156 මොහු මාගේ පූර්ව වෛරී කෙනෙකි. ඔහු සන්සිඳුවමි” යි සිතා, ළඟ සිටි පුරුෂයෙකු යවා, 157 “අසවල් කුෂ්ඨ රෝගියාගේ සිත්හි පවත්නා අදහස දැනුව” යි අණ කළේ ය.

ඒ පුරුෂ තෙමේ ගොස් කුෂ්ඨ රෝගියාගේ යහළුවකු මෙන් ඔහු වෙත හිඳ ගෙන, 158 “යහළුව, තොප කුමක් පිණිස කිපුනේදැ?” යි විචාළේ ය. හෙතෙමේ සියල්ල කී ය. “මේ බුද්ධදාස තෙමේ මාගේ දාසයෙකු වී සිට පින් කමින් රජ විය. 159 ඔහු දැන් මා අවමන් කොට මා ඉදිරියෙහි ඇතු පිටින් යෙයි. ඉදින් ඒ තෙමේ මා 160 අතට එයි නම්, දාසයන්ට කළමනා සියලු නිග්‍රහ (දඬුවම්) කොට තමා කවුදැයි හඳුන්වමි. ඉදින් මා අතට නො එයි නම්, මරා හෝ ලෙහෙ බොන්නෙමි. ඊට සැක 161 නැත. නොබෝ කලකින් තොප එය දකින්නෙහිය” යි කී ය.

ඒ පුරුෂ තෙමේ 162 ගොස් රජු හට ඒ පුවත දැන්වීය. මහා නුවණ ඇති රජ තෙමේ, “මොහු පෙර මා සමඟ වෛර බැඳි කෙනෙකැ” යි නිශ්චය කොට ගෙන, “වෛරක්කාරයාගේ 163 වෛරය යම් උපායකින් දුරු කළ යුතු ය” යි සිතා, “යහපති” යි පවසා කුෂ්ඨ රෝගී 164 පුරුෂයා කරා එළඹ මිත්‍රයකු සේ ඔහුට මෙසේ කීය. “ඒ රජු නසන්නට සිතා සිටින මෙතෙක් කල් මම ඊට සහාය වන යහළුවකු නො ලැබුවෙමි. එනිසා ඔහු නැසීමට 165 පොහොසත් නො විමී. දැන් තොප ලැබ මාගේ මනෝරථය මුදුන් පත් කරමි. එහෙයින් මාගේ නිවසේ වැස මට එකඟව පවතුව. මම කීප දවසකින් 166 මොහුගේ දිවි නසමි” යි කියා, ඒ කුෂ්ඨ රෝගියා තමාගේ ගෙට (මාළිගයට) ගෙන ගොස්, හොඳින් නහවා, මනා විලවුන් ගල්වා, මෘදු වස්ත්‍ර අන්දවා, මනා මිහිරි ආහාර 167 වළඳවා, තරුණ ස්ත්‍රීන් ලවා ආදර සත්කාර කරවා, මනාව ඇතිරිලි අතුරන ලද ඇඳන්හි 168 සැතපවීය.

මේ ක්‍රමයෙන් කීප දවසක් වාසය කරවා, පිනා ගිය ඉන්ද්‍රියයන් ඇති, 169 සුවපත් වූ ඔහුට රජු කෙරෙහි විශ්වාසය ඇතැයි දැන, “මේ රජු විසින් දෙන ලද්දේය” යි 170 කියා කෑම බීම ආදිය දුන්නේය. දෙතුන් වරක් ප්‍රතික්ෂේප කොට පසුව ඔහු 171 විසින් අයදින ලදුව එය ගත්තේය. ක්‍රමයෙන් රජු හා ඉතා විශ්වාසවත් විය. පසුව 172 රජු මළේ යැයි අසා ඔහුගේ ළය දෙකට පැළුනේ වීය (ශෝකයෙන් මළේය). ඒ රජ තෙමේ 173 සිරුරෙහි පමණක් නොව සිතෙහි හට ගන්නා රෝගයන් ද මෙසේ පිළියම් කළේ ය.

උපතිස්ස රජුගේ පාලනය

රජතුමා පස් විසි රියන් ප්‍රාසාදයකින් හොබනා මොනර පිරිවෙන සහිත මහා විහාරය 174 කරවීය. සමණය හා ගොළපාණුව යන ගම් දෙක ඊට පූජා කළේ ය. 175 දහම් දෙසන භික්ෂූන්ට භෝගයක් හා කැපකරු වස්තු දුන්නේ ය. සිව්පසයෙන් යුක්ත විහාර ද, පිරිවෙන් ද, වැව් ද, දන් හල් ද, පිළිම ගෙවල් ද කරවීය. එම රජු දවස මහා ධර්මකථී නම් යතිවරයාණන් වහන්සේ හෙළ බසින් සූත්‍රයන් පරිවර්තනය කළහ.

176 ඒ රජුගේ පුත් වූ, සූර්ය දිව්‍ය රාජයා සමාන රූ ඇති කුමාරයෝ අසූ දෙනෙක් 177 වූහ. අසූමහ ශ්‍රාවකයන්ගේ නම් ඇති ඔවුන් දැකුම්කලු විය. ශාරිපුත්‍ර ආදී 178 නම්වලින් යුක්ත පුත්‍රයන් විසින් පිරිවරණ ලද ඒ බුද්ධදාස නම් රජ සම්බුදු රජු සේ බැබළුණේ ය. මෙසේ ඒ රජ තෙමේ ලක්දිව් වැස්සන් යහපතෙහි යොදවා, රාජ්‍යත්වයෙන් එකුන්තිස් වන වර්ෂයෙහි (විසි නව වන වසරේ) දෙව්ලොව ගියේ ය.

179 ඊට ඉක්බිති ඒ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර වූ උපතිස්ස කුමරු රජ විය. ඒ රජ තෙමේ සියලු රාජ ගුණයෙන් යුක්ත යි. නිතර සිල් ඇත්තේ යි. මහා 180 කරුණා ඇත්තේ යි. දස අකුසල් හැර දස පින් ක්‍රියාවන් සමාදන් විය. 181 දශරාජ ධර්මයන් ද දස පාරමිතාවන් ද පුරමින්, සතර සංග්‍රහ වස්තුවෙන් සතර 182 දිග ජය ගත්තේ ය. මහා පාළි නම් බත්හලෙහි රාජ භෝජනය බඳු ආහාර දන් දීම සිදු කරවීය. 183 ආබාධිතයන්ට ද, ගර්භණී ස්ත්‍රීන්ට ද, අන්ධයන්ට ද, රෝගීන්ට ද මහත් භෝග ඇති ශාලාවන් ද දන්හල් ද කරවීය. මගුල් උයනට 184 උතුරු දිගින් දාගැබක් හා පිළිම ගෙයක් හා පිළිමයක් ද කරවීය. එය 185 කරවන්නා වූ රජ තෙමේ ජනයා “කිසිවිටෙකත් පීඩාවට පත් නොකරව්” යැයි පවසා, සීනි හා 186 සහල් දී දරුවන් ලවා වැඩ කරවීය. රජු විසින් පුල, ගිජුකුල, පෝකුරුපස, වලභස, ඇඹිටිය, ගොඩිගමු වැව යන වැව් ද, බද්ධරාජි විහාරය ආදී විහාර ද කරවා ජලය තහවුරු කරවීය. ඒ ඒ තන්හි අපමණ පින්කම් කරවීය.

187 ඒ රජ තෙම වරක් නිදා සිටින විට වැස්සෙන් තමාගේ ඇඳ තෙමෙන කල්හි ද, “ජනයාට 188 මා නිසා කරදරයක් නොවේවා” යි සිතා තෙමෙමින්ම හිඳ මුළු රැය පහ කළේ ය. ඇමති තෙමේ මේ බව දැන රජු 189 උයනට ගෙන ගොස් මාළිගය සෙවිලි කරවීය. මෙසේ තමා සඳහා ලෝ වැස්සාට දුක් නො දුන්නේ ය.

දුර්භික්ෂය සහ රතන සූත්‍ර දේශනාව

190 ඒ රජු දවස ලක්දිව දුර්භික්ෂ රෝග දුඃඛයකින් පීඩිත විය. පාපාන්ධකාරයට ප්‍රදීපයක් බඳු වූ යහපත් සිත් ඇති ඒ රජ තෙමේ, “ස්වාමීනි, ලොව දුර්භික්ෂාදී භයෙන් පෙළෙන කල බුදුන් විසින් කරන 191 ලද කිසි ලෝක හිතයක් (ශාන්ති කර්මයක්) නැද්දෝ” යි භික්ෂූන්ගෙන් විචාළේ ය. එහි දී භික්ෂූහු ගංගාරෝහණ සූත්‍රෝත්පත්තිය දැක්වූහ. ඒ අසා සර්වඥ ධාතුව සඳහා ඝන රන් 192 පිළිමයක් කොට, බුදුන් වහන්සේගේ ගල් පාත්‍ර ධාතුව ජලයෙන් පුරවා, 193 එය දෝතින් ගෙන, ඒ රුව මහා රථයක තබා, තෙමේ සිල් සමාදන්ව මහ ජනයා ද සිල් සමාදන් කරවා, මහා දාන හා සියලු ප්‍රාණීන්ට අභය ද පවත්වා, 194 නුවර දෙව් පුරයක් සේ මනහර කොට සරසා, ලක්දිව වැසි සියලු භික්ෂූන් 195 පිරිවරා ගෙන මහ වීදියට බැස්සේය. එකල්හි රැස් වූ භික්ෂූහු රතන සූත්‍රය දේශනා කරමින් රජ ගෙය අසල ද, වීදි මාර්ගයේ ද, පවුර අසල ද යන තන්හි පිරිත් පැන් 196 ඉසිමින් පැදකුණු කරමින් ඇවිද්ද හ. තුන් යම් රාත්‍රිය අවසන්හි 197 අරුණු නැගෙන කල මිහි තලයේ මහා මේඝයක් වැස්සේ ය. සියලු 198 රෝගාතුරයෝ සුවපත් වූවාහු සැණකෙළි පැවැත්වූහ. රජ තෙමේ ’මතු ලක්දිව යම් කලෙක දුර්භික්ෂ රෝගාදී භයක් වන්නේ නම් මෙසේ 199 කරත්වා’ යි නියෝග කළේ ය.

ඒ රජ තෙමේ වනාහි සෑයට (චෛත්‍යයට) නැංගා වූ 200 කටුසු, කැබැල්ලෑ ආදී සතුන් බලා, මොනර පිලින් පිස දමා, “සෙමෙන් පොළොවට බසිත්වා” යි කියා, දිය සහිත මස් වැදැල්ලක් ගෙන ඇවිදිමින් ඒ සතුන් රැඳී තැන් ශුද්ධ කරවයි.

201 රජගෙයින් නිරිත දිග පොහෝ ගෙයක් ද, බුදු පිළිම ගෙයක් ද, 202 මනරම් උයනක් ද, පවුරකින් වට කොට කරවා, තුදුස්වක, පසළොස්වක, අටවක යන දින දෙක සහ පෙළහර පස යන දවස්හි අටසිලින් යුත් 203 පෙහෙවස් සමාදන්ව මනා හැසිරීමෙන් එහි වෙසෙයි. හේ තෙමේ 204 දිවි හිමියෙන් මහාපාලි බත්හලෙහි බත් වැළඳීය. ඒ රජ තෙමේ උයනෙහි ඇවිදිමින් 205 ලේනුන්ට තමාගේ බත් පංගුව වැටුප් කොට දුන්නේ ය. ඒ සිරිත දැනුදු පවතියි. වධයට (මරණයට) පත් කිරීමට 206 ගෙනෙන ලද සොරුන් දැක තැති ගත් සිත් ඇත්තා වූ රජ තෙම, සොහොනින් මළ මිනිසකු ගෙන්වා, අලුගෝසුවන්ට බොහෝ වස්තු දී, රාත්‍රියෙහි සොරා පළවා හැර, හිරු නැගි කල කිපුණාක් මෙන් පෙන්වා සොරා වෙනුවට මළ මිනිය දැවීය.

මහානාම රජු සහ බුද්ධඝෝෂ හිමියන්

207 ලක්දිව සියලු සෑ බැඳි මහ පෙළහර ද, ථූපාරාමයෙහි දාගැබට රන් කොතක් හා කඤ්චුකයක් (සැට්ටයක්) ද කරවීය. හේ තෙමේ හතළිස් දෙ අවුරුද්දක් 208 මුළුල්ලේ ඇසිල්ලකුදු පමා නොවී පින් කම් කොට දිව්‍ය රාජයා හා එක්වීමට (මරණයට) ගියේ ය.

රජුගේ බිසවක් තොමෝ කිස්යොවුන් මල් මහානාම (රහසින් පෙම් බැඳි මහානාම) නම් කුමරු නිසා, අභ්‍යන්තර වූ ආයුධයකින් පහර දී නුසුදුසු අවස්ථාවක රජු මැරුවාය. රජුගේ සහෝදරයා වූ ඒ මහානාම තෙමේ, සහෝදරයා ජීවත්ව සිටියදී පැවිදිව හිඳ, රජු මැරූ 209 කල්හි හීන භාවයට හෙවත් ගිහි බවට හැරී රජ විය. භාතෘඝාතක (සොහොයුරා මැරූ) මෙහෙසිය තමාගේ අග මෙහෙසිය කළේ ය. ගිලන් හල් කරවීය. මහාපාළි නම් බත් 210 හල ද දියුණු කළේය. ලොහො දොර, රලගමුව, කෙළපස වන යන තුන් වෙහෙර 211 කරවා අභයගිරි විහාරයෙහි භික්ෂූන්ට පිදීය. ධූමරක්ඛ පර්වතයෙහි (දුම්රක් කන්දෙහි) විහාරයක් 212 කරවා මෙහෙසියගේ නමින් ථේරවාදී භික්ෂූන්ට පිදීය. හේ තෙමේ 213 පරණ විහාර වල නව කම් කරවීය. හැම කල්හි දන් සිල්හි ඇලුනේ ද 214 තුණුරුවන් පුදන්නේ ද විය.

එකල දඹදිව බෝ මැඩ වෙත උපන් බ්‍රාහ්මණ මාණවකයෙක්, 215 විද්‍යා ශිල්ප කලා දන්නේ, ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණියේ, මනා ලෙස 216 දන්නා ලද සමය ඇත්තේ, සියලු වාදයන්හි විශාරද වූයේ, වාද කිරීමට කැමතිව, උසස් වාද ඇත්තේ, දඹදිව ඇවිදමින් එක් වෙහෙරකට අවුත් රාත්‍රියෙහි 217 පාතංජල දර්ශනය සම්පූර්ණ පදයෙන් හා සුපරිමණ්ඩලයෙන් (මනා කොට) හදාරයි. එහි රේවත 218 නම් මහා ස්ථවිර කෙනෙක් මෙය දැන, ‘මේ සත්ත්ව තෙම මහා ප්‍රඥා ඇත්තේ ය, දමනය කට යුත්තේ ය’ යි සිතා, ඒ ස්ථවිර තෙමේ කොටළු හඬින් 219 ශබ්ද කළේය. එවිට මාණවකයා, “මේ කොටළු හඬින් හඬන්නේ කවරෙක්දැ?” යි ඇසීය. තෙරුන් වහන්සේ, “කිමෙක් ද? කොටළු හඬෙහි අර්ථය ඔබ දනී 220 දැ?” යි විචාළ සේක. “මම දනිමි” යි මාණවකයා කීය. ඉක්බිති තෙරුන් විසින් ප්‍රශ්න කරන ලද්දා වූ ඒ තෙමේ තමාගේ මතය (දර්ශනය) ප්‍රකාශ කළේ ය. ඔහු කී කී සියල්ල විසඳා, එහි විරුද්ධ (දෝෂ සහිත) 221 ස්ථානය ද තෙරණුවෝ දැක්වූ සේක. “එසේ වී නම් තොපගේ (බෞද්ධ) මතය ඉදිරිපත් කරව” යි 222 මාණවකයා විසින් චෝදනා කරන ලද ස්ථවිර තෙමේ, අභිධර්ම පිටකය දේශනා කළ සේක. ඒ තෙමේ එහි අර්ථ අවබෝධ කර නොගත්තේ ය. “මේ කාගේ මන්ත්‍ර ද?” යි විචාළ කල්හි ස්ථවිර තෙමේ, “බුද්ධ මන්ත්‍රය ය” යි වදාළ සේක.

223 “මේ මන්ත්‍රය මට දෙනු මැනවැ” යි කීයෙන්, “පැවිදි වී ඒ ගනු” යැයි වදාළ කල්හි, හේ තෙමේ මන්ත්‍ර ඉගෙනීම පිණිස පැවිදිව ත්‍රිපිටකය ඉගෙන ගත්තේය. පසුව මෙය 224 ඒකායන මාර්ගය යැයි ගත්තේ ය (පිළිගත්තේය). බුදුන්ගේ මෙන් ගැඹුරු හඬ ඇති හෙයින් ද, බුදුන් සේ පොළෝ තලෙහි පතළ යසස් ඇති වූ හෙයින් ද, ඔහුට ‘බුද්ධඝෝෂ’ 225 යැයි ව්‍යවහාර කළහ. එකල්හි ඒ තෙමේ දඹදිව දී ‘ඤාණෝදය’ නම් 226 ප්‍රකරණය කොට, ධම්ම සංගණියට ‘අත්ථශාලිනී’ නම් අටුවාව කළ සේක. නුවණ ඇති හේ තෙමේ පිරිත් අටුවාව කරන්ට පටන් ගත්තේය. රේවත 227 ස්ථවිර තෙමේ ඒ දැක උන්වහන්සේට මෙසේ වදාළ සේක: “මෙහි ඇත්තේ පෙළ (පාලි ත්‍රිපිටකය) පමණකි. එය පරම්පරාවෙන් ආ දෙයකි. මෙහි අටුවා කතා නැත. එසේම නානාප්‍රකාර 228 ආචාර්යවාදයෝ ද නොවෙති. තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචන ද, ශාරිපුත්‍රාදී මහා තෙරුන් විසින් වදාරන ලද කථා මාර්ගය ද 229 මොනවට බලා, ප්‍රඥා මහිම ඇති මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සිංහල භාෂාවෙන් 230 කරන ලද ශුද්ධ වූ සිංහල අර්ථකථා (සිංහල අටුවා) සිංහලයන් අතර පවතියි. තොප එහි ගොස් ඒ අසා මාගධී නිරුක්තියට (පාලි භාෂාවට) පෙරළව. ඕ තොමෝ 231 සියලු ලොවට හිත ඵල වන්නී වේ.” යි මෙසේ වදාළ සේක. මෙසේ වදාරන ලදින් ප්‍රසන්න වූ මහ නුවණ ඇති ඒ තෙමේ ඉන් පිටත්ව, මෙම 232 මහානාම රජු දවස ලක්දිවට පැමිණි සේක.

233 සියලු සත්පුරුෂයන්ට නිවාස වූ මහා විහාරයට පැමිණි උන්වහන්සේ, මහාපදාන ඝරයට ගොස් සංඝපාල තෙරුන් වෙතින් සිංහල අටුවා 234 කථා හා ථේරවාදයන් සර්වප්‍රකාරයෙන් අසා, “මේ තෙමේ ම ධර්ම ස්වාමිහු (බුදුරදුන්) ගේ අභිප්‍රාය ය” යි නිශ්චය කොට, එහි සංඝයා රැස් කරවා, “අටුවා සම්පාදනය කරන්නට 235 මට සියලු පොත් දෙනු මැනවැ” යි ඉල්ලූහ. සංඝ තෙමේ ඒ තෙරණුවන් විමසනු සඳහා උන්වහන්සේට ගාථා දෙකක් දෙමින්, “තොපගේ සාමර්ථ්‍යය මෙහි දක්වව. 236 ඒ දැක සියලු පොත් දෙමු” යැයි කීහ. බුද්ධඝෝෂ ස්ථවිර තෙමේ අටුවා සහිත තුන් 237 පිටකය සංක්ෂිප්තව එහිම සංග්‍රහ කොට ‘විශුද්ධිමාර්ගය’ කළේ ය.

238 ඉක්බිති හේ තෙමේ බුද්ධ ඥානයෙහි දක්ෂ වූ සංඝයා රැස් කොට මහ බෝ මැඩ වෙත එය කියවන්ට පටන් ගත්තේය. දේවතාවෝ උන්වහන්සේගේ නිපුණ බව මහා ජනයා කෙරෙහි ප්‍රකාශ කරනු පිණිස පොත 239 අතුරුදහන් කළහ. උන්වහන්සේ ද නැවත එය ලියූ සේක. මෙසේ දෙතුන් වරක්ම එය කළ සේක. 240 තුන් වෙනි වර පොත කියවන්ට ගෙනා කල අනික් පොත් දෙකත් 241 දේවතාවෝ එහි තැබූහ. එකල භික්ෂූහු පොත් තුන එක් කොට කියවූහ. අර්ථයෙන් ද, ග්‍රන්ථයෙන් (වචනයෙන්) ද, පූර්වාපර වශයෙන් ද, ථේරවාදයෙන් ද, 242 පෙළින් ද, පදයෙන් ද, ව්‍යඤ්ජනයෙන් ද යන මේ සියල්ලෙන් පොත් තුනෙහිම කිසිදු වෙනස්කමක් 243 නොවූයේ ය. එකල සංඝ තෙමේ වෙසෙසින් සතුටු පහටු වූයේ, “නිසැකවම 244 මේ තෙමේ මෛත්‍රී බෝසතුන් වහන්සේ යැ” යි නැවත නැවත කියා ඝෝෂා කළේ ය. අටුවා සහිත පිටකත්‍රයෙහි පොත් උන්වහන්සේට දුන්හ.

එකල්හි උන්වහන්සේ මහා විහාරයට අයත් දූරසංකර ග්‍රන්ථාකර පිරිවෙණෙහි වෙසෙමින්, සිංහල 245 අටුවා කථා සියල්ලන්ගේ මුල භාෂාව වූ මාගධ නිරුක්තියෙන් (පාලියෙන්) පවත්වා ලියූ සේක. සර්ව භාෂික වූ ඕ තොමෝ ලෝකයාට හිත පිණිස වූවාය. සියලු ථේරවාදී ආචාර්යවරු එය පෙළ (ත්‍රිපිටකය) මෙන් පිළිගත්හ.

ඉක්බිති ඒ ස්ථවිර තෙමේ මෙහි කර්තව්‍යය නිමාවට පත් කළ කල්හි 246 මහ බෝ වඳිනට දඹදිවට වැඩි සේක. මහානාම රජ තෙමේ දෙ විසි අවුරුද්දක් පෘථිවි පාලනය කොට, විසිතුරු පින්කම් කොට, කම් වූ පරිද්දෙන් 247 පරලොව ගියේ ය. මනාව රැස් කරන ලද හට සේනා හා සම්පූර්ණ භෝග ඇති මේ සියලු රජ දරුවෝ ම අවසානයෙහි මරුවා ඉක්මවා යන්නට 248 පොහොසත් (හැකි) නොවූහ. සත්වයෝ ම මරු වසඟ වන්නාහ යි දැන වස්තුවෙහි ද, ජීවිතයෙහි ද ඇල්ම නිතර ම යහපත් සේ දුරු කෙරේවා.

මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ පංච රාජක නම් වූ තිස්හත්වන පරිච්ඡේදය නිමි.