36. රජවරුන් දහතුන් දෙනා

star_outline
භාතියතිස්ස, කණිට්ඨතිස්ස සහ වෙනත් රජවරු

1 මහල්ලක නාග රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් භාතියතිස්ස රජ තෙමේ සූවිසි වසක් මුළුල්ලේ ලක් රජය කරවීය. 2 හෙතෙම මහා විහාරය වටා ප්‍රාකාරයක් (පවුරක්) කරවීය. ඒ මිහිපල් තෙමේ 3 ගවරතිස්ස විහාරය කරවා, එම විහාරයට මහගැමුණු වැව ද පූජා කළේ ය. හෙතෙම භාතියතිස්ස නම් විහාරය ද කරවීය. ඒ මිහිපල් තෙමේ 4 මනරම් ථූපාරාමයෙහි පොහෝ ගෙය ද, වන්නි රටෙහි එක් වැවක් ද කරවීය. 5 හෙතෙම ශාසනය කෙරෙහි මෘදු සිත් ඇත්තේ මහා සංඝයා විෂයෙහි මහ දන් පැවැත්වීය.

6 භාතියතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ මල් (බාල සොහොයුරු) කණිට්ඨතිස්ස රජ තෙමේ 7 අටවිසි හවුරුද්දක් ලක්දිව්හි රජය කරවීය. ඒ රජතුමා භූතාරාම විහාරවාසී මහානාග තෙරුන් කෙරෙහි පැහැද අභයගිරි විහාරයෙහි රත්න ප්‍රාසාදය නම් වූ 8 යහපත් ගොඩනැගිල්ලක් කරවීය. තවද අභයගිරි පව්වෙහි මහා පිරිවෙන ද, මණිසෝම 9 විහාරයෙහි මහා පිරිවෙන ද, එහිම දාගැබ් ගෙය ද, එසේම අම්බත්ථල සෑයෙහි 10 ගෙය ද, නාග දිවයිනෙහි (නාගදීපයෙහි) ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය ද කරවීය. ඒ මිහිපල් තෙමේ මහා විහාර සීමා පවුර මැඩ (යටපත් කර හෝ සීමාව තුළ) එහි කුක්කුට ගිරි පිරිවෙන් පන්තිය සකස් 11 කොට කරවීය. මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ වූ හෙතෙම මහා විහාරයෙහි දර්ශණීය වූත්, මනරම් වූත්, 12 මහත් වූ සතරැස් ප්‍රාසාද දොළොසක් කරවීය. දකුණු වෙහෙර (දක්‍ෂිණ විහාරය) සෑයෙහි 13 සෑ ගෙය කරවීය. මහාමේඝවන මහා සීමාව මිරිකා (සීමාව වෙනස් කොට) දකුණු වෙහෙර බත්හල ද කරවීය. ඒ තෙමේ මහා විහාර පවුරේ එක් පසෙකින් පහකොට 14 දකුණු වෙහෙර දෙසට යන මාර්ගය ද කරවීය. භූතාරාම විහාරය, රාම 15 විහාරය සමීපයෙහි රාම ගොණක විහාරය ද, එසේම නන්තිස් අරම ද කරවීය. නැගෙණහිර දිශාවෙහි ගංගා රාජියෙහි අනුලතිස්ස පර්වත විහාරය ද, නියෙල්තිස් අරම ද, පිලපිටි වෙහෙර ද, එසේම ඒ මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ තෙමේ 16 රජමහ වෙහෙර ද කරවීය. ඒ තෙමේම කැළණි වෙහෙර, මඩොල් 17 ගිරිය සහ දුර්වලවාපිතිස්ස යන මේ විහාර තුන් තන්හි පොහෝ ගෙවල් කරවීය.

කුජ්ජනාග, කුඤ්චනාග සහ සිරිනාග රජවරු

18 කණිට්ඨතිස්ස රජුගේ ඇවෑමෙන් ‘සුළුනා’ (කුජ්ජනාග) යයි ප්‍රසිද්ධ වූ ඔහුගේ පුත් කුමාරයා 19 දෙවසක්ම රජය කරවීය. සුළුනා රජුගේ මල් වූ ‘කුඩ්ඩනාග’ (කුඤ්චනාග) රජ තෙමේ තම සොහොයුරු 20 රජු මරා එක් වසක් ලක්දිව රජය කරවීය. ඒ මිහිපල් තෙමේ මහාපාලි නම් බත් හළ විශාල කළේ ය. එක්නැළි සෑයෙහි පන්සියයක් භික්ෂූන්ට නිතර දන් දුන්නේ ය.

21 එකල කුඩ්ඩනාග රජුගේ බිසවගේ සොහොයුරු වූ සිරිනාග සෙනෙවි 22 තෙමේ රජුට එරෙහිව කැරලි ගසා, බල සේනාවෙන් යුක්තව නුවර වෙත අවුත්, 23 රජ සෙන් හා යුද කෙරෙමින් කුඩ්ඩනාග මිහිපල්හු පලවා හැර, ලබන ලද ජය ඇත්තේ ශ්‍රේෂ්ඨ වූ අනුරාධපුරයෙහි වෙසෙමින් එකුන් විසි හවුරුද්දක් 24 ලක් රජය කරවීය. ඒ මිහිපල් තෙමේ ප්‍රවර වූ මහා චෛත්‍යයෙහි (රුවන්වැලිසෑයෙහි) ඡත්‍රය කරවා මනරම් වූත් දැකුම් කටයුතු වූත් රන්කම් කරවීය. පස් මහල් කොට 25 ලොහොපාය ද කරවීය. මහ බෝ මළුවෙහි සතර දොරටුයෙහි හිණි පන්තිය 26 නැවත කරවීය. ඡත්‍ර ප්‍රාසාදය කරවා පෙළහරෙහි මහා පූජා කෙළේ ය. දයාව පරම කොට ඇත්තේ ලක්දිව්හි කුලීන ජන වර්ගයා රාජකෘත්‍යයෙන් (රාජකාරි සේවයෙන්) තොර කෙළේ ය.

වෝහාරික තිස්ස රජු සහ වෛතුල්‍යවාදය මැඩලීම

27 සිරිනා රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් වූ, ධර්ම නීතියෙහි හා ව්‍යවහාරයෙහි 28 පණ්ඩිත වූ තිස්ස කුමරු දෙවිසි හවුරුද්දක් රජය කරවීය. ඒ තෙමේ යම් හෙයකින් හිංසාවෙන් තොර වූ නීති ක්‍රමය (වෝහාරය) මෙහි පිහිටුවී ද, එහෙයින් ‘ව්‍යවහාරතිස්ස’ (වෝහාරික තිස්ස) 29 රජ යයි කරණ ලද නම් ඇති විය. හෙතෙම කම්බු ග්‍රාම වාසී දේව ස්ථවිරයන් 30 වෙත දහම් අසා පංච මහා ආවාසයෙහි රෝගාතුරයන්ට පිළියම් ද කරවීය. අනුරා අරම් වැසි මහා තිස්ස තෙරුන් කෙරෙහි ප්‍රසන්න වූයේ, 31 මුවගම පටුන්හි දාන වෘත්තිය (නිත්‍ය දානයක්) කරවීය. ඒ තිස්ස රජ තෙමේ මහා විහාර 32 දෙකෙහිම මණ්ඩපය ද, මහ බෝ ගෙයි නැගෙණහිර ලොහොරු (ලෝහමය රූප) දෙක ද කරවීය. සුවසේ වාසය කරන පරිද්දෙන් සත්පන් පහව (සප්ත පර්ණ ප්‍රාසාදය) කරවා මසක් 33 මසක් පාසා දහස බැගින් මහා විහාරයට දන් දෙවීය. අභයගිරි විහාරය, දක්ෂිණ මූල විහාරය, මිරිසවැටි විහාරය, කුලතිස්ස විහාරය, මියුගුණ 34 විහාරය, මාගම්හි මහානාග විහාරය, නාගදිවයින තිස්ස නම් විහාරය 35 සහ එසේම කැළණි විහාරය යන අට තැන පිහිටි චෛත්‍යයන්හි ඡත්‍ර කර්ම (කොත් පැළඳවීම්) කරවීය. ගොළුකා සෙනෙවියා වෙහෙර ද, එසේම දකුණු වෙහෙර ද, 36 මිරිසවැටි වෙහෙර ද, එසේම පුත්තභාග වෙහෙර ද, ඉසුරුමුනු වෙහෙර ද, නාග දිවයින තිස්ස වෙහෙර ද යන විහාර සයෙහි පවුරු ද කරවීය.

37 හෙතෙම අනුරා රාමයෙහි පොහෝ ගෙය ද කරවීය. ඒ තෙමේ සද්ධර්ම ගෞරවයෙන් මුළු ලක්දිව ආර්යවංශ දේශනා කරවා තන්හි තන්හි දන් වැට 38 තැබ්බ විය. ශාසන ප්‍රිය වූ ඒ ජනාධි නාථ තෙමේ තුන් ලක්ෂයක් ධනය දී ණය 39 සහිත භික්ෂූන් ණයින් මිදුයේ ය. ඒ තෙමේ මහ වෙසක් පූජාව කරවා 40 ලක්දිව් වැසි සියලු භික්ෂූන්ටම තුන් සිවුරු දෙවීය. ඒ තෙමේ කපිල 41 ඇමතියා ලවා වෛතුල්‍ය වාදය මිරිකා (මැඩපවත්වා) පාපීන්ට නිග්‍රහ කරවා බුදු සස්න ද බැබල විය.

අභයනාගගේ කුමන්ත්‍රණය සහ රාජ්‍යත්වය

ඒ රජුගේ මල් (සොහොයුරු) වූ අභයනාග යයි ප්‍රසිද්ධ වූ කුමර තෙමේ රජුගේ දේවිය (රජ බිසව) හා 42 සංසර්ගය (අනාචාරය) ඇත්තේ, සිය බෑ රජු විසින් එය දන්නා ලදුව, භයවී සේවකයන් සමග භල්ල තීර්ථයට පලා ගොස්, තම මයිලාට (මාමාට) කිපියා සේ (ව්‍යාජ ලෙස පෙන්වා) ඔහුගේ අත්පා සිඳවීය. 43 රජුගේ රට භේද කරවීම පිණිස ඔහු මෙහිම හිඳුවා, බලු උපමා දක්වා තමා 44 කෙරෙහි ස්නේහ වූවන් ගෙණ එහිදී ම නැව් නැගී තෙමේ පරතෙර 45 (විදේශයකට) ගියේ ය. මයිල් වූ සුභ දේව තෙමේ මිහිපල් වෙත එළඹ, සුහෘදයෙකු සේ 46 වෙසෙමින් රජු කෙරෙහි රට වැසි ජනයා භේද (කලකිරවීය) කෙළේ ය. අභය කුමාර තෙමේ එය දන්නා පිණිස මෙහි දූතයෙක් එවීය. දූතයා දැක ඒ සුභ දේව තෙමේ 47 පුවක් ගසෙක වට කරකැවෙමින් කුන්ත මිටුයෙන් (හෙල්ල මිටෙන්) පෙළා එහි මුල් දුර්වල කොට බාහුයෙන්ම ගස හෙලා, ඔහු (දූතයා) තර්ජනය කොට පලවා හැරියේය. දූත 48 තෙමේ (එම සංඥාව) දැන අභය කුමරහට එපවත් දැන්වීය. අභය කුමර තෙමේ ඒ දැන ඒ 49 රටින් බොහෝ දෙමළුන් ගෙණ බෑයා හා යුද පිණිස නුවර වෙත ආවේය.

50 රජ තෙමේ ඒ දැන අසෙකු පිට නැගී දේවිය සමග පලා ගොස් මලය රටට 51 ගියේ ය. ඔහුගේ මල් තෙමේ ලුහුබැඳ ගොස් මලය රටේදී රජු මරා බිසව ගෙණ නුවරට ආයේ, මිහිපල්ව අට හවුරුද්දක් නුවර රජකම් කරවීය. 52 ඒ රජ තෙමේ මහබෝ සිසාරා ගල් පිළිකඩ (වේදිකාව) ද, ලොහොපා මිදුල්හි 53 මණ්ඩපය ද කරවීය. දෙලක්ෂයක් ධනය වියදම් කරමින් නොයෙක් වස්ත්‍රයන් ද ගන්වා ලක්දිව් හි භික්ෂූ සංඝයාට වස්ත්‍ර දන් දුන්නේ ය.

සිරිනාග II සහ විජය කුමාර

54 අභය රජුගේ ඇවෑමෙන් ඔහුගේ බෑණා වූ වෝහාරතිස්ස රජුගේ පුත් සිරිනාග කුමර තෙමේ දෙහවුරුද්දක් ලංකා රාජ්‍යය කරවීය. ඒ රජ තෙමේ මහ බෝ හාත්පස පවුර පෙරලා (අලුත්වැඩියා කොට) සකස් 55 කොට මහ බෝ ගෙහි වැලි තලායෙහිම මිදෙල්තුරින් ඔබ්බවා හංස වෘත්තය (හංස පන්තියක් වැනි හැඩය ඇති) 56 ද, සිත්කළු මහ මණ්ඩප ද කරවීය. සිරිනා රජුගේ පුත් විජය කුමාර නම් 57 තැනැත්තේ පිය රජු ඇවෑමෙන් එක හවුරුද්දක් රජය කරවීය.

ලම්බකර්ණ වංශික මිතුරන් තිදෙනා

58 මියුගුණු වෙහෙර සමීප රටෙහි ඔවුනොවුන්ට යහළු වූ සඟතිස්ස සහ (සිරි)සඟබෝය, තුන් වෙනි වූ ගොළු අබා යයි යන ලම්බකර්ණ ගෝත්‍ර ඇති තරුණයෝ තුන් 59 දෙනෙක් වූහ. රාජෝපස්ථානයට (රජුට සේවය කිරීමට) එන ඒ තුන් දෙනා තිසා වැව අද්දර හේ ගෙයි (සේතු ගෘහයේ) උන් පණ්ඩිත වූ එක් අන්ධයෙක් ඔවුන්ගේ පද ශබ්දයෙන් හැඳින ”මේ පොළෝ 60 හිමියන් තුන්දෙනා පෘථිවිය උසුලන්නෝය” යි (අනාගතයේ රජවන බව) කීවේ ය. පසුව 61 එන්නා වූ ගොළු අබය කුමර තෙමේ ඒ අසා ”කවරෙක්හු ගේ වංශය (වැඩි කලක්) පවත්නේ දැ” යි පෙරලා ගොස් (අන්ධයාගෙන්) විචාළේ ය. ඒ තෙමේ ”පශ්චිමයාගේ (අවසානයට යන තැනැත්තාගේ) 62 ය” යි කීය. ඒ අසා අභය කුමර තෙමේ සෙස්සන් දෙන්නා සමග ගියේ ය. ඒ තුන් දෙනා නුවරට වැද රජහට ඉතා ඇළුම්ව රාජ කෘත්‍යයන් සිද්ධ කෙරෙමින් විජය රජු වෙත විසූ හ.

සඟතිස්ස සහ සිරිසඟබෝ රජවරු

63 ඒ තුන් දෙනා එක්ව විජය රජු රජ ගෙහිදීම මරා සෙනෙවි සඟතිස් කුමරු ඉතිරි දෙදෙනා විසින් රාජ්‍යයෙහි අභිෂේක කළෝ ය. මෙසේ 64 අභිෂේක කරණ ලද්දා වූ ඒ සඟතිස් රජ තෙමේ නගරොත්තම අනුරාධපුරෙහි 65 සතර හවුරුද්දක් රජය කරවීය. හෙතෙම මහ සෑයෙහි ඡත්‍රය ද රන්කම් ද කරවීය. 66 මිහිපල් තෙමේ වෙන් වෙන්ව ලක්ෂයක් ලක්ෂයක් අගනා මිණි 67 රුවන් සතරක් ද සතර රිවිබිඹු (හිරු මඬල වැනි මැණික්) මැද තැබ්බ විය. එසේම සෑ මුදුන්හි අනගි වීදුරු සුඹුළුවක් (කොතක්) හෝ කොත් කැරැල්ලක් තැබ්බ විය. ඒ නර ශ්‍රේෂ්ඨ 68 තෙමේ ඡත්‍රෝත්සව පූජායෙහි සතළිස් දහසක් සංඝයාට ෂට් චීවරයන් 69 දෙවීය. දම්ගල් (දම්සක්) විසූ මහා දේව තෙරුන් විසින් දෙසන ලද යාගයෙහි අනුසස් දක්වන්නා වූ බන්ධක පාළියෙහි (දාන) සූත්‍රය අසා පහන් වූයේ සංඝයාට සකස් කළා වූ කැඳ දානය නුවර සතර දොරටුයෙහි යහපත් කොට 70 දෙවීය. ඇතොවුරන් ඇමැතියන් සහිත ඒ රජ තෙමේ පැසුනා වූ දඹ අනුභවය පිණිස අතුරෙන් අතර (කලින් කලට) නැඟෙනහිර දිවයිනට (පාචීන දීපයට) යෙයි. නැගෙණහිරි වැසි 71 මිනිස්සු මොහුගේ ගමනින් උපද්‍රැත වූවෝ (පීඩාවට පත්වූවෝ) රාජ භෝගයට සුදුසු දඹ ඵලයන්හි වස යෙදූය. ඒ ජම්බු ඵලයන් කා රජ තෙමේ එහිම මළේ ය.

72 ඉක්බිති ගොළුඅබා කුමර තෙමේ සඟබෝ සෙනෙවි රජු රාජ්‍යයෙහි අභිෂේක 73 කෙළේ ය. පන්සිල් රක්නා ඒ රජ තෙමේ ශ්‍රී සංඝබෝධි යයි ප්‍රසිද්ධ 74 විය. අනුරාධපුරෙහි වෙසෙමින් දෙහවුරුද්දක් රජය කරවීය. හෙතෙම මහ වෙහෙර මනරම් ලහබත් ගෙයක් කරවීය. එකල්හි ඒ රජ තෙමේ ලක්දිව මිනිසුන් 75 නියං සායෙන් (නියඟයෙන් වූ සාගතයෙන්) බැගෑ බැව් දැන කරුණාවෙන් කම්පිත හෘදය ඇත්තේ, 76 මහ සෑ මිදුල බිම මෙසේ නිශ්චය කොට ගෙණ ”වැසි වැස දියෙහි මා නො ඉල්පු (පාවී නොයන) කල මෙහි මැරෙන්නා වූ ද (වුවද) මම් නොනැගිටින්නෙමි” 77 යි හෝත්තේ (වැතිරුණේ) ය. රජු මෙසේ හොත් කෙණිහි ම සියලු ලක්දිව පිනවමින් 78 මහ වැසි වැස්සේ ය. එසේ වුවද ඒ තෙමේ දියෙහි නොඉල්පෙන හෙයින් නොනැගිටියේය. ඉක්බිත්තෙන් ඇමැතියෝ දිය බැස යන සොරොවු (කාණු) ඇවුරුහ. 79 ඉක්බිති දැහැමි රජ තෙමේ දියෙහි ඉල්පෙමින් නැගිට්ටේ ය. මෙසේ 80 ලංකාද්වීපයෙහි නියං සාය කරුණාවෙන් බැහැරලීය. ඒ ඒ තැන සොරු 81 වූහයි මිහිපල් තෙමේ අසා, සොරුන් ගෙන්වා රහසින් පලවා හැර, රහසින් මළවුන්ගේ සිරුරු ගෙන්වා ගින්නෙන් පුලුස්සා (සොරුන් මැරූ බව පෙන්වා) සොර උවදුරු ද නසන ලදී.

82 ‘රක්තාක්ෂි’ (රත් ඇස් ඇත්තා) යයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන 83 මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි. උනුන්ගේ රත් වූ ඇස් බලා බිය වැද 84 මනුෂ්‍යයෝ නසිති. යක්ෂ තෙමේ ඒ මළ මිනිසුන් සැක නැතිව කයි. රජ තෙමේ උන් උවදුරු අසා තැති ගත් සිත් ඇත්තේ හුදකලාව අටඟ 85 පෙහෙවස් (අෂ්ඨාංග සීලය) සමාදන්ව උපෝසථ ගෙය තුළ ”ඒ යකු නොදැක නොනැගිටින්නෙමි” 86 යි හෝත්තේ ය. යක් තෙමේ රජහුගේ දහම් තෙදින් රජහු වෙත ආවේය. රජු වෙතින් ”තොප කවරෙක්දැ” යි පුලුවුස්නා ලද්දා වූ යක් තෙමේ ”මම (අසවලා යැයි)” 87 දැන්වීය. ”කවර හෙයින් මාගේ ප්‍රජාව කයි ද? නොකව” යි රජු කීයේ ය. 88 යක් තෙමේ ”මට එක් දනව්වෙක මිනිසුන් දෙව” යි කීය. ”නොහැක්කකැ” යි කී කල යක් තෙමේ ක්‍රමයෙන් ඉල්වා (අඩු කරමින් විත්) ”එක් මිනිසෙක් දුන මැනව” යි කීය. රජ තෙමේ ”අනිකෙක් දෙන්ට මට නොපිළිවන, මා (මගේ මස්) කව” යි 89 කීයේ ය. යක් තෙමේ ”නොහැක්කැ” යි කියා ”ගමක් ගමක් පාසා බිලි දුන මැනව” යි රජහුගෙන් ඉල්වීය. භූමීශ්වර තෙමේ ”මැනැවැ” යි (හොඳයි කියා) 90 සියලු දිව්හිම ගම්දොර (බිලි) තබ්බවා ඔහුට බලි බත් දෙවීය. සියලු සත්හු විසින් (විඳින ලද) හටගත් මහාරෝග භය මේ උපායෙන් නසන ලදී.

සිරිසඟබෝ රජුගේ හිස දන් දීම

91 රජහුගේ ඇමැති වූ භාණ්ඩාගාර නායක ගොළුඅබා කුමර තෙමේ දාමරිකව (කැරලි ගසා) උතුරු දිගින් 92 නුවරට එළඹියේ ය. ඒ රජ තෙමේ (සිරිසඟබෝ) පර හිංසා නොකැමැත්තේ 93 පෙරහන්කඩ ගෙණ දකුණු දොරින් හුදකලාවම පලා ගියේ ය. බත් මුළක් ගෙණ මග යන්නා වූ මිනිසෙක් බත් අනුභවය පිණිස නැවත 94 නැවත රජහට යාච්ඤා (ආරාධනා) කෙළේ ය. කරුණා බහුල රජ තෙමේ දිය පෙරා ගෙණ බත් අනුභව කොට ඔහුට මේ උපායෙන් අනුග්‍රහයක් 95 කරන්නට සිතා ”පින්වත මම සංඝබෝධි රජයෙමි. මා හිස ගෙණ ගොස් ගොළුඅබා රජුට දක්වව, තට බොහෝ වස්තු දෙන්නේය” යි මේ බස 96 කීයේ ය. ඒ තෙමේ එසේ කරන්ට නොකැමිති විය. මිහිපල් තෙමේ ඔහු පිණිස හුන්නේ ම (එහිම හිඳගෙන) මළේ ය. මිනිස් තෙමේ රජු හිස ගෙණ 97 ගොස් ගොළු අබා රජුට දැක්වීය. ඒ තෙමේ විස්මිත සිත් ඇත්තේ ඔහුට වස්තු දී මළ රජුට මැනවින් සත්කාර කරවීය.

ගෝඨාභය රජුගේ පාලනය සහ ශාසනික කටයුතු

98 මෙසේ මේ ගෝඨාභය තෙමේ මේඝවර්ණාභය යයි ප්‍රසිද්ධ වූයේ 99 තෙළෙස් හවුරුද්දක් (අවුරුදු 13ක්) ලක් රජය කරවීය. හෙතෙම රාජෝද්‍යානය කරවා උයන් 100 දොරටුයෙහි මණ්ඩපයක් තනා අලංකාර කරවා සඟින් (සංඝයා අතුරින්) භික්ෂූන් අටතුරා දහසක් (1800ක්) ලැබ ගෙණ එහි වඩා හිඳුවා, මිහිරි වූ නන් වැදෑරුම් කැඳ, අවුළු 101 හා භෝජනයෙන් සංග්‍රහ කොට, සිවුරු සහිත කොට දවස් පතා මහ දන් පැවැත්වීය. 102 මෙසේ එක්විසි දිනක් (දින 21ක්) නොවළහා (අඩුවක් නොකොට) කරවූයේ ය. මහා විහාරයෙහි මහත් ශෛල (ගල්) මණ්ඩපයක් කරවීය. ලොහොපායෙහි ටැම් ද පෙරලා තැබ්බ විය. 103 ජය මහා බෝධියෙහි ගල්පිළිකඩ (වේදිකාව) ද, උතුරු දොරටුයෙහි තොරන ද, සතර කොණ චක්‍ර (ධර්ම චක්‍ර) සහිත ටැම් ද පිහිටුවීය. දොරටු තුනෙහි සෙල් මුවා පිළිම 104 තුනක් කරවා දකුණු දොරටුයෙහි සෙල් මුවා පලහක් (ආසනයක්) තැබ්බ විය. 105 මහා විහාරයට බටහිරින් පදන් බිම (ප්‍රධාන භූමිය) කරවීය. ලක්දිව්හි ජීර්ණ වූ ආවාස 106 සියල්ලම අළුත් කොට කරවීය. ථූපාරාමය විහාරයෙහි දාගෙය හා එසේම 107 අඹතලා දා ගෙය ද, මිණිසොම් නම් අමර දා ගෙය ද පිළිසකර කරවීය. ථූපාරාමය, මණිසොමාරාමය, මිරිසවැටිය, දක්ෂිණ විහාරය යන මෙතෙක් 108 තැන පොහෝ ගෙවල් ද පිළිසකර කරවීය. මේඝ වර්ණාභය නම් අළුත් විහාරයක් කරවීය. විහාර පූජා පෙළහරෙහි ලක්දිව් වැසි තිස් 109 දහසක් භික්ෂූන් රැස්කරවා ෂට් සිවුරු (සිවුරු හයක් බැගින්) දෙවීය. එකල මහ වෙසක් 110 පූජාව ද එසේම කරවීය. වසක් පාසා සංඝයාට ෂට් චීවර (සිවුරු හයක්) දෙවීය.

සංඝමිත්‍ර තෙරුන්ගේ ආගමනය සහ දෙටුතිස් කුමරු

111 ඒ තෙමේ පවිටුන්ගේ නිග්‍රහය කරවා බුදු සස්න ශුද්ධ කරවමින්, අභයගිරිවාසී වෛතුල්‍ය වාදී වූ බුදු සසුන්හි කටු බඳු සැටක් (60ක්) පමණ 112 භික්ෂූන් ගන්වා ඔවුන්ට නිග්‍රහ කරවා (රටින්) පරතෙර දැම්ම විය. එහි දමන 113 ලද තෙරහුගේ ආශ්‍රය ඇති, යක්ෂ විද්‍යාදියෙහි දක්ෂ වූ ‘සංඝමිත්‍ර’ නම් 114 සොළී භික්ෂූ කෙනෙක් මහා විහාරයෙහි භික්ෂූන්ට කිපී මෙහි ආයේය. සීලාදි සංයම නැති ඒ තෙමේ ථූපාරාමයෙහි සංඝ සන්නිපාතයට (රැස්වීමට) වැද, එහි දී පිරිවෙන් වැසි මහා ස්ථවිර වූ, මේ ගොළු අබා රජුගේ 115 මයිල (මාමා) වූ සංඝපාල මහළු තෙරුන්, රජුගේ නමින් කථා කරන්නහුගේ (රජු වෙනුවෙන් කතා කළ) බස ප්‍රතික්ෂේප 116 කොට රජහුගේ කුලෝපග (කුලයට හිතවත්) විය. රජ තෙමේ ඔහු කෙරෙහි පැහැද දෙටු 117 පිත් දෙටුතිස් කුමරු ද, ඔහුගේ මල් මහසෙන් කුමරු ද ඒ භික්ෂූහට භාර කෙළේ ය. ඒ තෙමේ දෙවෙනි කුමර (මහසෙන්) සතුටු කොට ගත්තේ ය. දෙටුතිස් කුමර වනාහි ඒ මහණහු කෙරෙහි වෛර බැන්දේ ය.

දෙටුතිස් රජුගේ පාලනය සහ කුරිරුකම්

118 පිය රජු ඇවෑමෙන් ඒ දෙටුතිස් කුමර රජ විය. පිය රජුගේ ශරීර 119 සත්කාරයෙහි (ආදාහන උත්සවයට) පැමිණෙනු නොකැමැති දුෂ්ට ඇමැතියන් නිග්‍රහ පිණිස රජ තෙමේ ම නික්ම ගොස්, මල් කුමර (මහසෙන්) පෙරටු කොට යවා, පියහු 120 සිරුරත් ඉක්බිති කොට යවා, ඉන් ඉක්බිති කොට ඇමැතියනුදු මෙහෙයා, තෙමේ පසුව මල්හු ද පියහු සිරුර ද පිටත් වූ කල, ඊට ඉක්බිතිව දොර 121 වස්නා (වහන) දුෂ්ට අමාත්‍යයන් මරවා පියහු දර සෑය සිසාරා දිවසුහුල (උල්වල) හිඳවීය. රජහුගේ ඒ ක්‍රියාව කරණ කොට ගෙණ ‘දෙටුතිස්’ යන ඔහුගේ නාමය 122 ‘කක්බල’ (කාකවර්ණ හෙවත් කුරිරු) යනු උප පද කොට ඇති විය. සංඝමිත්‍ර ඒ භික්ෂූ තෙමේ ඒ 123 නර නාථයා කෙරෙන් බියව ඔහු අභිෂේකයට සම කාලවම මහසෙන් කුමරු හා මන්ත්‍රණය කොට ගෙණ ඒ මහසෙන්හුගේ අභිෂේක අපේක්ෂා 124 කෙරෙමින් මෙයින් (ලංකාවෙන්) පරතෙර ගියේ ය.

ඒ දෙටුතිස් රජ පිය රජු විසින් 125 කොට අඬාල (වැඩ නිම නොකළ) උතුම් ලොහොපහය සත් බුමු (මහල් හතක්) කොට කෙළක් අගණා සේ කරවීය. එම දෙටුතිස් රජ සැට ලක්ෂයක් අගණා මිණි රුවනක් පුදා 126 එහි (ලොහොපහයෙහි) උතුම් මිණි පහයක් කරවීය. මහඟු මැණික් දෙකක් මහ සෑයෙහි පිදීය. මහ බෝ ගෙහි තොරන් තුණ ද කරවීය. 127 ඒ පෘථිවීශ්වර තෙමේ පැදුම් තිස් පව්ව (පාචීන තිස්ස පර්වත) විහාරයක් කරවා පංචා වාසයෙහි 128 සංඝයාට දුන්නේ ය. ඒ දෙටුතිස් රජ දෙවනපෑතිස් රජු විසින් පෙර ථූපාරාමයෙහි පිහිටුවන ලද මනා දැකුම් ඇති මහ ගල් පිළිමය 129 ථූපාරාමයෙන් ගෙණ ගොස් පැදුම් තිස් පව් අරම්හි පිහිටුවීය. ඒ දෙටුතිස් තෙමේ ‘කළු මැටි වැව්’ සෑගිරියට (මිහින්තලයට) පිදීය. වෙහෙර පහ පෙළහර, 130 මහ වෙසක් පූජා යන මෙතෙක් පූජා කොට දහසක් සංඝයාට ෂට් 131 චීවර දානය දුන්නේ ය. ඒ රජ තෙමේ ආලම්බගාම වැව ද කරවීය. ඒ 132 රජ තෙමේ මේ ආකාරයෙන් ප්‍රසාද කරණාදී වූ නන් වැදෑරුම් පින්කම් කරවමින් දහ සවුරුද්දක් රජය කරවීය.

133 මේ ආකාරයෙන් නන් වැදෑරුම් පින්කමට හේතු වූ නරපල් බව (රජකම) නොයෙක් පාපයන්ට ද හේතු යයි දැන, විෂයෙන් මිශ්‍ර වූ මධුරාහාරයක් හෙයින් (වැනි බැවින්) එය කිසි කලෙකත් සත්පුරුෂයන්ගේ මනස භාජනය නොකරන්නේ ය (සත්පුරුෂයන් ඊට නොඇලෙන්නේය).

මෙතෙකින් හුදී ජනයා පහන් සංවේග පිණිස කළ මහ වස (මහාවංශයෙහි) ‘ත්‍රයෝදස රාජක’ නම් වූ තිස් හය වන අදියර නිමි.