34. එකාදසරාජදීපන (එකොළොස් රජුන්ගේ පුවත)

star_outline
මහාචූළී මහාතිස්ස රජතුමාගේ පින්කම්

1 ඒ රජුගේ මරණයෙන් පසුව, මහාචූළී මහාතිස්ස රජතුමා දහහතර අවුරුද්දක් දැහැමින් සෙමින් රාජ්‍යය කළේය. 2 “තමාගේම දෑතේ මහන්සියෙන් කළ වෘත්තියෙන් උපයා දෙන දානය මහත් ඵල මහානිසංස ඇත්තේය” යි අසා, රජු රජ බවට පත් පළමු වසරේදීම අප්‍රසිද්ධ වෙස් ගෙන 3 (ප්‍රත්‍යන්ත දේශයකට) ගොස් ඇල් ගොයම් කපා, එයින් ලැබූ වී කුලියෙන් මහාසුම්ම තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කළේය.

4 නැවත ක්ෂත්‍රිය කුලයෙහි උපන් භූමීශ්වර වූ ඒ රජතෙමේම, ස්වර්ණගිරියෙහි තුන් අවුරුද්දක් උක් යන්ත්‍රයක් කර තබාගෙන වෙහෙස වී, 5 එයින් කුලී වශයෙන් උක් සකුරු ලබාගෙන, එම උක් සකුරු ගෙන්වාගෙන 6 නුවරට පැමිණ මහා භික්ෂු සංඝයාට මහ දන් දුන්නේය. 7 භික්ෂූන් වහන්සේලා තිස් දහසකටත්, එසේම දොළොස් දහසක් භික්ෂුණීන්ටත් වස්ත්‍ර පූජා කළේය.

මිහිපල් තෙමේ මොනවට පිහිටි විහාරයක් කරවා භික්ෂූන් හැට 8 දහසකට තුන් සිවුරු දුන්නේය; එසේම භික්ෂුණීන් තිස් දහසකට ද දුන්නේය. ඒ 9 රජ තෙමේ මණ්ඩවාපී විහාරය ද, අබාගල ද, වගුපට ගල ද, දිශාඛා ගල ද, වාලගම් වෙහෙර ද කරවීය. මෙසේ ඒ රජ තෙමේ සැදැහැයෙන් 10 නොයෙක් ආකාරයෙන් පින් කොට දහහතර වසක් ඇවෑමෙන් දෙව් ලොව ගියේය.

චෝරනාග සහ කුඩා තිස්ස රජුන්

11 වළගම්බා රජුගේ පුත්‍ර වූ ‘චෝරනාග’ යයි ප්‍රසිද්ධ වූ කුමාර තෙමේ, 12 මහාචූළී රජුගේ කාලයෙහි කැරලිකරුවෙකු ලෙස හැසිරුණේය. මහාචූළී රජු කලුරිය කළ කල්හි අවුත් රජය කරවීය. දුෂ්ට අදහස් ඇති හෙතෙමේ තමන් කැරලිකරුවෙකු ලෙස සිටි කාලයෙහි 13 යම් වෙහෙරකින් නවාතැන් නොලද්දේ ද, ඒ දහඅටක් විහාරයන් 14 විනාශ කරවීය. ඒ චෝරනාග තෙමේ දොළොස් අවුරුද්දක් රාජ්‍යය කළේය. ඒ පවිටු තෙමේ මරණින් මතු ලෝකාන්තරික නිරයෙහි උපන්නේය.

15 ඒ රජුගේ ඇවෑමෙන් මහාචූළී රජුගේ පුත් වූ ‘තිස්ස’ (කුඩා තිස්ස) යයි ප්‍රසිද්ධ රජතෙමේ තුන් අවුරුද්දක්ම රජය කළේය. චෝරනාග රජුගේ බිසව වූ විෂම 16 අදහස් ඇති අනුළා දේවිය, මාලිගාවේ ආරක්ෂකයා කෙරෙහි සිත අලවා, විෂ දීම වැනි විෂම ක්‍රියා කොට (චෝරනාග රජු) මැරවූවාය. එම ආරක්ෂකයා කෙරෙහි 17 ඇළුණු සිත් ඇති අනුළා තොමෝම, ඉන්පසු තිස්ස රජු ද වස දී මරවා එම ආරක්ෂකයාට රාජ්‍යය දුන්නාය.

අනුළා බිසවගේ අනාචාරී පාලනය

ඒ ‘සිව’ නම් වූ ප්‍රධාන දොරටුපාලකයා අනුළාව 18 අගමෙහෙසිය කරගෙන එක් අවුරුදු දෙමසක් ඒ නුවර රජය කළේය. 19 අනුළා තොමෝම ‘වටුක’ නම් දෙමළා කෙරෙහි ඇළුණු සිතින් සිව රජු මරවා, වටුකයා හට රාජ්‍යය ලබා දුන්නාය. නුවර වඩුවෙකු වූ ඒ වටුක දෙමළා 20 වනාහි අනුළාව අගමෙහෙසිය කරගෙන එක් අවුරුදු දෙමසක් නුවර රජය කළේය.

21 ඉක්බිති අනුළා තොමෝම එහි පැමිණි දර කපන්නෙකු දැක 22 ඔහු කෙරෙහි ඇළුණු සිත් ඇත්තී, වස දී වටුකයා මරා ඔහුට රජය ලබා දුන්නාය. ‘දරකැටි තිස්ස’ නම් වූ ඔහු අනුළාව අගමෙහෙසිය කරගෙන එක් අවුරුදු එක් මසක් නුවර රජය කළේය. හෙතෙමේ මහමෙවුනා 23 උයනෙහි පොකුණක් කරවීය.

එම අනුළා තොමෝ ‘නීලිය’ නම් දෙමළ පුරෝහිත බමුණා කෙරෙහි රාගයෙන් ඇළුණී, ඔහු හා එක්ව විසීමට කැමති වී, 24 ඒ දරකැටි තිස්ස රජු වස දී මරවා නීලිය බමුණාට රජය දුන්නාය. නීලිය බමුණු තෙමේ ද ඇය අගමෙහෙසිය කරගෙන නිතර ඇය විසින් 25 උපස්ථාන ලබමින්, මේ අනුරාධපුරයෙහි සය මසක් රජය කළේය. 26 රිසි සේ දෙතිස් දෙනෙක් වූ මාලිගා ආරක්ෂකයන් සමඟ විසීමට කැමති වූ එම අනුළා බිසව, 27 වස දී ඒ නීලිය රජු ද මරවා, තොමෝම සාර මසක් රජය කළාය.

කූටකණ්ණ තිස්ස රජතුමා

28 මහාචූලික රජුගේ දෙවන පුත් වූ ‘කූටකණ්ණ තිස්ස’ (මකලන්තිස්) නම් කුමාරයා, 29 අනුළා දේවියට බියෙන් පලා ගොස් පැවිදිව සිට, සුදුසු කල්හි ලත් පිරිස් බල 30 ඇත්තේ මෙහි අවුත්, දුෂ්ට සිත් ඇති ඒ අනුළා රැජින මරවා දෙවිසි අවුරුද්දක් රජය කළේය.

31 රජතෙමේ සෑගිරියෙහි (මිහින්තලයෙහි) මහ පොහෝ ගෙය කළේය. ඒ ගෙට ඉදිරියෙහි ගල් සෑයක් ද බැඳවීය. ඒ තෙමේ එම සෑගිරි 32 ගලෙහි බෝධි වෘක්ෂයක් ද ඉන්දවීය; අතුරුගම තේලගාම විහාරය කරවීය. 33 එහිම ‘වර්ණක’ නම් මහ ඇළ ද, ආමුදුර්ග මහ වැව ද, භයෝලුප්පලු නම් වැව ද කරවීය; නුවර වටා සත් රියන් උස් පවුරක් හා එසේම දිය අගලක් ද කරවීය. 34 මහා වස්තුවෙහි (රාජ මාලිගා භූමියෙහි) නොහික්මුණු අනුළාව ආදාහනය කරවා, එතැනින් 35 මඳක් ඈත් කොට මහා වස්තුව කරවීය. නුවර පද්ම ස්වර නම් උයන ද කරවීය.

මේ රජුගේ මව් බිසව දන්තයන් ධෝවනය (පිරිසිදු) කොට බුදු 36 සස්නෙහි පැවිදි වූවාය. ඇගේ කුල නිවස සමීපයෙහි මව් මෙහෙණින් වහන්සේට ‘දන්තගේහ’ නමින් මෙහෙණවරක් කරවීය. එහෙයින් ඒ ‘දන්ත ධෝවන’ මෙහෙණවර යයි ප්‍රසිද්ධ විය.

භාතිකාභය රජතුමාගේ මහ පින්කම්

37 ඒ මකලන්තිස් රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් ‘භාතිකාභය’ නම් ක්ෂත්‍රිය 38 තෙමේ අටවිසි අවුරුද්දක් රජය කළේය. මහාදාඨික මහානාග රජුගේ සහෝදරයා බැවින් 39 ධාර්මික වූ ඒ නිරිඳු තෙමේ ලක්දිවෙහි ‘භාතිය රජ’ යැයි ප්‍රකට විය. ඒ 40 තෙමේ මේ ලෝවාමහාපායෙහි නවකම් ද කරවීය. මහා සෑයෙහි වේදිකා දෙක ද ථූපාරාමයෙහි පොහෝ ගෙය ද කරවීය. 41 තමාට ලැබෙන අයබදු වියදම් කොට නුවර වටා යොදුනක් දුරට දෑසමන් හා සීනිද්ද මල් බොහෝ කොට වගා කළ ඒ නර ශ්‍රේෂ්ඨ තෙමේ, පාද වේදිකාවේ පටන් ඡත්‍රය 42 තෙක් සතර අඟුලක් ඝනකමට සුවඳ මැටිවලින් මහා සෑය ආලේප කරවා, එහි මනා කොට නැටියෙන් මල් වද්දා මුළු සෑයම මල් ගුහාවක් සේ කරවීය.

43 නැවත ද දෑඟුලක් ඝනකමට මනෝශිලා නම් සුවඳ මැටි කබලින් සෑය ආලේප කරවා, පෙර සේම 44 මල් ගැසීම කරවීය. ඉක්බිති පාදමේ සිට ඡත්‍රය තෙක්ම 46 මල් රාශියක් විසුරුවා ඒ මල් රැසින් සෑය වැසීය. අභය වැවෙන් යන්ත්‍ර මගින් ජලය ඉහළට නංවාගෙන, ඒ ජලයෙන් ශ්‍රද්ධාවන්ත ඒ රජු සෑය තෙමමින් ජල පූජාව 47 කරවීය. ආලේප කටයුතු හුණු සියක් ගැලක් ගෙන්වා, මුතු ඇට සහ තලතෙල් දමා මනා කොට අඹරා හුණු පිරියම් කරවීය. පබළු දැලක් කරවා ඒ සෑයෙහි 48 බහා, රියසක පමණ රන් පියුම් තනවා සන්ධියක් පාසා ඒවා අවුළුවා, එතැනින් බිම තෙක් මුතු වැල් එල්වා පියුම් ද එහි එල්වා මහ සෑය පිදීය.

49 ඒ රජ තෙමේ දාගැබ තුළ රහතුන් වහන්සේලා පිරිත් කියන හඬ අසා, “මම එය 50 නොදැක නැගී නොසිටින්නෙමි” යි අධිෂ්ඨාන කොට නැගෙනහිර දොරටුවෙහි ගල් ටැඹ මුල නිරාහාරව වැතිර සිටියේය. තෙරුන් වහන්සේලා දොරක් මවා ඒ රජු දාගැබ් කුසට (ධාතු ගර්භයට) ගෙන ගියහ. ඒ නිරිඳු තෙමේ දාගැබෙහි ඇති ඓශ්චර්යය 51 සියල්ල දැක බැහැර නික්මුණේ, මැටි රූපවලින් ඒ ආකාරයටම ආකෘති තනවා පූජා කළේය.

මී පැණි 52 කළවලින් ද, සුවඳ කැටවලින් ද, පියුම් හා මානෙල් මල් පුරවන ලද 53 කළවලින් ද, සුවඳ දියෙන් ද, අඳුන් සහ හිරියල් හා එසේම මනෝශිලාවලින් ද (පූජා කළේය). සෑ මළුවෙහි මනෝශිලා අතුරා දණක් පමණ උසට පූජා මල් 54 වස්වා, ඉන් පසු අතුරු සිදුරු නැතිව අතුරන ලද මානෙල් මලින් ද, මුළු 55 සෑ මළුව සුවඳ මැටියෙන් පුරා එහි සිතියම් කළ පැදුරුවල සිදුරෙහි අමුණන ලද මානෙල් මලින් ද, එසේම සෑ මළුවෙහි ජල බැස යන දොරටු අවුරා, පිර වූ ගිතෙල්හි දැමූ නොයෙක් පට රෙදි වැටියෙන් දැල් වූ පහනින් ද, එසේම මී තෙල්හි ද තල තෙල්හි 56 ද එපරිද්දෙන්ම පට වැටියෙන් දල්වන ලද බොහෝ වූ පහන්වලින් ද පූජා කෙළේ ය. ක්ෂත්‍රිය තෙමේ කී පරිදි වූ මේ දෙයින් වෙන් වෙන්ව සත් 57 සත් වර බැගින් දාගැප් පූජාව කළේය.

58 අවුරුදු පතා නියම කොට කරවන ලද උතුම් වූ සුණු පිරියම් මංගල්‍යය ද, එසේම ජය ශ්‍රී මහා බෝධියට කරන බෝධි ස්නාන පූජාව ද, අටවිස්සක් 59 වූ මහා වෙසක් පූජාවන් ද, අසූහාර දහසක් වූ කුඩා පූජාවන් ද (කළේය). නානාවිධ 60 වූ නැට්ටුවන් විසින් කරන ලද නැටුම් හා නානාප්‍රකාර පංචාංගික තූර්ය නාදය යන පූජා වර්ගයන් ශ්‍රද්ධාවෙන් මෙහෙයවන ලද රජ තෙමේ මහ සෑයෙහි පැවැත්වීය. දවසට තුන් වරක් බුද්ධෝපස්ථානයට (වන්දනාවට) ආයේය. ඒ 61 තෙමේම නියත කොට දිනකට දෙවරක් මල් පූජාව සඳහා බෙර වැයීම කරවීය.

පෙළහර 62 දානය ද, පවාරණ දානය ද නියම කොට තෙල්, පැණි, වස්ත්‍රාදිය සහ ශ්‍රමණ සාරූප්‍ය පිරිකර සංඝයාට බොහෝ කොට දුන්නේය. ක්ෂත්‍රිය 63 තෙමේ සෑයෙහි ප්‍රතිසංස්කරණ පිණිස ඒ සෑයට ඉඩම් පූජා කළේය. තව ද ඒ භූමීශ්වර තෙමේ සෑගිරි වෙහෙර භික්ෂූන් දහසකට හැම කල්හි 64 සලාක බත් දුන්නේය. චිත්‍ර ප්‍රාසාදය, මණි ප්‍රාසාදය, මුචල ප්‍රාසාදය යන 65 උපස්ථාන කරන තැන්හි ද, එසේම පද්මස්වර ප්‍රාසාදය ද, මනොරම්‍ය ඡත්‍ර ප්‍රාසාදය ය යන පස් තැන්හි හැම කල්හි ධර්මයෙහි ගෞරව ඇති ඒ 66 තෙමේ ග්‍රන්ථ ධුරයෙහි යෙදුණු භික්ෂූන් වහන්සේලාට පස පසින් උපස්ථාන කළේය. ඒ භාතිකාභය නිරිඳු තෙමේ පුරාණ රජුන් විසින් නියම කරන 67 ලද්දා වූ යම් කිසි ශාසනය පිළිබඳ වතක් වී නම් ඒ සියලු පින්කම් කළේය.

මහාදාඨික මහානාග රජු

68 ඒ භාතිය රජුගේ ඇවෑමෙන් ඔහුගේ මල් වූ ‘මහාදාඨික මහානාග’ තෙමේ 69 නොයෙක් පින්කම් කිරීම පරමාර්ථ කොට ඇත්තේ දොළොස් අවුරුද්දක්ම රජය 70 කළේය. මහ සෑ මළුවෙහි කිඤ්ජල්ක පාෂාණයන් (මල් රේණු වැනි ගල්) ඇතිරවීය. මළුව විශාල කරවා වැලි මළු සීමාව ද කරවීය. ලක්දිව සියලු විහාරයන්හි 71 ධර්මාසන කරවීය. රජ තෙමේ අම්බස්ථල මහා සෑය කරවීය. එහි අත්තිවාරම 72 බිඳ වැටෙන කල්හි බුදුගුණ මෙනෙහි කොටගෙන, තෙමේ එහි වැතිරී ස්වකීය ප්‍රාණය පරිත්‍යාග කිරීමට සැරසී එහි සෑ බැම්ම නවත්වා සෑය පිහිටුවා, 73 සතර දොරටුයෙහි දක්ෂ ශිල්පීන් විසින් මොනවට නෙළන ලද නන් 74 රුවනින් හෙබියා වූ රුවන් ඇගෑ (තොරණ/කණු) සතරක් තැබ්බවිය. නන් රුවනින් කළ හැට්ටයක් (ආවරණයක්) සෑයෙහි බහා පළඳවා, ඒ හැට්ටයෙහි රන් බුබුළු හා එල්ලෙන මුතු දැල් ද තැබ්බවීය.

75 සෑගිරිය අවට යොදුනක් දුර ප්‍රමාණය සරසවා, හාත්පස මනා වීථි ඇති සතර දොරටුවක් යොදවා, වීථි දෙපස සල්පිල්, ආරුක්කු, කොඩි, 76 ඇගෑ සහ තොරණින් තන්හි තන්හි සරසවා, හාත්පසින් පහන් වැල් දල්වා ආලෝක 77 කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීත වාදනයන් ද කරවීය. 78 කොළොම් ඔය (මල්වතු ඔය) පටන් සෑගිරිය තෙක් මාර්ගයෙහි දෙපයින් යනු පිණිස පාවඩ ඇතිරවීම ද කරවීය. නැටුම්, ගී, වැයුම් සහිත නෘත්‍ය ද එහි 79 කරවීය.

නුවර සතර දොර මහ දන් ද දුන්නේය. හිඩැස් නැති පහන් 80 මාලාවන් මුළු ලක්දිවෙහි ද, හාත්පස යොදනක් දුර මුහුදු දියෙහි ද පැවැත්වීය. ඒ රජු විසින් සෑ පෙළහරෙහි කරවන ලද්දා වූ මනා 81 වූ උදාර වූ ඒ පූජාව ‘ගිරිභණ්ඩ මහා පූජාව’ යයි කියනු ලැබේ. රජ තෙමේ ඒ පූජා සමාගමයෙහි එක්රැස් වූ භික්ෂූන්ට අට තැනක දන් තබ්බවා, එහි තබන ලද අට රන් බෙරක් ගස්වා සූවිසි දහසක් භික්ෂූන්ට 82 මහ දන් පැවැත්වීය. සය වැදෑරුම් සිවුරු දුන්නේය. හිරගෙයි බැඳ දමන ලද්දවුන්ගේ විමුක්තිය (නිදහස) ද කරවීය. 83 සතර දොරටුයෙහි කරණවෑමියන් 84 ලවා හැම කල්හි (ජනයාගේ) කරකම් කරවීය.

මේ රජ තෙමේ පෙර රජුන් විසින් තබන 85 ලද්දා වූ ද, එසේම තම සහෝදරයා විසින් තබන ලද්දා වූ ද, පින්කම් සියල්ල නොපිරිහෙලා කරවීය. තමා ය, බිසව ය, පුතුන් දෙදෙනා ය, මඟුලැතා ය, 86 මඟුලසා ය යන මේ සියල්ල සංඝයා විසින් වළක්වනු ලබද්දී ම සංඝයාට පූජා කළේය. 87 ඒ තෙමේ භික්ෂු සංඝයාට ලක්ෂයක් අගනා වූ ද, භික්ෂුණී සංඝයාට 88 ලක්ෂයක් අගනා වූ ද පිරිකර දුන්නේය. 89 (දාන) විධානයෙහි පණ්ඩිත වූ රජ තෙමේ, නන් වැදෑරුම් කැප බඩු දී තමාත් අන් අයත් (ආපසු) සංඝයාගෙන් මුදා ගත්තේය.

ජනාධිනාථ තෙමේ රුහුණු ජනපදයෙහි ‘කාලායන කර්ණික’ නම් තැන ‘මණිනාග පබ්බත’ නම් 90 විහාරයක් ද, එසේම ‘කලන්ද’ නම් විහාරයක් ද කරවීය. ‘කුඹුක්කන්ධන’ (කුඹුක්කන් ඔය) නම් හෝ තෙර ‘සමුද්‍ර’ විහාරය ද, රුහුණේම ‘හුවාව කර්ණික’ නම් තැන 91 ‘චූලනාග’ නම් විහාරය ද කරවීය. ක්ෂත්‍රිය කුල ඇති මිහිපල් තෙමේ 92 ගල් දිවයින්හි (පාෂාණදීප) තමා විසින් විහාරයක් කරවූ කල්හි, පැන් පලයක් (ජලය) වැළඳූ සාමණේරයන් 93 වහන්සේ නමකගේ ආචාර ධර්මයෙහි පැහැදී, විහාරය අවට අට යොදුනක් ප්‍රදේශය ඒ විහාරයට සාංඝික කොට දුන්නේය. ඒ ක්ෂත්‍රිය තෙමේ පඬුවෑ වෙහෙර 94 ද සාමණේර නමකට (පැහැදී) තුටු වූයේ විහාරය ද එසේම සංඝයා කෙරෙහි භෝගය ද දුන්නේය.

මෙසේ මනා නුවණැත්තෝ බොහෝ සම්පත් ලැබ මද සහ ප්‍රමාදය යන දෙකින් තොර වූවාහු, එසේම කාම ආශාවෙන් ද තොරව, ජනයාට දුක් නොදී පින්කම්හි ඇලුම් ඇත්තාහු, සුපහන් සිතින් යුතුව මහත් වූ නානා පින්කම් කරන්නාහ.

මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘එකාදසරාජදීපන’ නම් වූ තිස් හතරවන පරිච්ඡේදය නිමි.