1 දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය සමයෙහි ජනයා ඉතා සතුටට පත්ව සිටියහ. 2 එම රජතුමාට ‘සාලි රාජ කුමාරයා’ යයි ප්‍රසිද්ධ වූ පුතෙක් විය; හෙතෙම අතිශයින් වාසනාවන්ත විය; හැම කල්හිම පින්කම්හි ඇලුනේ විය. හෙතෙම ඉතා රූමත් වූ සැඩොල් කුල කාන්තාවක් කෙරෙහි ආදරයෙන් බැඳුනේ ය. 3 පෙර ආත්මයකදී ත් තමාට සම්බන්ධව සිටි, රූප සම්පත්තියෙන් යුතු ඒ අශෝකමාලා දේවිය කෙරෙහි අතිශයින් ප්‍රිය කළ හෙතෙම රාජ්‍යය පවා නොපැතුවේ ය.
4 එහෙයින් දුටුගැමුණු රජුගේ ඇවෑමෙන් ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු අභිෂේක කරන ලද්දේ, දහ අට වසරක් රාජ්‍යය විචාළේ ය. 5 ශ්‍රද්ධාවන්ත බැවින් කරන ලද වැඩ ඇති හෙයින් ‘සද්ධාතිස්ස’ යයි නම ලත් ඒ රජතුමා, මහා සෑය පිළිබඳ බදාම කර්මාන්ත ද, හුණු පිරියම් කිරීම් ද, ඇත් පවුර ද කරවීය. 6 එකල්හි ඒ මහා සෑයේ කොත් කැරැල්ල අනූ ලක්ෂයක් වටිනා විය.
7 ඒ රජතෙමේ දක්ෂිණගිරි විහාරය, කල්ලක ලෙන, කුළුම්බාල විහාරය, එසේම පෙතග වැලි විහාරය, වෙළඟ වැටිය, 8 දුඹුල්නෑතිස් විහාරය, දුරතිස් වැව, එසේම මාතු විහාරය සහ දිගා වැව දක්වා යොදුනෙන් යොදුන විහාරයන් ද කරවීය. 9 දීඝවාපි විහාරය ද සෑයක් සහිත කොට කරවීය. 10 ඒ සෑය වසා එලන පිණිස සත් රුවන් අමුණන ලද සැට්ටයක් (ආවරණයක්) කරවීය; රිය සකක් පමණ විශාල වූ සිත්කලු රන් මල් කරවා ඒ දැලෙහි සන්ධියක් පාසා ඇමිණුවේ ය. 11 පරයන් අභිබවා සිටියා වූ ඒ රජතෙමේ සූවාූ දහසක් ධර්ම ස්කන්ධයන්ට සූවාූ දහසක් පූජාවන් ද කරවීය. 12 ඒ රජතෙමේ මෙසේ නොයෙක් පින්කම් කොට මරණින් පසු තුසිත දෙව්ලොව උපන්නේ ය.
13 සද්ධාතිස්ස මහ රජු දීඝවාපියෙහි වසන කල්හි, ඔහුගේ වැඩිමහල් පුත් වූ ලැජ්ජතිස්ස නම් කුමරු 14 ගිරිකුම්භීල නම් රම්‍ය වූ විහාරය කරවීය. 15 ඒ රජුගේ බාල පුත් වූ තුල්ලත්ථන නම් කුමාරයා කන්දර නම් විහාරය කරවීය. 16 තුල්ලත්ථන කුමාරයා සිය සොහොයුරු වූ (බාප්පා වූ) දුටුගැමුණු රජු වෙත එන තම පියාණන් සමගම පැමිණ, තමන් කළ විහාරයේ සංඝයාට දන් පිරිනැමීම පිණිස එහිම නතර විය.
17 සද්ධාතිස්ස මහ රජු මිය ගිය කල්හි සියලු ඇමතිවරු ථූපාරාම විහාරයට රැස් වූවෝ, සියලු භික්ෂු සංඝයා ද රැස් කරවා රට රැකීම පිණිස සංඝයාගේ කැමැත්ත මත තුල්ලත්ථන කුමරු අභිෂේක කළහ. 18 ලැජ්ජතිස්ස කුමරු ඒ බව අසා මෙහි අනුරාධපුරයට පැමිණ, ඔහු අල්ලාගෙන තෙමේම රජ විය. 19 තුල්ලත්ථන රජ වනාහි එක් මසක් හා දින දහයක් රාජ්‍යය කළේ ය.
20 ලැජ්ජතිස්ස රජ තෙමේ (තමා අභිෂේක නොකර බාලයා අභිෂේක කළ හෙයින්) ‘වැඩිමල් පිළිවෙළ නොදත්තෝ ය’ යි සංඝයා කෙරෙහි ගෞරව නැතිව, තුන් අවුරුද්දක්ම ඒ සංඝයාට පරිභව කළේ ය. 21 පසුව රජ තෙමේ සංඝයාගෙන් සමාව ගෙන, දඬුවම් පූජාවක් වශයෙන් තුන් ලක්ෂයක් කහවණු දී මහා සෑයෙහි ගල් මල් අසුන් තුනක් කරවීය. 22 වැලිත් ඒ රජතෙමේම ලක්ෂයක් වියදම් කොට මහා සෑයත් ථූපාරාමයත් අතර බිම සම කොට පස් පුරවා ගොඩ කරවීය; තවද ථූපාරාමයෙහි සෑය සඳහා ගලින් කළ උතුම් වූ දා ගෙයක් ද කරවීය. 23 ථූපාරාමයට නැගෙනහිර දෙසින් ගල් දාගැබක් ද, 24 භික්ෂු සංඝයාට ‘ලජ්ජික’ නම් (තමා නමින්) ආසන ශාලාවක් ද කරවීය.
25 සෑගිරි වෙහෙර (මිහින්තලය) කටු සෑයෙහි ලක්ෂයක් දී ගලින් කළ දා ගෙයක් ද කරවීය; එම රජ තෙමේ 26 ගිරිකුම්භීල නම් විහාර පූජාවෙහි දී සැට දහසක් භික්ෂූන්ට තුන් සිවුරු දුන්නේ ය. 27 රිටිගල විහාරය ද, එසේම කන්දරහීනක නම් විහාරය ද කරවීය. 28 ග්‍රන්ථ ධුරය දරන භික්ෂූන්ට බෙහෙත් පස දුන්නේ ය; “කුමක් කැමැති දැයි” විචාරා කැමැති දෑ සහ සහල් ද භික්ෂුණීන්ට දුන්නේ ය. ඒ රජ තෙමේ මේ නුවර නව අවුරුද්දක් සහ මාස අටක් රාජ්‍යය කළේ ය.
29 ලැජ්ජතිස්ස රජු මිය ගිය කල්හි ඔහුගේ මලණුවන් වූ ඛල්ලාටනාග නම් රජ සය අවුරුද්දක්ම රාජ්‍යය කළේ ය. 30 මේ රජ තෙමේ ලෝවාමහාපාය වටා, ලෝවාමහාපායේ ශෝභා පිණිස ඉතා මනරම් වූ දෙතිස් ප්‍රාසාදයක් කරවීය. 31 මනරම් රුවන්වැලි නම් මහා සෑය හාත්පස වැලි මළුව සීමාවෙහි පවුරක් ද කරවීය. 32 ඒ තෙමේම කුරුඥපාසක නම් විහාරය ද කරවීය; ඒ රජ තෙමේ අන්‍ය වූත් පින්කම් කරවීය.
33 මහාරත්තක නම් සේනාපති තෙමේ ඛල්ලාටනාග රාජ නම් වූ ඒ රජුව නුවරදීම අල්ලා ගත්තේ (මැරුවේ) ය. 34 ඒ රජුගේ මලණුවන් වූ වට්ටගාමිණී (වළගම්බා) නම් කුමරු ඒ දුෂ්ට සෙනෙවියා මරා රාජ්‍යය කළේ ය. 35 ඒ වළගම්බා රජ තෙමේ ස්වකීය සොහොයුරු වූ (ඛල්ලාටනාග) රජුගේ ළදරු පුත් වූ මහාචූලික නම් කුමරු තමාගේ පුත්‍ර ස්ථානයෙහි තබා ගත්තේ ය; ඒ කුමරුගේ මව වූ අනුලා දේවිය ද තමාගේ බිසව කොට ගත්තේ ය. 36 මේ කුමරුගේ පිය තනතුරෙහි සිටි බැවින් ලෝ වැස්සෝ ඔහුට ‘පිතු රජ’ යයි ව්‍යවහාර කළහ.
37 මෙසේ අභිෂේක කරන ලද ඔහුගේ රාජ්‍යයෙහි පස් වෙනි මාසයේ දී රුහුණු රට නකුල නගරයෙහි ‘තිස්ස’ නම් වූ නුවණ නැති එක් බමුණු තරුණයෙක් 38 බමුණෙකුගේ අනාවැකි වදන් අසා කැරළිකාරයෙක් විය; එසේම ඔහුගේ පිරිවර ද මහත් විය. 39 සේනාව සහිත වූ දෙමළුන් සත් දෙනෙක් මහා තොටින් (මන්නාරමෙන්) ගොඩ බටහ. 40 එකල බමුණු තිස්ස තෙමේ ඒ දෙමළුන් සත් දෙනාත්, රාජ්‍යයත් (ඡත්‍රයත්) පතා රජු වෙත ලියුම් එවූහ.
41 නීති දත් රජ තෙමේ බ්‍රාහ්මණ තිස්ස හට “දැන්ම රාජ්‍යය තාගේ ම ය, තෝ දෙමළුන් ගනු (පරදවනු) මැනවැ” යි ලියුම් යැවීය. ඒ තෙමේ “මැනවැ” යි කියා දෙමළුන් හා යුද්ධ කළේ ය. දෙමළහු ඔහුව පරාජය කර ගත්හ.
42 ඉක්බිති ඒ දෙමළු කොළඹෑලක නම් ස්ථානය අසල දී රජු හා යුද්ධ කළෝ ය. 43 යුද්ධයේ දී රජතෙමේ පරාජය වී, රියට නැඟී තීර්ථකාරාමයේ (ජෛන ආරාමයේ) දොරටුවෙන් පලා ගියේ ය. 44 ඒ තීර්ථකාරාමය වනාහි පණ්ඩුකාභය රජු විසින් කරවන ලද්දේ, නිරතුරුව එක්විසි රජ කෙනෙකුන්ගේ කාලයක් පුරා පැවතුනේම විය. 45 පලා යන ඒ රජු දැක ගිරි නම් නිඝණ්ඨයා (ජෛන තවුසා) “මහා කළු සිංහලයා පලා යෙයි” කියා අතිශයින් හඬ ගෑවේ ය.
එකල මහා රජ ඒ අසා “මාගේ බලාපොරොත්තුව මුදුන් පැමිණි කල්හි මෙහි වෙහෙරක් කරවන්නෙමැ” යි මෙසේ සිතුවේ ය. 46 ගැබ් සහිත වූ අනුලා දේවිය රක්ෂා කටයුතු යැයි (රියෙහි) රඳවා ගත්තේ ය; 47 එසේම රැක ගත යුත්තේ යයි සිතා මහා චූල, මහා නාග යන කුමරුන් දෙදෙනා ද ගත්තේ ය. 48 රථයේ බර සැහැල්ලු කිරීම පිණිස, වටිනා සිළුමිණක් දී, රජ තෙමේ සෝමා දේවිය ඇයගේ කැමැත්තෙන් රියෙන් බැස්වීය. 49 යුද්ධය පිණිස යන ගමනේදී ම පරාජය ගැන සැක ඇතිව සිටි රජු, පුත්‍රයන් හා දේවීන් දෙදෙනා (කලින්ම) ගෙන්වා ගෙන සිටි නමුත්, බුදුන් වැලඳූ ඒ පාත්‍ර ධාතුව ගෙන්වා ගැනීමට නොහැකිවම නික්මුණේ ය.
පලා ගිය ඒ තෙමේ වෙස්සගිරි විහාරය බද වනයෙහි සැඟවිණි. 50 එහි දී කුත්ථිකකුල මහා තිස්ස (කුපිකප්‍රාප්තිස්ස) නම් ස්ථවිර තෙමේ ඒ රජු දැක, තමන්ට ලැබුණු අතින් නොඇල්ලූ පිණ්ඩපාත ආහාරය රජුට දුන්නේ ය. 51 ඉක්බිති පහන් සිත් ඇති රජ තෙමේ වැටකේ පතක ලියා ඒ විහාරයට සංඝ භෝග (ඉඩම්) පූජා කළේ ය. 52 එයින් පිටත්ව ගොස් ගල්හෙබකඩ (සිලාසොබ්භකණ්ඩක) විසී ය. එයින් ද පලා ගොස් සල්ගල (මාතුවෙලංග) වෙත විසී ය.
53 එහි දී රජ තෙම පෙර දුටු (කුත්ථිකකුල) තෙරුන්ම දුටුවේ ය. 54 ස්ථවිර තෙමේ තමාගේ උපස්ථායක වූ තනසීව නම් තැනැත්තා හට රජතුමාව දැඩිව භාර කළේ ය. 55 ඒ රජු රටට නායක වූ තනසීවයා වෙත, ඔහු විසින් උපස්ථාන කරන ලදුයේ තුදුස් (14) අවුරුද්දක් විසී ය.
56 දෙමළුන් සත් දෙනා අතුරෙන් එකෙක් මදාවහ (සිත අවුල් කරන සුළු) සෝමා දේවිය දැක, ඇයව ගෙන වහා පරතෙර (ඉන්දියාවට) ගියේ ය. 57 එකෙක් අනුරාධපුරයෙහි තිබූ බුදුන්ගේ පාත්‍ර ධාතුව රැගෙන, එයින් සතුටු වූයේ වහා පරතෙර ගියේ ය.
58 පුලහත්ථ නම් දෙමළ තෙමේ බාහිය නම් දෙමළා සෙනෙවි කොට තුන් අවුරුද්දක් රජය කළේ ය. 59 බාහිය තෙමේ ඒ පුලහත්ථයා මරා දෑවුරුද්දක් රජය කළේ ය; පණයමාර තෙමේ ඔහුගේ සෙනෙවි විය. 60 පණයමාර තෙමේ ඒ බාහිය නම් දෙමළ රජු මරා සත් අවුරුද්දක් රජ විය; පිළයමාර ඔහුගේ සෙනෙවි විය. 61 ඒ පිළයමාර තෙමේ පණයමාර රජු මරා සත් මසක් රජ විය; දාඨිය තෙමේ ඔහුගේ සෙනෙවි විය. 62 ඒ දාඨිය තෙමේ පිළයමාර රජු මරා අනුරාධපුරයෙහි දෑවුරුද්දක් රජ විය. 63 මෙසේ ඒ දෙමළ රජුන් පස් දෙනාගේම රාජ්‍ය කාලය තුදුස් අවුරුද්දකට මත්තෙහි සත් මසක් විය.
64 දිනක් තනසීවයාගේ බිරිඳ, නිවාසය පිණිස කඳු මුදුනට ගියා වූ අනුලා දේවියගේ සහල් පැසට පයින් ගැසුවා ය. ඕ තොමෝ කිපී හඬමින් රජු වෙත පැමිණියා ය. 65 ඒ අසා කිපුණු ඒ තනසීව තෙමේ දුන්න ගෙන (රජු මැරීමට) නික්මුණේ ය. දේවියගේ වචනය අසා ඔහුගේ පැමිණීමට පෙරාතුව රජ තෙමේ කුමරුන් දෙදෙනා ද, දේවිය ද ගෙන එතැනින් පිටත් විය.
66 මහාසීව (වළගම්බා රජ) තෙමේ දුන්න සරසා ගෙන එන්නා වූ තනසීවයා විද්දේ ය. 67 රජ තෙමේ “මම වළගම්බා රජ යෙමි” යි තමාගේ නම අස්වා ජනයා එක් කළේ ය. 68 මහත් වූ යෝධ සම්මත වූ ඇමතියන් අට දෙනෙක් ද ලැබුවේ ය.
රජුගේ පිරිවර ද මහත් පෙරහර ද ඇති වී, මහත් යසස් ඇති රජ තෙමේ කුම්භීලක මහා තිස්ස තෙරුන් දැක වළස්ගල් (අච්ඡගල්ල) විහාරයෙහි බුද්ධ පූජාව කරවීය. 69 එහි මළුව සුද්ධ කරනු පිණිස නැංගා වූ ‘කපීසීස’ නම් ඇමතියා, 70 දේවිය සමග රජ තෙමේ උඩ සෑ මළුවට නැගෙමින් සිටියදී පහළට බසිනු දැක, මග හිඳ ගත්තහු දැක, 71 “මොහු (මා දැක) බිම හොත්තේ නොවේ ය” යි කිපී කපීසීසයා මැරවීය.
72 ඒ කාරණය හේතු කොට ගෙන සෙසු සත් ඇමතියෝ ද රජු හා කලකිරුණාහු, රජු වෙතින් පලා ගොස් කැමැති පරිද්දෙන් යන්නාහු, මග දී සොරුන් විසින් කොල්ල කන ලද්දාහු, 73 හඹුගල් වෙහෙරට වැද බහුශ්‍රැත වූ තිස්ස ස්ථවිරයන් දුටුහු. 74 චතුර් නිකාය හදාළ ඒ තෙරණුවෝ තමන්ට ලැබී තිබූ පරිදි වස්ත්‍ර ද, පැණි ද, තෙල් ද, සහල් ද යන ආගන්තුක උපකාරයන් (ඔවුන්ට) දුන්නේ ය. 75 එසේම ඒ ස්ථවිර තෙමේ “නොසුව (සුදුසු නැති) කාලයෙහි කොයි යවු දැ” යි විචාළේ ය. 76 ඒ ඇමතියෝ තමන් ‘අසවල්ලු’ යයි ප්‍රකාශ කොට රජුගේ පුවත දැන්වූහ.
77 එවිට තෙරුන් විසින් “බුද්ධ ශාසනයට අනුග්‍රහය කවුරුන් හා එක්ව කරවන්ට හැකි ද? දෙමළුන් කැටිව ද? නොහොත් රජු කැටිව දැ?” යි විචාරන ලද ඒ ඇමතියෝ, “රජහු කැටිව හැක්කැ” යි කීවෝ ය. මෙසේ ඔවුන්ගේ කටයුතු (යුතුකම්) වටහා දී, තිස්ස සහ මහා තිස්ස යන තෙරුන් දෙදෙනා ඇමතියන් ගෙන එතැනින් රජු වෙතට පමුණුවා උනුන් කමා කරවූහ.
78 රජ තෙමේ ද ඒ ඇමත්තෝ ද මෙසේ තෙරුන් යාච්ඤා කරන්නාහු, “කර්මය සඵල වූ කල්හි (අප දිනූ කල), එසේම අප විසින් දූතයන් එවූ කල්හි අප වෙත වඩිනු මැනවැ” යි යාච්ඤා කළේ ය. 79 ඒ තෙරහු ඔවුනට අනුශාසනා කොට (ප්‍රඥා දී) තමන්ගේ ස්ථානයට ගියෝ ය.
80 මහා යශස් ඇති රජ අනුරාධපුරයට අවුත් දාඨිය දෙමළා මරා තෙමේ රාජ්‍යය කරවීය. 81 ඉක්බිති රජ තෙමේ ඒ නිඝණ්ඨාරාමය (ජෛන ආරාමය) විනාශ කරවා එහි දොළොස් පිරිවෙනක් ඇති විහාරයක් කරවීය. 82 මහා විහාරය පටන් ගැනීමෙන් හවුරුදු දෙසිය දාහතක් සහ දස මසක් ද දස දිනක් ද ඉක්මුණු කල්හි, 83 තුන් රුවන්හි ගෞරව ඇති ඒ රජ තෙමේ අභයගිරි විහාරය පිහිටුවීය. 84 ඒ තෙරුන් දෙදෙනා කැඳවා, උන්වහන්සේලා අතුරෙන් පූර්වයෙහි උපකාර කළා වූ මහා තිස්ස තෙරුන්ට ගෞරව කරන රජ තෙමේ ඒ විහාරය පූජා කළේ ය. 85 යම් හෙයකින් ‘ගිරි’ නම් තැනැත්තාගේ ආරාමය ද, යම් හෙයකින් ‘අභය’ රජ තෙමේ විහාරය කරවී ද, එහෙයින් ‘අභයගිරි’ යයි කියා ඒ විහාරය නම් විය.
86 ඒ රජ තෙමේ සෝමා දේවිය (ඉන්දියාවෙන්) ගෙන්වා යථා ස්ථාන සංඛ්‍යාත වූ සිය තනතුරෙහි (බිසෝ තනතුරෙහි) පිහිටුවීය. ඒ බිසවුන් ගේ පැමිණීම නිමිති කොට ‘සෝමාරාමය’ කරවීය. 87 ඒ උත්තම කාන්තාව වනාහි රථයෙන් බස්වද්දී, එතැන කදම්බ පුෂ්ප ගොල්ලක සැඟවී සිට, අතින් මාර්ගය වසා ගෙන (බාධා කරමින්) මුත්‍ර කරන සාමණේර කෙනෙකු දුටුවා ය. 88 රජ තෙමේ ඒ බිසවුන්ගේ බස් අසා මහා සෑයට උතුරු දිග, උස බිමක් ඇති තැන ‘ගල්හෙඩ’ (ගල්හෙබකඩ) නම් සෑය ද, විහාරයක් ද එහි කරවීය.
89 ඒ සත් යෝධයන් අතුරෙන් ‘උත්තිය’ නම් තැනැත්තේ නුවරට දකුණු දිගින් දක්ෂිණ නම් විහාරයක් කරවීය. 90 ‘මූල’ නම් ඇමතියා ද එහිම (මූලවොකාස) විහාරයක් කරවීය. 91 හෙතෙම මූල නම් ඇමති වූ හෙයින් ඒ විහාරයට ද එම නමම ඇති විය. ‘සාලිය’ නම් ඇමති තෙමේ සාලියාරාමය කරවීය. 92 ‘පර්වත’ නම් ඇමති තෙමේ පර්වතාරාමය කරවීය; ‘තිස්ස’ ඇමති තෙමේ තිස්සාරාමය කරවීය.
93 රම්‍ය වූ විහාරයන් කොට නිමවා ඒ ඇමතියෝ තිස්ස තෙරුන් වෙත එළඹ, “ඔබ වහන්සේලාගේ උපකාර සාමාර්ථ්‍යයෙන් අප විසින් කරවන ලද්දා වූ විහාරයන් ඔබ වහන්සේලාට දෙමුය” යි කියා පූජා කළෝ ය. 94 ස්ථවිර තෙමේ හැම තැන්හිම සුදුසු පරිද්දෙන් ඒ ඒ විහාරයන්හි භික්ෂූන් වැස්සවූ සේක.
95 ඇමතියෝ තුමූ ශ්‍රමණ සාරුප්‍ය වූ නානාප්‍රකාර පිරිකරයන් සංඝයාට දුන්නෝ ය. රජ තෙමේ සිය වෙහෙර වසන්නවුන්ට නොඅඩු සිවුපසයෙන් උපස්ථාන කළේ ය; එහෙයින් ඒ භික්ෂූහු බොහෝ වූහ.
96 ‘මහා තිස්ස’ යයි ප්‍රසිද්ධ වූ, ගිහි කුලයන් හා සංසර්ගය (ඇසුර) ඇති ඒ තෙරුන්, කුල සංසර්ග දෝෂය හේතු කොට ගෙන සංඝයා විසින් මේ මහ වෙහෙරින් නෙරපා හරින ලද්දේ ය. 97 ඒ තෙරුන්ගේ ශිෂ්‍ය වූ ‘බහලමස්සු තිස්ස’ ස්ථවිර යයි ප්‍රසිද්ධ වූ තැනැත්තේ කිපියේ අභයගිරියට ගොස්, 98 (ගුරුවරයාගේ) පක්ෂය උසුලන්නේ හෙවත් පක්ෂපාතව එහි විසී ය. එතැන් පටන් ඒ භික්ෂූහු මහා විහාරයට නොපැමිණියහ. 99 මෙසේ ඒ භික්ෂූහු ථේරවාදයෙන් වෙන්ව දෙපරිද්දෙකින් (නිකාය දෙකක් ලෙස) බිඳුනාහ.
100 දිවැස් ඇති (නුවණැති) ඒ වළගම්බා රජ තෙමේ මහා අභයගිරි භික්ෂූන්ට වැඩෙනු පිණිස ‘ප්‍රාප්ති’ නම් (ලාභ සත්කාර) දුන්නේ ය. 101 මෙසේ නවකම් කිරීම සුව වන්නේ යයි සිතා පන්ති බැඳි විහාර හා පිරිවෙන් කරවීය.
102 ත්‍රිපිටක පාළිය ද, එහි අටුවාව ද මහා ප්‍රඥා ඇති පූර්වික භික්ෂූහු මුඛ පාඨයෙන් (කට පාඩමින්) ගෙන ආවෝ ය. 103 එකල්හි විසූ භික්ෂූහු සත්ත්වයන්ගේ පිරිහීම දැක, ධර්මයේ චිර පැවැත්ම පිණිස පොත්හි ලියවූහ. 104 වට්ටගාමිණී අභය රජ තෙමේ මෙසේ දොළොස් අවුරුද්දක් සහ (රාජ්‍යයේ) ආදියෙහි පස් මසක් ද රාජ්‍යය කරවීය.
105 මෙසේ ප්‍රඥා ඇති තැනැත්තේ ඓශ්වර්යය ලැබගෙන අනුන්ගේ වැඩ ද තමාගේ වැඩ ද කෙරෙයි. සම්පත්හි ලොල් වූ මන්ද බුද්ධික තැනැත්තේ මහත් සම්පත් ලැබත් ආත්මාර්ථයක් හෝ පරාර්ථයක් නොකරයි.
මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘දස රාජක’ නම් වූ තිස් තුන් වන අදියර නිමි.